වෙබ් ලිපිනය:

Saturday, February 27, 2021

තවත් කෝවිඩ් එන්නතක්!


අද තෙවන කෝවිඩ් එන්නතකටද ඇමරිකාව තුළ භාවිතය සඳහා අවසර ලැබුණා. ඒ ජොන්සන් සහ ජොන්සන් එන්නතයි. එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් වීම හා සාමාන්‍ය ශීතකරණයක ගබඩා කර තබා ගත හැකි වීම මේ එන්නතේ වාසි දෙකක්. එහෙත්, කලින් අනුමත වූ එන්නත් දෙකට වඩා මෙහි ඵලදායීතාවය අඩු වීම අවාසියක්.

මේ වන විට ඇමරිකානුවන්ගෙන් 14.6%ක් මුලින් අනුමත වූ එන්නත් දෙකකින් එකක පළමු මාත්‍රාව ලබා ගෙන තිබෙන අතර 7.1%ක් මාත්‍රා දෙකම ලබාගෙන තිබෙනවා. දැනට එන්නත්කරණය සිදු වන වේගය අනුව ඇමරිකානුවන් "අවශ්‍ය පමණ" එන්නත් කිරීම වසර අග දක්වාම කල් යා හැකියි. තෙවන එන්නතක් අනුමත වීම මෙය තරමක් ඉක්මන් කරන්නට ඉඩ තිබෙනවා.

ජනවාරි දෙවන සතියේ සිට ඇමරිකාවෙන් අලුත් කෝවිඩ් ආසාදිතයින් හමු වීම වේගයෙන් අඩු වුවත් සතියක පමණ සිට මේ අඩු වීම එක තැන නැවතීමක් පෙනෙන්නට තිබෙනවා. හිම කුණාටු නිසා එන්නත්කරණය අඩාල වීම හා අලුත් වෛරස් ප්‍රභේද පැතිරීම මෙයට හේතු වූවා විය හැකියි.

වසංගත රෝග විද්‍යාඥයින් කිහිප දෙනෙකුගේම අදහස කෝවිඩ් වසංගතය පාලනය වනු ඇතත් එය තුරන් නොවී සැමදාම අප සමඟ පවතිනු ඇති බවයි. ඒ අනුව, වාර්ෂිකව හෝ වසර කිහිපයකට වරක් කෝවිඩ් එන්නතක් ලබා ගැනීමට සිදු විය හැකියි.

අපේ ප්‍රාන්තයේ එන්නත් ලබා දීම සිදු වන්නේ වයස මත පදනම්වයි. මුලින්ම සෞඛ්‍ය අංශ වල සේවය කරන්නන්ට හා ආරක්ෂක අංශ වලට එන්නත ලබා දීමෙන් පසුව වයස 80 ඉක්මවූ අයට එන්නත ලබා දුන්නා. ඉන් පසුව, පිළිවෙලින් වයස 75, 70 හා 65 සම්පූර්ණ කළ අයටද එන්නත ලබා ගැනීමේ අවස්ථාව හිමි වුනා. වයස අවුරුදු 68ක් වන අපේ ප්‍රාන්තයේ නියෝජ්‍ය ආණ්ඩුකාරවරිය ඊයේ ඇගේ එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගත්තා.

කෝවිඩ් මර්දන වැඩ සටහන හා එන්නත්කරණය සම්බන්ධ තීරණ ගන්නේ විශේෂඥ කමිටුවකින් සමස්ත හානිය අවම කිරීමේ පදනම මතයි. කෝවිඩ් ආසාදනය බරපතල වී රෝහල් ගත වීමේ හා මිය යාම සම්භාවිතාව වයසට සමානුපාතික නිසා වයස මත ප්‍රමුඛතාවය ලබා දීමට කමිටුව තීරණය කර තිබෙනවා.

සෑම බදාදා දිනකම ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා මේ කමිටුවද සමඟ ප්‍රාන්තයේ තත්ත්වය හා තීරණ දැනුම් දෙනවා. මේ සතියේ සිට වයස අවුරුදු 60 ඉක්මවූ අයටද එන්නත ලබා ගැනීමේ අවස්ථාව හිමි වෙනවා. එම වයසට පැමිණ නැති ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා විසින් තවමත් එන්නත ලබාගෙන නැහැ.

27 comments:

  1. එකොනෝ, ඔබට ඇනෝලා එවා තිබුණ බියසුළු තර්ජනයන් සහ ඊට ඔබේ ප්‍රතිචාරයන් දැක්කේ පසුවටයි. මේ කෙටි සටහන ඒ වෙනුවෙනි.

    නපුරු කුඩම්මා , කැඩපතට මිටියෙන් ගසනවා කියා බියපත් කලාට හිම කුමරිය මිය ගියේ නැත.


    ලංකාවේ නූතන බයියන් දැන ගත යුතු මූලිකම කාරණයක් තමයි අප කොපමණ  අකමැති වුනත් ලංකාව , දැන් ලෝකයේ ශිෂ්ඨත්වය පෙරට දැමීමට වෙර දරන ජාතීන් ඉදිරියේ දෙකේ කොලේට වැටී අවසන් බව. මා එසේ කියන්නේ ආනුභවිකවයි. ලන්ඩන් අජිත් වරක් විස්තර කල ලෙසට ඔහුට  ජර්මනියේ දී තම 'dirty red'/ කුණු ලේ පාට ගමන් බලපත්‍රය නිසා සිදුවූ හදිය අප රට ගැන ⁣විදේශයයන් දරන මතය ගැන අදහසක් ගන්න හොඳ උදාහරණයක්. දැන් වුනත් ලංකාවෙි බයියකු ලංකාවේ ගුවන් ගමන් බලපත්‍රයක් සහිතව යුරෝපයට, උතුරු ඇමරිකාවට හෝ ඕෂනියා පැත්තට යන්න හැදුවොත් මේ වාගේ තත්ත්වයකට මුහුණ දෙන්න වේවි. තනියම යන්න හදනවා නම් තත්ත්වය තවත් දරුණුයි.

    1/5

    ReplyDelete
  2. නමුත්, අප රටට මරණීය අපහාසයන් ගෙන දෙන මේ සංස්කෘතික, දේශපාලනික සහ ආර්ථික විනාශය එක්තරා අනුුක්‍රමණයක් ඔස්සේ සිදුවූ දෙයක් මිස එක පාරටම සිදුවූ දෙයක් නොවේ. නමුත් රාජපක්ෂලා ඒ විනාශය එක්තරා ත්වරණයකින් ඉදිරියට ගෙන ගිය බව තමයි පෙනෙන්නට තියෙන්නේ. ගණන් හිලවු ඇතිව ඉකො⁣නෝ මේ විනාශයේ ඉතිහාසය, වර්තමානය සහ අනාගතය පුරෝකතනය කරමින්  පෙන්වා දෙන විට ඉකොනොගෙන් ලාබ ගේම් ඉල්ලන්⁣න කට්ටිය දැන් පෙරට එන්නේ හේතු කිහිපයක් නිසා. මට දැනෙන සහ හේතු කිහිපයක් මෙසේයි:

    1. එකොනෝ කෙරෙහි ඇති පැහැදිලි, පට්ට ඊරිසියාව- මේක නෛසර්ගිකවම ලාංකිකයාගේ ගුණාංගයක්. මෙයට ඇති එකම බෙහෙත  පැණි  බෙහෙතක් පමණි!
    ඔහු විදුලි ඉංජිනේරුවකු , ආර්ථික විද්‍යාඥයකු සහ Statistician කෙනකු ලෙස පැහැදිලි  සාර්ථකත්වයක් පෙන්වීම.

    2.ධනවාදයේ උච්චතම අවධියක් වන අධිරාජ්‍යවාදය,  අතේ ඇඟිලිවලින් අල්ලා නවත්වන්න පුලුවනි කියා හිතන වාරියපොල සුමංගල භික්ෂූන් ගේ වර්තමාන set එක වන අබසරණ භික්ෂූ මාදිලියේ   සිංහල බෞද්ධ (සිබ) චන්ඩිකම-

    ඇතැම් විට මේ චන්ඩීන්ව එකොනෝ පුද්ගලිකව දන්නවා  හෝ මේ සිබ චන්ඩි එකොනෝව දන්නවා ඇති.

    2/5

    ReplyDelete
  3. 3. ඉකොනෝ හට, නලින් ද සිල්වාට මෙන් කැපී පෙනෙන අතිරික්ත කාලයක් තිබීම.- මෙමඟින් පෙන්වන්නේ ඉකොනෝ තම ජීවිකාව පිණිස වැඩ කරන පැය ගණන අඩු බවය. එනම් ඔහුගේ ජීවන තත්ත්වය සහ මිලදී ගැනීමේ හැකියාව ඉතා ඉහල බවය. එමඟින් ඔහුට ලංකාවේ එකාට නැති විධියේ විශාල විවේක කාලයක් තිබීමට හැකිවීම. මෙය සිංහල පිරිමින්ට පෙන්නන්න බැරි අපරාධයකි.

    4. එකොනෝ විසින් පෙන්වා දෙන ලද ලංකාවේ  ආර්ථික පුරෝකතනයන් වහ වහාම ඉක්මනින් සත්‍ය වීම.එමඟින් ඔහු ලංකාඬණ්ඩුව අපහසුතාවයට පත් කිරීම.

    5. මී හරක් වැඩ, පර වැඩ සහ පීචං වැඩ  කලත් දැනට ලංකාවේ ඉතිරිව සිටින  දේශපාලන ආර්ථික විද්‍යාව අනුදත් එකම දේශපාලඥයා රනිල් බව ආනුභවිකව පෙන්වා දීම.

    6. මේ සිබ චන්ඩීන් හට කලකදී ඇමරිකාවේ හෝ යුරෝපයේ වීසා සමහරවිට අහිමි වීම.-

    හැකියාවක් තිබේ නම් මේ චන්ඩි ටිකට NY හි Staton Island එකට කොහොම හරි එන්න පුලුවන් වුනොත් කට්ටි පනිමින් හරි ඇමරිකාව තුල ⁣තම සිහිනවලට සරිලන ජීවිතයක් ගත කල හැකි බවට ඔත්තුවක් දෙන්නම්. යුරෝපයට නීතත්‍යානුකූලව පැන ගත හැකි ක්‍රමයක් යුරෝපය පුරා කරක් ගසා අති  ලන්ඩන් අජිත් හෝ අනිකුත් සගයන්ගෙන් දැන ගත හැකි වන්නට පුලුවන.

    3/5

    ReplyDelete
  4. ඇමරිකාවට ස්ථීර පදිංචිය සඳහා එන්නට ඇති මාර්ග බොහොමයක් ඇති. ඒවා try නොකර එකොනෝට බැණ හඬ ගසා ඵලක් නැත. එහෙත් ඇමරිකාවට ඒම නම් දුෂ්කරය. ආවත්  වැඩක් හොයාගෙන ජීවිතය මුල සිටම පටන් ගැනීම දුෂ්කර විය හැක. එහෙත් අති විශේෂ දක්ෂතා ඇතත් නැතත් ධනවාදයේ රිද්මය හරියටම හඳුනා ගත හැකි නම් ඇමරිකාව තුල සාර්ථක පුද්ගලයකු වීම අයකුට  අපහසු දෙයක් නොවේ. දැන් බලන්න..අප රටේ ජනාධිපතිවරයාත් කලෙක ඇමරිකානු පුරවැසියකු ලෙස සිටියා නොවේද? ඔහු අද ලංකාවේ ජනාධිපති! නමුත්  අද මියැන්මාර් ශ්‍රී ලංකා  තානාපති ලෙස වැඩ කරන නලින් ද සිල්වාව වුනත්  සමහර විට ඇමරිකාව පිලි නොගනු ඇත. /Persona non grata. ලංකාවේ සමහර නඩි පොරවල්වලට විතරක් නොවේ, ඔවුන්ගේ පවුල්වල අයටත්  දැන් ඇමරිකාවට ඒම තහනම්ය. ඒක නිසා ඉන්න ටිකේ මානව විරෝධි වැඩ නොකර ඉන්න එක ඇමරිකාවට එන්නට බලාපොරොත්තු වන සිබ චන්ඩි වග බලා ගත යුතුව ඇත.

    මා අතිරේක වසයෙන් ඇමරිකාව සහ යුරෝපය තුල සිටින සිංහලෙන් වියනු ගොතන සහෝදර සහෝදරියන්ගෙන් ඉල්ලා සිටින්නේ වන්නියේ හිරවී සිටි කරුණාට දූපතෙන් එලියට ගොස් ලෝකය දැක බලා ගැනීමේ ක්‍රමයක් රනිල් සකසා දුන්නාක් මෙන් මේ සිබ චන්ඩීන්ට අප දූපතෙන් එලියට පැන ගත හැකි නීත්‍යානුකූල නොවුනත් ක්‍රමයක් ඇද්දැයි ව්‍යාංගයෙන් හෝ  අවංකව විස්තර කර ලිපි පල කරන ලෙසටය.(මේ නිසා ගූගල් ප්‍රජා සම්මූතීන් උල්ලංඝනය වුනත්, මේ සිබ චන්ඩින් ඒවා ගූගල් සමාගමෙන් වසන් කරනු ඇත.)

    4/5

    ReplyDelete
  5. ගණිතය, ⁣භෞතික විද්‍යාව, කෝවිඩ් එන්නත්, භාණ්ඩාගාර බිල්පත්,  සමනල වැව, එකිබස්තුස් ගමන  කන්නද බං උන්ට..උඹලා වාගේ  රටින් නීත්‍යානුකූලව පිටව යන්නට බැරි නම්  පැන ගොස් (හැබැයි මහජන චීනයට හෝ මියැන්මාරයට නොවේ..හරිද?!) හෝ ලඟ ලඟ එන මේ අපායේ සුළි සුළඟින් ගැලවෙන්නට ක්‍රමයක් කියා  නොදී...මේ සිබ චන්ඩීන්ගේ හිත ඇතුලේ හඬා වැටෙන  ඒ අවංක අඳෝනාව නොඇසෙන්නට තරම් අද එතෙර සාර්ථක දිවි පෙවෙතක් ගත කරන  ලන්ඩන් අජිත්, එකොනො වැන්නවුන්ගේ සිත් මෙතරමටම අසංවේදී වූයේ කෙසේද?

    එකෙනෝ ඇමරිකාවට ආවේ කෙසේද, ආවේ ඇයි, ඇවිත් මොනවාද කරන්නේ, පඩිය කීයද,  එයාට දැන්  ජයද, සැපද, ආදිය මම නම් නොදනිමි. එය මට දැන ගැනීමට විශේෂ උවමනාවක්ද නැත. නමුත් ඔහු, අරුණි ශපිරෝට වඩා හොඳින් ධනවාදයේ සූක්ෂමබව, ජවාත්මක යාන්ත්‍රණය සහ එහි  සාපේක්ෂ ජයග්‍රහණය පෙන්වා දෙන ආකාරය අවංක වාමාංශිකයකු ලෙසට මම නම්  සසලවූ  සිතකින් යුතුව බලා සිටිමි. ඒ විෂයය අරබයා ඔහු සමඟ දැන් බුද්ධිමය ගැටුමක් ඇති කර ගන්නට සමතකු සිංහල සමාජයේ ඇතැයි මම නම් නොසිතමි. අඩුම තරමින් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සසප හෝ නැත.(ඉන්නවානම් නොඑන්නේ ඇයි? මෙතැන රෝස මල, මෙතැන නටන්න/Hic Rhodus, hic saltus! බැරි නිසාද?)

    එකොනොව මට වියුක්තව පෙනෙන්නේ ලංකාවේ අවසාන මාක්ස්වාදී ආර්ථික විද්‍යඥයා වූ SBD de Silva  (Political Economy of Underdevelopment) සමඟ හරි හරියට  පෑහෙන, අද ලංකාවේ ඌරු කොටු පාර්ලිමේන්තුවේවත් නැති (කිසිදා එතැනට ඇවිත් ආත්මය කිලිටි කර ගැනීමට අකමැති)  ලිබරල් විද්වතකු ලෙසය. ඒ බව කිසිම කුහකකමකින් යුක්තව අප පිලිගත යුතුව ඇති බව මම ඉඳුරාම කියමි. ඔහු සමඟ හැප්පෙනවා නම් හැප්පිය යුත්තේ/confrontation  මතවාදී තලයක පමණි. ඔහුගේ මුහුණු පොතට මිටියෙන් ගැසීම යනු Snow White හි නපුරු කුඩම්මා කැඩපතට කල බාල තර්ජනය වැනි දෙයකි.

    CP-C

    5/5

    ReplyDelete
    Replies
    1. ඔබේ දීර්ඝ ප්‍රතිචාරයට ස්තුතියි! මම ඒ තරම් ලොකු පොරක් නෙමෙයි. මා සදාකාලික ශිෂ්‍යයෙක් නිසාත්, මා ලියන දේවල්ද ඇතුළුව කිසිම දෙයක් සියයට සියයක් නිවැරදි සේ සලකන්නේ නැති නිසාත්, මට වෙනත් ඕනෑම කෙනෙකුට අභිමුඛ වෙන්න කිසිදු බයක් නැහැ. මගේ අදහස් නිවැරදි නැති බව කාට හෝ පෙන්වා දිය හැකිනම් මම මගේ අදහස් වෙනස් කරගන්න පැකිලෙන්නේ නැහැ. මා ලියන දේවල් ප්‍රශ්න කරන හා පැහැදිලි කර ගන්නා ඔබ වැනි අය මා වඩාත්ම අගය කරන පාඨක පිරිසයි. මමද අවසාන වශයෙන් මා ලියන දේවල් වලම භක්තිකයෙකු වීමේ අවදානම අඩු කර ගැනීමට උදවු කරන්නේ ඒ පිරිසයි. අපව ප්‍රශ්න කිරීමට පදනමක් සොයා ගත නොහැකි අයගේ වැලි මාලිගා කඩා වැටීම ඒ අයගේ ප්‍රශ්නයක් මිසක් මගේ ප්‍රශ්නයක් නෙමෙයි.

      Delete
    2. ඉකොන්ගෙ මේ ප්‍රතිචාරයට මම හරිම කැමතියි. කියන දෙය ප්‍රශ්න කරන/අභියෝග කරන අය ඉතා වැදගත්. ඒ process එකේදි අපි වඩාත් වැඩියෙන් ඉගෙන ගන්න හා වෙනත් විදිහට හිතන නිසා. එතකොට තමයි කෙනෙකුට learning curve එකේ high end එකට යන්න පුලුවන්.

      Delete
    3. ඉකොනෝ
      ඉන්න ටිකේ හැමදාමත් ඉගෙනගෙන
      තියෙන අඩුපාඩු එහෙමත් හලාගෙන
      සිංහාවලෝකනය කර තතු විමසමින
      බෙදනු මැනවි තතු ලොව ඇස් අරවමින!

      Delete
  6. ඇත්තටම ඉකොනොමැට්ටා ලෝකයේ සමස්ත කොවිඩ් එන්නත් නිෂ්පාදනයෙන් 80%ක් මිලදී ගෙන තිබෙන්නේ රටවල් දහයක් විසින් කියලා කියන්නේ ඇත්ත ද?

    එහෙම නම් මේ ලෝකයේ ඉතිරි රටවල් සියල්ලටම ඉතිරි 20%යි. ඒ 20% බෙදා ගන්න දැඩි තරගයක් ඇති වෙන්න පුළුවන් නේද?

    ලෝකයේ මධ්‍යම ආදායම් ලබන සහ දුප්පත් රටවල් 130ක් තවමත් එකදු එන්නතක් හෝ ලබා ගෙන නැහැ කියලා තමයි නිව්ස් වලට කියන්නේ?

    ඒ කියන්නේ ඔය කියන කොවිඩ් එන්නත් ලබා ගැනීම ඒ තරම් ආර්ථිකමය සහ රාජ්‍යතාන්ත්‍රික අසීරූ කටයුත්තක් ද?

    එහෙම පසුබිමක ලංකාවේ දැනටමත් ලක්ෂ 4කට පහකට විතර එන්නත්කරණය සිදු කර අවසන් කියලා රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය මාධ්‍ය හරහා ප්‍රචාරය කරනවා?

    තවත් එන්නත් තොග ලක්ෂ හයක් හෙට දිවයිනට පැමිණෙනවා කියලා කියන්නේ?

    මේ සියල්ල කරන්නේ සංචාරක ව්‍යාපාරය ඇතුලු ශ්‍රී ලංකාවේ ආදායම් මාර්ග රැසක් නැතිවී ගිය පසුබිමක.

    මේ සියල්ල කරන්නේ කොහොමද? ආණ්ඩුව එන්නත් කියලා බොරුවට වතුර වත් විදිනවා වෙන්නට පුළුවන් නේද? මා මිතුරු සමගි ජන බලවේගයට සහය දක්වන මිතුරන් පවසන්නේ මේ වන විට ලංකාවේ ආණ්ඩුව විසින් කරන්නෙ තනිකර බොරුවක් බවත් මුළු රටම ඉතා ඉක්මනින් කඩා වැටීම නියත වශයෙන්ම සිදු වන බව නිසැකයි කියලා. මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

    ReplyDelete
    Replies
    1. සංඛ්‍යාලේඛණ පරීක්ෂා කර නැතත් මුලින්ම හදන එන්නත් වලින් වැඩි කොටසක් බටහිර සංවර්ධිත රටවල් විසින් මිල දී ගෙන ඇති බව පැහැදිලි කරුණක්. අනෙක් අතට කෝවිඩ් කියන්නේ බටහිර සංවර්ධිත රටවල රෝගයක්. සාමාන්‍යයෙන් බොහෝ වසංගත වලින් වැඩි පීඩාවකට පත් වන්නේ දුප්පත් රටවල්. මෙවර සිදුව තිබෙන්නේ එහි අනෙක් පැත්ත. ඒ නිසා මුල්ම එන්නත් සංවර්ධිත රටවල් වලට යාම නරක දෙයක් නෙමෙයි. ආරම්භයේදී එන්නත් හිඟයක් තිබුණත් දිගුකාලීනව එවැනි ප්‍රශ්නයක් ඇති වීමට හේතුවක් නැහැ. ඒ නිසා, එන්නත් මුලින්ම ලබා ගැනීමේ තරඟයක් මිස එන්නත් ලබා ගැනීමේ සදාකාලික තරඟයක් ඇති වෙන එකක් නැහැ. ලෝකයේ කොහේ හෝ කෝවිඩ් තිබීම ලෝකයටම ප්‍රශ්නයක් නිසා මුලින්ම තම තමන්ගේ රටවල ප්‍රශ්න විසඳාගත් පසු අනෙක් රටවල් ගැනත් බලන එක බටහිර සංවර්ධිත රටවල් වලටම වුනත් වාසිදායකයි. මධ්‍යම ආදායම් ලබන සහ දුප්පත් රටවල් වලට සංවර්ධිත රටවල් තරමට කෝවිඩ් ප්‍රශ්නයක් වී නැහැ. ඒ නිසා එන්නත් ලබා ගන්න ලොකු හදිස්සියක් ඒ රටවල් වලට නැහැ. ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ජපානය වැනි සංවර්ධිත රටවලට වුවත් ඇමරිකාවට හා යුරෝපයට සාපේක්ෂව කෝවිඩ් ප්‍රශ්නයක් වී නැහැ. ඒ නිසා, එන්නත ලබා ගැනීමට හදිස්සි වී නැහැ. හදිස්සිය තියෙන්නේ ප්‍රශ්නයෙන් වැඩියෙන්ම බැට කන රටවලටයි. ලංකාවේ ආණ්ඩුවට හැකි ඉක්මණින් රටෙන් කෝවිඩ් තුරන් කිරීමට දැඩි උවමනාවක් තිබුණා. ඒ සඳහා ඉතා දැඩි ක්‍රියාමාර්ග ගත්තා. ඒ ක්‍රියාමාර්ග අසාර්ථක වූ බව මා කියන්නේ නැතත් ආණ්ඩුව අපේක්ෂා කළ ප්‍රතිඵල නොලැබුණු බව ඉතා පැහැදිලි කරුණක්. දැන් ආණ්ඩුවට එන්නත්කරණය මගින් රටෙන් කෝවිඩ් තුරන් කිරීමට දැඩි උවමනාවක් තිබෙන බව පෙනෙනවා. ඉන්දියාවේ භූ දේශපාලනික අවශ්‍යතා එයට පිටිවහලක් වී තිබෙනවා. එන්නත්කරණයට මේ තරම් උනන්දුවක් දක්වන්නේත් විදේශ විණිමය අර්බුදය හමුවේ හැකි ඉක්මණින් සංචාරක ක්ෂේත්‍රයේ ආදායම් වැඩි කර ගැනීමේ අරමුණින් වෙන්න පුළුවන්. ආණ්ඩුවට එන්නත් කියා වතුර විදින්න කිසිදු අවශ්‍යතාවයක් නැහැ. එසේ කිරීමෙන් ආණ්ඩුවට ලැබෙන වාසියක් නැහැ. වතුර විදින එක කෙසේ වුවත් එන්නත ලබා ගැනීමට කල් ගන්නා තුරු මුට්ටි වතුරට දැමීම වගේ දේවල්නම් කළා. මම හිතන විදිහට මුට්ටි, පැණි හරහා ආණ්ඩුව කළේ එන්නත් ලැබෙන තුරු සැලසුම්සහගත ලෙස ජනමනස කළමනාකරණය කිරීමක්. ආණ්ඩුව එය ඉතා සාර්ථකව කළා. මම මේ දේවල් මිත්‍යාවන් පසුපස යාමකට ලඝු කරන්නේ නැහැ. ආණ්ඩුව ඒ තරම්ම මෝඩ නැහැ. මුළු රටම කඩා වැටීම කෙසේ වුවත් ආණ්ඩුව විශාල විදේශ විණිමය අර්බුදයකට හා රාජ්‍ය ණය අර්බුදකට මුහුණ දී සිටිනවා. එය ආණ්ඩුව නොදන්නා දෙයක් නෙමෙයි. ප්‍රශ්නයෙන් ගොඩ යාමට ආණ්ඩුව විවිධ දේ කරමින් ඉන්නවා. ආණ්ඩුවේ සමස්ත ආර්ථික උපාය මාර්ගය වැඩ කරයිද කියන එක කාලය විසින් තීරණය කළ යුතු දෙයක්. සංකීර්ණ ප්‍රශ්නයකට සරල විසඳුම් නැහැ.

      Delete
  7. ඉකෝන් ලංකාවේ දැනට ඔක්ස්ෆර්ඩ් AstraZeneca එන්නත නේද එන්නත් කරන්නේ?

    හැබැයි ජර්මනියේ මිනිස්සු අතර AstraZeneca එන්නත ගැන පැහැදීමක් නෑ. ඉතින් එන්නත් මාත්‍රා ලක්‍ෂ ගානක් මේ වෙද්දි අහක දාන්න සිද්ද වෙලා. දවසකට 3,800 ක් ලියාපදිංචි වෙච්ච බර්ලිනයේ පිහිටුවලා තියෙන මධ්‍යස්ථානවල 200 ක් විතර පිරිසක් තමයි එන්නත ගහගන්න ඇවිල්ලා තියෙන්නේ. (In Germany, hundreds of thousands of doses of the AstraZeneca shot have gone unused. Fewer than 200 people were showing up for 3,800 daily appointments at centers in Berlin offering the AstraZeneca shot).

    ජර්මනිය තුළ ගහන්නේ නැතුව ඉතිරි වෙච්ච ඉන්ජෙක්ෂන් ගොඩක් තියෙනවා. ඉල්ලගෙන ඇවිල්ලා ලංකාවේ එවුන්ට ගහන්න බැරි වෙයිද?

    At a time when vaccines are in such urgent demand, Germany has more than 1 million unused doses sitting in storage — partly because people are reluctant to take them.

    Once hailed for its coronavirus response, Germany has administered just 15 percent of the Oxford-AstraZeneca vaccine it has received, the country's health ministry said in a briefing Wednesday.

    මේ ගැන මම යුරෝපීය රටවල් වල වසර ගණනාවක් වෛද්‍ය වෘත්තිය අධ්‍යාපනය ලබපු ලංකාවේ විශේෂඥ වෛද්‍ය මිතුරන් ගෙන් ඇහුවාම ඔවුන් කිව්වා "එහෙම තමයිලු ඕන රටක ඉන්නවා antivaccersලා කියන බහුබූතයෝ... වාසනාවකට ලංකාවේ ඒ තත්වය නැති තරම්ලු. යුරෝපයේ සහ ඇමරිකාවේ ඔය ඇන්ටි වැක්සර් කණ්ඩායම් නිසා සරම්ප නිසා පවා සෑහෙන ළමුන් මිය යන අවස්ථා තියෙනවාලු. ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් හොඳින් එන්නත් ප්‍රතිශක්තිකරණ වැඩ ටික කරගෙන යනවලු. පිටරටවල අහක දාන ඒවා ඕන නෑලු වගේ ලොකු ටෝක්ස්.

    තව කියනවා ලෝකේ මිලියන ගණන් නිකම් මැරෙන ලෙඩ සමහරක් තුරන් කරලාම දැම්මේ එන්නත් වලින් මිසක් වෙන දේවල් වලින් නෙමේලු. තව උන්ගේ මහලොකු ලංකාව ලෝකේම හොඳම ප්‍රතිශක්තිකරණ ව්‍යාපාරයක් තියෙන සෞඛ්‍ය ඉලක්ක ලඟා කරගත් රටක්ලු... ඔන්න ඔය වගේ පොර ටොක් කෝටියයි.

    ජර්මනිය ගෙන්වපු එන්නත්වලින් මිලියන 1.2 ක් ඉතිරියි. ප්‍රංශය ගෙන්වපු එන්නත් මිලියන 7.7 න් භාගයක් විතරයි පාවිච්චි කරලා තියෙන්නේ, බර්ලින් නගරයේ තියෙන එන්නත්කරණ මධ්‍යස්ථානවලට එන්නේ දෙසීය නම් ජර්මනියේ පිටිසර ගම්වල මිනිස්සු ගැන කවර කතාද?

    ඔය සේරම දේවල් වලට වඩා අංගිලා මෙ'ආකල්ගේ (ඇන්ජෙලා මර්කල්) වයස අවුරුදු 66 යි. AstraZeneca එන්නත ගහගන්න තමන් වයසක වැඩියි කියලා එතුමිය කියලා. මම මේක කියපුවම බක පණ්ඩිතයෝ සෙට් එකට "හැම රටක ම මේ වගේ බූරුවෝ ඉන්නවා" කියලා අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ එන්නත්ප්‍රේමීයෝ කියනවා.

    මේ බලන්න එවපු එක "Joe Biden 78 - Vaccinated, Prince Philip 99 - Vaccinated, Queen Elizabeth 94 - Vaccinated, Benjamin Netanyahu 71 - Vaccinated, Mahinda Rajapaksha 75 - Vaccinated, Gotabaya Rajapaksha 71 - Vaccinated, Narendra Modi 70 - Vaccinated, Bill Gates 65 - Vaccinated, "Some countries have above type of donkeys too ��������"

    ඉකෝන් මේක ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

    ReplyDelete
    Replies
    1. යුරෝපයේ හා ඇමරිකාවේ එන්නත් විරෝධීන් සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්නවා කියන එක ඇත්ත. නමුත්, මෙය එයට සම්බන්ධ දෙයක් නෙමෙයි. ඇන්ජෙලා මර්කල්ට එන්නත් විරෝධයක් නැහැ. ලංකාවේ දැනට භාවිතා වන ඇස්ට්‍රසෙනිකා එන්නත ඇමරිකාව තුළ තවම අනුමත වී නැහැ. ඇමරිකාව තුළ අනුමත වී තිබෙන්නේ ඊයේ අලුතින් අනුමත වූ එන්නතද සමඟ එන්නත් තුනක් පමණයි. ඒවා අනුමත කර තිබෙන්නේ නිශ්චිත වයස් කාණ්ඩ සඳහා වුවත් වයස අඩු අයට මිසක් වයස වැඩි අයට මේ එන්නතක් ලබා ගැනීමට බාධාවක් නැහැ. ඇස්ට්‍රසෙනිකා එන්නත අනුමත වී ඇති එංගලන්තය, ඉන්දියාව වැනි රටවලත් එවැනි උපරිම වයස් සීමාවක් නැහැ. නමුත් ජර්මනිය මේ වන තුරු වයස 65 ඉක්මවූ අය සඳහා ඇස්ට්‍රසෙනිකා එන්නත අනුමත කර නැහැ. ඒ නිසා, වයස අවුරුදු 66ක් වන ඇන්ජෙලා මර්කල්ට ඒ රටේ නිර්දේශ අනුව ඇස්ට්‍රසෙනිකා එන්නත ලබා ගැනීමේ හැකියාවක් නැහැ. ඇය ඇයගේ වාරය පැමිණි විට පයිසර් එන්නත ලබා ගනු ඇතැයි මා සිතනවා.

      Delete
  8. එන්නත් කොච්චර ආවත් එන්නත් විරෝධී කණ්ඩායම් මේ ගැන හිතන ආකාරය ගැනත් හිතන්න ඕන නේද ඉකොනො? මේ බලන්න ඕස්ට්‍රේලියාවේ එන්නත් විරෝධය

    ලිපිය:

    https://www.bbc.com/news/world-australia-56137597

    ඒ වගේම ලැව්ගින්නක් වගේ පැතිරෙන එංගලන්තයේ නව කෝවිඩ් ප්‍රභේදය ඉතාමත් භයානක බව පේනවා නේද?

    ලිපිය:

    https://www.usatoday.com/story/news/world/2021/02/19/covid-variant-uk-spread-like-wildfire-and-us-isnt-locking-down/4504001001/

    ඒ වගේම ලංකාවේ වැක්සීනය ගහ ගන්න පෝළිමේ ඉන්න වෙනවා කියලා ආණ්ඩුවට චෝදනාවක් කරලා තිබුණා නේද?


    නමුත් සංවර්ධිත රටවල මිනිස්සු වැක්සීන් එක ගහගන්න ආපු අවස්ථාවල විස්තර ටිකක් දාන්න හිතුණා. (අනෙක ලංකාව වගේ ෆේල් රටක් වැක්සීන් එක මේ තරම් ඉක්මනට මිනිස්සුන්ට ගහන එක අවශ්‍ය නැහැ නේද?)

    [1]: https://abcnews.go.com/US/long-lines-covid-19-vaccines-build-florida-tennessee/story?id=74988405

    [2]: https://www.aarp.org/politics-society/advocacy/info-2021/faster-vaccination-rollout.html

    [3]: https://www.nbcnews.com/news/us-news/crashed-websites-lines-scams-frustrate-floridians-looking-vaccinations-n1253001

    කොරෝනාවෛරස් රෝගය වැළඳී මැරෙන අයගෙන් සියයට 90 ක් විතර මම හිතන්නේ වියපත් අය, වෙනත් නිදන් ගත chronic රෝග තියන අය, කොරෝනාවෛරස් එකෙන් වෙන එකම එක නරක දේ මේ විදිහට මැරෙන එක විතරයි... නොමැරෙන අයට කැස්සක් පමණයි නේද?

    එනිසා ලෝකේ තේරුමක් තියන රටවල් වැක්සින් එක දෙන්න පටන් ගත්තේ වියපත් අයගෙන්, වෙනත් රෝග තියන අයගෙන්. නමුත් ලංකාවේ වගේ පවුල් වාදයෙන් බැට කන අසමත් දූෂිත ඒකාධිපති ආණ්ඩුවක් යටතේ වැක්සින් එක සීනි බෝලයක් කරාගෙන රට වනසන කඳ පණුවෝ වන දේසපාලුවන්ගේ යාලුවොන්ට, දේසපාලුවන්ගේ යාලුවෝ ඉන්න පැති වලට, ඔහේ හිතෙන හිතෙන හාල්පාරුවන්ට දෙන එක විහිළුවක් නේද? පෝලිම් වල ඉන්න එක නෙවෙයි ඉකොනො ගැටලුව.

    ReplyDelete
    Replies
    1. "උදේම පෝලිමට ගිහිල්ල බොරැල්ලෙ Campbell Park එකේ දාල තිබුණු එන්නත් කරන කඳවුරෙන් covid-19 Injection එක විදගත්ත. වැඩේ කියන්නෙ මට පිටිපස්සෙන් පෝලිමේ හිටියෙ Brandix සමාගමේ හිමිකරු Ashroff Omar මැතිතුමයි එතුමගේ බිරිඳයි. මම එතුමත් එක්ක කතාවට වැටුනෙ මගෙත් එක්ක කතාකරන එකක් නැතිවෙයි කියල දැනගෙන ඒත් එතුමා බොහොම නිහතමානීව මගෙත් එක්ක කථාවට වැටුන.

      ලංකාවේ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයෙක් වුනු එතුම මේ වගේ පෝලිමේ ඉඳල injection එක විදගත්තත්, එතුමට ඕනෙ නං තමන්ගෙ මුදල් බලයයි දේශපාලන සම්බන්ධතායි පාවිච්චි කරල පෝලිමේ පැයගානක් රස්තියාදු වෙන්නෙ නැතුව ඕක කරගන්නත් තිබුන. අනිත් කාරනේ තමයි මෙතුමගේ සමාගමෙනුත් Covid එන්නත් ලබාගන්න මිලියන ගානක මුදලක් (ඩොලර් මිලියන 50ක් හෙවත් ආසන්න වශයෙන් රුපියල් මිලියන 9850 ක්) පරිත්‍යාග කරල තිබුන පහුගිය ජනවාරි මාසෙ.

      පුදුමෙට සහ දුකට කාරනාව, රටට වැඩක් නැති සහ රටේ සල්ලි කාබාසිනිය කරන සම-හරක් කට්ටිය හොර පාරෙන් Injection එක විදගන්නකොට, රටට ඩොලර් බිලියන ගානක් විදේශ විනිමය ගේන, ලක්ෂ ගානක් සෘජු හා වක්‍ර රැකියා සහ ව්‍යාපාරික අවස්ථා හදපු Ashroff Omar වගේ මහත්තුරු පෝලිම් වල ඉඳල විදගන්න එකයි.

      Respect : #AshroffOmar #Brandix"

      Nisanka Sathurusingheගේ වත්පොත් පිටුවෙන්.

      Delete
    2. ඉකෝන් ඔබට මතක ඇති ලංකාවේ 2015 ජනපති වරණයේදී මහින්ද පරාජය වූ පසුව ගෝඨාභය ජනාධිපති අපේක්‍ෂක කිරීමේ ප්‍රචාරක ව්‍යාපාරයේ ඔමාර් අෂ්රෆ් කැපී පෙනෙන වැඩ කොටසක් කළ බව. ඒ වගේම ඔහු වැඩ කළේ තවත් ඇමරිකානු රිපබ්ලිකන් සබඳතා ඇති මිලින්ද මොරගොඩ ඇතුළු කණ්ඩායමත් සමග බවත් 2019 ජනාධිපතිවරණයේදී ද ඔහු ගෝඨාභයගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ප්‍රචාරක වැඩවලට අරමුදල් සපයමින් එහි සංවිධාන වැඩවලට සම්බන්ධ වී සිටි බව එකල වෙබ් අඩවි වාර්තා කොට තිබුණු බව මතකයි නේද? ඔහු පකිස්තාන් සම්භවයක් ඇති එජාප සජබ විරෝධී දේශපාලනයක යෙදෙන සැක සහිත පුද්ගලයෙක්. ඒ වගේම 2019 ගෝඨාභය ජනාධිපති වී කොරෝනා ලංකාව ගිලගත් විට පශ්චාත් කොරෝනා සමයේ රටේ 'ආර්ථිකය හදන්න යෝජනා දෙන' ලෙස ගෝඨාභයගේ ආණ්ඩුව කළ ඉල්ලීමකට අනුව මිලින්ද යෝජනා සකස් කිරීමට කමිටුවක් පත්කළ අතර ඔය ඔබ වර්ණනා කරන ඔමාර් අෂ්රෆ්ද ඒ කමිටුවේ සිටියා.

      Delete
  9. කර වටටම ගිලුන රටක
    වෙසෙන දිළිඳු මිනිසුන් හට
    ප්‍රාර්ථනා පමණක්මය
    ඉතිරිවෙලා ඇත්තේ

    අපෙනුත් මල් ගන්න කියා
    කතරගමදී යදින හඬින්
    අපටත් එන්නත දෙන්නැයි
    ඉල්ලාපන් පුතුනේ

    ReplyDelete
  10. ඉකෝන් ඉන්දුනීසියාව කියන්නේ ලෝකයේ වැඩිම දුම් පානය කරන රට වල් වලින් එකක්. නමුත් 50% කට වැඩියේ පාවිච්චි කරන්නේ කරාබු නැටි මිශ්‍ර කරපු සිගරට්. ඒක ශරීරයට හොදයි කියල ඒ මිනිස්සුන්ගේ මතයක් තියනවා.

    ඒ අනුව යමින් ලංකාවෙන් අපනයන වෙළඳ පොළ තවත් වර්ධනය කර ගැනීම සඳහා කුරුඳු සිගරැට්ටුවක් නිපදවා ලෝක වෙළෙඳපොළට හඳුන්වා දීමට මේ වනවිට සියල්ල සූදානම් කර ඇතැයි ලංකාවේ ආණ්ඩුවට හිතවත් මාධ්‍ය මගින් මේ දවස් වල වාර්තා කරනවා. (මේ සම්බන්ධයෙන් බහු ජාතික දුම්වැටි සමාගම් කලබල වී ඇති අතර මෙම නිෂ්පාදනය එළි දැක්වීමට බාධා එල්ල කරමින් තිබෙන බව සමහරු කියති.)

    මෙම කුරුඳු සිගරැට්ටු ව්‍යාපෘතියේදී සැලසුම් කර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ කුරුඳු සිගරැට් නිපදවන කර්මාන්තශාලා 100 ක් ආරම්භ කර හොඳින් විදේශීය වෙළඳ පොළ අල්ලා ගැනීමට හැකි වුණොත් වසරකට කුරුඳු සිගරැට් අපනයනය කිරීම මගින් ඇමරිකානු ඩොලර් බිලියනයක පමණ අපනයන ආදායමක් රටට ගෙන්වා ගන්නයි. මේ තුළින් නව රැකියා ලක්ෂයක් පමණ බිහි කළ හැකි යැයිද සමහරක් අපේක්ෂා කරයි.

    කෙසේ වෙතත් විපක්ෂ කණ්ඩායම් මේ ගැන පැහැදිලි කිරීමක් කරමින් පවසන්නේ ඕක වෙලඳපොලට දාන්නවත් ලංකාවට ලැබෙන්නේ නැති බවත් British America Tobacco (BAT)කියන්නේ පිලිකාවක් වගේ ලෝකෙම පැතිරුනු බලගතු සමාගමක් බවත් ලංකාවේ තියෙන සිලෝන් ටොබැකෝ කොම්පැනි එක කියන්නේ BAT එකේ ලංකාවේ ශාඛාව බවත් ලංකාවෙ බයිසන් ගවයන් ගොඩක් අමු මී හරක් වගේ හිතාගෙන ඉන්නෙ මේක දේශීය සමාගමක් කියල ඒත් මේකෙ ලංකාවට අයිති 5%ක් විතරක් බව, ඉතුරු 95%ම ලාභ ගන්නේ පිටරට අයිතිකාර උන් බව සහ වෙලඳපොලට එන ඕනම පොඩි සමාගමක් පාගල චප්ප කරන්න මේකට සිම්පල් බවත් සඳහන් කරයි. ඕනෙ නම් රටේ ආණ්ඩු වෙනස් කරන්නත් මෙයාලට මහ අමාරුවක් නැති බවත් ඔතනදි ඔය බහුජාතික සමාගම් විසින් රටේ කුරැඳු වගාව වැනසීම සඳහා යම් බැක්ටීරියා හෝ කෘමි වසංගතයක් රට තුල හඳුන්වා දීමට ඉඩ තිබෙන බවත් සඳහන් කරමින් මෙයට සම්බන්ධ වීමට හිතන කුරුදු වගාකරුවන් අධෛර්යමත් කරන බව පේනවා. මේ ගැන වඩාත් විශ්වාසනීය ලෙස සැබෑ තත්ත්වය කුමක් විය හැකිද කියා පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද ඉකෝන්?

    ReplyDelete
    Replies
    1. සිගරැට් කර්මාන්තය ලෝකය පුරාම ක්‍රමයෙන් ක්ෂය වෙමින් යන කර්මාන්තයක්. ගොඩක් සමාගම් සැලසුම් සහගත ලෙස කර්මාන්තයෙන් ඉවත් වෙමිනුයි ඉන්නේ. ලංකා දුම්කොළ සමාගම ඇතුළු බොහෝ දුම්කොල සමාගම් විසින් කරන ප්‍රධානම කාර්යය රජයයන්ට බදු එකතු කර දී කොමිස් මුදලක් ගන්න එකයි. ඒ වගේම දුම්පානය කරන්නන් තමන් පානය කරන දුම්වැටි වර්ගය වෙනස් කරන්නේ ඉතා අඩුවෙන්. ඔය වගේ වැඩකින් දැනට ලංකාව තුළ පහළ ගොස් තිබෙන දුම්වැටි භාවිතය නැවත වැඩි කර ආණ්ඩුවේ බදු ආදායම් වැඩි කර ගැනීම ඇත්ත සැලසුම වෙන්න පුළුවන්. "දේශීය" ලේබලය ගැහුවම දුම්පානයෙන් ඈත්ව සිටින ලංකාවේ තරුණයින්ගෙන් යම් පිරිසක් නැවත දුම්පානය කෙරෙහි ආකර්ශනය වෙයි. සමහර විට ලාබාල තරුණියන් අතර වුවත් "දේශීය දුම් පානය" ට්‍රෙන්ඩ් විය හැකියි.

      Delete
    2. බොහොම ස්තූතියි ඉකෝන් මේ ගැන වැඩි විස්තර ඉදිරි කාලයේදී දැන ගන්න පුළුවන් වෙයි. මේක ආණ්ඩුව ඍජුව නොව වක්‍ර අන්දමින් රජයේ බදු ආදායම් වැඩි කර ගැනීම සඳහා මහජන මුදල් මංකොල්ල කෑමට කරන තවත් උපක්‍රමයන් රැසකින් එකක් වගේ. මේ වගේම තවත් දේවල් ඇති ඒ ගැනත් සොයා බලා සමාජ ජාලා හරහා මහජනයා දැනුවත් කරමින් මේවා පරාජය කිරීමට කටයුතු කරන්න අවශ්‍යයි.

      Delete
  11. Am I the only one think Ano 1-5 is written by Econ himself?

    No doubt Econ is writing informative easy to understand articles. However if anyone says he is not politically bias (we readers are the problem) he/she must be eating grass.

    Econ implicitly or explicitly bashing Rajapaksa and supporting UNP whenever the subject is about SL.

    Having said that, Econ is entailed to his opinion and write whatever he likes, no one should take offense, we can either read or ignore (choice is ours)Keep up the good work Econ (Wijebahu)

    ReplyDelete
    Replies
    1. @ විජයබාහු,

      මම හිතන්නේ නෑ ඉකොනොමැට්ටා කියන්නේ ඔය මුල් කමෙන්ට් පහ වගේ පසුගාමී කිසිම තර්කානුකූල හෝ විද්‍යාත්මක පදනමක් නැති තකතීරු මුග්ධ සම්පප්‍රලාප වැල් වටාරම් දොඩන කෙනෙක් කියලා. හැබැයි හිතාමතා ඒක දැම්ම වගේ නම් ලංකාවේ වාමවාදී අදහස් දරන්නන් එබඳු "මුග්ධ සම්පප්‍රලාප වැල් වටාරම් දොඩවන තකතීරු පිස්සන්" කියලා පෙන්නන්න දාන කමෙන්ට් කියලා හිතන්න පුළුවන්.

      හැබැයි අර ඉකොනොමැට්ටා බ්ලොක් කරන්න හදනවා, ෆේස් බුකියේ බ්ලොක් කරලා වගේ කතා නම් සමහර වෙලාවට සැලසුම් සහගත නාටක වෙන්න පුළුවන් ලංකාවේ මේ දවස්වල යන ගම සමග පිළිසඳර මගඩි නාටකය, තව ඊට කලින් ආපු ධම්මික පැණි නාඩගම්, මෛත්‍රිපාල ගේ නාමල් කුමාර හඬපට කෝලම, එතකොට එක්සත් ජාතික පක්ෂයේ මෙගා නාට්‍ය මළ හත්වලාමවල් 2015 - 2019 කාලේ වගේ.

      Delete
    2. 1. ධනවාදය එහි සංවර්ධනය කරා පිම්මේ යන විට අන්තර් මිනිස් සබඳතා මුහුණ දෙන ශෝකජනක ඉරණම විජයබාහුගේ ප්‍රශ්න කිරීම තුල නිමග්නව ඇත.මෙය එක්තරා ආකාරයකට මිනිසාට තම අන්තර් සබඳතා අහිමි වීමෙන් ඔබ්බට ගොස් තමාට තමාවම අහිමි වී යාම ප්‍රකට කරන්නකි. එම තත්ත්වය තුල තමාට අනිකාව විශ්වාස නැත. ඇත්තටම එසේ කිරීමට උවමනාද නැත. තමාට අනිකාව විශ්වාසය කිරීම/නොකිරීම මත විනිශ්චය වන්නේ තමාගේ අවංකබව යන කාරණාව දැන් වලංගු නැත. අනිකා යමක් පිලිබඳව කුමක් කීවත්  අනිකා කෙරෙහි ගොඩනැඟෙන විශ්වාසය වැනි සදාචාරාත්මක කාරණාද ඉටු කර දීමට පවා දැන් වෙළඳපොල සැකසී තිබීම මෙයට හේතුවක්ද? කොහොමටත් අද දවසේ දේශපාලනය යනු වෙළඳපොල සකස් කිරීම පමණක් අති මූලික කර ගත් ප්‍රපංචයකි. වෙළඳපොල බිඳ වැටෙන විට දේශපාලනයද බිඳ වැටෙන නිසා කොහොමටත් අනිකා කෙරෙහි සැකයකින් යුතුව කල් ගෙවීම කල යුතුම දෙයක් බවට පත්ව ඇත. විජයබාහු අවිඤ්ඤානිකව මේ දක්වන්නේ එයද?

      Delete
    3. 2. මා මේ ප්‍රති කොමෙන්ටුව කොටන මොහොතේත් විජයබාහුට ආ සංශයවාදී අදහසක් බඳු දෙයක් තවත් එක් නිර්ණාමිකයකු  ප්‍රකාශයට පත් කර ඇත. මෙම වියනුවට ප්‍රතිචාර දක්වන පාඨක පිරිස කවුරුන්දැයි  හඳුනාගැනීමට අවශ්‍ය නම්  එකොනෝට හැකියාවක් ඇත. හුදු IP geolocation tracker එකක් මඟින් අවශ්‍ය නම් එකොනෝට මම කවුද , විජයබාහු කවුද යන්න අවම වසයෙන් විශ්වාසනීයව සොයා ගත නොහැකි නම් යම් අදහසක් හෝ සොයා ගත හැක. නමුත්, පුද්ගල අනන්‍යතාවයට ගරු කරන ඔහු එසේ කරන්නේ නැත. එමඟින් ඔහු විජයබාහු වැන්නවුන් දක්වන  එම සැකයේ අවාසියේ වේදනාව සහ පාඩුව තමන් පිටම පවත්වා ගනී. ඒ ⁣වේදනාව සහ ශෝකය මේ වියණුව පවත්වාගෙන යාම පිණිස ඔහු ගෙවන මිලෙහි කොටසක් ලෙස මා දකියි. (මෙවන් වියණු පවත්වාගෙන යන ඇතැමුන් ඒ මිල තමාම ගෙවීමේ වගකීමෙන් නිදහස්ව සිටී.) නමුත් එකොනො මේ වියනුව පවත්වාගෙන යන්නේ ඊට  සමගාමීව යන  රහස් පරීක්ෂක වැඩකට නොවන නිසා අවම වසයෙන් ඔහු ප්‍රතිචාර වාරණය කරන්නේද නැත. තම පාඨකයන් හෙලිදරව් කරන්නේද නැත. ඊට අතිරේකව, අප හැමෝටම දැකිය හැකි ලෙසින්  ඔහු නලින් ද සිල්වා මෙන් ප්‍රතිචාර වසා දමමින් තම වියණුව පවත්වාගෙන යන්නේද නැත. මේ මඟින් එකොනො කවුද , ඔහු කරන්නේ කුමක්ද යන්න මැදිහත් පාඨකයාට  වටහා ගත නොහැකිද?

      විජයබාහුගේ සැකයේ පෙරටම ගොස් අපි මෙහෙම හිතමු:  එකොනො යනු රනිල් වික්‍රමසිංහ ගේ (RW) විදෙස්ගත ආර්ථික උපදේශකයකු වෙයි. ඒ නිසා ඔහුගේ කාර්යය RW ගේ ආර්ථික ප්‍රතිපත්ති  සාමාන්‍ය ජනයාට වැටහෙන අයුරින් ප්‍රචලිත කිරීමය...එමඟින් UNP හි අසහාය නායකයා වන රනිල් රටේ ජනාධිපති කිරීමය..ආදි ලෙසින්.  දැන්,  ඔහු එය එසේ කිරීම  වැරදිද?  ඔහු එසේ කිරීම තුල රාජපක්ෂලා සහ ඔවුන්ගේ බෛයන් දෙකේ කොලයට වැටීම නවත්වාලිය හැකිද?  ⁣එය කිසිසේත්ම කල නොහැක්කේ එකොනෝ විසින් ගෙනහැර දක්වන සංඛ්‍යා දත්ත සහ එහි විශ්ලේෂණයන් විද්‍යාත්මක ක්‍රමවේදයක් මත පිහිටා තිබීමය. විශ්ලේෂණ තුල රාජපක්ෂලා පමණක් නොව RW ද වැටෙන්නේ වලකටය. ඊට හේතුව වාස්තවිකත්වය පවතින්නේ මේ දෙපිරිසෙන් එහාට ගිය තැනක නිසාය.  නිදසුනක් ලෙසට ඔහු විසින් ගෙන හැර දැක්වූ එක්තරා වැදගත්  නිරීක්ෂණයක්  මෙහි සටහන් කරමි. ලංකාවේ ආර්ථිකයට බද්ධවූ මේ වාගේ නිරීක්ෂණ සහ ඊට සංරූපික නිගමනයන් ඕනෑ තරම් මෙම වියණුවේ සොයා ගත හැක.

      //නොවැම්බර් අවසානය වෙද්දී රජයේ දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 8,424.1ක්. 2019 අවසානයේදී සිට ගතවුණු මාස 11 තුළ 27%ක වැඩි වීමක්. මෙයින් සැලකිය යුතු කොටසක් පියවාගෙන තිබෙන්නේ සල්ලි අච්චු ගහලා. සල්ලි අච්චු ගහනවා කියන එකෙන් අදහස් කරන්නේ රජය විසින් මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් විකුණා මුදල් ලබා ගැනීම. අවුරුද්දකට කලින්, 2020 පෙබරවාරි අවසානයේදී මහ බැංකුව සතු වූ භාණ්ඩාගාර බිල්පත් වල වටිනාකම රුපියල් බිලියන 78ක් පමණයි. 2021 පෙබරවාරි අවසන් වෙද්දී මහ බැංකුව සතු වූ භාණ්ඩාගාර බිල්පත් වල වටිනාකම රුපියල් බිලියන 810ක්. කොහොමද සල්ලි අච්චු ගැහිල්ල?// (පෙබරවාරි 26)

      එකොනෝ හැර, රටේ ආර්ථිකය මේ යන දිසාව සහ ඊට යන කල දසාව මෙතරම් හොඳින් සිංහලෙන් විස්තර කල අයෙක් වේද? කුහකත්වය අතහැර දමමින්, ඔහුට ප්‍රතිවිරුද්ධ කඳවුරෙන් පවා ඔහුව ඇගයෙන්නේ මේ නිසා නොවේද?

      Delete
    4. 3. විජයබාහුට පිලිතුරක් දී ඇති නිර්ණාමිකයකු  කියන පරිදි එකොනෝ යනු තම දැනුම් පද්ධතිය අරබයා වෙන කාගේවත් පිහිටක් නැතිව, ස්වයංආධාරයෙන්  සිට ගත හැකි අයෙකි. මෙය අප සැවොම පිලිගන්නා සත්‍යයකි.  එහෙත්,  එම නිර්ණාමිකයා වුවත් එකොනෝ තමා වෙනුවෙන් තමාම  කොටා හෝ අන් අය ලවා ප්‍රතිචාර කොටවා ගන්නා අයකු ලෙස දකියි. පසුව, ඒවා ලංකාවේ වාමවාදී අදහස් දරන "මුග්ධ සම්පප්‍රලාප වැල් වටාරම් දොඩවන තකතීරු පිස්සන්" කොටසකගේ වැඩක් ලෙසට  එකොනො විසින්ම හඳුන්වා දෙනු ඇතැයි අපේක්ෂා කරයි. එහෙත්, පසුගාමීත්වය, තර්කානුකූලබව, විද්‍යාත්මක පදනම, තකතීරු මුග්ධ සම්පප්‍රලාප වැල් වටාරම් දෙඩවීම (සහ ඒවායේ පරස්පරයන්)  වාමාංශික නොවන  අන්තයන්හි සිට විනිශ්චය කිරීම සෑම විටම නිවැරදි විය හැකිද?

      අප ඕනෑම අයකුව අව්‍යාජව ප්‍රශංසාවට සහ ඇගයීමට ලක් කිරීම, ඔහුව ගර්භාවට හෝ සැක කිරීම කරනවාට වඩා  ඉක්මනින් කල යුතු බව මගේ විශ්වාසයයි. එම ප්‍රශංසාව ලැබීමට ඒ පුද්ගලයා සුදුස්සෙක් වේ නම් එය ඔහුට අත්වෙයි. නැතහොත් Camus වරක් ප්‍රකාශ කල පරිදි, එය ප්‍රකාශ කල පුද්ගලයා කරාම වෙන අයුරකින් හෝ පැමිණෙයි. නමුත් ඉක්මනින් සිදු කරන ලද ගර්භාව හෝ සැකය එසේ ආපසු එන්නේ ප්‍රශංසාව සාදරයෙන්  ආපසු පැමිණෙන ලෙසින් නොවෙි.

      අප පුද්ගලයන් විනිශ්චය නොකල යුත්තේ් හෝ අවම වසයෙන් එසේ කිරීමට ඉක්මන් නොවිය යුත්⁣තේ  එහෙයිනි.

      CP-C

      Delete
    5. Take it easy my friend, I was pointing out the obvious about Econ's writing, but I enjoy reading them.

      We Sri lankan's are born with Red/Blue/Green blood, it goes to next generation and next and next. (Non are so blind than those who refused to see) Wijebahu

      Delete
  12. රංග ඩයස් ගැන පොස්ට් එකේ UGC 721 circuler එක ගැන කියව්වේ ඔබතුමා දමපු ලින්ක් එක ගැන තමයි. https://www.ugc.ac.lk/attachments/652_Circular721Annex.pdf

    ඔබ කැමතිද ඒ ගැන ලියන්න ? මොකද මෙවැනි දෙයක් ගැන කතාකරන්න ඒකට හරියන තැනක් ලේස්ති කරගන්න ඕනේ නේ. ඔබ ඔබේ මතය ලියන්න අපි අපේ මතය කොමෙන්ට් කරන්නම්. විවිධ මත තියෙනකොටනේ වැඩිය හොඳ.

    ReplyDelete
    Replies
    1. ඇනෝ, මෙය එතරම් වැදගත් ප්‍රශ්නයක් කියා මට ඒත්තු ගිහින් නැහැ. මට තේරෙන හැටියට ඔබේ විවේචනය ආචාර්ය උපාධියක් ගත් අයෙකු වුවත් ප්‍රථම උපාධියට කළේ කුමක්ද කියා බලන එක පිළිබඳවයි. එසේ කරනවානම් එය තේරුමක් නැති දෙයක්. එහෙත්, මේ චක්‍රලේඛය අනුව එසේ නොවන අයදුම්කරුවන් බඳවා ගැනීම සඳහා ඉඩක් තිබෙන බවයි මට පෙනෙන්නේ.

      Lecturer (Probationary) Non- (Medical/Dental) B-04 සඳහා අවශ්‍ය සුදුසුකම් අතර අන්තිමට පහත විකල්පයද තියෙනවා නේද?

      (04) Such academic or professional qualifications or professional experience as may be approved by the University Grants Commission upon the recommendation of the Higher Educational Institution concerned.

      මේ ගැන මා ලිපියක් පළ කරන්න අදහසක් නැහැ. සරලවම මට මේ ගැන ඒ තරම් කියන්න දෙයක් නැහැ. ඔබ මෙය වැදගත් කරුණක් කියා හිතනවානම් ඔබේ අදහස් ලිපියක් ලෙස ලියා economatta@gmail.com වෙත එවන්න. ඔබට අවශ්‍ය පරිදි නමින් හෝ නිර්නාමිකව පළ කරන්නම්. ඉන් පසු අවශ්‍ය පරිදි මටත් සාකච්ඡාවට එකතු විය හැකියි. ඔබ ඔබේ අනන්‍යතාවය මට හෙළි කරන්න කැමති නැත්නම් ඔබට කියන්න අවශ්‍ය දෙය මෙහි ප්‍රතිචාරයක් ලෙස දමන්න. මම එය කොපි කර පෝස්ට් එකක් ලෙස දමන්නම්.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: