Thursday, September 15, 2016

වෙදුන්ගේ දරුවන් වන ලංකාවේ දොස්තරලා...


දෙමසකට පෙර මම මගේ මවගේත් පියාගේත් දිනපොත් සටහන් හැදෑරීම සඳහා වෙලාවක් වෙන් කළෙමි. 'බැක් ටු ද ෆියුචර්' චිත්‍රපටයේ මාටි මෙන් කාල තරණය කර මගේ දෙමවුපියන්ගේ තරුණ දිවිය ගෙවුණු හැටි දැක ගැනීමේ හැකියාවක් නොතිබුණත් මේ දිනපොත් සටහන් වල උපකාරයෙන් මට තරමක් දුරට තරුණ වියේ සිටි මගේ දෙමවුපියන් හමුවීමේ ඉඩකඩක් ලැබුණි.

මගේ දරුවන් කෙරෙන් මට බොහෝ විට කාලයේ හා අවකාශයේ වෙනස්කම් වලින් වැසී ඇති මගේ ළමා කාලයේ පිළිබිඹු පෙනේ. මෙය දෙමවුපියන්ගේ දිනපොත් හා වෙනත් සටහන් හැදෑරීමට පෙළඹුමක් ඇති කළ එක් කරුණකි. මා කුඩා කාලයේම මෙලොව හැර ගිය මගේ මව පිළිබඳව මා දන්නා දෙයට වඩා නොදන්නා දේ බොහෝය. මගේ පියා මව මෙන් භෞතිකව මගෙන් දුරස් නොවූවත් ඔහුගේ දැවැන්ත සමාජ ජීවිතයට සාපේක්ෂව පෞද්ගලික ජීවිතය ඉතා කුඩා වපසරියක පැතිරුණු එකක් වූ අතර ඔහුගේ
සමාජ ජීවිතයේ මෙන්ම පෞද්ගලික ජීවිතයේ බොහෝ තොරතුරු පිළිබඳව දැනටත් මගේ දැනුම එතරම් පුළුල් නැත.

මේ ලිපියට මා ප්‍රවේශ වන්නේ හැටේ දශකයේ දිනක මගේ මව විසින් ලියා ඇති දිනපොත් සටහනකිනි. මේ දිනය වන විට මගේ වයස ආසන්න වශයෙන් මාස තුනකි. මේ වකවානුවේදී මගේ මව සිය කුළුඳුල් දරුවාද සමඟ සිය දෙමවුපියන්ගේ නිවස ආසන්නයේම වූ අපේ නිවසේත්, මගේ පියා වෙනත් දුර බැහැර නගරයක (ගමක) රැකියාව කරමිනුත් ගත කර තිබේ. ඒ කාලයේදී මගේ පියාට සති අන්තයේ (හෝ සති දෙක තුනකට වරක්) ගෙදර එන තුරු සිය බිරිඳගේ හා දරුවාගේ දුක සැප දැන ගැනීමට ජංගම දුරකථන වැනි සන්නිවේදන මාධ්‍ය නොතිබුණු බව නොකිවමනාය.

මේ කියන දවසේ තෙමස නොපිරුණු මේ දරුවාට දරුණු උණ රෝගයක් වැළඳී තිබේ. උණ යනු රෝගයක් නොව රෝග ලක්ෂණයකැයි යමෙකුට කිව හැකිය. රෝග යන සංකල්පයත් අපේ දැනුමට සාපේක්ෂය. එනයින්, සංස්කෘතියට හා කාලයට සාපේක්ෂය. මේ කාලයේදී ලංකාවේ වැඩි දෙනෙකුට උණ යනු රෝගයක් මිස රෝග ලක්ෂණයක් නොවීය.

උණ රෝගයට ප්‍රතිකාර ගැනීම සඳහා මේ දරුවා රැගෙන ගොස් ඇත්තේ අසල නගරයේ වෛද්‍යශාලාවක් පවත්වාගෙන ගිය ප්‍රසිද්ධ වෙදමහතෙකු වෙතය. මගේ වයස අවුරුදු හතක් පමණ වන කාලයේත් මේ බෙහෙත් සාප්පුව එම නගරයේ පැවති බවත්, වෙදමහතා ජනප්‍රියව සිටි බවත් මගේ මතකයේ තිබේ. දිනපොත් සටහන් වල වියදම්ද සටහන් කර ඇති නිසා මේ ගමනට ටැක්සියක් හයර් කර ඇති බවද පෙනේ. එසේ කරන්නට ඇත්තේ උණ හොඳටම වැඩි වී තවත් බලා ඉන්නට බැරි තැනය.

වෙද මහතා විසින් නියම කර ඇති ප්‍රතිකාර අතර ගුලි, කල්ක, තෙල් ආදී බෙහෙත් වර්ග රැසකි. මේ බෙහෙත් දුන් වෙලාවල් මගේ මවගේ දිනපොත් පිටුවේ හරියටම සටහන් කර තිබේ. මේ ගුලි, කල්ක ආදිය දෙහි ඇඹුලෙන් හා මී පැණියෙන් දිය කර දෙපැයකට වරක් පමණ ලබා දී තිබේ. මගේ පියාට අනුව, මව විසින් මෙසේ මේ විස්තර හරියටම දිනපොතේ සටහන් කර තිබෙන්නේ සති අන්තයේ මගේ පියා ගෙදර පැමිණි විට දරුවාට කරන්නට තිබුණු සියල්ල අකුරටම කළ බව පෙන්වන්නටය.

මේ දිනපොත් සටහන අනුව මාස තුන නොසපිරූ දරුවෙකුට දී ඇති බෙහෙත් කන්දරාව දුටු මට ඇති වුනු විස්මය ගැන අමුතුවෙන් කිව යුතු නැත. දැන් මේ වයසේ දරුවෙකුට කිසියම් බෙහෙතක් දෙන්නේ නොදීම බැරි විටක පමණි. බටහිර රටවලදී නම් බෙහෙතක් දෙන්නේම නැති තරම්ය.

ලංකාවේ බටහිර වෛද්‍යවරුන් වෙත බොහෝ විට කෙරෙන චෝදනාවක් වන්නේ ඕනෑවට වඩා බෙහෙත් දෙන බවයි. මෙය කැපී පෙනෙන්නේ ඇමරිකාව හෝ එංගලන්තය වැනි රටකට සාපේක්ෂවය. විශේෂයෙන්ම ප්‍රතිජීවක ඖෂධ ලබා දීමේදී ලංකාවේ බටහිර වෛද්‍යවරු බටහිර රටක දොස්තර කෙනෙකු මෙන් පැකිළෙන්නේ නැත.

මගේ මිතුරන් හෝ ඥාතීන් වන ලංකාවේ ඇතැම් බටහිර වෛද්‍යවරු මේ අයුරින් වැඩිපුර බෙහෙත් දෙන්නට හේතු සාධාරණීකරණය කරන්නේ මෙසේය.

"ඇමරිකාවෙ වගෙ නෙමෙයි, හරියට කෑමක්වත් නැති මිනිස්සු අපි ගාවට බෙහෙත් ගන්න එන්නේ. මේ අයට ගොඩක් වෙලාවට බෙහෙත් ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ නිසා සයිඩ් ඉෆෙක්ට් එන්න කලින්ම අපි ඒවටත් එක්ක බෙහෙත් දෙනවා."

"ඇමරිකාවේ වගේ ඕනෑ වෙලාවක හදිස්සියේ බෙහෙත් ගන්න එන්න මේ මිනිස්සුන්ට බෑ. එහෙම කීප සැරයක් එන්න වෙලාවවත්, සල්ලිවත් ඇත්තෙත් නැහැ. ඒ නිසා එක පාරෙන් සනීප වෙන්න ටිකක් වැඩිපුර බෙහෙත් දෙනවා."

මේ කතා වල ඇත්තක් නැතුවාම නොවේ. දැනටත් ලංකාවේ බොහෝ ගම්, නගර වල 'වන්ෂොට්' දොස්තරලා ජනප්‍රියව සිටින්නේ දොස්තර කෙනෙකු වෙත යන ලංකාවේ බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුව 'එක බෙහෙත් වේලෙන්' ලෙඩේ සනීප කර ගැනීම නිසාය.


කෙසේ වුවත්, මගේ මවගේ දිනපොත් සටහන දැකීමෙන් පසු මට හිතෙන්නේ මේ වැඩිපුර බෙහෙත් දීම වගේම ලෙඩක් නැතත් මොනවා හෝ බෙහෙතක් දීම ලංකාවේ බටහිර වෛද්‍ය වරුන්ට උරුම වී ඇත්තේ ලංකාවේ සම්ප්‍රදායික වෙද මහත්තුරුන්ගේ ආභාෂයෙන් බවයි.

ලංකාවේ බටහිර වෛද්‍යවරුන්ට ඔවුන්ගේ පියවරුන් වූ සිංහල වෙද මහත්තුරුන්ගෙන් උරුම වී ඇති එකම පුරුද්ද වැඩිපුර බෙහෙත් දීම පමණක් නොවේ. සිංහල වෙද මහත්තුරුන්ට පුරුදු වී සිටි සමාජයක ඉල්ලුම සපුරාලමින් ඔවුන් වෙනුවට සාර්ථකව ආදේශ වීමේදී ලංකාවේ බටහිර වෛද්‍යවරුන් වෛද්‍ය විද්‍යාලයේදී ඉගෙන නොගත් තවත් බොහෝ දේ සමාජයෙන් ඉගෙනගෙන තිබේ.

ලංකාවේ බටහිර වෛද්‍යවරුන් බොහෝ දෙනෙකු පුරුද්දක් ලෙස සිය සටහන් ලියන්නේ ලේසියෙන් කියවන්නට බැරි අයුරිනි. නීතිමය ප්‍රශ්නයක් ඇති වූ විට ගැලවීමේ පහසුව වැනි අපේක්ෂාවන්ද මෙහි තිබිය හැකි වුවත් මේ පුරුද්දේ මුලත් දේශීය වෛද්‍යවරුන්ගේ කසාය සීට්ටු ලිවීමේ ක්‍රමයෙන් ආවා විය හැකිය. ලංකාවේ බටහිර වෛද්‍යවරුන් සටහන් වල යොදන කේත ඇමරිකාවේ හෝ එංගලන්තයේ වෛද්‍යවරයෙකුට තේරුම් ගත නොහැකිය.

දේශීය වෛද්‍යවරුන් සිය දැනුම පවුලෙන් හෝ පරම්පරාවෙන් පිට නොදී රෝගියා හා වෙදා අතර දැනුම් පරතරය පවත්වාගත් අයුරින්ම ලංකාවේ බටහිර වෛද්‍යවරුද රෝගය පිළිබඳව රෝගියාට හොඳින් පැහැදිලි කිරීමට පසුබට වෙති. 'මිඩ් ඉයර් ඉන්ෆෙක්ෂන්' කියා සරලව ඉංග්‍රීසියෙන් නොකියා 'ඔටිටිස් මෙඩියා' කියා ලතින් වලින් කියන්නට ඔවුහු කැමැත්තෝය. උණ හෝ 'ෆීවර්' යන වචන භාවිතා නොකර 'හයිපර්තර්මියා' ගැන කතා කරන වෛද්‍යවරුන්ද මට හමු වී තිබේ. වත්ත පහළ ඉබේට වැවෙන පැලෑටියක් සාමාන්‍ය භාවිතයේ ඇති, කවුරුත් දන්නා නමින් හඳුන්වනවා වෙනුවට ආයුර්වේදයේදී භාවිතා වන සංස්කෘත නමකින් හැඳින්වීම ඇතැම් දේශීය වෙද මහතුන්ගේ පුරුද්දක් විය.


ලංකාවේ වෛද්‍ය සේවා සැපයීමේ වෙළඳපොළ අද පවතින තත්ත්වයට විකාශනය වීම පිටුපස මෙවැනි ඓතිහාසික සමාජ පසුබිමක්ද තිබේ. ඉදිරි ලිපියකින් මේ ගැන තව දුරටත් කතා කරමු. 

(Image: http://esceptica.org/category/desahogos/)

22 comments:

  1. ඇත්තෙන්ම මේ මේලෝ යකෙකුට කියවගන්න බැරි අකුරුවලින් බේත් ලියන එක නවත්වන්න නීතියක් ගේන්න බැරිද ? මට මතකයි, අබුඩාබි වල ප්‍රින්ට් කරපු ප්‍රිස්ක්‍රිප්ෂන් විතරයි දෙන්න පුලුවන්...ඔය බේතක් හරියට කියව ගන්න බැරිව වැරදි බේතක් දීලා ලෙඩෙක් මලොත් එහෙම !

    වෛද්‍ය ක්‍රමය බටහිර වුනාට දොස්තර සිංහල කියලා වෙන්නැති ඔය පෙන්වන්නේ....

    ReplyDelete
    Replies
    1. //ඔය බේතක් හරියට කියව ගන්න බැරිව වැරදි බේතක් දීලා ලෙඩෙක් මලොත් එහෙම !//
      ලෙඩා මළත් බඩ සුද්දයි! (ගොඩක් වෙලාවට සාක්කුවත් සුද්දයි.)

      Delete
  2. Itha honda analysis ekak! Kohomath batahira wedakamata sinhala kuhaka kama ekathuweemak thamayi lankawe dostharala kiyanne. Parage me gana post eke ekek kiyagena awa loke hondama dostharala inne lankawe kiyala. Mekath ekthara lankiya syndrome ekak

    ReplyDelete
    Replies
    1. This is one of the vengeance I have with doctors. I am thinking of creating Facebook site to upload the pictures of prescriptions. Naming and shaming is the best medicine.

      Delete
    2. //Naming and shaming is the best medicine.// Probably a good idea. It only punishes bad practices selectively. Not everyone.

      Delete
  3. දොස්තරලා 'පෙම් හසුන්' ලියන්නේ නැතිව ඇති නේද? :P

    ReplyDelete
    Replies
    1. දොස්තරලට හදවතට සමීප වෙන්න පෙම්හසුන් ඕනෑ නෑනේ, මෙඩුසා.

      Delete
    2. එහෙම ලියපු අවසන් පරම්පරාව අපි. අපේ බහුතරයකගේ අකුරු කියවන්න පුළුවන්.

      මම නම් බැච් එකේ පෝස්ටර් කාරයා. ඒ නිසා මට ඔය අවුල නෑ.

      Delete
  4. තැන්ක්ස් ඉකොන්. ලංකාවේ බටහිර වෙද්දු ගැන ගොඩක් නොදන්නා දේවල් දැනගත්ත. බොහොම වැදගත් ලිපියක්. 👊🏽

    ReplyDelete
  5. ගොන්න ඊතලන් පෝට පස්සේ මේ පැත්ත පළාතේ එන්නේ නැහැ වගේ

    ReplyDelete
    Replies
    1. පද මාරුකර සිංහල ලියන්නේ ඔහොම නෙවෙයි ගොනෝ. මෙන්න මෙහෙම.

      මන් ගෝතලන් පාට ඉස්සේ පා මෙත්ත එලාතේ පන්නේ වහ නැගේ.

      හරකා හරකා විදිහට හිටු. නොදන්න ගොන් වැඩ නොකර.

      Delete
    2. නැඩකට වැති නෙයක් දේද? (හැබැයි අර හික්කඩුවේ සුමංගල හාමුදුරුවෝ කෝච්චියේදී ඉංග්‍රීසි ආණ්ඩුකාරයට උත්තර දුන්න හැටි මතක් වුනා.)

      Delete
  6. බටහිර රටවල වෛද්‍යවරුන් ප්‍රතිජීවක ඖෂධ නොදෙන්නේ අසාදනය වන බැක්ටීරියාවන් එම ප්‍රතිජීවක ඖෂධ වලට ඔරොත්තුදෙන ලෙස ඉතුරුවී පසුව පැතිරීමට ඇති ඉඩ අඩු කිරීමට නේද? ලංකාවේ අය ප්‍රතිජීවක දෙන්නේ ඉහත හේතුව ඔවුන් නොසලකා හරින නිසා නේද? සිංහල වෙදදුරන් උණට හේතුවූ මූලාශ්‍රයට වෙදකම් කිරීම නිසා එසේ බෙහෙත් වර්ග ගණනාවක් දෙනවා කියා සිතනවා. එවිට එම සංසංදනය නොගැලපීමක් තියෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. //බටහිර රටවල වෛද්‍යවරුන් ප්‍රතිජීවක ඖෂධ නොදෙන්නේ අසාදනය වන බැක්ටීරියාවන් එම ප්‍රතිජීවක ඖෂධ වලට ඔරොත්තුදෙන ලෙස ඉතුරුවී පසුව පැතිරීමට ඇති ඉඩ අඩු කිරීමට නේද? ලංකාවේ අය ප්‍රතිජීවක දෙන්නේ ඉහත හේතුව ඔවුන් නොසලකා හරින නිසා නේද?//
      මේවා ඉල්ලුම් හා සැපයුම් සාධක වල වෙනස්කම් නිසා ඇති වන තත්ත්වයන්. ඔබත් දන්නා මේ දේවල් ලංකාවේ බටහිර වෛද්‍යවරුන් නොදන්නවා නෙමෙයිනේ. බටහිර රටක ප්‍රතිජීවක ඖෂධ දෙන්නේ (ඇතැම් හදිසි අවස්ථා වල හැර) ආසාදනය කුමන ආකාරයේ එකක්ද යන්නත්, අදාළ ආසාදනයට ලබාදෙන ප්‍රතිජීවකය ගැලපෙනවද යන්නත් තහවුරු කර ගැනීමෙන් පසුවයි. ලංකාවේ එය එලෙසම සිදු නොවීමට ප්‍රධානම හේතුව සම්පත් හිඟය. රෝගීන් හා වෛද්‍යවරුන් ප්‍රමාණයට සාපේක්ෂව ලංකාවේ වෛද්‍ය පරීක්ෂන මෙවලම් හිඟයි. දෙවන කරුණ වෛද්‍යවරයෙකුට එක් රෝගියෙකු වෙනුවෙන් වැඩි වෙලාවක් ගතකළ නොහැකි වීම. එයට හේතුවන ඉල්ලුම් සැපයුම් සාධක ගැන මම පෙර ලිපියකින් කතා කර තිබෙනවා. මේ හැම දෙයක්ම පරිණාමය වෙනවා. සෞඛ්‍ය සේවයට අදාළ ඇතැම් වෙළඳපොළවල් නිදහස් වෙළඳපොළවල් නොවන නිසා ඒ පරිණාමය වෙන්නේ හිමින්.

      Delete
    2. //එවිට එම සංසංදනය නොගැලපීමක් තියෙනවා නේද?// ඇත්තටම මට අවශ්‍ය එවැනි සංසන්දයක් කිරීමට නෙමෙයි. දේශීය වෛද්‍යක්‍රමයේ මූලධර්ම අනුව එසේ බෙහෙත් ගොඩක් දීම නිවැරදි විය හැකියි. ලෙඩාට කියන්න තරම් ලොකු අමාරුවක් නැතත් ගොඩක් වෙලාවට වෙද මහත්තයා ඇඟ නිවෙන්න කියල හරි කසායක් ලියල දෙනවා. මට කියන්න අවශ්‍ය වන්නේ බටහිර වෛද්‍යවරුන් හමුවට ආරම්භයේදී එන්නේ මෙවැනි ලක්ෂණ සහිත සේවා සැපයුමකට පුරුදු වී සිටි පාරිභෝගික පිරිසක් බවයි. එවිට මේ ලෙඩ්ඩුන්ව 'කඩා ගැනීමට' බටහිර වෛද්‍යවරුන්ට කිසියම් අනුගතවීමක් කරන්න වෙනවා. එවැනි පුරුදු ඉවත් වීමට කලක් ගත වෙනවා. ඒ සඳහා ඉල්ලුම් සාධක වෙනස් විය යුතුයි. මේ වන විට ලංකාවේ බටහිර වෛද්‍යවරු මේ ඇතැම් 'පුරුදු' වලින් ක්‍රමයෙන් මිදෙමින් සිටිනවා. එය එසේ වන්නේ සමාජයේ දැනුවත් වීම සමඟ ඉල්ලුමේ ඇතිවන වෙනස්කම් සමඟයි. මේවා සමාජ පිරමිඩයේ ඉහළ සිට පහළට කාන්දු වෙන්න තව කලක් යයි.

      Delete
  7. ලෙඩා ඉස්සරහා සරස් බරස් ගාල මක්ක හරි කියල 'සර්' ගියාම SHO ල මූණෙන් මූණ බලාගෙන අසරණ වෙන හැටි බලන් ඉන්නකොට ඇයි මේ දුශ්කර වාඛ්‍ය කියල හිතෙනවා.ඒ මදිවට ප්‍රශ්නයක් ඇහුවොත් (දැණුම පරීක්ශා කොරන්න නෙමෙයි,ලෙඩේ තත්වෙ සහ ප්‍රතිකාර විධි ගැන දැනගන්න.)ආයෙ මක්කැයි පරල වෙන්නෙ යක්කුත් නොහිට දුවන්න. උත්තරයක් දුන්නොත් පාරිභාශික වචන පිරිලා.
    මේ පෝස්ට් කියවන පොඩි උන් ලොකු වෙලා වත් ඔය සංස්කෘතිය වෙනස් වෙයි.අපේ වයසෙ අළුත් ඩොක්කුත් බලාගෙන ඉද්දි පරණ ක්‍රමේටම අනුගත වෙනවා.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. //අපේ වයසෙ අළුත් ඩොක්කුත් බලාගෙන ඉද්දි පරණ ක්‍රමේටම අනුගත වෙනවා.//
      අපි කාටවත් අපේ අතීතයෙන් එක වර ගැලවෙන්න බැහැ. පොලීසියට හැමදාම බැන බැන ඉන්න නෑදෑයෙක් හරි යාළුවෙක් හරි පොලීසියේ සේවයට ගිහින් ටික කලකින් වෙන දේ බලන්නකෝ.

      Delete
  8. සම්පූර්ණයෙන්ම විරුද්ධයි.... දේශීය වෙදකම කියල කියනව නං ඒක සිංහල වෙදකම වෙන්න ඕන. ඔය කියන්නෙ ආයුර්වේදය ගැන. පරම්පරාවෙන් පරම්පරාවට එන්නෙ දේශීය වෙදකම. ප්‍රධාන ධාරාවෙ බෙහෙත් සීට්ටු ලියවෙන්නෙ ආයුර්වේදයේ.(සිංහල වේදකමේත් ඒක කෙරෙනව, නමුත් බොහෝදුරට ඔවුන් හංගල ගැහිල්ලට බෙහෙත් ලියන්නෙ නෑ, ගමේ ගොඩේ හොයාගන්න තියන බෙහෙත් ගැන හංගන්න දෙයක් නෑ). බටහිර වෛද්‍ය ක්‍රම සිංහල වෙදකමත් එක්ක සංසන්දනය කරන්න ගිහිං ඇනගන්න එපා. මොකද සිංහල වෙදකම කියන්නෙ අද අපට පේන්න තියන වට්ටෝරු වෙදකම වත් ආයුර්වේද වෙදකම වත් නෙවෙයි. "අපේ වෙද්දු" දෙකයි පණහට දාල (ඒ උතුම් වෙද්දු දැන් වඳ වෙලා බව හැබෑව) බටහිර වෙද්දුන්ට ආදේශ කරන්න හදනවට විරුද්ධයි. ඔය සම්බන්ධව බොහොම ඉක්මනට ලිපියක් ලියන්න ඉන්නෙ..

    ReplyDelete
    Replies
    1. මම දේශීය කියන වචනය පොදුවේ භාවිතා කරන්නේ දැනට ලංකාවේ වැඩිම ඉල්ලුමක් තියෙන වෛද්‍ය ක්‍රමය වන බටහිර වෛද්‍ය ක්‍රමය (මෙයත් පොදු අදහසක්- ඒ තුළත් වෙනස්කම් නැතුව නෙමෙයි) ප්‍රචලිත වීමට පෙර ලංකාවේ භාවිතා වුනු ආයුර්වේද ඇතුළු සියලුම වෛද්‍ය ක්‍රම සඳහා පොදුවේ. මම කුඩා කල සිට ඇසුරු කළ ඥාතීන්, අසල්වැසියන් හැමෝම වාගේ බටහිර වෙදකම හා මේ දේශීය වෙදකම් වෙනස් වෛද්‍ය ක්‍රම දෙකක් ලෙස හඳුනා ගත්තත් ආයුර්වේද හා ආයුර්වේද නොවන වෛද්‍ය ක්‍රම අතර වෙනසට සංවේදීව හිටියා කියා මම හිතන්නේ නැහැ. ඔබට හැකිනම් මේ වෙනස්කම් පැහැදිලි කර පෝස්ටුවක් දමන්න. ඒ වගේම මම හිතන්නේ ආයුර්වේදය හා වෙනත් දේශීය වෛද්‍ය ක්‍රම සියවස් ගණනාවක් පුරාම එකට මිශ්‍ර වෙමින් වැඩුණු බවයි. ඔය හංගලා ගැහිල්ල පැහැදිලිවම සිංහල වෙදකමේත් තියෙන දෙයක්. සියවස් ගණනකට පෙර තනිකරම සරල සිංහලෙන් ලියැවුණු පුස්කොළ පොත් වල පවා කවුරුත් දන්නා වත්තේ තියෙන බෙහෙත් පැලෑටි වල නම් තුන් තේරවිලි ලෙස ලියලා තියෙනවා. (මෙවැනි ඇතැම් කවි මතක තිබුණත් දැන් මතක් වෙන්නේ නැහැ.) ඔබ කියන පහත කරුණු වලිනුත් වෙන්නේ මේ කරුණ සනාථ කිරීමක්.

      //මොකද සිංහල වෙදකම කියන්නෙ අද අපට පේන්න තියන වට්ටෝරු වෙදකම වත් ආයුර්වේද වෙදකම වත් නෙවෙයි.//
      //ඒ උතුම් වෙද්දු දැන් වඳ වෙලා බව හැබෑව//

      මෙහෙම වඳ වුනානම් එය එසේ වුනේ ඇයි? එය විය හැක්කේ එක්කෝ මේ කියන වෛද්‍යක්‍රම වලට ඉල්ලුමක් නැතිවීමෙන්. ප්‍රථිපල ප්‍රත්‍යක්ෂ සාර්ථක වෛද්‍ය ක්‍රමයකට ඇති ඉල්ලුම එසේ නැති විය නොහැකියි. සමාජයේ ඉල්ලුම නැතිවී ප්‍රතික්ෂේප විය හැක්කේ ප්‍රතිඵලදායක නොවන අසාර්ථක වෛද්‍ය ක්‍රමයි. එසේ නැතුව ඉල්ලුම තිබියදීම නැති වී ගියානම් සැපයුමේ ප්‍රශ්නයක් තියෙන්නේ ඕනෑ. එය විය හැක්කේ දැනුම නිසි ලෙස සම්ප්‍රේෂණය නොකර හංගලා තියා ගත් විටයි. ඔය දෙකම සිදු නොවුනානම් ඔය කියන දැනුම නැති වුනේ කොහොමද?

      Delete
    2. ඉක්මනටම ඒ ලියවිල්ල දමන්නම්. ඔය ඔක්කොටම උත්තර බොහෝදුරට පැහැදිලි වේවි...

      Delete
    3. හැබෑවටම ඔයි බොහොම ප්‍රබල වෙද කම් ගණනාවක් තිබිලත්, අද හොයා ගන්නවත් බැරි පණු අමාරුව, වලිප්පුව, මාන්දම, හොරි දද කුෂඨ කසානා, ස්කේබිස්, තුන් දොහේ උණ, හත් දොහේ උණ, වැදුගෙයි මරණ, යකා ගැහිලි, බලි කොයිල් රට හැමතැනම බහුලව තිබ්බේ ඇයි.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.