වෙබ් ලිපිනය:

Sunday, March 21, 2021

මහපාරේ ධුරාවලිය


අවම වශයෙන් දහ හතර දෙනෙකුට මරු කැඳවා තිබෙන පස්සර බස් අනතුරේ වීඩියෝ දර්ශන මේ වෙද්දී බොහෝ දෙනෙක් විසින් දැක ඇතැයි සිතනවා. පළමුව, මිය ගිය හා තුවාල ලැබූ අයගේ පවුල් වල අයට අපගේ කණගාටුව. දෙවනුව, සිද්ධියෙන් පසු රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට කටයුතු කළ ගම් වැසියන්ට හා රාජකාරියට වඩා වැඩි දෙයක් කළ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් සේවකයින්ට අපගේ උපහාරය.

පස්සර අනතුරෙන් මිය ගිය අයගේ ජීවිත වෙනුවෙන් වග කිව යුත්තේ කවුද? අදාළ බස් රථයේ රියැදුරා, ටිපර් රථයේ රියැදුරා හා මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින්ගේ සිට ගෝඨාභය රාජපක්ෂ හා ජේආර් ජයවර්ධන දක්වා විශාල පරාසයක පුද්ගලයින්ට විවිධ අය විසින් මේ අනතුරේ වගකීම පවරා තිබුණා. මේ හැම දෙනෙකුගේම තර්ක වලට කිසියම් පදනමක් තිබෙනවා. 

වීඩියෝව නොබැලූ අයෙකු ඇත්නම්, අනතුර සිදුවන්නේ වංගු සහිත කඳුකර මාර්ගයක. පාරට වැටුණු ගල් කුට්ටියක් නිසා පාරේ පැත්තක් අවහිර වෙලා. පාරේ අවහිර වූ පැත්තෙන් පැමිණෙන ටිපර් රථය අවහිරය පසු කර ඉදිරියට යාම සඳහා වාහනය පාරේ අනෙක් පසට ගන්නවා. ඒ පැත්තෙන් එන පෞද්ගලික බස් රථයට ටිපර් රථය මුහුණට මුහුණ හමු වුනත් බස් රථයේ රියැදුරා බසයේ වේගය අඩු නොකර පාරේ බෑවුම අද්දරින් බසය ධාවනය කරන්න උත්සාහ කරද්දී බසය ප්‍රපාතයට පෙරළෙනවා.

වීඩියෝවේ පැහැදිලිව නොපෙනුණත් ඇතැම් තැන් වල ලියැවී ඇති පරිදි ටිපරය වැලි අදින එකක්. වාහනය ධාවනය කරන ආකාරයෙන් පෙනෙන්නේ ටිපර් රථයේ රියැදුරාට මාර්ගයේ තිබෙන අවහිරය ගැන පූර්ව දැනුමක් ඇති බවයි. ඔහු වැඩිපුර නොහිතාම ටිපර් රථය පාරේ අනෙක් පැත්තට ගන්නවා. පාර වංගු සහිත එකක් වුවත්, එසේ ටිපර් රථය පාරේ අනෙක් පැත්තට ගනිද්දී ඉදිරියෙන් එන බස් රථය පැහැදිලිව පෙනෙනවා. මේ වගේ අවස්ථාවකට මා මුහුණ දුන්නානම් මම කරන්නේ බස් රථයට බාධකය පසු කර ඉදිරියට යන්නට හැර වාහනයේ වේගය අඩු කිරීම හෝ අවශ්‍යනම් වාහනය නවත්වා ගැනීමයි. 

බස් රථයේ රියැදුරාට පාරේ බාධකය ගැන පූර්ව දැනුමක් තිබුණාද යන්න පැහැදිලි නැහැ. එවැනි දැනුමක් තිබුණත් නැතත් තිරිංග තද කර බස් රථය නවත්වා ගත හැකි තරමේ දුරකදී ඔහුට පාරේ බාධකය වගේම ඉදිරියෙන් එන ටිපර් රථයද දර්ශනය වෙනවා. එහෙත් ඔහු අඩු වශයෙන් තිරිංග තද කරන බවක් හෝ පෙනෙන්නට නැහැ. ඔහු උත්සාහ කරන්නේ බෑවුම අයිනෙන් වාහනය ඉදිරියට ධාවනය කරන්නයි. අඟලක දෙකක වාසිය ගෙන වාහනයක් රිංගවීම ලංකාවේ බස් රථ රියැදුරන් හා තවත් රියැදුරන් විසින් කරන ඉතාම සාමාන්‍ය දෙයක්. 

මේ විදිහට අඟලේ වාසිය ගෙන ධාවනය කරන වාහන අනතුරකට ලක් වෙන්න ඔන්න මෙන්න තත්ත්වයටම ගියත් බොහෝ විට අනතුරකට ලක් වෙන්නේ නැහැ. හරියට ලංකාවේ ආර්ථිකය තවමත් කඩා වැටී නැතුවා වගේ. හැබැයි ඔය අඟලේ වාසියේ අවදානම ගැනීම හැමදාම හරියන්නේ නැහැ. කොයි වෙලාවක හෝ වරදිනවා. දැන් වෙලා තියෙන්නේ ඒකයි.

ලංකාවේ මිනිස්සුන්ගේ වගේම වාහන වලද ධුරාවලියක් තිබෙනවා. වාහනයක් එළවන රියැදුරෙක් මේ ධුරාවලියේ තමන්ගේ තැන නිවැරදිව හඳුනාගත යුතුයි. නැත්නම් ලංකාවේ වාහන එළවන්න බැහැ. මම මේ කියන්නේ මැති ඇමතිවරුන්ගේ වාහන ගැන නෙමෙයි. ඒ වාහන වලට කොහොමටත් ධුරාවලියේ ඉහළම තැන ලැබෙනවා. එහෙත් මේ වාහන හැම වෙලාවේම පාරේදී හමු නොවන නිසා විශාල ප්‍රශ්නයක් ඇති වන්නේ නැහැ.

එකම ආකාරය නොවුනත් වාහන ධුරාවලිය බොහෝ දුරට සකස් වන්නේ රියැදුරෙකුට කොයි තරම් අවදානමක් ගන්න පුළුවන්ද කියන එකට සාපේක්ෂව. පෞද්ගලික බස් රථයක් හෝ ලොරියක් ධාවනය කරන රියැදුරෙක් බොහෝ විට කරන්නේ අනුන්ගේ වාහනයක් එළවන එකයි. අනතුරක් වුනොත් පාඩුව වාහනයේ අයිතිකාරයාටයි. මෙයට සාපේක්ෂව තමන්ගේම වාහනයක් එලවන කෙනෙක් වාහනයට සීරීමක් හෝ වෙනවාට කැමති නැහැ. අනෙක් අතට බස් එකක් හෝ ලොරියක් වගේ ලොකු වාහනයක් පොඩි වාහනයක හැපුනොත් වැඩි හානිය වෙන්නේ පොඩි වාහනයටයි. මේ හේතු නිසා ගොඩක් වෙලාවට පොඩි වාහන ලොකු වාහන වලට පාර ඉඩ දීලා පැත්තකට වෙනවා. පෞද්ගලික බස්, ලොරි ආදී ලොකු වාහන ධාවනය කරන රියැදුරන් මෙහි වාසිය ගන්නවා.

සමහර වෙලාවට පෞද්ගලික බස් ධාවනය කරන්නේම පාරේ ප්‍රතිවිරුද්ධ පැත්තෙන්. එවිට හෙමින් යන වාහන කිහිපයක්ම එක වර පහු කරන්න පුළුවන්. ඔය වෙලාවට ප්‍රතිවිරුද්ධ පැත්තෙන් එන පොඩි වාහනයක් පාරෙන් එළියට බැහැලා බස් එකට මැදින් රිංගන්න ඉඩ දිය යුතුයි. බස් රථ රියැදුරා විසින් කරන්නේ පොඩි වාහනය අන්තිම මොහොතේ හෝ ඉවත් කර ගැනීමට පොළඹවමින් වේගය අඩු නොකර කෙළින්ම මූණට එන එකයි. පොඩි වාහනයේ රියැදුරාට අන්තිම මොහොතේ හරි වාහනය කාණුවට දමා ගන්න වෙනවා. වාහන ධුරාවලියේ තමන්ගේ තැන පිළිගන්නා රියැදුරෙක්නම් කලින්ම වාහනේ කාණුවට දානවා.

මෙතැන අනතුරට හේතු වී තිබෙන්නේ ටිපර් රථ රියැදුරා වගේම බස් රථ රියැදුරාත් වාහන ධුරාවලියේ තමන් ඉන්නේ අනෙකාට පහළින් නොවන බව සිතීමයි. දෙන්නාම හැම වෙලේම පාරේ ඉන්න, බොහෝ විට අනුන්ගේ වාහන එළවන අය. වාහන දෙකෙන් එකක්වත් කිරි ටොයියෝ නෙමෙයි. ටිපර් රථයේ රියැදුරා බලාපොරොත්තු වෙන්නේ බස් එක වේගය අඩු කර ගනු ඇතැයි කියලා. බස් රථයේ රියැදුරා හදන්නේ ටිපර් රථයේ රියැදුරාට වාහන ධුරාවලියේ තමන්ගේ තැන පෙන්වන්න. ඔහු වේගය අඩු කරන්නේ නැහැ. මේ වැඩේ කරන්නේ අන්තිම මොහොත වන තුරු ටිපර් රථය මුහුණටම ආවොත් බෑවුම අයිනෙන් බස් එක ධාවනය කළ හැකි බවට වන විශ්වාසයෙන්. අන්තිමට කරන්නෙත් ඒකයි. මේ අවස්ථාවේදී වැඩේ ඛේදවාචකයකින් අවසන් වුනත් මෙය හැම දවසකම බොහෝ පෞද්ගලික රියැදුරන් විසින් නොයෙක් වර කරන දෙයක්.

ඇමරිකාවේ පාරකට මේ වගේ ගලක් හෝ පස් කන්දක් වැටුනානම් එය මුලින්ම දකින කෙනා හදිසි ඇමතුම් අංකයකට ඒ ගැන දැනුම් දෙනවා. ඉතා ඉක්මණින්ම පොලිස් නිලධාරීන් එහි පැමිණ බාධකය දෙපස සිට වාහන ධාවනය පාලනය කරන්න පටන් ගන්නවා. වරකට වාහන ධාවනය කරන්න ලැබෙන්නේ එක පැත්තකට පමණයි. ඒ අතර අදාළ අංශ වලින් පැමිණ බාධකය ඉවත් කරනවා. පොලීස් නිලධාරීන් ඉවත් වන්නේ බාධකය ඉවත් කිරීමෙන් පසුවයි. මේ වගේ දෙයක් කරන්න බැරි තරමට ලංකාවේ පොලීසියට හා මාර්ග සංවර්ධන අධිකාරියට සම්පත් හිඟයක් තිබෙනවා කියා මම හිතන්නේ නැහැ. බොහෝ විට තිබෙන්නේ ප්‍රමුඛතාවය දීම පිළිබඳ ප්‍රශ්නයක්. 

බාධකය ඉවත්ව තිබුණානම් හෝ පොලිස් නිලධාරියෙකු අදාළ ස්ථානයේ සේවයේ නිරතව  සිටියානම් මේ වෙලාවේ මේ අනතුර සිදුවන එකක් නැහැ. එහෙත්, ඔය බාධකය නොතිබී ටිපර් රථය ත්‍රිරෝද රථයක් ඉස්සර කරන්න යාමක් වැනි අවස්ථාවකදී වුවත් ඔය වගේ අනතුරක් සිදු විය හැකිව තිබුණා.

පෞද්ගලික බස් රථ රියැදුරන් මේ ආකාරයේ අවදානම් ගනිමින් වේගයෙන් බස් රථ ධාවනය කරන්නේ එසේ කිරීම බස් රථයේ ගමන් කරන මගීන් වැඩි දෙනෙකුගේ කැමැත්තද වන නිසයි. ඔය වගේ වෙලාවක මගියෙක් කතා කරන්න ගියොත් අනෙක් පැත්තට කතා කරන්න මගීන් හතර පස් දෙනෙක්ම ඉදිරිපත් වෙනවා. මේ දවස් වල සිදුවන ලංකාවේ සංවර්ධන කතිකාව තුළ ඇහෙන එක ප්‍රශ්නයක් වන්නේ අධිවේගී මාර්ග අවශ්‍ය කාටද කියන එකයි. ලංකාවේ ගොඩක් අයට පුළුවන් තරම් හයියෙන් යන්න අවශ්‍යයි. විශේෂයෙන්ම දුරගමන් බස් රථ වල යන මගීන්ට. ඒකටත් හේතු තියෙනවා.

19 comments:

  1. ඉකෝන්ට කියන්න මම ලංකාවේ වේගයෙන් යන බස් රියදුරු මහතෙක් ගැන කරපු වාර්තා වැඩසටහනක් යු ටියුබය තුලින් බැලුවා. වැඩසටහනේ විදියට එකෙන් ගමේ රටේ මිනිස්සුන්ට විශාල සේවයක් වෙනවා. එත් මම දැක්කා එක තැනක ඉස්කෝලේ ළමයි වගයක් ඉන්න තැනට බස් එක ඉතා වේගයෙන් ඇවිත් මීටර් 5-10 වගේ දුර තියල තද බ්රේක් ගහලා නවත්වනවා.(ඔබ කියන අඟලේ වාසිය වගේ එකක් තමා මෙතන වෙන්නේ) බැරිවෙලාවත් බ්රේක් වල දෝෂයක් හෝ රියදුරාගේ අතපසුවීමක් වෙලා තප්පර 2-3 පමා උනා නම් ඒ ළමයි ඔක්කොම ටික බස් එකට යට වෙනවා. ඉතින් කොච්චර සේවයක් උනත් වැඩක් තියෙනවද ඒ වගේ අනතුරක් උනොත් එහෙම. ඇයි එහෙම දෙයක් වෙන්න ඉඩක් තියෙනවා නේ කියල හිතල වැඩ කරන්න බැරි. ඒ මදිවට ඒ දේවල් මාද්‍ය වලිනුත් ප්‍රචාරය කරලා සමාජට යම් අදහසක් දෙනවා මේවා තමයි සුපිරි ඩ්‍රයිවින් කියලා.
    ආරක්ෂාකාරී රියපැදවිම (defensive driving) ගැන ලංකාවේ ගොඩක් රියදුරන් දැනුවත් මදි. හැබැයි වේගෙන් යන්න නම් පුළුවන්. ඔහොම අනාරක්ෂිතව වේගෙන් ගිහින් ඉතිරි කරන විනාඩි කිහිපය අපි ඉතා ප්‍රයෝජනවත් දෙයකට හොදවනවද? ගොඩක් දුරට නෑනේ.

    ReplyDelete
  2. ලංකාවෙ බස් ඩ්‍රයිවර්ලා මරපු මිනිස්සු ගාන හරියට ගැනලා බැලුවොත් ltte එකෙන් මැරුව ගානටත් වැඩි ඇති. මුන්ට ශික්ෂණයක් නෑ, විනයක් නෑ, නීති නෑ, තියෙන නීති ක්‍රියාත්මක කරන්න බෑ. අහිංසක මිනිස්සු ජීවිත වලින් වන්දි ගෙවනවා..

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕකනෙ සිංහලයන්ට වියුක්ත චින්තනයක් නෑ කියන්නේ.
      ඔබතුමා සංධර්භ දෙකක් පටලවාගෙන.
      වියුක්ත චින්තනය වැඩි ජාතිය දියුණු වෙනවා කියන එක මේකෙන් ඔප්පු වෙනවා.

      (සන්ධර්භය කිව්වාම මතක්වුනේ මොරටුවේ පෝල් දොස්තර මහත්තයා)

      Delete
    2. පොඩ්ඩක් සරළ සිංහලෙ කියමුකො මොනවද පටලන් තියෙන්නෙ කියලා...අඩුම ගානෙ ලිහා ගන්නවත් පැටලිලා තියෙන්නෙ මොනවද් කියලා දැනගෙන ඉන්න එපැයි..(ඔය වියුක්ත කියන වචනෙ දැක්ක ගමන් මම එතනින් එහාට වැඩිදුර කියවන්න යන්නෙ නෑ...නොතේරෙන හින්දා.)

      Delete
    3. ltte එකෙන් කල මිනී මැරීමෙයි.බස්වලට හැප්පිලා වෙන මරණ වලයි අරමුණ වෙනස්.
      දෙමළ රියැදුරෙක් සිංහලයන්ව මරන්න හිතාගෙන ඕන කමින්ම හප්පනවා නම් එය ltte එකෙන් කල මිනී මැරීම සමඟ සසඳන්න පුළුවන්.

      දෙකෙන්ම මිනිස්සු අකාලයේ මැරෙනවා වුනාට දෙක සංසන්දනය කරන්න බෑ.

      (සන්දර්භය කිව්වාම මට මතක් වෙන්නේ ගර්භය කියන වචනය) ඉස්සර මොරටුවේ පෝල් කියලා දොස්තර කෙනෙක් පත්තරවල දැන්වීම් දානවා,
      ඔපස්වීම නතරවී මාස 5-6ක් ගිය කාන්තාවකට වුනත් ගර්භයක්ද නැද්ද කියලා පරීක්ෂා කරලා ප්‍රතිකාර කරනවා කියලා.)

      Delete
    4. අරමුණ පැහැදිලිවම වෙනස්. එකක් චේතාන්විතයි, අනෙක අචේතාන්විතයි. හැබැයි අවසාන ප්‍රථිපලය මරණ සහ වටිනා ජීවිත රටට අකාලයේ අහිමි වීම. ltte එකෙන් කරපු මරණ එක්ක සන්සන්දනය කළේ, නොසැලකිලිමත්, විනයක් නැති, නීතියට ගරු නොකරණ බස් රියදුරන් ත්‍රස්තවාදීන්ටත් වඩා භයානකයි කියලා පෙන්වන්න සහ රජය වහාම මැදිහත්ව මිනිසුන්ව මේ තර්ස්තවාදයෙන් ගලවගන්න මානුෂික මෙහෙයුමක් දියත් කරනන ඕනා කියලා පෙන්වන්න.. ඒක නිසි පුහුණුව, දැඩි නීති, දැඩි දඩුවම් ආදී සටන් පෙරමුණූ වලින් ළඟා කරගන්න පුළුවන් වෙයි...

      Delete
  3. හොද විශ්ලේෂණයක්. ලන්කාවෙ මිනිස්සු හිතන්නෙ තව වාහනයකට හෝ පදිකයෙකුට give way කරන එක තමන්ට මදිකමක් කියලා. වාහන එලවද්දි යම් තරමකට හෝ සාමාන්ය බුද්ධිය (common sense) පාවිච්චි කරන බවක්වත් පේන්නෙ නැහැ උදාහරණයක් විදිහට මගෙ වාහනය ඉස්සරහින් සෙනග පිරුනු බස් එකක් නම්, එහෙමත් නැත්නම් පාර පනින්නෙ ඉස්කෝලෙ යන ලමයි ටිකක් හෝ වයසක කෙනෙක් නම් රියදුරෙක් විදිහට මට තියෙන level of care සහ alertness සාපේක්ෂව වැඩියි කියන එක ගැන දැනුවත් නැහැ (හෝ හිතන්නෙ නැහැ). මාස හයක් තිස්සෙ මෙතන අවදානමක් තියෙන තැනක් විදිහට රිපෝර්ට් කරන්න responsible citizen කෙනෙක් හිටියෙ නැද්ද. ලන්කාවෙ මිනිස්සු තමන්ගෙ අයිතිවාසිකම් මොනවද කියලාවත් දැනුවත් නැහැ. Public interest කියන දෙය නම් අහලාවත් නැතුව ඇති.

    ReplyDelete
  4. ඇමරිකාවේ පොලිසියෙන් මරණ කල්ලෝ ගානද වැඩි, ලංකාවේ බස් අනතුරු නිසා මැරෙන අයද වැඩි?

    ReplyDelete
    Replies
    1. ගොඩක් වැදගත් ප්‍රශ්නයක්ද, ඇනෝ? මම හිතන්නේ මේ ගණන් ආසන්නව සමානයි. මේ අවුරුද්දට ඇමරිකාවේ පොලීසියෙන් වෙඩි තබා මරා තිබෙන අය අතරින් කළු ජාතිකයින් ගණන 16ක්. පස්සර බස් අනතුරෙන් පමණක් 14ක් මිය ගොස් ඇති නිසා ලංකාවේ බස් අනතුරු වලින් මිය යන ප්‍රමාණය මීට වඩා ටිකක් වැඩියි කියා මම හිතනවා.

      Delete
  5. ඉකොනො මහතා ඔවැනි ධුරාවලියක් (පසුගිය කාල වකවානු වල තිබුනත්) දැනට ශ්‍රී ලංකාවේ තිබෙන්නට කොහෙත්ම හැකියාවක් නොමැත.
    මක්නිසාද යත් දැනට අවුරුදු එක හමාරක පමණ කාලයේ සිට ලංකාවේ 'එක රටක් එක නීතියක්' පවතින බැවිනි.
    නමුත් පස්සර ලංකාවේ කොටසක් නොවේදැයි නම් නොදනිමි.

    ReplyDelete
  6. "..පෞද්ගලික බස් රථයක් හෝ ලොරියක් ධාවනය කරන රියැදුරෙක් බොහෝ විට කරන්නේ අනුන්ගේ වාහනයක් එළවන එකයි. අනතුරක් වුනොත් පාඩුව වාහනයේ අයිතිකාරයාටයි..."
    මෙහි තවත් පැත්තක්ද තියෙනවා. පෞද්ගලික බස් රථ, වැලි ටිපර් වගේ වාහන විශාල වශයෙන් අයිති යම් ආකාරයක බල පුළුවන් කාරයන්ටයි. තමන් කොතරම් මාර්ග නීති කැඩුවත්, වාහනයේ අයිතිකරුවන් තමන් බේරා ගන්නා බවට විශ්වාසයක් මේවායේ රියදුරන්ට තියෙනවා. රථවාහන පොලීසිය පවා තමන් නැවැත්විය යුතු (නැවැත්විය හැකි) වාහන සහ අත නොතැබිය යුතු වාහන ගැන තිබෙන 'නොලියවුණු නීතියට' මැනවින් යටත්ව කටයුතු කරනවා. ලංකාවේ පාරවල් මරණීය ස්ථාන බවට පත්කරන රියදුරන් ප්‍රමාණය ලෙහෙසියෙන් අඩු කරගත හැකි දෙයක් වුවත්, අපේ දේශපාලන සංස්කෘතිය විසින් එය කළනොහැකි දෙයක් බවට පත් කර තිබේ.

    ReplyDelete
  7. නොහිටින නිසා වෙන්නැති ඔබ ලංකාවේ
    දුර බස් ගමන් යන හැටි ගැන නොලියව්වේ
    මං ගිය බස් හුඟක රියදුරු වැඩ කෙරුවේ
    'කොන්දයි' පාර බලමින් උපදෙස් කීවේ!

    ReplyDelete
  8. දියුණු රටක ඉඳලා එන කෙනෙක්ට ලංකාවෙ වාහන එලවන්න බෑ, එක්කො හප්ප ගන්නවා, එහෙම නැත්නම් වෙන වාහනවල ඉඩ දෙන්න ගිහින් කාණුවල වැටෙනවා. කොහොම හරි එලවන්න ගියොත්, නිකන් බොරු පීඩනයක් අරගෙන ලෙඩ හදා ගන්න වෙනවා. මට එක පාරක් එහෙම වුණා,ඔබ කියල තියෙනවා වගේම ප්‍රයිවෙට් බස්කාරයා රෝන්ග් සයිඩ් එකේ කෙලින්ම මූණටම ආවා, පස්සෙ කාණුවට දාල බේරුණා. ඒත් හදිසි කෝපය නිසා බස් එක පස්සෙ පන්නලා, අර ඩ්‍රයිවර්ව එලියට ඇදල හොම්බ කට සමතලා කළා. පස්සෙ ගේම ඉල්ලපු කොන්දටත් වුණේ ඒකමයි. පස්සෙ බලපුවාම ඩ්‍රයිවර්කාරයා වයසක අහිංසක මිනිහෙක් කියල තමයි කට්ටිය කියන්නෙ. මෙහෙම කළා කියන්නෙ වීරකමක් නෙවෙයි, මෝඩකමක්. ඒත් ඒ වෙලාවෙ එන ආවේගය පාලනය කරන්න බෑ, පස්සෙ වාහනේ එලවන එක නතර කරල දැම්මා.

    ReplyDelete
    Replies
    1. උඹලත් රටින් පිටදී පූසො හාවො වගේ ඉඳල ලංකාවේ වයසක අහිංසක ඩෑල් වලට තමයි කෙළලා අරින්නේ.

      Delete
  9. මෙහෙම දෙයක් සිදුඋනාම අන්තිමට වෙන්නේ මියගිය අයට වන්දි මුදලක් ගෙවීම. සිරිසේන ජනපති කාලේ හැප්පුන ඩිෆෙන්ඩරයේ හිටපු අයට තරමටවත් වන්දියක් මේ අයට ලැබේවිද?

    ReplyDelete
  10. Econ's analysis is correct, both vehicles contributed for this disaster. Truck may be slightly less (looks like the truck stopped seeing fast approaching bus?)

    I think you twisted the need for fast traveling and fast/safe traveling by commenting whether highways are needed in SL. Time is money for poor/rich equally, poor do not have much choice other than traveling with 'Maga Maruwa' transport. (Wijebahu)

    ReplyDelete
    Replies
    1. //looks like the truck stopped seeing fast approaching bus?// In SL context, often the speed avoids accidents, though this statement may look contradictory. It looks that the truck driver got confused when the bus was fast approaching him and slowed down which was not anticipated by the bus driver. If the truck driver speeded up a little bit this accident would have been avoided. He shouldn't have entered this place until the bus passed. However, if he did he should have passed the place at a speed rather than slowing.

      Delete
    2. Possible. Arrrr who will pay for these innocent lives lost and for dependents.

      By looking at the speed bus went down, I tend to agree with the speculation that the driver is not the regular, looks like he forgot where the brake is.

      This is case of Goliath meeting Goliath, usually most fatal accidents are coursed by Pvt buses or heavy trucks.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: