වෙබ් ලිපිනය:

Wednesday, February 3, 2021

මිනිස්සුන්ගේ ප්‍රශ්න


මිනිස්සුන්ට විවිධ අවශ්‍යතා තිබෙනවා. මිනිස්සු මේ අවශ්‍යතා සපුරා ගන්න නිරන්තර අරගලයක යෙදී ඉන්නවා. තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීම අසීරු වීම මිනිස්සුන්ට තිබෙන ලොකු ප්‍රශ්නයක්. ඇත්තටම කියනවානම් ප්‍රශ්නයක් නොකියා ප්‍රශ්නය කියා කියන්න වුනත් පුළුවන්. මිනිස්සුන්ගේ ප්‍රශ්නය!

මිනිස්සුන්ට අවශ්‍යතා ඇති වන්නේ ඇයි? ජීවත් වෙන්න කියලා කවුරු හරි කියන්න පුළුවන්. වැරදි පිළිතුරක් නෙමෙයි. මිනිස්සුන්ගේ අවශ්‍යතා හැම එකකම වගේ අවසාන අරමුණ පැවැත්ම තහවුරු කර ගැනීම. මිනිස්සුන්ගේ ප්‍රශ්න කියා කියන්නේ මිනිස්සුන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීම පිළිබඳ ප්‍රශ්න.

මිනිස්සුන්ගේ අවශ්‍යතා හා මිනිස්සුන්ගේ ප්‍රශ්න අහම්බ නෙමෙයි. මිනිස්සු ඉපදෙන්නේම මේ ප්‍රශ්න අරගෙන. ප්‍රශ්න තිබෙන්නේ අපේ ජාන වල. මිනිස්සුන්ට වියුක්තව හිතන්න පුළුවන්කමක් නොතිබුණානම් ජාන වලින් අරන් එන ප්‍රශ්න වලට පරිණාමය විසින්ම විසඳුම් ලබා දෙන තුරු අවුලක් නැතුව මිනිස්සු මේ ප්‍රශ්න එක්ක ජීවත් වෙන්න ඉඩ තිබුණා. ප්‍රශ්නයක් ගැන නොහිතන තාක් එය ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

ජීවත් වීම කියන එකට ජීවත් නොවීමද ඇතුළත්. ජීවත් වීම නිසා ඇති වන ප්‍රශ්න වලට තිබෙන එක් විසඳුමක් වන්නේ ජීවත් නොවීමයි. ප්‍රශ්න වැඩි පැවැත්මක් පවතින්න තිබෙන ඉඩ අවම කරමින් ප්‍රශ්න අඩු පැවැත්මක් පවතින්න තිබෙන ඉඩ වැඩි කිරීම හරහා ප්‍රශ්න විසඳීම පරිණාමයේ ක්‍රමයයි.

ජීවත් නොවීම කියන්නේ මැරෙන එක නෙමෙයි. ඉපදුනු මිනිස්සුන්ට ප්‍රශ්න එක්ක ජීවත් වෙන්න වෙනවා. සමහර මිනිස්සුන්ට වෙනත් මිනිස්සුන්ට සාපේක්ෂව වැඩිපුර ප්‍රශ්න එක්ක ජීවත් වෙන්න වෙනවා. පරිණාමය විසින් කරන්නේ වෙනත් මිනිස්සුන්ට සාපේක්ෂව වැඩිපුර ප්‍රශ්න එක්ක ජීවත් වෙන්න ඉඩ තිබෙන මිනිස්සු ඉපදෙන එක වලක්වන එක. කිසියම් ප්‍රශ්නයක් එක්ක ඉපදෙන මිනිස්සු ඉපදෙන එක නැවතුනාම අදාළ ප්‍රශ්නයත් නැතුව යනවා. මිනිස්සුන්ට වගේම සත්තුන්ට හා ගහකොළ වලටත් මේ කතාව අදාළයි.

මිනිස්සුන්ට වියුක්තව හිතන්න පුළුවන් නිසා අවශ්‍යතා වගේම ප්‍රශ්නත් ඇති වී තිබෙනවා. මිනිස්සුන්ට ආහාර නොමැතිකම ප්‍රශ්නයක් වෙන්නේ බඩගිනි එන නිසාම නෙමෙයි. ආහාර අඩුවක් නැති, බඩගිණි නැති, නොපවතින තත්ත්වයක් ගැන වියුක්තව හිතලා පවතින තත්ත්වය එක්ක සංසන්දනයක් කරන්න පුළුවන් නිසා. ලෙඩ රෝග ප්‍රශ්නයක් වෙන්නේ නිරෝගී ජීවිතයක් ගැන හිතලා පවතින තත්ත්වය එක්ක සංසන්දනයක් කරන්න පුළුවන් නිසා. මරණය ප්‍රශ්නයක් වෙනවානම් වෙන්නේ අමරණීයත්වයක් ගැන වියුක්තව හිතන්න පුළුවන් කෙනෙක්ට. 

කෑම කියා කියන්නේ මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවයක්. මිනිස්සු වැඩි පුර කැමති රස කෑමක් කන්නයි. මේ රස කෑම බොහොමයක් එක්කෝ සීනි, එහෙමත් නැත්නම් තෙල් අධික ආහාර. පොදුවේ ගත්තහම කැලරි අධික ආහාර. මෙය අහම්බයක් නෙමෙයි. අවුරුදු ගණනක් තිස්සේ කැලරි අධික ආහාර වැඩිපුර ගන්න තිබෙන කැමැත්ත මිනිස්සුන්ගේ පැවැත්ම තහවුරු කරලා තිබෙනවා.

මිනිස්සුන්ට තිබෙන ලොකුම ප්‍රශ්නයක් වන්නේ වයසට යන එක. තරුණ වයසේ දිගටම ඉන්න බොහෝ මිනිස්සු කැමතියි. හැබැයි වයසට යන්න කැමති පිරිසකුත් ඉන්නවා. ඒ වයසෙන් අඩු ළමයි. යම් වයසක් දක්වා ළමයින්ට අවශ්‍ය ඉක්මණින් ලොකු වෙන්න. වයසින් වැඩෙන්න. හැබැයි ඉන් පසුව අවශ්‍ය වන්නේ වයසින් නොවැඩී තරුණ වයසේ දිගටම ඉන්න. මේ තරුණ වයස කියන්නේ මොකක්ද? වර්ගයා බෝ කළ හැකි වයස. මේ වයසේ දිගටම ඉන්න තිබෙන කැමැත්ත හෝ අවශ්‍යතාවය පැවැත්ම තහවුරු කිරීමට සෘජුවම අදාළ පරිණාමික කරුණක්. 

මිනිස්සුන්ගේ තවත් ප්‍රශ්න විශාල ප්‍රමානයක් ලිංගික අවශ්‍යතා වලට සම්බන්ධයි. මේ ප්‍රශ්න අපි ඉපදෙන කොටම අරගෙන එන ප්‍රශ්න. අපට උරුම වී තිබෙන්නේ වැඩි වැඩියෙන් ජනිතයින් බෝ කළ අයගේ ජාන මිසක් ඔය වැඩේට කම්මැලි වූ අයගේ ජාන නෙමෙයි.

ඇඳුම් පැළඳුම් කියන්නේත් මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක්. මිනිස්සු ඇඳුම් අඳින්නේ ඇයි? ශීතලෙන් ආරක්ෂා වෙන්න වගේ කතා කියන්න පුළුවන්. සමහර විට ඇඳුම් අඳින්නේ ශීතලෙන් ආරක්ෂා වෙන්න විය හැකියි. නමුත්, අපි ගොඩක් වෙලාවට ඇඳුම් අඳින්නේ ශීතලෙන් ආරක්ෂා වෙන්නද? 

අපට ඇඳුම් පැළඳුම් අවශ්‍ය වන්නේත් ප්‍රධාන වශයෙන්ම විරුද්ධ ලිංගිකයින් ආකර්ශනය කර ගන්නයි. මිනිස්සුන්ට ඇඳුම් කියා දෙයක් ගැන වියුක්තව හිතන්න පුළුවන් නොවුනානම් ජාන විකෘතියක් වෙලා පාට පාට හම් තියෙන මිනිස්සු හැදෙන තුරු, එහෙම නැත්නම් පාට පාට පිහාටු හරි ලොම් හරි හැදෙන තුරු මිනිස්සුන්ට වසර ලක්ෂ ගණනක් බලා ඉන්න වෙනවා. ඇඳුම් හොයා ගැනීම හරහා මිනිස්සු මේ වැඩේ ඉතා කෙටි කාලයක් තුළ කරගෙන තිබෙනවා.

මිනිස්සුන්ට ගෙවල් මොකටද? පරිමාණය අපට පරිසරයට උචිත විදිහට හැඩ ගැහෙන්න උදවු කරනවා. ගෙවල් හදා ගැනීම කියා කියන්නේ පරිසරයට උචිත විදිහට හැඩ ගැහෙනවා වෙනුවට උචිත විදිහට පරිසරය වෙනස් කර ගැනීමේ මූලික පියවරක්. අන්තිමට වෙන්නේ පරිසරයට අවශ්‍ය විදිහට අපි වෙනස් වෙන්නේ නැතිවම, පරිසරයට උචිත විදිහේ පැවැත්මක් හදා ගැනීම. 

මිනිස්සුන්ගේ මුල් වාසස්ථාන වුනේ ගල් ගුහා වගේ ස්වභාවික තැන්. මෙහිදී සිදු වුනේ පරිසරයට උචිත ලෙස වෙනස් වීම වෙනුවට වඩා උචිත තැනක වැඩි වෙලාවක් ජීවත් වීමේ විකල්පය තෝරා ගැනීම. පසුව මෙය වඩා උචිත තැන් නිර්මාණය කරගෙන ජීවත් වීම දක්වා වැඩි දියුණු වුනා. මිනිස්සුන්ට ලොකු ගෙවල් අවශ්‍ය ඇයි? ලොකු ගෙයක් කියා කියන්නේ ජීවත් වීම සඳහා වඩා උචිත වඩා විශාල අවකාශයක්. ජීවත් වීමට වඩා උචිත හදාගත් ගෙයක වැඩි කාලයක් ගෙවනවා කියන්නේ පරිසරයට උචිත ලෙස වෙනස් වීමට විකල්පයක්. මේ වැඩෙන් අවසාන වශයෙන් වෙන්නේත් පැවැත්ම තහවුරු වීම.

මිනිස්සුන්ට වාහන මොකටද? ජීවත් වෙන්න වඩා උචිත තැනක් හොයා ගත්තා හෝ හදා ගත්තා කියලා හැම වෙලාවේම එතැනම ඉන්න බැහැ. ජීවත් වීමට උචිත විදිහට මුළු පෘතුවියම වෙනස් කර ගන්න එකත් කරන්න අමාරුයි. ජීවත් වෙන්න අඩුවෙන් සුදුසු තැනක ඉඳලා ජීවත් වෙන්න වඩා සුදුසු තැනකට හැකි ඉක්මණින් පැමිණීමේ හැකියාව හරහා වැඩි වෙලාවක් වඩා සුදුසු තැනක ඉන්න ඉඩ සලසනවා. ඒ නිසා, ප්‍රවාහන පහසුකම් වැඩි දියුණු වන තරමට පැවැත්ම වඩා තහවුරු වෙනවා.

කෑම බීම, ඇඳුම් පැළඳුම් වගේම ලොකු ගෙයක්, ලොකු වාහනයක් මිනිස්සුන්ට අවශ්‍ය වෙන්නේත් මේ දේවල් වලින් පැවැත්ම තහවුරු කරන නිසා. මිනිස්සුන්ගේ අවශ්‍යතා හැම එකකින්ම වගේ කරන්නේ ඔය වැඩේ. ගෙදරට රෙදි සෝදන යන්ත්‍රයක් අවශ්‍ය වෙන්නේ අපිරිසිදු ඇඳුම් ඇඳීම පැවැත්මට හානිකර නිසා. ශීතකරණයක් අවශ්‍යවෙන්නේ නරක් වූ ආහාර පැවැත්මට හානිකර නිසා.

මිනිස්සුන්ට තමන්ගේ පැවැත්ම තහවුරු කරන දේවල් ගැන වියුක්තව හිතන්න පුළුවන් වූ තරමට ඒ දේවල් කර ගන්න අමාරුයි. මිනිස්සුන්ගේ ගොඩක් ප්‍රශ්න වලට මුල මේකයි. අලුත් වාහනයක් ගන්න අවශ්‍ය වුනාට සල්ලි නැහැ. වයසට නොහිහින් ඉන්න කැමති වුනාට වයසට යනවා. මේ හැම දෙයක්ම ප්‍රශ්නයක් වන්නේ පවතින තත්ත්වය හා නොපවතින වියුක්ත තත්ත්වයක් අතර පරතරයක් තිබීම මත.

මිනිස්සුන්ගේ ප්‍රශ්න කියන ඒවා මිනිස්සු විසින්ම හදා ගන්න ප්‍රශ්න. ගෙදර ශීතකරණයක් නැති එක ප්‍රශ්නයක් වෙන්නේ ශීතකරණයක් ගෙදර තිබෙන වියුක්ත තත්ත්වයක් හිතෙන් මවාගෙන සංසන්දනයක් කිරීම එක්ක. ඉන් පසුව, මේ වියුක්ත තත්ත්වය පවතින තත්ත්වයක් බවට පත් කර ගැනීමේ සිහිනයක්, ඉලක්කයක් හා උත්සාහයක් ඇති වෙනවා. හැම වෙලාවකම ඉලක්කයට යන්න බැරි වෙන්න පුළුවන්. නමුත්, මිනිස් සංහතිය දියුණු වෙන්නේ මේ වගේ සිහින හඹා යාමේ ප්‍රතිඵලයක් විදිහටයි. 

නොපවතින තත්ත්වයක් ගැන සිහින මැවීමේ කිසිම වැරැද්දක් නැහැ. සමහර නොපවතින තත්ත්වයන් නොපැවතිය හැකි තත්ත්වයන් වෙන්න පුළුවන්. එහෙත්, හිතෙන් මවා ගත හැකි හැම නොපවතින තත්ත්වයක්ම නොපැවතිය හැකි තත්ත්වයන් නෙමෙයි. ඉතිහාසය පුරාම මිනිස්සු නොපවතින තත්ත්වයන් පවතින තත්ත්වයන් බවට පත් කරගෙන තිබෙනවා. හැම විටම වගේ මෙහි මුල් අදියර මිනිසෙකුගේ වියුක්ත සිතීම හරහා බිහි වන සිහිනයක්.

5 comments:

  1. සිහින නිසා ඇති විය අපගේ දියුණ
    සීමා නැති නිසා වුණිවද පිරිහෙන්න
    මිහි මව අපේ විතරද මට පවසන්න
    ඉඩ දෙමු සිතනු බැරි අයටත් පවතින්න

    ReplyDelete
  2. නාගර්ජුනFebruary 3, 2021 at 11:16 PM

    ඒ කියන්නෙ ප්‍රතිඵල සහ ප්‍රතිවිපාක තියන පට්ටපල් බොරු.ඔය පට්ටපල් බොරු වලින් ප්‍රතිඵල විතරක් ලැබුනනං අප්පා...
    හීනෙක උනත් මොකෝ කාමෙ ලැබෙනවනං...

    ReplyDelete
  3. පුංචි අපේ එංගලන්තේ

    අපේ රටට කියන්නේ ලංකාව කියලා. නිකම් ම නිකම් ලංකාව නෙවෙයි - ශ්‍රී ලංකාව. දූපතකට කියන්න ඕන ලංකාව කියලා තමයි. මොකද “ලංකාව” කියන වචනයේ තේරුම “දූපත” කියන එකනේ. ඉතින් ශ්‍රී ලංකාව කියලා කිව්වාම මහා ශ්‍රේෂ්ඨ දූපතක් කියන එක ඒකෙන් කියැවෙනවා. ඒත් මේ ශ්‍රේෂඨ දූපතේ ඉන්න අපේ කට්ටිය කැමැති, මීටත් වඩා ශ්‍රේෂ්ඨ රටක් තියෙනවා. ඒකට කියන්නේ මහා බ්‍රිතාන්‍යය කියලා. මේ රටට මහා බ්‍රිතාන්‍යය කියලා කියන්නේ නැතුව “ශ්‍රේෂ්ඨ බ්‍රිතාන්‍යය” එහෙමත් නැති නම්, “ශ්‍රී බ්‍රිතාන්‍යය” කියලා කියන්න බැරි ද?

    මහා බ්‍රිතාන්‍යය කියලා කියන්නෙත් දූපතකට. ඒක එක්සත් රාජධානිය කියලා කියන රටෙන් කොටසක්. ඔය වටේ තියෙන පොඩි පොඩි දූපත් ඇරුනාම එංගලන්තය, වේල්සය, ස්කොට්ලන්තය කියන “රටවල්වලින්” වැඩි බිම් ප්‍රමාණයක් තියෙන්නේ මේ “මහා බ්‍රිතාන්‍යය” කියන දූපතේ. මේ ලංකාවේ ඉන්න අපිට නම් ඔය වේල්සය, ස්කෝට්ලන්තය වගේ ඒවා ගැන වැඩි නිනව්වක් නෑ. අපි ඔය ඔක්කොට ම කියන්නේ එංගලන්තේ කියලා. කොහොම වුනත් පුංචි ලංකාවේ ඉන්න අපිට එංගලන්තේ කියලා කියන්නේ කොදෙව්වක් නෙවෙයි. ඒ දූපතේ ඉන්නේ අපි වගේ දූපත් මානසිකත්වයෙන් කොටුවෙච්ච අය නෙවෙයි. අපි වුනත් ලෝකය කියලා කියන්නේ ඒ අය හදලා දීලා තියෙන එකකටනේ.

    අපි වාහන එළවන්නෙත් එංගලන්තේ මිනිස්සු එළවන විදිහට. ඒ වගේ ශ්‍රේෂ්ඨ පුරුදු හුරුවෙන එකේ වැරැද්දක් නැහැ. ඒත් මේ ලෝකයේ ගොඩක් රටවල්වල මිනිස්සුන්ට ඒ වාසනාව නෑ. මේ ලෝකයේ තියෙන රටවල් 163 ක ම මිනිස්සු වාහන එළවන්නේ පාරේ දකුණු පැත්තෙන්. හොඳ පුරුදු හුරුවෙන්න වාසනාවක් නො ලැබුණාම ඔහොම තමයි. ඒත් මහා බ්‍රිතාන්‍යයට පිංසිද්ද වෙන්න වනචාරි ගති නැති කරගත්ත රටවල්වල අයට ඒ දුක නෑ. මේත් එක්ක පළ කරන සිතියම බලන්න.

    ජපානය, තායිලන්තය, සුරිනාමය කියන රටවල් තුන අරුනා ම වම් පැත්තෙන් වාහන එලවන අපේ හැම රටක් ම මහා බ්‍රිතාන්‍යයේ උතුමන්ලාගේ පාදස්පර්ශයේ පහස ලබන්න තරම් වාසනාවන්ත වෙලා තියෙනවා. ඒ උතුම් ආභාසය නො ලැබුණා නම්, අපිටත් වාහන එළවන්න වෙන්නේ පාරේ දකුණු පැත්තෙන් තමයි. මදැයි. පුදුම බේරිල්ලක්නේ අපි බේරිලා තියෙන්නේ.

    ඔය මොකක් හරි පොට්ට චාන්ස් එකක් වැදිලා තායිලන්තයේ මිනිස්සු පාරේ වම් පැත්තෙන් වාහන එළෙව්වාට සමහර පැතිවලින් ඒ අය තාමත් හරි ම පසුගාමියි. හොඳ ම උදාහරණය තමයි තායිලන්තයේ මහ බැංකුව තායි භාෂාවෙන් ප්‍රසිද්ධ කරන වාර්ෂික වාර්තාව. ඒ වාර්තාවේ තාමත් ලියන්නේ බුද්ධ වර්ෂ කියලා. උදාහරණයක් විදිහට 2017 අවුරුද්දට නිකුත් කරපු වාර්තාවේ හැම තැන ම තියෙන්නේ 2560 කියලා. මොන තරම් පසුගාමී මිනිස්සු කොට්ඨාශයක් ද?

    ලොකේ ජනගහනයෙන් පහෙන් පංගුවක් ම චීන්නු. ඒත් උන් ඉංග්‍රීසියෙන් ලියන වාර්තාවල විතරයි මිලියන, බිලියන, ට්‍රිලියන ගැන කතාකරන්නේ. චීනෙන් තාමත් ගණන් හිලව් කියන්නේ අර පරණ ක්‍රමයටමයි. ක (1 – 9), ෂි (10 – 99), පැයි (100 – 999), ඡියැන් (1000 – 9999), වන් (10000 – 99999999) විදිහට ගණන් හිලව් කියනවා. මොන තරම් පසුගාමී ද?

    අපි එහෙම නෑ. බලන්න ශේක්ෂ්පියර් දිහා. එහෙම කෙනෙක් මේ තුන් ලෝකයේ වෙනත් කිසිම තැනක, කිසිම දවසක පහළවෙලා නැති බව අපි දන්නවා. අපේ මුළු අධ්‍යාත්මය ම ඒ උත්තමයාගේ නිර්මාණ රස විඳලා පෝෂණය කරගන්න පුළුවන්. කරුමේ තියෙන්නේ අපේ හුඟක් එවුන්ට තාමත් ඉංග්‍රීසි බෑනේ. ගෙඩි පිටින් අවුරුදු දෙසීයකටත් වඩා ආශ්‍රය කරලාත් ඒ වගේ භාෂාවක් ඉගෙනගන්න බෑ කියලා කියන්නේ ඉතින් කරුමේ තමයි.

    කොහොම වුනත් අපිට පුළුවන් චීන්නුන්ට වඩා හොඳින් ඉංග්‍රීසි කතාකරන්න. ඒ අතින් අපි වගේ දියුණුවෙන්න චීන්නුන්ට මේ සම්ම කපේ බැරිවෙයි. උන්ට ඉංග්‍රීසි බැරිවෙන්න හේතුවෙච්ච මූලික කාරණයක් තියෙනවා. ඒ තමයි හැම වචනයකට ම චීන වචන හදන කර්මාන්තය. වෑන් එකකට, බස් එකකට කියන වචනවත් ඉංග්‍රීසි භාෂාවෙන් කියන්න බැරි ඇයි? තියෙන ඔලමොට්ටලකම තමයි ඉතින්.

    අපි එහෙම නෑ. ඔය ලක්‍ෂ, කෝටි මඟුල් කිය කියා ඉන්නේ මේ ලෝකය යන පැත්ත ගැන දන්නේ නැති ළිං මැඩියෝ. සිය දහස්, මිලියන, බිලියන, ට්‍රිලියන කියලා කියද්දි තමයි නියම ඉන්ටර්නැෂනල් ගතියක් තියෙන්නේ. දෙලක්‍ෂ තිස් පන්දාහයි කියලා කියනවාට වඩා දෙසිය තිස් පන්දාහයි කියලා කිව්වොත් තමයි මිනිස්සුන්ට ඒක තේරුම් කරවන්න පුළුවන්. දෙසිය තිස් පන්දාහ කියලා කියන එක කාට හරි තේරුම්ගන්න බැරි නම් ඒක ඉතින් ඒ මනුස්සයාගේ අඩුපාඩුවක්. පවට පිං දෙන්න බෑනේ.

    අපි අපේ උරුමය අත් අරින්න හොඳ නෑ. මේ වගේ උතුම් උරුමයක් ලබාගන්න හැම රටකට ම වාසනාවක් ලැබුණේ නැහැනේ. පුංචි අපේ එංගලන්තේ හැම එකෙක්ට ම දෙන්න ඕනත් නෑ. ඒක අපේ!

    ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

    ReplyDelete
    Replies
    1. ලංකාවට චීන ජාතිකයන් මිලියනයක් පමණ ගෙන්වාගෙන පදිංචිකල යුතුයි. ඔවුන් සිංහලජාතිය සමඟ මිශ්‍රවී වඩා දියුණු සිංහල ජාතියක් සෑදෙයි. 1815න් පසු සිංහලයාට අහිමිවූ දේ නැවත ලබාගැනීමට එය උපකාරිවෙයි.

      Delete
    2. ගරු අ.බහිජටා තුමණි, 1815 දී සිංහලයාට අහිමි වූ දේවල් 10 ක් පමණ නම් කරනවද? කරුණාකර මෙය උපහාසය හෝ අපහාසය පිණිස ඇසූවක් නොවන බව සලකන්න.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: