Saturday, December 26, 2015

රැල්ල

මම හොඳටම වකුටු වී දෙකට තුනට නැමී සිටියෙමි. මට කෙළින් විය නොහැකිය. මම දණහිස් බදාගෙන අමාරුවෙන් හුස්ම ගත්තෙමි. වරෙක හුස්ම හිරවෙන්නට යයි. සිරුර හොඳටම තැලී පොඩිවී ඇත. කටේ වැලි පිරී ඇත. කහින විට ලේ පිටවේ. කොයිතරම් කෙළ ගැසුවත් කටේ ලුණු රස එසේමය. සිරුර හොඳටම බර ලෙසක් දැනේ. "මේ කලිසං කෑලි වල බර වෙන්න ඕනෑ" මම සිතුවෙමි. මම ඒවා ඉරා දැම්මෙමි.

එතකොට අර රැළි වලට මොකද වුණේ? මා අවට හැමතැනකම වතුර පිරී ඇතත් වතුර නිසලය. රැල්ලක් නොනැඟේ. මේ විල්ද නැත්නම් කලපුවද?

මට කෙළින් සිටිය නොහැකිය. දෙපා මඩේ එරී ඇත. මම මේ දකින්නේ සිහිනයක්දැයි සිතමින්, එසේ නොවන බව හොඳාකාරවම දැන සිටියත් ඒ බව සහතිකේටම පිළිගන්නට බයෙන්, ඈත, පේනතෙක්මානය දිහා, ඔහේ බලා සිටියෙමි. අවට සිටි සියල්ලන්ටම සිදු වී ඇති දෙය කුමක්දැයි සිතන්නට මා පෙළඹුණේ මේ වෙලාවේදීය. එතකොට මේ හැමෝම මැරිලද? එහෙම වෙන්න ඇති. ඔවු, මේ හැමෝම මැරිලා!

***

1964 දී උපන් ස්ටීවන් ලිසන්බර්ග් හැදී වැඩුණේ සහ පාසල් ගියේ නැගෙනහිර ලන්ඩනයේ ඉල්ෆඩ් ප්‍රදේශයේය. පාසැල් අධ්‍යාපනය නිමා කර, ආර්ථික විද්‍යාව හැදෑරීම සඳහා කේම්බ්‍රිජ් සරසවියට ඇතුළු වූ ඔහු එහිදීද දක්ෂ සිසුවෙකු ලෙස කැපී පෙනුණේය. සිය ප්‍රථම උපාධිය ලබා ගැනීමෙන් පසු පස්වසරක් ගුරු වෘත්තියේ නියැළුණු ස්ටීව් නැවතත් අධ්‍යාපනය කෙරෙහි යොමු විය. පළමුව වොරික් සරසවියෙන් කාර්මික සම්බන්ධතා පිලිබඳව පශ්චාත් උපාධියක් උපයාගත් ඔහු ඉන් අනතුරුව ආර්ථික විද්‍යාව පිලිබඳ ආචාර්ය උපාධියක් සම්පූර්ණ කිරීම සඳහා නැවතත් කේම්බ්‍රිජ් සරසවියට ඇතුළත් විය.

ආචාර්ය උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව 1997දී ස්ටීව් ලාභ-නොලබන ස්වාධීන පර්යේෂණ ආයතනයක් වන පොදු ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනයට (Institute for Public Policy Research) සම්බන්ධ විය. විශේෂයෙන්ම ආර්ථිකමිතික ආකෘති ප්‍රයෝජනයට ගැනීම සම්බන්ධව ඔහු සතු වූ කුසලතාවයන් හේතුවෙන් සහ විවිධ පර්යේෂකයින් සමඟ සහයෝගයෙන් පොදු අරමුණු වෙනුවෙන් කටයුතු කිරීමට ඔහු සතු වූ දක්ෂතාව හේතුවෙන් ඉතා කෙටි කලෙකින්ම ඔහුට මේ ආයතනයේ පර්යේෂණ කණ්ඩායමක ප්‍රධානියා ලෙස පත් විය හැකි විය.

