වෙබ් ලිපිනය:

Sunday, March 28, 2021

වාර්ෂික යුවාන් කප්පම හා රුපියල පදවන අත


ලංකාව අළුතෙන්ම අරගෙන තිබෙන ණය යුවාන් ණයක්. ඩොලර් වලින් නැතුව යුවාන් වලින් මේ ණය අරගෙන තියෙන්නේ ඇයි? ඇත්තටම කියනවානම් අහන්න තියෙන්නේ ලංකාව යුවාන් වලින් නැතුව ඩොලර් වලින් ණය ගත යුත්තේ ඇයි කියන ප්‍රශ්නයයි. මොකද ඇත්තටම ලංකාවට හිඟ යුවාන් මිසක් ඩොලර් නෙමෙයි.

මේ ලංකාව යුවාන් වලින් ණය ගත්ත පළමු අවස්ථාව නෙමෙයි. කාලයක් තිස්සේම ලංකාව යුවාන් වලින් ණය ගන්නවා. ඒ වගේම ඩොලර් නොවන වෙනත් විදේශ ව්‍යවහාර මුදල් වලින්ද ණය ගන්නවා. බොහෝ විට කතාබහට ලක්වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දෙන ණය SDR ණය (special drawing rights). SDR කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජාත්‍යන්තර මුදල් ඒකකයයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගනුදෙනු කරන්නේ SDR වලින්.

ණය ගන්නේ කවර විදේශ ව්‍යවහාර මුදලකින් වුවත්, ණය ගැන කතා කරද්දී බොහෝ විට එවැනි ණය මුදලක් ඩොලර් වලට පරිවර්තය කරලා ඩොලර් වලින් ප්‍රකාශ කරන එක රජය, මහ බැංකුව වගේම මාධ්‍ය විසින්ද කරන දෙයක්. එය සංසන්දනය කිරීමේ පහසුවට කරන දෙයක්. මෙවර වුනත් යුවාන් බිලියන 10 සමහර වෙලාවට ඩොලර් බිලියන 1.5ක් විදිහට හැඳින්වෙන්නේ මේ සම්ප්‍රදාය අනුවයි.

කොහොම වුනත්, ණයක් කියා කිවුවට මේ ගණුදෙනුව විණිමය හුවමාරු ගිවිසුමක්. විණිමය හුවමාරු ගිවිසුමක් කියන්නේ කුමක්ද කියා මම කලින් පැහැදිලි කරලා තිබෙනවා. මෙවැනි ගිවිසුමකට එළැඹෙන්නේ රටවල් දෙකක මහ බැංකු. සාමාන්‍ය ණයකදී මෙන් අදාළ ව්‍යවහාර මුදල් ඒකක ගැන කතා නොකර විණිමය හුවමාරු ගිවිසුමක් ගැන කතා කරන්න බැහැ. ඒ නිසා, මෙවර ණය ගත්තේ යුවාන් වලින් කියන එකට මහ බැංකුවේ පුවත්පත් නිවේදනයෙහි වෙනදාට නැති අවධානයක් යොදවා තිබෙනවා. 

මම කලින් කිවුවා වගේම සාමාන්‍යයෙන් මෙහි ලියන ලිපිද ඇතුළු බොහෝ ලිපිවල ලංකාවට ඩොලර් හිඟයක් තිබෙන බව බොහෝ වර කියා ඇති නමුත් මෙහිදී ඩොලර් කියන එකෙන් අදහස් වන්නේ පොදුවේ රුපියල් නොවන විදේශ මුදල් කියන එකයි. හරියටම බැලුවොත් යුවාන් හිඟයක් හා ඉන්දියානු රුපියල් හිඟයක් මිසක් ඩොලර් හිඟයක් නැහැ. 

චීන ආනයන වෙනුවෙන් 2019 වසරේදී ලංකාව ඩොලර් බිලියන 4.08ක් වැය කර තිබෙනවා. එහෙත් චීනය ලංකාවේ අපනයන වෙනුවෙන් ගෙවා තිබෙන්නේ ඩොලර් මිලියන 391ක් පමණයි. මේ අනුව මෙහි ඩොලර් බිලියන 3.67ක හිඟයක් තිබෙනවා. සෑම වසරකම වගේ තත්ත්වය මෙවැන්නක්. 

දැන් මෙහි ඩොලර් බිලියන 3.67ක හිඟයක් කියා කිවුවත් ඇත්තටම මෙය ඩොලර් වලට පරිවර්තනය කර ඉදිරිපත් කරන යුවාන් බිලියන 24ක හිඟයක්. ලංකාවට චීනයෙන්ම යුවාන් නොලැබුනොත් යුවාන් හොයා ගන්න වෙන ක්‍රමයක් නැහැ. ලංකාව කාලයක් තිස්සේම කරන්නේ යුවාන් වෙනුවට ඇමරිකාවට ඇඟලුම් ඇතුළු භාණ්ඩ අපනයනය කර හා වෙනත් විවිධ ක්‍රම වලින් රටට ලැබෙන ඩොලර් චීනයට ගෙවන එකයි. 

චීනයට ඇත්තටම ඩොලර් වලින් වැඩක් නැහැ. ලංකාව සමඟ කරන වෙළඳාමෙන් වගේම ඇමරිකාව සමඟ කරන වෙළඳාමෙනුත් චීනයට කාලයක් තිස්සේ ඩොලර් ලැබෙනවා. වෙනත් තෙවන රටවල් වලින්ද ඩොලර් ලැබෙනවා. මේ ඩොලර් වලින් ආදායමක් උපයන්නනම් චීනයට එම ඩොලර් නැවත ණය සේ කාට හෝ දෙන්න වෙනවා. ඇමරිකාව ණය ගන්නේ ඉතාම අඩු පොලියකට. පොලිය ශුන්‍ය මට්ටමට ආසන්නයි. ඒ නිසා චීනයට ඇත්තටම මේ ඩොලර් බරක්. 

චීනය සතුව තිබෙන ඩොලර් චීනයට බරක් වුවත් මේ ඩොලර් එළියට දමන එකේ පාඩුවත් අන්තිමට චීනයටමයි. එසේ කළොත් ඇමරිකන් ඩොලරය විශාල ලෙස බාල්දු වෙයි. නමුත් ඒ එක්කම ඇමරිකන් නිෂ්පාදන විශාල ලෙස ලාබ වෙනවා. ඇමරිකාවට චීනය සතු නිෂ්පාදන වෙළඳපොළවල් අල්ලගන්න පුළුවන් වෙනවා. විශේෂයෙන්ම චීනයට ඇමරිකන් වෙළඳපොළ අහිමි වෙනවා. ඒ නිසා චීනය සතු ඩොලර් සංචිත කියා කියන්නේ චීනයට කොටි වලිගයක්. එක පාරට කොටි වලිගය අතාරින්න බැරි වුනත් උපක්‍රමික ලෙස කොටියාගෙන් නිදහස් වෙන්න චීනය සැලසුම් කරන බවයි ඔවුන්ගේ අලුත්ම පස් අවුරුදු සැලැස්මෙන් පෙනෙන්නේ.

චීනයට චීනයේ හදන බඩු විකුණන්න මිසක් ඩොලර් එකතු කරගෙන ගොඩ ගහගන්න අවශ්‍ය නැහැ. චීන බඩු රටින් පිට විකුණන්න පුළුවන් වෙන්නේ චීන යුවානය අවප්‍රමාණය වී තිබෙන තරමටයි. ඒ කියන්නේ අනෙක් මුදල් ඒකක අධිප්‍රමාණය වී තිබෙන තරමටයි. අනෙක් මුදල් ඒකක අධිප්‍රමාණය කරන්නනම් එම මුදල් මිල දී ගෙන ඉල්ලුම කෘතීම ලෙස වැඩි කළ යුතුයි. වක්‍ර විදිහට චීනය කාලයක් තිස්සේම ඇමරිකාවට කළේ ඒකයි.

චීනය විසින් යුවාන් ගෙවා ඇමරිකාවෙන් ඩොලර් මිල දී ගන්නවා. මේ වැඩෙන් ඩොලරය අධිප්‍රමාණය වෙලා ඇමරිකන් බඩු වලට සාපේක්ෂව චීන බඩු ලාබ වෙනවා. ඇමරිකාවේ නිෂ්පාදන කර්මාන්ත වැහෙනවා. ඇමරිකානුවන්ගේ රස්සා චීනයට යනවා. ඇමරිකාවට මේ යුවාන් වලින් වැඩක් නැති නිසා ඇමරිකාව ඒ යුවාන් නැවත චීනයටම දීලා චීනයෙන් භාණ්ඩ මිල දී ගන්නවා. නමුත් චීනය එකතු කර ගන්න ඩොලර් වලින් ඇමරිකන් භාණ්ඩ මිල දී නොගෙන ඒ විදිහටම තියා ගන්නවා. නිකම්ම තියාගෙන ඉන්න එක පාඩු නිසා සුළු පොලියකට ඇමරිකාවේම ආයෝජනය කරනවා. ඇමරිකාවට චීනය සමඟ වෙළඳාමෙන් පාඩුවක් වුනත් එහි හිලවුවට අඩු පොලියට අරමුදල් ලැබෙනවා. සල්ලි චීනයෙන් වුනත් ගෙවන පොලිය තීරණය කරන්නේ ඇමරිකාව.

මෙතෙක් කල් ලංකාව ඇමරිකාවෙන් හෝ වෙනත් රටකින් උපයාගත් ඩොලර් චීනයට ගෙවමින් හිටියා. උපයන ඩොලර් ප්‍රමාණවත් නොවෙද්දී ගිණි පොලියට ණයට අරගෙන චීනයට ගෙවුවා. දැන් ලංකාව ණය ගන්න බැරුව හිර වෙලා. ඩොලරය කඩා වැටෙන එක නවත්වාගෙන ඉන්නේ බොහොම අමාරුවෙන් බවත්, ඉදිරියේදී රුපියල විශාල ලෙස අවප්‍රමාණය විය හැකි බවත් ළඟදී ආණ්ඩුවේ ඇමතිවරයෙක්ම කියල තිබුණේ. 

රුපියල කඩා වැටුණොත් චීනයට මොකද වෙන්නේ? චීන බඩු වල මිල ලංකාවේ රුපියල් වලින් විශාල ලෙස ගණන් යනවා. ලංකාවේ චීන බඩු විකිණෙන එක නවතිනවා. ලංකාවෙන් චීනයට ලැබෙන යුවාන් බිලියන 24ක වාර්ෂික "කප්පම" චීනයට අහිමි වෙනවා. ඒ නිසා දැන් චීනයට අවශ්‍ය මොන ජාතියෙන් හරි රුපියල අවප්‍රමාණය වන එක වළක්වන්නයි. ඒ වෙනුවෙන් ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින් විසින්ම කටයුතු කරන නිසා චීනයට මේ වැඩේ හරිම පහසුයි. ඇමරිකාව එක්ක කරන ගනුදෙනු වලදී වගේ කිසිම ආතතියක් නැහැ. චීනයට අවශ්‍ය රුපියල ශක්තිමත් කරන්න. ලංකාවට අවශ්‍යත් ඒකමයි.

චීන යුවාන් ගෙවා ඇමරිකන් ඩොලර් මිල දී ගෙන කාලයක් තිස්සේ ඇමරිකන් ඩොලරයේ අගය අවප්‍රමාණය වීම වැළැක්වුවා වගේම දැන් චීනය ලංකාවේ රුපියලටත් අත ගහලා තිබෙනවා. කාටවත් වැඩක් නැති ලංකාවේ රුපියල් අරගෙන චීනය ලංකාවට යුවාන් බිලියන 10ක් දීලා. ඔය ගත්ත රුපියල් වලින් චීනය ලංකාවේ භාණ්ඩ මිල දී ගන්නේ නැහැ. අවුරුදු තුනක් ඒ ගත්ත විදිහටම සේප්පුවක දාලා තියා ගන්නවා පමණයි. අවුරුදු තුනකින් පස්සේ ලංකාව ණයට ගත්ත යුවාන් බිලියන 10ට පොලියත් එකතු කරලා ආපසු චීනයට දීලා රුපියල් ටික බේරාගත යුතුයි. එහෙම කරන්න ලංකාවට අවුරුදු තුනකින් පස්සේ යුවාන් ලැබෙන ක්‍රමයක් තියෙනවද? සමහර විට චීනයට වටින මොනවා හරි දෙයක් ණයේ හිලවුවට චීනය බාර ගනියි.

දැන් මේ යුවාන් බිලියන දහය ඇත්තටම ලංකාවට ලැබෙනවද? එහෙම ලැබෙන්නෙත් නැහැ. ඇත්තටම වෙන්නේ ලංකාව වාර්ෂිකව චීනයට ගෙවන යුවාන් බිලියන 24ක කප්පම යුවාන් බිලියන 14 දක්වා අඩු වෙන එක විතරයි. ඒ කියන්නේ මේ සල්ලි ලංකාවට එන්නෙවත් නැහැ.

දැන් පවතින තත්ත්වය අනුව කොහොමටත් ලංකාවට යුවාන් බිලියන 24ක කප්පමක් චීනයට ගෙවන්න විදිහක් නැහැ. ගෙවන්න ඩොලර් කොහෙන්ද? ඒ නිසා ඔය කප්පම කොහොමටත් යුවාන් බිලියන 14 පමණ මට්ටමකට අඩු වෙනවා. දැන් චීනය කරන වැඩෙන් චීනයට වෙනදා වගේම යුවාන් බිලියන 24ක් ම ලැබෙනවා. එයින් යුවාන් බිලියන 10ක් ලැබෙන්නේ රුපියල් වලින්. වෙනත් විදිහකින් කිවුවොත් රුපියල් බිලියන 300කට වැඩි ප්‍රමාණයක් ලංකාවේ මහ බැංකුවෙන් චීන මහ බැංකුවට යනවා. 

ලංකාවේ මුදල් සැපයුම පාලනය කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින්නේ. ඒ හරහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියලේ අගය තීරණය කරනවා. වෙන රටක මහ බැංකුවකට ලංකාවේ රුපියල් මුද්‍රණය කරන්න බැහැ. ඒ අයිතිය තියෙන්නේ ලංකාවේ මහ බැංකුවට පමණයි.

හැබැයි දැන් චීන මහ බැංකුව සතුවත් ලංකාවේ රුපියල් බිලියන 300ක් තිබෙනවා. රුපියල් අච්චු ගහන්න බැරි වුනත්, ඔය විදිහට රුපියල් එකතු කර ගත් විට ඒ සල්ලි වෙළඳපොළට දමලා රුපියලේ අගය පාලනය කරන්න චීන මහ බැංකුවටත් පුළුවන් වෙනවා. ඔය විදිහට ලංකාවේ මුදල් ප්‍රතිපත්ති හදන එකත් චීනයටම ගිහින් රුපියල් යුපියල් වෙයිද? 

29 comments:

  1. බේබද්දන්ට නයට බොන්න දීලා ඉඩම් ගෙවල් දොරවල් වල ඔප්පු ලියා ගත්තු පොලී මුදලාලිලා මතක් වෙනවා මේවා කියවනකොට.

    ReplyDelete
    Replies
    1. ඉකොනො මැට්ටගේ මේ රස කතා නිකම් කියවලා ආතල් එකක් ගන්න විතරයි. ගොඩක් දුරට කන්ස්පිරසි තියරි ශානරයේ ඒවා. මේවා සීරියස් ගන්න එපා. ඉකොනොමැට්ටා පහුගිය මාර්තු වල මේ ගැන ගහපු බයිලා බලන්න. ඩොලර් එකක් රුපියල් දෙසීය පනිනවා කිව්වා 2020 මැද. මොකද වුණේ? ඒ වගේම තමයි. මේ චීන debt trap කියලා කියන්නේ ඉන්දියාවේ කට්ටියක් හදපු බයිලයක්. බටහිර මාධ්‍ය මගින් මවා පෙන්වන බොරුවක්. මේවා ඇකඩමික් තලයේ විහිළුවක්.

      මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් අවශ්‍ය නම්.

      මේ චීනය විසින් currency devaluation කරලා ආනයන අධෛර්යමත් කරන බයිලාව නැත්නම් බටහිර මාධ්‍ය මගින් මවා පෙන්වන කරන්සි මැනිපියුලේසන් කියලා කියන්නේ ජෝක් එකක්. චීන ආර්ථික සංවර්ධනයට වෙනත් සැබෑ හේතු තියෙනවා.

      මෙන්න මේක බලන්න;

      https://www.macrotrends.net/2575/us-dollar-yuan-exchange-rate-historical-chart

      ඇත්තටම වෙලා තියෙන්නේ රෙන්මින්බි (යූආන්) වල අගය පහුගිය කාලේ පුරාම වැඩි වෙන එක. ඩොලර් එකක් රෙන්මින්බි (යූආන්) 8 ට තිබුණ එක ආපහු පහුගිය අවුරුදු දහය තුල හයක් විතර දක්වා අඩු වෙලා.

      තවත් ඕනේ නම් ඕමාන් රියාල් එක සමග චෙක් කරලා බලන්න. මේ ගැන වැඩි විස්තර දැන ගන්න ඔබට DIFC සහ මූල්‍ය/ ආයෝජන ක්ෂේත්‍ර වල වැඩ කරන ලංකාවේ අයගෙන් අහල බලන්න. එක්සත් අරාබි එමීර් රාජ්‍යය (විශේෂයෙන්ම ඩුබායි) චීනය සහ ඇමරිකන් යුරෝපීය රටවල් බැලන්ස් කරගෙන ගේම ගහනවා. අපටත් ඕන එහෙම නායකත්වයක්. ඒත් ඉතින් අපට කොහෙද එහෙම පොරවල්...

      Delete
    2. ඇනො, අපි සාමාන්යෙන් කියවන හැම දේම ඔලුවට දා ගන්නේ නෑ. එත් යම්කිසි දෙයක පිළිගන්න පුළුවන් දේවල් වලට වටිනාකමක් දෙනවා. කූබි ඔලුවක හරි මොලයක් තියෙන ඕනෙම කෙනෙකුට තේරෙනවනේ අපි ගත්ත නය වල විපාක තමා මේ ගෙවන්නේ කියලා. බිලියන ගණන් නය ගත්තා. ඒත් ඒවගෙන් ප්‍රමාණවත් අදායම් ජනිත වෙන්නේ නෑ. ඒ හින්ද නය ගෙවන්න විදියක් නෑ. සරලවම කිව්වොත් ඔය ටිකනේ අද වෙලා තියෙන්නේ.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. This comment has been removed by the author.

      Delete
  2. ඉහත ලිපිය සදහා යොදාගෙන ඇත්තේ ශ්‍රී ලංකා මහා බැංකුව විසින් නිකුත් කරන ලද මුදල් නෝට්ටුවක් විකෘති කරගෙනය. මෙය වරදකි. එම නිසා මෙම ලිපියේ අන්තර්ගතය පිළිබඳව බ්ලොගර් සමාගමට රිපෝර්ට් කලෙමි. කාර්යාලයේ මිතුරන්ද එය අනුමත කළේය. ඔවුන්ද රිපෝර්ට් කරනා බව දැන්වීය.

    ReplyDelete
    Replies
    1. තවත් මොනවාහරි කරන්නට තිබේනම් කරුණාකර අපටත් දන්වන්න. ස්තුතියි.
      ප. ලි. මල්ලිගේ කලිසම තාම බිම, ඒක පොඩ්ඩක් උස්සල ඇඳගන්න. නැත්තන් අශෝභනයි.

      Delete
    2. බෛ මලේ, බ්ලොගර් සමාගමට මේ පන්දාහේ කොලේ  දුක් ගැනවිල්ල කියන්න ඉස්සෙල්ලා මිරිහාන පැත්තේ  පොලෝසියට පැමිණිල්ලක් දැම්මේ නැතෙය..? ⁣ඒ පොලෝසියට කියන්න යන්න ඉස්සෙල්ලා යටට තදට ඇඳං පලයං හොඳේ.හොඳ මහත්තුරු ඒකේ ඉන්නේ.

      පස්සෙං පහුව, ඒ පැමිණිල්ලෙයි, බ්ලොගර් කොම්පැණියට  කල පැමිණිල්ලෙයි කොපි දෙකක් මේ බ්ලොග්ගෙකට ඇටෑක් කරහං වේලාව තිබ්බොත්.

      බෛ පිය සරමයි උඹලා ඔක්කෝටම!

      CP-C

      Delete
  3. බොරුවට මිනිස්සු නොමග යවන්න එපා, ලංකාවට එන බහුතරයක් චීන සමාගම් බිල් කරන්නෙ යුආන්වලින් නෙවෙයි, ඇමරිකන් ඩොලර්වලින්. ඒ නිසා ලංකාව යුආන් ගත්තා කියලා ඒවා ආපහු චීන සමාගම් භාර ගන්නෙ නෑ, ඒගොල්ලො ඉල්ලන්නෙත් ඇමරිකන් ඩොලර්. යුආන් ගත්තට ඒක ජාත්‍යන්තර පිලිගත් මුදල් ඒකකයක් නෙවෙයි, සමහරවිට චීන ගැත්තො වෙච්ච ඉරානෙ වගේ රටවලින් ලංකාව තෙල් ගන්නකොට යම් කොටසක් යුආන්වලින් ගෙවන්න පුළුවන් වෙයි. ලංකාව චීනෙන් ඉල්ලුවෙ ඇමරිකන් ඩොලර්, ඒත් ලැබෙන්නෙ යුආන්, ඒකට හේතුව චීනෙ උත්සාහ කරනවා ඒගොල්ලොන්ගෙ මුදල් ඒකකය ජාත්‍යන්තර පිලිගත් මුදල් ඒකකයක් කර ගන්න.

    ReplyDelete
    Replies
    1. මහත්තයෝ කලබල වෙන්ට එපා. මේකේ පැහැදිලිවම කියලම තියෙනවනේ ණයට හිලව් වෙනවා මිසක ඇත්තටම අපිට යුවාන් එකක්වත් ලැබෙන්නෙ නෑ කියල. වැටහෙන්නේම නැත්තන් බන්දුල ස' ගෙන් හෝ කබ්‍රාල් තුමාගෙන් අහන්ටකෝ.

      Delete
  4. ලංකාවෙන් වර්ථමානයේ කිසිම රටකට ණයක් දීලා නැද්ද?

    ReplyDelete
    Replies
    1. ලංකාව කියන්නෙ හිඟන රටක්, ලෝකෙට ලංකාව පේන්නෙ, පිටකොටුවෙ වැරහැලි ඇඳගෙන හිඟාකන මිනිහෙක්ව අපිට පේන විධියට. ඉතින් ඒ වගේ හිඟන්නෙක්ගෙන් මිනිස්සු සල්ලි ණයට ගන්නවද ? ඒ වගේ හිඟන්නෙක්ගෙන් ණයට ගන්න අදහසක් ආවොත්, ඌට පිස්සු වෙන්න ඕනෙ. හැබැයි කථාව නම් ලෝකෙන්ම උතුම් රට, අනිත් රටවල් බලා ඉන්නෙ ලංකාව යටත් කර ගන්න වගේ මනෝ විකාර.

      Delete
    2. ඔය කිව්වේ. ඔය කිව්වේ. යුරෝපෙ ග්‍රීසියේත් ආයෝජනේ කළ රටක් මේක. ඔව් ග්‍රීසියේත්.

      Delete
    3. විදේශ සංචිත කියා කියන්නේ රටින් පිට ආයෝජනය කර තිබෙන ලංකාව සතු වත්කම්. රුපියලේ ඇත්ත වටිනාකම රඳා පවතින්නේ මේ සංචිත ප්‍රමාණය මතයි. නැත්නම් රුපියල් කියන්නේ නිකම්ම කඩදාසි. සංචිත අඩු වෙද්දී රුපියලේ නෛසර්ගික අගයද අඩු වෙන්නේ ඒකයි.

      Delete
  5. මේකේ කියලා තියෙන දේවල් බොහෝ දුරට බ්‍රහ්මා චල්නේ ගේ චීන ණය උගුලේ මිථ්‍යා විශ්වාසය මත පදනම්ව ලියල තියෙනවා ද මන්දා

    //සමහර විට චීනයට වටින මොනවා හරි දෙයක් ණයේ හිලවුවට චීනය බාර ගනියි.//

    විශේෂයෙන් මේක

    මේ චීන ණය කතාව ඇතැම් මාධ්‍ය මගින් මවා පෙන්වන බොරුවක් බව තමයි පිළිගත් ආර්ථික සහ මූල්‍ය විශේෂඥයින් දරන මතය;

    මේ බලන්න ඇකඩමික පර්යේෂණ

    https://commons.ln.edu.hk/ipswp/1/

    මේ තියෙන්නේ ඒ ගැන විශේෂඥයන් විසින් කරපු විශ්ලේෂණ;

    01. https://www.theguardian.com/world/2019/oct/21/chinese-loans-expose-pacific-islands-to-risk-of-unsustainable-debt-report-finds

    02. https://www.tandfonline.com/doi/full/10.1080/01436597.2020.1807318

    03. https://www.spectator.co.uk/article/the-myth-of-china-s-debt-trap-diplomacy-

    04. https://www.theatlantic.com/international/archive/2021/02/china-debt-trap-diplomacy/617953/

    (මේක සම්පූර්ණයෙන්ම කියවා බලන්න අග කොටස)

    05. https://www.chathamhouse.org/2020/08/debunking-myth-debt-trap-diplomacy

    මේ කියන තරම් යකා කළු නැහැ. අනෙක චීනය නැත්නම් ඇමරිකා එක්සත් ජනපදය ලංකාවට වෙස්සන්තර රජා වගේ ඇවිත් දනට පිනට ඩොලර් බිලියන ගණනින් දන් දේවි ද?

    අනෙක මේ මුදල් අව ප්‍රමාණය කිරීම ගැන කතාවත් ඒ වගේම තමයි.

    ReplyDelete
  6. ඉකෝන්, අපි ඇමරිකානු ආර්ථිකය දිහා බැලුවාම මොකද හිතෙන්නේ අර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ චීන විරෝධී වෛරී වර්ගවාදී නොතකා ඇමෙරිකානු පාරිභෝගිකයා 2020 දක්වා වසර 05 තුළ වැඩි වැඩියෙන් චීන නිෂ්පාදන අධික ලෙස මිලදී ගැනීම ගැන?

    ඒ වගේම ට්ට්ම්ප් එන්න කලින් 2015 දී සමස්ත ඇමරිකානු ආනයන අතුරින් සියයට 40.6 ක් චීනයෙන් ගෙන්වවල තිබ්බ එක ඊට පස්සෙ වසරින් වසර වැඩි වෙලා 2020 වසරේ ජුනි මාසය දක්වා අඩ වසර තුළ සියයට 41.1ක් වුණ නිසා චීන ආනයන වෙනුවෙන් පළමු වටයේ ඩොලර බිලියන 50 ක් බදු වැඩි කළත් වෙනත් රටවල් සේරම එකතු වෙලා පවා චීනය වෙනුවෙන් ආදේශ වන්නට නොහැකි වුණේ ඇයි?

    මේ වන විට බිඳ වැටෙන ඇමරිකානු ආර්ථිකයේ ඇමෙරිකානු පාරිභෝගිකයන්ට අඩු මිල චීන භාණ්ඩ වෙළඳපොළ අතහැරිය නොහැකි බව වගේම මෙක්සිකෝවට සහ කැනඩාවට පසු වර්ධනය වන ඇමෙරිකානු අපනයන වෙළඳපොළ ඇත්තේ චීනයෙ කියන එක ඇත්ත නේද?

    මේ සේරටම වඩා වැඩි දෙයක් ඇමෙරිකානු අයවැය හිඟය පියවීමේ චීන දායකත්වය ඔවුන්ට මග හැරිය නොහැකි බව මොකද චීනය, ඇමෙරිකානු භාණ්ඩාගාර බිල්පත් මිලට ගන්නා ප්‍රධානම විදේශික රජයයි.

    බලන්න බ්ලූම්බර්ග් වාර්තා අනුව 2017 වන විට ඇමරිකානු භාණ්ඩාගාර බිල්පත් ඩොලර ට්‍රිලියන 1.3 ක සෘජු හිමිකාරිත්වයක් චීනයට තිබුණු අතර, තවත් ඩොලර බිලියන 250 ක වක්‍ර හිමිකාරිත්වයක් ද චීනය සතු බව කියනවා.

    මේ වන විට චීනය සමග ඇති එවැනි බරපතල ආර්ථික ගැට ගැසීමක හිර වෙලා කෙළ වෙලා තියෙද්දි ට්‍රම්ප්ගේ හිතුවක්කාර දේශපාලනෙන් චීන - ඇමෙරිකානු සබඳතා නොරොක් වුණා මිසක් ඇමෙරිකාවට ඉන් කිසිම වාසියක් නොවුණ වගේම චීනය බොහෝ විට ඉතා අනම්‍ය, දැඩිව තම මතයේ පිහිටා සිටීමට අමතරව, චීනය සම්බන්ධ පැහැදිලි ප්‍රතිපත්තියක් නොවීම නිසා ට්‍රම්ප් ඉතිරි කරල තියෙන්නේ මහත් විකාර රූප් රාජ්‍යතාන්ත්‍රික අවුලක් නේද?

    මේ දවස්වල ජාත්‍යන්තර දේශපාලනයෙහි සලකා බැලෙන්නේ අවුරුදු 78 ක් වයස වල පයයි ගොඩ පයයි බයිඩන් සහ කමලා නැන්දගේ ආතල් පාලනයක් එවැනි බරපතල රාජ්‍යතාන්ත්‍රික අවුල් විසඳන්නේ කොහොමද කියල. මේ ගැනත් පෝස්ට් එකක් ලියන්න පුලුවන් නේද?

    ReplyDelete
    Replies
    1. //ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ චීන විරෝධී වෛරී වර්ගවාදී නොතකා ඇමෙරිකානු පාරිභෝගිකයා 2020 දක්වා වසර 05 තුළ වැඩි වැඩියෙන් චීන නිෂ්පාදන අධික ලෙස මිලදී ගැනීම ගැන?//

      ගුණාත්මක භාවයෙන් අඩුවක් නැති ආදේශකයක් අඩු මිලට ලැබෙන විට ඇමරිකන් පාරිභෝගිකයින් එය හදා තිබෙන්නේ කවර රටේද කියා හොයන්නේ නැහැ. ලාබ ආදේශකය මිල දී ගන්නවා.

      //ඇමෙරිකානු පාරිභෝගිකයන්ට අඩු මිල චීන භාණ්ඩ වෙළඳපොළ අතහැරිය නොහැකි බව වගේම මෙක්සිකෝවට සහ කැනඩාවට පසු වර්ධනය වන ඇමෙරිකානු අපනයන වෙළඳපොළ ඇත්තේ චීනයෙ කියන එක ඇත්ත නේද?//

      ඔව්. මේක win-win තත්ත්වයක් මිසක් zero-sum game එකක් විය යුතු නැහැ. මෙවර චීන සංවර්ධන සමුළුවේ සාකච්ඡා වුනේත් මේ කරුණයි.

      //ඇමෙරිකානු අයවැය හිඟය පියවීමේ චීන දායකත්වය ඔවුන්ට මග හැරිය නොහැකි බව මොකද චීනය, ඇමෙරිකානු භාණ්ඩාගාර බිල්පත් මිලට ගන්නා ප්‍රධානම විදේශික රජයයි.//

      මේ ප්‍රකාශය නිවැරදි නැහැ. චීනය සතු භාණ්ඩාගාර බිල්පත් ඇතුළු ඇමරිකානු රාජ්‍ය සුරැකුම්පත් ප්‍රමාණය මුළු ප්‍රමාණයෙන් 3.9%ක පමණ ප්‍රමාණයක් පමණයි. චීනය ඇමරිකානු රාජ්‍ය සුරැකුම්පත් මිල දී නොගත්තා කියා ඇමරිකානු රජයට රාජ්‍ය සුරැකුම්පත් විකුණන්න බැරි වෙන්නේ නැහැ. මේ දවස් වල තෙමස් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි වෙන්නේ 0.01% තරම් අඩු පොලී අනුපාතිකයකට. පස් අවුරුදු බැඳුම්කර පොලිය වුවත් 0.89%ක් පමණයි. එවැනි ඉතා අඩු පොලියක් යටතේ පවා ඇමරිකානු භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කිරීමේ අවශ්‍යතාවය තිබෙන්නේ චීනයටයි. එහෙම නැතුව ලංකාව වගේ ඇමරිකාව චීනයෙන් ණය ඉල්ලගෙන යන්නේ නැහැ. චීන බඩු ඇමරිකාව තුළ අඩු මිලට විකුණන්නනම් චීනයට අඩු පොලියට, දැන්නම් පොලියක් නැතුවම, ඇමරිකාවට ණය දෙන එක කරන්නම වෙනවා.

      //බලන්න බ්ලූම්බර්ග් වාර්තා අනුව 2017 වන විට ඇමරිකානු භාණ්ඩාගාර බිල්පත් ඩොලර ට්‍රිලියන 1.3 ක සෘජු හිමිකාරිත්වයක් චීනයට තිබුණු අතර, තවත් ඩොලර බිලියන 250 ක වක්‍ර හිමිකාරිත්වයක් ද චීනය සතු බව කියනවා.//

      දැන් මේ ප්‍රමාණය ඩොලර් බිලියන 1095.2ක් පමණයි (2021 ජනවාරි අවසානයේදී). මෙම ප්‍රමාණය මුළු ණය ප්‍රමාණය වන ඩොලර් බිලියන 27,747න් 3.9%ක් පමණයි. කාලයක් චීනය විසින් සූදුව හොඳින් ක්‍රීඩා කළත් ඩොලර් ආයෝජන මේ වෙද්දී චීනයට කොටි වලිගයක් වී අවසන්. අලුත් පස් අවුරුදු සැලසුමෙන් චීනය විසින් තමන්ගේ ඉදිරි උපාය මාර්ග වෙනස් කර තිබෙන්නේ ඒ නිසයි. ඉදිරියේදීත් චීනයට ඇමරිකානු වෙළඳපොළ අවශ්‍ය වනවා වගේම ඇමරිකාවට චීන වෙළඳපොලද අවශ්‍ය වන නමුත් කලින් ලබාගත් ආකාරයේ වාසියක් චීනයට දිගින් දිගටම ලබා ගන්න බැහැ.

      //චීනය සම්බන්ධ පැහැදිලි ප්‍රතිපත්තියක් නොවීම නිසා ට්‍රම්ප් ඉතිරි කරල තියෙන්නේ මහත් විකාර රූප් රාජ්‍යතාන්ත්‍රික අවුලක් නේද?//

      මේක ටිකක් සංකීර්ණ දෙයක්. ට්‍රම්ප් කරපු දේවල් ඒ විදිහට කළේ ට්‍රම්ප් නිසා වුනත් ඒ දේවල් ඒ විදිහට හෝ වෙනත් විදිහකට වෙන්න අවශ්‍ය සාධක ඇති වෙලයි තිබුණේ. වෙන කෙනෙක් හිටියානම් ඔය වැඩේ වෙන විදිහකට කරයි. දැන් බයිඩන් ආවට පස්සේත් ලොකු වෙනසක් නොවෙන්නේ ඒ නිසයි. චීනය මේ තත්ත්වය නිවැරදිව අවබෝධ කරගෙන තිබෙනවා. චීනය සාර්ථක ඉනිමක් අවසන් කර තිබෙනවා. ඒ ක්‍රීඩා විලාශය තව දුරටත් හරියන්නේ නැහැ. මෙතැන් සිට චීනය විසින් ක්‍රීඩා කරනු ඇත්තේ වෙනත් ක්‍රමයකට. චීනය දැන් අවශ්‍ය පමණට ඇමරිකන් වෙළඳපොළ අල්ලාගෙන ඉවරයි. ඒ නිසා තවදුරටත් ඇමරිකාව එක්ක වෙළඳ යුද්ධ ඇතිවෙන එකක් නැහැ. දැන් චීනයට අවශ්‍ය අලුත් වෙළඳපොළවල්. එහි බලපෑම ලංකාව වගේ රටවලට හොඳින් දැනෙයි. නමුත් චීනය ඇමරිකාවට අලුතෙන් ප්‍රශ්න ඇති කරන එකක් නැහැ. ඒ නිසා බයිඩන්ට විසඳන්න චීන ප්‍රශ්නයක් ඇති වෙන එකකුත් නැහැ.

      Delete
    2. ස්තූතියි ඉකෝන්,

      //චීනය ඇමරිකාවට අලුතෙන් ප්‍රශ්න ඇති කරන එකක් නැහැ. ඒ නිසා බයිඩන්ට විසඳන්න චීන ප්‍රශ්නයක් ඇති වෙන එකකුත් නැහැ.//

      ඒ වුණාට චීනයට අදාළ රාජ්‍යතාන්ත්‍රික වගකීම් සඳහා ඇමෙරිකානු ආසියානුවන්, විශේෂයෙන් ඉන්දියානු සම්භවයක් ඇති ඇමරිකන් අය වැඩි වශයෙන් පත් කර තිබීමෙහි ඇත්තේ ද ට්‍රම්ප්වාදී චීන නැඹුරුවක්.

      අනික් පැත්තෙන් ගත්තොත් ට්‍රම්ප් චීන ආනයන වෙනුවෙන් තීන්දු කළ බදු, චීන විදුලිසංදේශ සමාගම් නිව් යෝර්ක් කොටස් වෙළඳපොළෙන් ඉවත් කිරීමේ තීන්දු, චීන තාක්ෂණික සමාගම් තහනම් කිරීම වැනි කිසිවකට බයිඩන් අත තබා නෑ.

      ඒත් චීනය සම්බන්ධයෙන් බටහිර යුරෝපීය මිත්‍ර රටවල සහාය ලබා ගැනීම බයිඩන්ගේ ප්‍රධාන උත්සාහයක් වනු ඇතැයි ඔහුගේ කණ්ඩායමේ අදහසයි.

      ආසියානු කලාපයේ විශේෂයෙන් අපේ දකුණු ආසියානු කලාපයෙහි චීනයට මුහුණදීමේ ඉන්දීය සාධකය වැඩි අවධාරණයක් ඒ සමග ලැබුණත් එය කෙතරම් දුරකට පාකිස්තානය හා බංගලාදේශය චීනයෙන් දුරස්ථකර තැබීමට ඉවහල්වේ ද යන්න තවත් බරපතල මට්ටමක ගැටලුවක් නේද?

      බයි ඩන්ගේ ඇත්තේ ඔබාමා යුගයේ චීන භූ-දේශපාලන කියවීම මයි එදාත් ඒක අතිශය අසාර්ථක කියවීමක් වුණා.

      ඒකට යුරෝපා සංගමයේ සහාය ඇතිව විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හරහා දුප්පත් රටවල යුධ අපරාධ, වගවීම් හා මානව හිමිකම් උල්ලංඝන අධීක්ෂණයට ගැනීම හා පිරික්සීම මගින් චීන ආධිපත්‍යයට මුහුණ දිය හැකි යැයි වූ ඇමෙරිකානු කියවීම දැඩි ලෙස අසාර්ථක වුණා. එය ඉතා විවෘතව ප්‍රදර්ශනය වූයේ අපගේ භූ-දේශපාලනය සමගයි. කිසිදු සමාජ-ආර්ථික සංවර්ධන ක්‍රියාපිළිවෙතක් සඳහා තේරීමක් ඉතිරි නොකර, විදේශ ණය මත රැඳවූ රටක් යුධ අපරාධ, වගවීම් හා මානව හිමිකම් උල්ලංඝන පරීක්ෂණයට තැබීම, චීනයට දෙනු ලැබූ විශාල වාසියක් වුණා.

      //චීනයට අවශ්‍ය අලුත් වෙළඳපොළවල්. එහි බලපෑම ලංකාව වගේ රටවලට හොඳින් දැනෙයි. //

      ඔවු ඒක ඇත්ත තමයි ඒත් ඇමරිකානු එක්සත් ජනපදයේ බල දේශපාලන සැලසුම් අනුව ඔවුනට අකීකරු තර්ජනයක් වන රටක් අවශ්‍ය නම් විනාශ කරන එක තමයි ගොඩක් වෙලාවට සැලසුම් වෙන්නේ.

      නමුත් චීන උපාය මාර්ග අනුව අවශ්‍ය රටවල ආර්ථිකය ශක්තිමත් කිරීම මගින් චීනයට වෙළඳ පොළවල් නිර්මාණය කරන එක. ඒ අනුව අර ඔබ කලින් කී අල්ලංකා ගලවංකා කතාවේ වගේ රටවල් දෙකටම වින් වින් තත්වයකට යන එක නේද හොඳ? ලංකාවට ඇමරිකානු යුරෝපීය අපනයන වෙළඳ පොළ නිර්මාණය කරගෙන චීන ආනයන මත යැපෙන ආර්ථිකයක් වගේ දෙයක් නේද?

      Delete
    3. //නමුත් චීන උපාය මාර්ග අනුව අවශ්‍ය රටවල ආර්ථිකය ශක්තිමත් කිරීම මගින් චීනයට වෙළඳ පොළවල් නිර්මාණය කරන එක. ඒ අනුව අර ඔබ කලින් කී අල්ලංකා ගලවංකා කතාවේ වගේ රටවල් දෙකටම වින් වින් තත්වයකට යන එක නේද හොඳ? ලංකාවට ඇමරිකානු යුරෝපීය අපනයන වෙළඳ පොළ නිර්මාණය කරගෙන චීන ආනයන මත යැපෙන ආර්ථිකයක් වගේ දෙයක් නේද?//

      සාමාන්‍යයෙන් ජාත්‍යන්තර වෙළඳාමේ දී වෙන්නේ ඔය වගේ දෙයක්. නමුත් මෙතැන ඌ මට ගහනවා මට ඌ ගහනවා වගේ දෙයක් මිසක් වින් වින් එකක් වෙන්නේ නැහැනේ. ශ්‍රමය ලාබ රටකින් ශ්‍රමය මිල වැඩි රටක් ශ්‍රමමූලික නිෂ්පාදන මිල දී ගන්නවා. ප්‍රාග්ධන මූලික නිෂ්පාදන විකුණනවා. සාමාන්‍යයෙන් ජාත්‍යන්තර වෙළඳාමේදී වෙන්නේ ඕක. ඇමරිකාවේ ඒක පුද්ගල ආදායම ලංකාවට හා චීනයට වඩා වැඩියි. ඒ නිසා, ඇමරිකාව ලංකාවේ හා චීනයේ ලාබ ශ්‍රමයේ වාසිය ගන්නවා. ඒක රටවල් දෙකටම වාසියි. ඒ පදනම මත ලංකාවට ඉන්දියාවෙන් ආනයන එන එකත් පැහැදිලියි.මොකද ඉන්දියාවේ ශ්‍රමය ලංකාවට වඩා ලාබයි. ප්‍රශ්නය ලංකාවෙන් ඉන්දියාවට ප්‍රාග්ධනය නොයන එකයි.

      චීනයේ ඒක පුද්ගල ආදායම ලංකාවට වඩා වැඩියි. එහෙමනම් චීනයෙන් ලංකාවට ශ්‍රමමූලික නිෂ්පාදන එන්නේ කොහොමද? වෙන්න ඕනෑ එහි අනෙක් පැත්තයි. චීනය ලංකාවට ප්‍රාග්ධනය සපයලා එහි ආන්තික ලබා ගන්නවා. ඒක හරි. නමුත් ඒ එක්කම වක්‍ර විදිහට චීන ශ්‍රමයත් ලංකාවට විකුණනවා. ලංකාවේ රස්සා නැති වෙනවා. ඇමරිකාව හා ලංකාව අතර මෙන් වින්-වින් එකක් නැහැ. කාලයකට පෙර චීනය හා ලංකාව අතර රබර්-සහල් ගිවිසුම් වගේ දේවල් තිබුණා. එහෙන් හාල් එද්දී මෙහෙන් රබර් ගියා. ඒවා වින්-වින්. දැන් චීනයෙන් ගන්න දේවල් වල හිලවුවට ලංකාවෙන් චීනය ගන්නේ මොනවාද? චීන බඩු විකුණලා ඒ බඩු ගන්න සල්ලිත් චීනයෙන්ම ණයට දෙනවා. මේකෙන් ගොඩ යන්න ක්‍රමයක් තියෙනවද?

      ලංකාව චීනයෙන් ආනයනය කරනවා කියන්නේ ලංකාවට සාපේක්ෂව චීනයේ නිෂ්පාදන පිරිවැය අඩුයි කියන එකයි. ඒ කියන්නේ ඔබ කියන ඇමරිකාවෙන් හා යුරෝපයෙන් සල්ලි හොයන වැඩේ කවදාවත් වෙන්නේ නැහැ. ඇමරිකා හා යුරෝපා වෙළඳපොළේදී චීනය ලංකාවේ තරඟකරුවෙක්. ඇමරිකාවට හා යුරෝපයට ලංකාව හරහා වක්‍රව ගනුදෙනු නොකර වඩා ලාබෙට කෙළින්ම චීනයෙන්ම ගන්න දෙයක් ගන්න පුළුවන්. ඒ නිසා ඇත්තටම වෙන්නේ චීනය නිසා ලංකාවට ඇමරිකාවෙන් හා යුරෝපයෙන් ලැබෙන ආනයන ඉල්ලුම අඩු වෙන එක. ඔබ කියන විදිහට සමතුලිත වෙනවානම් ලංකාවට ගෙවුම් ශේෂ ප්‍රශ්නයක් එන්න විදිහක් නැහැනේ. ජාත්‍යන්තර වෙළඳාමේ වින්-වින් තත්ත්වය එන්නේ රටවල් දෙක තම තමන්ගේ රටවල් වල වාසියට ක්‍රියා කිරීම තුළ. රටවල් දෙකම ක්‍රියා කරන්නේ එක රටක වාසිය වෙනුවෙන්නම් වින්-වින් එකක් වෙන්නේ නැහැ.

      ට්‍රම්ප් කළේ චීනයේ වාසියට තිබුණු ඇමරිකානු-චීන වෙළඳාම ඇමරිකාවේ වාසියට හරවපු එක. ඊට පෙර ඇමරිකාවේ තිබුණු ලිබරල් ජාත්‍යන්තරවාදී ස්ථාවරය චීනය විසින් තමන්ගේ වාසියට හරවාගෙන තිබුණා. වාසිය තිබුණේ චීනයට නිසා ට්‍රම්ප් කරපු දේවල් හමුවේ චීනයට කරන්න දෙයක් තිබුණේ නැහැ. මොකද සමස්තයක් විදිහට ඇමරිකාවට නැති වෙන්න දෙයක් තිබුණේ නැහැ. චීනයට තිබුණා. ඒ නිසා චීනයට පසු බහින්න සිදු වුනා. දැන් බයිඩන් ආවා කියලත් වෙනසක් නොවෙන්නේ ඒ නිසයි. නිවැරදි වුනේ නිවැරදි විය යුතුව තිබුණු දෙයක්. තමන් කාලයක් කළ දේ තව දුරටත් දිගටම කළ නොහැකි බව දැන් චීනය අවබෝධ කරගෙන තිබෙනවා. ඒ නිසා, දැන් චීනය උත්සාහ කරන්නේ වින්-වින් මට්ටමෙන් සෑහීමකට පත් වෙන්නයි. බයිඩන්ට විසඳන්න චීන ප්‍රශ්නයක් ඇති වෙන එකක් නැහැ කිවුවේ ඒ නිසයි. ලංකාව හා ඇමරිකාව අතර තත්ත්වය ගත්තත් වෙළඳාමෙන් ඇමරිකාවට අවාසියි. ඇමරිකාව ලංකාවට අත නොගැසුවේ පාඩුව පොඩි නිසා. ට්‍රම්ප් දිගටම හිටියනම් ලංකාවටත් අත ගහනවා. ට්‍රම්ප් නැතත් එය වෙන්න පුළුවන්. මොකද ආර්ථික ප්‍රතිපත්ති හදන්නේ ජනාධිපති නෙමෙයි. ඒ නිසා ඔය ඇමරිකාවට හා යුරෝපයට බඩු විකුණලා ආදායම් හොයාගෙන චීනයෙන් බඩු මිල දී ගන්නවා කියන එක උපාය මාර්ගයක් විදිහට හරියන වැඩක් නෙමෙයි.

      Delete
    4. කරන්න ඕනෑ මොකක්ද කියන එකත් කිවුවේ නැත්නම් මෙය සම්පූර්ණ නැහැනේ. චීන ප්‍රාග්ධනය ලබාගත යුත්තේ මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධනය වැනි ව්‍යාපෘති වලට නෙමෙයි. ලංකාවේ විශාල පිරිසකට රැකියා ලැබෙන ආයෝජන වලට. ඇඟලුම් ලංකාවට ගැලපුනේ හැත්තෑ හතේදී. දැන් ගන්න ඕනෑ දැන් ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපන මට්ටමේ සිටින විශාල පිරිසකට රැකියා සැපයිය හැකි කර්මාන්ත. ඒ වගේම එම කර්මාන්ත ලංකාවේ ව්‍යවසායකයන්ට තාක්ෂනය ලබා ගැනීමට උදවු වන ඒවාද විය යුතුයි. එවැනි කර්මාන්ත රාශියක් චීනයේ තිබෙනවා. මහා පරිමාණ චීන කර්මාන්ත ලංකාවේ පටන් අරගෙන ලංකාවේ මිනිස්සු ඒවායේ වැඩ කරද්දී ඒ බඩු ලංකාවෙන් ලෝකයටම යනවනම් සිල්ක්රෝඩ් අවශ්‍යතා තිබුණත් නැතත් ලංකාවටත් වාසියක් තියෙනවා. චීන ණය අරගෙන නැවත චීනයටම සල්ලි ටික දීලා ණය විතරක් ගොඩ ගසා ගැනීමෙන් කවදාවත් ගොඩ යන්න බැහැ.

      Delete
    5. Even with large scale infrastructure projects, if we can get some technology transfer, that is a + point I suppose. For example, during the Mahaweli projects, whole lot of Sri Lankan labour and technicians worked in those projects. When they were finishing in mid 80s, there was a well-trained set of technicians available in the market. So, when the European engineering firms went to middle east after SL, they got down many Sri Lankan technicians to work with them in the ME. Those who started Quantity Surveying (QS) in the ME were ex- Mahaweli technicians. Anyone who has worked in the ME knows our monopoly in the QS field. We are still earning dollars due to that technology transfer.
      But in these Chinese funded projects, involvement of our labour is almost zero. What we get is a finished product and a mountain of debt.

      Delete
    6. My exact point is the benefit of this technology transfer. While the exact overall benefit of this technology transfer is something someone has to estimate, I agree with your argument. As a matter of fact, FDIs or any other type of capital inflows do not necessarily help a country. When capital flows in, that also creates a negative cash outflow. Therefore, any benefit is one-off and comes at the cost of future generations. The actual benefit is in any form of technology spillovers. The other alternative is to attract owners of capital, not just capital. Before 1948, many Indians started business in SL and later became Sri Lankans, I mean the small minorities still playing a dominant role in business. But the trend reversed in 1948 when many would-be Sri Lankans of European descent left the country with their capital. This second approach requires some sort of cultural compromise. For example, if any Chinese can migrate permanently to Sri Lanka with their capital and other skills, as some of them did after the Chinese revolution, that's not a bad idea. Just borrowing money on record while the same money flows back to China through imports and labor cost leads SL nowhere.

      Delete
  7. අම්මට හුඩු..inner circle එකේ බෛයෝ set එක එකපාරට බැහැලා ඉන්නේ anonymous විධියට! ලංකට් එකක් උඩට ඇඳං වරෙං බෛයනි.

    බෛයනි, චීනය ලංකාවට කෙලින්න පටන් ගත්තේ ලංකාවේ කෝට්ටේ රාජධානිය තියෙන කාලේ පටන්. අලකේශ්වර රජාට විරුද්ධව යුද්ධ කරන්න ආවේ මිං රජාගේ අන්තඃපුරේ නපුංසකයෙක් වූ අද්මිරාල්  Zheng He. නමුත්  දැන් චීනයේ සිට  ලංකාව  ආක්‍රමණය කරන්න එන්නේ චීන සමිපූර්ණ පිරිමි! උන් එන්නේ නැව් වලින් නොවේ. දැන් හම්බන්තොට වරාය චීනා අල්ලා ගත්තේ චීන නාවික හමුදාව ඇවිත්ද? මොකද උන් දන්නවා ලංකාවේ දැන් ඉන්න රාජපක්ෂලා වැනි දේශපාලන නපුංසකයන්ට කිසිවක් කර කියා ගන්න හැකියාවක් තියා දැනුමක්වත් නැති බව. හොර පෙරකදෝරුවෝ, නැවක නොගිය ලැප්ටිනන්ට් කොමාන්ඩෝ ලා , කඩදාසි රොකට් සයන්ටිස්ට් ලා ඉන්න පවුලක් , ජනතා මුදලින් සොහොන් ගෙවල් හදන ජනාධිපතිලා, අයිතිකාරයෝ නැති ගෙවල් හදන වෙන්ඩ ජනාධිපතිලා ඉන්න අයියා මලෝලා රටක් කරවනකොට රට යන අත චීනා දන්නවා.

    ඒ ඔක්කෝටම වඩා දැන් Xi Jinpin  දන්නවා ලංකාවේ එකා ආණ්ඩුව දෙන සීනියක් කාලා, දෙන පොල් තෙලෙන් කැවුම් බැදගෙන කන මෝඩ බෛයන් රැලක් කියලා.

    CP-C

    ReplyDelete
  8. ඇත්තටම ඉකෝන් ඉංග්‍රීසි භාෂාව හරහා ජාත්‍යන්තර මාධ්‍යයේ ආධිපත්‍යය දරණ ඇමරිකා යුරෝපීය කඳවුර සහ එයට මානසිකව වහල්ව සිටින බොහෝ දේශීය ජනමාධ්‍ය චීනය පිළිබඳ ගොඩනගා ඇති ප්‍රතිරූපය සමාන කර ඇත්තේ පොලී මුදලාලි කෙනෙකුට. මෙම මාධ්‍ය විසින් පමණක් නොව ලංකාව වගේ රටක ඉන්න ප්‍රසිද්ධ දේශපාලන පක්ෂ සහ ඔවුන්ගේ හිතවාදීන් ද ජනතාවට කියා සිටින්නේ චීනය, වෙනත් දුප්පත් රටවලට ණය දීමෙන් “ණය උගුලක“ සිර කිරීමට තැත් කරන බවයි. ප්‍රතිලාභ එතරම් නැති, එහෙත් මිල අධික යටිතල පහසුකම් ගොඩනැගීමට ශ්‍රී ලංකාව වැනි රටවල් පොළඹවා, ඉන්පසු එම රටවල් ණය බරින් මිරිකන චීනය, රටවල්වල විවිධ වත්කම් තමන් සතු කර ගැනීම සඳහා උපක්‍රමශීලීව කටයුතු කරන බව බොහෝ අයගේ මතයයි. චීනය පිළිබඳ මෙම මතය තවත් ශක්තිමත් වී ඇත්තේ කොරෝනා වෛරසය මැඩලීම සඳහා තව තවත් ණය ගොඩ ගැසෙන ගෝලීය ආර්ථික පසුබිමක.

    මේ වගේ තමයි මෙලෙස චීන සමූහාණ්ඩුවේ ජාත්‍යන්තරණය වි‍ශේෂයෙන්ම චීනයේ BRI හෙවත් එක් - තීරයක් - එක් - මාවතක් (BELT AND ROAD INITIATIVE) ව්‍යාපෘතිය බොහෝ විද්වතුන් සහ මාධ්‍යය දකින්නේ හුදෙක් භූ දේශපාලනික සැලැස්මක් ලෙස නොව, භයානක ආයුධයක් ලෙසිනි. මේ අනුව මෙම ජඩ මාධ්‍ය වාර්තා හරහා චීනයෙන් ණය ගන්නා රටවල් දැනට සමාන කර ඇත්තේ මාෆියාවෙන් ණයට ගන්නා සූදුවක් ලෙසයි.

    චීනය ආසියානු කලාපයේ, යුරෝපීය රටවල්, උතුරු හා දකුණු ඇමරිකානු රටවල්, අප්‍රිකාවේ ඩොලර් බිලියන ගණනින් විශාල වශයෙන් ව්‍යාපෘති රැසක් සඳහා මූල්‍ය අනුග්‍රහය දක්වා ඇති නමුත් ඒ සියල්ල අමතක කර දමා ජාත්‍යන්තර භූමිකාවේ මේ සඳහා දී ඇති ප්‍රධානතම උදාහරණය වන්නේ සාපේක්ෂ වශයෙන් ඉතාමත් කුඩා ව්‍යාපෘතියක් ලෙස සැලකිය හැකි ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායයි.

    මේ 'හම්බන්තොට' පිළිබඳ ගොතන ලද ප්‍රබන්ධ කතාවේ හැටියට, වාණිජමය වශයෙන් සාර්ථක වීමේ කිසිදු හේතුවක් නොතිබූ මෙම ව්‍යාපෘතිය සඳහා චීන රජයේ බලපෑම් හා කොමිස් මුදලක් ගත් දූෂිත දේශපාලකයන් විසින් චීන ණය මුදල් යටකිරීමට චීන බැංකුවල සරණ පැතීමට ශ්‍රී ලංකා රජයට සිදුවූ බවයි.
    මේ වගේම චීන ණය සහයෝගීතාවේ දැඩි කොන්දේසි නිසාත්, වරාය ඉදිකිරීමෙන් පසු ශ්‍රී ලංකාවට ලැබුණු ආදායම ඉතා අඩු ප්‍රමාණයක් නිසාත්, අවසානයේ චීනයට ගෙවිය යුතු ණය පියවීම සඳහාත් හම්බන්තොට වරාය පාලනය චීන සමාගමකට භාර දීමට රජයට සිදුවුණු බවත් ලංකාවේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ එම රජයේ ඇමතිවරු පැවසූ බව මේ අසත්‍ය ප්‍රචාරක කතාවෙන් කියැවේ.

    මේ ගැන හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ධුරකාලයේදී හම්බන්තොට වරාය පිළිබද අවධානය යොමු කළ එවකට උප ජනාධිපති මයික් පෙන්ස් ලංකාවේ මෙම ව්‍යාපෘතිය හැදින්වූයේ චීනයේ ණය උගුල් රාජ්‍යතාන්ත්‍රිකභාවය (Debt- Trap Diplomacy) සඳහා උදාහරණයක් ලෙසයි.

    ඇමරිකා යුරෝපීය මාධ්‍ය සහ විශ්ලේෂකයින් චීනයෙන් ගන්නා ණය සහ ශ්‍රී ලංකාව සහ චීනය අතර ඇති සබඳතා නිරීක්ෂණය කරන්නේ චීනය ලෝක බලවතකු ලෙස ආසියානු කලාපයේ තම බලය තහවුරු කරගැනීමට උත්සහ කරන දේශපාලන - ආර්ථික සන්දර්භයක් තුළය.

    මේ කුමන අසත්‍ය කතා පැවසුවත් මේ අය ශ්‍රී ලංකා - චීන සබඳතා, ශ්‍රී ලංකාවේ කෝණයෙන් බලන්නේ කලාතුරකිනි. චීනයේ මූල්‍ය ආධාර ලබා ගැනීම ශ්‍රී ලංකාවේ කෝණයෙන් බැලූකල අපට හේතූන් කිහිපයක් පෙනේ. රටතුළ පැන නැගුණු දේශපාලන සහ ආර්ථික අවශ්‍යතා සපුරාලීම, ජාතික සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා අවශ්‍ය මුදල් සොයා ගැනීම, සහ කලාපයේ භූදේශපාලනිකව සිදුවෙන වෙනස්වීම්වලට උපායශීලීව හැඩ ගැසීමයි.

    ReplyDelete
    Replies
    1. කෙසේ වෙතත් මේ කියන හම්බන්තොට වරාය ඉදිකිරීමේ සත්‍ය කතාව අපි හොයල බලන්න ඕන මුලින්ම. ඇත්තටම හම්බන්තොට ප්‍රදේශය ඉතා කාර්ය බහුල වූ ඉන්දියන් සාගරයේ ප්‍රධානතම නැව් මාර්ගයට නාවික සැතපුම් කිහිපයක් නුදුරින් පිහිටා තිබේ. ලෝකයේ සාගර මගින් සිදුවන වෙළදාමෙන් 80%ක් සිදුවන්නේ මෙම නැව් මාර්ග ඔස්සේය.

      ඒ අනුව හම්බන්තොට වරායක් ඉදිකිරීම සඳහා ප්‍රථමයෙන්ම උනන්දුවක් දැක්වූයේ චීනය නොව කැනඩාවයි. එවකට ලංකාවේ අගමැති රනිල් වික්‍රමසිංහ සමග 2002 වසරේදී කැනේඩියානු ඉංජිනේරු සමාගමක් වන එස්.එන්.සී-ලැවලින් (SNC - Lavalin) සමාගම මගින් ශඛ්‍යතා අධ්‍යයනයක් කරවූයේ කැනේඩියානු ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සිය (CIDA) යි. ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ කැනේඩියානු සමාගමක් අතර හවුල් ගිවිසුමක් මාර්ගයෙන් සංවර්ධනය කොට ක්‍රියාත්මක කිරීමට කැනඩාව දැරූ උත්සාහය ලංකාවේ රජයේ අඩු උනන්දුව සහ දේශපාලන අර්බුද සමග ව්‍යර්ථ විය.

      කෙසේ නමුත් නැවත හම්බන්තොට වරායක් ඉදි කිරීමේ සැළසුම් යළි කරලියට පැමිණියේ 2005 වසරේදීය. 2004 සුනාමි ව්‍යසනයෙන් දැඩි ලෙස විනාශ වී ගිය හම්බන්තොට දිස්ත්‍රික්කයේ යටිතල ව්‍යුහය (infrastructure) සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය මත 2006 ඩෙන්මාර්කයේ ඉංජිනේරු සමාගමක් වන රැම්බෝල් (Ramboll) විසින් කළ ශඛ්‍යතා වාර්තාව කැනේඩියානු ශඛ්‍යතා වාර්තාවට වෙනස් නොවිණි. මෙය රැගෙන ශ්‍රී ලංකා රජය ප්‍රථමයෙන් සහනයක් පැතුවේ ඇමරිකා එක්සත් ජනපදයෙන් සහ ඉන්දියාවෙන්ය.

      නමුත්මෙ අවාසනාවන්ත ලෙස මේ රටවල් දෙකම ආර්ථික ප්‍රශ්න නිසා ශ්‍රී ලංකාවේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.

      පසුකාලීනව ශ්‍රී ලංකා රජයේ සහායට ඉදිරිපත් වූයේ චයිනා හාබර් ගෘප් (China Harbor Group) නමැති චීන රජයට අයත් සමාගමයි. ඉදි කිරීම් කටයුතු සඳහා CHEC සමාගම තෝරාගත් අතරම අරමුදල් සැපයුවේ චීනයේ එක්සිම් බැංකුවයි. (Exim Bank)

      කෙසේ වෙතත් මේ ගිවිසුම සිදුවූයේ චීන ජනපති ෂී ජින්පින් (Xi Jinping) මුල පිරූ එක් තීරණයක් එක් මාවතක් ව්‍යාපෘතිය (BRI එක) හඳුන්වාදීමට වසර 6කට පෙරය. එවිට එක්සිම් බැංකුව විසින් වරායේ පළවැනි අදියර ඉදිකිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 307 ක ණයක් ලබා දුන්නේ, වසර 15ක් ඇතුළත ගෙවා දැමීමටය. එක්සිම් බැංකුව විසින් 6.3%ක ස්ථිර පොලී අනුපාතයක් අය කරන ලදී.

      මේ අනුව හම්බන්තොට වරායේ පළවැනි අදියර වසර තුනකින් අවසන් විය. රැම්බෝල් ශඛ්‍යතා අධ්‍යනයට අනුව නිර්දේශ කළේ පළමුවැනි අදියරෙන් පසුව වරායෙන් ආදායම් ඉපයීමේ කටයුතු ආරම්භ කළ යුතු බවයි.

      එහෙත් එවකට පැවති දූෂිත රාජ පක්ෂ චෞර රජය විසින් දේශපාලන හේතූන් මත නොඉවසිලිමත් වූ අතර දේශපාලන අරමුණු සහිතව ශ්ලංකා රජය, වරායේ දෙවැනි අදියරත් ඉදි කිරීමට කටයුතු කළේ මේ සඳහා චීනයෙන් තවත් තරමක විතර විශාල (ඩොලර් මිලියන 757) ණයක් ගනිමින්.

      ඒ වගේම ලංකා රජය 2014 වන විට වරායෙන් කිසිදු ලාභයක් උපයා නොතිබුණ නිසා 2014 දී හම්බන්තොට වරාය ඒකාබද්ධව සංවර්ධනය කර ක්‍රියාත්මක කිරීමට චයිනා හාබර් (China Harbor) සහ චයිනා මර්චන්ට් (China Merchants) සමාගම් සමඟ 35 අවුරුදු ගිවිසුමක් රජයට 70%ක අයිතිය සහ චින සමාගම් වලට 30% බැගින් හිමි වන ලෙස අත්සන් කිරීමට චීන ආයෝජකයන් සූදානම් වූ අවධියේදී ආණ්ඩු මාරුවකට මුල පිරිණි. 2015 වසරේ පැවති ජනාධිපතිවරණයේ දැඩිලෙස මාධ්‍ය මගින් මවා පෙන්වන ලද ආන්දෝලනයකට ලක් වූ හම්බන්තොට වරායේ ප්‍රධාන ආඛ්‍යානය වූයේ ඇමරිකානු යුරෝපීය රටවල් වල ජඩ මාධ්‍ය විසින් ගොතන ලද චීනයේ ණය උගුල් රාජ්‍ය තාන්ත්‍රිකභාවය යි. එම ආඛ්‍යානය මගින් සමාජගත කරන්නේ චීනය ගිනි පොලී මුදලාලියකු බවත්, ශ්‍රී ලංකාව වැනි රටවල අනුවණ ක්‍රියාවන් නිසා ඔවුන් චීනයේ ණය උගුලට ගොදුරු වී ඇති බවත්ය.

      Delete
    2. මේ වගේම වර්තමානයේ ශ්‍රී ලංකාවේ නේවාසිකව සිටින ඇමරිකානු තානාපතිනියගේ බොහෝමයක් සම්මුඛ සාකච්ඡාවලදී ද මෙම ගෙතූ කතාව ඉස්මතු වේ.

      කෙසේ වෙතත්, සමීපව බැලූ විට තත්ත්වය මෙතරම් සරළ නොවේ. චීනයේ අනුග්‍රහයෙන් ඉදිකරන යටිතල ව්‍යුහ ව්‍යාපෘතිවලින් ප්‍රතිලාභ ලබන්නේ චීන සමාගම් පමණක් නොවේ. ඇමරිකානු එක්සත් ජනපදයේ වරායන් බහුතරය පාලනය කරන්නේ චීන සමාගම් යටතේ. ඒ වගේම මහා බ්‍රිතාන්‍ය සහ යුරෝපයේ ආසියාවේ සහ අප්‍රිකානු රටවල් රැසක ඉතා සාර්ථක ලෙස චීන සමාගම් මේ හා සමාන ව්‍යවසායයන් ඉතා පහසුවෙන් සාර්ථකව කළමනාකරණය කරමින් සිටින බව පේනවා.

      ඒ වගේම මේ ශ්‍රී ලංකාවේ මෙන්ම වෙනත් රටවල ද චීන සමාගම් සමඟ හවුල් වී බොහෝ ඉදිකිරීම් සමාගම් කටයුතු කරති. චීනයේ ණය උගුල පිළිබඳව ශ්‍රී ලංකාවට වි‍ශේෂඥ උපදෙස් දෙන ඇමරිකානු තානාපති ගේ රට වූ ඇමරිකානු එක්සත් ජනපදයද වැඩි පුරම ණය වී ඇත්තේ චීනයට යි. එනිසා චීනය බලහත්කාරයෙන් ණය දී රටවල් තම ග්‍රහණයට ලක් කරගන්නවා යැයි සමාජගත කර ඇති කථාවට ශක්තිමත් ආනුභාවික පදනමක් නොමැත. ශ්‍රී ලංකාව වැනි බොහෝ රටවල් ජාතික ආර්ථික සහ සංවර්ධන අවශ්‍යතාවයන් මත චීනයෙන් ණය ගෙන තිබේ. ඉදිරියේද එය සිදුවනු ඇත. එසේ චීනයෙන් හෝ වෙනත් ප්‍රභවයන්ගෙන් ලබා ගන්නා ණය ගෙවීමට අපහසු වීම රටේ ජාතික ආර්ථිකයේ කාලයක් තිස්සේ ඇති වී තිබෙන දුර්වල කළමනාකරණ අර්බුදය හේතුවෙන් මිස එයට චීනය පලි නැත. ඊට වගකිව යුත්තේ ලංකාවේ 1948 සිට පාලනය කරන දුබල දේශපාලනික නායකයන් බහුතරයක් දෙනා මිස කොහේවත් සිටින චීනයට බැනීම මුව හමකට තඩි බෑමක් නෙවෙයි ද?

      ඒ වගේම ලංකාව ණය උගුලක හිරවී සිටින්නේ මන්ද යැයි නැගෙන ප්‍රශ්නයට පිළිතුරක් වෙනත් ලිපියකින් ඉදිරිපත් කිරීම වඩාත් සුදුසුය. එහෙත් හම්බන්තොට වරාය පිළිබඳ ඇතිවූ ආන්දෝලනයත්, චීනය මුළු ලෝකයේ පොලී මුදලාලි යැයි ප්‍රචලිත වී ඇති ආඛ්‍යානයෙන් අනාවරණය වෙන්නේ ලෝකයේ ශීඝ්‍රයෙන් වෙනස්වන භූ දේසපාලු බලතුලනයයි.

      අපට කියන්න තියෙන්නේ ගෝලීය බලතුලනය වෙනස් වෙමින් ඇති බවට අප ඉදිරියේ ඇති ප්‍රධානතම උදාහරණය වන්නේ විසිවන සියවසේ ආසියාව, අප්‍රිකාව හා යුරෝපය පුරා ආර්ථික සහයෝගීතාව ප්‍රවර්ධනය කරමින් නිර්මාණය වන චීනයේ නව සේද මාවත දැවැන්ත ව්‍යාපෘතියයි. මෙම ව්‍යාපෘතිය හරහා නව හා පැරණි සංවර්ධන ව්‍යාපෘතීන් ඒකාබද්ධ කරන අතර මෘදු සහ දැඩි යටිතල පහසුකම් ද සංස්කෘතික සබඳතා ද ශක්තිමත් කිරීමට කටයුතු කරයි. යටිතල පහසුකම් සංවර්ධන කිරීම සඳහා දැනට නිල වශයෙන් රටවල් 66ක් සහභාගීවන අතර ඒ සඳහා මූල්‍ය පහසුකම් සපයන්නේ චීනයයි. සහභාගි වන බොහෝ රටවල් මෙම BRI ව්‍යාපෘතිය දකින්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර ඔවුනොවුන්ගේ දේශීය ආර්ථිකය නංවාලීමේ අවස්ථාවක් ලෙසයි. ලෝකයේ බොහෝ බලවත් රටවල් තමන්ගේ භූ ආර්ථික දැක්ම සහ ප්‍රතිපත්තිවල වැදගත් අංගයක් ලෙස අවධානය යොමු කරමින් සිටින්නේ ආසියාව වෙතටයි. එනිසා එම රටවලට BRI ව්‍යාපෘතිය බෙහෙවින් වැදගත් වේ. යුරෝපා සංගමයේ වැදගත් ආර්ථික ප්‍රතිපත්තියක් වන්නේ අන්තර් යුරෝපීය ප්‍රවාහන ජාලය (Trans – European Transport Network) ආසියානු රටවල් සමග සම්බන්ධවන කොරිඩෝ නවයයි. යුරෝපා - චීන සම්බන්ධතා වේදිකාව (Eu – China Connectivity Platform) මගින් ද සේද මාවත (BRI) සහ අන්තර් - යුරෝපීය ප්‍රවාහන ජාලය ශක්තිමත් කරයි. යුරේසියානු ආර්ථික සංගමයට (Eurasian Economic Union) නායකත්වය දෙන්නේ රුසියාවයි. මෙමගින් කසකස්ථානය, බෙලාරුස් සහ ආමේනියාවේ ආර්ථික ඒකාබද්ධ කරයි. BRI මෙම කණ්ඩායටම වැදගත් වන්නේ යුරේසියාවේ පිහිටි ස්වභාවික ගෑස් නල මාර්ග චීනයට ප්‍රවාහනය කිරීම නිසාය. ආසියාන් (ASEAN) සංවිධානයට සම්බන්ධ රටවල් 10යේ භූ-ආර්ථික අරමුණ වන්නේ 2025 මාස්ටර් ප්ලෑන් එකයි. එමගින් ප්‍රධාන යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, සමුද්‍රීය ආර්ථික කොරිඩෝව, අධිවේගී මාර්ග සහ වරාය ඔස්සේ මීකොං කලාපයත්, සිංගප්පුරුවත්, චීනයේ කුන්මින් (Kunming) නගරයත් සම්බන්ධ කීරීමට පියවර ගෙන ඇත. මෙම මාස්ටර් ප්ලෑන් එකත් සමග BRI ද සම්බන්ධ වී තිබේ.

      ඒ වගේම ඇමරිකානු යුරෝපීය බටහිර කඳවුරට සමීප ජපානයද සමුද්‍රීය හා භූ-කොරිඩෝ තුළින් අග්නිදිග ආසියාවට සම්බන්ධ වීමට උත්සහ දරණ බවක් පෙනේ. මධ්‍යම ආසියාවේ රටවල් සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කරගැනීමටත් ජපානය කටයුතු කරමින් සිටී. නැගෙනහිර සහ බටහිර අතර පාලමක් බවට පරිවර්තනය වීමට වෙර දරන ඉරානයට ද BRI වි‍ශේෂ ව්‍යාපෘතියකි. පර්සියානු ගල්ෆ් කලාපය සහ මධ්‍යම ආසියාවේ භාණ්ඩ ප්‍රවාහනය සම්බන්ධයෙන් ඇති අශ්ගබාත් ගිවිසුම ද BRI සමඟ සම්බන්ධ වී තිබේ. මේ අනුව අප විසින් කළ යුත්තේ ලෝකයේ වෙනස් වීම් වලට මුහුණ දෙමින් සියලු රටවල් සමග හොඳින් සිටිමින් උපායශීලි ලෙස strategically කටයුතු කිරීම මිස චීනයට හෝ ඇමරිකන් යුරෝපීය බටහිර රටවල් හෝ වෙනත් රටවලට බැන බැන වෛරය වැපිරීම නොව ස්මාට් ලෙස කටයුතු කරන්න අපේ දේසපාලුවන්ට බල කිරීම නෙවෙයි ද ඉකෝන්?

      Delete
    3. //චීනයට හෝ ඇමරිකන් යුරෝපීය බටහිර රටවල් හෝ වෙනත් රටවලට බැන බැන වෛරය වැපිරීම නොව ස්මාට් ලෙස කටයුතු කරන්න අපේ දේසපාලුවන්ට බල කිරීම නෙවෙයි ද ඉකෝන්?//

      මම චීනයට බැනලත් නැහැ, බනින්නේත් නැහැ. කෝවිඩ් ඉවර වුනහම අවුරුද්දක් විතර චීනයේ ජීවත් වෙන එක ගැනත් හිතමිනුයි ඉන්නේ. මෙහි තිබෙන්නේ පැහැදිලි කිරීමක් පමණයි. චීනය ඉතා හොඳින් තමන්ගේ ජාතික අභිලාශ ඉටු කර ගනිමින් ඉන්නවා. චීනයේ ක්‍රමය ඇමරිකාවේ ක්‍රමය නෙමෙයි. හැබැයි බළලා මීයෝ අල්ලනවා.

      Delete
  9. "ඇත්තටම වෙන්නේ ලංකාව වාර්ෂිකව චීනයට ගෙවන යුවාන් බිලියන 24ක කප්පම යුවාන් බිලියන 14 දක්වා අඩු වෙන එක විතරයි"
    In my understanding we cannot pay any payment that is due to China from Remnimbi. Neither we are allowed to buy dollars using Remnimbi. As such, it is my view that China wants to promote their currency as a reserve currency. What is your views on that.

    ReplyDelete
    Replies
    1. Importers do not pay China in cash. They use their bank accounts. Banks settle payments through the central bank. Ultimately an international transaction settles through the central banks of two countries. In this case finally CBSL has to pay 24 Bn Yuan a year to PBC or its equivalent value in USD or some other currency, whatever the individuals/ businesses/ government do. That's how payments are settled mostly. When settled in USD, that happens through FRB. Both CBSL and PBC has accounts there- CBSL a/c is debited and PBC is credited. When CBSL gets this swap facility, the liability drops from 24 Yuan to 14 Yuan. Simply no Yuan is received. It is like a huge credit card facility for importing from China, to be settled in 3 years, so that the flow of imports from China continues while SL faces a shortage of foreign currency which otherwise impedes imports from China by SL. China may want to promote Yuan as a reserve currency but it is a long shot and not related to this. This swap can play the role of a reserve currency only if that will be used by SL to pay its dues to other countries. But still most other countries do not accept Yuan. Even if any country does, SL simply do not receive any money to pay any third country. This 10 Bn in Yuan is just a credit facility against the mammoth 24 Bn in Yuan to be payed to China. So, there's no role it has to play as a reserve currency. SL still needs to find the equivalent to 14 Bn Yuan in USD to settle its annual dues to China.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: