Friday, September 16, 2016

වෙළඳපොළ තරඟය ජයගත් ලංකාවේ දොස්තරලා...




මා මාස තුනකට අඩු බිළිඳෙකුව සිටියදී වැළඳී ඇති උණ රෝගයකට ආසන්න නගරයේ පිහිටි දේශීය වෛද්‍යවරයෙකුගෙන් ලබාගෙන තිබුණු බෙහෙත් පිළිබඳව මගේ මව විසින් තැබුණු දිනපොත් සටහනක් ගැන පසුගිය ලිපියෙන් කතා කළෙමි. මෙය මේ අයුරින් සිදු වී තිබුණත් මට මතක ඇති කාලයේ සිට රෝගී වූ අවස්ථා වලදී අපව බොහෝ විට රැගෙන ගියේත්, පවුලේ අනෙකුත් වැඩිහිටියන් ප්‍රතිකාර ගැනීමට ගියේත් බටහිර වෛද්‍යවරුන් වෙත මිස දේශීය වෛද්‍යවරුන් වෙත නොවේ.

බටහිර වෛද්‍යවරුන්යැයි කීවත් මා ජීවත් වූ ප්‍රදේශයට ආසන්නව තිබුණු මේ නගරයේ බටහිර ප්‍රතිකාර කළ වැඩි දෙනෙකු උපාධිධාරී වෛද්‍යවරු නොවූහ. එම නගරයේ එම්බීබීඑස් උපාධිය තිබුණු අයෙකුට හිටියේ එකම එක වෛද්‍යවරයෙකු පමණි. යාපනයේ දෙමළ ජාතිකයෙකු වූ ඔහු සිය උපාධිය ලබාගෙන තිබුණේ මදුරාසියේ කිසියම් වෛද්‍ය විද්‍යාලයකිනි. පෞද්ගලික වෛද්‍ය ශාලා පවත්වා ගෙන ගිය ඉතිරි බටහිර වෛද්‍යවරුන් තුන් හතර දෙනාගේ නම් ඉදිරියෙන් තිබුණේ ඒඑම්පී හෝ ආර්එම්පී  යන අකුරු කට්ටල එකක් හෝ දෙකම මිස පෙර කී දෙමළ වෛද්‍යවරයාගේ නම ඉදිරියේ සටහන්ව තිබුණු එම්බීබීඑස් හෝ එෆ්ආර්සීඑස් වැනි අකුරු කට්ටල නොවේ.

කෙසේවුවද, මේ වෛද්‍යවරුන්ගෙන් බෙහෙත් ගන්නට පැමිණි බොහෝ රෝගීන්ට ඔය අකුරු වල වගක් නොතිබුණේය. අරුම පුදුම මැජික් උපකරණයක් වන වෙදනලාව කරේ තිබේනම් ඒ දොස්තර කෙනෙකි. වෙන කතා වැඩක් නැත. ඒ නිසා නගරයේ සිටි එකම උපාධිධාරී වෛද්‍යවරයාට අනෙක් බටහිර වෛද්‍යවරුන්ට නොතිබුණු මහා ලොකු ඉල්ලුමක් තිබුණේද නැත. ඉන්පසුව, මා ජීවත් වූ නගරයක පැවතියේද මීට කිට්ටු තත්ත්වයකි. සහකාර වෛද්‍ය නිලධාරීන් හෝ ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන් තුන් හතර දෙනෙකු සමඟ තරඟ කළ එකම උපාධිධාරී වෛද්‍යවරයා එම නගරයේ අඩුම ඉල්ලුමක් තිබුණු වෛද්‍යවරයාය.

පෙර කී පළමු නගරයේ බටහිර වෛද්‍ය ප්‍රතිකාර කළ දොස්තරලා කිහිප දෙනාට අමතරව දේශීය වෙදකම් කළ වෙද මහත්තුරුද හතර පස් දෙනෙක්ම සිටියහ. ඒ අය අතර 'ගම්පහ කුලයේ' අයත් වෙනත් අයත් වූහ. අප වැඩිපුර නොගියත් මේ බෙහෙත්ශාලා වලද සැලකිය යුතු සෙනඟක් නිතරම සිටියේය.

සියවස් ගණනකම සිට දේශීය වෛද්‍යවරයෙකුගේ රෝග පරීක්ෂාවේ මූලිකම අංගයක් වූයේ නාඩි පරීක්ෂාවයි. බොහෝ දෙනෙකු විශ්වාස කළ පරිදි, මෙසේ නාඩි පරීක්ෂා කර ලෙඩේ හරියටම අල්ලා ගැනීමට පුළුවන් විය. මේ වැඩේම කරන්නට බටහිර වෛද්‍යවරුන්ට මැජික් උපකරණයක් තිබුණේය. ඒ ස්ටෙතස්කෝපය හෙවත් වෙද නලාවයි. බටහිර වෛද්‍යවරයෙකු වෙත යන බොහෝ රෝගීන් හිතුවේ මේ වෙද නලාවෙන්ද ඕනෑම ලෙඩක් හරියටම අල්ලා ගන්නට හැකි බවයි.

දේශීය වෛද්‍යවරයෙකු වෙත යන විට බොහෝ රෝගීහු බෝතලයක් හෝ කිහිපයක් රැගෙන ගියහ. ඒ, වෙද මහත්තයා දෙන තෙල්, අරිෂ්ඨ ආදිය දාගෙන එන්නටය. මේ රෝගීන් දොස්තර මහත්තයා ලඟට ගියේත් ඔය විදිහටම බෝතලයක් හෝ දෙකක් අරගෙනය. අරිෂ්ඨ මෙන් රස නැතත් ඔය බෝතලයටත් බොහෝ විට රතු පාට හෝ රෝස පාට බෙහෙත් වතුරක් ලැබුණේය.

ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය ආරම්භ වුණු කාලයේ සිටම කොළඹ වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍යවරුන් මෙන්ම ඇපෝතිකරිලා හෙවත් පසුව හැඳුන්වුනු පරිදි සහකාර වෛද්‍ය නිලධාරීන්ද පුහුණු කෙරුණේය. වසරක පුහුණුවකින් හා සයමසක සායනික පුහුණුවකින් පසු සේවයට යොදවනු ලැබූ මොවුන්ට වසර අටකට පසු ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන් හෙවත් ආර්එම්පීලා වීමට හැකි විය. අසූව දශකය පමණ වන තුරුත් බොහෝ ප්‍රාදේශීය නගර වල උපාධිධාරී වෛද්‍යවරුන්ට වඩා වැඩිපුර හිටියේ මේ ඇපෝතිකරිලාය. අනූපහ වසරේදී (මගේ මතකය පරිදි වෛද්‍ය සංගමයේ බලපෑම මත) මේ සහකාර වෛද්‍ය නිලධාරීන් පුහුණු කිරීම නතර විය.

මා කුඩා කළ බොහෝ ග්‍රාමීය පෙදෙස් වල බටහිර ප්‍රතිකාර ලබාදෙන පෞද්ගලික බෙහෙත්ශාලා නැත්නම් ඩිස්පැන්සරි පවත්වාගෙන ගියේ ඇපෝතිකරිලාය. ඒ අතරම, හරි හරියට දේශීය බෙහෙත්ශාලාද තිබුණේය.

මේ දේශීය බෙහෙත්ශාලා ආකෘතිමය ලෙස බටහිර බෙහෙත්ශාලා වලින් වෙනස් වූයේ නැත. දෙපිරිසම කළේ මුදල් අයකර බෙහෙත් දීමයි. ෆාමසි වලින් බෙහෙත් ගැනීමක් ඒ කාලයේ වැඩිපුර කෙරුණේ නැත.

හැත්තෑව දශකය වන විට දේශීය වෛද්‍ය සේවා සැපයීමද බටහිර වෛද්‍ය සේවා සැපයීම මෙන්ම සෑහෙන දුරකට වාණිජකරණය වෙමින් තිබුණේය. බුලත් අතක් ගෙන වෙද මහත්තයා බැහැ දැකීමට යාම වෙනුවට නගරයේ වෙදමැදුරට ගොස් නොම්මරයක් ගෙන පෝලිමේ සිට වෙද මහත්තයා හමුවීම දක්වා වන පරිවර්තනය මේ වන විටද සිදු වී තිබුණේය. පසුව, වෙළඳපොළ තරඟය තුළ වෙද මහත්තුරුන් ඇපෝතිකරිලාගෙනුත්, ඇපෝතිකරිලා දොස්තරලාගෙනුත් ප්‍රතිස්ථාපනය විය. මේ වන විට සාමාන්‍ය දොස්තරලාව විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිස්ථාපනය වීම නාගරික ප්‍රදේශ වලින් ඇරඹී තිබේ.


ලංකාවේ වෛද්‍ය සේවා සැපයීමේ වෙළඳපොළෙහි කලින් කලට සිදු වී ඇති සුසමාදර්ශ පෙරළි වලට සැපයුම් සාධකද  සැලකිය යුතු සේ දායක වී ඇතත්, වැඩිපුරම හේතු වී ඇත්තේ ඉල්ලුමෙහි ඇති වූ වෙනස්කම්ය.

22 comments:

  1. මගේ යාලුවෙක් ඇපෝතිකරි මහත්තයෙකුගෙන් බෙහෙත් අරගෙන මළා.

    ReplyDelete
    Replies
    1. ඇපෝතිකරි මහත්තුරුන්ගෙන් බෙහෙත් ගත්ත පරම්පරාවේ සෑහෙන දෙනෙක් දැන් මැරිලා, ඇනෝ.

      Delete
    2. මෙයාට මීට පස්සේ යම ඇනෝ කියල කියමු. ය.ම = යහළුවා මළ

      Delete
    3. යම ඇනෝ -> යමානෝ -> යමං

      Delete
    4. Yama ano= deshakaya. Hore ahuwela thiyenne

      Delete
    5. මගේ යාලුවෙක් බැදුම්කර වංචාව කරපු රනිල්ව සුද්ධ කරන්න පොස්ට් හදල දන්නා ගිහින් මලා!

      Delete
  2. Econo, obata amathaka wunu thawath kattiyak thamayi dewarudhayen beheth dena aya. Gambada pradesha wala megolloth harima janapriyayi. Weda mahaththuru wagema kasaya thundu liyala denawa. Minissu polime anka aran yanawa.

    ReplyDelete
    Replies
    1. බටහිර ප්‍රතිකාර කර සුව කළ නොහැකි රෝග තිබේ. බටහිර ප්‍රතිකාර ක්‍රම මෙන්ම, ආයුර්වේදය ඇතුළු සම්මත දේශීය ප්‍රතිකාර ක්‍රම වලින්ද සුවයක් නොලැබිය හැකි බව පෙනී ගිය විට ඇතැම් අය පිදුරු ගහේ හෝ එල්ලීමේ පදනමින් මෙවැනි අසම්මත ප්‍රතිකාර සපයන තැන් වලටත් යති.

      Delete
  3. රෝගීන්ට ඔය අකුරු වල වගක් නොතිබුණේය. අරුම පුදුම මැජික් උපකරණයක් වන වෙදනලාව කරේ තිබේනම් ඒ දොස්තර කෙනෙකි.//////////// ++++++++++++

    ReplyDelete
    Replies
    1. මිනිසුන්ගේ දැනුම දියුණු වීමත් සමඟ මෙවැනි තත්ත්වයන් වෙනස් වෙමින් පවතී. එසේ වන විට වැඩි පුහුණුවක් ලබා ඇති, 'මිස්ටේක්' අඩුවෙන් කර ඇති අයට ඇති ඉල්ලුම ක්‍රමයෙන් වැඩි වේ.

      Delete
  4. ආණ්ඩුව විසින් පවත්වාගෙන ගිය දේශීය වෛද්‍ය සේවයක් ද තිබුණි.

    මගේ මාමා (නැන්දා ගේ සැමියා) ඒ සේවයේ වෛද්‍යවරයෙකුව මෝදර, දෙමටගොඩ, මොරටුමුල්ල රජයේ වෙදහල්වල සේවය කළේය.

    ReplyDelete
    Replies
    1. මේ දේශීය වෛද්‍ය සේවය ගැන මට දැනුමක් නැත. සමහර විට මා ජීවත් වූ ප්‍රදේශයේද එවැනි වෙදහල් තිබුණා විය හැකිය.

      Delete
  5. මම හිතන් හිටියේ, දොස්තරෙක් නම් හේ උපාධි ධාරියෙක් කියලා...ඇපොතිකරි කියන්නේ චීන කටු වගේ කට්ටියක් කියලා...

    ඔය ගැන ලස්සන ටෙලියක් ගියා "වසන්ත කුසලානය" කියලා. දොස්තර සිහිනය කඩා වැටුනු කෙනෙක්, ෆාමසියක වැඩ කරලා පස්සේ ගමකට ගිහින් බේත් ශාලාවක් පටන් ගන්නවා....මිනිහට මාර විධිහට සෙනග...

    ලංකාවෙ ඔය උපාධි වැඩක් නැහැ..දොස්තර කරුණාවන්තනම් එක වේලෙන් ලෙඩේ සල්ලංනම් ආාාාන් එච්චරයි ඕනා....

    ReplyDelete
    Replies
    1. කොළඹ වෛද්‍ය විද්‍යාලයය 1942දී වෛද්‍ය පීඨය බවට පත් වී පළමු උපාධිධාරීන් කණ්ඩායම පිටවන තුරු එමඟින් ලබා දුන්නේද එල්එම්එස් නම් ඩිප්ලෝමාවකි.

      Delete
    2. සෙන්නා,

      මරු කතාව "වසන්ත කුසලාන" නේද? ධම්ම ජාගොඩගෙ පුතා දිනිඳු ජාගොඩ ප්‍රධාන චරිතය කලේ. පුදුම දක්ෂයෙක්. හැබැයි ඊට පස්සෙ දැක්කෙවත් නෑ.හිමාලි සයුරංගිත් හිටිය මට මතකයි.

      Delete
  6. ඉබේ හොඳවෙන සාමාන්‍ය ලෙඩ ටිකකට විතරක් ගමේ ඉන්න දොස්තර ගාවට යන්න පුරුදු උන මිනිස්සු ඉන්න නිසා ඕන කෙනෙකුට ගමක පොඩියට පීපී පාරක් දාගන්න ඇහැකි බව කිව්වෙත් ඩොකෙක් මයි.කරුණාවෙන් කතා කිරීම,ෆාමසියෙන් ගන්න බෙහෙතක් දීම, ටවුමෙ හොඳ දොස්තරමහත්තයාව නිර්දේශ කිරීම,බර අඩුකරගන්න කීම,පිටට තට්ටුවක් දැමීම වගේ දේවල් ආදායමට සෘජුවම බලපාන සාධක බවත් එයාමයි කිව්වෙ.සමහර වෙලාවට ගානත් ටිකක් වෙනස් කරන්න වෙනවලු ලෙඩේ ඉක්මනට හොඳ කරන්න.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒ කතාවේ සෑහෙන ඇත්තක් තිබේ. බොහෝ දෙනෙක් නැති ලෙඩ වලටත් බෙහෙත් හොයති. බටහිර වෛද්‍යවරුද බොහෝවිට මුදල් පිණිස මේ නැති ලෙඩ වලට බෙහෙත් දෙති. එය කරන්නට වෛද්‍ය විද්‍යාල පුහුණුවක් අවශ්‍ය නොවන නිසා වෙනත් අයටද ඒ දෙයම කළ හැකිය. නාගරික ප්‍රදේශ වල මේ තත්ත්වය අඩුය.

      Delete
  7. ඇතැම් අයට වෛද්‍ය විද්‍යාලයේ අවසන් විභාගය සමත් වීමට නොහැකිය. ලගදි එවැනි සිසුවෙක් සිය දිවි හානි කරගත්තා. එවැනි අවසන් විභාගය සම්පුර්ණ කරගත නොහැකි සිසුන් බොහෝ දුරට පුද්ගලික බෙහෙත් ශාලා පවත්වාගෙන යනවා.

    ReplyDelete
    Replies
    1. ඇතැම් වෛද්‍ය සිසූහු අවශ්‍ය සුදුසුකම් ලබා නොගෙන වෙනත් ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකුගේ ලියාපදිංචියට මුවා වී ප්‍රතිකාර කරති.

      Delete
  8. අපි පොඩි කාලේ පලමු වසර ඉන්නා කල පේරාදෙනිය වෛද්ය පීටයේ ඇම්පෝ ඉස්කෝලයක් ද විය.... එහි ඉගෙන ගත් ඇම්පියෝ නා නා කාර වයිවර්න ඇඳුම් ඇඳි සූන්දර යුවතියන් ව සිටි බව මතකය..

    පසු කලෙක ඇම්පෝ GMOA සමග ෆේස් ටු ෆේස් සටනට ආ කල ඇම්පන් ට්‍රේන් කොරනා ඉස්කෝල වසා දැම්මවෙඋවේය!

    GMOA පින් හෝ පවු සිද්ද වන්න, තවදුරටත් ඇම්පෝ රජයෙන් පුහුනු නොකෙරෙති

    ReplyDelete
    Replies
    1. ඩිප්ලෝමා-උපාධි ගැටුම පරිගණක (NIBM), ඉංජිනේරු (NDT) වැනි වෙනත් ක්ෂේත්‍රවලද ඇති වී ඇති තත්ත්වයකි. මෙවැනි ගැටුම් සාමාන්‍යයෙන් අවසන් වන්නේ වැඩි පුහුණුවක් ඇති කණ්ඩායමට ජයග්‍රහණය හිමිකර දෙමිනි.

      Delete
  9. අපි පොඩි කාලේ හිටියේ නාවලපිටිය කියන නගරයේ.. Dr යෝගනාදන් ලඟට තමයි අපිව එක්කන් ගියේ ඕනම දේකට.. ඔබේ ලිපියෙන් ඒ මතකයට ආපහු ගියා. පුංචියට පටන් ගත්ත ඒ සේවය පස්සේ ගොඩක් ලොකුවට කෙරුනා..

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.