ස්ටීව් විවාහ වූයේ ඔහුගේ කේම්බ්‍රිජ් පෙම්වතිය වූ, ශ්‍රී ලංකාවේ උපන්, සොනාලි දැරණියගල සමඟය. ඇයද ඔක්ස්ෆර්ඩ් ආචාර්ය උපාධිධාරිනියකි. ඔවුන්ගේ කැදැල්ලට කුරුළු පැටවුන් දෙදෙනෙකු එකතු වී සිටියහ. 2004 දෙසැම්බරය ගත කිරීමට ස්ටීව්, සොනාලි සහ දරු දෙදෙනා ලංකාවට පැමිණෙන විට වැඩිමල් වික්‍රම්ගේ වයස අවුරුදු අටකට කිට්ටුව තිබුණේය. මල්ලි ලෙස කවුරුත් හැඳින්වූ නිඛිල්ගේ වයස අවුරුදු පහකි. ලංකාව ඔවුන්ට නුපුරුදු තැනක් නොවීය. 2004 නත්තල සැමරීමට ඔවුන් තෝරා ගත්තේ යාල අභය භූමිය අසල පිහිටි නිවාඩු නිකේතනයකි. සොනාලිගේ දෙමවුපියන් ඇතුළු තවත් අය ඔවුන් හා එක්ව සිටියහ.

ජීවිතය අස්ථිරය. එක් නිමේෂයකින් බොහෝ දේ වෙනස් විය හැකිය. මෙයට හරියටම වසර එකොළහකට පෙර ජීවිත ලක්ෂ ගණනක් බිලිගත් සුනාමියට අසුවුණු සොනාලිට ඉතා පුදුමසහගත ලෙස දිවි ගලවාගත හැකි විය. එහෙත්, ඇගේ සැමියා, දරු දෙදෙනා මෙන්ම දෙමවුපියන්ද මේ සුනාමියට බිලි වූහ.

මෙවැනි තත්ත්වයට මුහුණ දුන් අයෙකුගේ මානසික තත්ත්වය අමුතුවෙන් විස්තර කළ යුතු නැත. මේ සිදුවීමේ කම්පනයෙන් මිදෙන්නට සොනාලිට පහසු වූයේ නැත. සොනාලි කිහිප වරක්ම සිය දිවි නසා ගැනීමට තැත් කළාය. මත්පැනින් මතකය පොඟවා දියකර දමන්නට තැත් කළාය. අවසානයේදී, කෙසේ හෝ ජීවිතයට මුහුණ දීමට ඇය අදිටන් කරගත්තීය. සොනාලි තුළ වූ ලේඛිකාව අවදි විය. ඈ ඇගේ අත්දැකීම් අකුරු බවට හැරවීය. 2013 වසරේදී පළවුණු වඩාත්ම ජනප්‍රිය පොත් අතරින් එකක් වූ ඇගේ සම්මානලාභී කෘතිය බිහි විය.

රැල්ල (Wave) නම් වූ  කඳුළු කතාව මේ නූතන පටාචාරාවගේ ථෙරී ගාථා සමුච්ඡයයි.

***

ඔවුන් නැතුව මම කුමක් කරන්නද? මම සිතුවෙමි. තවමත් මා හුස්ම ගන්නේ අමාරුවෙනි. මගේ සිරුර මටම වලංගු නැත. එය මඩේ ලිස්සා යයි.

කිසියම් පිරිසක් කෑගසන හඬ ඇසේ. මුලින්ම ඈතිනි. පසුව ලඟිනි. ඒ සිංහලෙන් එකිනෙකා සමඟ උස් හඬින් කතා කරන මිනිසුන් කණ්ඩායමකි. ඔවුන්ට මා නොපෙනේ. මට ඔවුන්ව නොපෙනේ.

"මුහුද ගොඩ ගලලා. මහසෝනා ඇවිල්ලා.." අයෙක් කෑගසයි. මුහුද ගොඩ ගලලලු. මහසෝන ඇවිල්ලලු. මහසෝනා!

මම මේ වචනය දැන සිටියෙමි. ඒත් මොහු මේ කියන්නේ කුමක්ද? මා මේ වචනය අවසන් වරට අසා තිබුණේ කුඩා කළ අපේ නිවසේ විසූ මෙහෙකාරිය යක්කු සහ පෙරේතයින් ගැන කතා කියා දුන් කාලයේදීය. මහසෝනා යනු කනත්තේ යක්ෂයාය. කෙතරම් අවුල් සහගතව සිටියත් මට යමක් තේරුම් ගියේය. කුමක් නමුත් අතිශය භයානක සිදුවීමක් සිදුවී තිබේ. අවට හැමතැනකම පෙනෙන්නේ මරණයයි. මේ මිනිසුන් කෑගසන්නේ ඒ නිසාය.

"කවුරු හරි පණ පිටින් ඉන්නවනම් කතා කරන්න. දැන් වතුර බැහැලා. අපි ඇවිත් ඉන්නේ උදවු කරන්න."

මගෙන් හඬක් තබා කෙඳිරිල්ලක් හෝ පිටවුණේ නැත. ඒ තරමටවත් පණක් මගේ සිරුරේ ඉතිරිව නැත.

"මාව බේරගන්න. මාව ගහගෙන ගියා."

ඒ ළමයෙකුගේ හඬකි. හඬ නැඟූ ළමයා සොයමින් මිනිසුන් මා සිටි තැන කිට්ටුවට එනු මට ඇසුණේය. මම වකුටු වී මගේ දණහිස් වටා දෑත් යවා බදාගෙන නිහඬව සිටියෙමි.

මා දුටු ඔවුහු ඉක්මන් ගමනින් මා වෙත පැමිණියහ. ඔවුන් මට කතා කළත් මම පිළිතුරක් නොදුන්නෙමි. මා කඩිනමින් ඔවුන් සමඟ පැමිණිය යුතු බවත්, නැවතත් රැල්ලක් පැමිණිය හැකි බවත් ඔවුහු පැවසූහ. මම කිසිවක් නොපවසා හිස දෙපසට වනමින් ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළෙමි.

මම දැඩි ලෙස විඩාපත්ව සිටියෙමි. ඒ නැතත්, මගේ කොළු පැටවුන් දෙදෙනා නොමැතිව මා කොහේ යන්නද? ඔවුන් කෙසේ හෝ බේරී ඇත්නම්? ඔවුන් මේ ළඟපාතකම සිටීමට පුළුවන. මට ඔවුන් තනිකර යා නොහැකිය. නමුත්, මේ කිසිවක් හඬ නඟා කීමට මට නොහැකි විය. ඔවුන් ගැන සොයා බලන මෙන් මේ මිනිසුන්ගෙන් ඉල්ලා සිටින්නට මට නොහැකි විය. අප සියල්ලන්ම ජීප් රථයෙන් පිටතට විසිවී වතුරට වැටුණු බව මට ඔවුන්ට කිව නොහැකි විය. මා එසේ කීවොත් මා දකින මේ සියල්ල යථාර්තයක් බවට පත්වේ. මට අවශ්‍ය වන්නේ මේ සියල්ල සිහිනයක් බව සිතන්නටය.

පිරිස නොඉවසිලිමත් වූහ. ඔවුහු ඔවුනොවුන් හා සාකච්ඡාවකය. ඔවුන්ට මා මෙහි අතහැර දමා යා නොහැක.

"ඒත් අපි මෙයාව මේ විදිහට ගෙනියන්නෙ කොහොමද?" එක් අයෙක් විමසයි. "හරියකට ඇඳුමක්වත් නැතුව"

මොකක්? මම සිතුවෙමි. අයෙක් ඔහුගේ කමිසය ගලවා මගේ ඉන වටා එතුවේය.

(Images: rubinmuseum.org and contrary-mom.com)

27 comments:

  1. ලංකාවේ සුනාමි හානිය වාර්තා කිරීමේදී ජාත්‍යන්තර මාධ්‍ය සිංහලයන්ව නොසලකා හැරීමට කටයුතු කලා. විශේෂයෙන්ම ඡායාරූප පලකිරීමේදී හැමවිටම ප්‍ර‍ධාන ඡායාරූපය විදියට දෙමළ මිනිසුන් සිටින ඡායාරූප යක් තමයි පලවුනේ.
    මේකත් හරියටම ආතර් සී ක්ලාක් ගේ විද්‍යා ප්‍ර‍න්ධවල ලංකාව නිරූපනය කල ආකාරයට සමානයි.

    ReplyDelete
    Replies
    1. සුනාමි බොර දියේ මාළු බෑමේ ක්‍රීඩාව!

      Delete
    2. ජගත් පතිරණගේ අදහස් දැක්වීමේ ඇත්තක් තියෙනවා.කතෝලික පූජක වරු සහ ක්‍රිස්තියානි දේවගැති වරුන්ගේ සහන සේවාවන් තමයි ඉස්මතු කර ප්‍රචාරය කලේ. ලංකාව ලතින් ඇමරිකන් රටක හැඩයටයි ඔවුන් පෙන්වා දුන්නේ.

      Delete
    3. ජගත් පතිරන කියන එක ඇත්ත. ඔහොමම දෙයක් වුනා 2000 දිත්. 2000 දි නව සහශ්‍රකය උදාවීම සමරන එකටත් ලංකාවට ලැබුනෙ තත්පර කීපයයි.ඒකටත් කතෝලික පූජකයෙක් ආශීර්වාද කරන හැටි පෙන්නුවා. වෙන මොකුත් නෑ. ඔය ආයතනවල ඉන්න ඒ ආගම්වල අය තමයි ඔය වැඩ වලට මුල් වෙන්නෙ.ඒ වැඩේ වැරදියි. රටක අනන්‍යතාවය විකෘති කිරීමක්.

      Delete
  2. බොහොම ස්තූතියි. කියවීමෙන් පසු ගූගල් කල විට ඇය ලිවූ පොතේ සාරාංශය හමුවුනා

    ReplyDelete
    Replies
    1. සුනාමියෙන් පසු ආසන්නම සිද්ධි තියෙන්නේ මුල් පරිච්ඡේද කිහිපයේ පමණයි. ඉන්පසුව තියෙන්නේ ඇය ජීවිතයට මුහුණදුන් ආකාරයයි.

      Delete
  3. හරීම අනුවේදනීයයි!

    ReplyDelete
    Replies
    1. මෙහි පසු කොටස් මෙයටත් වඩා අනුවේදනීයයි.

      Delete
  4. සුනාමියට හසුව අඩි තිහක් විතර උස ගසක රැඳී ජීවිතය බේරා ගත් නමුත් ඇඳිවත හැර සියල්ලම මුහුදට ගසා ගෙන ගිය මගේ නැන්දා ඇතුළු පවුලේ උදවිය සොයා ගෙන දෙසැම්බර් විසිහත උදේ මළමීනි උඩින් පනිමින් පයින්ම මාතර ගිය හැටි මතක් උනා.ගාල්ල බස් නැවතුමේ වතුර පාරත් එක්ක මුහුදට යද්දි අනේ අපිව බේර ගන්න කියපු සහෝදරියො ටිකත් මතක් උනා. ඒ කඳුළු විකුනං කාල අද රජවරු වගේ ඉන්න අමනයින්ගේ අම්මලාවත් මතක් කලා.

    ReplyDelete
    Replies
    1. මේ වගේ කණගාටුදායක සිදුවීමකින් පසුවත් වාසි ලබාගත් අය ගොඩක් හිටියා.

      Delete
  5. නූතන පටාචාරාවගේ ථෙරී ගාථා සමුච්ඡය

    ReplyDelete
    Replies
    1. පටාචාරාවට ඉතා ඉක්මණින් හොඳ මානසික ප්‍රතිකාරයක් ලැබුණා. සොනාලිට ඇගේ තුවාල සුවකරගන්න ඊට වඩා කලක් යනවා. ඒ අතර ඒ තුවාල කිහිප වර නැවත පෑරෙන අවස්ථා තියෙනවා.

      Delete
  6. අදටත් දිගු සුසුම් හද පුරවන අතීතය..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔවු, ගස් ලබ්බ. මේ සිදුවීම අපට ජීවිතය ගැන ගොඩක් පාඩම් කියා දුන් අවස්ථාවක්.

      Delete
  7. සුනාමිය නිසා, මට මගේ එකකුස උපන් සහෝදරයකුත් ඔහුගේ එකම පුතාත් අහිමි වුණා. ඒ පුතාට මම රසකැවිලි මිසක් වෙන් තෑගී අරන් දී නැහැ. නමුත් ඒ දරුවාගේ මිනියට අන්දන්න ඇඳුමක් මටම මිලදී ගන්න සිදුවුණා. එතනින් එහා දේවල් කියන්න බැහැ. ගිනි ගුලියක් උගුරේ හිරවෙනවා වගේ දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවකට අපට සම්මන්ත්‍රණයකදී වගේ තැනකදී හමු වී අඳුනාගන්න කෙනෙක් සමඟ සුහදතාවය වර්ධනය කර ගැනීම සඳහා අපේ දරුවන් ගැන කතා කරනවා. නැත්නම් දරුවන්ගේ වයස ගැන අහනවා. මේ වගේ සරල ප්‍රශ්නයක් වුණත් කෙනෙකුට කොයිතරම් වේදනාකාරී ප්‍රශ්නයක් විය හැකිද කියන එක තේරෙන්නේ සොනාලිගේ පොත කියෙවුවහම. ඒ වගේම, මැදි විය ඉක්මවපු වෘත්තීය ක්ෂේත්‍රයක තැනකට ආපු කාන්තාවක් තමන්ගේ විවාහක තත්ත්වය තනිකඩ කියා කියපුවහම අපේ ඔළුවේ මැවෙන්නේ තරමක් එක විදිහක චිත්‍රයක්. පවුල් ජීවිතය ගැන වැඩි හැඟීමක් නැති රැකියාවෙන් ඉහළට යාමම අරමුණු කරගත් කෙනෙක් වගේ අදහසක්. ඒ වුණත් ඇත්ත කොයි තරම් වෙනස් විය හැකිද? මෙතනම තියෙන කමෙන්ට්ස් කිහිපයක් බැළුවහම සොනාලි මුහුණ දුන් ආකාරයේ අත්දැකීම් ලබපු අය කොයිතරම්ද කියලා හිතාගන්නත් අමාරුයි.

      Delete
  8. අපි කාටත් කළුම කළු අත්දැකීම් සුනාමිය නිසා තියෙනව. මේ මම වරක් ලිව්ව වගේ කතාව. ආයි මම සුනාමිය ගැන නොලියන්න හිතුව පස්සෙ දැක්ක සමරහ දේ නිසා.

    http://upashantha.blogspot.ae/2010/12/blog-post_26.html

    ReplyDelete
    Replies
    1. ඉන්දික, ඔබේ කතාවත් හරිම සංවේදීයි. සොනාලිගේ පොත කියෙව්වහම මතක් වෙන එක දෙයක් තමයි අපි එදිනෙදා දකින, හමුවෙන, අප සමඟ හිනා වෙලා කතා කරන මිනිස්සුන්ගේ ජීවිත වල අපට නොපෙනෙන කොයිතරම් වේදනාබර දේවල් තිබිය හැකිද කියන කරුණ. ඔබේ වගේම උඩින් ඇති විචාරකගේ කමෙන්ට් එකත් ඇස් පනා පිට නිදසුන්. සුවකළ නොහැකි පිළිකා වැලඳී මාස ගණනකින් මිය යාමට නියමිත ඒත් බැලූ බැල්මට ඉහෙන් බහින රෝගයක් නොපෙනෙන අය මට හමුවී තිබෙනවා.

      Delete
  9. සඳ තරණය කලද, පිටසක්වලට පණිවිඩකරුවන් යැවූවද, අඟහරු මත ගවේෂණයෙහි යෙදෙන කියුරියෝසිටි ආදී රෝවරා මෙහි සිට පාලනය කලද, ස්වභාව ධර්මයට මිනිසා තවමත් තමන්ට රිසි පරිදි රිසි මොහොතක තලාපෙලා දැමිය හැකි කුරා කුහුඹුවකු පමණකි. අප ස්වභාව ධර්මයා තම අණසකට නතුකොට ගැන්මට දරණ අනවරත ප්‍රයත්නයට තම ප්‍රතිචාර ලෙස ස්වභාව ධර්මයා විරින් විට මිනිසා කොපමණ නොවැදගත් අසරණයකුද යන්න අපට සාහසික ලෙස මතක් කොට දෙයි.

    2004 දෙසැම්බර් 26 දින සිදුවූයේද තවත් එවන් සිහිකැඳවීමක් පමණි.

    ReplyDelete
    Replies
    1. රවියයියා,
      +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
      (කී දෙනාටද ඕක තේරෙන්නෙ?)

      Delete
  10. ඉතාම සංවේදී කතාවක්...
    සුබ නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබ නව වසරක්, මහේෂ්!

      Delete
  11. හිත කීරි ගැහුනා.නූතන පටාචාරා..පොත හොයාගෙන කියවන්න ඕන.ඔත්තුවට පිං

    ReplyDelete
  12. මම ගොඩක් දුකෙන් කියවපු පොතක් :(

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.