වෙබ් ලිපිනය:

Tuesday, March 16, 2021

අන්දරේ සීනි කෑ හැටි (තෙවන කොටස)

අන්දරේට වගේ හැමෝටම නොමිලේ රජවාසල සීනි කන්න ලැබෙන්නේ නැහැ. සීනි කන්නනම් සීනි වල මිලත් ගෙවන්න වෙනවා. නිදහස් වෙළඳපොලක සීනි මිල තීරණය වෙන්නේ කොහොමද? ඉල්ලුම හා සැපයුම මත කියා සරලව කියන්න පුළුවන්. ආර්ථික විද්‍යාවේ මූලික පාඩමක් වුනත් ඔය ඉල්ලුම හා සැපයුම ගැන කතා කරන හැමෝම හරියටම මේ ගැන දන්නවද?

පළමු කොටසින් අපි ඉල්ලුම් වක්‍රය ගැන කතා කළා. දෙවන කොටසෙන් අපි සැපයුම් වක්‍රය ගැන ඉගෙන ගත්තා. මේ කොටසින් අපි ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය ගැන ඉගෙන ගනිමු.

සීනි, හාල්, පොල් වගේ පාරිභෝගික භාණ්ඩයකට ඉල්ලුමක් තිබුණු පමණින් පාරිභෝගිකයෙක්ට එම භාණ්ඩය හිමි කරගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. භාණ්ඩය සපයන්න කැමති සැපයුම්කරුවෙකුත් ඉන්න ඕනෑ. අනෙක් අතට සැපයුම්කරුවෙකුට මේ වගේ පාරිභෝගික භාණ්ඩයක් විකුණන්න පුළුවන් වෙන්නේ ප්‍රමාණවත් පාරිභෝගික ඉල්ලුමක් තිබුණොත් පමණයි. ඒ නිසා, ගනුදෙනුවක් සිදු වෙන්නනම් ඔය දෙපාර්ශ්වයේම නිදහස් කැමැත්ත අවශ්‍ය වෙනවා. 

සැපයුම්කරුවෙක් පාරිභෝගික භාණ්ඩයක් කිසියම් මිලකට විකුණන්න කැමති වෙන්නේ ඒ මිලට විකුණා ලාබයක් ලැබිය හැකිනම් පමණයි. කවුරුවත් පාඩුවට බඩු විකුණන්නේ නැහැ. එහෙම කළොත් කරන්නේ රජය පමණයි. අනෙක් අතට පාරිභෝගිකයෙක් කිසියම් මිලකට භාණ්ඩයක් මිල දී ගන්නේ තමන්ට එයින් පාරිභෝගික අතිරික්තයක් ලැබේනම් පමණයි. නිදහස් වෙළඳපොළ ගනුදෙනුවක් කියා කියන්නේ ඔය දෙකම එක වර සිදු වන අවස්ථාවක්. 

වෙළඳපොළ සමතුලිතාවකදී භාණ්ඩයකට තිබෙන ඉල්ලුම එහි සැපයුමට හරියටම සමාන වෙනවා. මේ වැඩේ සිදු විය හැක්කේ එකම එක නිශ්චිත මිලකදී පමණයි. එය තමයි අපට භාණ්ඩයක නියම මිල ලෙස සැලකිය හැක්කේ.

එහෙම කියන්නේ කොහොමද? ඉල්ලුම් වක්‍රය පහළට බෑවුම් වන බවත් එය එසේ වෙන්නේ ඇයි කියන එකත් අපි දැන් දන්නවා. ඒ වගේම සැපයුම් වක්‍රය ඉහළට බෑවුම් වන බව හා හේතුවත් අපි දන්නවා. ඉහළට බෑවුම් වන ඉරක් හා පහළට බෑවුම් වන ඉරක් එක තැනකදී එකිනෙක හරහා යනවා. හරියටම ඒ ලක්ෂ්‍යයේදී ඉල්ලුම හා සැපයුම සමාන වෙනවා. ඒ වගේම එය සිදු වන එක් නිශ්චිත මිලක් තිබෙනවා. ඉල්ලුම හා සැපයුම හරියටම සමාන වෙන්නේ මේ නිශ්චිත මිලේදී පමණයි. 

මිල මේ සමතුලිත මිලට වඩා වැඩි වුනොත් සැපයුම තරමට ඉල්ලුමක් නැති වෙනවා. භාණ්ඩය විකුණා ගන්න බැරි වී අතිරික්තයක් හැදෙනවා. එවිට සැපයුම්කරුවන්ට මිල අඩු කරන්න සිදු වෙනවා. මිල සමතුලිත මිලට වඩා අඩු වුනොත් සැපයුමට වඩා ඉල්ලුම වැඩි වී භාණ්ඩ හිඟයක් ඇති වෙනවා. එවිට පාරිභෝගිකයෝ වැඩි මිලක් ගෙවා කොහෙන් හෝ භාණ්ඩ මිල දී ගන්න පෙළඹෙනවා. මිල ඉහළ යනවා. කොතැනින් පටන් ගත්තත් අන්තිමට නවතින්නේ සමතුලිත මිලට ඇවිදින්.

සමතුලිත මිලට භාණ්ඩයක් විකිණෙද්දී භාණ්ඩයේ වටිනාකම එහි මිලට වඩා වැඩියි කියා හිතන හැම පාරිභෝගිකයෙකුටම භාණ්ඩය හිමි වෙනවා. භාණ්ඩය හිමි නොවන්නේ එය එතරම් නොවටිනා සේ සලකන අයටයි. ඒ වගේම භාණ්ඩය විකුණා ලාබයක් ලැබිය හැකි තරමට කාර්යක්ෂම හැම සැපයුම්කරුවෙකුටම එම අවස්ථාව ලැබෙනවා.

වෙළඳපොළ මිල නිදහස් වෙළඳපොළක ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය හරහා තීරණය වෙද්දී සැපයුම්කරුවෙකුට ලැබෙන ලාබය තීරණය වෙන්නේ සැපයුම්කරුවාගේ සැපයුම් පිරිවැය කොපමණද කියන එක මතයි. පිරිවැය වැඩි සැපයුම්කරුවෙකුට ලැබෙන්නේ අඩු ලාබයක්. පිරිවැය අඩු සැපයුම්කරුවෙකුට වැඩි ලාබයක් ලැබෙනවා. පහත රූප සටහනේ නිල් පාට ත්‍රිකෝණයේ වර්ග ඵලය සියළුම සැපයුම්කරුවන්ගේ ලාබ වල එකතුවට සමානයි. ත්‍රිකෝණයේ උසම කොටසේ ඉන්නේ අඩුම පිරිවැකට භාණ්ඩය සපයන, ඒ නිසාම වැඩිම ලාබයක් ගන්න සැපයුම්කරුවෝ. සැපයුම්කරුවෙකුගේ පිරිවැය වැඩි වෙද්දී ලාබය ටිකෙන් ටික අඩු වෙලා පිරිවැය සමතුලිත මිලට සමාන වෙද්දී ලාබයක් නැතුව යනවා. වැදගත්ම කරුණ වෙළඳපොළ මිල එකක් වුවත් එක් එක් සැපයුම්කරුවා එම මිලට භාණ්ඩය විකුණා ලබන ලාබ සමාන නැති බව. 

පාරිභෝගිකයාගේ පැත්තෙන් බැලුවත් මිල එකම වුවත්, භාණ්ඩය වඩාත්ම වටිනා සේ සලකන පාරිභෝගිකයන්ගේ අතිරික්තය වඩා වැඩියි. පාරිභෝගිකයෙකු විසින් භාණ්ඩයට ලබා දෙන සාපේක්ෂ වටිනාකම අඩු වෙද්දී ඇගේ පාරිභෝගික අතිරික්තයද ටිකෙන් ටික අඩු වෙනවා. ඉහත කොළ පාට ත්‍රිකෝණයේ වර්ග ඵලය සියලුම පාරිභෝගිකයින්ගේ අතිරික්ත වටිනාකම් වල එකතුවට සමානයි.

වෙළඳපොළ මිල නිදහස් වෙළඳපොළක ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය හරහා තීරණය වෙද්දී සැපයුම්කරුවෙකුට ලැබෙන ලාබය තීරණය වෙන්නේ සැපයුම්කරුවාගේ සැපයුම් පිරිවැය කොපමණද කියන එක මතයි. පිරිවැය වැඩි සැපයුම්කරුවෙකුට ලැබෙන්නේ අඩු ලාබයක්. පිරිවැය අඩු සැපයුම්කරුවෙකුට වැඩි ලාබයක් ලැබෙනවා. පහත රූප සටහනේ නිල් පාට ත්‍රිකෝණයේ වර්ග ඵලය සියළුම සැපයුම්කරුවන්ගේ ලාබ වල එකතුවට සමානයි. ත්‍රිකෝණයේ උසම කොටසේ ඉන්නේ අඩුම පිරිවැකට භාණ්ඩය සපයන, ඒ නිසාම වැඩිම ලාබයක් ගන්න සැපයුම්කරුවෝ. සැපයුම්කරුවෙකුගේ පිරිවැය වැඩි වෙද්දී ලාබය ටිකෙන් ටික අඩු වෙලා පිරිවැය සමතුලිත මිලට සමාන වෙද්දී ලාබයක් නැතුව යනවා. වැදගත්ම කරුණ වෙළඳපොළ මිල එකක් වුවත් එක් එක් සැපයුම්කරුවා එම මිලට භාණ්ඩය විකුණා ලබන ලාබ සමාන නැති බව. 

පාරිභෝගිකයාගේ පැත්තෙන් බැලුවත් මිල එකම වුවත්, භාණ්ඩය වඩාත්ම වටිනා සේ සලකන පාරිභෝගිකයන්ගේ අතිරික්තය වඩා වැඩියි. පාරිභෝගිකයෙකු විසින් භාණ්ඩයට ලබා දෙන සාපේක්ෂ වටිනාකම අඩු වෙද්දී ඇගේ පාරිභෝගික අතිරික්තයද ටිකෙන් ටික අඩු වෙනවා. ඉහත කොල පාට ත්‍රිකෝණයේ වර්ග ඵලය සියලුම පාරිභෝගිකයින්ගේ අතිරික්ත වටිනාකම් වල එකතුවට සමානයි.

දැන් මේ රූප සටහනේ නිල් හා කොළ පැහැති ත්‍රිකෝණ දෙකේ වර්ග ඵල වල එකතුවෙන් පෙන්වන්නේ නිදහස් වෙළඳපොළ ගනුදෙනු නිසා කවුරු හෝ පුද්ගලයෙකුට ලැබුණු ලාබ වල එකතුව. ධනවාදයේ මූලධර්ම අනුව සියලු මිනිස්සු සමාන සේ සලකනවා මිසක් ඔවුන් ධනපතියන් හා නිර්ධන පංතිකයින් ලෙස, ජාතීන් අනුව, දේශිකයින් හා විදේශිකයින් ලෙස හෝ ආණ්ඩුවට බලයට එන්න උදවු කළ අය හා නොකළ අය ආදී ලෙස බෙදා වෙන් කර වෙන වෙනම සලකන්නේ නැහැ. ඒ නිසා, සැපයුම්කරුවන් ගොඩේ ඉන්නේ කවුද පාරිභෝගිකයින් ගොඩේ ඉන්නේ කවුද කියන එක වැදගත් කරුණක් නෙමෙයි. ධනවාදය අනුව කාර්යක්ෂමතාවය ලෙස සලකන්නේ කාට හෝ කෙනෙකුට ලැබෙන අතිරික්ත වල එකතුව හැකි තරම් වැඩි කරන එකයි.

නිදහස් වෙළඳපොළක මිල ඉහත විස්තර කළ සමතුලිත මිලෙන් වෙනස් වන හැම විටකම සමස්ත අතිරික්තයේ කිසියම් හෝ අඩු වීමක් සිදු වෙනවා. සැපයුම්කරුවන්ගේ ලාබයෙන් රුපියලක් අඩු කරලා ඒ රුපියල පාරිභෝගිකයන්ට ලබා දිය හැකිනම් කාර්යක්ෂමතාවය අඩු වීමක් වෙන්නේ නැහැ. නමුත්, එහෙම කරන්න බැහැ. පාරිභෝගික අතිරික්තය රුපියලකින් වැඩි කරන්න සැපයුම්කරුවන්ගේ ලාබ රුපියලකට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු කරන්න වෙනවා. මේ විදිහටම සැපයුම්කරුවන්ගේ ලාබ රුපියලකින් වැඩි කරන්නනම් පාරිභෝගිකයන්ගේ අතිරික්තය රුපියලකට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු කරන්න වෙනවා. මේ අවස්ථා දෙකේදීම වෙන්නේ සමස්තයක් ලෙස අතිරික්ත වටිනාකම් ජනනය වීම සීමා වීමයි. නිදහස් වෙළඳපොළකට මැදිහත් වීම හැම විටකම වාගේ අකාර්යක්ෂම වන්නේ ඒ නිසයි.

ඉහත විස්තර කළ ආකාරයේ නිදහස් වෙළඳපොළ සමතුලිතතාවයකදී සමස්ත අතිරික්තය හා එහි සංරචක දෙක වන පාරිභෝගික අතිරික්තය හා සැපයුම්කරුවන්ගේ ලාබ කොපමණද කියන එක තීරණය වන්නේ කොහොමද? ඉල්ලුම් හා සැපයුම් වක්‍ර වල තිරස් අක්ෂය හා සමතුලිතතාව අතර කොටසේ බෑවුම වැඩි වෙද්දී ත්‍රිකෝණයේ අදාළ ත්‍රිකෝණයේ වර්ග ඵලයද වැඩි වන බව ඔබට පෙනෙනවා ඇති. අපේ උදාහරණයේ සැපයුම් වක්‍රයේ බෑවුම අඩුයි. ඉල්ලුම් වක්‍රයේ බෑවුම වැඩියි. ඒ නිසා සැපයුම්කරුවන්ගේ ලාබ අඩුයි. පාරිභෝගික අතිරික්තය වැඩියි.

ඉහත විස්තර කළ ආකාරයේ නිදහස් වෙළඳපොළ සමතුලිතතාවයකදී සමස්ත අතිරික්තය හා එහි සංරචක දෙක වන පාරිභෝගික අතිරික්තය හා සැපයුම්කරුවන්ගේ ලාබ කොපමණද කියන එක තීරණය වන්නේ කොහොමද? ඉල්ලුම් හා සැපයුම් වක්‍ර වල තිරස් අක්ෂය හා සමතුලිතතාව අතර කොටසේ බෑවුම වැඩි වෙද්දී ත්‍රිකෝණයේ අදාළ ත්‍රිකෝණයේ වර්ග ඵලයද වැඩි වන බව ඔබට පෙනෙනවා ඇති. අපේ උදාහරණයේ සැපයුම් වක්‍රයේ බෑවුම අඩුයි. ඉල්ලුම් වක්‍රයේ බෑවුම වැඩියි. ඒ නිසා සැපයුම්කරුවන්ගේ ලාබ අඩුයි. පාරිභෝගික අතිරික්තය වැඩියි.

ඉල්ලුම් වක්‍රයේ හෝ සැපයුම් වක්‍රයේ බෑවුම් වලින් අදහස් වන්නේ කුමක්ද? 

ඉල්ලුම් වක්‍රයේ බෑවුම අඩුනම් එයින් අදහස් වන්නේ මිල සුළු වශයෙන් හෝ වෙනස් වෙද්දී ඉල්ලුම විශාල ලෙස වෙනස් වෙනවා කියන එකයි. ඒ කියන්නේ පාරිභෝගිකයින්ගේ මිල සංවේදීතාවය ඉතාම වැඩියි කියන එකයි. ඉල්ලුම් වක්‍රයේ බෑවුම වැඩිනම් එයින් අදහස් වන්නේ පාරිභෝගිකයින් එතරම් මිල සංවේදී නැති බවයි.

මිල සංවේදී නැති වීමේ ආන්තීය තත්ත්වය යටතේ ඉල්ලුම් වක්‍රය සිරස් රේඛාවකට ආසන්න එකක් වෙන්න පුළුවන්. එයින් අදහස් වෙන්නේ මිල කොයි තරම් අඩු වැඩි වුනත් මිල දී ගන්නා ප්‍රමාණය වෙනස් නොවන බවයි. ආර්ථික විද්‍යාවේදී මෙවැනි තත්ත්වයක් හඳුන්වන්නේ අනම්‍ය ඉල්ලුමක් ලෙසයි. හාල්, සීනි වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ වලට තිබෙන ඉල්ලුම සෑහෙන තරමකට අනම්‍ය ඉල්ලුමක්. 

මේ විදිහටම සැපයුම් වක්‍රයේ බෑවුම අඩුනම් එයින් අදහස් වන්නේ මිල සුළු වශයෙන් හෝ වෙනස් වෙද්දී සැපයුම විශාල ලෙස වෙනස් වෙනවා කියන එකයි. ඒ කියන්නේ සැපයුම්කරුවන්ගේ මිල සංවේදීතාවය ඉතාම වැඩියි කියන එකයි. සැපයුම් වක්‍රයේ බෑවුම වැඩිනම් එයින් අදහස් වන්නේ සැපයුම්කරුවන් එතරම් මිල සංවේදී නැති බවයි.

ඉල්ලුම් වක්‍රයේ බෑවුම තීරණය වන්නේ අදාළ භාණ්ඩයට පාරිභෝගිකයින් විසින් වටිනාකම් දෙන ආකාරය අනුව. සැපයුම් වක්‍රයේ බෑවුම තීරණය වන්නේ නිෂ්පාදන තාක්ෂණයේ ස්වභාවය අනුව. මීට අමතරව ගැනුම්කරුවන්ගේ හෝ සැපයුම්කරුවන්ගේ ඒකාධිකාර හෝ කතිපයාධිකාර ඇති විටද මිල සංවේදීතාවය අඩු වෙනවා. මේවා සාමාන්‍යයෙන් පහසුවෙන් වෙනස් නොවන දේවල්. ඒ නිසා, නිදහස් වෙළඳපොළ සමතුලිතතාවයකදී පාරිභෝගිකයින් හා සැපයුම්කරුවන් අතර අතිරික්තය බෙදී යන ආකාරයත් බොහෝ දුරට ස්වභාවික ලෙස තීරණය වන දෙයක් කියා කියන්න පුළුවන්.

රජයයන්ට ඇතැම් විට මේ ස්වභාවික සමතුලිතතාවය වෙනස් කරන්න අවශ්‍ය වෙනවා. ඇතැම් විට සමාජවාදී හෝ ජාතිකවාදී දේශපාලනික අදහස් එයට පාදක වෙනවා. මෙහිදී වෙන්නේ බලයේ සිටින කණ්ඩායමට සහයෝගය දෙන පිරිසකට වාසියක් වන ආකාරයට වෙළඳපොළ සමතුලිතතාවය වෙනස් කිරීමක්. එවැනි මැදිහත්වීමක් හැම විටම අකාර්යක්ෂම වුවත් සමහර අවස්ථා වල මෙවැනි අකාර්යක්ෂමතාවයක් නඩත්තු කිරීම රටේ වැඩි දෙනෙකුගේ කැමැත්ත වෙන්න පුළුවන්. සමහර අවස්ථා වල කියා කිවුවත් මෙවැනි තත්ත්වයන් සුලභයි. සමහර රටවල මෙය සාමාන්‍ය තත්ත්වයයි.

උදාහරණයක් විදිහට හාල්, සීනි ආදී ඇතැම් පාරිභෝගික භාණ්ඩ හා අදාළව මේ දවස් වල ලංකාවේ ක්‍රියාත්මක වන මිල පාලනය පෙන්වා දෙන්න පුළුවන්. මිල පාලනයේ ඉලක්කය පාරිභෝගිකයින්ට වාසියක් සැලසීම කියා අපි හිතමු. දැන් පාරිභෝගිකයින්ට මේ වාසිය සලසද්දී සැපයුම්කරුවන්ට අනිවාර්යයෙන්ම පාඩුවක් වෙනවා. පාඩුවක් කියා කියන්නේ ලාබ අඩු වීමක්.

අපි හිතමු සීනි කිලෝවක වෙළඳපොළ සමතුලිත මිල රුපියල් 110ක් කියලා. දැන් මේ මිල යටතේ ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. අපි හිතමු මිල රුපියල් 110ක් වෙද්දී ඉල්ලුම වගේම සැපයුමත් සීනි කිලෝග්‍රෑම් මිලියන 600ක් කියලා. මෙහෙම තියෙද්දී ආණ්ඩුව විසින් සීනි වල උපරිම සිල්ලර මිල රුපියල් 85ක් කළාම වෙන්නේ කුමක්ද?

පළමු කොටසෙන් අපි ඉගෙන ගත්ත විදිහට මිල අඩු වෙද්දී ඉල්ලුම වැඩි වෙනවා. දැන් මිල සීනි කිලෝවක රුපියල් 110 සිට 85 දක්වා අඩු වෙද්දී ඉල්ලුම සීනි කිලෝග්‍රෑම් මිලියන 600ට වඩා වැඩි විය යුතුයිනේ. අපි හිතමු මිල රුපියල් 85 වෙද්දී ඉල්ලුම කිලෝග්‍රෑම් මිලියන 625 දක්වා වැඩි වෙනවා කියලා. 

දෙවන කොටසින් අපි ඉගෙන ගත්ත විදිහට මිල අඩු වෙද්දී සැපයුමත් අඩු වෙනවා. දැන් මිල සීනි කිලෝවක රුපියල් 110 සිට 85 දක්වා අඩු වෙද්දී සැපයුම සීනි කිලෝග්‍රෑම් මිලියන 600ට වඩා අඩු විය යුතුයිනේ. අපි හිතමු මිල රුපියල් 85 වෙද්දී කිලෝග්‍රෑම් මිලියන 550 දක්වා අඩු වෙනවා කියලා. 


සමස්ත ප්‍රතිඵලය කුමක්ද? මිල රුපියල් 85ට සීමා කළ විට ඉල්ලුම සීනි කිලෝග්‍රෑම් මිලියන 625 දක්වා වැඩි වෙද්දී සැපයුම කිලෝග්‍රෑම් මිලියන 550 දක්වා අඩු වෙලා. දැන් වෙළඳපොළේ සීනි කිලෝග්‍රෑම් මිලියන 75ක හිඟයක් තිබෙනවා. මිල රුපියල් 85 වුනත් කැමති කෙනෙකුට කැමති වෙලාවක මිල දී ගන්න සීනි නැහැ. රුපියල් 85ට සීනි විකුණන තැනකින් සීනි ගන්න පෝලිමේ ඉන්න ඕනෑ. එහෙම පෝලිමේ ඉඳලා සීනි මිල දී ගන්න කෙනෙකුට රුපියල් 110 - 85 = 25ක වාසියක් වෙනවා. නමුත් පෝලිමේ සිටීමේ "මිල" වියදමක් ලෙස එකතු වෙනවා.

කරන්න වෙන වැඩක් නැති "පෝලිමේ මැද- හිටියට පාඩු වෙනවද- ඔය තරුණියන් මැද- ඔහෙලට සොමියක් නැද්ද" කියලා හිතන අයටනම් ඔය වියදම වියදමක් වගේ නොපෙනෙන්න පුළුවන්. හැබැයි සීනි පෝලිම් වල රස්තියාදු වෙනවට වඩා වෙන කරන්න වැඩ තියෙන අයට ඔය රස්තියාදුව වියදමක්. පෝලිමේ රස්තියාදු වෙන එකේ "පිරිවැය" රුපියල් 25කට වඩා වැඩි කෙනෙක්ට සීනි මිල රුපියල් 85 දක්වා අඩු කළ එකෙන් අවාසියක් මිසක් වාසියක් වෙන්නේ නැහැ.

ප්‍රශ්නය ඒක විතරක් නෙමෙයි. පෝලිමේ ඉන්න වෙලාව තියෙන අය පෝලිමේ ගිහින් සීනි මිල දී ගන්නවා. නමුත් සීනි සැපයුම කිලෝග්‍රෑම් මිලියන 550ක් පමණක් නිසා වෙළඳපොළේ සීනි ඉතා ඉක්මණින් ඉවර වෙනවා. තවත් කිලෝග්‍රෑම් මිලියන 75කට ඉල්ලුම තිබෙනවා. නමුත් රාක්ක හිස්. පෝලිමේ රස්තියාදු වීමේ ආවස්ථික පිරිවැය අත ඇරියත් සීනි මිල දී ගන්න හිතාගෙන හිටි එහෙත් එම අවස්ථාව නොලැබුණු පිරිසකගේ පාරිභෝගික අතිරික්තය දැන් ශුන්‍ය වෙලා.

මිල පාලනය නිසා සැපයුම්කරුවන්ගේ ලාබ අඩු වෙනවා කියන එක ඉතාම පැහැදිලි දෙයක්නේ. මිල පාලනය කරන්නේම ඒකටනේ. මිල පාලනයෙන් පස්සේ මුලින් තිබුණු සැපයුම්කරුවන්ගේ ලාබයෙන් ඉහත රූප සටහනේ රතු පාට ඉරෙන් උඩ කොටස ඔවුන්ට අහිමි වෙනවා. එයින් කොටසක්, එනම් මිල රුපියල් 110 හා 85 අතරත්, ප්‍රමාණය කිලෝග්‍රෑම් මිලියන 0 හා 550ත් අතර කොළ පාට චතුරශ්‍ර කොටස පාරිභෝගිකයින්ට ලැබෙනවා. පෝලිමේ සිටීමේ පිරිවැය අමතක කළොත් මෙය සැපයුම්කරුවන්ට පාඩුවක් වුනත් පාරිභෝගිකයින්ට වාසියක්. නමුත්, සැපයුම්කරුවන්ගේ ලාබ වලින් අඩුවෙන රුපියල් 110 මට්ටමට යටින්, කිලෝග්‍රෑම් මිලියන 550ට දකුණෙන් හා සැපයුම් වක්‍රයට උඩින් පිහිටි කහ පාට ත්‍රිකෝණ කොටස කාටවත්ම නැතුව යනවා.

කාටවත්ම නැතුව යන්නේ සැපයුම්කරුවන්ගේ ලාබ වලින් අඩු වී පාරිභෝගියන්ටද නොලැබෙන ඉහත කොටස පමණක් නෙමෙයි. මිල පාලනය නිසා කලින් තිබුණු පාරිභෝගික අතිරික්තයෙන් කොටසක්ද ඔවුන්ට අහිමි වෙනවා. ඒ භාණ්ඩ හිඟය නිසා අහිමි වී යන කලින් තිබුණු පාරිභෝගික අතිරික්තය. පහත රූපයේ කහ පාටින් ලකුණු කර තිබෙන්නේ මේ විදිහට මිල පාලනය නිසා කාටවත්ම නොලැබී අතුරුදහන් වී යන සමස්ත  අතිරික්තයයි. සමාජවාදයේ අකාර්යක්ෂමතාවයට හේතුව නිදහස් වෙළඳපොළට මැදිහත්වීම නිසා ඔය විදිහට කාටවත්ම නොලැබී අතුරුදහන් වී යන අතිරික්තයයි.

මිල පාලනය නිසා සැපයුම්කරුවන්ගේ ලාබ අඩු වන බව වගේම සමස්තයක් ලෙස සැපයුම්කරුවන්ගේ හා පාරිභෝගිකයින්ගේ අතිරික්තයේ අඩු වීමක්ද අනිවාර්යයෙන්ම සිදු වන බව දැන් ඉතාම පැහැදිලියිනේ. ඒ අවාසි තිබුණත් පාරිභෝගිකයින්ට වාසියක් වෙන්නේ නැද්ද? දැන් ඔය වැඩේ කරන්නේම පාරිභෝගිකයින් ගැන හිතලනේ. 

සැපයුම්කරුවන්ගේ හා සමස්ත කාර්යක්ෂමතාවයේ වියදමින් පාරිභෝගිකයින්ට වාසියක් වෙන්න පුළුවන්. නමුත් එය වුවත් අනිවාර්ය නැහැ. ඉහත රූපයේ කොළ පාට චතුරශ්‍ර කොටස පාරිභෝගික අතිරික්තයට එකතු වෙනවා. කලින් රුපියල් 110ට සීනි ගත්ත අයට දැන් රුපියල් 85ට සීනි ලැබෙද්දී වාසියක් නැති වෙන්න විදිහක් නැහැනේ. ඔය වාසිය හරියටම ගණන් හදන්නත් පුළුවන්. කිලෝවකට රුපියල් 25 බැගින් කිලෝ මිලියන 550කින් ලැබෙන වාසිය. 

හැබැයි ඒ එක්කම කලින් රුපියල් 110 බැගින් සීනි මිල දී ගත් යම් පිරිසකට දැන් කීයක් දීලාවත් ගන්න වෙළඳපොළේ සීනි නැහැ. කහ පාටින් ලකුණු කර ඇති කොටසේ උඩ ත්‍රිකෝණයේ වර්ග ඵලය මිල පාලනය හේතුවෙන් ඒ විදිහට සීනි නොලැබී යන පාරිභෝගිකයන්ට කලින් ලැබුණු, මිල පාලනය හේතුවෙන් අහිමි වන පාරිභෝගික අතිරික්තයයි. මිල පාලනයෙන් සමස්තයක් ලෙස පාරිභෝගික අතිරික්තය වැඩි වන්නේ කොළ පාට චතුරශ්‍රයේ වර්ග ඵලය කහපාට ත්‍රිකෝණයේ වර්ග ඵලයට වඩා වැඩිනම් පමණයි. එසේ නැත්නම් සැපයුම්කරුවන්ගේ ලාබ අඩු වන අතරම පාරිභෝගික අතිරික්තයද අඩු වෙනවා. ඊට අමතරව පෝලිම් වල රස්තියාදු වීමේ ආවස්ථික පිරිවැයද පාරිභෝගික අතිරික්තයෙන් අඩු වෙනවා.

25 comments:

  1. පහත ප්‍රකාශය නොමග යවනසුළු එකකැයි සිතමි.
    "දැන් මේ රූප සටහනේ නිල් හා කොළ පැහැති ත්‍රිකෝණ දෙකේ වර්ග ඵල වල එකතුවෙන් පෙන්වන්නේ නිදහස් වෙළඳපොළ ගනුදෙනු නිසා කවුරු හෝ පුද්ගලයෙකුට ලැබුණු ලාබ වල එකතුව."
    අපට එසේ සිතීමට හේතුව අප අදහන ආගම ඔබ අදහන එක අතර ඇති මූලධාර්මික වෙනස විය හැකියි.

    ReplyDelete
    Replies
    1. පැහැදිලි නැහැ. මෙහි ආගමකට තිබෙන සම්බන්ධය කුමක්ද?

      Delete
    2. මේ දෙකෙන් වෙළෙන්දා සැබෑ ලාභයක් ලැබුවත්, පාරිභෝගිකයා ලබන්නේ ලාභයක් නොවේ ය යනු මගේ අදහසයි. පාරිභෝගිකයා ලාභයක් ලෙස ලබන්නේ යයි ඔබ අදහන "පාරිභෝගික අතිරික්තය" නම් භුතාර්ථය මගේ ඇදහිල්ල අනුව නම් ලාභයක් ලෙස ගණන් ගැනීමම පාපයක්.

      Delete
    3. සීනි කිලෝවක් රුපියල් 110කට මිල දී නොගෙන රුපියල් 85කට මිල දී ගැනීමට ඉඩක් ලැබේනම් ඔබ එය රුපියල් 25ක ලාබයක් ලෙස සලකනවාද? නැද්ද?

      Delete
    4. මෙයට එදාම පල කළ ප්‍රතිචාරය පල නොවී / නොකර තිබීම කණගාටුවට කාරණයක්. නමුත් එවැනි දේ සිදු විය හැකියි.
      මා ඔබෙන් ඇසුවේ "සීනි කිලෝවක් රුපියල් 110කට මිල දී නොගෙන රුපියල් 85කට මිල දී ගැනීමට ඉඩක් ලැබේනම් ..." එය ඔබ ඉහත වර්ණනා කරන නිදහස් වෙළෙඳපොළ සන්දර්භය නොවෙයි. මේ ආකාරයෙන් කොලේ වසා ගැසීම් මෙහිදී තිබෙන නිසාමයි මා "පාපයක්" ය වන වදන භාවිතා කළේ.

      Delete
    5. කතා කතු,

      පළමුව ඔබේ ප්‍රතිචාරයක් මම ඉවත් කළේ හෝ පළ නොකර සිටියේ නැහැ. සමහර වෙලාවට ප්‍රතිචාර ස්පෑම් ගොනුවට යනවා. එහිත් එවැනි ප්‍රතිචාරයක් එහිද නැහැ. ඒ ගැන මම ඊට වඩා දෙයක් කියන්න දන්නේ නැහැ.

      දෙවනුව මෙහි කිසිම කොළේ වසා ගැසීමක් නැහැ. මොකද මේ ලිපි හතරෙන් එකකවත් මම සීනි හොරකම ගැන කතා කළේ නැහැ. ඒ වගේම මගේ පෞද්ගලික අදහස් කිසිවක්ම ලියලත් නැහැ. මේ ලිපි හතරේ තිබෙන සියලුම දේ ආර්ථික විද්‍යා විෂය යටතේ උගන්වන ඉතාම මූලික මට්ටමේ දේවල්. මේවා පාසැල්/ සරසවි විෂය නිර්දේශ ඇතුළු ඕනෑම තැනක තිබෙන සම්මත දේවල්. මට කොළේ වහන්න පුළුවන් දේවල් නෙමෙයි. මෙය කියවන අය සමඟ සාකච්ඡා කළ හැකි පසුබිමක් හදා ගන්න ආරම්භයක් වශයෙනුයි මේ ලිපි හතර පළ කළේ.

      පාරිභෝගික අතිරික්තය කියන එක මගේ අදහසක් නෙමෙයි. ඔබට ඒ සම්බන්ධව කිසියම් අවුලක් තිබෙන බව පෙනුණු නිසයි වියුක්තව අහන්නේ නැතුව මේ විදිහට ඇහුවේ. ඔබ සීනි කිලෝවක් රුපියල් 110ක් ගෙවා මිල දී ගන්න සූදානම්ව සිටියදී ඔබට සීනි කිලෝවක් රුපියල් 85කට ලැබෙනවානම් එහි රුපියල් 25ක පාරිභෝගික අතිරික්තයක් තිබෙනවා. ඔබ සීනි කිලෝවක් වෙනුවෙන් රුපියල් 85කට වඩා සත පහක්වත් ගෙවන්න සූදානම් නැත්නම්, මුදල් අතේ තිබුණත් සීනි කිලෝවක් රුපියල් 86 වූ විට සීනි මිල දී නොගෙන හැරී යනවානම් එහි පාරිභෝගික අතිරික්තයක් නැහැ.

      මෙහි තිබෙන කොළේ වසා ගැනීම කුමක්ද කියන එක පැහැදිලිව කිවුවොත් විස්තර කරන්න පුළුවන්. මේ කිසිවක් මගේ පෞද්ගලික අදහස් නොවන නිසා මට කොළේ වසා ගහන්න කිසිම උවමනාවක් නැහැ. මෙතැන තියෙන හැම දෙයක්ම පවතින ආණ්ඩුවට සම්බන්ධ බන්ධුල ගුණවර්ධන, කබ්රාල්, ජයසුන්දර, ගොඩහේවා වගේ ඕනෑම කෙනෙක් විසින් ප්‍රතිපත්ති හැදීමේදී ප්‍රයෝජනයට ගන්නා ඉතාම මූලික මට්ටමේ දේවල්. දැන් ඔය සීනි වලට පාලන මිලක් දැමීම, සීනි බද්ද අඩු කිරීම වගේ දේවල් වල අපේක්ෂිත ඉලක්කය වන්නේද (වංචාවක් කිරීමේ අරමුණක් වෙනම තිබෙනවාද නැද්ද කියන එක නොසලකා හැරියොත්) පාරිභෝගික අතිරික්තය වැඩි කිරීමයි. ඔබේ ආගම කුමක්ද කියා මම නොදන්නා නිසා පාරිභෝගික අතිරික්තය පාරිභෝගිකයාට ලැබෙන වාසියක් සේ සැලකීම ඔබේ ආගමට අනුව පාපයක් වන ආකාරය ගැනද මට කිසිම අදහසක් නැහැ.

      Delete
    6. කතා කතුMarch 22, 2021 at 5:17 AM

      ප්‍රතිචාර නොමැති වීම සැබෑ සංසිද්ධියක්. එය දැනුත් උණා. මෙය ඔබ හිතාමතා කළේ යයි මා යෝජනා කරන්නේ නෑ. ඉන් ඔබට වන යහපතක් නෑ. මට මතකයි දෙතිස් කතාවෙත් මෙවැනි දේ වන බව යම් අය වාර්තා කර තිබුණා. ඇත්තෙන්ම මා ඔවුන් e mail වලින් එවූ ප්‍රතිචාර ඔවුන් වෙනුවෙන් පල කළා.

      මෙයයි මගේ ප්‍රශ්නය.
      "සීනි කිලෝවක් රුපියල් 110කට මිල දී නොගෙන රුපියල් 85කට මිල දී ගැනීමට ඉඩක් ලැබේනම් ..." එය ඔබ ඉහත වර්ණනා කරන නිදහස් වෙළෙඳපොළ
      සන්දර්භයද ?
      මොකද ඔබ මුලින් පැහැදිළි කර දුන් අයුරින් නම් විය නිදහස් වෙළෙඳ පොළක සිදු යුත්තේ ඉල්ලුම සැපයුම් සමතුලිත වන මිලට සෑම දෙනාටම සිනි මිලදී ගැනීමට හැකි වීම මිස මා ඔබේ මතයට පොළඹවා ගැනීම පිණිස රුපියක් 85 බැගින් සිනි කිලෝවක විකුණන බව පවසා මානසික අල්ලසක් දීම නොවෙයි.

      මා කියන්නේ "පාරිභෝගික අතිරික්තය" යනු සැබවින් පාරිභෝගිකයාට ලැබෙන ලාභයක් නොව මවා පෑමක් පමණක් බවයි. මට සිනී කිලෝවක් 85 දීමට යෝජනා කරන ඔබ සැමටම එය 85 බැගින් නොවිකුණා 110 බැගින් විකුණන්නේ ඇයි ? මට සීනි කිලෝවක් 85 ට මිලදී ගැනීමට හැකි වීම ඊනියා ලාභයක් ලෙස ඔබට තර්ක කිරීමටම හැකි වී තිබෙන්නේ මේ ප්‍රෝඩාව ඔබ අදහන නිසයි. ඔබ විස්තර කරන නිදහස් වෙළෙඳපොළ සංකල්පය ම විසංවාදයක්.

      Delete
    7. //මොකද ඔබ මුලින් පැහැදිළි කර දුන් අයුරින් නම් විය නිදහස් වෙළෙඳ පොළක සිදු යුත්තේ ඉල්ලුම සැපයුම් සමතුලිත වන මිලට සෑම දෙනාටම සිනි මිලදී ගැනීමට හැකි වීම මිස මා ඔබේ මතයට පොළඹවා ගැනීම පිණිස රුපියක් 85 බැගින් සිනි කිලෝවක විකුණන බව පවසා මානසික අල්ලසක් දීම නොවෙයි.//

      ඔබ ලියා ඇති පරිදිම නිදහස් වෙළෙඳ පොළක සිදු වන්නේ ඉල්ලුම සැපයුම සමතුලිත වන මිලට සෑම දෙනාටම සිනි මිලදී ගැනීමට හැකි වීමයි. සිදු විය යුත්තේ එයද නැද්ද කියන එක දේශපාලනික කරුණක්. සිදු විය යුත්තේ එය වුනත් නැතත් රාජ්‍ය මැදිහත් වීමක් නැත්නම් සිදු වන්නේ එයයි.

      මා මෙහිදී ඔබට මානසික අල්ලසක් දීමට උත්සාහ කර නැහැ. කිසිදු මැදිහත්වීමක් නොමැතිව ඉල්ලුම සැපයුම වෙනස් වෙද්දී එක් අවස්ථාවක මේ සමතුලිත මිල රුපියල් 85ක් වන අතර තවත් අවස්ථාවක රුපියල් 110ක් විය හැකියි. උදාහරණයක් විදිහට ජාත්‍යන්තර වෙළඳපොළේ සීනි මිල වෙනස් වීම මත ලංකාවේ සීනි වෙළඳපොළේ ඉල්ලුම් වක්‍රය එසේම තිබියදී සැපයුම් වක්‍රය වෙනස් වීම මත. මිල රුපියල් 110ක්ව තිබියදීත් ඔබ සීනි මිල දී ගන්නවානම් මිල රුපියල් 85ක් වූ විට ඔබට ලාබයක් වන බවයි මම යෝජනා කරන්නේ. එසේ නැතුව වෙනත් අය රුපියල් 110 බැගින් සීනි මිල දී ගනිද්දී ඔබට පමණක් රුපියල් 85 බැගින් සීනි ලැබීමක් ගැන නෙමෙයි. (යම් හෙයකින් එසේ වුවත් ඔබේ පාරිභෝගික අතිරික්තය වැඩි වෙනවා.) ඒ වගේම එහි අනෙක් පැත්ත සිදු වූ විට පාඩුවක් වන බවයි. මෙය සැලකෙන්නේ පාරිභෝගික අතිරික්තයේ අඩු හෝ වැඩි වීමක් ලෙසයි. මා මෙය යෝජනා කළත් මෙය ආර්ථික විද්‍යාවේ සම්මත කරුණක් මිස මගේ අදහසක් නෙමෙයි.

      රාජ්‍ය මැදිහත්වීමක් නිසා (මිල පාලනය හෝ බදු) මිල වෙනස් වීමක් වෙන්නත් පුළුවන්. එහිදී වෙන්නේත් පාරිභෝගික අතිරික්තයේ අඩු හෝ වැඩි වීමක්. පළමු අවස්ථාවේදී පාරිභෝගික අතිරික්තය වැඩි වුනා කියා කිසිදු අකාර්යක්ෂමතාවයක් ඇති වන්නේ නැහැ. එහෙත් දෙවන අවස්ථාවේදී එවැන්නක් සිදු වෙනවා.

      මෙහි කිසිදු විසංවාදයක් ඇතැයි මා හිතන්නේ නැහැ. ඔබ එසේ හිතනවානම් මෙය තව දුරටත් පැහැදිලි කළ හැකියි.

      Delete
    8. "ඔබ ලියා ඇති පරිදිම නිදහස් වෙළෙඳ පොළක සිදු වන්නේ ඉල්ලුම සැපයුම සමතුලිත වන මිලට සෑම දෙනාටම සිනි මිලදී ගැනීමට හැකි වීමයි." ඔව්, මා කියන්නෙත් එයමයි.

      "මිල රුපියල් 110ක්ව තිබියදීත් ඔබ සීනි මිල දී ගන්නවානම් මිල රුපියල් 85ක් වූ විට ඔබට ලාබයක් වන බවයි මම යෝජනා කරන්නේ." මෙතැනයි ප්‍රශ්නය.

      මිල 110 ක් ව තිබියදීත් මා සීනි මිලදී ගන්නේනම් එය 85 වූ විට එය මිලදී ගැනීම ප්‍රශ්නයක් නොවෙයි. නමුත් එය මට ලැබුණු ලාභයක් යැයි මා අදහන්නේ නෑ. ඔව්, වෙළෙන්දා නම් මොර දෙනු ඇත්තේ "ලාබායි ලාබායි" කියා විය හැකියි. නමුත් මට නම් එය ලාභයක් නොවෙයි. මොකද දැන් නිදහස් වෙළෙඳ පොළේ නියම මිල 85 මිස 110 නොවන නිසා. මා ලාභයක් ලෙස සළකන්නේ නිදහස් වෙළෙඳ පොළේ නියම මිල 85 ට තිබියදී ඊට අඩුවෙන් ලැබුණොත් පමණයි (ඇදහිළි වල වෙනස !). නමුත් එවිට මා පෙර කි ලෙස එය තවදුරටත් නිදහස් වෙළෙඳ පොළක් වන්නේ නෑ.

      නමුත් පාරිභෝගික අතිරික්තය ගැන එවැනි විවේචනයක් නෑ. මා කියන්නේ පාරිභෝගික අතිරික්තය යනු පාරිභෝගිකයාට ලැබෙන සැබෑ ලාභයක් ලෙස මා විසින් නොඇදහෙන බව මිස පාරිභෝගික අතිරික්තය කියා දෙයක් නොමැති බව නොවෙයි.

      මා අදහන ඇදහිල්ල ඔබේ ඇදහිල්ලෙන් වෙනස් වන්නේ පාරිභෝගික අතිරික්තය නම් "ව්‍යාජ" ලාභයක් මවා පා පාරිභෝගිකයා භාණ්ඩයේ සැබෑ නිදහස් වෙළෙඳ පොළ වටිනාකමට වඩා වැඩි මිලක් ගෙවීමට සැලැස්වීම සදාචාර සම්පන්න ද නැත්ද යන කාරණාව මතයි.

      උදාහරණයක් දෙන්නම්. ඇපල් ඓෆෝන් එකක් ගන්නා කෙනෙක් එහි සැබෑ වටිනාකම මෙන් සිව් ගුණයක් නැතිනම් පස් ගුණයක් පමණ ඔය ඊනියා "පාරිභෝගික අතිරික්තය" වෙනුවෙන් ගෙවන බවයි මා සිතන්නේ. ඒ ඒ අයගේ කැමැත්ත එයනම් මගේ ඒ ගැන විරුද්ධත්වයක් නෑ. මා පෙන්වා දෙන්නේ මා සිතන විදිය වෙනස් බව පමණයි. මේ අයුරින් සිතන එකම පුද්ගලයා මා පමණක් නම් විය නොහැකියි.

      Delete
    9. හරි. දැන් පැහැදිලියි. ඇත්තටම ඔබ කියන්නේ මෙය විය හැකි බව මට තේරුණා. නමුත්, මා නිවැරදි නොවිය හැකි නිසා ඔබම පිළිතුර ලියන තුරු ඔබේ පිළිතුර උපකල්පනය කර පිළිතුරු දෙන්න මට අවශ්‍ය වුනේ නැහැ.

      //නමුත් මට නම් එය ලාභයක් නොවෙයි. මොකද දැන් නිදහස් වෙළෙඳ පොළේ නියම මිල 85 මිස 110 නොවන නිසා.//

      දැන් ඔබ ඔබේ තර්කය පටන් ගන්නේ නිදහස් වෙළෙඳ පොළේ නියම මිල 85 කියන පදනමේ සිටයි. මම මෙහි පැහැදිලි කරන්නේ නිදහස් වෙළෙඳ පොළේ නියම මිල 85 වන පදනමයි. මොකද "දැන් නිදහස් වෙළෙඳ පොළේ නියම මිල 85 මිස" කියා කියන්න පෙර දැන් නිදහස් වෙළෙඳ පොළේ නියම මිල 85 බවට පත් වී තිබිය යුතුයි. පාරිභෝගික අතිරික්තය කියන්නේ නිදහස් වෙළෙඳ පොළේ නියම මිල 85 බවට පත් වන යාන්ත්‍රණයේ කොටසක්.

      ඉල්ලුම් සැපයුම් ආකෘතියට හා මම මෙහි විස්තර කර තිබෙන අනෙක් දේවල් වලට ඔබ මෙහි කියා තිබෙන අර්ථයෙන් කිසිම ඇදහීමක් අවශ්‍ය වන්නේ නැහැ. අවශ්‍ය වන මූලික සිද්ධාන්තය එකම භාණ්ඩයකට විවිධ පුද්ගලයින් විසින් ලබාදෙන වටිනාකම් පුද්ගලයාට සාපේක්ෂයි කියන එක පමණයි. මේක තමයි ධනවාදය හා මාක්ස්වාදය අතර මූලිකම වෙනස. දැන් ඔබේ තර්කය හරහා ඔබ විසින් තහවුරු කරන්නේත් මේ කරුණයි.

      මාක්ස්වාදයට අනුව භාණ්ඩයකට පුද්ගලයාගෙන් වියුක්ත නිරපේක්ෂ වටිනාකමක් තිබෙනවා. නමුත් ධනවාදය අනුව එවැන්නක් නැහැ. වටිනාකම හැම විටම පුද්ගලයාට සාපේක්ෂයි. එය කොපමණද කියන එක වැදගත් නැහැ. ඒ වගේම ඔබ හෝ මා වැනි කිසියම් නිශ්චිත පුද්ගලයෙකු විසින් වටිනාකම නිර්ණය කරන පදනම කුමක්ද කියන එකත් වැදගත් නැහැ. වටිනාකම් වෙනස් වෙන්න හේතුව අපේ පෞද්ගලික ඇදහීම් වෙනස් වීම වෙන්න පුළුවන්. එය මේ ආකෘතියට වැදගත් නැහැ. වැදගත් වෙන්නේ කවර හෝ හේතුවක් නිසා එවැනි වෙනස්කම් තිබෙනවා කියන කරුණයි.

      ඒ වගේම "නිදහස් වෙළෙඳ පොළේ නියම මිල 85 මිස 110 නොවන නිසා මට නම් එය ලාභයක් නොවෙයි" කියන ඔබ වැනි අය සිටීම ආකෘතියට ප්‍රශ්නයක් නොවනවාක් වගේම එවැනි බොහෝ දෙනෙක් සිටිය හැකි බව මේ ආකෘතිය තුළ පිළිගැනෙනවා. එහෙත් එක් උපකල්පනයක් අවශ්‍යයි. එනම් "නිදහස් වෙළෙඳ පොළේ නියම මිල 85 නිසා මට එය පාඩුවක් නොවෙයි" කියන උපකල්පනය. මොකද රුපියල් 85ක් ගෙවා භාණ්ඩය මිල දී ගැනීම පාඩුවක් සේ සලකනවානම් ඔබට භාණ්ඩය මිලදී නොගෙන ඉන්න පූර්ණ නිදහස තිබෙනවා. (ඔබ එයත් පිළි නොගන්නවානම් ඒ ගැනත් තවදුරටත් කතා කළ හැකියි).

      නිදහස් වෙළඳපොළ සමතුලිතතාවය සඳහා අවශ්‍ය වන්නේ පාරිභෝගික අතිරික්තය ≥ 0 වීම මිස පාරිභෝගික අතිරික්තය > 0 වීම නොවන බව ඉතාම වැදගත් මූලධාර්මික කරුණක්. මෙය සැපයුම්කරුවන්ගේ ලාබ වලටත් අදාළයි. නිදහස් වෙළඳපොළ සමතුලිතතවයකදී සැපයුම්කරුට ලාබ නැති විය හැකියි. එහෙත් පාඩු වෙන්න විදිහක් නැහැ. වෙනස් විදිහකින් කිවුවොත් පාරිභෝගික අතිරික්තය හා ලාභය ශුන්‍ය විය හැකි වුවත් සෘණ විය නොහැකියි. (එසේ විය හැකි අවස්ථාත් තිබෙනවා. ඔබ එවැන්නක් පෙන්වා දුන්නොත් ඒ ගැනත් පැහැදිලි කරන්නම්. දැනට අපි මෙය මීට වඩා සංකීර්ණ කර නොගෙන ඉඳිමු.)

      Delete
    10. //මා අදහන ඇදහිල්ල ඔබේ ඇදහිල්ලෙන් වෙනස් වන්නේ පාරිභෝගික අතිරික්තය නම් "ව්‍යාජ" ලාභයක් මවා පා පාරිභෝගිකයා භාණ්ඩයේ සැබෑ නිදහස් වෙළෙඳ පොළ වටිනාකමට වඩා වැඩි මිලක් ගෙවීමට සැලැස්වීම සදාචාර සම්පන්න ද නැත්ද යන කාරණාව මතයි.//

      පාරිභෝගිකයා භාණ්ඩයේ සැබෑ නිදහස් වෙළෙඳ පොළ වටිනාකමට වඩා වැඩි මිලක් ගෙවීමට සැලැස්වීමක් ගැන මා මේ ලිපි හතරෙන් එකකවත් කියා නැහැ. ඔබට එවැනි අදහසක් පැමිණියේ ලිපියේ කොයි කොටසින්ද කියා කිවුවොත් පැහැදිලි කළ හැකියි.

      මිනිස්සු සාපේක්ෂ වටිනාකම් හදාගන්නේ කොහොමද කියන එක මේ ආකෘතිය සඳහා අවශ්‍ය නොවන වෙනම කරුණක්. නමුත් ඒ ගැනත් පොඩ්ඩක් කතා කරමු. ඔබේ ප්‍රතිචාරයට අදාළ නිසා සහ මේ ගැන මම තරමක් උනන්දු නිසා. මේ කාරණයේදී මිනිස්සුන්ගේ ඇදහීම්, සංස්කෘතිය ආදිය බලපානවා. බොහෝ අය වටිනාකම තීරණය කරන්නේ තමන්ට සාපේක්ෂව. අපි හිතමු ගෙදර ඉඳිආප්ප හදනවද කඩෙන් ගන්නවද වගේ දෙයක්. මෙහිදී වටිනාකම තීරණය වන්නේ අදාළ භාණ්ඩය තමන්ට තනිව හදා ගැනීමේ මහන්සිය හා වියදමට සාපේක්ෂව. ගෙදර කුඹුර කරනවද කඩෙන් හාල් ගන්නවද වගේ. නමුත් සමහර අය වෙනත් අයට සාපේක්ෂව වටිනාකම තීරණය කරනවා. අපේ ගෙදර ශීතකරණයක් තිබීමේ වටිනාකම තීරණය වන්නේ මට ආහාර කල් තබා ගැනීමට අවශ්‍ය වීම මත නෙමෙයි. අල්ලපු ගෙදර ශීතකරණයක් තිබීම මත. ලංකාවේ බොහෝ දෙනෙක් ඔය පදනම මත වටිනාකම් තීරණය කරනවා. ඇමරිකාවේ වුවත් එන එන අලුත්ම අයිෆෝන් මිල දී ගන්නා අයෙක් එය කරන්නේ ඔය වගේ පදනමකින්. නමුත් එය ඒ අයගේ කැමැත්ත. ඉල්ලුම් සැපයුම් ආකෘතියේදී වටිනාකම් නිර්ණය කරන හේතු මොනවාද කියන එක වැදගත් නැහැ. එය ධනවාදයට පිටින් තිබෙන සමාජයීය/ සංස්කෘතික කරුණක්. ධනවාදය ඒවා වෙනස් කරන්න යන්නේ නැහැ. ඒවා පවත්වා ගන්න යන්නේත් නැහැ.

      අයිෆෝන් එකක් මිල දී ගන්නා කෙනෙක් ගෙවන්නෙත් ඔබ සීනි වලට ගෙවනවා වගේම නිදහස් වෙළඳපොළ මිලක් (මෙය සීනි මෙන් තරඟකාරී නිෂ්පාදනයක් නොවන නිසා වෙනස්කම් තිබෙනවා). ඔබ ඒ මිල ගෙවා අයිෆෝන් එකක් මිල දී නොගන්නේත්, එම මිල ඕනෑවට වැඩි මිලක් කියා හිතන්නේත් ඔබේ සාපේක්ෂ වටිනාකම් අනුවයි. වෙනත් අයට එය ඒ මුදලට වටිනවා. ඒ ඇයි කියන එක ඒ අයගේ පෞද්ගලික දෙයක්. ඒ වගේම ඔබ නිදහස් වෙළඳපොල මිලට සීනි ගත්තත් ඒ මිල ඕනෑවට වඩා වැඩි මිලක් කියා හිතන අයත් ඉන්නවා. ඔබ අයිෆෝන් එක ගැන හිතනවා වගේම. ඒ අය 85 ගෙවා සීනි මිලදී ගන්නේ නැහැ. ඔබ සීනි 85 බැගින් මිල දී ගැනීමේ ලාබයක් නැති සේ සැලකුවත් එහෙම හිතන කවුරු හෝ සිටීමේ ඉඩකඩ අප‍ට බැහැර කරන්න බැහැ. අනිවාර්යයයෙන්ම යම් පිරිසක් ඉන්නවා. ඒ නිසා හැමෝම ඔබ මෙන් සිතනවා කියා සාධාරණ වශයෙන් උපකල්පනය කිරීම අනවශ්‍ය හා දැඩි උපකල්පනයක්. නමුත් හැමෝම ඔබ මෙන්ම හිතනවා වෙන්නත් පුළුවන්.

      ඔබ හිතන ආකාරයට නැවත ආවොත් (මේ ආකෘතියට වැදගත් දෙයක් නොවුනත්) ඔබ ඔබේ වටිනාකම හදා ගන්නා බව පෙනෙන්නේ වෙනත් අය දෙස බලමින්. මෙය අල්ලපු ගෙදර ශීතකරණයක් තිබෙන නිසා ශීතකරණයක් මිල දී ගැනීම කියා මම කියන්නේ නැහැ. මොකද පැහැදිලි වෙනසක් තිබෙන නිසා. නමුත් ඔබ නිදහස් වෙළඳපොළ මිල කියන එක සමඟ සැසඳීමක් කරනවා. ඔබ හිතන ආකාරය අනුව ඔබ මෙහිදී කරන්නේ ඔබ හැර අනෙක් අයගේ රුචිකත්වය මත නිර්ණය වී තිබෙන නිදහස් වෙළඳපොළ මිල දෙස බලා ඔබේ සාපේක්ෂ වටිනාකම සීරුමාරු කර ගැනීමයි. නමුත් හැමෝම ඔබ මෙන් හැසිරෙන්නේ නැහැ. හැමෝම එහෙම කළොත් වෙන්නේ සැපයුම්කරුවන්ට වැඩි ලාබයක් ගන්න අවස්ථාව ලැබෙන එක. කිසියම් පාරිභෝගිකයින් පිරිසක් හැම වෙලාවේම නිදහස් වෙළඳපොළ මිලට වඩා අඩුවෙන් භාණ්ඩය මිල දී ගන්න උත්සාහ කරනවා. ඒ අය ඔබ මෙන් "නියම මිල" පිළිගෙන භාණ්ඩය මිල දී ගෙන හැරී එන්නේ නැහැ. හෙට්ටු කරනවා. අඩුවට නොලැබුණොත් හැරී යනවා. සැලකිය යුතු පිරිසක් එසේ කළොත් සැපයුම්කරුවන්ට (හැකියාවක් තිබේනම්) මිල අඩු කරන්න වෙනවා. ඒ වගේම ඔබ මෙන් නිදහස් වෙළඳපොළ මිල පිළිගෙන හැමෝම භාණ්ඩය අරගෙන ගියොත් සැපයුම්කරුවන් විසින් මිල ඉහළ දමන්න පෙළඹෙනවා. නිදහස් වෙළඳපොළ මිල හැදෙන්නේ ඔය යාන්ත්‍රනය තුළයි. එහෙම නැතුව සැපයුම්කරුවන්ට හෝ පාරිභෝගිකයන්ට ඕනෑ වෙලාවක නිරීක්ෂණය කළ හැකි ඔවුන්ගෙන් පරිබාහිර නිදහස් වෙළඳපොළ මිලක් කියා දෙයක් නැහැ.

      Delete
    11. කතා කතුMarch 23, 2021 at 1:21 AM

      ඔබේ දිගු පැහැදිළි කිරීමට ඇත්ත වශයෙන්ම ස්තූතියි.

      මෙහි තේරුම නම් නිදහස් වෙළෙඳපොළ තුල ඉල්ලුම සැපයුම අනුව නිර්ණය වන නියම මිල යන්නත් පාරිභෝගික අතිරික්තය වැනිම ව්‍යාජයක් (හෙවත් ආචාර්‍ය නලින් ද සිල්වාගේ වචනයෙන් පට්ටපල් බොරුවක්) බවයි. එසේ වුවත් එය භාවිතා කර වෙළෙඳ පොළ හැසිරීම ගැන යම් යම් දේ පැහැදිළි කළ හැකියි.

      Delete
    12. //මෙහි තේරුම නම් නිදහස් වෙළෙඳපොළ තුල ඉල්ලුම සැපයුම අනුව නිර්ණය වන නියම මිල යන්නත් පාරිභෝගික අතිරික්තය වැනිම ව්‍යාජයක් (හෙවත් ආචාර්‍ය නලින් ද සිල්වාගේ වචනයෙන් පට්ටපල් බොරුවක්) බවයි. එසේ වුවත් එය භාවිතා කර වෙළෙඳ පොළ හැසිරීම ගැන යම් යම් දේ පැහැදිළි කළ හැකියි.//

      ඔබ මෙසේ කියන්නේ කවර සන්දර්භයකද කියන එක පැහැදිලි නැහැ. ඉල්ලුම් සැපයුම් ආකෘතියත් වෙනත් ඕනෑම ආකෘතියක් වැනි (උදාහරණයක් විදිහට ගුරුත්වාකර්ෂණය පිළිබඳ අදහස වැනි) ආකෘතියක්. ආකෘතියක් මගින් කරන්නේ පවතින තත්ත්වය පැහැදිලි කිරීමයි. ආකෘති කියන්නේ පැහැදිලි කිරීමේ පහසුවට යොදා ගන්නා වියුක්ත දේවල් මිසක් පවතින දේවල් නෙමෙයි. ඒ අර්ථයෙන් ඕනෑම ආකෘතියක් ව්‍යාජයි. නමුත් නලින් ද සිල්වා විසින් වියුක්ත ආකෘති සියල්ල පට්ටපල් බොරු ලෙස හැඳින්වීම ගැන මම එකඟ නැහැ. එසේ හැඳින්වීමෙන් හැම ආකෘතියක්ම එක සේ සැලකීමේ පෙළඹුමක් ඇති වෙනවා. නමුත් සමහර ආකෘති වඩා හොඳයි. සමහර ඒවා ආකෘති ලෙසම වුවත් බොහෝ තත්ත්වයන් යටතේදී වැරදියි. උදාහරණයක් විදිහට වෛරය ආහාරයට ගන්නා අමනුෂ්‍යයන් පිරිසක් විසින් කෝවිඩ් පතුරනවා කියන නලින් ද සිල්වාගේ විකල්ප ප්‍රවාදය වෛරසයක් මගින් කෝවිඩ් හැදෙනවා කියන සම්මත ප්‍රවාදය සමඟ සසඳන්න පුළුවන්. දෙකම ප්‍රවාද වුවත් මේ දෙකම එක සමාන බොරු නෙමෙයි.

      නිදහස් වෙළෙඳපොළ තුල ඉල්ලුම සැපයුම අනුව නිර්ණය වන නියම මිල යන්න නිරීක්ෂණය කළ හැකි දෙයක්. එය ව්‍යාජයක් නෙමෙයි. ඉල්ලුම හා සැපයුම නිරීක්ෂණය කළ නොහැකි වුවත් ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවාද කියන එක නිරීක්ෂණය කල හැකි දෙයක්. ඉල්ලුමට වඩා සැපයුම වැඩි වූ විට වට්ටක්කා විකුණාගන්න බැරිව ගොවියෝ වහ බොන බවත්, සැපයුමට වඩා ඉල්ලුම වැඩි වූ විට පෝලිම් හැදෙන බවත් නිරීක්ෂණය කළ හැකියි. ඒ වගේම සැපයුම සීමා කළ විට මිල ඉහළ යන බවත් (කහ වැනි), මිල පාලනය කළ විට ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය නැති වී භාණ්ඩ හිඟ ඇති වන බවත් නිරීක්ෂණය කළ හැකියි. මේ නිරීක්ෂණ පහසුවෙන් ඉල්ලුම් සැපයුම් ආකෘතිය සමඟ ගැලපිය හැකියි. ඉල්ලුම් සැපයුම් ආකෘතිය අනුවම නිදහස් වෙළඳපොළ මිල කියා කියන්නේ රුපියල් 85ක් වැනි නිශ්චිත මිලක් නෙමෙයි. මගේ මේ ලිපිවල වුවත් එසේ පෙන්වා තිබෙන්නේ පැහැදිලි කිරීමේ පහසුවට පමණයි. මේ වගේ ආකෘති ඉගැන්වීම සඳහා යොදා ගන්නා ඉතාම සරල ආකෘති. නමුත් ඒ ආකෘති තේරුම් නොගෙන ඊට වඩා සංකීර්ණ ආකෘතියක් තේරුම් ගන්න බැහැ. නිදහස් වෙළඳපොළ මිල කියා කියන්නේ ගතික ලෙස වෙනස්වන දෙයක්. ඒ වෙනස් වීම ආකෘති මගින් සෑහෙන තරම් නිවැරදිව පුරෝකථනය කළ හැකියි. ලංකාවේ හැම විටම සිදු නොවුනත් සාමාන්‍යයෙන් බදු අඩු වැඩි කරන්නේ මෙවැනි ආකෘති මත පදනම්වයි.

      ඊට වඩා මූලික මට්ටමේ ප්‍රශ්නයක් වන්නේ මේ ආකෘතිය මගින් පැහැදිලි කරන්නේ නිදහස් වෙළඳපොලක හැසිරීම වීමයි. ලංකාවේ නිදහස් වෙළඳපොළක් කියා එකක් නැති තරම්. ඒ නිසා මේ ආකෘති ඉතා හොඳින් වැඩ කරන බව පැහැදිලිව ඇස් දෙකට පේන්නේ නැහැ. ඇමරිකාවේ ජීවත් නොවුනානම් මේ ආකෘති ගැන පෞද්ගලිකව මට වුවත් කිසිදු විශ්වාසයක් ඇති වෙන්නේ නැහැ. ලංකාවේ ඉන්න කාලයේ මමත් හිතාගෙන හිටියේ ලංකාව ධනවාදී රටක් කියලයි. එහෙත් මේ කියන ආකෘති වැඩ කරන බව මට පැහැදිලිව පෙනුණේ නැහැ. සමාජවාදී රටක වුවත් විශාල බාධාවන් රැසක් මධ්‍යයේ ඉල්ලුම හා සැපයුම යම් තරමකින් සමතුලිත වෙනවා. නමුත් එය සමාන කළ හැක්කේ කූඩුවක සිටින ගිරවෙකුගේ හා එළියේ සිටින ගිරවෙකුගේ හැසිරීමකටයි. කූඩුවේ සිටින ගිරවා දෙස බලා ගිරවු ගැන හැදෑරිය හැකි වුවත් සමහර වැදගත් දේවල් නිරීක්ෂණය කරන්න බැහැ. කෝවිඩ් වසංගතය හමුවේ වසංගත විද්‍යා ප්‍රවාද සාර්ථක වී ඇති හා අඟහරු වෙත යානයක් යැවීමේදී ගුරුත්වාකර්ෂණ ප්‍රවාද සාර්ථක වී ඇති අයුරෙන්ම ආර්ථික දියුණුව කරා යාමට ඉල්ලුම් සැපයුම් සමතුලිතතාවය හා බැඳුණු ප්‍රවාද උපකාරී වෙනවා. අනෙකුත් විකල්ප ප්‍රවාද පැහැදිලි ලෙසම අසාර්ථක වී තිබෙනවා.

      Delete
    13. පාරිභෝගික අතිරික්තය කියන සංකල්පය ගැන තව දුරටත් පැහැදිලි කිරීමක් විදිහට, ඉතාම සරලව, පාරිභෝගික අතිරික්තය කියා කියන්නේ පවතින මිල හා පුද්ගලයෙකුගේ සාපේක්ෂ වටිනාකම අතර වෙනසයි. මෙහිදී පවතින මිල කිසිසේත්ම නිදහස් වෙළඳපොළ මිල විය යුතු නැහැ. එය ද්වීතියික කරුණක්.

      ඔබ ලියා ඇති පරිදි,

      "මා ලාභයක් ලෙස සළකන්නේ නිදහස් වෙළෙඳ පොළේ නියම මිල 85 ට තිබියදී ඊට අඩුවෙන් ලැබුණොත් පමණයි (ඇදහිළි වල වෙනස !). නමුත් එවිට මා පෙර කි ලෙස එය තවදුරටත් නිදහස් වෙළෙඳ පොළක් වන්නේ නෑ."

      මේ උදාහරණයේදී පැහැදිලිවම තරඟකාරී නිදහස් වෙළඳපොළක් නැහැ. එහෙත් අඩු වශයෙන් මේ සන්දර්භයේදී ඔබ විසින් ලාබයක් සේ සලකන පාරිභෝගික අතිරික්තයක් තිබෙනවා. වැරදිනම් ඔබේ නිවැරදි කිරීමකට යටත්ව මා කියා සිටින්නේ මේ සන්දර්භයේදී වුවත් ඔබ ලාබයක් සේ සලකන දෙය මිල දී ගන්නා සීනි ප්‍රමාණයට සාපේක්ෂ බවයි. වෙළෙඳ පොළේ නියම මිල 85 ට තිබියදී ඊට අඩුවෙන් ලැබුණොත් එහි ලාබයක් ඇතැයි ඔබ සිතන නිසා සාමාන්‍යයෙන් මිල දී ගන්නා සීනි ප්‍රමාණයට වඩා යම් සීනි ප්‍රමාණයක් ඔබ විසින් මිල දී ගන්න ඉඩ තිබෙනවා. සමහර විට කිලෝවක් හෝ දෙකක්. නමුත් ඔබ ගෙදර කාමරයක් පිරෙන්න සීනි ගොඩ ගසා ගනු ඇතැයි මම හිතන්නේ නැහැ. ඒ වගේම ඔබට සාපේක්ෂ "නියම මිල" යටතේ වුවත් ඔබ විසින් බොහෝ විට මිල දී ගන්නේ ඔබේ සතියක හෝ මාසයක පරිභෝජනය සඳහා අවශ්‍ය සීනි ප්‍රමාණය පමණයි. එතැනින් එහාට ඔබට සීනි වල වටිනාකමක් නැහැ හෝ ඉතාම අඩුයි. ඔබේ පරිභෝජනයට අනවශ්‍ය තරම් සීනි ගොඩ ගසා ගැනීමෙන් ඔබේ පාරිභෝගික අතිරික්තය අඩු වෙනවා මිසක් වැඩි වෙන්නේ නැහැ. ඔබ මිල දී ගන්නා සීනි ප්‍රමාණය නවත්වන්නේ හරියටම ඔබේ පාරිභෝගික අතිරික්තය ශුන්‍ය වන මට්ටමේදී. වෙනත් ඕනෑම කෙනෙක් කරන්නේත් එයයි. සමහර විට වෙනත් කෙනෙකු ඒ මට්ටමට එන්නේ කාමරය පිරෙන්න සීනි ගොඩ ගසා ගැනීමෙන් පසුව වෙන්න පුළුවන්. අවස්ථා දෙකේදීම වෙන්නේ සීනි කිලෝවක වටිනාකම පවතින මිල දක්වා අඩු වන තුරු සීනි මිල දී ගන්න එකයි. ආකෘතිය වෙත ගියොත් ඉල්ලුම සැපයුම සමතුලිත වන ලක්ෂ්‍යයේදී ඉල්ලුම් වක්‍රය මගින් නිරූපනය වන සාපේක්ෂ වටිනාකම වෙළඳපොළ මිලට හරියටම සමානයි. ඒ නිසා එම ලක්ෂ්‍යයේදී පාරිභෝගික අතිරික්තය ශුන්‍යයි. ඔබ කියන්නේ හරියටම මේ අවස්ථාව ගැනයි. නමුත් ඔබ මෙසේ නිරීක්ෂණය කරන්නේ ඉල්ලුම් වක්‍රයේ එක් ලක්ෂ්‍යයක් පමණයි. එහි අනෙක් කොටස් නිරීක්ෂණය කරන්න වෙන්නේ පවතින සමතුලිතතාවය වෙනස් වන විටයි. වක්‍රයේ සමතුලිත ලක්ෂ්‍යය හැර ඉතිරි නොපෙනෙන කොටස් ගැන හිතන්න වෙන්නේ වියුක්ත ලෙසයි. එසේ නැත්නම් එකතු කරගත් පැරණි දත්ත මත පදනම්වයි. "නිදහස් වෙළෙඳ පොළේ නියම මිල 85 ට තිබියදී ඊට අඩුවෙන් ලැබුණොත්" කියන එක ගැන ඔබට වියුක්තව සිතිය හැකියි. එය ප්‍රමාණවත්. එයින් අදහස් වන්නේ එවැන්නක් ඇත්තටම විය යුතුයි කියන එක නෙමෙයි.

      Delete
    14. කතා කතුMarch 24, 2021 at 2:26 AM

      මේ තරම් කැප වීමෙන් තේරුම් කර දීමට දරන උත්සාහය අගය කිරීමට වචන නෑ.

      සීනි උදාහරණය පෞද්ගලික මට්ටමට ගෙන ගියහොත්;
      මාගේ මෑණියන් තමන්ගේ ජීවිත කාලයේ ආර්ථික වශයෙන් දිළිඳුම අවස්ථාව විස්තර කරන්නේ "එදා ගෙදර සීනිවත් තිබුණේ නෑ" යනුවෙන්. එවැනි අවස්ථා උදා වී තිබෙන්නේ එක වරක් පමණයි. කල් තබා ගත හැකි ද්‍රව්‍යයක් වන සීනි සෑම කාලයකම මාගේ මෑණියන් විසින් භාජන දෙකක තබාගෙන සිටියා. එකක් සීනි කිලෝ එකකට වඩා අඩුවෙන් තබා ගත හැකි ප්ලාස්ටික් / වීදුරු භාජනයක්. අනෙක කිලෝ පහක් පමණ ගබඩා කර තබා ගත හැකි ටින් එකක්. පළමුවැන්න හිස් වන අවස්ථා තිබුණත් දෙවැන්න හිස් වන අවස්ථා නැති තරම්. මාගේ මෑණියන් අර අවස්ථාවේ සඳහන් කරන්නේ දෙකම හිස් වූ එකම අවස්ථාව ගැනයි. ඔව්, කාමරයක් පිරෙන්න නම් අප සීනි මිලදී ගන්නේ නෑ තමා.

      එසේම පාරිභෝගික අතිරික්තය ගැන කතාව පෞද්ගලික මට්ටමට ගෙන ගියහොත්;
      අප කුඩා කාලයේ අත් විඳි දෙයක් නම් මුස්ලිම් මුදලාලිලා සෑම විටම "දාහයි - අටසියට දෙන්නම්" වැනි දෙයක් කියන බවයි. මා සිතා සිටියේ ඔවුන් ඉතාම ත්‍යාගවන්ත පිරිසක් බවයි. නමුත් අපේ වැඩිහිටියන් ඒ ගැන දැක්වූ ආකල්පය එය ඔවුන්ගේ කෛරාටික කම බවයි. මා දුටු සිංහල මුදලාලිලා මිලක් කී විට එය අඩු කිරීමට එකඟ වන්නේ නැති තරම්. මා වයසින් මුහුකුරා යන විට මුස්ලිම් වෙළෙන්දන් වර්ජනය කරන්නට නිතැතින් පෙළඹුණේ ඔවුන් මට ඉදිරිපත් කරන මිල (එය තරඟකාරී සිංහල වෙළෙන්දාගේ මිලට වඩා අඩු ද වැඩිද යන්න නොසළකා) සාධාරණ මිලද යන්න ගැන විශ්වාස නැති නිසයි. "... අටසියට දෙන්නම්" යැයි කියන විටම "මේක පන්සීයකට / හයසීයකට වඩා වටින්නේ නෑ" යි මගේ හිත කියන්නට පටන් ගැනීම ඊට හේතුවයි. නමුත් ඒ භාණ්ඩය හයසීයට ඉල්ලීමට මගේ ආඩම්බර (සමහර විට "සිංහල" නැතිනම් "අහවල් කුලයේ" නැතිනම් "අහවල් පරම්පරාවේ" ...) සිත ඉඩ දුන්නේ නෑ. දශක සතරකට වැඩි ජීවිතයේ මා කේවල් කර මිලදී ගත් දෙයක් සිහියට නගා ගන්නට බෑ.

      වෙළෙන්දා කියන මිලට භාණ්ඩය මට වටී නම් මා එය මිලදී ගැනීමට ඉඩ තිබේ, නොවටීනම් වෙනත් පාර්ශවයක අඩෝවැඩියාව හේතුවෙන් මිලදී ගැනීමට සිදු වී ඇත්නම් මිලදී ගැනීමට ඉඩ තිබුණත් (අනෙක් පාර්ශවය සතුටු කිරීමේ මිල ගෙවීම) බොහෝ විටම වන්නේ මිලදී නොගැනීමයි.

      ඔව් ඔබ කියන "පාරිභෝගික අතිරික්තය" පැහැදිළියි.

      Delete
    15. ඔබ මේ ටික ලියා තිබෙන නිසාත්, ලිපි වල දැනට ලියා තිබෙන දේ පැහැදිලි බව පෙනෙන නිසාත්, මගේ ලිපි හතරෙන් ඔබ්බට තිබෙන තවත් දේවල් කිහිපයක් කියන්න පුළුවන්.

      //මාගේ මෑණියන් තමන්ගේ ජීවිත කාලයේ ආර්ථික වශයෙන් දිළිඳුම අවස්ථාව විස්තර කරන්නේ "එදා ගෙදර සීනිවත් තිබුණේ නෑ" යනුවෙන්. //

      ඉල්ලුම් වක්‍රය මිල අක්ෂය කපන තැනින් සෛද්ධාන්තිකව අදහස් වන්නේ මේ තත්ත්වයයි. ඇත්තටම කියනවානම් ඔබේ මව මේ ආකාරයට සීනි සැලකිය යුතු ප්‍රමාණයක් ගබඩා කර තබා ගැනීමෙන් පෙනෙන්නේ "ගෙදර සීනි ඇටයක්වත් නැතිවීම" ඇයට හිතාගත හැකි නරකම තත්ත්වයක් බවයි. වෙනත් විදිහකින් කිවුවොත් සීනි හොයා ගන්න කිසිම හැකියාවක් නැත්නම් හොයා ගත හැකි පළමු සීනි හැන්දේ වටිනාකම ඉතාම වැඩි බවයි. යම් හෙයකින් ලංකාවේ සීනි නිෂ්පාදනයක් සිදු නොවන පසුබිමක සීනි ආනයනද මුළුමනින්ම නවත්වා රටේම සීනි නැති තත්ත්වයක් යටතේ බෙහෙතකට අනුපාන වශයෙන් සීනි හැන්දක් අවශ්‍ය වුවහොත් ඒ සීනි හැන්ද වෙනුවෙන් ඔබ නොපැකිල සැලකිය යුතු මුදලක් ගෙවනු ඇතැයි මම හිතනවා. මේ වගේ අවස්ථාවක රුපියල් 85ක දැන් මිලට සීනි ලැබුණොත් එහි විශාල පාරිභෝගික අතිරික්තයක් ඇති සේ (ධනවාදී) ආර්ථික විද්‍යාවේදී සැලකෙනවා. මේ තත්ත්වයට ඔබ සාමාන්‍යයෙන් කවදාවත් මුහුණ නොදුන්නත් ඔබ දිනපතා රුපියල් 85ට මිල දී ගන්නා සීනි වල ඒ ඉතාම වටිනා පළමු සීනි හැන්දත් තිබෙනවා. එහි වටිනාකම තේරෙන අවස්ථාවකට ඔබ මුහුණ දී නැතුවා පමණයි. ඔබේ මෑණියන් ආර්ථික විද්‍යාව ඉගෙන ගෙන නැතත්, පාරිභෝගික අතිරික්තය කියන වචනය අසා හෝ නැතත්, රටේ සීනි හිඟ වී කිලෝ පහේ භාජනය ටිකෙන් ටික හිස් වෙද්දී ඇය සීනි භාවිතය ගැන වැඩි වැඩියෙන් පරිස්සම් වෙන්න පටන් ගන්නවා (එසේ නොවන බව ඔබ කියනවානම් එයට යටත්ව මම කියන දෙයක්). වී බිස්සක් ගැන වුනත් කතාව මෙයයි. සීනි භාජනය අඩියටම හිස් කරන්නේ අත්‍යාවශ්‍යම අවස්ථාවක පමණයි. මොකද භාජනයේ සීනි ටිකෙන් ටික අඩු වෙද්දී ඉතිරි වී තිබෙන සීනි වල වටිනාකම ටිකෙන් ටික වැඩි වෙනවා. හැම සීනි ඇටයක්ම මිල දී ගෙන තිබෙන්නේ එකම මිලකට කියන එක මත හැම සීනි ඇටයකම වටිනාකම සමාන වෙන්නේ නැහැ. භාජනයේ උඩම තිබෙන සීනි වල වටිනාකම එහි වෙළඳපොළ මිලට සමානයි. එහි පාරිභෝගික අතිරික්තයක් නැහැ. නමුත් යටම තිබෙන සීනි වල වටිනාකම මිල දී ගත් මුදලට වඩා වැඩියි. ඒ නිසා පාරිභෝගික අතිරික්තයක් තිබෙනවා. ඉල්ලුම් රේඛාව වම්පසට යද්දී වෙන්නේ සීනි භාජනයේ මතු පිට සිට අඩිය දක්වා යන එක. පාරිභෝගික අතිරික්තය කියන එක ආකෘතිය ඇතුළේ තිබෙන වියුක්ත සංකල්පයක්. එහෙත් එය සංයුක්ත නිරීක්ෂණ සමඟ පහසුවෙන් ගලපා ගන්න පුළුවන්.

      Delete
    16. //නමුත් ඒ භාණ්ඩය හයසීයට ඉල්ලීමට මගේ ආඩම්බර (සමහර විට "සිංහල" නැතිනම් "අහවල් කුලයේ" නැතිනම් "අහවල් පරම්පරාවේ" ...) සිත ඉඩ දුන්නේ නෑ. දශක සතරකට වැඩි ජීවිතයේ මා කේවල් කර මිලදී ගත් දෙයක් සිහියට නගා ගන්නට බෑ.

      වෙළෙන්දා කියන මිලට භාණ්ඩය මට වටී නම් මා එය මිලදී ගැනීමට ඉඩ තිබේ, නොවටීනම් වෙනත් පාර්ශවයක අඩෝවැඩියාව හේතුවෙන් මිලදී ගැනීමට සිදු වී ඇත්නම් මිලදී ගැනීමට ඉඩ තිබුණත් (අනෙක් පාර්ශවය සතුටු කිරීමේ මිල ගෙවීම) බොහෝ විටම වන්නේ මිලදී නොගැනීමයි.//

      පෞද්ගලිකව මා හැම විටම හැසිරෙන්නේ හරියටම ඔබ හැසිරෙන විදිහටයි. මේ පුරුද්ද අත් ඇර ගන්න ගියොත් මා මා නොවන වෙන කෙනෙක් වෙනවා. මා තරුණ කාලයේ ලංකාවේදී හෙට්ටු නොකර මිල දී ගැනීම ඉතාම පාඩු ගෙන දෙන පුරුද්දක්. හැම විටම වගේ එහි වාසිය අනෙක් පාර්ශ්වය විසින් ගන්නවා. එසේ තිබියදීත් මා කවදාවත් හෙට්ටු කර නැහැ. එහෙත් පසුකාලීනව හෙට්ටු නොකර මිල දී ගන්නා තැන් ලංකාවේද ප්‍රචලිත වුනා. රැකියා කිරීමේදී පවා මා වැඩි වැටුප් වෙනුවෙන් හෙට්ටු කර නැහැ. ලැබෙන වැටුප ගැන සතුටු නැති විට රැකියාව මාරු කරන එකයි කර තිබෙන්නේ. දැනට වුවත් කරන්නේ ඒකයි.

      ඔබට පැහැදිලි කිරීම සඳහා කිවුවත් ඇත්තටම දියුණු ධනවාදයක් ඇතුළේ මේ විදිහේ හෙට්ටු කිරීම් අවශ්‍ය වන්නේ නැහැ. එවැනි දේ අවශ්‍ය වන්නේ වෙළඳපොළ දියුණු නැති තත්ත්වයක් යටතේදී. දියුණු ධනවාදයකදී සිදු වෙන්නේ ඔබ මෙන්ම මාද කරනවාක් මෙන් තමන්ගේ සාපේක්ෂ වටිනාකම මිලට වඩා වැඩිනම් මිල ගෙවා භාණ්ඩය මිල දී ගැනීම හා එසේ නොවන්නේනම් මිල දී නොගෙන හැරී යාමයි. ආර්ථික විද්‍යාවේ "මිල සංඥාව" ලෙස හඳුන්වන්නේ මේ විදිහට භාණ්ඩය මිල දී ගැනීම හෝ නොගෙන හැරී යාමයි. බොහෝ දෙනෙක් මෙලෙස හැරී යනවානම් එය මිල අඩු කළ යුතුය යන සංඥාව වෙළෙන්දාට ලබා දෙනවා. මෙහිදී ගාණ අසා හැරී යාමක් අවශ්‍ය වන්නේද නැහැ. සුපිරි වෙළඳසැලක අලෙවි දත්ත වාර්තා පරීක්ෂා කළ විට ඇතැම් භාණ්ඩ අලෙවිය අඩු වී හෝ වැඩි වී තිබෙන බව පැහැදිලිව පෙනෙනවා. එයින් මිල සංඥාව ලැබෙනවා. නමුත් මේ විදිහට පාරිභෝගිකයෙකුට හැරී යන්න පුළුවන් වෙන්නේ තරඟකාරී සැපයුම්කරුවන් සැලකිය යුතු පිරිසක් ඉන්නවානම් පමණයි. එක තැනක මිල තමන්ගේ වටිනාකමට වඩා වැඩි වුනත් එසේ නොවන වෙන තැනක් තිබිය හැකි බව පාරිභෝගිකයා දන්නවා. ඒ නිසා හෙට්ටු කරන්න අවශ්‍ය නැහැ. පරීක්ෂා කිරීමෙන් පසුව හැම තැනම මිල සමානනම් පාරිභෝගිකයාට තමන්ගේ මුල් අදහස වෙනස් කරගෙන වැඩි මිලකට භාණ්ඩය මිල දී ගන්න හෝ එය මිල දී ගැනීමේ අදහස අතහැර දමන්න සිදු වෙනවා. ආර්ථික විද්‍යාවේදී "ඕනෑම දෙයකට මිලක් තිබෙනවා" කියා කියන කතාවෙන් අදහස් කෙරෙන්නේ මේ විදිහට පුද්ගලයෙකුගේ තීරණයක් වෙනස් වන සීමාව. එයින් කියවන්නේ වක්‍ර ලෙස වටිනාකම් තක්සේරු කිරීමක් ගැන මිසක් හැම දෙයක්ම ඒ මිලට විකිණිය යුතු බව නෙමෙයි. අඩු වශයෙන් අදාළ දෙය විකිණිය යුතු බව හෝ නොවෙයි. උදාහරණයක් විදිහට පසුගිය කාලයේ කතාබහට ලක් වූ කෘඩියා සෙලනිකා ගස එතැනම තියා ගැනීම සඳහා ඔබ කොපමණ මිලක් ගෙවන්න සූදානම්ද? රටේ වෙනත් අය කොපමණ මිලක් ගෙවන්න සූදානම්ද? ඇත්තටම එවැනි මිලක් ගෙවිය යුතු බව එයින් අදහස් වෙන්නේ නැහැ. නමුත් බොහෝ දෙනෙකුට බලපාන පොදු තීරණයක් ගැනීමේදී එම තීරණයේ දෙපැත්ත සංසන්දනය කිරීමට යම් ආකාරයක වටිනාකම් ඇස්තමේන්තුවක් අවශ්‍ය වෙනවා. ආර්ථික විද්‍යාඥයින් විසින් රුපියල් නොවන සාපේක්ෂ මානසික වටිනාකම් රුපියල් වලට හරවන්නේ මේ සංසන්දය සඳහා. එසේ නොකර සංසන්දනය කිරීමක් කරන්න බැහැ.

      Delete
    17. /* පසුගිය කාලයේ කතාබහට ලක් වූ කෘඩියා සෙලනිකා ගස එතැනම තියා ගැනීම සඳහා ඔබ කොපමණ මිලක් ගෙවන්න සූදානම්ද? */

      ඒ ගස එතැනම තබා සංරක්‍ෂණය කිරීම උදෙසා මා නම් සත පහක් වත් ගෙවීමට සූදානම් නෑ. මේ ගැන අඬහැර පානා බොහෝ දෙනාත් මෙහි වටිනාකම ගෙවීමට සූදානම් යැයි මා සිතන්නේ නෑ. කළ යුතු දේ ලෙස මා දකින්නේ පටක රෝපණය වැනි ක්‍රමයක් භාවිතා කරමින් මේ ශාක විශේෂය තෝරා ගත් ස්ථාන කිහිපයකවත් ප්‍රචාරණය කිරීමයි.

      උතුරු අධිවේගී මාර්‍ගය (ඕන ගොනා විසින් මධ්‍යම අධිවේගී මාර්‍ගය ලෙස පසුව නම් කළ) මේ ස්ථානය හරහා ගමන් කරවන ලෙස අවසන් තීන්දුව ගනිද්දීම මේ ගසේ ඉරණම තීන්දු වී අවසන් බවයි මා සිතන්නේ. යමක් කළ යුතු නම් කළ යුතුව තිබුණේ ඕන ගොනා විසින් ජඩසුරිය ගේ මුඩු ඉඩම් වලටත් වෙළෙඳ පොළ වටිනාකම මෙන් හය ගුණයක් ආණ්ඩුවේ මුදලින් වන්දි ගෙවා (හැන්සාඩ් පරිශීලනය නොකළත් මේ කතාව youtube හි තිබේ) අහවර කිරීමට පෙර. මේ ගස ගැන බෙරිහන් දෙන අයවළුන් ක්‍රියාත්මක කරමින් සිටින්නේ වෙනම න්‍යාය පත්‍රයක් බවයි මගේ හැඟීම. ඉන් ගසටත් රටටත් වන යහපතක් මා දකින්නේ නෑ (මේ ගැන ලිවීමට ආරම්භ කළ ලිපිය "දාරළුවේ පඬුකරඳ හිමි" නමින් ඡේදයක් දෙකක් පමණක් සහිතව අනවසන්ව තවම වේලි වේලී තිබේ).

      පරිසරය ගැන මගේ ආකල්පය මේ ලිපියට අදාළ නොවන නිසා එය වෙන තැනක කතා කරමු. මෙතෙක් අප කෙරේ කරුණාවෙන් කළ පැහැදිළි කිරීම් වලට ස්තූතියි.

      Delete
  2. ඔය ඉල්ලුම් සැපයුම් වක්‍ර වලින් ප්‍රායෝගික වැඩක් ගන්න පුළුවන්ද? එහෙම ගන්න නම් වක්‍ර නිවැරදිව ගණනය කල හැකි විය යුතුයි.
    නමුත් ඒක කරන්න ක්‍රමයක් නෑ. වායුවක නම් උෂ්ණත්වය පීඩනය පරිමාව අතර සම්බන්ධය පරීක්‍ෂණාත්මකව සෙවිය හැකියි.
    ඒත් මිනිස් සමාජයක හැසිරීම ඒ විදියට නිගමනය කල හැකිද? නමුත් මේ ආකෘතියෙන් දලඅදහසක් ගන්න පුළුවන්. ඒ වගේම පෂ්චාත් පරීක්ෂණයක් කරන්න පුළුවන් බව ඇත්තයි.

    මේ ආකෘතිය පැහැදිලිවම නිව්ටෝනියානු සුසමාදර්ශය මත පිහිටා බටහිර භෞතික විද්‍යාව පසුපස (නොන්ඩි ගසමින්) යමින් කල දෙයක් බව පැහැදිලියි. නමුුත් නලින් ද සිල්වා මහතා කියපු විදියට පරිගණක තාක්ෂණයේ දියුනුවත් සමඟ ප්‍රවාද ඔස්සේ ලෝකය දැකීම වෙනුවට දත්ත ඔස්සේ ලෝකය දකින්න හැකිවී තියෙනවා. (ගතින් නාකිවුනත් එතුමා හිතින් කොච්චර තරුණද බලන්න) ඒ අනුව ප්‍රවාද නැතුව කෘතිම බුද්ධියකින් සමතුලිත මිල වඩා සාර්ථකව පුරෝකථනය කලහැකි වෙයි.

    ReplyDelete
    Replies
    1. //එහෙම ගන්න නම් වක්‍ර නිවැරදිව ගණනය කල හැකි විය යුතුයි.//

      මේ වක්‍ර නිවැරදිව ගණනය කළ හැකියි. එය ආර්ථික විද්‍යාඥයින් විසින් කරන සාමාන්‍ය දෙයක්.

      //ප්‍රවාද ඔස්සේ ලෝකය දැකීම වෙනුවට දත්ත ඔස්සේ ලෝකය දකින්න හැකිවී තියෙනවා.//

      වක්‍ර ගණනය කරන්නේ දත්ත මත පදනම්ව. ප්‍රවාද සේ සැලකිය හැක්කේ මිල වැඩි වෙද්දී ඉල්ලුම අඩු විය යුතුයි කියන එක හා පිරිවැය වැඩි වෙද්දී (නිශ්චිත මිලක් යටතේ) සැපයුම අඩු වෙනවා කියන එක පමණයි. ඒ දෙකත් දත්ත ඇසුරෙන් පරීක්ෂා කර තහවුරු කරගත හැකි දේවල්.

      Delete
  3. Sugar bond house දෙයක් ලෝකේ තියෙනවා. මෙතැනදි කරන්නෙ ලොව පුරා සීනී වෙලදාමේ යෙදෙන නැව් යම් කිසි රටක ඇති වරායක ගුදමක අදාල සීනී ටික ගබඩා කර යනවා. මෙම ගුදම් රේගුව සතුව තිබෙනනක්. සීනී ආනයනය කල සමාගමට, එම ගුදමෙන් සීනී වරායෙන් එලියට ගත හැකියි. එවිට එම සමාගම බදු වශයෙන් ගෙවිය යුත්තේ , නිදහස් කර ගැනීම සිදු කරන දවසටයි. නැවෙන් ගුදමට සීනී බාපු දවසට නෙවෙයි.

    මේ කාරණය හිතේ තබාගෙන ඉදිරියට කියවමු.

    දැන් රජය එක ‍රැයෙන් රු50/= තිබූ සීනී බද්ධ ශත 25 ට අඩු කරනවා. මෙය බද්ධ නැති කලාම වගේ තමයි. ගනන් හදා ගන්න ලේසී වෙන්න එහෙම හිතමු.

    ලංකාවේ සීනී ආනයනය කරන වෙලද ආයතන අටෝරාසීයක් තියෙනවා. දැන් එක ‍රැයෙන් බද්ධ අඩු කරන විට රු50/= බද්ධ ගෙවා නිදහස් කර ගත් සීනී මෙට්‍රික් ටොන් 90,000 විතර මාකට් එකේ තියෙනවා.

    හැබැයි එක ආයතනයකට ( විල්මා Trading මුලින් සදහන් කල ආකාරයේ සුගර් බොන්ඩ් හවුස් ( sugar bond house) එකක් ලංකාවෙ වරායේ තියෙනවා. බද්ධ අඩු කරන දවසෙ මේ ගුදමේ 8500 MT ක් මෙතැන තියෙනවා. පහුවදාම මේ මෙටික් ටොන් 8500 මේ ගොල්ලො ශත 25 බද්ධට නිදහස් කර ගන්නවා. හැබැයි පරණ මිලටම, අනෙක් සීනී ආනයනය කරන අය ගානටම මේ ගොල්ලොත් සීනි තොග විකුනනවා. බදු අඩු කිරීමේ තීරණය නිසා, මේ ආයතන ගෙඩි පිටින් 8500*1000*50 = 0.425 billion ලාබයක් උපයනවා.

    දැන් මෙතැන බැලූ බැල්මට කිසිදු වංචාවක් සිදු වී නෑ. සියළු ගණුදෙණු අදාල විදිහට සිද්ධ වෙලා තියෙනවා.

    ඊලගට මෙම විල්මා සමාගම බදු අඩු කර දිණ දෙකක් ඇතුලත සීනී නැවක් ලංකාවට ගෙනැවිත් එම සීනී රේගුවෙන් ශත 25 බද්ධට නිදහස් කර ගන්නවා. මෙතැන මෙට්‍රික් ටොන් 75,000 ක් තියෙනවා.

    දැන් මෙතැන ප්‍රශ්ණය තියෙන්නේ අනෙක් සීනී ආනයනකරුවන්ට වඩා ඉදිරියෙන්, විල්මා එක විතරක් බදු අඩු කිරීම නිසා තමන්ගෙ ලාභය වැඩි කර ගත්තෙ කොහොමද කියන එක. ඒ වගේ දෙයක් වෙන්න නම් බදු අඩු කරනවයි කියන එක කලින් දැන ගෙන ඉන්න ඕනේ.

    මේ වගේ ආරංචියක් සාමාන්‍ය ආනයනන කරුවෙකුට දැන ගන්න කලින් තව අයෙක් හොර මර්‍ගයෙන් දැන ගැනිමක් සිදු වෙලා තියෙනවා නම් අපි ඒකට කියන්නේ ' ඉන්සයිඩ් ට්‍රේඩින්' ( Inside Trading) කියලා. ලංකාවේ මේ සම්භන්ධව පැහැදිලි නීතී රීතී නෑ. නමුත් ඇමෙරිකාවෙන් නම් ඉන්ස්යිඩ් ට්‍රේඩින් කියන්නේ ක්‍රිමිනල් වැ‍රැද්දක්.


    රනිල්ගේ මහබැංකු හොරකම කියන්නේත් මේ වගේ ඉන්ස්යිඩ් ට්‍රේඩින් එකක්..

    ReplyDelete
    Replies
    1. මේ තොරතුරු නිවැරදිද කියා පරීක්ෂා කිරීමේ හැකියාවක් නැතත් මයියාගේ හැම පැහැදිලි කිරීමකටම වගේ එකඟයි. බැඳුම්කර සිද්ධිය සම්බන්ධව වගේම මේ සම්බන්ධවත් අන්තිමේදී "මුකුත්ම වෙන්නේ නැහැ". ඒ නිසා මේ වගේ තනි සිද්ධි ගැන ඕනෑවට වඩා බරක් තබන එකේ තේරුමක් නැහැ කියලා මම පෞද්ගලිකව හිතනවා. වෙන එය එහෙම කරන එක ඒ අයගේ වැඩක්. බැඳුම්කර සිද්ධියේදී වගේම මේ සිද්ධියේදීත් මම මේ ලිපි ලියන්නේ මේ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන වෙළඳපොළ ක්‍රියාකාරීත්වය ගැන පොදු කරුණු පැහැදිලි කිරීමේ අරමුණින්. නැත්නම් ඔය මයියා ලිවුවා වගේ සාරාංශයක් ලියලා නිකම් ඉන්න පුළුවන්. ක්‍රමයේ අඩුපාඩු නොවෙනස්ව තිබෙන තුරු ඔය වගේ දේවල් නැවත නැවත ඕනෑ තරම් වෙන්න පුළුවන්. ඉන්සයිඩ් ට්‍රේඩින් කියන එක ලංකාවේ වෙළඳ සංස්කෘතියේ හා රාජ්‍ය ආකෘතියේ ඉතාම සාමාන්‍ය කොටසක්. බැඳුම්කර සිද්ධිය එවැනි පළමු හෝ එකම සිද්ධිය නොවූවක් මෙන්ම මෙයද මේ ආකෘතියේ පළමු හෝ එකම සිද්ධිය නෙමෙයි. මේ සිද්ධි දෙක වෙනස් වෙන්නේ පරිමාවේ වෙනසින් පමණයි. මේවා ගැන කතා කරන එකෙන් අඩු වශයෙන් දිගුකාලීනව හෝ මේ සංස්කෘතිය වෙනස් වීමට බලපෑමක් වෙයි කියා හිතනවා. සමහර අය "ගජමිතුරු ධනවාදය" කියා කිවුවත් මේ ආකෘතියේ කිසිම ධනවාදයක් නැහැ. මේ වගේ දේවල් වෙන්නේ ලංකාවේ තවමත් ඉතිරිව තිබෙන සමාජවාදී ආකෘතිය ඇතුළේ.

      Delete
    2. රනිල්ගේ මහබැංකු හොරකම කියන්නේත් මේ වගේ ඉන්ස්යිඩ් ට්‍රේඩින් එකක්../////

      දේශපාලනික 'නිල්මිණි තෙන්නකෝන් සින්ඩ්‍රෝමය' වැළඳීම හෙවත් අලුතෙන් තෝරාගත් පාලකයා අසාර්ථක වන විට ඒ ගැන වචනයක් හෝ සඳහන් නොකර පැරණි පාලන කාලයේ දී සිදු වූ තුවාල අතගාමින් ප්‍රසිද්ධියේ වැලපීම

      ksw

      Delete
    3. රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිස විසින් මහ බැංකු බැඳුම්කර මූල්‍ය වංචාව මගින් අයථා ලෙස insider's dealing හරහා උපයාගත් අධික මුදල් වලින් යම්කිසි කොටසක් පසුකාලීනව බැඳුම්කර වංචා විමර්ශන කොමිසම මගින් රඳවා තබා ගන්න නියෝග කළා නේද? මේ මුදල් නැවත රජයට අත්පත් කරගෙන ඒ මුදල් මගින් දිළිඳු ජනයා නගා සිටුවීම සහ බඩු මිල අඩු කිරීමට ඒවා යොදා ගන්න පුළුවන් වෙයි ද?

      ඒ වගේම මේ සීනි ආනයනය කිරීමේදී වූ වංචාව සහ ඒ හරහා ආනයනකරුවන් ලබාගත් බව පේන අධික ලාභ රජයට අත්පත් කරගැනීම සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග තියෙනවා ද? එසේ නම් ඒ සඳහා රජයට බල කරමින් පුරවැසියන් නැගී සිටින්නට අත්‍යවශ්‍ය බව පේනවා නේද?

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: