Sunday, September 18, 2016

අක්ෂි වෛද්‍ය විශේෂඥ ගල්පියද්දේ මද්දුං අප්පෝ


ජෝන් විට්චර්ච් බෙනට් සිය බිරිඳත් සමඟ ත්‍රිකුණාමලය වරායෙන් මුලින්ම ලංකාවට ගොඩ බසින්නේ 1816 ජූලි 25 වනදාය. ඒ වන විට උඩරට ගිවිසුම අත්සන් කර වසරක් ගත වුනා පමණි. ලන්දේසීන්ගේ සංස්කෘතික ආධිපත්‍යය පැතිරවීමේ වුවමනාව පෘතුගීසීන්ගේ හෝ ඉංග්‍රීසින්ගේ තරමටම ප්‍රබල නොවූ නිසා මේ කාලය වන විටද ලංකාවේ සැලකිය යුතු පෘතුගීසි ජනගහණයක් රැඳී සිට ඇති බව පමණක් නොව ඉහළ කුල වල සිංහලයින්ට පෘතුගීසි භාෂා දැනුමක්ද තිබී ඇති බව පෙනේ.

දශකයක පමණ කාලයක් ලංකාවේ සිවිල් නිලධාරියෙකු, හමුදා නිලධාරියෙකු හා විනිසුරු වරයකු ලෙස කටයුතු කරමින් රැඳී සිටි බෙනට් මේ කාලය තුළ ලංකාවේ වෘක්ෂලතා, සතුන් හා මත්ස්‍යයන් පිළිබඳවත්, ජන ජීවිතය පිළිබඳවත් අධ්‍යයනය කරමින් ඒ යුගය ගැන වැදගත් තොරතුරු රැසක් අනාගතයට ඉතිරි කර තිබේ. ලංකාවේ වෘක්ෂලතා ගැන හැදෑරීමේදී බෙනට්ට විශාල පිටිවහලක් වී ඇත්තේ එවකට ගාල්ල ආසන්නයේ ගල්පියද්ද ගමේ ජීවත් වූ මද්දුං අප්පෝ (Madung Appo) නම් වූ දේශීය වෛද්‍යවරයාය.

ලංකාවේ වෘක්ෂලතා වල ඇති විවිධත්වයත්, ඒවායේ ඖෂධීය ගුණ ගැන රටවැසියන් සතු වූ දැනුමත් බෙනට් වැනි යුරෝපීයයන්ගේ විස්මයට හේතු වී තිබේ. එමෙන්ම, දේශීය වෛද්‍ය ප්‍රතිකාර වල සාර්ථකත්වය ගැන විශ්වාසය තැබූ ඉංග්‍රීසීන් ඇතුළු යුරෝපීය ජාතිකයින්ද එකල අඩු නැතුව සිට ඇති බව පෙනේ.

ඇස් පෙනීම නැතිව ගිය, යුරෝපීය වෛද්‍යවරුන් සිවු දෙනෙකු විසින් 'සුව කළ නොහැකි බව' තහවුරු කර පැත්තකට කර තිබුණු සත් වසක පෘතුගීසි දැරියකට මද්දුං අප්පෝ විසින් සති හයක කාලයක් තුළ පෙනීම ලබාදුන් ආකාරය බෙනට් විසින් වාර්තා කර ඇත.

එවකට රටේ ප්‍රසිද්ධියට පත්ව සිටි, යුරෝපීයයන් ලඟින් ඇසුරු කිරීමට තරම් සමාජ තත්ත්වයක්ද තිබුණු බව පෙනෙන මද්දුං අප්පෝ විසින් මුලින්ම මේ දැරිය සුව කිරීම ගැන යෝජනා කරන විට ඔහුව සමච්චලයට ලක් වී තිබේ.

"ඉංග්‍රීසි දොස්තර මහත්තුරු හතර දෙනෙක්ම බෑ කියන ලෙඩාව උඹ කොහොමද සනීප කරන්නේ?" බොහෝ දෙනෙකු අසා ඇත.

"හතර දෙනෙක් නෙමෙයි සිය දෙනෙක් බෑ කිවුවත් ඒකෙන් මට ඇති කාරියක් නෑ. මට ඕනෑ විදිහට ප්‍රතිකාර කරන්න බාර දුන්නොත් මං ලෙඩාව සති හයෙන් සනීප කරනවා!" මද්දුං අප්පෝ නොපසුබටව වැඩේට ඉදිරිපත් වී ඇත.

මේ වන විට, මේ දැරිය තවත් ඉංග්‍රීසි වෛද්‍යවරයෙකුගේ ප්‍රතිකාර ලබමින් සිටියත් ඒ ප්‍රතිකාර නවත්වා ලෙඩාව මද්දුං අප්පෝට භාර කිරීමට දැරියගේ මව තීරණය කර තිබේ.

"හොඳයි ලෙඩාව සනීප කරන්න උඹට කීයක් ඕනෑද?"

මද්දුං අප්පෝ සිය ගාස්තුව ඉදිරිපත් කරයි. එය රික්ස් ඩොලර් තිහක මුදලකි.

"හැබැයි, මම ගාස්තුව ගන්නේ ලෙඩාව සනීප වුණොත් විතරයි. සති හයෙන් දරුවට ඇස් නොපෙනුනොත් මම මගේ මහන්සියටවත්, බෙහෙත් වලටවත් එක පැන්සයක්වත් ගන්නේ නෑ."

මද්දුං අප්පෝ ලෙඩාට කිරි ආහාරයක් නියම කරයි. සති හයක්ම ඇයට වෙනත් ආහාරයක් නොලැබේ. ඒ අතර ඒ කාලයේ මැලේරියා ප්‍රතිකාරයක් ලෙස යොදාගත්, සින්කෝනා ගසේ පොත්තෙන් නිස්සාරණය කරගෙන නිපදවූ, කුයිනීන් (Quinine) වල පෙනුම ඇති සුදු කුඩක් ඇයට නිශ්චිත කාලාන්තර තුළ ලබා දේ. මෙවැනිම පෙනුම ඇති සුදු කුඩක් මද්දුං අප්පෝ විසින් වරින් වර දැරියගේ ඇස් වලටද කුරුළු පිහාටුවක උදවුවෙන් පිඹී.

සියල්ලන්ම පුදුමයට පත් කරමිනි සති හයකට පසුව දැරියට පෙනීම ලැබේ. මෙතෙක් ලබා දුන් කිරි ආහාරය දිගටම ලබා දෙන ලෙස නියම කරන මේ අක්ෂි වෛද්‍යවරයා ආහාරය ක්‍රමක්‍රමයෙන් සාමාන්‍ය ආහාරයක් දක්වා වෙනස් කරයි. එමෙන්ම, තවත් ටික කලක් යන තුරු සැර ආලෝකය දෙස කෙලින්ම නොබලන ලෙසද අවවාද කරයි. ඒ හැරුණු විට සති හයෙන් දැරිය සුවපත්ය.

"උඹ මොනවාද ලෙඩාගේ ඇස් වලට දාපු බෙහෙත?" බෙනට් මද්දුං අප්පෝගෙන් අසයි.

"ඒක මට හරියටම කියන්න විදිහක් නැහැ." මද්දුං අප්පෝ පිළිතුරු දෙන්නේ එසේ කළහොත් කිසියම් අදෘශ්‍යමාන බලවේගයකින් තමන්ට විපතක් වීමට ඉඩ ඇති බව හඟවමිනි. "හැබැයි මේවා ගස් වල පොතු වලින් හදපුවා කියල විතරක් කියන්න පුළුවන්!"

බටහිර වෛද්‍ය විද්‍යාව වර්ධනය වුනේද, අනෙක් විකල්ප ප්‍රතිකාර ක්‍රම වර්ධනය වූ ආකාරයටම අත්දැකීම් හරහා ලබාගත් දැනුම ආශ්‍රිතවය. මුල් කාලයේදී එය සිදුවුණේ අනෙකුත් බටහිර විද්‍යාවන් මෙන් පරීක්ෂණ, නිරීක්ෂණ හා නිගමන ඇසුරින් නොවේ. මද්දුං අප්පෝලා ජීවත් වූ කාලයේ ඇතැම් අංශ වලින් බටහිර වෙදකමට වඩා දේශීය වෙදකම ඉදිරියෙන් සිටින්නට ඇත.

මේ වන විට බටහිර වෛද්‍ය විද්‍යාව සාක්ෂි මත පදනම් වූ ව්‍යවහාරික විද්‍යාවක් ලෙස (evidence based practice) සම්පූර්ණයෙන්ම පාහේ රූපාන්තරණය වී තිබේ. එහෙත්, බටහිර වෛද්‍ය විද්‍යාව සමඟ තරඟ කරන විකල්ප ප්‍රතිකාර ක්‍රමවේදයන් මේ වැදගත් ඉදිරි පියවර කරා යොමු වී නැත.

මද්දුං අප්පෝලාගේ පරම්පරාවේ අය අදත් ජීවත් වනවා විය හැකිය. ඒ ඇතැම් අය සතුව මද්දුං අප්පෝ සතුව පැවති පාරම්පරික දැනුම තිබෙනවාද විය හැකිය. එවැනි දැනුමක් ඇත්නම් එය අද ඇති බටහිර වෛද්‍ය විද්‍යා දැනුමට සාපේක්ෂව වටිනා දැනුමක්ද යන්න තීරණය කළ හැක්කේ  ඒවා රහසිගතව තබා ගැනීමෙන් නොව නිසි පර්යේෂණය
න් කෙරෙහි යොමු කිරීම මඟිනි. 

මීළඟ ලිපිය: දොස්තරලා සනීපෙන්ද?
 (Image: www.srisalike.com)

16 comments:

  1. වෙල්ස් ෆර්ගෝ ආයතනය තම ගනුදෙනු කරුවන් හට නොදන්වා ඔවුන් ගේ නිසි අවසරයක් නොමැතිව ගිනුම් ආරම්බ කිරීම වැනි දන්න දෙයක් ගැන ලියමුද නැත්නම් රනිල් හාමු ගේ කොන්තරත්තුව දිගටම ඉදිරියට ගෙනියන්වද?

    ReplyDelete
    Replies
    1. ගහ දන්නවයි කියන අයට අපි මොකටද කොළ කඩා පෙන්නන්න මහන්සි වෙන්නේ?

      Delete
  2. මේ කතාව පොතක නියෙන දෙයක්ද?

    ReplyDelete
    Replies
    1. ඔව්, ඇනෝ. "Ceylon and Its Capabilities" J. W. Bennett (1843).

      Delete
    2. ස්තුතියි. මේ පොත දැනට වෙළඳපලේ තිබේද ?

      Delete
    3. https://www.amazon.com/Ceylon-Its-Capabilities-J-Bennett/dp/8120611683

      Delete
  3. පරම්පරා රහස් සහ ගුරු මුෂ්ටි වගේ දේ නිසා ඒ දැනුම ඒ මිනිසුන් සමග වළපල්ලට ගියා!

    ReplyDelete
    Replies
    1. ඒ වගේම අළුත් පර්යේෂණ සිදු නොවීම නිසා මෙවැනි දැනුම් වලින් සැලකිය යුතු කොටසක් කල් ඉකුත් වී යාමත් සිදු වෙන්න ඇති. එවිට එය තිබුණත් තරඟකාරී නොවන දැනුමක් නිසා ලොකු වටිනාකමක් නැහැ. පරම්පරාවෙන් පරම්පරාවට යන ක්‍රමය තුළත් දැනුම සොයා කරන ආයෝජනයක දිගුකාලීන වටිනාකමක් තියෙන නිසා අළුත් පර්යේෂණත් යම් දුරකට සිදුවීමේ ඉඩකඩක් තිබුණා. මේ ක්‍රමය බිඳ වැටීමත්, පරිසරය සමඟ තිබුණු සබඳතා සීමා වීමත් සමඟ සම්ප්‍රදායික ක්‍රමවේද යටතේ වුවත් සිදුවුනු සීමිත අළුත් පර්යේෂණ ටිකත් නවතින්න ඇති.

      Delete
  4. රසික කියා තිබෙනවාක් මෙන්, මෙවැනි අගනා වෛද්‍ය ක්‍රම අකාලයේ වලලීගොස් තිබෙන්නේ ගුරුමුෂ්ටි රැකගැනීමට යාමේ අනුවණකම නිසයි. අදටත් සඟවාගෙන සිටින පුස්කොලපොත් බොහොමයි. ඒවා මෙන්ම ඒ දැනුම සහිතව ඉන්න ඉතා සුළු පිරිස ආපසු සමාජය තුඅට ඇදගැනීමේ ක්‍රියාවලියක් ගැන ජාතික මට්ටමෙන් සිතිය යුතුයි. රහස් දැනුම භාවිත කරමින්, සාර්ථකව වෙදකම් කරමින්, දිනකට ශුද්ධ ආදායම ලෙස, රු ලක්ෂකට වඩා හොයන දේශීය වෛද්‍යවරුන් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. මෙසේ ඇත්තටම රහස් සඟවාගෙන ඉන්න අයත් ඇති, විචාරක. ඒ වගේම මේ භාවිතාව තුළ රහස් පිට නොදීම කියන එකට හැංගිලා බොරු කරන අයටත් ඉඩ පෑදෙන නිසා දෙගොල්ලෝ වෙන් කර ගැනීම අමාරු වැඩක්. මටනම් හම්බ වෙලා තියෙන්නෙම හොරු.

      Delete
  5. ඒකත් ඉකෝ ආර්ථික විද්‍යාවෙන්ම ඔබට පැහැදිලි කරන්න පුලුවන්නේ, ඇයි දැනුම රහස් ගබඩාවන් වෙන්නේ කියන එක..

    අපේ ගෙදරින් උදාහරණයක් ගත්තොත් අපේ අම්මගේ මහගෙදර තියන ඉඩමේ සෑහෙන කාලයක් තිස්සේ බෙහෙත් වලට ගන්න එක එක විදිහේ දේවල් තිබිලා තියනවා.. ඈත පළාත් වලිනුත් හොයාගෙන ඇවිත් තියනවා.. ඒත් අද අපේ පරම්පරාව ඒ එක ගස් ජාතියක් ගැනවත් වැල් ජාතියක් ගැනවත් දන්නේ නැ.. අපි දන්නේ අපේ අම්මගේ මතකය විතරයි..ඒ බෙහෙත් ගස් වෙනුවට දාස් ගනන් දීලා කඩෙන් ගත්ත විසිතුරු ගස් හිටවන පරම්පරාවක් තම අද ඒ ඉඩම් වල ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. //ඒකත් ඉකෝ ආර්ථික විද්‍යාවෙන්ම ඔබට පැහැදිලි කරන්න පුලුවන්නේ, ඇයි දැනුම රහස් ගබඩාවන් වෙන්නේ කියන එක.//
      මෙය 'ෆ්‍රී රයිඩින්' ප්‍රශ්නය සඳහා වන අකාර්යක්ෂම විසඳුමක්. පේටන්ට් ක්‍රමය වඩා කාර්යක්ෂමයි. වෙනස තියෙන්නේ පේටන්ට් ක්‍රමය යටතේ 'රහසේ' අයිතිකාරයාට එහි වාසිය ලැබෙන අතරම ඒ වාසිය වෙනත් අයටත් ලැබීමයි.

      Delete
  6. ලෙඩාගේ විතරක් නෙමේ අනිත් අයගෙත් ඇස් ඇරවලා නේද මද්දුං අප්පෝ....බෙනට්ලා ගස් වැල් ගැන හොයන්න ගන්නෙත් ඔය වගේ දේවල් නිසා වෙන්න පුළුවන්...

    ReplyDelete
  7. //එවැනි දැනුමක් ඇත්නම් එය අද ඇති බටහිර වෛද්‍ය විද්‍යා දැනුමට සාපේක්ෂව වටිනා දැනුමක්ද යන්න තීරණය කළ හැක්කේ ඒවා රහසිගතව තබා ගැනීමෙන් නොව නිසි පර්යේෂණයන් කෙරෙහි යොමු කිරීම මඟිනි. //
    ජයවේවා..!!

    ReplyDelete
  8. ජේ ඩබ්ලිව් බෙනට් හොඳ චිත්රශිල්පියෙක්.
    1828-30 කාලේ ගාල්ලේ (උප) දිසාපති වෙලා ඉන්න කාලේ ඇඳපු මාළුන්ගේ චිත්‍ර පොතක් තියෙනවා.
    චිත්රේ අවුට් ලයින් එක ඇඳලා අතින් පාට කරලා තියෙන එකක්.
    එංගලන්තේ නැචුරල් හිස්ට්‍රි මියුසියම් එකකින් ඔරිජිනල් එකක් ගෙනත් ලංකාවේ WHT Publications එකෙන් රිප්‍රින්ට් කළා කලකට ඉස්සර, ලිමිටඩ් කොපි ගානක් තමයි ගැහුවේ. සමහරවිට ඕනේ කෙනෙකුටනම් කොපියක් හොයාගන්නත් පුළුවන් වේවි.
    මම බෙනට්ගේ ඔරිජිනල් පොත දැකල තියෙන, හරිම ලස්සනයි. ඩීටෙල් කියල වැඩක් නෑ. ඉස්තරම්!

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.