Saturday, September 17, 2016

ඉංග්‍රීසි බෙහෙත් හා සිංහල බෙහෙත්

මා මගේ ජීවිතයේ මුල් මාස දෙක තුන ගත කර ඇත්තේ මගේ මවගේ මහ ගෙදරයි. මේ නිවස පිහිටියේ ග්‍රාමීය ප්‍රදේශයක වුවත් ඒ හේතුවෙන් මේ නිවස 'ග්‍රාමීය පසුගාමිත්වයේ ගිලී තිබුණු' නිවසක් ලෙස හැඳින්විය නොහැක්කකි. පසුගිය අඩ සියවස තුල ලෝකය හා සමාජය කිසියම් දියුණුවක් ලබා ඇතැයි සලකනවානම් එසේ සැලකීමට යොදාගන්නා බොහෝ නිර්ණායක අනුව, මගේ මවගේ මහගෙදර විසූවෝ ඉදිරිගාමීහුය. හැටේ දශකයේදී සිසේරියන් සැත්කමක් මඟින් මා මෙලොව එළිය දැකීම මෙන්ම තිහේ දශකය මුල මගේ මව රෝහලක උපත ලැබීමද ඒ කාල වකවානුවලදී ගැනුණු ඉදිරිගාමී පියවර ලෙස සැලකිය හැකිය.

මා කුඩා කළ මගේ මවගේ මහගෙදර මෙන්ම අපේ ගෙදරත් බිත්ති වල ප්‍රථමාධාර පෙට්ටි සවි කර තිබුණේය. මේවා ඇතුළේ  ජෙන්සන් වයලට්, හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්, ගෝස් රෝල් හා ප්ලාස්ටර් වැනි බටහිර වෛද්‍ය ප්‍රතිකාර වලදී යොදාගන්නා දේවල් රැසක් තැන්පත් කර තිබුණේය. අප කුඩා කාලයේ තුවාලයක් කර ගත් විට වහාම එය විෂබීජ නාශකයකින් පිරිසිදු කර බෙහෙත් දැමීමේ මූලික දැනුම මගේ මවගේ සොහොයුරු සොහොයුරියන් කාටත් වගේ තිබුණේය. මගේ මවගේ පියා හැමදාම වාගේ හවසට පරීක්ෂණ නලයකට මුත්‍රා සාම්පලයක් දමා එයට තවත් මොනවාදෝ එකතු කර අමුතු ලාම්පුවකට අල්ලා රත් කරමින් පාට වෙනස් වනවාදැයි බැලූ අතර, එසේ කළේ දියවැඩියාවෙන් පෙළුණු ඔහුගේ සීනි පරීක්ෂා කිරීම සඳහා බව අපි දැන සිටියෙමු. මෙවැනි තත්ත්වයක් පැවතියද එවකට අපේ විස්තෘත පවුලේ කිසිදු සාමාජිකයෙකු හෝ සාමාජිකාවක සෞඛ්‍ය සේවයට සම්බන්ධ රැකියාවක නිරතව සිටියේද නැත.

අපේ මවු පාර්ශ්වයේ අය මෙසේ 'ඉදිරිගාමී' වූයේ ඔවුන් ලොකු සල්ලිකාරයන් වූ නිසා නොවේ. ඉඩකඩම් හා දේපල හිමිකාරිත්වය අතින් වඩා ඉදිරියෙන් සිටි මගේ පියාගේ මහගෙදර ඒ කාලයේම පැවතුණේ මෙවැනිම තත්ත්වයක් නොවේ. කෙසේ වුවද, එවැනි 'ඉදිරිගාමී' තැනක සිටි අපේ ගෙදර හෝ මගේ මවගේ මහගෙදර උදවිය වුවද ඒ කාලයේ හැම ලෙඩකටම බටහිර ප්‍රතිකාර ගත්තේ නැත. අර මා කිවූ ප්‍රථමාධාර පෙට්ටි ඇතුළේද පෙර කී 'ඉංග්‍රීසි බෙහෙත් බඩු' වගේම හදිසි අජීර්ණයකට දෙහි ඇඹුලෙන් දිය කර බොන්නට සුදු ගුලි වැනි දේද තිබුණේය.

මේ කාලයේ ඇතැම් අය 'ජීවිතේට ඉස්පිරිතාලෙකට ගිහින් නැති' බව කිවුවේ මහත් ආඩම්බරයෙනි. පොලීසියකට, උසාවියකට යාම වගේම ඉස්පිරිතාලෙකට යාමද ඒ කාලයේ නම්බුකාර දෙයක් ලෙස සැලකුණේ නැත. 'ඉස්පිරිතාලෙකට යන්න තරම් මට ඇති ලෙඩක් නෑ' කියා බොහෝ දෙනෙක් කිවුවේ රෝහල්ගත වීම මාරාන්තික ලෙඩක් ඇති අය විසින් පමණක් කළ යුතු දෙයක් ලෙස සලකමින් මෙනි.

ඒ කාලයේ අපේ ගමේ ඇතැම් ගෙවල් වල අයට මෙන් අපේ ගෙදර අයට බටහිර ප්‍රතිකාර අසාත්මික නොවූවත්, ඔය කාලයේ අපේ ගෙදර අයගේත් අදහස වුණේ ඇතැම් ලෙඩ වලට බටහිර වෙදකම හරියන්නේ නැති බවයි. ඒ නිසා, එවැනි ලෙඩක් හැදුණේනම් ඔවුන් ප්‍රතිකාර ගැනීමට ඉඩ තිබුණේ දේශීය වෛද්‍යවරයෙකුගෙනි. මෙසේ දේශීය ප්‍රතිකාර වඩා සාර්ථක ලෙස සැලකුණු රෝග ලැයිස්තුවේ කැඩුම් බිඳුම්, සර්ප දෂ්ඨ, අංශභාගය, පිස්සු බලු රෝගය ආදිය උඩින්ම තිබුණේය.

ගමේ හෝ ගමෙන් පිට විසූ දන්නා හඳුනන වයස්ගත අයෙකු මැරෙන්නට 'පණ අදින' බවට අවුරුද්දකට කිහිප වරක් අපට ආරංචි ලැබුණේය. මේ 'පණ ඇදිල්ල' දවස් දෙක තුනක සිට සතියක් දෙකක් දක්වා කල් ගත් දෙයකි. ඒ වගේ වෙලාවට ඒ ගෙවල් වල කිසිවකු එවැනි රෝගීන් රෝහල් වෙත රැගෙන ගියේ නැත. ඒ මැරෙන්න යන ලෙඩාට තවත් වද දෙන්නට අවශ්‍ය නැති බව කියමිනි. බොහෝ දෙනෙකුට ඕනෑ වුණේ එවැනි කෙනෙකුට 'මැරෙන්න කලින් බත් කටක් කවන්නට', 'වතුර ඩිංගක් පොවන්නට' හෝ එයත් කළ නොහැකිනම් 'දොඩම් ඉස්ම ඩිංගක්වත් තොලේ ගාන්නට'ය.

කුඩා කාලයේදී අපට පණු අමාරුවට 'ඇන්ටිපා' වැනි බටහිර බෙහෙත් මෙන්ම 'කළුදුරු අටවගේ කසාය' වැනි සිංහල බෙහෙත්ද ලැබුණේය. මේ ගැන 'දන්නා කියන' අයගේ මතය වුණේ ඇන්ටිපා වලට පණුවන් හැලෙන බවත්, සිංහල බෙහෙත් වලින් කරන්නේ පණුවන් 'හීන් කිරීම' පමණක් බවත්ය. හරියට කෑම දිරවන්නටනම් බඩේ පණුවන් යම් ප්‍රමාණයක් සිටීමද අවශ්‍ය කරුණක් නිසා නිතර ඇන්ටිපා බී බඩේ පණුවන් වඳ කර ගැනීම සුදුසු නැත.

කෙසේ වුවද, අපට වරින් වර ඉංග්‍රීසි පණු බේත් ලැබුණේය. වයස අවුරුදු තුන හතරක් වූ කාලයේ එසේ පණු බේත් පානය කළ ඇතැම් දවසකට අප මළපහ කළේ මිදුලේ හබරල කොළයකටය. වැඩිහිටියෙකු විසින් මේ මළ ඉවත් කළේ කෝටුවකින් අවුස්සා  පණුවන් සිටියේද නොසිටියේද යන්න පරීක්ෂා කිරීමෙන් අනතුරුවය.

ඇන්ටිපා වුවද, කළුදුරු අටවගේ කසාය වුවද අපට පෝය දවස්වල දුන්නේ නැත. ඒ, පෝය දවසට පණුවන් මැරීම හෝ පණුවන්ට වදදීම නුසුදුසු නිසාය. එහෙත්, අපේ පවුලේ ඇතැම් වැඩිහිටියන් පෝය දිනවල අටසිල් හෝ දසසිල් සමාදන් වූ අතර ඒ අයගේ බඩවල්වල සිටි පණුවන්ට පෝය දවසට බඩගින්නේ ඉන්නට වීම ගැන ඒ කාලයේ මට පැහැදිලි පිළිතුරක් නොලැබුණේය. පාතරාසය සඳහා කිසියම් කැඳ වර්ගයක් පිළියෙළ කෙරුණු දවසටනම් අපට නොවරදවා හකුරු කෑල්ලක් හෝ මීපැණි ටිකක්ද ලැබුණේය. ඒ බඩේ සිටින කැඳ නොබොන පණුවෙකු වෙනුවෙනි. පැණිරස දෙයක් නොලැබුණහොත් කෝපයට පත්වන මේ පණුවා බඩවැල් හපා කන්නට පුළුවන.

බඩේ පණුවන් සිටිය යුතු කතාව කෙසේ වුවත් ඊට සංකල්පීය ලෙස සමාන කතාවක් මම පසු කාලයක ඉගෙන ගත්තෙමි. ඒ ආහාර මාර්ගයේ ආම්ලිකතාවය අවශ්‍ය මට්ටමේ පවත්වා ගැනීම සඳහා ආහාර මාර්ගය ආශ්‍රිතව වසන ඇතැම් බැක්ටීරියාවන්ගෙන් සිදුවන කාර්ය භාරයයි. එක දිගට ප්‍රතිජීවක ඖෂධ ගන්නා විට මෙවැනි හිතකර බැක්ටීරියාවන්ද විනාශ වීම නිසා ආහාර මාර්ගයේ ආම්ලිකතාව ඉහළ යාම හා තුවාල ඇති වීමත්, ඒ හේතුවෙන් අධික පාචනය හා මළ සමඟ ලේ පිටවීමත් දක්වා තත්ත්වය උග්‍ර වීමත් සිදුවිය හැකිය.


මෙවැනි තත්ත්වයක් ඇති වීම වලක්වා ගැනීම සඳහා කළ හැකි එක් දෙයක් වන්නේ ආම්ලිකතාවය නිසි මට්ටමේ පවත්වාගැනීම මඟින් කෑම දිරවීමට උදවු වන එවැනි හිතකර බැක්ටීරියා ආහාර මාර්ගයට නැවත එකතු කිරීමයි. යෝගට් හා මීකිරි ආදියේ ඇති ලැක්ටෝබැසිලස් කාණ්ඩයේ බැක්ටීරියා හා වෙනත් ඇතැම් කිරි නිෂ්පාදන වල ඇති බිෆිඩොබැක්ටීරියම් කාණ්ඩයේ බැක්ටීරියා 'බඩේ තිබිය යුතු' මෙවැනි හිතකර බැක්ටීරියා සඳහා උදාහරණයි. මේ කාණ්ඩ වල සජීවී බැක්ටීරියා අඩංගු 'ප්‍රෝබයෝටික්ස්' ද කලක සිට වෙළඳපොළේ අළෙවි කෙරේ.

ලෙඩ ගැන මෙන්ම ප්‍රතිකාර ක්‍රම ගැනද දැනුම කාලයත් සමඟ අළුත් වේ. මේ දැනුම සමාජයේ විවිධ ස්ථර වෙත සම්ප්‍රේෂණය වන්නේ එකම වර නොවේ. වෛද්‍ය සේවා සඳහා ඇතිවන ඉල්ලුමේ ස්වභාවය තීරණය වන්නේ ලෙඩ හා ප්‍රතිකාර ක්‍රම ගැන දැනුම  පොදු සමාජය වෙත සම්ප්‍රේෂණය වී ඇති තරම අනුවය. 

මීළඟ ලිපිය: අක්ෂි වෛද්‍ය විශේෂඥ ගල්පියද්දේ මද්දුං අප්පෝ

(Image: http://www.canadianfamily.ca/parents/health-and-fitness/fine-balance/)

19 comments:

  1. ඉස්සර බටහිර බේත් හැඳින්වූයේ "ඉංග්‍රීසි"යන විශේෂණ පදයත් එක්කයි. දේශීය බේත් "සිංහල"විශේෂණයෙන්... හැම දේටම දෙශීය ප්‍රතිකාර ගත්තු අතීතයේ, "බේත් ගැනීම" යන සාමාන්‍ය ව්‍යවහාරයෙන් හැඳිවුනේ දේශීය ප්‍රතිකාර ගැනීමයි. බටහිර බේත් ගත්තනම් "ඉංග්‍රීසි බේත් ටිකක්"ගත්තා වශයෙන් විශේෂ කරලා තමා කියන්නේ.

    ඒත් අද...

    බේත් ගැනීම කියන්නෙ බටහිර බේත් ගැනීම. දේශීය ප්‍රතිකාර ගත්තොත් "සිංහල බේත් ටිකක් ගත්තා"කියලා විශේෂණය දාලා කියන්න ඕනා...

    තුවාල වලට දාන මොකක්ද දම් පාට වතුරක් තිබුනා මතකයි. ඒත් එක්කෙම නාහල්ලේ තෙලුත් තිබුනා.. හුඟක් වෙලාවට කුරුම්බැට්ටි උරච්චි කරලා ගෑම හෝ කෝපි කොල කොටා තැබීම තමා තුවාල වලට ප්‍රතිකාරය වුනේ...

    ReplyDelete
    Replies
    1. අපිත් මේ හැමදේම කළා, සෙන්නා. කුරුම්බැට්ටි, කෝපි කොළ තමයි වැඩිහිටියන් දකින්න පෙර අප විසින්ම කරගත් ප්‍රතිකාර.

      Delete
  2. මගේ යාලුවෙක් ඉංග්‍රීසි සිංහල බේත් කළවමේ බීලා ෆියුස් එක ගිහින් මළා.

    ReplyDelete
    Replies
    1. අපරාදේ! මැරෙන්න කලින් ඉලෙක්ට්‍රීසියන් කෙනෙක්ව හොයාගන්න බැරි වුනාද?

      Delete
  3. මගේ ආච්චීත් (පියා ගේ මව) ඒ ජීවිතේට ඉස්පිරිතාලේ නොගිය කෙනෙක්.

    තාත්තා සහ නැන්දලාත් ඒකට ඉඩ දී හිටියා.

    ආච්චී අවුරුදු 95 ක් ජීවත්ව සිටියත් අවසාන කාලයේ කැටරැක්ට් නිසා අන්ධවයි ජීවත් වුණේ.

    හරිම දුකයි සිහිවෙන විට.

    ReplyDelete
    Replies
    1. මටත් හරීම දුකයි රසික. දැන් ආච්චි කොහේද?

      Delete
    2. ආච්චී අවුරුදු 95 ක් ජීවත්ව සිටියත් අවසාන කාලයේ කැටරැක්ට් නිසා අන්ධවයි ජීවත් වුණේ.

      Delete
    3. මම හිතන්නේ බොහෝ විට අද වුණත් මෙවැනි වයසකදී කැටරැක්ට් සර්ජරි එකකට යන එකක් නැහැ. ඇය අද කාලයට සාපේක්ෂව වුණත් දීර්ඝායුෂ වළඳා තියෙනවා.

      Delete
  4. මට පේන්නේ රසවත් ළමා කාලයක් විදියට. හැමදේම වෙනස්.

    ReplyDelete
    Replies
    1. අද ළමා වියේ ජීවත් වන අයටත් තව දශක ගණනකින් ඔවුන්ගේ ළමා කාලය රසවත් ලෙස පෙනෙයි, මෙඩුසා.

      Delete
  5. ඉකොන් ඔබේ අත්දැකීම් බොහෝම දුරට මගේ ළමා කාලයේ අත්හැකීම හා සමපාතයි. ඔබ මේ දේවල් එක්ක කරන මේ විමර්ශනය ඇත්තෙන්ම වැදගත්.
    අපි ළමා කාලයේ අපේ ගෙව වල තිබුනු පනු බෙහෙත් තමයි නාවින්නේ ආයුර්වේදයෙන් ගෙන එන කළු පාට ගම්මිරිස් ඇටයක් තරම් වූ පනු ගුලි. ඒක දෙහි වතුරෙන් දියකරලා බොන්නේ.
    තව දෙයක් තමයි බෙහෙත් අරක්කු බෝතලේ, ඒකේ තිබුනේ අරක්කු කාලකට සාදික්කා, වසා වාසි, කුරුඳු පොතු, ගම්මිරිස්, බුලත් වැලේ ද්ඬු කෑලි වගේ දාහකුත් එකක් බෙහෙත් ද්‍රව්‍ය දාලා මාස හයක් අවුරුද්දක් විතර පරණ කරලා.
    ඕකෙන් තේ හැඳු දෙකක් බොන්න කොල්ලෝ නම් හරිම කැමතියි.

    ඔය පණුවෝ හීන් කරන කථාව, පණුවෝ බඩේ ඉන්න ඕනෙයි කියන කථාව, පෝයට පණු බෙහෙත් නොබීම වගේ දේවල් අපිත් ඒ විදියටම අහලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ නයනේ මේවා ඒ කාලයේ ගොඩක් අයගේ පොදු අත්දැකීම් කියලා. පොඩි වෙනස්කම් ඇති.

      Delete
  6. පළමුවෙන්, මෙම පොස්ටුවට අදාල නොවන කරුණක් මතු කිරීම පිළිබඳව ඉකොනෝමැට්ටගෙන් සමාව ඉල්ලා සිටිමි. මෑතකදී කොළඹ කතෝලික පාසල් දෙකක් තම පාසලට දරුවන් රැගෙන එන 'මව්වරුන්ට' ඇඳ සිටිය යුතු ඇදුම් පිළිබඳව නිර්දේශ සහිත දැන්වීම් පාසල් දොරටුව අසල සවිකරන්නට යෙදුනි. සමාජ ජාලවල මෙය මහත් කතාබහට ලක්විය. නමුත් කණගාටුවට කරුණක්නම් මෙය සිංහල බ්ලොග් අවකාශයේ සාකච්චා නොවීමයි. යම් හෙයකින් මෙය බෞද්ද පාසලක්/පාසල් විසින් සිදුකරන්න යෙදුනි නම් ඒ පිළිබඳව බ්ලොග් පොස්ට් දුසිම් බාගයක්වත් පලවිය හැකි බව මගේ විශ්වාසයයි. මෙයින් සිඩ්නි සළුවඩන හා Dr Second World මුලිකත්වය ගනු ඇත. බෞද්ධ අධ්‍යාපනයේ 'අවජාතකයන්' වන මොවුන් සිංහල බෞද්දයන්ට අපහාස කිරීම තම ජිවිතයේ එකම අරමුණ සේ සලකයි.

    ReplyDelete
    Replies
    1. එක එක බ්ලොග්කරු ලියන්නේ තමන්ගේ ප්‍රමුඛතාවයන් අනුවනේ, ඇනෝ. මමත් මෙවැනි කතාවක් වත්පොතේ යාන්තමින් දැක්කත් පාසැල කුමක්ද කියා හෝ වෙනත් වැඩි විස්තරයක් කියෙවුවේ නැහැ.

      Delete
  7. ඉස්සර අම්මලා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් තුවාලයකට දානකොට තියන සැප කොහොමද ?

    ReplyDelete
    Replies
    1. තනියම කුරුම්බැට්ටි අතුල්ලගන්න මෙයත් එක හේතුවක්.

      Delete
  8. ඇන්ටිපා කියන්නෙ මම හිතන්නෙ Anti-parasite කියන එක කෙටි කරල හදාගත්තු වචනයක් වෙන්න ඕන. පස්සෙ කාලෙ පණුවන්ට අපි බිව්වෙ ප්‍රෙප්සීන්...

    ReplyDelete
    Replies
    1. සමහර විට ඇන්ටිපා කිවුවට අපි බිවුවෙත් වෙන එකක්ද දන්නෙත් නැහැ. අර සෙල්ටෙල් වගේ.

      Delete
  9. ඉකොනොගෙ කාලෙ කුඩු මුල් දුන්නෙ නැද්ද දොස්තර මහත්තයා? ගස්ලබ්බ පොඩි කාලෙ කස්සය බොන්න කැමතියි කුඩු මුල් බොනවට වඩා.ටිකක් ලොකු වෙනකොට සීන් ඒ තේරුනේ.බෙහෙත් කැප්සියුල් එක ඇතුලෙ තියන ටික කොලේකට ඔතල දෙනව කුඩු මුල් කියලා.නැත්තම් පෙති කුඩු කරල දෙනවා.මෙව්ව කල් කදුරු තිත්තයි.අන්තිමට පොඩි ගස්ලබ්බ බෙහෙත් හදන එක්කෙනාට කවුන්ටරේ එල්ලිලා කිව්වා 'මට කරල් ගිලින්න පුළුවන්' කියලා.එහෙමයි කුඩු මුල් වලින් නිදහස් උනේ.හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.