වෙබ් ලිපිනය:

Monday, March 1, 2021

ලයිමා ෆාලිඩා, ධම්මික බණ්ඩාර හා එලියන්ත වයිට්


ලයිමා ෆාලිඩා නම් කට්ටඩි ගැහැනියක හා මව විසින් දෙල්ගොඩ ප්‍රදේශයේ ෆාතිමා රිෆ්කා නම් නව හැවිරිදි දැරියකට පැය පහක් පුරා වේවැල් පහර දී ඝාතනය කර තිබෙනවා. මේ අවාසනාවන්ත සිදුවීම ගැන අදහස් දක්වමින් අජිත් පැරකුම් ජයසිංහ විසින් පහත පරිදි ලියා තිබෙනවා.

"ජාතික චින්තන තර්කනය අනුව, ලයිමා ෆාලිඩා නම් මෙම මුස්ලිම් කට්ටඩි ගැහැනිය ද මහාචාර්ය නලින් ද සිල්වා වැනි අයෙකි. ඔවුන් අතර වෙනසක් නැත. චන්න ජයසුමන වැනි නලින්වාදීන් දේව මණ්ඩල අමතන ආකාරයත්, ලයිමා යක්ෂයන් පලවාහරින ආකාරයත් අතර මූලික වෙනසක් නැත. ඇය විසින් කරන ලද ඝාතනය ද ඒ අනුව රෝහලකදී ප්‍රතිකාර ගනිමින් සිටි අයෙකු මියයාම වැනි සාමාන්‍ය දෙයකි."

අජිත් පැරකුම්ගේ විවේචනය සරල ලෙස ඉවත දැමිය හැකි එකක් නෙමෙයි. මේ වන විට සෑහෙන දුරකට ලංකාවේ රාජ්‍ය මතවාදය වී තිබෙන නලින් ද සිල්වාගේ මතවාදය අනුව,

(අ) ලෝකයේ තිබෙන්නේ එක් දැනුම් පද්ධතියක් නෙමෙයි.

(ආ) එක දැනුම් පද්ධතියක් මගින් වෙනත් දැනුම් පද්ධතියක් පරීක්ෂා කළ නොහැකියි.

(ඇ) සාපේක්ෂ සත්‍යයන් මිසක් පරම සත්‍යයක් කියා දෙයක් නැහැ.

(ඈ) ඒ නිසා එක දැනුම් පද්ධතියක් වෙනත් එකකට වඩා නිවැරදියි කියා කියන්න බැහැ. 

(ඉ) බටහිර විද්‍යාව සත්‍යයක් බවත්, අනෙක් දැනුම් මිථ්‍යා බවත් ගොඩක් අය හිතන්නේ බටහිර දැනුම් ආධිපත්‍යය නිසා.

නලින් ද සිල්වා හා නලින්වාදීන් නාථ දෙවියන්ගෙන් හා කාලි දෙවඟනගෙන් දැනුම ලබා ගැනීම වෙනුවෙන් පෙනී සිටියේ ඉහත තර්කනය මත පදනම්වයි. මේ තර්කනය පහසුවෙන් ඉවත දැමිය නොහැකි තරම් ප්‍රබල බවත් කිව යුතුයි. 

මම ප්‍රායෝගිකව නොපෙනෙන බලවේග කෙරෙහි කිසිදු විශ්වාසයක් නඩත්තු නොකරමින් ජීවත් වන කෙනෙක්. මේ ආකාරයේ විශ්වාස මා අත් හැර දැමුවේ වයස අවුරුදු හත අටක කාලයේදී. එහෙත්, නොපෙනෙන බලවේග සැබෑවටම නොපවතින්නේයැයි විශ්වාස කිරීමද තවත් එක් විශ්වාසයක් කියන එක මට බැහැර කරන්නට බැහැ. මා අඥේයවාදියෙකු ලෙස මාව හඳුන්වා ගන්න කැමති ඒ නිසයි. මට කිසියම් නොපෙනෙන බලවේගයක් පවතින බව විශ්වාස කිරීම අසීරු වන හේතුවටම වෙනත් අයෙකුට එවැනි බලවේගයක් නොපවතින බව විශ්වාස කිරීම අසීරු විය හැකියි.

නාථ දෙවියන් නම් වූ අදෘශ්‍යමාන සත්ත්වයෙකු හෝ වෙනත් නොපෙනෙන බලවේගයක් ඇති බවත්, තමන්ට එම නාථ දෙවියන් සමඟ සන්නිවේදනය කළ හැකි බවත් කවුරු හෝ කියනවානම් මට එය ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් නැහැ. එහෙත් මේ වගේ දෙයක් පරීක්ෂා කර තහවුරු කර ගැනීමේ හැකියාවක්ද නැහැ. මට අවශ්‍ය වූ පමණින් නාථ දෙවියන් සමඟ සන්නිවේදනය කළ හැකි නිශ්චිත ක්‍රමවේදයක් නැහැ. මෙයින් වෙනස්ව බටහිර විද්‍යාවෙන් යෝජනා කරන දැනුම් බොහොමයක් පරීක්ෂාවට ලක් කළ හැකි නිශ්චිත ක්‍රමවේදයන් තිබෙනවා. එසේ පරීක්ෂා කරන ක්‍රමවේදත් පරීක්ෂාවට ලක් කළ හැකියි. බටහිර විද්‍යාව පරම සත්‍යයන් හොයා දෙන්නේ නැතත් යෝජනා කරන සත්‍යයන් සත්‍ය විය හැක්කේ කවර උපකල්පන යටතේද කියන එක බොහෝ විට පැහැදිලියි.

බටහිර විද්‍යාව හැර විවිධ දැනුම් ලෝකයේ තිබෙනවා. ඒ ඇතැම් දැනුම් බටහිර විද්‍යාවට පහසුවෙන් අවශෝෂණය කර ගත හැකියි. එහෙත්, අදෘශ්‍යමාන බලවේගයකින් දැනුම ලබා ගැනීම වැනි අදහසක් බටහිර විද්‍යාවට අවශෝෂණය කර ගැනීම අසීරුයි. බටහිර විද්‍යාවට අවශෝෂණය කර ගත නොහැකි අදහසක් බටහිර විද්‍යාවෙන් පරීක්ෂා කිරීමේ හැකියාවක්ද නැහැ. ඒ නිසා එවැනි දැනුමක් බටහිර විද්‍යාව මත පදනම්ව මිථ්‍යාවක් සේ නම් කිරීම අසීරු කරුණක්.

බටහිර විද්‍යාව සත්‍ය වන්නේ සම්මතය මතනම් වෙනත් දැනුමක් සම්මතය වූ විට ඒ දැනුමද පිළිගන්න වෙනවා. ඒ පදනම මත කාලි දෙවඟනගෙන් බෙහෙත් අසා ගෙන ඒ බෙහෙත් වලින් ප්‍රතිකාර කිරීම මිථ්‍යාවක් සේ සලකා බැහැර කරන්න බැහැ. මේ කාරණාවම ලයිමා ෆාලිඩාගේ ප්‍රතිකාර ක්‍රමයටත් අදාළයි. ඒ අනුව, ධම්මික පැණිය හා ලයිමා ෆාලිඩාගේ ප්‍රතිකාර අතර වෙනසක් නැහැ කියන අජිත් පැරකුම්ගේ තර්කය බැහැර කරන්න බැහැ.

ධම්මික පැණිය සතුව  කෝවිඩ් ආසාදනය වැළැක්වීමේ හැකියාවක් නොතිබියදී එය ලබා ගන්නා අයට කෝවිඩ් ආසාදනය නොවන්නේය යන පදනමෙන් එම පැණිය ලබාගත් අය සිය චර්යාවන් වෙනස් කළේනම් ඒ හේතුව නිසා බොහෝ දෙනෙකුට කෝවිඩ් වැළඳී එයින් යම් පිරිසක් මිය යා හැකිව තිබුණා. එහෙත් ලංකාවේ ආණ්ඩුව විසින් පරීක්ෂාවකට ලක් නොකර වක්‍ර ලෙස හෝ ධම්මික පැණිය ප්‍රවර්ධනය කළා. පැණිය ලබාගත් අයට කෝවිඩ් හැදුනා. මේ අනුව ධම්මික පැණිය සාර්ථක ප්‍රතිකාරයක් වීමේ හැකියාව පිළිගත් අයෙකුට, ලයිමා ෆාලිඩාගේ ප්‍රතිකාර ක්‍රමය සාර්ථක ප්‍රතිකාරයක් ලෙස පිළිගත නොහැක්කේ ඇයි කියන එක වලංගු තාර්කික ප්‍රශ්නයක්.

ලයිමා ෆාලිඩාගේ ප්‍රතිකාරය නිසා දැරියක් මිය ගියා. ඇය ප්‍රතිකාරයක් ලෙස දැරියට මිය යන තුරු වේවැල් පහර දී ඇති බව පැවසෙනවා. එහෙත් ඇගේ සිරුර පිහි වලින් කපා නැහැ. බටහිර වෛද්‍යවරු ශල්‍ය මේස මත බොහෝ රෝගීන්ගේ සිරුරු සැත්කම් පිහි වලින් කපනවා. ඒ ඇතැම් රෝගීන් මිය යනවා. එහෙත් ඔවුන් වරදක් කර ඇති බව කවුරුවත් කියන්නේ නැහැ. සැත්කමක් කිරීමේදී රෝගියෙකු මියයාම බොහෝ විට සැලකෙන්නේ නොවැලැක්විය හැකි දෙයක් විදිහටයි. ලයිමා ෆාලිඩාගේ ප්‍රතිකාරයෙන් රෝගියා මිය ගියේත් ඒ විදිහටම වෙන්න බැරිද?

ලෝකයේ විවිධ දැනුම් පද්ධති තිබෙනවා. අදෘශ්‍යමාන බලවේගයක උපකාරයෙන් ප්‍රතිකාර කිරීම බටහිර වෛද්‍යවරයෙකු විසින් කරන දෙයින් වෙනස් නැති සේ සැලකුවොත් ලයිමා ෆාලිඩා කිසිදු වැරැද්දක් කර නැහැ. කෝවිඩ් එන්නත්, ධම්මික පැණිය වගේම ඇගේ ප්‍රතිකාර ක්‍රමයත් 100%ක් සාර්ථක නැති බවට පහසුවෙන් තර්ක කළ හැකියි.

කොහෙන් හෝ ඉරක් ඇඳිය යුතු බව මොළේ කළඳක් තියෙන මිනිහෙකුට තේරෙන්න ඕනෑ. මේ ඉර අඳින්නේ කොහෙන්ද?

බටහිර වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකාර ක්‍රමයක් අනුමත කරන සම්මත ක්‍රමවේදයක් තියෙනවා. මේ ක්‍රමවේදය ඉතා පැහැදිලියි. එය තේරුම් ගන්න මහා ලොකු දර්ශනවාද අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ගැන මා ලියා තිබෙන නිසා නැවත ලියන්න යන්නේ නැහැ. ක්‍රමවේදය පැහැදිලි නැති හෝ ප්‍රශ්න තිබෙන කෙනෙක් ඉන්නවානම් වෙන කා වෙතවත් යන්න අවශ්‍ය නැති බවත්, පෞද්ගලිකව මට පැහැදිලි කළ හැකි බවත් බය නැතිව හා වගකීමෙන් කියන්න පුළුවන්. 

බටහිර වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකාර ක්‍රමයක් පරීක්ෂාවට ලක් කරන ක්‍රමවේදය බටහිර වෛද්‍ය විද්‍යාව මත පදනම් වූ ක්‍රමයක් නෙමෙයි. එම ක්‍රමවේදය ඉතා පහසුවෙන් වෙනත් දැනුම් පද්ධතියක ප්‍රතිකාර ක්‍රමයක් එම දැනුම් පද්ධතියේ මූලධර්ම මත පදනම්ව පරීක්ෂාවට ලක් කිරීම සඳහා වුවත් යොදාගත හැකියි. අදෘශ්‍යමාන බලවේග වල පැවැත්ම, එම බලවේග හරහා ප්‍රතිකාර ක්‍රම පිළිබඳ දැනුම ලබා ගැනීමේ හැකියාව ආදිය පිළිගන්නා අයෙකුට වුවත් කවුරු හෝ කෙනෙක් බොරුවක් කිරීමේ හැකියාව බැහැර කළ හැකියි කියා මා හිතන්නේ නැහැ. දැනුම් පද්ධතිය කුමක් වුවත් එය පරීක්ෂාවට ලක් කළ හැකි ක්‍රමයක් තිබිය යුතුයි. එම ක්‍රමය බටහිර වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකාර ක්‍රමයක් පරීක්ෂාවට ලක් කරන ක්‍රමවේදයම විය යුතු නැතත් අදාළ ක්‍රමවේදය පාරදෘශ්‍ය විය යුතුයි. පාරදෘශ්‍ය ක්‍රමයකින් පරීක්ෂාවට ලක් නොවුණු දැනුමක් වෙනුවෙන් රජය, ජනමාධ්‍ය හෝ වග කිව යුතු පුරවැසියෙකු පෙනී සිටීම ඉතාම නරක පූර්වාදර්ශයක්.

බටහිර වෛද්‍යවරුන්ගේ ආධිපත්‍යයක් නැතැයි මා කියන්නේ නැහැ. එය ඉතා දරුණුවටම තියෙනවා. ලංකාවේ තරමටම නැතත් ඇමරිකාවේ වුවත් යම් දැනුම් ආධිපත්‍යයක් ඔවුන්ට තිබෙනවා. මේ ආධිපත්‍යය තුළ ඔවුන්ට අත් වැරදි වගේම හිතාමතාම කරන වැරදිත් වහ ගන්න යම් ඉඩක් සැලසෙනවා. එහෙත්, අඩු වශයෙන් සෛද්ධාන්තිකව හෝ ඔවුන්ව ප්‍රශ්න කිරීමකට ලක් කළ හැකි නිශ්චිත ක්‍රමවේදයක් තිබෙනවා. මම හිතන විදිහට ආයුර්වේද වැනි විකල්ප ප්‍රතිකාර ක්‍රම හා අදාළවත් තත්ත්වය මෙයයි. කවර හෝ ආකාරයක වගවීමක් තියෙනවා.

අදෘශ්‍යමාන සත්ත්වයෙකු කියන දෙයක් වැරදී හානියක් වූ විට එහි වගකීම ගන්න කෙනෙක් නැහැ. නාථ දෙවියන්ගෙන්, කාලි දෙවඟනගෙන් හෝ ලයිමා ෆාලිඩාට වැහුණු අමනුෂ්‍යයාගෙන් වන්දි අය කර ගන්න බැහැ. අල්ලලා හිරේ දාන්නත් බැහැ. නිශ්චිත ප්‍රතිකාරයක් පරීක්ෂාවට ලක් කළ හැකි වුවත් ප්‍රතිකාර පිළිබඳ දැනුම ලබා ගන්නා ක්‍රමය පරීක්ෂාවට ලක් කරන්න බැහැ.

ලයිමා ෆාලිඩා ප්‍රතිකාරයේත්, ධම්මික පැණියේත් එක් වෙනසක් තිබෙනවා. ලයිමා ෆාලිඩා ප්‍රතිකාර ක්‍රමයේදී දැනුම ලබා ගැනීමත් ප්‍රතිකාර කිරීමත් සිදු වන්නේ එක විටයි. ඒ නිසා දැනුම ලබාගත් ක්‍රමයට අමතරව ප්‍රතිකාර ක්‍රමයම පරීක්ෂාවට ලක් කළ නොහැකි එකක්. එක් අයෙකුට සුව වුනා කියා වෙනත් අයෙකුට සුවවන බවට සහතිකයක් නැහැ. නිශ්චිත සහතිකයක් නෙමෙයි. අඩු වශයෙන් සම්භාවිතාව මත පදනම් වූ සහතිකයක් හෝ නැහැ. 

ධම්මික ප්‍රතිකාරය ලබාගත් ක්‍රමය පරීක්ෂාවට ලක් කළ නොහැකි වුවත් අදාළ පැණිය පරීක්ෂාවට ලක් කිරීම කළ නොහැක්කක් නෙමෙයි. නිසි පරීක්ෂාවකට ලක් කිරීමෙන් පසුව සාර්ථක බව තහවුරු කළ හැකිනම් ඉඳ හිට රෝගියෙක් මැරෙන එක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි සමස්තයක් ලෙස සියලු හානි හා අවදානම් වලට වඩා වැඩි වාසි තිබෙන බව තහවුරු වී ඇත්නම් පමණයි.

කතාවට කියන්නේ කෝවිඩ් වලට බටහිර වෛද්‍ය විද්‍යාවේ කිසිම ප්‍රතිකාරයක් නැහැ කියලයි. නමුත්, එයින් අදහස් වෙන්නේ කෝවිඩ් ආසාදිතයින් මැරෙන්න ඇරලා බටහිර වෛද්‍යවරු බලා ඉන්නවා කියන එක නෙමෙයි. ඇමරිකාවේනම් මුල් කාලයේ ඉඳලාම මේ රෝගීන්ට විවිධ ප්‍රතිකාර කරනවා. ඒ විවිධ ප්‍රතිකාර වල සාර්ථක ප්‍රතිඵලද තිබෙනවා. ප්‍රතිකාරයක් නැහැ කියා කියන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවේ සම්මත අනුව ඒ කිසිදු ප්‍රතිකාරයක ප්‍රමාණවත් තරමේ වාසි නැති නිසා මිස කිසිම වැඩක් නැති නිසා නෙමෙයි.

බටහිර වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක් අනුමත කරන්නේ එහි හිතකර ප්‍රතිඵල සැලකිය යුතු මට්ටමක තිබෙන බව පැහැදිලිව පෙනේනම් පමණයි. ලංකාවේ භාවිතා වන ඇස්ට්‍රසෙනිකා එන්නත තවමත් ඇමරිකාව තුළ අනුමත වී නැත්තේ එහි සාර්ථකත්වය තවමත් ඇමරිකාවට ඒත්තු ගන්වනු ලැබ නැති නිසයි. මේ සියලු කඩුළු පැන ඉදිරියට යන බටහිර වෛද්‍ය ප්‍රතිකාරයක් වුවත් ඇතැම් පුද්ගලයින් හා අදාළව අසාර්ථක වෙන්න පුළුවන්. එහෙත් එයින් අදහස් වෙන්නේ බටහිර වෛද්‍ය ප්‍රතිකාරයක් හා ලයිමා ෆාලිඩා පන්නයේ ප්‍රතිකාරයක් සමානයි කියන එක නෙමෙයි. ලයිමා ෆාලිඩා පන්නයේ ප්‍රතිකාර වලට වඩා බටහිර වෛද්‍ය ප්‍රතිකාර වලට පිළිගැනීමක් තියෙන්නේ එම ප්‍රතිකාර වඩා සාර්ථක නිසා මිස බටහිර වෛද්‍ය විද්‍යාවේ ආධිපත්‍යයක ආනුභාවයකිනුත් නෙමෙයි.

විවිධ දැනුම් තිබෙන බව පිළිගත යුතුයි. ඒ අතරම, එම දැනුම් අතරින් වැඩකට ඇති දැනුම් හා හානිකර දැනුම් වෙන් කරමින් ඉරක් අඳින එකත් කළ යුතුයි. 

25 comments:

  1. //ඇනෝ, මෙය එතරම් වැදගත් ප්‍රශ්නයක් කියා මට ඒත්තු ගිහින් නැහැ. මට තේරෙන හැටියට ඔබේ විවේචනය ආචාර්ය උපාධියක් ගත් අයෙකු වුවත් ප්‍රථම උපාධියට කළේ කුමක්ද කියා බලන එක පිළිබඳවයි. එසේ කරනවානම් එය තේරුමක් නැති දෙයක්. එහෙත්, මේ චක්‍රලේඛය අනුව එසේ නොවන අයදුම්කරුවන් බඳවා ගැනීම සඳහා ඉඩක් තිබෙන බවයි මට පෙනෙන්නේ.

    Lecturer (Probationary) Non- (Medical/Dental) B-04 සඳහා අවශ්‍ය සුදුසුකම් අතර අන්තිමට පහත විකල්පයද තියෙනවා නේද?

    (04) Such academic or professional qualifications or professional experience as may be approved by the University Grants Commission upon the recommendation of the Higher Educational Institution concerned.

    මේ ගැන මා ලිපියක් පළ කරන්න අදහසක් නැහැ. සරලවම මට මේ ගැන ඒ තරම් කියන්න දෙයක් නැහැ. ඔබ මෙය වැදගත් කරුණක් කියා හිතනවානම් ඔබේ අදහස් ලිපියක් ලෙස ලියා economatta@gmail.com වෙත එවන්න. ඔබට අවශ්‍ය පරිදි නමින් හෝ නිර්නාමිකව පළ කරන්නම්. ඉන් පසු අවශ්‍ය පරිදි මටත් සාකච්ඡාවට එකතු විය හැකියි. ඔබ ඔබේ අනන්‍යතාවය මට හෙළි කරන්න කැමති නැත්නම් ඔබට කියන්න අවශ්‍ය දෙය මෙහි ප්‍රතිචාරයක් ලෙස දමන්න. මම එය කොපි කර පෝස්ට් එකක් ලෙස දමන්නම්.//


    ඇත්තටම මගේ අත්දැකීම් අනුව නම් ලංකාවේ විශ්විද්‍යාල දැනට තියෙන තැනින් එහාට ගෙනියන්න තියන ලොකුම වැදගත් භාදකය තමයි ඔය ක්‍රමය. නමුත් කොළඹ සහ පේරාදෙණිය මොරටුව වැනි වී.වී. වල පරිවාස කථිකාචාර්ය අයවලුන් බඳවා ගැනීම් ඉතාම සීමිත නිසා ඒවාට ඔය කතාව වැදගත් නැහැ. එත් එළියේ තියෙන ඒවගේ වැඩිපුරම වෙන්නේ පරිවාස කථිකාචාර්ය අයවලුන් බඳවාගෙන ඒ කට්ටියට ආචාර්ය උපාදියක් හදාගෙන ඇවිත් බින්න බහින්න කීම. ඉතින් බහුතරයක් එහෙවු උදවිය කොහෙන් හරි සල්ලි ටිකක් හොයන්, ලංකාවේ හෝ වෙනත් මොකක් හෝ රටකින් එහෙවු උපාධි සහතිකයක් අරන් ඇවිත් ඒක පෙන්නලා බින්න බහිනවා. ඕකේ 1 නැති නම් පමණයි 2ට, 3 ට,4ට යන්න පුළුවන් නඩුවක් දමාගැනීමේ අවධානමක් නැතුව. නොබෙල් තෑගි ගෙනාවොත් මිසක්; 4 වෙනි කැටගොරියෙන් බඳවාගැනීම් කරන්න අංශ ප්‍රධානී වරු, පීඨ ප්‍රධානී වරු, උප කුලපතිවරු ඇත්තම් කීවොත් බයයි. ඔබතුමා සංඛ්‍යා පෙන්නන කෙනෙක් හැටියට ඒවගේ සංඛ්‍යා පුළුවන් නම් සොයා බලන්න. ඒ වගේම බඳවා ගැනීම් පුවත්පත් දැන්වීම දමන විටත් ලොකු වංගු ගහන එක දැන් සාමාන්‍ය දෙයක්. අන්තර්ජාලයේ ඉල්ලක්කම් වෙනුවට වැඩේ වෙන හැටිය පුළුවන් තරමට සොයා බලා :)

    ඔබට නොවැදගත් කියා හිතෙනවා නම් ඒක එහෙම වුනාවේ. මොකද මේ ක්‍රමයේ තිබෙන ලොකුම ලොකු අවුල පෙනීම හැරෙන්න, මේකේ වෙන විශේෂ පුද්ගලිකව අදාළ වීමක් මට නොමැති නිසා :(

    ReplyDelete
    Replies
    1. @ Anonymous March 1, 2021 at 6:17 PM

      // එත් එළියේ තියෙන ඒවගේ වැඩිපුරම වෙන්නේ පරිවාස කථිකාචාර්ය අයවලුන් බඳවාගෙන ඒ කට්ටියට ආචාර්ය උපාදියක් හදාගෙන ඇවිත් බින්න බහින්න කීම. ඉතින් බහුතරයක් එහෙවු උදවිය කොහෙන් හරි සල්ලි ටිකක් හොයන්, ලංකාවේ හෝ වෙනත් මොකක් හෝ රටකින් එහෙවු උපාධි සහතිකයක් අරන් ඇවිත් ඒක පෙන්නලා බින්න බහිනවා. //

      ඇනෝ , එහෙම පිලිගත් ආයතනයකින් ආචාර්ය උපාධියක් ලබාගෙන ඇවිත් වි.වි ඉගැන්වීම හොද නෑ කියලද කියන්න උත්සහ කරන්නේ ?

      ඔබ මතු කරන අදහස් වැදගත් කියල හිතුන නිසා ඇහුවේ සහ මමත් එය දැකලා තියෙනවා. නමුත් එහි වැරද්දක් මම දකින්නේ නැහ.

      Delete
    2. නැහැ. අපි ඇත්ත කියන්න එපැයි. ඔය මුලික උපාධියට ලෙක්චර් කරන්න ඒ ටික හොදටම ඇති. ඔය ටියුෂන් කරන අපේ කොල්ලොත් උගන්නන සත්තරේ අල්ලාගෙන අපුරුවට මුළු මොඩියුල් එකේම කුප්පිය එක දවසෙන් දාන්නේ අපිට වැඩිය හොදට. ලෙක්චර් හෝල් එකේ ඉගැන්වීමට ඒ ටික හොදටම ඇති. ඒ වුනාට පර්යේෂණ කරන්න තියා හිතන්නවත් ඒ ටික මදි. ඒ වගේම නව නිර්මාණකරණයට මග පෙන්වන්නේ කොහොමෙයි තමනුත් අලුත් දෙයක් කරලා නැති කොට !!!! හැබැයි පොසිෂන් එකක් ලංකාවේ නැහැ. උගන්නන්න ගන්න උන්දලගෙන්ම තමයි එකත් වෙන්නේ නොවෙන්නේ. ඔතන තමයි වී.වී දැන් සිරවෙලා නැවතිලා තියෙන සීමාව. එච්චරද රටට ඕනේ ? එතනින් එහාට යාමක් අපිට නැති ද ?

      ඒ කට්ටියගෙන් හැදෙන පරපුර ගැන කණගාටුදායක අත්දැකීම් තිබුනත්, මම නිර්නාමිකව ඇවිත් අනිත් ආයතන වල නම් ගම කීම හොද නැති නිසා එහෙම නොකර ඉමු.

      Delete
    3. Correction: හැබැයි research professor පොසිෂන් එකක් ලංකාවේ නැහැ. උගන්නන්න ගන්න උන්දලගෙන්ම තමයි research එකත් වෙන්නේ නොවෙන්නේ.

      Delete
    4. ඔබ මතු කරන කාරණාව මම දකින්නේ ලංකාවේ සමස්ත උසස් අධ්‍යාපන ආකෘතියේ තිබෙන එක් ප්‍රශ්නයක් ලෙස මිසක් මේ චක්‍රලේඛයේ ප්‍රශ්නයක් ලෙස නෙමෙයි. සරසවියක ආචාර්යවරු පර්යේෂණ කළ යුත්තේ ඇයි? පළමු හේතුව පර්යේෂණ ප්‍රදාන හා වෙනත් අරමුදල් ලබා ගැනීම. තරඟකාරී පදනමකින් ලබා දෙන පර්යේෂණ ප්‍රදාන ලබා ගන්න සරසවියක ආචාර්ය මණ්ඩලයට හොඳ පර්යේෂණ වාර්තාවක් තිබිය යුතුයි. ඒ නිසා පර්යේෂණ කරන්න වෙනවා. දෙවන කාරණාව ශ්‍රේණිගත කිරීම් ඉහළ දමා ගැනීම. මෙය වැදගත් වන්නේ සිසුන් ආකර්ෂණය කර ගැනීම සඳහා. ඒ හරහා අරමුදල් ලැබෙනවා. සරසවියකට අරමුදල් ලැබෙන ප්‍රධාන ක්‍රම දෙක ඔය දෙකයි. අරමුදල් නැත්නම් ආචාර්ය මණ්ඩලයේ වැටුප් වියදම් ආවරණය කරගන්න බැහැ. අකාර්යක්ෂම අයව අයින් කරන්න වෙනවා. පර්යේෂණ කරන්න පුළුවන්, දක්ෂ අය බඳවාගන්න වෙනවා.

      ලංකාවට ඔය දෙකෙන් එකක්වත් අදාළ නැහැ. මහන්සි වී වැඩිපුර පර්යේෂණ කළා කියලා ලැබෙන වැටුප් වැඩි වෙන්නේ නැහැ. නොකළා කියා රස්සාව නැති වෙන්නෙත් නැහැ. මම කියන්නේ කිසිම සම්බන්ධයක් නැහැ කියලා නෙමෙයි. උසස් වීම් ලැබෙද්දී වැටුප් වැඩි වෙනවා. ඒ සඳහා අවශ්‍ය අවම දේ කළාම ඇති. සිසුන් ආකර්ෂණය කර ගැනීමේ ප්‍රශ්නයක් කොහොමටත් නැහැ. UGC එකෙන් තෝරා එවන සිසුන්ට උගන්වන එකයි කරන්න තියෙන්නේ. සරසවියකට ආචාර්යවරුන්ට ලැබෙන ප්‍රතිලාභ පර්යේෂණ ඵලදායීතාවය විසින් නියාමනය කිරීමක් වෙන්නේ නැහැ. ඔය මූලික ව්‍යුහාත්මක ප්‍රශ්නය එසේම තිබියදී චක්‍රලේඛයක් වෙනස් කළා කියලා මහ ලොකු දෙයක් වෙන්නේ නැහැ. චක්‍රලේඛය වෙනස් වුනත් වෙන්නේ ඔය ටිකම තමයි. චක්‍රලේඛය මේ කතාව වහන ආවරණයක් පමණයි.

      ඔය වගේ තත්ත්වයක් යටතේත් පර්යේෂණ කරන අය ඉන්නවා. ඒ අය එසේ කරන්නේ ආත්ම තෘප්තිය වෙනුවෙන්.

      Delete
    5. සම්පූර්ණයෙන්ම ඔබ සමග එකඟයි. සහතික ඇත්ත කතාව එකොන්.

      #ඔය වගේ තත්ත්වයක් යටතේත් පර්යේෂණ කරන අය ඉන්නවා. ඒ අය එසේ කරන්නේ ආත්ම තෘප්තිය වෙනුවෙන්.#
      මම දන්නා එහෙම අය කීපදෙනෙක් ඉන්නවා. ඒ අය අර පළමු පන්තියේ සාමර්තයකුත් තියෙන පර්යේෂණ හොදට කරලා ආචාර්ය උපාධි ගතිපු අය. අතම තෘප්තියට පර්යේෂණ කරන්නත් ඒක කරලා එකේ රස වැටිලා තියෙන්න ඕනේ නේ.

      ඔය ඔබ කියපු අය තමයි ගොඩක් දුරට ඔය රංග වැනි අයට දුපතෙන් එලියට යන්න පුළුවන් ආකාරයට වාතාවරණය සකස් කරන්නේ. පර්යේෂණයක් කරන්නේ කොහොමද කියල, නිබන්දනයක් ලියල පල කරන්නේ කොහොමද කියන මුලික දැනුම ලබාදීමත් ලංකාවේ පර්යේෂණ වල එක අරමුණක් මන් හිතන්නේ. කණගාටුයි කියන්න, තවම කොළඹ පළාතේ විශ්විද්‍යාල සහ සහ පේරාදෙණියෙන් ඇරුනාම අනෙක් තැන් වලින් වැඩිදුර පර්යේෂණ අධ්‍යාපනයට රට යන සිසුන් ප්‍රමාණය හරි අඩුයි.

      Delete
  2. කප්පරක් දැනුම තිබුනත්
    ඉන් පලක් නොවේ කිසිවිට
    "සාමාන්‍ය දැනුම" නමැති
    දැනුම නොමැතිනම් ඔබහට

    කියන්නා කෙසේ කීවත්
    නැතිද අසන්නාට දැනුම
    තෝරා බේරා ගන්නට
    තාර බරත් ඇරලා

    මිත්‍යාවට බර ලෝකෙක
    ජීවත් වෙන්නේ කොහොමද
    පඳුරක් පඳුරක් ගානෙම
    බොරුකාරයො පිරිලා

    ReplyDelete
  3. මෙවැනි ගුටි චිකිත්සාවකට අදාල රෝගියා එයට සුදුසු කායික යෝග්‍යතාවයකින් සිටීදැයි භෞත චිකිත්සක වාර්තාවක් අනිවාර්ය කල යුතුයි.

    එසේම මෙම චිකිත්සාවේ පතිඵල නිසිලෙස වාර්තාගතකිරීමත් අනිවාර්යය කල යුතුයි.
    කට්ටඪ තුමියට මූලික ප්‍රථමාධාර දැනුමක් තිබීමත් අනිවාර්යය කල යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඔය දේවල් කළ යුත්තේ කවර දැනුම් පද්ධතියක් මත පදනම්වද? උදාහරණයක් විදිහට කායික යෝග්‍යතාවය පරීක්ෂා කළ යුත්තේ කොහොමද? භෞත චිකිත්සක වාර්තාව හැදිය යුත්තේ බටහිර වෛද්‍යවරුන්ද?

      Delete
    2. එය ගුටි චිකිත්සකවරියට තීරණය කරන්න ඉඩදිය යුතුයි.

      Delete
  4. ඉස්සර තුර්කි කාලිෆ යුගයේ එහි කාන්තාවන්ගේ මානසික රෝග සඳහා ලෙස්බියන් චිකිත්සාවකුත් තිබුන බව කියවා තියෙනවා.

    ReplyDelete
  5. යම් කිසි දැනුමක් සාත්‍රීය නම් හා එය සාත්‍රයක් නම් එය තවත් කෙනෙකුට උගන්වන්න/ඉගෙනගන්න හෝ හදාරන්න හැකියාවක් තිබිය යතුයිනේද

    ReplyDelete
    Replies
    1. //යම් කිසි දැනුමක් සාත්‍රීය නම් හා එය සාත්‍රයක් නම් එය තවත් කෙනෙකුට උගන්වන්න/ඉගෙනගන්න හෝ හදාරන්න හැකියාවක් තිබිය යතුයිනේද//

      මේ විකල්ප දැනුම්ද තවත් කෙනෙකුට තවත් කෙනෙකුට උගන්වන්න/ඉගෙනගන්න හෝ හදාරන්න හැකියාවක් තිබෙනවා. එහෙත්, තවත් ඕනෑම කෙනෙකුට උගන්වන්න/ඉගෙනගන්න හෝ හදාරන්න හැකියාවක් නැහැ.

      Delete
  6. ඉකොනො,

    මේ පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් බලන්න මේ කියන කතාව ඇත්ත ද? ලංකාවෙ පැවති එජාපයේ යහපාලන ආණ්ඩුව කාලයේ 2016 සහ 2017 වසරවලදී ලංකාවෙ ආණ්ඩුවේ වියදම් කපා හැරියා වුණාට ආණ්ඩුවේ දේශපාලන නායකයින් ඇමති මන්ත්‍රී වරුන් සහ ඉහළ නිලධාරීන් ගේ සුඛ විහරණය සඳහා වූ වියදම් තවත් වැඩි කරමින් සාමාන්‍ය ජනතාවගේ සුබසාධනය සඳහා වූ වියදම් දැඩි ලෙස සීමා කරමින් සහ අධික ලෙස බදු අය කිරීම කළත් එය අවසානයේ අසාර්ථක වීමට හේතුව මෙවැනි වැරදි ආදර්ශයක් ලබා දී ඇති මුග්ධ ක්‍රියාකාරකම් කිරීමට කටයුතු කළ දූෂිත දේශපාලකයන් නිසා කියලා කියන්න පුළුවන් නේද?


    https://www.facebook.com/chaminda.jayalath.520/videos/2639312196189536/

    ReplyDelete
    Replies
    1. මම මේ වගේ වීඩියෝ කෑලි වලට ප්‍රතිචාර දක්වන්න කැමති නැහැ. හරියට අදහසක් පළ කරන්නනම් සන්දර්භය දැන සිටිය යුතුයි. දවස දන්නවානම් හැන්සාර්ඩ් වාර්තා වලින් බලන්න පුළුවන්. කොහොම වුනත් "එජාපයේ යහපාලන ආණ්ඩුව කාලයේ 2016 සහ 2017 වසරවලදී ලංකාවෙ ආණ්ඩුවේ වියදම් කපා හැරියා වුණාට ආණ්ඩුවේ දේශපාලන නායකයින් ඇමති මන්ත්‍රී වරුන් සහ ඉහළ නිලධාරීන් ගේ සුඛ විහරණය සඳහා වූ වියදම්" ඒ විදිහටම කපා හැරුණේ නැහැ කියන චෝදනාව මම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ.

      මෙහි ඔබ අසාර්ථක වීම කියා කියන්නේ එම ආණ්ඩුව මිනිස්සුන්ට එපා වීම හෝ ආර්ථික වර්ධනය අඩාල වීම කියන කරුණු දෙකෙන් එකක් විය යුතුයි. ආර්ථික වර්ධනය අඩාල වීම සිදු විය යුතුව තිබුණු දෙයක් මිසක් වැරැද්දක් ලෙස මා දකින්නේ නැහැ.

      යහපාලන ආණ්ඩුව කොහොමටත් ඉතා සීමිත ජනවරමකින් පත්ව සිටි ආණ්ඩුවක්. මුල සිටම එජාපය හා ශ්‍රීලනිපය අතර වගේම එජාපය ඇතුළේ කණ්ඩායම් දෙක අතරත් ප්‍රශ්න තිබුණා. ආණ්ඩුවට විශාල දේශපාලන බලයක් කොහොමටවත් තිබුණේ නැහැ. බැදුම්කර චෝදනා වලින් පසුව මුලදීම ආණ්ඩුව කෙරෙහි වූ විශ්වාසය බිඳුනා. ජවිපෙ ක්‍රියා කළ ආකාරය එයට විශාල ලෙස දායක වුනා.

      මම මේ වියුණුව පටන් ගන්න විට යහපාලන ආණ්ඩුව බලයට පත් වෙලා. කැපී පෙනුණු එක් රාජපක්ෂවාදියෙකු හැර අනෙක් හැම ජනප්‍රිය බ්ලොග්කරුවෙක්ම වගේ හිටියේ අඩු වැඩි වශයෙන් යහපාලනය පැත්තේ. ඒ දවස් වල යහපාලනය වෙනුවෙන් කතා කරන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඒ වැඩේට ඕනෑ තරම් අය හිටියා. අඩු වශයෙන් බ්ලොග් අවකාශය තුළ සුළුතරය වී සිටියේ රාජපක්ෂවාදීන්. අප ලියන්නේ මධ්‍යස්ථව කියන කතාව ඒ දවස් වල රාජපක්ෂවාදීන් විසින්ම ප්‍රචාරය කළ කතාවක් මිසක් අප කියා ඇති කතාවක් නෙමෙයි.

      බැඳුම්කර චෝදනා වලින් පසුව යහපාලනය වෙනුවෙන් කතා කරන්න අය නැතුව ගියා. බැඳුම්කරය ගැන අප ලවා ලියවාගන්න රාජපක්ෂවාදීන්ට ලොකු උවමනාවක් තිබුණා. ඒ එයින් ඔවුන්ට වාසියක් ගන්න. එහෙත් අපට බොරු ලියන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. කිසිසේත්ම ජනප්‍රිය නොවන බව දැනගෙනත් අප ලිවුවේ නිවැරදි දේ. එජාපයට සම්බන්ධ කරමින් චෝදනා එන්න පටන් ගත්තේ එයින් පසුවයි. මේ ලියපු දේවල් තවමත් එලෙසම තියෙනවා.

      අප මෙහිදී සිදු වී ඇති අක්‍රමිකතා වෙනුවෙන් කිසිවිට පෙනී සිටියේ නැහැ. එහෙත්, ඉතා පැහැදිලිවම රාජපක්ෂ කඳවුර විසින් මෙන්ම ජවිපෙ විසින්ද කළේ දේශපාලන අරමුණකින් මුත්‍රා පාරක් ගඟක් කරන එකයි. තාවකාලික වාසි වෙනුවෙන් බොරු කීමේ අවාසි පසුව හෝ එනවා.

      රාජපක්ෂ කඳවුර කළේ 2015 ජනාධිපතිවරණ සමයේදී ඔවුන්ට ඒ ආකාරයේම බොරු චෝදනා එල්ල වීමේ තරහ පිරිමහ ගැනීමක් හා එකට එක කිරීමක්. බොරු කියා කියන්නේ අතිශයෝක්ති කියන පදනමෙන්. මා හිතන විදිහට ජවිපෙ උපක්‍රමය වුනේ කණ්ඩායම් දෙකම හොරු බව පෙන්වා 2020දී බලයට පැමිණීමයි. සිදු වුනු දේ ඉතිහාසය දන්නවා.

      බැදුම්කර පාඩුව ගණනය කිරීමේදී ජවිපෙ මෙන්ම විගණකාධිපතිවරයාගේද තර්කය වුනේ සෘජු නිකුතු ක්‍රමයට බැඳුම්කර අලෙවි කළ හැකිව තිබුණු බවයි. එහෙමනම් දැන් එසේ කළ නොහැකිව සල්ලි අච්චු ගහන්න වී තියෙන්නේ ඇයි කියා කාට හරි පැහැදිලි කරන්න පුලුවන්ද?

      නාස්තිය හා දූෂණය ගැන කතා කළ යුතුයි. එය මා කිසිසේත්ම අවතක්සේරු කරන්නේ නැහැ. එහෙත් නාස්තිය හා දූෂණය නැති කර ලංකාව සුඛිත මුදිත කළ හැකියි කියා හිතනවානම් එය මුලාවක්. ආර්ථිකයේ තිබෙන මූලික ව්‍යුහමය ප්‍රශ්න වලට විසඳුම් නොදී කවදාවත් ගොඩ එන්න බැහැ.

      ආණ්ඩුව කාගේද කියන එක වැදගත් කරුණක් නෙමෙයි. කවුරු කළත් මුහුණ දෙන්න වෙන්නේ එකම ප්‍රශ්න ටිකකට. 2015දී යහපාලන ආණ්ඩුව විසින් අතට ගත්තේ කඩා වැටෙන්න ඔන්න මෙන්න තිබුණු ආර්ථිකයක්. එම ආණ්ඩුව ඒ තත්ත්වය නවත්වා ගත්තා. නමුත්, ආර්ථිකය ගොඩ දැම්මේ නැහැ. නැවත දිනන්න බැරි බව පැහැදිලි වීමෙන් පසුව යහපාලන ආණ්ඩුව විසින් කළේ 2019 දක්වා ඇද ගන්න ප්‍රමාණවත් දේ කරන එක පමණයි.

      දැන් රත් වූ හට්ටිය මේ ආණ්ඩුව අතේ. මේ ආණ්ඩුවත් නිකම් නැහැ. යහපාලන ආර්ථික ප්‍රතිපත්ති වල විවේචකයින් වූ ඔවුන්ට නැවත ඒ දේවල්ම කිරීමේ හැකියාවක් නැහැ. ඔවුන් සල්ලි අච්චු ගැහීම තුළ අත්හදා බැලීමක් කරමින් සිටිනවා. මේකත් ලෝක පරිමාණයේම දැකිය හැකි අලුත් ට්‍රෙන්ඩ් එකක්. පවතින තත්ත්වය තුළ එහි යම් සාධනීය පැත්තකුත් තිබෙනවා. නමුත් විශාල අවදානමක් තිබෙන වැඩක්.

      Delete
    2. Over a three-and-a-half-month period, the US Federal Reserve, the American central bank, has printed a little over $3 trillion in order to counter the economic impact of covid-19.(Wijebahu)

      Delete
    3. I was in the process of writing an article on this. Other things became priorities.

      Delete
  7. රමනුජාන්ගෙ අති විශේෂ දක්ශතාවය/දැනුම දෙවියෙක්ගෙන් ලැබුනා කියලා එයත් ඔය 'වෙනත් දැනුම්' කතාව සාධාරණීකරණය කරන්න ගන්නවා නේද. තමන්ගෙ දක්ශතාවයේ ගෞරවය දෙවිකෙනෙකුට දෙන එක දකුනු ආසියානු සම්ප්‍රදාය වගෙයි. අනිත් එක ඔහුගෙ දක්ශතාවය acknowledge/appreciate කලෙත් බටහිර මිනිස්සු.

    ReplyDelete
  8. ඔබ උපුටාගෙන තිබෙන දේ හි මූලාශ්‍රය මා කියැවූයේ නෑ, අජිත් පැරකුම් ජයසිංහ නමැත්තෙකුගේ ලිපියක් අප කියවා ඇත්නම් ඒ අහම්බයක් මිස තෝරා බේරා කියවුවක් වීමේ වැඩි ඉඩකඩක් නෑ. එහෙත් ඒ ඡේදය නම් සරල ලෙස ඉවත දැමිය හැකි දෙයක්. ආචාර්‍ය සිල්වා කියන්නේ / ලියන්නේ කුමක් දැයි තේරුම් ගැනීමට විවේක බුද්ධියක් ඒ මහතාට නැති වීම අපගේ ප්‍රශ්නයක් කර ගත යුතු නෑ. මා කතා කරන්නේ ඊට පසුව ඔබ කියන දේ ගැන.

    "මේ වන විට සෑහෙන දුරකට ලංකාවේ රාජ්‍ය මතවාදය වී තිබෙන නලින් ද සිල්වාගේ මතවාදය" යන්න මා දකින්නේ තෝරා බේරාගෙන කරන අපහාසයක් ලෙස. ඔබ මෙය දිගින් දිගටම කරගෙන යන දෙයක්. ඔබ වෙනම ලිපියක් හෝ කිහිපයක් හෝ ලියමින් ආචාර්‍ය සිල්වා ගැන (වඩා නිවැරදිව කිවහොත් ඔහුගේ මතවාද ගැන) ඔබ තුල පැසවන වෛරය පැහැදිළි කර තිබෙන නිසා මා ඒ ගැනත් කියන්නට යන්නේ නෑ.

    ඔබේ සම්පූර්ණ ලිපියේ හරය පහත වැකිය තුල අන්තර්ගත බව මා දකිමි.
    " ධම්මික පැණිය සාර්ථක ප්‍රතිකාරයක් වීමේ හැකියාව පිළිගත් අයෙකුට, ලයිමා ෆාලිඩාගේ ප්‍රතිකාර ක්‍රමය සාර්ථක ප්‍රතිකාරයක් ලෙස පිළිගත නොහැක්කේ ඇයි "

    මෙය " වික්ටර රත්නායකට කටහඬ ලබා දීමේ නෙලූ අධිකාරි ක්‍රමය සාර්ථක ප්‍රතිකාරයක් වීමේ හැකියාව පිළිගත් අයෙකුට, ලයිමා ෆාලිඩාගේ ප්‍රතිකාර ක්‍රමය සාර්ථක ප්‍රතිකාරයක් ලෙස පිළිගත නොහැක්කේ ඇයි ?" යනුවෙන් මදක් වෙනස් කර ඇසීමට මා කැමතියි?

    ඔබේ පිළිතුර බලාපොරොත්තු වෙමි.

    මේ ගැන අපගේ අදහසක් ඇතත් එය ආචාර්‍ය නලින් ගේ අදහසින් වෙනස් විය හැකි නිසාත්, මේ ලිපිය දෙතිස් කතාවට පහර ගැසීම නොව ආචාර්‍ය නලින් ට පහර ගැසීම අරමුණු කර ගත් එකක් නිසාත් මගේ අදහස මෙහි දැක්වීමට උත්සුක නොවෙමි.

    ReplyDelete
    Replies
    1. //මේ ලිපිය දෙතිස් කතාවට පහර ගැසීම නොව ආචාර්‍ය නලින් ට පහර ගැසීම අරමුණු කර ගත් එකක් නිසාත්//

      පළමුව මම මෙහි මගේ අදහස් ලියනවා මිසක් කාටවත් පහර ගැසීම අරමුණු කරගෙන ලියන්නේ නැහැ. ඔබ එසේ සිතනවානම් එය එසේ නොවන බව පෙන්වීමේ අවශ්‍යතාවයක් හෝ හැකියාවක්ද මට නැහැ.

      //ඔබේ සම්පූර්ණ ලිපියේ හරය පහත වැකිය තුල අන්තර්ගත බව මා දකිමි.
      " ධම්මික පැණිය සාර්ථක ප්‍රතිකාරයක් වීමේ හැකියාව පිළිගත් අයෙකුට, ලයිමා ෆාලිඩාගේ ප්‍රතිකාර ක්‍රමය සාර්ථක ප්‍රතිකාරයක් ලෙස පිළිගත නොහැක්කේ ඇයි "

      මෙය " වික්ටර රත්නායකට කටහඬ ලබා දීමේ නෙලූ අධිකාරි ක්‍රමය සාර්ථක ප්‍රතිකාරයක් වීමේ හැකියාව පිළිගත් අයෙකුට, ලයිමා ෆාලිඩාගේ ප්‍රතිකාර ක්‍රමය සාර්ථක ප්‍රතිකාරයක් ලෙස පිළිගත නොහැක්කේ ඇයි ?" යනුවෙන් මදක් වෙනස් කර ඇසීමට මා කැමතියි?//

      ප්‍රශ්නය මේ ආකාරයට වෙනස් කළත් පිළිතුරෙහි ලොකු වෙනසක් නැහැ.

      Delete
    2. තවත් වැඩිපුර යමක් අවශ්‍යනම්, මීට පෙර දේව බලයෙන් සුව කරන තැනකදීත් දැරියක් මිය ගියානේ. මට දැන් මූලාශ්‍රයනම් හොයා ගන්න බැහැ.

      Delete
  9. Why Eliyantha White's name in the heading and nothing written about him? (Wijebahu)

    ReplyDelete
    Replies
    1. Just to leave a point for someone like you to ask this question. :)

      Well, if you need a better answer, read the entire title together without trying to decompose it.

      Delete
    2. Thanks for having someone like me in your mind :)W

      Delete
  10. මම අජිත් පැරකුම් ගේ ලිපිය දැක්කේ ඔබ යොමුව දැමූ නිසා. මගේ අදහසත් මෙයමයි. මම පොඩි සටහනක් දැම්මේ ඒ දැරිය මියගිය වේදනාවට. එයින් මම ඇහුවෙත් ඔය ප්‍රශ්න ටිකම තමයි. යාලුවෝ තරහ වෙනව කියා නොලියා ඉන්න හිටියත් ඒ ළමයා ගැන ඇතිවූ දුක නිසා ලිව්වේ.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: