වෙබ් ලිපිනය:

Saturday, March 6, 2021

ෆුරියේගේ සුරංගනා කතා


චාල්ස් ෆුරියේගේ මනෝරාජික සමාජවාදය අනුව ලෝකය හා මිනිස් සමාජය වෙනස් වෙන්නේ අවුරුදු 80,000ක චක්‍රයකට අනුවයි. මෙයින් පළමු වසර 40,000 ආරෝහණ කම්පන සිදුවන කාලයක්. ඉතිරි වසර 40,000 අවරෝහණ කම්පන සිදු වන කාලයක්. මේ වගේ චක්‍ර අනන්ත ප්‍රමාණයක් තිබෙනවා. එක චක්‍රයක් ඇතුළේ අදියර හතරක් තිබෙනවා. ආරෝහණ කම්පන අදියර දෙකක් හා අවරෝහණ කම්පන අදියර දෙකක් ලෙස. ඒ වගේම එක් අසූ අවුරුදු චක්‍රයක කාල පරිච්ඡේද 32ක් තිබෙනවා.

ෆුරියේ තමන්ගේ අදහස් ඉදිරිපත් කරන කාලය වෙද්දී (දහනව වන සියවසේ මුල) භෞතික විද්‍යාව සැලකිය යුතු ප්‍රගතියක් අත් කර ගෙන අවසන්. කාල් මාක්ස් වගේම චාල්ස් ෆුරියේත් තමන්ගේ ප්‍රවාද හදන්නේ භෞතික විද්‍යාව පසුපස නොන්ඩි ගගහා යමින්. හැබැයි ෆුරියේගේ ප්‍රවාද වල පැත්තක පැහැදිලිවම පෙනෙන්න දෙවියන් වහන්සේ ඉන්නවා. ඔහු ඔහුගේ "විශ්වීය චලනයන් පිළිබඳ සාධාරණ න්‍යාය" ඉදිරිපත් කරන්නේ විශ්වීය චලනයන් පිළිබඳ දෙවියන් වහන්සේගේ ගණිතමය නීති පැහැදිලි කරන්නයි.

ෆුරියේගේ චක්‍රීය විශ්වය පිළිබඳ අදහස බෞද්ධ අදහසට සමීප එකක් වනවා වගේම විශ්වීය චලනයන් පිළිබඳ චතුර්විධ න්‍යාය පංච නියාම වලට තරමක් සමානයි. ඔහු දෙවියන් වහන්සේ විසින් මැවූ ලෝකය ක්‍රියාත්මක වන නියාමයන් පැහැදිලි කරන්නේ කොටස් හතරක් යටතේ.

1. ද්‍රව්‍ය වල වෙනස්වීම 

2. පාට, සුවඳ වැනි ද්‍රව්‍ය නොවන ඓන්ද්‍රීය ලක්ෂණ වෙනස් වීම

3. සතුන්ගේ වෙනස් වීම 

4. සමාජයේ වෙනස් වීම

ඔහුට අනුව ඔහුට පෙර සිටි නිවුටන්, කෙප්ලර් වගේ අය ඒ වෙද්දී ද්‍රව්‍ය වල වෙනස්වීම සෑහෙන තරමකින් පැහැදිලි කරලා. ඔහු කරන්නේ අනෙක් කොටස් හා මේ කොටස් අතර අන්තර් සම්බන්ධතාවය පැහැදිලි කරන එකයි. ෆුරියේගේ දර්ශනවාදය අනුව ලෝකයේ මවනු නොලැබූ දේවල් තුනක් තිබෙනවා.

1. දෙවියන් වහන්සේ / ශුද්ධාත්මය (හිතාමතා කරන චලනයන්)

2. ද්‍රව්‍ය (ස්වභාවික චලනයන්)

3. චලනයන් සිදු වන ස්වභාවික නීති 

අවුරුදු 80,000ක චක්‍රය අදියර හතරකට බෙදුවත් මේ අදියර සමාන නැහැ. පළමු හා අවසන් අදියර වසර 5,000කින් ගෙවෙනවා. ඒ එක් එක් අදියරේ කාල පරිච්ඡේද 7 බැගින් තිබෙනවා. දෙවන හා තුන්වන අදියර වල කාල පරිච්ඡේද නවය බැගින් තිබෙනවා. මේ එක් අදියරක් වසර 35,000ක්. මිනිස්සුන්ට දුක් විඳින්න වෙන්නේ පළමු හා අවසන් අදියර වලදී පමණයි. අවුරුදු 10,000ක් දුක් විඳින්න වුනත් සැප විඳින්න අවරුදු 70,000ක් තියෙනවා. දුක් විඳින අදියරකදී හත් වරකුත්, සැප විඳින අදියරකදී නව වරකුත් සමාජය වෙනස් වෙනවා. ඒ වගේම, සත්තු හා භෞතික ලෝකයත් චක්‍රීය ලෙස වෙනස් වෙනවා. 

අටවන හා විසිවස් වන කාල පරිච්ඡේද සංක්‍රාන්ති කාල. හොඳම කාල පරිචේදය දහසය වැන්නයි. එතෙක් හැම දේම හොඳ පැත්තට වෙනස් වුනත් එයින් පසුව අනිත් පැත්තට යනවා. දැන් (1800දී) අප ගෙවන්නේ අට වන කාල පරිච්ඡේදය. එයින් පසුව එන්නේ අවුරුදු 70,000ක සැප විඳින කාලය.

චාල්ස් ෆුරියේ පෙන්වා දෙන විදිහට දෙවියන් වහන්සේ විසින් මිනිස්සු වර්ග 16ක් මවා තිබෙනවා. ඒ වර්ග එකිනෙකාට සමාන නැහැ. පැරණි මහාද්වීපයේ වර්ග නවයක් හා ඇමරිකාවේ වර්ග හතක්. එකිනෙකාගෙන් වෙනස්ව දෙවියන් වහන්සේ විසින් මවපු මේ ප්‍රාථමික මනුෂ්‍ය වර්ග 16න් 4ක් විෂමජාතීය වර්ග ලෙසත් ඉතිරි 12 සමජාතීය වර්ග ලෙසත් ඔහු හඳුන්වනවා. සමජාතීය වර්ග අතර වෙනස්කම් අඩුයි.

මුලින්ම දෙවියන් වහන්සේ මේ එක් එක් මිනිස් වර්ගය මවලා තියෙන්නේ පොළොවේ වෙනස් තැන් වල. ඒ නිසා, මේ වර්ග එකිනෙකාට හමු වන්නේ කාලයක් ගිහින්, විවිධ චලනයන්ගේ ප්‍රතිඵලයක් විදිහට. එක වර්ගයක් පමණක් ඇමරිකාවේ වගේම පැරණි මහාද්වීපයේත් ඉන්නවා. ලංකාවේ වැද්දෝ අයත් වන්නේ මේ වර්ගයට. දෙවියන් වහන්සේ විසින් ලංකාව එය පිහිටි තැන තියන්න හේතුවත් ෆුරියේ විසින් පැහැදිලි කරනවා.

මහාද්වීප හා දිවයින්, මිනිස් වර්ග වගේම සත්ත්ව වර්ගත් දෙවියන් විසින් තෝරාගත් තැන් වලින් තියා තිබෙනවා. නපුරු සත්තු වැඩි හරියක් සමකය ආසන්න වෙන්න. මිනිස්සු, සත්තු, ගස්වැල් වගේම ග්‍රහවස්තුත් "සංසර්ගයේ" යෙදෙනවා. පළමුව තමන්ගේම දක්ෂිණ ධ්‍රැවය හා උත්තර ධ්‍රැවය අතර. පසුව වෙනත් ග්‍රහයින් එක්ක. මිනිස් සමාජය වෙනස් වෙන්නේ ද්‍රව්‍ය, ඓන්ද්‍රීය ලක්ෂණ හා සතුන් වෙනස් වන චක්‍රයට සමාන්තරවයි. 

ද්‍රව්‍ය චලනයේ ප්‍රතිඵලයක් ලෙස කාලයත් එක්ක මුළු පෘථිවියේම දේශගුණය වෙනස් වෙනවා. උෂ්ණ හා ශීත කාලගුණ නැතිවී ලෝකය පුරාම සමශීතෝෂ්ණ කාලගුණයක් ඇති වෙනවා. උත්තර ධ්‍රැවය ඇතුළු හැම තැනකම වගා කළ හැකි වෙනවා. සීබ්‍රාවන් වැනි බොහෝ සතුන් ගෘහස්ථ සතුන් වෙනවා. අනෙක් සතුන් මිනිස්සු එක්ක මිත්‍රශීලී වෙනවා. 

ආහාර ඉතාම සුලබ වෙනවා. කුකුළු කෑම පවා ප්‍රංශයේ රජවරු කන කෑම වලට වඩා හොඳ වෙනවා. අට වන කාල පරිච්ඡේදයේදී මිනිස්සුන්ගේ සාමාන්‍ය උස අඩි 7ක් වෙනවා. පෘථිවිය විසින් වෙස්ටා, ජුනෝ, සීරීස්, පැලස් හා මර්කරි නම් වූ තවත් හඳවල් පහක් ආකර්ශනය කර ගන්නවා. මුහුදු වතුර ලෙමනේඩ් රස වෙනවා. මුහුදේ ජීවත්වන භයානක සතුන් වඳ වී යනවා. අපේක්ෂිත ආයු කාලය අවුරුදු 144ක් වෙනවා. දුප්පත්ම පැලන්ස්ටරියක ඉපදෙන කෙනෙකුට පවා හැම දෙයක්ම ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. වැඩ ලෙස කළ යුත්තේ තමන් කැමති දේවල් පමණයි. 

ඔය ගොඩක් කතා දැන් ජීවත් වන කෙනෙකුට සුරංගනා කතා වගේ පෙනෙයි. එහෙත්, ෆුරියේගේ ප්‍රවාද විශ්වාස කළ මනෝරාජික සමාජවාදීන් විශාල ප්‍රමාණයක් හිටියා. ඒ අය අතරින් දහස් ගණනක් ඔහු යෝජනා කළ ආකාරයට ජීවත් වෙමින් සමාජ ප්‍රගමනය ඉක්මන් කරන්න උත්සාහ කළා. කාල් මාක්ස් ආමන්ත්‍රණය කළේ ඔය වගේ තැනක හිටපු මිනිස්සුන්ට.

ෆුරියේට අනුව සමාජ ප්‍රගමනය සිදු වන යාන්ත්‍රනය කුමක්ද? එය සිදු වන්නේ දෙවියන් වහන්සේගේ සැලසුමට අනුවයි. ෆුරියේගේ සුරංගනා කතා විශ්වාස කරන්න පුළුවන්කම තිබුණු කෙනෙකුට කාල් මාක්ස්ගේ ප්‍රවාද විද්‍යාත්මක සේ පෙනෙන එක අහන්නත් දෙයක් නැහැ. 

එකිනෙකට ගැලපෙන හා ඉතාම විස්තරාත්මක ප්‍රවාදයක් වුවත්, ෆුරියේගේ ප්‍රවාද වලට විශ්වාසනීය පදනමක් නැහැ. හැබැයි ඒ ප්‍රවාද වලින් කාල් මාක්ස් ගේ අදහස් වලින් මෙන් හානියකුත් නැහැ. වෙනත් අයට ඇණයක් නොවන තුරු, දිව්‍ය ලෝක හා දෙවිවරු ගැන මිනිස්සු විශ්වාස කරන ආකාරයෙන්ම, කෙනෙකුට මනෝරාජික අනාගත ලෝකයක් ගැන විශ්වාස කිරීමේ නිදහස තිබිය යුතුයි.

10 comments:

  1. බොං'ඩ්ශූ'ර් ඉකොනො, ඔබ ඔය සඳහන් කරන ෆ්රාංශ්වා මරී ෂල් ෆූර්හ්යේ ගේ සුරංගනා කතාවක් වගේ තවත් කතා තියෙනවා. මෙන්න මේ වගේ;

    https://youtube.com/watch?v=aXo7wi488Eo&feature=share

    ඇත්තටම මේ කියන විදිහට සමස්ත යුරෝපීය මහාද්වීපය තරම් වූ රටක් මේ තරම් කෙටි කාලයකින් 36,000 km දිග HSR අධි වේගී දුම්රිය පද්ධතියක් ඉදිකිරීම මට නම් විශ්වාස කරන්න අමාරුයි ඉකොනො. ඒකත් ඇමරිකානු ඩොලර් බිලියන දහසක් පමණයි. (ඩොලර් ට්‍රිලියන එකකින්).

    ඇමරිකන් එක්සත් ජනපදයේ මැද පෙරදිග කලාපයේ මෑත කාලීන යුද මෙහෙයුම් වලට පමණක් ඩොලර් ට්‍රිලියන හය හමාරක් විතර ගිහින් තියෙනවා නේද? ඉරාකයේ පමණක් ඩොලර් ට්‍රිලියන දෙකත් - හතරත් අතර ගානක්. ඒ වියදමට සමානුපාතිකව ඇමරිකානු එක්සත් ජනපදය ලැබූ ප්‍රතිලාභ ප්‍රමාණය කොපමණද? මම හිතන්නේ ට්‍රිලියන විස්සක් තිහක් විතර වත් ඇති.

    ReplyDelete
  2. ෆුරියේ විතරක් නෙවෙයි මාක්ස් එංගල්ස්ගේ කතන්දර, ලෙනින් ගේ ට්‍රොට්ස්කි ගේ වැල් බයිලා ඇතුළු සේරම වාමාංශික මතවාද "සුරංගනා කතාවක් වගේ එනමුදු සුරංගනා කථා වක් නම් නොවේ" ටයිප් එකේ විකාර. ඒ වගේම ලංකාවේ රැඩිකල් වාමාංශික පොරක් වෙන්න කරන්න ඕන දේ තමයි, මෙළෝ යකෙකුට තෙරෙන්නේ නැති විදියට සංකීර්ණ පාරිභාෂිත වචන පටලලා හොයාගන්න බැරි තරම් අඹරලා ඔහේ මොනවා හරි වාචාල කතා කරන එක, ඒත් නැත්නම් ලියන කියන එක. මොකද ලංකාවෙ හීනමානයක් සහිත ගොන්නු හරි ආසයි එහෙම ඒවට. ලියන කියන එකාට ඌ කියන්නේ මොනවද කියලා තේරෙන්නේත් නෑ. අහන කියවන එකාට අරූ මොනා කියනවද කියලා තේරෙන්නේත් නෑ. ඉතින් මේ ප්‍රකාශ කරගැනීමට නොහැකි, අවබෝධ කර ගන්න තේරෙන්නේ නැති, අවබෝධ කර ගන්න දේකුත් නැති, වැල්වටාරම් ලියන එකා හෙන ලොකු පොරක්. උන්ගේ ෆලෝවර්ස්ලත් මාර පොරවල් වගේ කටු පුම්බාගෙන ලොකූ ලයින් අලි වංසෙන් වගේ දාගෙන හැසිරෙනවා. ඒත් අරූ මොකක්ද බන් කියන්නේ කියලා ඇහුවොත්. තව එකෙකුට කියන්න ෆලෝවර්ස්ලාට තේරෙන්නේත් නෑ. අන්තිමට හථ්පොලේ ගාගෙන කොළොප්පමක් වෙනවා මුළු රටටම. ඊට පස්සේ හිමින් සැරේ රාජපක්ෂලා පස්සේ හරි රනිල් පස්සේ හරි ගිහින් හොඳ ගාණක් කපා ගත්තා කට්ටියම.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි, ඇනෝ. වාමාංශික නොවන අයටත් ඔය චෝදනාවම කළ හැකියි. සුරංගනා කතාවක් සුරංගනා කතාවක් කියා චෝදනා කිරීම ප්‍රමාණවත් නැහැ. එය පැහැදිලිව පෙන්වා දිය යුතුයි. අප කරන්න උත්සාහ කරන්නේ එයයි. ඒ එක්කම අපි කියන්නේත් සුරංගනා කතා නොවේද කියන ප්‍රශ්නය නිසගයෙන් පැන නැගෙනවා. අප කියන දේ ප්‍රශ්න කිරීමට අප ඉඩ සලසා තිබෙන්නේ ඒ නිසයි. අප ලියා ඇති දේ භක්තිවාද හෝ අන්තවාද සේ පෙනේනම් එය පෙන්වා දීමේ නිදහස ඕනෑම කෙනෙකුට තිබෙනවා.

      ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ ප්‍රශ්න ඇසීම මුල සිටම අධෛර්යමත් කරනවා. ඇත්තටම ඕක පටන් ගන්නේ ගෙදරින්. වැඩිහිටියන් එක්ක කට ගහගෙන එන්න එපා කියලා ගුටි කෑවේ නැත්නම් බැණුම් ඇහුවේ හෝ නැති අය කී දෙනෙක් ඉන්නවද? ටිකෙන් ටික ළමා අයිතිවාසිකම් තහවුරු වෙද්දී ඔය තත්ත්වය වෙනස් වෙයි. හැබැයි අපි අයත් වෙන්නේ ඔය පරම්පරාවට. මෝඩ ප්‍රශ්නයක් වෙයි කියලා ප්‍රශ්නයක් අහන්න බයයි. ඇතැම් අය අයුතු ප්‍රයෝජන ගනිද්දීත් මෙහි නිර්නාමික ප්‍රතිචාර දැමීමේ නිදහස පවත්වාගෙන යන්නේ මේ හේතුව නිසා.

      Delete
  3. විමසා බලන්නෙමි නෙක දේ හැකි විටදී
    නොදන්නා බැවිනි, ඒ මඟ ඉන්නෙ රැඳී
    ලිපි, ප්‍රතිචාර මේ අඩවියෙ කියවද්දී
    දුකයි; මගෙ දැනුමෙ වපසරි වැටහෙද්දී

    මගේ හිත නම් කියයි යළි උපදින බවම
    දැනුමෙන් සපිරි වෙන්නයි මාගේ පැතුම
    එනමුත් දැනුම එක්කම එන උඩඟුකම
    නොපතමි උගත් වැඩි දෙනෙකුගෙ වංකකම

    මහැදුරු පදවි ලැබුවත් කීම පච වේ නම්
    ඇමති වුණු විගස 'පක්කලි සර්විස්' නම්
    දැනුමැති 'මහත්වරු' බලයට පත්වේ නම්
    මැති සබ- රට වේවි සැක නැත 'සභා සුදම්'

    ReplyDelete
  4. ඉකොනොමැට්ටා දන්නව ඇති ඇමෙරිකානු රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුව (DoS) විසින් වාර්ෂිකව පිරිනමන වසරේ ජාත්‍යන්තර දිරිය කාන්තාවන් 14 දෙනාගේ ලැයිස්තුවට 2021 වසර සඳහා ශ්‍රී ලාංකිකයකු වූ අති දක්ෂ නීතිඥවරියක හා සිවිල් ක්‍රියාකාරිනියක වන රනීතා ඥාණරාජා මැතිනිය තේරී පත්ව ඇතැයි එම රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන ලද පුවත.

    ඇත්තටම සමස්ත ලෝකය පුරාම ධෛර්යමත් විශිෂ්ට කාන්තාවන් ඇගයීමට පත් කිරීම පිණිස ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව DoS විසින් වාර්ෂිකව පවත්වන මෙම සම්මාන උළෙලේ සම්මාන ප්‍රධානෝත්සවය ලෝක කාන්තා දිනය යෙදී ඇති මාර්තු මාසයේ 08 වෙනිදින ඇමරිකානු වෙලාවෙන් පෙ.ව. 10.00ට ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනපති ආර්යාව වන අතිගරු අතිඋතුම් ගරුතර ජිල් බයිඩන් උත්තමාවිය හා ඇමෙරිකා රාජ්‍ය ලේකම් ගරු කටයුතු ඇන්ටනී බ්ලිංන්කන් උතුමාණන්ගේ ප්‍රධානත්වයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන් බවද ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියේ ලියල තියෙනවා.

    මේ කාරණා අනුව බලන කොට මෙම ලාංකික ශ්‍රේෂ්ඨ කාන්තාව සමඟ බෙලාරූස්, ම්යන්මාර්, කැමැරූන්, චීනය, කොළොම්බියාව, කොංගෝ රාජ්‍ය, ගෝව්තමාලාව, ඉරානය, නේපාලය, සෝමාලියා, ස්පාඤ්ඤය, තුර්කිය හා වෙනිසියුඒලාව යන රටවල් වලින් තෝරා ගනු ලැබූ ධෛර්යමත් කාන්තාවන් 14 දෙනෙකු මෙම ලෝක පූජිත විශිෂ්ට සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිත වූ බවද වාර්තා කර තිබුණි.

    ඒ වගේම මේ සැරේ මේ ජාත්‍යන්තර ශ්‍රේෂ්ඨතම සහ ලොව වඩාත් ධෛර්ය සම්පන්නතම කාන්තාවට හිමි සම්මාන පිරිනමන විද්වතියන් අතර මානව හිමිකම් ආරක්ෂා කිරීම, යුක්තිය, සාමය හා ලිංගික සමානාත්මතාවය වෙනුවෙන් ඔවුන් කළ විශිෂ්ට මෙහෙය අගයා මෙම ශ්‍රේෂ්ඨ සම්මානය පිරිනැමීමට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මූලිකත්වය ගෙන කටයුතු කරති.

    මේ ගැන ඇමෙරිකානු එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුව සදහන් කර ඇත්තේ නීතිඥ රනීතා ඥාණරාජා මැතිතුමිය ලංකාවේ රාජ්‍ය ත්‍රස්තවාදයෙන් වූ තර්ජන හා අභියෝග මධ්‍යයේ වුවද ලංකාවේ දැඩි ලෙස අවදානමට ලක්වූ සුළුතර ජනතා ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දිගින් දිගටම සටන් වදින හා ඔවුන් ආරක්ෂා කරන නීතිඥවරිය ලෙස කටයුතු කරන්නියක වන බවය.

    ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් වල අහිංසක දමිළ ජනතාව මුහුණ දුන් බලහත්කාරයෙන් අතුරුදහන් වීම් වලට ගොදුරුවූවන්, ඔවුන්ගේ ඥාතීන් සහ නීතියේ පිළිසරණක් නොමැතිව වසර ගණනාවක් තිස්සේ සිරගතව සිටින සිරකරුවන් වෙනුවෙන් වගකිවයුතු සහ යුක්තිය වෙනුවෙන් විශිෂ්ට ලෙස නීතීඥ රනීතා ඥානාරාජා සිය වෘත්තිය කැප කර ඇති ශ්‍රේෂ්ඨ තැනැත්තියක් යැයිද ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව ඉමහත් සතුටින් සහ ගෞරවයෙන් ප්‍රකාශ කරනු ලැබුවා. මෙය සම්පූර්ණයෙන්ම සියලුම ලාංකීය ජනයා ලද අතිවිශේෂ විශිෂ්ට සම්මානයක් ලෙස සඳහන් කළ හැකියි. ඇයට ලංකාවේ හිටපු විදෙස් ඇමති මංගල සමරවීර මහතා සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් විසින් දැනටමත් ශුභාශිංසන යවා ඇති බවට නිල නොවන ලෙස අපට ආරංචි වූ අතර මේ ගැන ඔබටත් සටහනක් ලියන්න පුළුවන් නම් හොඳයි නේද?

    ReplyDelete
    Replies
    1. මේ කාරනාවෙදි නම් ඉකොනොමැට්ටත් වගකිවයුතුයි.
      ඩොනල්ඩ් ට්‍රම්ප් දිනුවනම් මේ නාඩගම් වෙන්නේ නෑ. එයා තමන්ගේ රටේ වැඩක් බලාගෙන ඉඳියි.

      ජෝ බයිඩන්ලා ඔරුමත්තුනාඩු ජනතා බදු මුදල් යොදවලා. සුපිරි ව්‍යුහයේ අවශ්‍යතා ඉටු කරනවා.

      ඔබතුමා කිව්වා මගේ දරුවන් වෙනුවෙන් ජෝ බයිඩන්ට චන්දේ දුන්නා කියලා.
      නමුත් දේහ ලක්ෂණ අනුව මිනිසුන් වර්ග කරණ මිලේඡ්ච (අකුරු හරිද මන්දා) ක්‍රමය අභාවයට ගොස් සංස්කෘතික සාධක මත මිනිසුන් වර්ග කරන (ලංකාවේ දැනටත් තියෙන) ශිෂ්ඨ ක්‍රමය ඔරුමත්තුනාඩුව තුල ඉදිරි කාලයේදී පැතිරෙන්න පුළුවන්. මහ ජාතිය වෙනුවෙන් චන්දේ දුන්නනම් වැඩිය වාසියි.

      Delete
    2. //නමුත් දේහ ලක්ෂණ අනුව මිනිසුන් වර්ග කරණ මිලේඡ්ච (අකුරු හරිද මන්දා) ක්‍රමය අභාවයට ගොස් සංස්කෘතික සාධක මත මිනිසුන් වර්ග කරන (ලංකාවේ දැනටත් තියෙන) ශිෂ්ඨ ක්‍රමය ඔරුමත්තුනාඩුව තුල ඉදිරි කාලයේදී පැතිරෙන්න පුළුවන්. මහ ජාතිය වෙනුවෙන් චන්දේ දුන්නනම් වැඩිය වාසියි.//

      ලංකාවේ දේහ ලක්ෂණ අනුව මිනිසුන් වර්ග කිරීමක් නොකෙරෙන්නේ ජනවර්ග අතර එවැනි පැහැදිලිව හඳුනාගත හැකි වෙනසක් ලොකුවට නැති නිසා. එවැනි වෙනසක් තිබෙන විට ලංකාවෙත් එම වර්ග කිරීම සිදු වෙනවා. කාපිරි, චීන ආදී වශයෙන්. (වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම වැනි කරුණු වලදී හැර ඇමරිකාවේ හෝ ලංකාවේ මෙවැනි වර්ග කිරීමක් වෙනුවෙන් මම පෙනී සිටින්නේ නැහැ. )

      Delete
    3. ජගත්,

      නිවැරැදි වචනය "ම්ලේච්ඡ" (conjugated ම්ලේච්ඡත්වය, ම්ලේච්ඡයන් etc.) මෙය සකු බසින් හෙළයට ආගමනය වූවක්.

      ඒ වගේම වර්ණභේදවාදය ගැන ඔබේ අදහස් නිවැරැදි නෑ. මොකද ලංකාවේ ද ඇමරිකානු එක්සත් ජනපදයේ තරම් බරපතළ තුච්ඡ අන්දමට නැතත් යම්තාක් දුරකට සුළු වශයෙන් වර්ණභේදවාදය දකින්න පුළුවන්. විශේෂයෙන් කාන්තාවන් අතර මෙය වඩාත් දැඩි ලෙස බලපෑම් කරන ආකාරය දක්නට පුළුවන්. අම්මා ගොඩක් සුදු වෙලා දුව කළු වුණොත් පුංචිම කාලෙ ඇයට ලංකාවේ උනත් අවුල් අත්දැකීම් වලට මූණ දෙන්න විය හැකියි. ඒ වගේම පාසලේ නාට්‍ය, ගීත සහ විවිධ ප්‍රසංග වේදිකාවේ තැනක් ලබා ගන්න දක්ෂතා තිබුණත් බාධාවක් විය හැකියි. තව ආදරය හා විවාහය වගේ දේවල් වලට යුවතියන්ගේ ඡවි වර්ණය බලපෑම් එල්ල කරනවා.

      වර්ණභේදවාදය විතරක් නෙවේ ඇමරිකානු එක්සත් ජනපදයේ නම් තව BIPOC - Black, Indigenous, and people of color වගේ සෑහෙන සමාජ discrimination තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වෙනවා. ඒක ඉතාමත් සාමාන්‍ය තත්ත්වයක් මම හිතන්නේ ඇමරිකානු ජීවිතේ හැටි එහෙම තමයි ඉතින්. බොරුවට නීති පොතේ හරම තියෙනවා මෙහෙම තියෙනවා කියලා බොරු බයිල කියයි කෝටියක්. ඒත් ඇත්තටම තත්ත්වය බරපතළයි.

      ඇත්තටම ඇමරිකන් එක්සත් ජනපදයේ ආර්ථික දේශපාලනික සැකැස්මේ ඇති බරපතල අර්බුදකාරී තත්ත්වය නිසා විශේෂයෙන්ම, සුදු, ලතින් හා ආසියානු ජාතිකයන් සිටින ප‍්‍රදේශවලට වඩා කළු ජාතිකයන් බහුලව සිටින ප‍්‍රදේශ බොහෝවිට දුගීබවෙන් මිරිකෙමින් සිටින බව ඇමරිකානු ආර්ථික දත්ත වාර්තා නිරීක්ෂණය කිරීමේදී ඉතාමත් පැහැදිලිව පෙනී යයි. ඒ හේතුවෙන් එම ප‍්‍රදේශ තුළ රැකියා වියුක්තිය හා මත්ද්‍රව්‍ය භාවිතය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ගොස් තිබේ. මේ නිසා මෙවැනි ඇමරිකන් ප‍්‍රාන්තවල නීති විරෝධි කටයුතු ඉතාමත් ඉහළ මට්ටමක පවතින අතර ඒ හා සම්බන්ධිත අපරාධ සිදුවීම් නිරන්තරව පොලිසිය වෙත වාර්තා වෙමින් තිබේ. එවැනි තත්ත්වයක් තුළ පොලිස් නිලධාරීන්ට ද කටයුතු කිරීමට සිදුව ඇත්තේ දැඩි මානසික පීඩනයක් හා ආතතියක් ඇතිවය.

      අනිත් පැත්තෙන් එක්සත් ජනපදයේ නීතිය බලාත්මක කිරීම මූලික වශයෙන් ක‍්‍රියාත්මක වන්නේ විමධ්‍යගත අපිළිවෙළ එකිනෙකට බෙහෙවින් වෙනස් පොලිස් ආයතන හරහා ඇ.එ.ජ. තුළ එකිනෙකාගෙන් ස්වාධීන වූ පොලිස් ආයතන 18,000 ක් පමණ ඇතත් (මේ ඒවාට නගර පොලිස් දෙපාර්තමේන්තු, ප‍්‍රාන්ත ෂෙරිෆ් කාර්යාල, ප‍්‍රාන්ත පොලිස් / අධිවේගී මුර සංචාර සහ ෆෙඩරල් නීති බලාත්මක කිරීමේ ආයතන ඇතුළත් වේ) මේවා එකිනෙකාගෙන් ස්වාධීන වූ පාලන ව්‍යුහයක් සහිත වීම තුළ දැඩි ලෙස පොලිස් ක‍්‍රියාකාරීත්වය අසාමාන්‍ය ලෙස ප‍්‍රාදේශීයකරණයට ලක්ව ඇත. ඒ හේතුවෙන් නිලධාරීන් බඳවා ගැනීමේ සිට පොදු හර පද්ධතියක් පවත්වාගෙන යෑම දක්වා කටයුතු එක් පොදු ආකාරයකට තම ආයතන ව්‍යුහය තුළ පවත්වා ගෙන යෑමට ඇමරිකානු පොලිසි නොහැකිව අර්බුදකාරී තත්ත්වයක් ඇති වූ අතර ඒ තුළ නිලධාරීවාදය මෙන්ම සුදු ජාතිකයන් කෙරෙහි විශේෂිත අයුරින් සැලකීම නිරන්තරව වාර්තා වන බවට වොෂිංන්ටන් පෝස්ට් කියනව, පොලිස් නිලධාරින්ගේ වර්ණභේදවාදී ක‍්‍රියාවන් පිළිබඳව නිසියාකාරව විනය ක‍්‍රියාමාර්ග නොගැනීම තුළ එවැනි සමාජ විරෝධී ක‍්‍රියාවන් සාමාන්‍යකරණය වීම එය උත්සන්න කරන අතරම මෙවන් වටපිටාවක් තුළ කළු ජාතිකයන් ඉලක්ක කරමින් මර්දනකාරී ක‍්‍රියාවන් පොලිසිය අතින් නිරතුරුව සිදු වූ බව, පසුගිය දශකයක කිහිපය තුළ දිගටම වර්ධනය වූ අමානුෂික ඝාතනයන් දෙස බැලීමේ දි පේනවා.

      ඒ වගේම එක්සත් ජනපද ව්‍යවස්ථාවේ 2 වන සංශෝධනය මගින් සාමාන්‍ය ජනතාවට තම ආරක්ෂාව වෙනුවෙන් ගිනි අවි දැරීමට ලබාදී ඇති අයිතිය පොලිස් නිලධාරීන්ට බරපතල අවදානමක්, ඒ ආයුධ දැරීමේ අයිතිය හින්දා ලොව ඉහළම ගිනිඅවි භාවිතයක් සහිත රට බවට ඇමෙරිකා එ.ජ. ව පත් වූ අතර ඇමෙරිකා එජ තුළ කිසියම් ගෘහස්ථ ගැටුමකදී වුවද ගිනි අවියක් පුද්ගලයකුගේ අතින් ක‍්‍රියාත්මක වීමට ගතවන්නේ ඉතා කෙටි කාලයකි. ඇමරිකානු පාසල් වල සිසුන් පාසලට ගිනි අවි ගෙනත් සහෝදර සිසුන් අමානුෂික ලෙස ඝාතනය කිරීම් ඉතා සුලභ නිතර නිතර වාර්තා වන දේවල්.

      මේ ඇමෙරිකානු සමාජය තුළ මෙම දෙවන සංශෝධන ඉවත්කිරීම පිළිබඳව කතිකාව කලින් කලට සිදුවන්නා වූ සමූහ අපරාධ හා ඝාතන සිදුවීම් සමග කරළියට එනමුත් ධනවත් බලවත් ඇමරිකානු අවි ආයුධ නිපදවන්නන්ගේ දැඩි බලපෑම් සහ පොළඹවීම මත දේශපාලකයන්ට හා පොදු මහජනතාවට හට සෑබෑ විසඳුමකට පැමිණීම ඉතා අපහසුව පවතින බව ලොව පුරා පිලිගත් මතයයි.

      ඒ අනුව විවිධාකාර ඇමරිකානු පොලිසි හා ඒ හා සමාන විවිධ ආයතන හා කණ්ඩායම් වලට නීතීය හා සාමය රැක ගැනීමේදී යෙදවිය යුතු අවම බලය පිළිබඳ ධර්මතාවන් වෙනස්වීම නිතැතින්ම සිදුවන නිසා සැකකරුවකු අත්අඩංගුවට ගැනීමේදී නිලධාරීන් තම ස්වයං ආරක්ෂාව පිළිබඳව දැඩි සැලකිල්ලක් ගනිමින් සැකකරුවාට තුවාල හෝ ලේසියෙන්ම මරා දැමීම කරන අතරම කෙසේ වෙතත් එවැනි පවත්නා බරපතල ගැටලූ නිරාකරණය සඳහා නිසි ක‍්‍රමවේදයන් හඳුන්වා දීමේ හැකියාවක් ඇමෙරිකා එක්සත් ජනපදයට නැහැ.

      Delete
    4. ඒ වගේම මේ වර්ණභේදවාදයට මූලික වූ ඇමරිකානු ම්ලේච්ඡ වහල් සේවයේ බැඳීම් හා වහල් වෙළෙඳාම ඒබ්‍රහම් ලින්කන් බඳු ශ්‍රේෂ්ඨ නායකයෙක් නිසා 1865 හේදී අවසන් වුවත් සමාජය තුළින් එම අමිහිරි දුෂ්ට මානව හැසිරීම් හා අසරණයන් තුන් වෙනි පන්තියේ පුරවැසියන් ලෙස සැලකීමෙන් හිංසනයට ලක් කරන එක අවසන් නොවූ බව වර්තමාන සිදුවීම් තුළින් පවා ඉතා පැහැදිලිව පිළිබිඹු වනවා. නමුත් කළු ජාතිකයන් හට වන්නා වූ අසාධාරණයන් නිවැරදි කිරීමට සටන් කිරීමට උත්සහ කල ශ්‍රේෂ්ඨ චරිත විශාල ප‍්‍රමාණයක් විවිධ කාලසීමාවල ඇඑජයේ බිහි වුණේ ඔවුන්ගේ අපරිමිත කැප කිරීම් හා උත්සාහයන් නිසා කාලානුරූපව පැවැති තත්ත්වයන් යන්තමින් හෝ නිවැරැදි කරමින් සමාජ ආකල්ප වල සුළු වශයෙන් ශෝධනයක් සිදුකිරීමට ඔවුන්ට හැකි වුණා. ඒ වගේම 19 වැනි හා 20 වැනි සියවස්වල එසේ ඇඑජය තුළ සමාජ විමුක්තිය ඇති කිරීම සඳහා කටයුතු කළ බොහෝමයක් අතරින් පුද්ගලයන් දෙදෙනකු ගැන කෙටියෙන් කියනවනම් 18 වන ශත වර්ෂය තුළ කළු ජාතිකයන් හට සමානාත්මතාවය ඇති කිරීමට ඉමහත් මෙහෙයක් සිදු කළ ෆෙඩ්රීක් ඩග්ලස් නම් මානවවාදියා (කුඩා කල සිටම කටුක වහල් සේවය අතිශය දුෂ්කරතා අත්විඳ නව යොවුන් වියේදී ඉන් පලාගොස් නිදහස් ජීවිතයක් අත් කර ගැනීමට සමත් වූ ක‍්‍රමානුකූල අධ්‍යාපනයක් නොලද මුත් ඔහු ස්වොත්සාහයෙන් ඉගෙනුම ලබා ඒ තුළින් ලබාගත් දැනුම උපයෝගී කරගෙන කළු ජාතිකයන්ගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටි අතර කළු ජනයා සඳහා පුවත්පත් කිහිපයක් ඇරඹීමට කටයුතු කළා. ෆෙඩ්ඩි‍්‍රක් තම කටුක ජීවිත කතාව ස්වයං චරිතාපදාන තුනක් යටතේ ලියා එතුළින් අමෙරිකාව තුළ කළු ජාතිකයන්ගේ වහල් ජීවිතයන්හි කටුකත්වය මුළු ලෝකයටම හඬගා කී කෙනෙක්. තව 1872 දී ඇමරිකන් ජනාධිපතිවරණයට ප‍්‍රථම වතාවට ඉදිරිපත් වූ කාන්තාව වන වික්ටෝරියා වුඩ්හූල්ගේ උප ජනාධිපති සගයා ලෙස ඉදිරිපත්වීමට ඔහු අවස්ථා දිනාගත්තා)

      ඒ වගේම මාටින් ලූතර් කිං (ජූනියර්) ඉන්දියානු නිදහස් සටන තුළ මහාත්මා ගාන්ධි ගෙනගිය අවිහිංසාවාදී ක‍්‍රියාමාර්ග අනුගමනය කරමින් 1960 දශකය තෙක් තුන්වන පන්තියේ කාලකන්නි අමන පුරවැසියන් ලෙස සැලකු කළු ජාතිකයන් හට සමානාත්මතාව ඇතිකර දීම සඳහා දැවැන්ත සේවාවක් කළ කෙනෙක්. මේ වගේ තව ගොඩක් අය ඉන්නවා. මේ ගැන තව දුරටත් ඔබට කියවන්න අධ්‍යයනය කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා.

      Delete
  5. ඉකොනො වාමාංශික මතවාද සුරංගනා කතා ගැන කතාකරන විට ලංකාවෙ ප්‍රසිද්ධ වාමාංශික සුරංගනා කතා කාරයෙක් වන වාසිදේව ගැන සුරංගනා කතාවක් අහන්න ලැබුණා මේ දවස්වල.

    ඉකොනො ඔබත් අර රාජ පක්ස කල්ලියේ දේශපාලන කටයුතු වලට මූල්‍ය අනුග්‍රාහකත්වය දක්වන බ්‍රැන්ඩික්ස් එකේ ලොක්කා පෝලිමේ ඉඳලා වැක්සින් ගැහුව කියලා කවුද හතුරුසිංහ ද මොකෙක්ද තැරිදාර පුන්නක්කු අමු මැටි මීහරක් බයියෙක් ලියපු හෑල්ලකට රැවටිලා තිබුණානේ.

    අන්න ඒ වගේ තව හෑල්ලක් මේ;

    ///වර්තමාන ආණ්ඩුවේ ඇමතිවරයකු වන වාසුදේව නානායක්කාරගේ බිරිද කොරෝනා එන්නත විද ගැනීමට ගිය අවස්ථාවේ විශේෂ සිදුවීමක් සිදුවී තිබෙන බව බොහෝ සමාජ ජාල සහ වෙබ් අඩවි වල පළ කර තිබේ.

    ඒ අනුව ඇය මේ කොවිඩ් එන්නත ලබා ගැනීම සඳහා ගොස් ඇත්තේ නාරාහේන්පිට පිහිටි එන්නත්කරන මධ්‍යස්ථානයකටයි. එහිදී ඇය සාමාන්‍ය ජනතාව සමග පෝලිමේ පැය කිහිපයක් සිට ඇති අතර එහි කාර්ය මණ්ඩලය අයෙක් අමාත්‍ය බිරිඳ හඳුනා ගෙන ඇයට පෝලිමේ නොඉඳ එන්නත ලබා ගන්නට එන්නැයි විශේෂ ඉල්ලීමක් කර ඇත.

    නමුත් සැනෙකින් ඇය එම ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙප කරමින් සඳහන් කර ඇත්තේ තමන් සේම වයසක අය බොහෝ පිරිසක් පෝලිමේ සිටියදී තමනට විශේෂ වරප්‍රසාද අනවශ්‍ය බවයි.

    එසේ පැවසූ ඇය තවත් වේලාවක් පෝලිමේ සිට එන්නත ලබාගෙන පිටව ගොස් තිබේ.///

    මේකත් දාර කෙබරයක් වෙන්න පුළුවන් බොහෝ දුරට එහෙම නේද? රාජ පක්ස කල්ලියේ ගොබෙල්ස් න්‍යාය පත්‍රයට අනුව එන ව්‍යාජ ප්‍රචාර.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: