Wednesday, March 23, 2016

කපුටාගේ කැත කපුටාගේ ප්‍රශ්නයක් නොවේ!


කපුටා කළුය. කැතය. මොණරා ලස්සනය. පාට මහ ගොඩකි.

"එයාට තියෙන පාට ගනින්න මගේ මේ ඇ‍ඟේ තියෙන පිහාටු මදි. ඒ තරමට එයාගේ පිහාටුවෙන් පිහාටුවට එක එක පාට!” මොණරා ගැන කපුටා මෙසේ හිතනවායැයි අපි සමහර වෙලාවට හිතමු.

කපුටා හිතන විදිහ ගැන අපට හිතා ගන්නට නොහැකිය. ඒ නිසා අපට කළ හැකි හොඳම උපකල්පනය වන්නේ කපුටාත් අපි හිතන විදිහටම හිතන බව හිතීමයි.

කළු පාට කැත බව අපට කියන්නේ අපේ මොළය බව අපි බොහෝ දෙනෙකු දනිමු. ඇතැම් වෙලාවට කළු දැකුම්කළු වන බවත් අපි දනිමු. ඒ වගේම, කතාවල කෙසේ වුවත්, කපුටන් අපි මෙන්ම හිතන බව අපි බොහෝ දෙනෙකු ඇත්තටම නොහිතන්නෙමු.

මොණරාගේ ලස්සන ගැන කපුටා හිතන්නේ කෙසේවුවද, 1970 පමණ දක්වා ස්වභාව විද්‍යාඥයින් පවා සිතුවේ කපුටාට මොණරාව පෙනෙන්නේ අපට පෙනෙන ලෙසටම කියාය.

මොණරාගේ පිල් කළඹේ නැති පාටක් හෙවීම අමාරු වෙද්දී කපුටා කළුම කළු වුනේ ඇයි?

මොණරාගේ පිල් කළඹේ වැදී පරාවර්තනය වන විද්‍යුත් චුම්භක තරංග වලින් නැනෝමීටර 400 සිට 700 දක්වා තරංග ආයාමයක් ඇති විද්‍යුත් චුම්භක තරංග අපේ ඇස් වල කාච මඟින් පෙරා දෘෂ්ඨි විතානය මත ප්‍රක්ෂේපණය කරයි. මේ පරාසයෙන් පිටත ඇති අධෝරක්ත හා පාරජම්බුල පරාස වල විද්‍යුත් චුම්භක තරංග වලට එසේ අපේ ඇස් වල කාච විනිවිදින්නට නොහැකිය.

අපේ ඇස් වල ඇති කේතු සෛල වර්ග තුන මේ පරාසයේ වෙනස් තරංග ආයාමයන්ට වෙනස් ලෙසින් සංවේදී වේ. මේ වෙනස්කම් හඳුනාගන්නා අපේ මොළය විසින් කේතු සෛල මඟින් ලබා දෙන වෙනස් සංඥා වෙනස් වර්ණ ලෙස හඳුනා ගනී. ඒ නිසා මොණරාගේ පිල් කළඹ අපට වර්ණවත්ව පෙනේ.

මේ අයුරින්ම කපුටාගේ පියාපත් වල වැදී පරාවර්තනය වන විද්‍යුත් චුම්භක තරංගද අපේ ඇස වෙත පැමිණේ. එහෙත්, මෙසේ පැමිණෙන විද්‍යුත් චුම්භක තරංග වල තරංග ආයාමයන් නැනෝමීටර 400 සිට 700 දක්වා පරාසයෙන් පිටතනම් ඒවාට අපේ ඇසේ කාච විනිවිදිය නොහැකිය. එසේ විනිවිද පැමිණියද, අපේ ඇස් වල කේතු සෛල උත්තේජනය කිරීමට තරම් තීව්රතාවයක් නැත්නම් මොළයට සංඥාවක් නොලැබේ. අපේ ඇස් වල කේතු සෛල හෝ යෂ්ඨි සෛල කිසිවක් උත්තේජනය කිරීමට කපුටාට නොහැකි නිසා අපිට කපුටාව කළු කැත සතෙක් ලෙස පෙනේ.

කපුටාට අපේ කේතු සෛල හෝ යෂ්ඨි සෛල කිසිවක් උත්තේජනය කිරීමට කිසිම උවමනාවක් නැත. කපුටාට අවශ්‍ය වන්නේ කපුටීගේ කේතු සෛල හා  යෂ්ඨි සෛල උත්තේජනය කිරීමටය. කපුටාට වැඩක් කර ගත හැකි වන්නේ එවිටය. එහෙමනම් කපුටා කපුටීව ආකර්ෂණය කරගන්නේ කොහොමද?

මෙහි ඇති ගැටළුව වන්නේ කපුටීට කපුටාව පෙනෙන්නේ අපට පෙනෙන ආකාරයේම කළු, කැත සතෙක් ලෙසද යන්නයි.

හෝමෝ සේපියන්ස්ලාගේ ඇස් වල තියෙන්නේ කේතු සෛල වර්ග තුනක් පමණක් වුවත් බොහෝ පක්ෂීන්ගේ ඇස් වල කේතු සෛල වර්ග හතරක් තිබේ. එමෙන්ම, හෝමෝ සේපියන්ස්ලාගේ අක්ෂි කාච විනිවිද නොයන පාරජම්බුල කිරණ වලට කුරුල්ලන්ගේ අක්ෂි කාච විනිවිද ගොස් උන්ගේ ඇස් වල ඇති පාරජම්බුල කිරණ වල තරංග ආයාමයට සංවේදී වන, අපට නැති  සිවුවන වර්ගයේ කේතු සෛල සංවේදී කරන්නට පුළුවන. මේ නිසා, එක් අතෙකින් අපට නොපෙනෙන තරංග ආයාම කුරුල්ලන්ට පෙනේ. අනෙක් අතින් අපට නොපෙනෙන වෙනස් වර්ණ ප්‍රභේද මිලියන ගණනක් කුරුල්ලන්ට පෙනේ.

චතුර්කේතුක දෘෂ්ඨියක් ඇති අයෙකු දකින ලෝකය ත්රිකේතුක දෘෂ්ඨියක් ඇති අයෙකුට කිසිදා තේරුම් ගත නොහැකිය. ඒකකේතුක, එනම් කළුසුදු, දෘෂ්ඨියක් ඇති අයෙකුට වර්ණ දෘෂ්ඨිය යනු කුමක්දැයි තේරුම් ගත නොහැක්කාක් මෙනි.

එක් කේතු සෛලයක සංවේදිතා මට්ටම් සියයක් ඇතැයි සැලකුවහොත් ඒකකේතුක දෘෂ්ඨියක් ඇති අයෙකුට වෙන් වශයෙන් හඳුනාගත හැක්කේ වර්ණ සියයක් පමණි. එහෙත්, ද්විකේතුක දෘෂ්ඨියක් ඇති අයෙකුට වර්ණ දසදහසක්ද, ත්‍රිකේතුක දෘෂ්ඨියක් ඇති අයෙකුට වර්ණ මිලියනයක්ද වෙන් වශයෙන් හඳුනාගැනීමට පුළුවන. චතුර්කේතුක දෘෂ්ඨියක් ඇති අයෙකුට වර්ණ මිලියන දහයක් වෙන් වශයෙන් හඳුනාගැනීමට පුළුවන. චතුර්කේතුක දෘෂ්ඨියක් ඇති අයෙකු දකින ලෝකය ත්‍රිකේතුක දෘෂ්ඨියක් ඇති අප බොහෝ දෙනෙකුට සිතාගන්නටවත් නොහැකි වර්ණවත් ලෝකයකි.


අපට පාරජම්බුල කිරණ දැකිය නොහැකි වුවත් විවිධ වස්තු වලින් පරාවර්තනය කරන පාරජම්බුල කිරණ වල තරංග ආයාම මැනීමේ හැකියාව තිබේ. කුරුල්ලන් සම්බන්ධව සිදුකර ඇති මේ ආකාරයේ පරීක්ෂණ තුළින් අපට කුරුල්ලන් දකින වර්ණවත් ලෝකය ගැන අදහසක් ලබාගත හැකිය. 

අප කළු පැහැයෙන් දකින බොහෝ කුරුල්ලන්ගේ පිහාටු වලින් අපට සංවේදී නොවන පාරජම්බුල කිරණ පරාවර්තනය කරයි. සිරුරේ තැන්තැන්වල ඇති පිහාටු වලින් මෙසේ පරාවර්තනය කරන්නේ සමාන තරංග ආයාම ඇති විද්‍යුත් චුම්භක තරංගම නොවේ. එමෙන්ම, ගැහැණු හා පිරිමි කුරුල්ලන්ගේ මේ රටාවන් සමානද නැත. මේ අනුව පැහැදිලි වන්නේ, අපට කළු කැත සේ පෙනෙන බොහෝ කුරුල්ලන් එසේ පෙනෙන්නේ අපේ ඉන්ද්‍රියයන්ගේ ඇති සීමාවන් නිසා බවයි. කුරුල්ලන්ගේ අපට නොපෙනෙන සැබෑ වර්ණ ඔවුන්ගේ ගැහැණු සත්තුන්ට පෙනේ.



මේ අයුරින්ම, අප සිතන්නේ ඇතැම් කුරුල්ලන් අනුන්ගේ කූඩු වල දමන බිත්තර ඔවුන්ට තමන්ගේ බිත්තර වලින් වෙන් කර හඳුනාගත නොහැකි බවයි. එහෙත්, බොහෝ විට අපට එක පාටින් පෙනෙන මේ බිත්තර ඔවුන්ට ඉතා පහසුවෙන් වෙන්කර හඳුනාගත හැකිය.

ඇතැම් විට අහසේ ඉතා ඉහළ පියාඹන මාංශභක්ෂක කුරුල්ලෙකු ක්ෂණිකව පහත් වී තණබිමක සිටින මීයෙකු ඩැහැගනී. එහෙත්, අපට එහි මීයෙකු සිටි බව නොපෙනේ. ඇත්තටම මේ කටයුත්ත කුරුල්ලාට ඉතා පහසු වැඩකි. අර මීයා තමන් යන මාර්ගය මුත්‍රා වලින් සලකුණු කරමින් යයි. මේ සලකුණු වලින් පරාවර්තනය කරන පාරජම්බුල කිරණ, අපට නොපෙනුණත්, ගොළුබෙල්ලෙකු ගිය පාර සටහන් වන අයුරින් පැහැදිලිව තණබිමේ සලකුණු වේ. මේ සලකුණ ඉතා ඉහළ අහසේ සිට වුවද පැහැදිලිව පෙනෙන නිසා ක්ෂණිකව පහත් වී මීයාව අල්ලාගැනීම පහසුවෙන් කළ හැකි දෙයකි.


කුරුල්ලන් නරඹන්නට යන අය සාමාන්‍යයෙන් පරිසරයේ පාටට කිට්ටු, කැමෆ්ලාජ් ඇඳුමක් ඇඳගෙන යාම පුරුද්දකි. එහෙත්, ඔවුන් නොදන්නා කරුණක් වන්නේ රෙදි වල ඇති සායම් වලින් මෙන්ම රෙදි සේදීමට යොදන ද්‍රව්‍ය වලින්ද අපට නොපෙනෙන පාරජම්බුල කිරණ පරාවර්තනය කර යවන බවයි. මේ නිසා අප කොතරම් හොඳින් කැමෆ්ලාජ් වී හිටියත් කුරුල්ලන්ට ඉතා පැහැදිලිව, වෙනස්ම පාට දෙකක් ලෙස ඈත තියාම පහසුවෙන් හඳුනාගත හැකිය. 

හෝමෝ සේපියන්ස්ලා බොහෝ දෙනෙකුට ඇත්තේ ත්රිකේතුක දෘෂ්ඨියක් වුවත්, පිරිමින්ගෙන් 8%කට පමණත් ගැහැණුන්ගෙන් 0.5%කට පමණත් ඇත්තේ ද්විකේතුක දෘෂ්ඨියකි. එමෙන්ම, කාන්තාවන් අතර චතුර්කේතුක දෘෂ්ඨිය ඇති අය සුළු ප්‍රතිශතයක්ද සිටිති. ඔවුන් දකින ලෝකය අනෙත් අය දකින ලෝකයට වඩා අතිශයින්ම වර්ණවත් ලෝකයකි. කෙසේවුවද, මෙවැනි කාන්තාවන් බොහෝ දෙනෙකු තමන්ට චතුර්කේතුක දෘෂ්ඨියක් ඇති බව නොදනිති. එයට හේතුව, අප ජීවත් වන්නේ ත්රිකේතුක දෘෂ්ඨියක් ඇති අය වෙනුවෙන් සැලසුම් කළ ලෝකයක වීමයි.

මෙය කියවන ඔබ කාන්තාවක්නම්, ඔබට පෙනෙන වෙනස් වර්ණ වෙනත් අයට වෙන් වශයෙන් හඳුනාගත නොහැකි බව කෙදිනක හෝ ඔබට සිතී ඇත්ද?


(Images: www.birdbgone.co, archives.evergreen.edu, atrl.net )

43 comments:

  1. ඇත්තටම කියන්නෙ
    පිස්සු හැදෙන ලිපියක්...

    . එයට හේතුව, අප ජීවත් වන්නේ ත්රිකේතුක දෘෂ්ඨියක් ඇති අය වෙනුවෙන් සැලසුම් කළ ලෝකයක වීමයි.//

    මේක පාටට විතරක් නෙවී සමාජයේ අපි ජීවත් වෙන අපි කර කියන බොහෝ දේ සම්බන්ධව අදාලයි නේද ඉකොනො...

    මං සාමාන්‍යෙයන් ඉකො ලියන ලිපි කියවනව. ඒත් දාන්ට අදහසක් නැති හිංදත් මොකක් හරි (මේ වගේ ගෝත කොමෙන්ටුවක්) කොටල යන්න බැරි හිංදත් නිකං යනව...
    මං හිතනව අවුලක් නෑ කියල

    ReplyDelete
    Replies
    1. කිසිම අවුලක් නෑ, මහේෂ්!

      Delete
  2. බැලුවාම අපි ඔක්කෝම කලර් බ්ලයින්ඩ් නේ.... පව් අර චෙෆාකිට විහිළු කරන්නේ....

    ReplyDelete
    Replies
    1. මීට පස්සේ විහිලු කරන්නෙපා හොඳේ...පව්නේ..!
      අර සැළළිහිනියාගේ (මයිනාගේද?) පොටෝ එකේ වම් පැත්තේ තියෙන කලර්ස් නම් මට පේන්නේ ඒ විදියටමයි...ඔයගොල්ලෝ කලු කියන්නේ අන්න ඒවගේ ලස්සන පාට ගොඩකට කියල ඉකොන් කියල දුන්නට තැන්කූ...!!!

      Delete
    2. ජෙන්ඩර් එක කෙසේ වෙතත් මාවත් ඔය චතුර්කෙතුක දෘෂ්ටි ගනයට තමා වැටෙන්නේ...

      Delete
    3. පිරිමින්ගෙන් 12කින් කෙනෙක් කිසියම් වර්ණ අන්ධතාවකින් පෙළෙනවා. මෙය ඉතාම සාමාන්‍ය තත්ත්වයක්. මේ ගොඩක් අය ඒ බව දන්නෙවත් නැහැ. ඒ වගේම ගැහැණුන්ගෙන් 2%කට පමණ චතුර්කේතුක දෘෂ්ඨිය හෝ එම දෘෂ්ඨිය අවදි කරගැනීමේ භෞතික හැකියාව තියෙනවා. ඒ අයට සාපේක්ෂව අනිත් හැමෝම වර්ණ අන්ධයි.

      Delete
  3. ඉතා හොද ලිපියක් ඉකෝ.. දන්නා දේ වගේම නොදන්නා දේද එකතු කොට නිමවු අගනා ලිපියකි.. ජය වේවා..

    අපි සාපේක්ෂව හිතන ගොඩක් දේ ඇත්ත නෙමෙයි කියල මම දැනගෙන ගොඩ කාලයක්.. වැඩිපුර ලියපු ටික මකල දැම්මා. නයෙක් වගේ වෙන නිසා.. හැක්

    ReplyDelete
    Replies
    1. ගණන් ගන්න එපා. නයින්ට අධෝරක්ත දෘෂ්ඨිය තියෙනවා.

      Delete
  4. ග්‍රේරෝ සර්ගේ ෆිසික්ස් පන්තිය මතක් උනා. අපූරු විස්තරයක් ඉකෝන්.

    //මෙය කියවන ඔබ කාන්තාවක්නම්, ඔබට පෙනෙන වෙනස් වර්ණ වෙනත් අයට වෙන් වශයෙන් හඳුනාගත නොහැකි බව කෙදිනක හෝ ඔබට සිතී ඇත්ද? // මට නිකමට හිතෙනවා අපි දන්නා ගොඩක් නෝනලා මේ කියන කැටගරි එකේ කියල :)

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් පිරිමින්ට වඩා කාන්තාවන්ගේ වර්ණ අවබෝධය තියුණුයි.

      Delete
  5. ඔයා කිව්ව The Thirteenth Floor බයිස්කෝප්පය බැලුවෙමි. මේ ගැන විදුසර පත්තරයේ ලිපියක්ද කියවා තිබුනි එහෙත් එහි නම අමතකවීම නිසා බැලීමට අතපසුවී තිබූ එකකි. මෙවන් වෙනත් චිත්තරපටිගැන දන්වන්න.

    ReplyDelete
    Replies
    1. Matrix ත්‍රිත්වය නම් බලල ඇතිනේ?

      Delete
  6. ඒ කියන්නේ අපි කළු වුණාට සමහර නෝනලාට අපිව වෙන වෙන ලස්සන පාටින් පේන්න පුළුවන්?

    ReplyDelete
    Replies
    1. තැඹිලි ගෙඩියට කපුටා වැහුවා වගේ කියන්නේ ඔය වගේ සීන් මැටීරියලයිස් වුනාම වෙන්න ඇති නේහ්... :D

      Delete
    2. එහෙම නෝනලව හොයාගන්නත් හොඳ පෙනීමක් තියෙන්න ඕනෑ. :)

      Delete
  7. තවත් අපූරු පෝස්ට් එකක්.ඉකොනොගේ දැණුම ග්‍ර‍හනය කරන සංවේදක වල විබේදන පරායාසය බොහොම ඉහලයි.

    හොඳම සෝපාහාසය bird watchers ලා ගැනයි,

    මම මා ගැන සෝපහාසයෙන්; බය්යෝ කොහොම ද ලෝකය අවබෝධකරගන්නේ?

    ReplyDelete
    Replies
    1. දැන් පක්ෂි නිරීක්ෂකයින්ට විකිණීම සඳහා පාරජම්බුල කිරණ අවශෝෂණය කරගන්නා ඇඳුම් නිපදවනවා.

      Delete
  8. මටත් කාලෙක් ඉඳන් තිබුන අන්ඩර ප්‍රශ්ණයක් තමා මම දකින පාට අනිත් අයත් ඒ පාටින්මද දකින්නේ කියන එක.. ඒ කියන්නේ මම නිල් කියලා දකින් පාට වෙන කෙනෙකුට රතු පාටින් පේන්න පුළුවන්ද ?

    අපි කළු කැතයි, සුදු ලස්සනයි වශයෙන් ගන්න පුරුදු වෙලා ඉන්නේ ඇයි ?

    ReplyDelete
    Replies
    1. ඔබ මා විසින් නොවැම්බර් මාසයේ පළ කළ ලිපි කියවන්න ඇතැයි කියා සිතනවා.

      Delete
    2. නෑනෙ... ඒ කාලෙ මම ඉකොනොමැට්ටෙක් ගැන දන්නෙත් නෑ...

      Delete
  9. ඔය කැරකෙන්නේ.... වචනයි.. තේරුමුයි.. ඒව අස්සෙ ආයේ ටොකු මලු පිටින් තියෙනවාද මංදා.. හෙහ් හෙහ්..
    ඔය කළු(?) පාට කුරුල්ලෙකුට හොඳට අව්ව වැටුනම දේදුනු පාටින් දිලිසෙනවා බලාගන්න පුළුවන්.. ඈ... ඒ කියන්නෙ අව්වට අපේ ඇහේ මක්ක හරි වෙනසක් වෙනව වද්ද? නැහ්නං ගශ්ලබ්බා කුරුල්ලෙක් වත් ද? හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මෙය ඉතාම හොඳ නිරීක්ෂණයක්, ගස්ලබ්බා. දැන් අපි කපුටෙක්ගේ පිහාටු ගත්තහම මොනරාගේ ඇති විවිධ පාට වලට අදාල තරංග ආයාම වැඩි වශයෙන් අවශෝෂණය කරගත්තත් ඒවායින් ටිකක් පරාවර්තනය කරනවා. ඒත් ඒ ටිකට අපේ ඇස් වල කේතු සෛල සංවේදී නැහැ. ඒ නිසා කපුටව කළුවට පේනවා. ඒත් හිරු එළියේ තීව්‍රතාවය ගොඩක් වැඩි වෙලාවට මේ අයුරින් ආලෝක තරංග මුළුමනින්ම වගේ අවශෝෂණය කර ගැනීම අපහසු නිසා වඩා වැඩි ප්‍රමාණයක් පරාවර්තනය වෙනවා. එතකොට අපට විවිධ පාට පේනවා. "අවුවට මගෙ දෑස නිලංකාර වෙලා" කියන්නේ මේ සිදුවීම.

      Delete
  10. මේ ලිපිය ඉතාමත් වැදගත් දෙයක් ගැන. ඔබට බොහොම ස්තූතියි. කවුද කිව්වා ඔබ පුරවන්නේ බ්ලොග් අවකාශයේ හිඩැසක් කියා. එයනම් 100% සත්‍යක්.

    ReplyDelete
  11. මේ ලිපිය කියවනකොට මට සිතුන දෙයක්. අදාලද මන්ද.
    අපට නොපෙනෙන පරාසයක දේවල් සතුන්ට පෙනෙනවද . බල්ලන්ට 20-20000 සීමාවට එපිටින් ඇහෙනව වගෙ. ඇත්තටම එහෙම නම් අපට නොපෙනෙන දේවල් සත්තු දකිනව ඇතිනේ. අනාගතයෙ මේව තාක්ෂනික උපකරනවලින් සොයාගනීවිද

    ReplyDelete
    Replies
    1. දැනටත් අපට සෘජුව ග්‍රහණය කරගත නොහැකි දේ අපි තාක්ෂනික උපකරණ මඟින් ග්‍රහණය කරගන්නවා.

      Delete
  12. Replies
    1. හාවුන්, බල්ලන්, පූසන් වැනි සතුන්ට තියෙන්නේ ද්වි-කේතුක දෘෂ්ටියක්. බොහෝ විට කොළ හා රතු පැහැදිලිව වෙන් කර හඳුනාගන්න බැහැ.

      Delete
  13. //කාන්තාවන් අතර චතුර්කේතුක දෘෂ්ඨිය ඇති අය සුළු ප්‍රතිශතයක්ද සිටිති.// අදමයි ඇහුවේ,
    ගොඩක් වටින කරුණු..

    ReplyDelete
    Replies
    1. වර්ණ අන්ධ පිරිමියෙකුගේ මව හෝ ගැහැණු සොහොයුරියකට චතුර්කේතුක දෘෂ්ඨියක් තිබීමට ඉඩ තියෙනවා.

      Delete
  14. Replies
    1. මගෙනම් තියෙන්නේ ඊට වඩා ගොඩක් කෙටිකාලීන සැලසුම්, රසික.

      Delete
  15. කපුටීට කපුටාව වෛවර්ණයෙන් පෙනේ නම්, මොනරාව ඊටත් වඩා ටෙරාවර්ණයෙන් නේද පේන්නේ?

    ReplyDelete
    Replies
    1. ඒක අනිවාර්යයෙන්ම එසේ වියයුතු නැහැ, රසික. හෝමෝ සේපියන්ස්ලාගේ වර්ණ සංවේදීතාවය එක් පරාසයකදී විශාල ලෙස වැඩිවෙනවා. උඩ රූපයේ කොළ හා රතු අතිපිහිත වන හරියේ. ඒ පරාසයේ තරංග ආයාම ඉතා සුළු ලෙස වෙනස් වුනත් අපට වෙනස් වර්ණ ලෙස පෙනෙනවා. කපුටන්ට එය එසේම විය යුතු නැහැ. එහෙත් එසේ වෙන්න ඉඩකඩ බොහෝ වැඩියි.

      Delete
  16. ඉකොනොමැට්ටාගේ තවත් වටිනා පෝස්ටුවක්.

    ReplyDelete
  17. https://www.jw.org/si/ප්‍රකාශන/මාසික-සඟරා/

    යෙහෙව්වන්ගේ පිබිදෙව් සඟරාවෙ අන්තිම පිටුවෙත් මේ වගේ ලිපි යනවා. ලිපියේ අන්තිමට අහනවා මේක අහඹු පරිනාමයක්ද? බුද්ධිමත් නිර්මාණයක්ද කියලා?

    ReplyDelete
    Replies
    1. ආගම් වල පරිණාමය දැනට සිදුවන ආකාරයේ පිළිබිඹුවක්.

      Delete
  18. වර්ණය කියන්නෙ ඇත්තටම මිනිස්සු සම්බන්ධයෙන් කිසිසේත් ම වැදගත් කාරණාවක් නොවෙයි.. වැදගත් වෙන්නෙ ගැහැණුන්ගෙ මිනිස්සුන්ගෙ අභ්‍යන්තරයයි..

    ReplyDelete
  19. වයිවර්ණ පැහැදිලි කිරීමක්.. කුරුල්ලන්ගේ කේතු ශ්යිල ගණන වෙනස් කියන එක ගැන මම දැන ගෙන හිටියේ නැහැ අද වෙනකම් ... පැහැදිලි කීරීමට ස්තුතියි.

    ReplyDelete
  20. ඒක නියම ලිපියක් ..නොදැන හිටි කරුණු රාශියක් ...

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.