වෙබ් ලිපිනය:

Tuesday, February 23, 2021

ශ්‍රමයේ අනදාලත්වය පිළිබඳ ප්‍රශ්නය


කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතයට නැවතත් එමු. මෙයින් ආකෘතිගත කරන්නේ ශ්‍රමය, ප්‍රාග්ධනය හා තාක්ෂනය යොදාගෙන අතිරික්ත වටිනාකමක් (නිෂ්පාදනයක්) නිර්මාණය කරන ආකාරයයි. චාල්ස් කොබ් සහ පෝල් ඩග්ලස් විසින් මේ නිෂ්පාදන ශ්‍රිතය ඇතුළත් පර්යේෂණ පත්‍රිකාව ඇමරිකන් එකොනොමික් රිවීව් ජර්නලයේ පළ කළේ 1928 වසරේදී. ඔවුන්ට පෙර පසුගිය සියවසේ ආරම්භයේදී හෝ ආසන්න වසරකදී පිලිප් වික්ස්ටීඩ් විසින් මේ ශ්‍රිතය ගැන අදහස ඉදිරිපත් කර තිබෙනවා. එහෙත්, ඊට පෙර මෙවැන්නක් කිසිවෙකු භාවිතයට ගෙන තිබුණේ නැහැ.

කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය භාවිතා නොකළත් නිෂ්පාදන අතිරික්තය ශ්‍රමය, ප්‍රාග්ධනය හා තාක්ෂනය කියන සාධක තුන ඇසුරෙන් විස්තර කිරීම කාලයක සිටම සිදුවුණු දෙයක්. ඇඩම් ස්මිත්, කාල් මාක්ස් වගේ අයගේ පැහැදිලි කිරීම් වලත් මේ අදහස තිබෙනවා. වෙනස ඒ පැරැන්නන් අද මෙන් ගණිතය යොදා නොගැනීමයි. කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය නිෂ්පාදනය සිදුවන ක්‍රියාදාමය පැහැදිලි කරන ආකෘතියක් නිසා එය දේශපාලන ක්‍රමයකට සම්බන්ධ දෙයක් නෙමෙයි. 

මෙහි නිෂ්පාදන අතිරික්තය, ශ්‍රමය හා ප්‍රාග්ධනය වසරින් වසර වෙනස් වන, ඒ වගේම වැඩි අපහසුවක් නැතිව මැනිය හැකි, විචල්‍යයන්. මේ විචල්‍යයන් තුනම සාමාන්‍යයෙන් කාලයත් සමඟ වර්ධනය වෙනවා. α එසේ වේගයෙන් වෙනස් නොවන පරාමිතියක්. එය වසර ගණනාවක දත්ත අනුසාරයෙන් ඇස්තමේන්තු කළ හැකියි. එසේ ඇස්තමේන්තු කිරීමෙන් පසුව බොහෝ විශ්ලේෂණ තුළ α නියතයක් ලෙස සලකා තාක්ෂනය වර්ධනය වූ ආකාරය විස්තර කෙරෙන A වෙනස් වන ආකාරය ඇස්තමේන්තු කරනවා. එය වසරින් වසර වර්ධනය වන එහෙත් සෘජුව මැනීම අසීරු විචල්‍යයක්.

චාල්ස් කොබ් සහ පෝල් ඩග්ලස් විසින් ඉදිරිපත් කළ ආරම්භක පර්යේෂණ පත්‍රිකාවේ ඇස්තමේන්තු අනුව α අගය සඳහා ගැලපුනේ 0.25 වැනි අගයක්. පසුකාලීන ඇස්තමේන්තු අනුව මේ අගය 0.3-0.35 අතර අගයක් ලෙස සැලකුණා. සෛද්ධාන්තිකව 0 හා 1 අතර තිබිය යුතු මේ අගය සෙමෙන් වුවත් කාලයත් සමඟ ඉහළ යන බව පෙනෙන්නට තිබෙනවා. නිෂ්පාදන තාක්ෂනය තුළ මිනිස් ශ්‍රමය ක්‍රමයෙන් විස්ථාපනය වෙමින් ස්වයංකරණය ආදේශ වෙද්දී  α අගයද ක්‍රමයෙන් ඉහළ යා යුතුයි. 

කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතයේ ආන්තීය (extreme) තත්ත්වයන් සේ සැලකිය හැකි α=0 හා α=1 තත්ත්වයන් දෙස බැලූ විට නිෂ්පාදන මාතය පරිණාමය වන ආකාරය පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. මෙය මා කරන දෙයක් මිසක් සම්මත දෙයක් නෙමෙයි. සමහර විට මා නොදැන වෙනත් අය මෙවැන්නක් කර තිබිය හැකියි.

α=0  වූ විට,

Y = F(K,L) = AKαL1-α = AK0L1-0 = AL

α=1  වූ විට,

Y = F(K,L) = AKαL1-α = AK1L1-1 = AK

α=0  වූ විට, Y = AL නිසා නිෂ්පාදනය සෘජුවම ඒ සඳහා යොදන ශ්‍රමයට සමානුපාතිකයි. ප්‍රාග්ධනය වෙනස්වීම මත අතිරික්තය වෙනස් වන්නේ නැහැ. යොදවන ශ්‍රමය හා අතිරික්තය අතර අනුපාතය තීරණය වන්නේ A අගය මතයි. නිෂ්පාදන කාර්යය තුළ ශ්‍රමයේ ආන්තික (marginal) ඵලදායීතාවය A නිසා ධනවාදී ක්‍රමයට ශ්‍රමය වෙනුවෙන් ලැබිය යුතු ප්‍රතිලාභය A වලට සමානයි. මාක්ස්වාදය අනුවද එය එසේමයි. 

මේ වගේ තත්ත්වයක් යටතේදී ශ්‍රමය නොයොදවා නිෂ්පාදන අතිරික්තයෙන් කොටසක් ලබාගත හැකි වන්නේ එක්කෝ ශ්‍රමය යොදවන අයෙකුගේ අනුකම්පාව මත. එසේ නැත්නම් හොරකම් කිරීමෙන් හෝ පැහැර ගැනීමෙන් වගේ ක්‍රමයකින්. නිෂ්පාදන මාතය තුළ ප්‍රාග්ධනයට කිසිදු වැදගත්කමක් නැති නිසා කවර හෝ බාහිර සාධකයක් මත A ඉහළ ගිය අවස්ථාවක ප්‍රාග්ධනය එක්රැස් කර ගැනීමේ අර්ථයක් නැහැ. ඒ වගේ වෙලාවක එක්කෝ තමන්ට පරිභෝජනය සඳහා අවශ්‍ය දේ නිපදවා ගැනීමට පමණට පමණක් ශ්‍රමය යොදවා නිකම් සිටිය යුතුයි. නැත්නම් තමන්ට පරිභෝජනය කළ නොහැකි අතිරික්තය වෙනත් අය සමඟ බෙදා ගත යුතුයි. වෙනත් අයෙකුගෙන් හොරකම් කිරීමක් හෝ පැහැර ගැනීමක් කළත් එසේ කරන්න අවශ්‍ය වෙන්නේ ක්ෂණිකව පරිභෝජනය කර අවසන් කළ හැකි මට්ටම දක්වා පමණයි.

හොරකම් කිරීම හා පැහැර ගැනීම අපි පැත්තකින් තියමු. පවුල් ඒකක තුළ හෝ වඩා විශාල කණ්ඩායම් ලෙස ජීවත් වන මිනිහෙක් හෝ වෙනත් සතෙක් පරිභෝජනය කර අවසන් කළ නොහැකි අතිරික්තය බෙදා ගන්නේ තමන්ගේ පවුල් ඒකකයේ හෝ කණ්ඩායමේ වෙනත් අය සමඟයි. මේ වගේ තත්ත්වයක් යටතේ පිරිමි සතෙකුට ගැහැණු සතුන් ආකර්ෂණය කර ගැනීම පහසු වෙනවා. වැඩියෙන් පැටවු හැදීම පහසු වෙනවා. ඒ පැටවු ලොකු වෙද්දී සාමාජික ඒකකය තුළ L වැඩි වන නිසා Y ද වැඩි වෙනවා. එහෙත්, Y/L අනුපාතය වෙනස් වන්නේ නැහැ. එය තීරණය වන්නේ A අගය මත.

අනෙක් අතට අහිතකර බාහිර සාධක නිසා A ඉහළ ගිය අවස්ථාවක වෙන්නේ කුමක්ද? ජීවිතය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය අවම පරිභෝජන මට්ටම හෝ නොලැබේනම් අතිරික්තය වෙනත් අය සමඟ බෙදාගන්න අමාරුයි. ජීවිතය පවත්වා ගැනීම සඳහා වැඩි වෙලාවක් ශ්‍රමය යොදවන්න වෙනවා. පිරිමි සතෙකුට ගැහැණු සතුන් ආකර්ෂණය කර ගැනීම අසීරුයි. ඉන්න පැටවුනුත් වැඩි දෙනෙක් ආහාර හා ආරක්ෂාව නැතිව මිය යනවා. L අඩු වී Y අඩු වෙනවා. එහෙත්, Y/L අනුපාතය වෙනස් වන්නේ නැහැ. එය තීරණය වන්නේ A අගය මත.

මේ වගේ තත්ත්වයකදී බාහිර සාධක මත A වෙනස් වෙද්දී L ද පසුව වෙනස් වී ඊට සමානුපාතිකව Y වෙනස් වන නමුත් දිගුකාලීනව Y/L වෙනස් වන්නේ නැහැ. වෙනත් විදිහකින් කිවුවොත් බාහිර සාධක වාසිදායක අතට හැරෙද්දී ගහණයක් වර්ධනය වෙනවා. එම සාධක අවාසිදායක අතට හැරෙද්දී ගහණය කුඩා වෙනවා. ගහණයේ එක් සාමාජිකයෙකුගේ පරිභෝජන මට්ටම තාවකාලිකව අඩු වැඩි වුවත් දිගුකාලීනව තත්ත්වයේ වෙනසක් වෙන්නේ නැහැ. A වැඩි වූ වහාම පරිභෝජනය වැඩි වන නමුත් එහි ප්‍රතිඵලයක් ලෙස ගහණය විශාල වෙද්දී අතිරික්තය වැඩි දෙනෙකු අතර බෙදී යන නිසා නැවත හිටපු තැනටම වැටෙනවා.

නිෂ්පාදනය මාතය මේ වගේ එකක්නම් මිනිස්සු හා වෙනත් සත්තු අතර කිසිම වෙනසක් නැහැ. ස්වභාවික පරිසරයක සිටින සත්තුන්ගේ "සමාජ රටාව" හරියටම මේ වගේ. 

මේ අන්තයේ සිටි මිනිස්සු අනෙක් සත්තුන්ගෙන් ටිකෙන් ටික වෙනස් වෙන්න පටන් ගන්නේ ප්‍රාග්ධනය එකතු කර ගන්නට පුරුදු වීමත් සමඟයි. මිනිස් වර්ගයා විසින් ලබා ගෙන තිබෙන හැම ජයග්‍රහණයක් පසුපසම තියෙන්නේ ප්‍රාග්ධනය එක්රැස් කර ගැනීමේ වාසිය. ඉතිහාසය පුරාම මිනිස්සු ප්‍රාග්ධනය එකතු කර ගෙන තිබෙන්නේ පෞද්ගලිකව මිස සාමූහිකව නෙමෙයි. පෞද්ගලික ප්‍රාග්ධනය ප්‍රාග්ධන හිමියාගේ කැමැත්ත පරිදි සාමූහිකව ආයෝජනය කිරීම හෝ ස්වේච්ඡාවෙන් අයිතිය අත හැර සාමූහික පරිභෝජනය වෙනුවෙන් යෙදවීම වෙනම දෙයක්. මාක්ස්වාදය හැර ලෝකයේ අනෙකුත් සෑම ආගමක්ම පෞද්ගලික ප්‍රාග්ධනයේ අයිතිය වෙනුවෙන් පෙනී සිට තිබෙනවා. 

ස්වභාව ධර්මයේ සමතුලිතතාවය තව දුරටත් එලෙසම භාර නොගනිමින් ප්‍රාග්ධනය ආයෝජනය කිරීම හරහා A වැඩි කරගැනීමට මිනිස්සු සමත් වෙනවා. A වැඩි වෙද්දී නිෂ්පාදන මාතයේ α අගයද හෙමින් හෙමින් වැඩි වෙන්න පටන් ගන්නවා.

මේ ක්‍රියාදාමයේ අනෙක් අන්තය මොන වගේ එකක්ද? 

α=1  වූ විට, Y = AK නිසා නිෂ්පාදනය සෘජුවම ඒ සඳහා යොදන ප්‍රාග්ධනයට සමානුපාතිකයි. කිසිම ශ්‍රමයක් යෙදවිය යුතු නැහැ. ධනවාදී අදහස අනුව ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබිය යුතු ආන්තික ප්‍රතිලාභ A වලට සමානයි. ශ්‍රමය යෙදවීමක් නැති නිසා ශ්‍රමය වෙනුවෙන් ලැබිය යුතු ප්‍රතිලාභයක්ද නැහැ. මාක්ස්වාදය අනුව ශ්‍රමය යොදවන අය අතර ප්‍රතිලාභ බෙදී යා යුතු වුවත් දැන් ශ්‍රමය යොදවන කෙනෙක් නැහැ. ඒ නිසා මාක්ස්වාදයේ තර්කය තව දුරටත් වලංගු නැහැ. මෙහි තිබෙන්නේ ශ්‍රමයේ අනදාලත්වය පිළිබඳ ගැටලුවක් මිසක් ශ්‍රමය සූරාකෑම පිළිබඳ ගැටලුවක් නොවන නිසා ප්‍රාග්ධනය අහිමි, ශ්‍රමය පමණක් හිමි අයෙකුට කිසිදු හෙට්ටු කිරීමේ බලයක් නැහැ. ඔවුන්ට ලැබෙන කවර හෝ දෙයක් තීරණය වන්නේ තනිකරම ප්‍රාග්ධනය හිමි අයගේ අනුකම්පාව මතයි. 

මේ වගේ තත්ත්වයක් සමාන කළ හැක්කේ (බටහිර රටක) ගෙවල් වල හදන සත්තුන්ගේ තත්ත්වයටයි. ගෙදරක හදන බල්ලෙක්ට පූසෙක්ට ස්වභාවික පරිසරයක ජීවත් වන සතෙකුට තිබෙන ප්‍රශ්න නැහැ. පරිභෝජනය සඳහා ශ්‍රමය යෙදවිය යුතු නැහැ. මහන්සියක් නැතුවම කෑම, බීම, වෛද්‍ය ප්‍රතිකාර ලැබෙනවා. එහෙත් ඒ සියල්ල ලැබෙන්නේ ස්වාමියාගේ අනුකම්පාව මතයි. අවසාන වශයෙන් මේ වගේ ගෙදර හදන සතෙකුගේ විනෝදය කියන්නේ කුමක්ද කියා තීරණය කරන්නේත් ස්වාමියා විසින්.

මේ දෙකම ආන්තීය (extreme) තත්ත්ව. α අගය දැනට තිබෙන්නේ ඔය අන්ත දෙකෙන් එකකටවත් ආසන්නව නෙමෙයි. එහෙත්, α අගය හෙමින් හෙමින් වැඩි වෙනවා. ඒ එක්කම සූරාකෑම (exploitation) කියන අදහසේ වලංගු භාවය ක්‍රමයෙන් අඩු වෙමින් අනදාලත්වය (irrelevance) පිළිබඳ ප්‍රශ්නය ක්‍රමක්‍රමයෙන් ප්‍රමුඛ ප්‍රශ්නයක් බවට පත් වෙමින් තිබෙනවා.

17 comments:

  1. ශ්‍රමය, ප්‍රාග්ධනය ගැන කතාව එක පාරටම ගැහැනු හා පිරිමි ආකර්ශනයට ගියෙ කොහොමද. ඒ කියන්නෙ wealthy people are attractive කියලද. අසාධාරනයි. අනිත් එක වැඩියෙන් වැඩ කරන්න උනා කියලා කොහොමද විරුද්ධ ලින්ගිකයින් ආකර්ශනය වීම අඩු වෙන්නෙ, ඔය කතාවල එහෙම තියෙන්නෙ කුඹුරෙ, කමතෙ වැඩකරන කොට දැකලා එකිනෙකාට කැමති උනා කියලා. දැන් කාලෙ අපි වුනත් හොඳ work ethics තියෙන අයට ආකර්ශනය වෙනවනෙ.

    ඉකොන් දිගටම ඵලදායිතාවය ගැන කතා කරපු නිසා මතක් වුනේ මම කොහෙ හරි කියෙව්ව ශීත කාලයක් තියෙන රටවල මිනිස්සු ඒ කාලයේදි වැඩිය වැඩ නොකර relaxව සිටීම නිසාත් ඔවුන්ට අලුත් විදිහකට වැඩ කිරීමට අදහස් (innovative thinking) ඇතිවීමත් ඵලදායිතාව වැඩි වීමට හේතු වුනා කියලා (ඉස්සර කාලෙ). කොයි තරම් දුරට එය පර්යේශන මඟින් support වෙනවද කියලානම් දන්නෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. //ශ්‍රමය, ප්‍රාග්ධනය ගැන කතාව එක පාරටම ගැහැනු හා පිරිමි ආකර්ශනයට ගියෙ කොහොමද. ඒ කියන්නෙ wealthy people are attractive කියලද. අසාධාරනයි.//

      මෙහි කතා කළේ α=0 තත්ත්වයක් ගැන. ඒ කියන්නේ ප්‍රාග්ධනයක් කියා දෙයක් නැති, මිනිස්සු හා සත්තු අතර වැඩි වෙනසක් නැති තත්ත්වයක්. ඒ වගේ තත්ත්වයක් යටතේ wealth කියා දෙයක් නැහැ. ඒ නිසා, wealthy people කියා කණ්ඩායමකුත් නැහැ. දඩයම් කරන්න දක්ෂ පිරිමි සතා ගැහැණු සතුන් වැඩිපුර ආකර්ශනය කර ගන්නවා. මිනිස්සු අතර වුනත් monogamous විවාහ සාමාන්‍ය තත්ත්වය වුනේ ඉතිහාසයේ ඉතා මෑත වකවානුවකදී. සාමාන්‍ය වශයෙන් මිනිස් පිරිමි මිනිස් ගැහැණුන්ට වඩා උස කාලයක් තිස්සේම උස, හැඩි දැඩි පිරිමින්ට මිනිස් ගැහැණුන් සමඟ එක් වී ජනිතයන් බිහි කිරීමට වැඩි අවස්ථාවන් තිබීමයි. මෙහි කතා කර ඇති දෙයක් නොවුනත්, අනෙක් හැම දෙයක්ම සමාන තත්ත්වයක් යටතේ දැන් වුවත් ධනවත් අයෙකුට (ගැහැණියකට හෝ පිරිමියෙකුට) සහකරුවෙකු/සහකාරියක තෝරා ගැනීමේදී වැඩි අවස්ථාවන් හිමි වෙනවා. සාධාරණ අසාධාරණ කම් මිනිස්සු හදාගත් සම්මත. පරිණාමය හැම විටම සාධාරණ නැහැ.

      //අනිත් එක වැඩියෙන් වැඩ කරන්න උනා කියලා කොහොමද විරුද්ධ ලින්ගිකයින් ආකර්ශනය වීම අඩු වෙන්නෙ, ඔය කතාවල එහෙම තියෙන්නෙ කුඹුරෙ, කමතෙ වැඩකරන කොට දැකලා එකිනෙකාට කැමති උනා කියලා.//

      මම කතා කළේ කුඹුරු කමත් කාලයට පෙර කාලයක් ගැන. එහෙත් මේ කතාව ඒ කාලයට වුවත් අදාළයි. තමන්ගේ ජීවිතය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ආහාර ප්‍රමාණයවත් නැත්නම් ඕනෑම කෙනෙක් කරන්නේ ජීවත් වෙන්න මහන්සි වෙන එකයි. ඊට සාපේක්ෂව දරු පවුල් හැදීම ද්වීතියික කරුණක්.

      ශීත කාල කතාව සංවර්ධන එක් ආර්ථික විද්‍යාවේ ප්‍රවාදයක්. ප්‍රධාන එකක් නෙමෙයි.

      Delete
    2. හරි, දැන් තේරුනා, ඉකොන් කතා කලේ ආන්තික හෙවත් extremes ගැන සහ ආදි කාලය. බොහොම ස්තුතියි පැහැදිලි කිරීමට.

      'අනෙක් හැම දෙයක්ම සමාන තත්ත්වයක් යටතේ දැන් වුවත් ධනවත් අයෙකුට (ගැහැණියකට හෝ පිරිමියෙකුට) සහකරුවෙකු/සහකාරියක තෝරා ගැනීමේදී වැඩි අවස්ථාවන් හිමි වෙනවා'. කාන්තාවන්ටනම් ඕකෙ අනිත් පැත්තත් වෙනවා කියනවා. challenging topics තමයි.

      Delete
  2. ගෙදරක හදන සත්තුන්ටත් අන්ත එවුන්
    හිතන්නට මොළේ කළඳක් නැතිව ගිහින්
    හාම්පුතාලගෙ රිස්සම කරන හෙයින්
    දිමුතු ඇටේ දිස්නය දැන් නැතිව ගිහින්!

    ReplyDelete
  3. නිමල් අංකල් දන්නවා ඇතිනේ ඔයාලගේ හිටපු ලොක්කා හිටිය අගමැති රනිල් වික්‍රමසිංහත් කවියෙක් බව. ඉකොනොමැට්ටා ඇසුවහොත් මවිතයට පත්වෙයි යකෝ අපේ ලොක්ක මේ තරම් වැඩකාරයෙක් නේ කියලා. මතක හැටියට 1993 මැයි මාසේ 7 තමයි කලින් අගමැතිට හිටපු ඩිංගිරි බණ්ඩා විජයතුංග ජනාධිපති ධුරයට පත් අවස්‌ථාවේ රනිල් වික්‍රමසිංහ කවියා රසවත් කවි කතාවක් පැවැත්වූයේ මෙන්න මෙහෙම;

    "වියුරු ගිනි දැල් නො වෙමු, කාලය අව්ලා තබන

    සිහිලදෙන වැස්‌ස වෙමු, දැවෙන වනයට වහින"

    කොහොම ද මේක?

    ReplyDelete
    Replies
    1. හෆොයි...

      ගෙනැ දී නිගාවක්‌ ලක් බිම කවියන ට

      පත් කෙරමින් මුළු සභාවම මහ විහිලුවට

      රා නිල වැනි කෙ'(ගො)නෙකු එහි කවි කියනැ විට

      හොඳටම හිනා බන් පවු නි.දි. අංකල් ට

      Delete
    2. එක කාරණයක් ගැන විතරක් නිවැරදි කිරීමක් කරන්න තියෙනවා. 1978-79 විතර කාලයට පස්සේ මගේ දේශපාලන හැඟීම් එකම පක්ෂයකට ලැදිව නෙවෙයි තියෙන්නේ. ඉතිං මගේ හිටපු ලොක්කා කියන යෙදුම අදාළ නැහැ වගෙයි....

      Delete
    3. නිමල් අංකල්,

      බොහොම ස්තූතියි වැරදි වටහා ගැනීමක් සිදු වූවානම් සමාවන්න. රනිල් වික්‍රමසිංහ මහතා ගැන සඳහන් කළේ හුදෙක් විනෝදය පිණිස. ඒ වගේම ඔබ ඉතිහාසය ගැන සඳහන් කරන කාරණා ගැන කතා කළොත් පුරාවෘත්ත (legends) කියන ඒවා වාච්‍යාර්ථයෙන් (literally) ගන්න සිරිතක් නැහැ.

      පුරාවෘත්ත ගොඩක් වෙලාවට සංකේතීයයි. පරණ තෙස්තමේන්තුව මෝසෙස් මිලියන දෙකක් වහල්ලු ඊජිප්තුවෙන් ගෙනාව කියල තිබ්බත්, එහෙම නොවෙච්ච බවට ඓතිහාසික සාක්ෂි වලින් පෙන්වා දෙන්න පුලුවන්. ඒකෙන් මෝසෙස්ගෙ කතාවේ (Exodus) වටිනාකමට අඩුවක් වෙන්නේ නෑ. පීඩිතයාව රැකිය යුතු බවට මෝසෙස් දෙන ආදර්ශය ගන්න ඒකෙන් බාධාවක් නෑ.

      රාමා හෝ රාවණා කියලා කෙනෙක් හිටියා කියන්න කිසිම සාධකයක් නෑ. රාමායණ කතාවේ සිද්ධ වෙන අධිස්වාභාවික සිද්ධි ඇත්තටම සිද්ධ උනා කියලා හිතන්න කිසිම හේතුවක් නෑ. කොටින්ම රාමායණයේ කියවෙන ලංකාපුරය කියන්නෙ වර්තමාන ශ්‍රී ලංකාව කියල හිතන්න කිසිම හේතුවකුත් නෑ. මොකද ශ්‍රී ලංකාවට "ලංකාව" කියල කියන්න ගත්තේ බොහොම මෑතකදි (සාපේක්ෂව).

      රාමායණයෙන් ගන්න තියෙන පාඩම් තමයි තම ශක්තිය දුර්වලයා පෙළන්න නොයොදා දුර්වලයා වෙනුවෙන් ඉදිරිපත් වන ශක්තිවන්තයා (රාම), පවුලේ ගැටුම් මැඬලන්න පවුල වෙනුවෙන් තම සිහසුන කැප කරන පුතා (රාම), මල්ලීට ආදර්ශමත් අයියා (රාම), අයියාගේ දකුණු අත බඳු මල්ලී (ලක්ෂ්මන්), සැමියාගේ සෙවනැල්ල බඳු බිරිඳ (සීතා), බිරිඳගේ ආරක්ෂකයා වන සැමියා (රාම), අසාධාරණ අපවාදයට එරෙහිව සටන් කරන ගැහැණිය (සීතා) වගේ දේවල් රාශියක්. අද තාමත් හින්දු සමාජයේ වටිනාකම් හැඩ ගස්වන්නේ රාමායණ කතාව. අද තාමත් ඉන්දියාවේ අම්මලා පුතාට රාම් වගේ වෙයන් කියන්නේ ලංකාවට ගිහින් ගිණි තියලා වරෙන් කියන අදහසින් නෙවෙයි, රාම වගේ හොඳ මිනිහෙක් වෙයන් කියන අදහසිනුයි.

      (රාමගේ ප්‍රශ්නකාරී හැසිරීම් ඇති බව මා නොදන්නවා නොවේ, ශූර්පනිකා සිද්ධිය, සීතා ගැන සැක සංකා පහල කිරීම වැනි ගොඩක් අවුල් සහගත දේවල් කතාව තුල රාම කරයි).

      ලංකාවේ මිනිස්සු ඉන්දියාවට ගියාම බොහොම කාලෙකට කලින් නම් රාවණාගේ දේසේ මිනිස්සු කියල පහත් කරල සලකපු මිනිස්සු හිටියා. දැන් නම් එහෙම රාමායණය වාච්‍යාර්ථයෙන් අරන් නාඩගම් නටන ගොන්නු නවීන ඉන්දියාවෙ නැති තරම්. රාවණා අවුරුද්දක් ගානෙ ගිනි තිබ්බට ඒක එයාලට සැනකෙලියක් මිසක් ඔය කියන ජාතියෙ මලකෙලියක් නෙවෙයි.

      එයාල අපිව පහත් කරන්න රාමායණ කතාව ඔලුවේ තියන් යනවා නම් ඒකට පිලිතුර අපිව උඩයන විකල්ප බොරු සෙට් එකක් හදන එක නෙවෙයි. රාමායණය කියන්නේ පුරාවෘත්තයක්, ඒ නිසා ඒක වාච්‍යාර්ථයෙන් ගත යුතු නැහැ කියා තර්ක කරන එකයි. ඒ ගැන පුරාවිද්‍යාත්මක සාක්ෂ්‍ය නැති බව පෙන්වා දෙන එකයි.

      ඒ වගේම පැති අටක් කැටයම් සහිත බෞද්ධ ස්ථූප වල ඇති යූප ගල කියන්නේ ශිව ලිංගයක් කියන කතන්දරයට හොඳ ඇකැඩමික කතිකාවක් යනවා. ඒක සාධාරණව ඉවර වෙයි. ඇත්තටම ඒක ශිව ලිංගයක් නෙවෙයි කියන අදහස ප්‍රබලව ඉදිරිපත් කරන්නෙ ෆේස්බුක් එකේ හාන ලංකාවෙ නන්දිවිසාලලා නෙවෙයි. දමිළ බස කතා කරන හින්දු ආගම අදහන දකුණු ඉන්දියාවේ විද්වත්තු.

      Delete
    4. ඒ වගේම ගොඩක් ලංකාවේ මිනිස්සු රාවණ කියලා කියන්නේ කවුද කියලවත් දන්නේ නෑ. (නොදන්නා කම මහමුදලි කතාවටත් වැඩිය ලොකුයි කියලා කියන්නේ මේක තමයි. ඔබලා වගේ වැඩිහිටියන් විතරක් නෙමෙයි අනූගණන් වලින් පස්සෙ ඉපදුන තරුණ තරුණියන් පවා නොදැනුවත්ව යම් යම් මෝඩ අදහස් පළකරන බව පේනවා.) ඇත්තටම කිව්වොත් ඔය රාවණා කතාව එන්නේ රාමායණ් කියලා කියන පොතේ. රාමායණ් කියලා කියන්නේ "විෂ්ණු පුරාණ්" කියන මහා ලොකු ඉන්දියානු සාහිත්‍යය සංග්‍රහයේ තියෙන එකම එක පරිච්ඡේදයක් විතරයි. රාමායණ් කියවන්න ඕන විෂ්ණු පුරාණ් එකට සාපේක්ෂව තමයි. රාමා කවුද සීතා කවුද එතකොට කේ කේ (කෛ කෛ) කියන බිසව කවුද මේ කට්ටියගේ සම්බන්ධය මොකක්ද, මෙහෙම යුද්ධයක් ඇති වෙලා රාමා මේ ප්‍රශ්නයට පැටලුණේ ඇයි, රාම රජ්ජුරුවන්ගේ තියෙන වටිනා ගතිගුණ මොනවාද, ඔහුගේ දශරාජ ධර්ම ක්‍රියාවන් මොනවා ද, රාම් ලක්ෂමණ් කියන්නේ කවුද? මේවා ඔක්කොම දන්නේ නැතුව රාවණා ලංකාවේ උපන්නා සීතා රාවණාගේ නංගී කියලා බොරු ලියලා මෝඩ කරලා සිංහල මිනිස්සුන්ව රවට්ටන්න බලන උත්සාහයක්.

      ඒ නිසා අපි හැමෝම තමුන්ගේ අනාගතය ගැන දැන ගන්න ඉස්සෙල්ලා තමුන්ගේ ඉතිහාසය හරියට දැනගත යුතුයි නේද? වැඩියේ ගොඩක් කියන්නෙ නැතුව ටිකක් විතරක් කියලා දෙන්නම්. රාවණාගේ වැඩිමහල් සහෝදරයා තමයි 'කුවේර' කියන යක්ෂ සේනාධිපති. මෙයා ගාව තිබුණාලු අහසින් යන යන්තරයක්. රාවණා හම්බවෙන්න අයියා ආපු වෙලාවක මේ යන්ත්‍රය රාවණා හොරකම් කරගෙන තිබුණ. මේක හොරකං කරගත්තාම අයියාට තමංගෙම මල්ලි සමග හැප්පෙන්න බලයක් නැති නිසා පැත්තකට වුණා කියලා කියන්නේ. දෙවියන් මේ ගැන අයියගෙන් අහනකොට අයියා කියලා තියෙන්නේ මෙච්චරයි. රාවණා කියලා කියන්නේ ඉතා දුෂ්ඨ මනුස්සයෙක්, මෙච්චර කල් මහපොළොවෙ ඇවිදගෙන ගිහිල්ලා දුෂ්ටකම් කරා, දැන් ඉතිං මගේ ආකාස වාහනේ දඬුමොණරය අරගෙන ආකාසෙන් ගිහිල්ලාත් ලොවපුරා දුෂ්ටකම් කරාවි. මේ නිසා මේ මනුස්සයා ඉක්මනට විනාශ වෙනවා කියලා අයියා කියලා තියෙනවා.

      හැබැයි නිමල් අංකල් අපේ ගොඩක් රාවණා ගැන දිග පළලට කතා කරන මිනිස්සු ඒ සාහිත්‍යයේම රාවණා මීට ඉස්සර ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවත් සමග සටන් කරලා, වැරදිලා හිරේ අවුරුදු ලොකු ගානක් ගැට ගහලා හිටියා කියලවත් දන්නේ නෑ, රාවණාව බේරුවේ ශිව දෙවියන්, ශිව දෙවියෝ පර්ශු රාම් කියලා ඉතා නපුරු යුද්ධ දක්ෂ විෂ්ණු අවතාරයක් එවලා තමයි රාවණා ව බේරුවේ, සහ පර්ශු රාම්ගේ දුන්න ජනක රජ්ජුරුවන්ට දෙන්න ඉස්සෙල්ලා ඉස්සෙල්ලා ගිහිල්ලා දෙන්න බැලුවේ රාවණාට. රාවණා ලංකාවේ මිනිසුන්ව බල්ලන්ට වගේ සලකගෙන හිරිහැර කරගෙන පූජකයන්ට බ්‍රාහ්මණයන්ට බල්ලන්ට වගේ සලකන බව දැකලා පර්ශුරාම ඒ දුන්න රාවණාට දුන්නේ නෑ. (රාමායණය පොතෙන් මිනිස්සුන්ට ලබා ගන්න පුළුවන් මනුෂ්‍ය ජීවිතයට ආදර්ශයක් දෙන කාරණා ගොඩක් තියෙනවා, එක එක මනුස්සයාගේ සම්බන්ධය මොකක්ද මීට පෙර භව වල වන සම්බන්ධය මොකක්ද, රාම රජ්ජුරුවන්ට කරපු වැරදි වලට මේ අය සම්බන්ධ උනේ කාගේ කාරණයක් නිසාද, ඒ අයට දෙවියෝ මේ වගේ රාම වගේ රජ කෙනෙක්ට විරුද්ධ වෙන්න තරම් අමාරු කාර්යයක් භාර දුන්නෙ ඇයි කියලා තේරුම් ගන්න කොට ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන් වෙනවා. එහෙම නොකර තමුන්ගේ හිතළු වලට බොරු ලියන්න ගියාම දැනුම මොට්ට වෙනවා) මේ රාම රාවණ් කතාව හරියට සක්විති ඉංගිරිසි උගන්නන්න ගියා වගේ දෙයක් තමයි, අපි පුංචි කාලෙ පළවෙනි පාරම ආණ්ඩුවේ රූපවාහිනියෙන් දැක්කම කිව්වා තේරුණා ඒ මෝඩයා දන්න ඉංග්‍රීසියක් නෑ කියලා, grammar translation කියන ඉංග්‍රීසි ගැනිල්ල නවත්තලා ගොඩක් කල් කියලා කිව්වා, ඒකට එරෙහිව කතා කරන්න ඉංග්‍රීසි දන්න පුද්ගලයෝ ඒ කාලේ ඉදිරිපත් වුණේ නෑ, මෙච්චර සල්ලිකාර කෝටිපතියෙක් ට විරුද්ධව කතා කරන්න යන එක මෝඩ වැඩක් නිසා හැමෝම කට වහගෙන හිටියා මිනිහම කෙළෝ ගන්නකං, නමුත් මිනිහා කෙළෝ ගත්තා විතරක් නෙවෙයි වටේ පිටේ ඉන්න අහිංසකයෝ ලක්ෂ ගාණකට කෙළවලා තමයි විනාස උනේ) ඔන්න ඔහොමයි ඉතින් තත්ත්වය කියලා තමයි ඉතින් කියන්න වෙන්නේ.

      Delete
  4. ඉකොනොමැට්ටා කොබ් ඩග්ලස් නිෂ්පාදන ශ්‍රීතය ගැන ඉතා හොඳ පැහැදිලි කිරීමක් සහිත පෝස්ට් සීරිස් එකක්. තව දුරටත් මේ ගැන ලියන අතරේ තව පුංචි දෙයක් ගැන අහන්න කැමතියි. ඔබ දන්නවා ඇති 'තොරතුරු න්‍යාය/ තොරතුරු එන්ට්‍රපි' එක ගැන (information theory or entropy) ගැනත්. අද සෑහෙන පිරිසක් ලංකාවේ අන්තර්ජාල පහසුකම් පරිහරණය කළාට ගොඩක් අය මේ ගැන දන්නවා අඩුයි විශේෂයෙන් තාක්ෂණික නොවන ක්ෂේත්‍රවල අය. ඒ නිසා Mathematical Theory of Communication ලෙස හදුන්වනු ලබන මෙම න්‍යාය 1948 දී ක්ලෝද් ෂැනෝන් (Claude Shannon) ඉදිරිපත් කළා.

    H(X) = -∑ pi . log(pi)

    (මේක හරියට කමෙන්ට් කරන්න අමාරුයි.)

    මේ ගැන විස්තර කරලා ලියන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා ඉතින්. බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. සංඛ්‍යාන ආකෘති වල පරාමිතීන් (ඉහත α වැනි) ඇස්තමේන්තු කරන ක්‍රම අඩු වැඩි වශයෙන් පදනම් වෙන්නේ තොරතුරු න්‍යාය මත. මෙහිදී අපි α යම් සීමිත තත්ත්වයන් යටතේ වෙනස් නොවන, එහෙත් අප නොදන්නා, නියතයක් සේ උපකල්පනය කරමින් පටන් ගන්නවා. α නියතයක් වුවත් අපට කවදාවත් එය හරියටම දැන ගන්න බැහැ. නිරීක්ෂනය කළ හැක්කේ මිනුම් වරදක් එක්කයි. එකම නියතයේ මිනුම් වැඩි ප්‍රමාණයක් ඇති විට තොරතුරු ප්‍රමාණය උපරිමයක් වන හා මිනුම් වරද (noise) අවමයක් වන α ඇස්තමේන්තුව අනුමානයක් ලෙස හොයා ගන්න පුළුවන්. ඉන් පසුව මේ ක්‍රමයටම එම අනුමානය වැරදීමේ සම්භාවිතාවත් හොයා ගන්න පුළුවන්. කෝවිඩ් එන්නත් වල ඵලදායීතාවය ඇස්තමේන්තු කිරීම වැනි කටයුතු වලදී කරන්නේත් මෙයයි.

      Delete
  5. ඉකොනො,

    ඔබ ලංකාවෙ සමස්ත ශ්‍රම ප්‍රාග්ධන සබඳතා හා ප්‍රාග්ධනයට අදාළ ප්‍රතිදාන ගැන කතා කළත් ඒවා බොහෝ දුරට අදාළ වෙන්නේ නිදහස් වෙළඳ පොළ ක්‍රමයක පෞද්ගලික ව්‍යවසාය සඳහා නේද? රාජ්‍ය ආයතන සඳහා මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද? ඇත්තටම රට ෆන්ක්ෂන් වෙන්න සෝ කෝල්ඩ් උගත් බුද්ධිමත් ප්‍රායෝගික දේශපාලකයො හිටියට වැඩක් නෑ.

    ප්‍රයිවට් සෙක්ටර් එකේ කාලයක් වැඩ කරපු, වැඩ පෙන්නපු හොදම CEO ලා මැනෙජර්ස්ලා ගෙනල්ලා අමාත්‍යංශ ලේකම්වරු, අතිරේක ලේකම්වරු කරන්න පුළුවන් නම් මොනව හරි කරන්න පුළුවන් වෙයි නේද? මොකද මම දැකපු දෙයක් තමයි ලංකාව ස්ටක් වෙලා තියෙන්නේ ප්‍රැක්ටිකල් නැති, ස්ලෝ රාජ්‍ය පරිපාලන සේවය නිසා.

    මිනිස්ටර් වියත් වුනාට වැඩක් නෑ.., ලේකම් ස්ලෝ නම්.., අතිරේක ලේකම්ලා කම්මැලි වයසක කාන්තාවෝ ටිකක් නම්..

    දේශපාලකයො බැනුම් ඇහුවට ලංකාව ස්ටක් වෙලා තියෙන්නේ ඔතන නේද? මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

    ReplyDelete
    Replies
    1. ඔබ යෝජනා කරන්නේ සමාජවාදී ක්‍රමය. මේ ක්‍රමය රජයේ අකාර්යක්ෂමතාවයට විසඳුමක් නෙමෙයි. රජයේ අකාර්යක්ෂමතාවය කියන එක ඔලු ගෙඩි මාරු කරලා විසඳිය නොහැකි ව්‍යුහාත්මක ප්‍රශ්නයක්. සමහර විට ඔය වගේ වඩා දක්ෂ අයව යෙදවීමෙන් අකාර්යක්ෂමතාවය තවත් වැඩි වෙන්න වුනත් පුළුවන්. මොකද පුද්ගලයෙක් විදිහට කාර්යක්ෂම කෙනෙක් අකාර්යක්ෂම යාන්ත්‍රණයක කොටසක් වුනහම වෙන්නේ එම අකාර්යක්ෂම ක්‍රමයේ භාවිතාව වඩාත් පුළුල් වීමයි.

      ටිකක් අවුල් වගේනම් උදාහරණයක් අරගෙන පැහැදිලි කරන්නම්. අපි හිතමු රජය මුල් වෙලා තේ ගලවලා කහ හිටවනවා කියලා. "ප්‍රැක්ටිකල් නැති, ස්ලෝ රාජ්‍ය පරිපාලන සේවය" නිසා ඔය වැඩේ හරියට වෙන්නේ නැහැ. තේ ගස් ගැලවෙන්නේ ඉතා හෙමින්. දැන් "ප්‍රයිවට් සෙක්ටර් එකේ කාලයක් වැඩ කරපු, වැඩ පෙන්නපු හොදම CEO ලා මැනෙජර්ස්ලා ගෙනල්ලා අමාත්‍යංශ ලේකම්වරු, අතිරේක ලේකම්වරු" කරපු ගමන් මාර විදිහට කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. එක සුමානෙන් තේ ගස් ටික ඉවරයි.

      රජයේ අකාර්යක්ෂමතාවයට විසඳුම රජය කුඩා කරන එක මිසක් ප්‍රයිවෙට් සෙක්ටර් එකේ කාලයක් වැඩ කරපු, වැඩ පෙන්නපු මින්ස්සු ඒ තැන් වලින් ගලවලා ගන්න එක නෙමෙයි. ඔබ කියන "ප්‍රැක්ටිකල් නැති, ස්ලෝ රාජ්‍ය පරිපාලන සේවය" තුළ ඉන්න මිනිස්සු වුනත් තරඟයට නිරාවරණය වන තත්ත්වයක් යටතේදී නිකම්ම කාර්යක්ෂම වෙනවා. කාර්යක්ෂමතාවය වැඩි වීම සිදු වන්නේ වන්නේ විකල්ප අතර තරඟය තුළයි. විකල්ප නැත්නම් අපි කොහොමද දන්නේ වඩා කාර්යක්ෂම ක්‍රමවේදය කුමක්ද කියලා?

      ජවිපෙ "දූෂණ විරෝධී රාජ්‍ය" විසඳුමේ සිට ජාතිකවාදීන්ගේ "සිංහල බෞද්ධ රාජ්‍ය" විසඳුම හා තවත් අයගේ "සිංගප්පූරු" විසඳුම දක්වා විසඳුම් කැරකෙන්නේ එකම පෙට්ටිය ඇතුළේ. විසඳුම තියෙන්නේ ඔය පෙට්ටියෙන් එළියේ. ප්‍රායෝගිකව රජය අහෝසි කරන්න බැහැ. රජය විසින් ලබා දෙන සමහර සේවාවන් පෞද්ගලීකරණය කරන්නත් බැහැ. එවැනි සේවාවන් හා අදාළව විසඳුම පාරදෘශ්‍යභාවය වැඩි කිරීම හා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඔබ්බට යන සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් හරහා රජය සේවාදායකයින් බවට පත් කර ගැනීමයි. මූලධර්මයක් විදිහට ගත්තොත් රජයෙන් කිසියම් සේවාවක් ලබා ගන්නා අයගෙන් හා එම අයගෙන් පමණක් එහි මිලද අය කරනවානම් ප්‍රශ්නය එතැනම විසඳිලා.

      Delete
  6. එකොනෝ,

    ජනවාරි 26 ලිපියට අදාලවයි:

    1. L යනු ශ්‍රමිකයන්ගේ ප්‍රමාණයයි. එනම් , ඔබ සඳහන් කරන ලෙසට  භෞතිකව කර්මාන්ත ශාලාවේ වැටුප් ලේඛනයේ සිටින කමිකරුවන් ගණනයි. C-D ආකෘතියට අනුව K සහ L සුසංයෝගයෙන් ඇතිවන  නිශ්පාදිතය අනුලෝමව සමානුපාතික වී ඇත්තේ ( පරිපූර්ණ තත්ත්වය යටතේ)  ශ්‍රමිකයන් සංඛ්‍යාවට මිස කම්කරුවන් සමස්තයක් ලෙස නිශ්පාදිතය සඳහා එකතු කරන ශ්‍රම ඒකක ගණනට නොවේ. ඊට ප්‍රතිපක්ෂව  ප්‍රාග්ධනය යොදා ගන්නේ ඒකක ලෙසිනි. නමුත් මෙතැනදී ශ්‍රමය personal/පුද්ගලබද්ධ  දෙයක් වුනාට ප්‍රාග්ධනය යනු apersonal දෙයක්. නමුත් ප්‍රාග්ධනය යනුම ශ්‍රම ශක්තියේ/labour power  තවත් ආකාරයක් ලෙස ගත් විට L සහ K ගුණිතයක්/product නොවී ඓක්‍යයක් විය යුතු නොවේද?


    එසේම ශ්‍රම ශක්තිය යනු තාප ගතික ගුණාංගයක්/thermodynamic entity නිසා මෙයට Gibbs free energy  state function  එකක් යොදා ගත හැකියි කියා මට වියුක්තව  හිතෙනවා. එහි මූලක ආරම්භයක් ලෙසට
    මෙම කම්කරුවන්ගේ ශ්‍රම පැය ගණන නොහොත් භාණ්ඩය නිශ්පාදනය සඳහා යොදා ගන්නා ක්ෂමතාවය;
    ක්ෂමතාවය =ශක්තිය/කාලය  J/s ලෙස මෙය යොදා නොගන්නේ ඇයි?

    CP-C

    ReplyDelete
    Replies
    1. //L යනු ශ්‍රමිකයන්ගේ ප්‍රමාණයයි. එනම් , ඔබ සඳහන් කරන ලෙසට භෞතිකව කර්මාන්ත ශාලාවේ වැටුප් ලේඛනයේ සිටින කමිකරුවන් ගණනයි.//

      හොඳ ප්‍රශ්නයක්. මේ කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය වෙනස් විවිධ සන්දර්භ වලදී භාවිතා කරනවා. එහි ආරම්භක, මූලික ස්වරූපයෙන් ගත්තොත් L යනු ශ්‍රමිකයන්ගේ ප්‍රමාණයයි. නමුත් එසේ උපකල්පනය කළ විට සෑම ශ්‍රමිකයෙකුම එක සේ ඵලදායීය යන උපකල්පනය එහි තිබෙනවා. මේ ලිපියේ කතා කර තිබෙන ආන්තික සන්දර්භයන් ගැන කතා කරන අවස්ථාවකදී (මම එසේ සැලකුවේ නැතත්) එසේ ගැනීමේ ලොකු වැරැද්දක් නැහැ. මොකද නිෂ්පාදන තාක්ෂනය ඉතාම නොදියුණු අදියරකදී (ඓතිහාසික භෞතිකවාදයේ ආදී කොමියුනිස්ට් තත්ත්වය වැනි) මිනිසුන් එකිනෙකා අතර තිබෙන ශ්‍රම බලයේ වෙනස්කම් එතරම් විශාල නැහැ. ස්වභාව ධර්මයට සාපේක්ෂව හැමෝම "සොක්කෝ". ඒ වගේම, හැම දෙයක්ම වගේ යන්ත්‍ර වලින් හෝ ස්වයංක්‍රීය ලෙස කර ගත හැකි මනඃකල්පිත අනාගත ලෝකයකදීත් යන්ත්‍ර වලට සාපේක්ෂව මිනිසුන් කවුරුත් "සොක්කෝ" වීමේ හැකියාවක් තිබෙනවා.

      එහෙත්, ඒ අතර වර්තමාන ලෝකයේ නිෂ්පාදන තාක්ෂනය ගත්තොත් හැම ශ්‍රමිකයෙක්ම සමාන නැහැ. පුද්ගලයින් දෙන්නෙක් එකිනෙකා පැයක් වැඩ කරද්දී (මහන්සිය සමාන විය හැකි වුවත්) යෙදවෙන ශ්‍රම බලය වෙනස්. වැඩි අධ්‍යාපනයක්, පුහුණුවක් තිබෙන කෙනාගේ පැයක ශ්‍රම බලය වැඩියි. ඒ නිසා, ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය වැඩියි. ධනවාදී ක්‍රමයකදී ලැබෙන වැටුපත් වැඩියි. ධනවාදී ක්‍රමයකදී අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් මුදල් අය කිරීම සාධාරණ වන්නේ මේ පදනමින්. අධ්‍යාපනය හා සෞඛ්‍යය කියන්නේ ශ්‍රම බලය වැඩි කිරීමට කරන ආයෝජනයක්. ඒ ආයෝජනය වෙනුවෙන් ප්‍රතිලාභ පෞද්ගලිකව ලැබෙන නිසා එහි මිලත් පෞද්ගලිකව ගෙවිය යුතුයි.

      සාමාන්‍යයෙන් කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතයේ ස්වරූපයට බොහෝ අවස්ථා වලදී H විචල්‍යයක්ද එකතු කරනවා. එවිට මූලික ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය (මෙය ශ්‍රමිකයින් ගණනට සමානුපාතිකයි), මානව ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය හා භෞතික ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය ලෙස ප්‍රතිලාභ කොටස් තුනකට කැඩෙනවා. මම H වෙනම විචල්‍යයක් ලෙස එකතු කළේ නැති නිසා එම කොටසත් තියෙන්නේ L ඇතුළේ. ඒ නිසා, L ඇත්තටම ශ්‍රම බලය නියෝජනය කරන වියුක්ත අදහසක්. එය ශ්‍රම බලයේ සාමාන්‍ය අගය ලෙස සලකන්න පුළුවන්.

      ඇත්තටම මේ කොටස ඔබේ ප්‍රශ්නයට පිළිතුරක් ලෙස අවශ්‍යම කොටසක් නෙමෙයි. ඔබ ප්‍රශ්නය අසා තිබෙන සන්දර්භයේ L යනු ශ්‍රමිකයන්ගේ ප්‍රමාණය හෙවත් භෞතිකව කර්මාන්ත ශාලාවේ වැටුප් ලේඛනයේ සිටින කම්කරුවන් ගණන ලෙස සැලකීමේ ලොකු වැරැද්දක් නැහැ.

      //නමුත් ප්‍රාග්ධනය යනුම ශ්‍රම ශක්තියේ/labour power තවත් ආකාරයක් ලෙස ගත් විට L සහ K ගුණිතයක්/product නොවී ඓක්‍යයක් විය යුතු නොවේද?//

      ඔබ යෝජනා කරන ආකාරයේ ඕනෑම ශ්‍රිතයක් පහත ආකාරයෙන් නිරූපණය කළ හැකියි. මෙහි a හා b වෙනස් වන ආකාරය අනුව මේ කුලකයට අයත් විවිධ නිෂ්පාදන ශ්‍රිත තිබිය හැකියි. a:b අනුපාතය ශ්‍රමය ප්‍රාග්ධනය බවට පරිවර්තනය වන අනුපාතය ලෙස (වියුක්ත ලෙස) සැලකිය හැකියි.

      Y = aK + bL

      මේ ශ්‍රිතය දෙස බැලූ වහාම එහි තිබෙන අඩුපාඩුව පේනවා. ශ්‍රිතය අනුව L=0 ලෙස තිබියදී අපට K පමණක් යොදා ගෙන Y අවශ්‍ය තරම් වැඩි කළ හැකියි. ඒ වගේම, K=0 ලෙස තිබියදී L පමණක් යොදාගෙන Y අවශ්‍ය පමණ වැඩි කරන්නත් පුළුවන්. දැන් තිබෙන කර්මාන්ත කිසිවකට මේ වගේ ආකෘතියක් ගැලපෙන්නේ නැහැ. මිනිස්සු කොයි තරම් හිටියත් මහන මැෂිම් එකක්වත් නැතුව ඇඟලුම් නිපදවන්න බැහැ. මෘදුකාංග ඉංජිනේරුවෝ කොපමණ හිටියත් පරිගණක නැතිව මෘදුකාංග හදන්න බැහැ. නිෂ්පාදනයක් කිරීමට K සහ L දෙකම අවශ්‍යයි. දෙකෙන් එකක් පමණක් වැඩි කළ විට සමානුපාතිකව නිෂ්පාදිතය ඉහළ යන්නේ නැහැ.

      ඉහත ආකාරයේ ශ්‍රිතයක් ගැලපෙන්නේ කිසියම් නිෂ්පාදන කර්මාන්තයක් සඳහා ශ්‍රමය හා ප්‍රාග්ධනය පරිපූර්ණ ආදේශක වූ විට පමණයි. ඒ වගේම කිසියම් නිෂ්පාදන කර්මාන්තයක් සඳහා ශ්‍රමය හා ප්‍රාග්ධනය පරිපූර්ණ අනුපූරක (perfect complements) වූ විට ලියෝන්ටිෆ් නිෂ්පාදන ශ්‍රිතය ගැලපෙනවා. ප්‍රායෝගිකව සැබෑ ලෝකයේ කිසිම නිෂ්පාදන කර්මාන්තයකට ශ්‍රමය හා ප්‍රාග්ධනය පරිපූර්ණ ආදේශක හෝ පරිපූර්ණ අනුපූරක වෙන්නේ නැහැ. හැම කර්මාන්තයකටම වගේ ශ්‍රමය හා ප්‍රාග්ධනය අසම්පූර්ණ ආදේශක වගේම අසම්පූර්ණ අනුපූරකද වන නිසා එම තත්ත්වයට වඩාත්ම ගැලපෙන්නේ කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය වැනි ශ්‍රිතයක්.

      Delete
    2. //මෙම කම්කරුවන්ගේ ශ්‍රම පැය ගණන නොහොත් භාණ්ඩය නිශ්පාදනය සඳහා යොදා ගන්නා ක්ෂමතාවය;
      ක්ෂමතාවය =ශක්තිය/කාලය J/s ලෙස මෙය යොදා නොගන්නේ ඇයි?//

      ඔබේ අදහස ද්‍රව්‍යවාදී අදහසක්. සරලම පිළිතුර මිනිස්සු ශක්තිය යෙදවූ පමණින් අතිරික්ත වටිනාකම් නිර්මාණය වෙන්නේ නැහැ. ඒ වගේම යොදවන ශක්තිය වැඩි නොකර අතිරික්ත වටිනාකම් නිර්මාණය කළ හැකියි. මෙය ධනවාදයේ පදනමේ තිබෙන ද්‍රව්‍යවාදී පදනමක සිට තේරුම් ගත නොහැකි කරුණක්. ඇමරිකාවේ මිනිස්සු ලංකාවේ මිනිස්සුන්ට වඩා කාර්යක්ෂම ඇමරිකාවේ මිනිස්සු ලංකාවේ මිනිස්සුන්ට වඩා මහන්සි වී වැඩ කරන නිසා නෙමෙයි. සමහර විට එය එසේ විය හැකි වුවත් එහි බලපෑම ඉතා සුළුයි. ධනවාදයේදී ඵලදායීත්වය කියා කියන්නේ ක්ෂමතාවය එසේම තිබියදී නිෂ්පාදිතය වැඩි කර ගැනීමටයි. ව්‍යවසායකත්වය කියන්නේ ඒකටයි. ව්‍යවසායකත්වය වෙනුවෙන් ලබන ප්‍රතිලාභ ප්‍රාග්ධනය වෙනුවෙන් ලබන ප්‍රතිලාභ වලට වඩා වෙනස්. මෙහිදී වෙන්නේ ලෝකයට කලින් නොතිබුණු අලුත් දැනුමක් (හෝ එවැනි දෙයක්) නිර්මාණය කිරීමක්. සකර්බර්ග් වගේ අය ධනවත් වී තිබෙන්නේ ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ හෝ ශ්‍රමයේ ප්‍රතිලාභ වලින් නෙමෙයි. මේක මාක්ස්වාදීන්ට මග ඇරෙන කොටසක්. මාක්ස්වාදීන්ට අනුව සකර්බර්ග් නොහිටියත් ද්‍රව්‍ය අතර අන්තර්ක්‍රියා වල ප්‍රතිඵලයක් ලෙස වෙන කවුරු හෝ අතින් ෆේස්බුක් එක හැදෙනවා. ඒ නිසා සකර්බර්ග් විශේෂ දෙයක් කළ පුද්ගලයෙක් නෙමෙයි. මාක්ස්වාදය අනුව වටිනාකම් නිර්මාණය වෙන්නේ යොදවන ශ්‍රමය නිසා. ප්‍රාග්ධනය වුනත් ශ්‍රමයේ ස්වරූපයක් නිසා, අතිරික්තය හැදෙන්නේ ශ්‍රමය හා ප්‍රාග්ධනය තුළ තිබෙන ශක්තිය නිසා පමණක්ය කියන අදහස මතු වෙනවා. නමුත්, ධනවාදය අනුව වටිනාකම භෞතික නොවන, පුද්ගලයාට සාපේක්ෂ දෙයක් නිසා ගනුදෙනුවක් සිදුවන හැම විටකම වටිනාකමක් අලුතින් ජනනය වෙනවා. එහිදී අතිරික්ත වටිනාකමක් ජනනය වුවත් ශක්තිය වැය කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ.

      ඔබේ ප්‍රශ්නය මීට වඩා සරල එකක්නම් හෝ එහි සරල මානයක් තිබේනම් කෙටි පිළිතුරක් දෙන්න පුළුවන්. ඇත්තටම L කියා කියන්නේ වැඩ කරන පැය ගණන. ශ්‍රමයේ ශ්‍රම බලය මත වගේම යොදවන කාලය අනුවත් L වෙනස් වෙනවා. සංසන්දනයක් කිරීමේදී එක් ශ්‍රමිකයෙකු යොදවන පැය ගණනේ වෙනස්කම් වල බලපෑම එතරම් වැදගත් නැත්නම් හෝ දත්ත නැත්නම් L ශ්‍රමිකයින් ගණන ලෙස සරලව සැලකිය හැකියි. පෙබරවාරි 19 ලිපියේ ඇස්තමේන්තු සකස් කිරීමේදී රටවල් අතර ශ්‍රමයේ ගුණාත්මක භාවයේ වෙනස්කම් වගේම වසරකට වැඩ කරන පැය ගණන් වල වෙනස්කම්ද (නිවාඩු වල බලපෑම ඇතුළුව) සලකා බලා තිබෙනවා.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: