වෙබ් ලිපිනය:

Tuesday, February 16, 2021

විණිමය හුවමාරු ගිවිසුම් හා ණය


මම හිතන්නේ විණිමය හුවමාරු ගිවිසුම් කියන වචනය පහුගිය දවස් වල ලංකාවේ ගොඩක් අයට ඇහෙන්න ඇති. සමහර මාධ්‍ය වල පළ වී තිබුණු හැටියට ලංකාව ඉන්දියාවෙන් අරගෙන තිබුණු ඩොලර් මිලියන 400ක ණයක් වහාම ගෙවන්න කියලා ඉන්දියාව ඉල්ලලා තිබෙනවා. ඔය ගැන ලංකාවෙන් වගේම ඉන්දියාවෙන්ද පැහැදිලි කිරීම් කෙරුණා. ඊට පස්සේ දැන් චීනයෙන් ඩොලර් මිලියන 1,500ක ණයක් ගන්න යන කතාවකුත් ඇහෙනවා. ඔය කතා දෙකම එක්ක විණිමය හුවමාරු ගිවිසුම් කියන වචනයත් ඇහෙන බව ටිකක් හොයා බැලුවොත් පෙනෙයි.

මේ විණිමය හුවමාරු ගිවිසුම් කියන්නේ මොනවාද? ඒවා ණය නෙමෙයිද? අයිඑෆ්එම් හෙවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ගන්න ණය ගැනත් ඔය වගේම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මේ ගැන මීට කලිනුත් පැහැදිලි කරලා තියෙනවා. නමුත්, ගොඩක් අයට මෙය තවමත් පැහැදිලි නැති නිසා, විශේෂයෙන්ම වෙන තැන් වල නැවත පළවීමෙන් පසුව මේ ලිපි කියවන අයත් දැන් ගොඩක් ඉන්න නිසා, අපි මේ ගැන නැවතත් පැහැදිලි කර ගනිමු.

පළමුව රාජ්‍ය ණය හා විදේශ ණය අතර වෙනස නැවත පැහැදිලි කරන්නම්.

රාජ්‍ය ණය කියන්නේ රජය විසින් ලබා ගන්නා ණය. මේ ණය විදේශ ණය හෝ දේශීය ණය විය හැකියි. ඒ වගේම, විදේශ ණය කියන්නේ ලංකාවේ කවුරු හෝ විසින් විදේශයකින් ගන්නා ණය. ණය ගන්නේ රජය, පුද්ගලයෙක් හෝ සමාගමක් වෙන්න පුළුවන්. ලංකාවේ රාජ්‍ය ණය අර්බුදය හා විදේශ ණය අර්බුදය එකිනෙකට සම්බන්ධ වුනත් මේ දෙක දෙකක්. 

රාජ්‍ය ණය ඉහළ යාමේ ප්‍රශ්නය වන්නේ ණය වාරික හා පොලිය ගෙවීම අනාගතයට ඉතිරි වීම, ඒ හරහා අනාගතයේදී රජයේ වියදම් ඉහළ ගොස් අයවැය හිඟය වැඩි වීම හා අයවැය හිගය පියවන්න වැඩි වැඩියෙන් තවතවත් ණය ගන්න සිදු වීම. මේ විදිහට අයවැය හිඟය ඉහළ ගිහින් ඒ අයවැය හිඟය පියවීම සඳහා තවදුරටත් දේශීය හෝ විදේශීය ණය ගන්න අමාරු වුනහම රජය සල්ලි අච්චු ගැහීම කරා යොමු වෙනවා. පහුගිය අවුරුද්දේ කළේම ඔය වැඩේනේ. එහි අහිතකර ප්‍රතිඵල ගැන කතා කරන්න කාලය වැය නොකර සිටිමු. කලින් මේ ගැන ඕනෑ තරම් කතා කරලා තියෙනවනේ.

ඇත්තටම රජය විසින් ලබා ගන්න ණය ඵලදායී ලෙස ආයෝජනය කරනවානම් ණය කොයි තරම් ගත්තත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කරපු මොනවා හෝ ආයෝජන නිසා රටේ ආදායම් ඉහළ යන නිසා ණය වාරික හා පොලී ගෙවන්න අවශ්‍ය අමතර මුදලට වඩා වැඩියෙන් රජයේ බදු ආදායම් ඉහළ යනවා. ඒ නිසා, ණය ගෙවන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ලංකාවේ රාජ්‍ය ණය ඒ විදිහට ඵලදායී විදිහට ආයෝජනය නොවන බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ඒ නිසා, වරින් වර ඔය සල්ලි අච්චු ගහන විකල්පයට යන්න වෙනවා.

විදේශ ණය ඉහළ යාමේ ප්‍රශ්නය වෙන එකක්. අපි රජය පැත්තකින්ම තියමුකෝ. ලංකාවේ කවර හෝ සමාගමක් විසින් විශාල (ඩොලර් බිලියන දෙක තුනක වගේ) විදේශ ණයක් ගත්තා කියමු. මේ විදිහට ලබාගත් අරමුදල් ඉතාම ඵලදායී ලෙස ආයෝජනය කරලා ණය ගෙවන්න අවශ්‍ය මුදලටත් වඩා ආදායමක් ඉපැයූවා කියමු. හැබැයි ආදායම උපයා තියෙන්නේ රුපියල් වලින්. ණය ආපසු ගෙවන්න තියෙන්නේ ඩොලර් වලින්. 

දැන් මේ සමාගමට ණය ගෙවන්න රුපියල් ඩොලර් වලට මාරු කරන්න වෙනවා. ඒ සඳහා, ඩොලර් දීලා රුපියල් ගන්න කැමති කෙනෙක් ළඟට යන්න වෙනවා. පොඩි ඩොලර් ගණනක්නම් ඔය විදේශ මුදල් හුවමාරු කරන තැනකින් ගන්න පුළුවන්. ටිකක් ලොකු ගණනක් බැංකුවකින් ගන්න පුළුවන්. හැබැයි ලංකාවේ කිසිම වාණිජ බැංකුවක බිලියන ගණන් ඩොලර් නැහැ. ඒ වගේ ගණනක් ගන්න පුළුවන් තැන මහ බැංකුව. රුපියල් දීලා ඩොලර් ගන්න පුළුවන් වෙන්නේ මහ බැංකුවේ ඩොලර් සංචිත වලින්. 

ඇත්තටම කියනවානම් වෙන කවුරු විසින් ප්‍රතික්ෂේප කළත් මහ බැංකුවට රුපියල් අරගෙන ඩොලර් දෙන එක ප්‍රතික්ෂේප කරන්න බැහැ. මහ බැංකුව විසින් එහෙම කරනවානම් එහි විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒ ඇයි?

මහ බැංකුව විසින් රුපියල් අරගෙන ඩොලර් දෙන්න බැහැ කියා කියනවානම් එය සමාන කළ හැක්කේ වාණිජ බැංකුවක් විසින් ඔබේ තැන්පතු ආපසු දෙන්න බෑ කියන එකටයි. ඔබේ අතේ තිබෙන රුපියල් මුද්‍රණය කරලා සංසරණයට එකතු කරලා තියෙන්නේ මහ බැංකුව විසින්. ඔබ මේ රුපියල් ලබා ගෙන තිබෙන්නේ නිකම් නෙමෙයි. මහන්සියෙන් හදාගත් මොනවා හෝ දෙයක් එක්ක හුවමාරු කරලා. එහෙම නැත්නම් ඔබේ ශ්‍රමය එක්ක හුවමාරු කරලා. ඔබ වටිනා දෙයක් රුපියල් නෝට්ටු එක්ක හුවමාරු කරගන්න කැමති වී තිබෙන්නේ මහ බැංකුව මත තිබෙන විශ්වාසය මත. රුපියල් අතේ තියා ගන්නවා කියන්නේත් හරියට බැංකුවක සල්ලි දමනවා වගේම දෙයක් තමයි.

රුපියල් වලට වටිනාකමක් තිබෙන බව කියන්නේ මහ බැංකුව. මේ වටිනාකම හරියටම ඔබට දැනුම් දෙන්නෙත් මහ බැංකුව. නිශ්චිතවම කියනවානම් රුපියල් දෙසීයක ඇමරිකන් ඩොලරයකට සමාන වටිනාකමක් තිබෙන බව ඔබට කියන්නේ මහ බැංකුව. මහ බැංකුව ඔබට එහෙම කියනවානම් ඔබ රුපියල් දෙසීයක් මහ බැංකුවට දුන්නහම ඔබට ඩොලරයක් දෙන්න මහ බැංකුවට වගකීමක් තියෙනවා. මහා බැංකුව එහෙම දෙන්න බැහැ කියනවානම් ඒ කියන්නේ රුපියලේ වටිනාකම පිළිබඳව මහ බැංකුව කියන්නේ බොරුවක් කියන එකයි.

ඉහත තර්කය අනුව ඔබ රුපියල් දුන්නහම ඔබට අවශ්‍ය ප්‍රමාණයට ඩොලර් දෙන්න බැරිනම් මහ බැංකුවේ විශ්වාසනීයත්වය පිළිබඳ ගැටළුවක් මතු වෙනවා. ඒ නිසා, මහ බැංකුවක් මේ තත්ත්වයට වැටෙන්න කැමති නැහැ. එහෙම වැටෙනවානම් වැටෙන්නේ වෙන කරන්න කිසිම දෙයක් නැති වුනහම. එහෙමත් නැත්නම් මහ බැංකුව බංකොලොත් වුනහම. රටක මහ බැංකුවක් බංකොලොත් වෙනවා කියන්න ඒ රටේ මුදල් වලට කිසිම වටිනාකමක් නැති වෙලා නිකම්ම කඩදාසි බවට පත් වෙලා කියන එක. සමහර රටවල් වල ඒ වගේ තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. කවුරු හෝ ඉල්ලුවොත් ඉල්ලන තරමක් දෙන්න ප්‍රමාණවත් ඩොලර් සංචිතයක් මහ බැංකුවේ පවත්වා ගැනීම ඉතාම වැදගත් වන්නේ මේ නිසා.

මහ බැංකුවේ ඩොලර් සංචිත පහත වැටිලා ඉල්ලුමට සරිලන තරම් ඩොලර් සපයන එක අසීරු වුනහම එය අපි ගෙවුම් ශේෂ අර්බුදයක් කියා හඳුන්වනවා. ලංකාව වසර කිහිපයකට වරක් ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දෙනවා. ගොඩක් වෙලාවට ගොඩ දමන්නේ අයිඑම්එෆ් එක. අර්බුදය අවසන් වන විට රුපියල සෑහෙන තරමකින් අවප්‍රමාණය වෙනවා. බොහෝ විට වෙන්නේ සංචිත ඉහළ යන එකට වඩා විණිමය අනුපාතය ඉහළ යාම නිසා ඩොලර් වලට තිබෙන ඉල්ලුම අඩු වෙන එක. 

රුපියල් දෙසීය ගානේ මහා බැංකුවෙන් ඩොලර් ඉල්ලන ගොඩක් අය රුපියල් තුන්සීය ගානේ ඩොලර් ඉල්ලගෙන එන්නේ නැහැ. ඒ නිසා සංචිත වැඩි වුනේ නැතත් අඩු වශයෙන් තාවකාලිකව හෝ ගෙවුම් ශේෂ ප්‍රශ්නය විසඳෙනවා. කාලයක් ගිහින් අලුත් වටයකින් නැවත ගෙවුම් ශේෂ ප්‍රශ්නය මතු වෙන කොට ආයෙත් ඔය රවුමම යනවා. රුපියල අවප්‍රමාණය වෙනවා. 

දැන් මම ඔය විස්තර කළේ ගෙවුම් ශේෂ ප්‍රශ්නය. මම මෙය විස්තර කළේ රජය ගාවා නොගෙන. ගෙවුම් ශේෂ ප්‍රශ්න වලට හේතුව මහ බැංකුවේ විදේශ විණිමය ප්‍රතිපත්තිය. රාජ්‍ය ණය ප්‍රශ්නයක් නොතිබුණත් මහ බැංකුවේ විදේශ විණිමය ප්‍රතිපත්තිය නිසා ඔය වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේ උදාහරණයේදී මෙන් විදේශ ණය ලබාගත් පෞද්ගලික සමාගම එම මුදල් ඵලදායී ලෙස ආයෝජනය කරලා ආදායම් ඉපදවූයේ වුවත් මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. 

මේ ප්‍රශ්න දෙකේ වෙනස පැහැදිලි කරන්න මේ විදිහට පෞද්ගලික අංශය විසින් ලබාගත් විදේශ ණයක් උදාහරණයට ගත්තත් ඇත්තටම ලංකාවේ විදේශ ණය වලින් විශාල කොටසක් අරගෙන තිබෙන්නේ රජය විසින්නේ. රජය විසින් විදේශ ණය ගත්තහම එක පැත්තකින් රාජ්‍ය ණය අර්බුදයක් වගේම අනෙක් පැත්තෙන් ගෙවුම් ශේෂ අර්බුදයක්ද මතු වෙනවා. ඒ නිසා, වෙන වෙනම ප්‍රශ්න දෙකක් වුනත් මේ ප්‍රශ්න දෙක එකට ගැට ගැහිලයි තියෙන්නේ. 

විදේශ ණය ගත්තහම තාවකාලිකව ප්‍රශ්න දෙකම යටපත් වෙනවා. එක පැත්තකින් ගත්ත ඩොලර් ටික රුපියල් වලට මාරු කළාම රටේ බැංකු පද්ධතියට ඩොලර් ඇවිත් ගෙවුම් ශේෂ ප්‍රශ්නය යට යනවා. අනෙක් පැත්තෙන් ඩොලර් මාරු කරලා ගත්ත රුපියල් ටිකෙන් අයවැය හිඟය පියවාගන්න පුළුවන්. ඒ නිසා, සල්ලි අච්චු ගහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. උද්ධමන ප්‍රශ්නයක් එන්නෙත් නැහැ. ලංකාව කාලයක් තිස්සේම කරන්නේ මේ වැඩේ.

හැබැයි ඉතිං මේ වැඩේ තනිකරම හිඟන්නාගේ තුවාලය කහනවා වගේ වැඩක්. විදේශ ණය අරගෙන තාවකාලිකව ප්‍රශ්න දෙකම යටපත් කර ගත්තත් ගත්ත ණය පොලියත් එක්ක ගෙවන්න වුනහම ප්‍රශ්නය අලුත් වටයකින් එන්නේ තිබුණාටත් වඩා දරුණු වෙලා. එතකොට හැමදාම වැඩි වැඩියෙන් විදේශ ණය ගන්න වෙනවා. නමුත්, ණය ගන්නනම් ණය දෙන්න කැමති අයත් ඉන්න ඕනෑනේ. 

දැන් ලංකාවේ රජය ණය අරන් තිබෙන තරමට හා ඒ ගත්ත ණය මෙතෙක් කාලයක් වියදම් කරලා තිබෙන විදිහට රජයට තවත් ණය දෙන එක විශාල අවදානමක් බව කාට වුනත් තේරෙනවා. මෙච්චර කල් ගත්ත ණය වලින් ආදායම් උපදවා නැතුවා වගේම කවදාවත් ගත්ත ණය ගෙවලත් නැහැනේ. ගත්ත ණය ගෙවලා නැහැ කියා කියන්නේ ණයට පොලු තියලා තියෙනවා කියන එක නෙමෙයි. ලංකාව එහෙම කරලා නැහැ. නමුත්, හැම විටම ගත් ණය ගෙවා තියෙන්නේ අලුත් ණය වලින්. ඔය පිරමිඩ් එක කොයි වෙලේ හෝ කඩා වැටෙන බව කාට වුනත් තේරෙනවනේ.

දැන් ලංකාවේ රජයට විදේශ ණය ලබා ගන්න එක ඉතාම අසීරුයි. අවුරුද්දකින් (2022 ජනවාරි 18) කල් පිරෙන්න නියමිත ලංකාවේ ස්වෛරීත්ව බැඳුම්කරයක අද ආයෝජනය කරන කෙනෙකුට (ද්වීතියික වෙළඳපොළෙන් මිල දී ගන්න කෙනෙකුට) 40%කට කිට්ටු පොලියක් ඩොලර් වලින්ම ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාවට අවුරුද්දකට ඩොලර් 100ක් දෙන කෙනෙක් එසේ කරන්නේ අවුරුද්දකින් ඩොලර් 140ක් ලැබෙනවානම් පමණයි. මෙයින් පෙන්වන්නේ රට ඇතුළේ ඉන්න අයට නොතේරුණත් රුපියලේ සැබෑ වටිනාකම කොයි තරම් අඩු වෙලාද කියන එකයි.

මේ වගේ තත්ත්වයකදී ලංකාවට විදේශ ණය ලබා ගැනීම ඉතාම අසීරුයි. වාණිජ පදනමින් ණය ගන්නවානම් 40%ක පමණ පොලියක් ගෙවන්න වෙනවා. නැත්නම් ඉන්දියාව, චීනය හෝ වෙනත් බටහිර රටක් දේශපාලන අරමුණක් පෙරදැරිව අඩු පොලියකට ණය දෙන්න ඕනෑ.

මේ ආණ්ඩුව බලයට පත් වූ වහාම විශාල ලෙස බදු අඩු කළානේ. එහි දේශපාලනය අපි පැත්තකින් තියමු. මේ වැඩෙන් රජයේ ආදායම් විශාල ලෙස අඩු වෙලා අයවැය හිඟය විශාල ලෙස ඉහළ ගියා. දැන් එක පැත්තකින් අයවැය හිඟය විශාල ලෙස ඉහළ ගිහින්. අනෙක් පැත්තෙන් අයවැය හිඟය පියවාගන්න විදේශ ණය ගන්නත් බැහැ. දේශීය ණය ගන්න පුළුවන් වුනත් දේශීය ආයෝජකයෝ වුනත් ආණ්ඩුවට අවශ්‍ය පොලියට ණය දෙන්න සූදානම් නැහැ. පවතින පොලියට රජයට ණය දීම අවදානම් බව දේශීය ආයෝජකයෝ පවා හිතනවා. මේ තත්ත්වය යටතේ විශාල ලෙස සල්ලි අච්චු ගසමින් අයවැය හිඟය පියවා ගන්න ආණ්ඩුව පෙළඹී තිබෙනවා.

මේ වැඩෙන් යම් කාල පමාවකින් පසුව විශාල ලෙස රටේ බඩු මිල ඉහළ යාම හා ඉන් පසුව ඩොලරයේ මිලද ඉහළ යන එක ඉතාම පැහැදිලියි. ඒ කතාව අපි පැත්තකින් තියමුකෝ. ඒ අනාගත අවදානම් කොහොම වුනත් මේ විදිහට සල්ලි අච්චු ගහන එකෙන් මේ අවස්ථාවේදී තාවකාලිකව රාජ්‍යමූල්‍ය අර්බුදය විසඳෙනවා. අච්චු ගහපු සල්ලි වලින් දේශීය ණය වගේම පොලියත් ආපහු ගෙවන්න පුළුවන්. අනෙක් දේශීය වියදම් වෙනුවෙන් මේ මුදල් වැය කරන්නත් පුළුවන්. ඒ වගේම විදේශ ණය හා පොලිය ගෙවන්න අවශ්‍ය තරමට මුදලක් අච්චු ගහගන්නත් පුළුවන්. 

ප්‍රශ්නය තියෙන්නේ එතැනින් එහාට. ඩොලර් වලින් ලංකාවේ රජයට ණය දුන් කවුරුවත් රුපියල් දෙසීයක් ඩොලරයේ අනුපාතයට රුපියල් වලින් ණය හා වාරික ආපහු ගන්න කැමති නැහැ. මොකද එහෙම ගත්තා කියලා රුපියල් දෙසීයේ අනුපාතයට රුපියල් ඩොලර් වලට මාරු කරලා දෙන්න කෙනෙක් නැහැ. ආණ්ඩුව ඩොලර් වලින් ගත් ණය හා පොලිය ඩොලර් වලින්ම ආපසු ගෙවිය යුතුයි. රුපියල් ඩොලර් වලට මාරු කරගන්න වෙන්නේ මහ බැංකුවෙන්. නමුත් ඒ වැඩේට ප්‍රමාණවත් ඩොලර් මහ බැංකුවේ නැහැ. ඔන්න ඕකයි ප්‍රශ්නය.

"අපේ රුපියල් දීලා ඩොලර් අරන් ණය ගෙවන්න බැරිද? එහෙම ගෙව්වොත් ඩොලර් එක කොච්චරකින් වැඩිවෙයිද? (ඩොලර් බිලිනයක් ගත්තොත් ඩොලරය කීයක් වෙයිද?) ඒ ඔප්ශන් එකට යන්නෙ නැත්තෙ ඇයි?"

ඔය ඔප්ෂන් එකට යන්න පුළුවන්නම් හරිම ලේසියි. කැමති තරමක් රුපියල් මුද්‍රණය කළා. ඩොලර් වලට මාරු කළා. ණය ගෙවුවා. සිම්පල් ප්ලෑන් එකක්!

ඇත්තටම කියනවානම් ඇමරිකාව කරන්නේ ඔය වගේ වැඩක්. ඩොලර් අච්චු ගහලා ණය ගෙවනවා. ඇමරිකාව අච්චු ගහලා දෙන ඩොලර් කියන්නෙත් රුපියල් වගේම නිකම්ම කඩදාසි වුනත් ඒ කඩදාසි බාර ගන්න කැමති අය ඇමරිකාවෙන් පිටත ඕනෑ තරම් ඉන්නවා. නමුත්, ලංකාව ඒ විදිහට සල්ලි අච්චු ගැහුවා කියලා ලංකාවේ පිටත කිසිම කෙනෙක් ඒ කඩදාසි බාර ගන්නේ නැහැ. ඒවා බාර ගන්නේ ලංකාව ඇතුළේ ඉන්න අය පමණයි.

ලිපිය පටන් ගැනීමේදී කතා කළ විණිමය හුවමාරු ගිවිසුමක් කියා කියන්නේ මේ විදිහට රුපියල් අරගෙන ඩොලර් දීමක්. හැබැයි එහෙම දෙන අය රුපියල් අරගෙන ඩොලර් දෙන්නේ කොන්දේසියක් යටතේ. යම් නිශ්චිත කාලයකට පසුව රුපියල් ටික ආපසු අරගෙන ඩොලර් ටික ආපසු දෙන්න ඕනෑ. තාක්ෂනිකව බැලුවොත් මෙය ණය ගැනීමක් නෙමෙයි. මොකද ඩොලර් ගන්නේ රුපියල් දීලා. 

විණිමය හුවමාරු ගිවිසුම් වලට යන්නේ රජයයන් පමණක් නෙමෙයි, උදාහරණයක් විදිහට සමාගමක් හා වාණිජ බැංකුවක් අතර විණිමය හුවමාරු ගිවිසුමක් ඇති වෙන්න පුළුවන්. අපි හිතමු චීනයෙන් මොනවා හරි ගෙන්නලා ඉන්දියාවට ප්‍රතිඅපනයනය කරන ලංකාවේ ව්‍යාපාරයක් ගැන. හදිසියේම ඉන්දියාව පැත්තෙන් ඉල්ලුම වැඩි වුනොත් එම ව්‍යාපාරික අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න අමතර ඩොලර් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. අනෙක් අතට බඩු ටික ඉන්දියාවට ගිය ගමන් ඩොලර් ලැබෙනවා. ඩොලර් අවශ්‍ය වන්නේ ඔය අතර කාලයේදී පමණයි. 

එක විකල්පයක් වන්නේ ඩොලර් ණයට ගන්න එක. එතකොට ණයට පොලියක් ගෙවන්න වෙනවා. නමුත් අතේ රුපියල් වලින් ඕනෑ තරම් සල්ලි තියෙන කෙනෙකුට පොලියට ණය ගන්න අවශ්‍ය නැහැ. උවමනාව අතේ තිබෙන රුපියල් ටික තාවකාලිකව ඩොලර් කර ගන්න එකයි. ඒ වගේම දිගටම ඩොලර් අවශ්‍ය වෙන්නේත් නැහැ. මේ වගේ අවස්ථාවකදී විණිමය හුවමාරු ගිවිසුමකට යන එක හොඳ විකල්පයක්. පසුව දෙන පොරොන්දුවට කාගෙන් හෝ ඩොලර් ගත්තත් අනෙක් පැත්තෙන් රුපියල් ගෙවීමක්ද සිදුවන නිසා මෙය ණයක් නෙමෙයි. ඩොලර් ගන්නේ සදහටම නොවන නිසා සාමාන්‍ය විණිමය ගනුදෙනුවකුත් නෙමෙයි.

පහුගිය දවස් වල කතාබහට ලක් වුනු ඉන්දියාවට ආපසු ගෙවපු ඩොලර් 400ක "ණය" මුදලත් ඔය විදිහට විණිමය හුවමාරු වැඩ සටහනක් යටතේ අරගෙන තිබුණු මුදලක්. දැන් චීනයෙන් ගන්න යනවා කියා කියන්නෙත් මේ වගේ "ණයක්". සාමාන්‍යයෙන් අයිඑම්එෆ් එකෙන් ගන්නා ණයත් මේ වර්ගයේ "ණය". අයිඑම්එෆ් ණය වලට විණිමය හුවමාරු ගිවිසුම් කියා කියන්නේ නැතත් ව්‍යුහමය ලෙස සිදුවන්නේ සමාන දෙයක්. 

ඉහත අවස්ථා තුනේදීම ගනුදෙනුව සිදු වන්නේ මහ බැංකුව එක්ක මිසක් රජය එක්ක නෙමෙයි. මේ වගේ ගනුදෙනුවකින් රජය විදේශ ණය ගනිද්දී මෙන් රාජ්‍ය ණය ඉහළ යන්නේ නැහැ. මොකද රජය ණය ගැනීමක් නොකරන නිසා. රජය කරන්නේ කවර හෝ ක්‍රමයකින් හොයා ගන්නා රුපියල් මහ බැංකුවට දී ඩොලර් කර ගන්න එක. මහ බැංකුව විසින් කරන්නේ සංචිත වල ඩොලර් ප්‍රමාණය පහත වැටෙන එක වලක්වා ගැනීම සඳහා තාවකාලික ක්‍රියාමාර්ගයක් ගන්න එක.

යුරෝපයේ හා ඇමරිකාවේ පිහිටි සමාගම් දෙකක් අතර සිදුවන විණිමය හුවමාරු ගිවිසුමක් වගේ එකක් ගත්තොත් ඇමරිකාවේ සමාගමට තාවකාලිකව යුරෝ අවශ්‍ය වෙනවා. යුරෝපයේ සමාගමට තාවකාලිකව ඩොලර් අවශ්‍ය වෙනවා. නමුත්, ඉන්දියාවට, චීනයට හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඔය විදිහට තාවකාලිකව ලංකාවේ රුපියල් අවශ්‍ය වීමක් වෙන්නේ නැහැ. ලංකාවට ඩොලර් අවශ්‍ය වීම පමණයි සිදු වෙන්නේ. ඒ නිසා, ලංකාවට විණිමය හුවමාරු ගිවිසුමකට යන්න වෙන්නේ යම් තාක් දුරකට අනෙක් පාර්ශ්වයේ අනුකම්පාව මත හෝ කොන්දේසි වලට යටත් වෙමින් පමණයි.

තවත් දෙයක් තිබෙනවා. විණිමය හුවමාරු ගිවිසුමකදී සෛද්ධාන්තිකව ණය ගැනීමක් සිදු වෙන්නේ නැහැ. ලංකාවේ මහ බැංකුව විසින් කරන්නේ ඉන්දියාවේ මහ බැංකුව එක්ක තාවකාලිකව රුපියල් හා ඩොලර් මාරු කර ගැනීමක් පමණයි. ලංකාවේ රජය විසින් මහ බැංකුවෙන් ඩොලර් මිල දී ගන්නවා. ඒ සඳහා රුපියල් හොයා ගැනීම වෙනම කතාවක්. එය රජයේ බදු හෝ වෙනත් ආදායමක් වෙන්න පුළුවන්. නැත්නම් දේශීය වෙළඳපොළේ රාජ්‍ය සුරැකුම්පත් විකුණා හොයා ගන්න මුදලක් වෙන්න පුළුවන්.

හැබැයි දැන් වෙන්නේ කුමක්ද? රජය මහ බැංකුවට රාජ්‍ය සුරැකුම්පත් විකුණනවා. මහ බැංකුව අලුතින් මුද්‍රණය කළ මුදල් ගෙවා ඒ රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගන්නවා. ඉන් පසු රජය රාජ්‍ය සුරැකුම්පත් විකුණා මහා බැංකුවෙන් ලබාගත් මුදල්ම මහ බැංකුවට දී ඩොලර් ලබා ගන්නවා. මහ බැංකුව ඩොලර් ලබා ගන්නේ ඉන්දියාවේ මහ බැංකුවට රුපියල් දීලා. ඒ කියන්නේ වක්‍රව ගත්තහම මෙතැනදී අන්තිමට වෙන්නේ ලංකාවේ රජය විසින් ඉන්දියාවේ මහ බැංකුවෙන් ණයක් ගැනීමක්ම තමයි.

මහ බැංකුව ගිවිසුමේ කාලය අවසානයේදී ඉන්දියාවට ඩොලර් ආපසු දී රුපියල් ටික නැවත ලබාගත යුතුයි. නමුත්, ඩොලර් ටික දැන් රජයට දීලා ඉවරයි. ඒ ඩොලර් නැවත ආපසු ලැබෙන්නේ නැහැ. ඒ නිසා, ඉන්දියාව පැත්තෙන් බැලුවහම මහ බැංකුවට දුන් ඩොලර් ටික ආපසු ලබා ගැනීමේ අවදානම ඒ විදිහටම තිබෙනවා. 

මෙහි ඉන්දියාව වෙනුවට අයිඑම්එෆ් එක හිටියත් කතාව ඔය විදිහමයි. දුන්න සල්ලි ආපසු නොලැබීමේ අවදානම අයිඑම්එෆ් එකට තිබෙනවා. ඒ නිසා, අයිඑම්එෆ් එක සල්ලි දෙන්නේ ඒ සල්ලි ආපසු ගෙවිය හැකි තරමේ වෙනසක් සිදුවන ප්‍රතිසංස්කරණ වලට ලංකාව කැමති වුනොත් පමණයි. ණය ගනිද්දී අයිඑම්එෆ් එක කොන්දේසි දමනවා කියා කියන්නේ ඕකටයි. 

විණිමය හුවමාරු ගිවිසුම යටතේ ඉන්දියාව ඩොලර් මිලියන 400ක් දීලා තියෙන්නෙත් ඔය වගේ කොන්දේසියක් දමලා. කොන්දේසිය වන්නේ ලංකාව අයිඑම්එෆ් වැඩසටහනකට යා යුතු බවයි. එසේ කළහොත් ණය ආපසු ලබා ගැනීමේ අවදානම අඩු වන බව ඉන්දියාව දන්නවා. නමුත්, ලංකාව අයිඑම්එෆ් වැඩසටහනකට ගියේ නැහැ. ඒ නිසා, ඉන්දියාව තමන්ගේ අවදානම අඩු කර ගැනීම සඳහා ඩොලර් ටික නැවත ආපසු අරගෙන ගත්ත රුපියල් ටික ආපසු දුන්නා.

දැන් ලංකාව සතුව ඉතිරි වී තිබෙන එක් විකල්පයක් වන්නේ අයිඑම්එෆ් වැඩසටහනකට යන එකයි. දෙවන විකල්පය වන්නේ ඉන්දියාවෙන් හෝ චීනයෙන් ණය ගැනීමයි. තෙවන විකල්පය වන්නේ ඉන්දියාව හෝ චීනය සමඟ විණිමය හුවමාරු ගිවිසුමකට යන එකයි. හතරවන විකල්පය රටේ මූල්‍යමය නොවන වත්කම් වලින් කොටසක් විකුණන (හෝ බදු දෙන) එකයි.

මෙහි මා ඉන්දියාව හා චීනය ගැන සඳහන් කළේ එම දෙරටින් එකක් මේ වැඩේට කැමති වීමේ වැඩි හැකියාවක් තිබෙන නිසයි. ලංකාවේ ඩොලර් සංචිත හිඳෙනවා කියා කියන්නේ දැඩි ලෙස ආනයන සීමා කරන්න වෙනවා කියන එකයි. මෙයින් ප්‍රධාන වශයෙන්ම අවාසියක් වෙන්නේ ඉන්දියාවට හා චීනයටයි. එම රටවල් වලින් ලංකාවට කරන අපනයන අඩු නොකර පවත්වා ගන්නනම් අනෙක් පැත්තෙන් ලංකාවට බඩු ගන්න සල්ලිත් කිසියම් ක්‍රමයකින් දෙන්නම වෙනවා. වෙන විකල්පයක් නැහැ. 

ණය ආපසු නොලැබීමේ අවදානම නොගෙන අපනයනද එලෙසම පවත්වා ගැනීම සඳහා අවශ්‍ය විදේශ විණිමය ලංකාවට පොම්ප කළ හැකි එකම ක්‍රමය ලංකාවේ මොනවා හෝ වත්කම් මිල දී ගැනීමයි. චීනය වගේම ඉන්දියාවත් කරන්න හදන්නේ ඒකයි.

23 comments:

  1. මෙහෙමයි ඉකොන් මේ අවුරුද්දේ අග වෙද්දී ලංකාවට ඇමෙරිකන් ඩොලර් බිලියන 5.9 ක ණයක් ගෙවීමට සිදු වන බව වාර්තා වෙනවා නේද? නමුත් ලංකාවේ මහ බැංකුව සතුව විදේශ සංචිත ඇත්තේ ඩොලර් බිලියන 5 ක් විතර හින්ද ලංකාව මුහුණ දෙන මෙම බරපතළ ගැටලුවට මුහුණදීමට අවශ්‍ය පියවර මොනවාද?

    කොහොම උනත් මේ සම්බන්ධයෙන් වඩාත් සුබවාදීව කරුණු දැක් වූ ලංකාවෙ මහ බැංකුවේ නිලධාරීන් මාධ්‍ය වලට ප්‍රකාශ කළේ වසර 2020 ‍ලෝක ආර්ථිකය බිඳ වැටීම සමඟ බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය වසර 2021 දී ලෝක ආර්ථිකය ශක්තිමත් වීමත් සමඟ යළි පිබිදෙනු ඇති බවයි. මේක වෙන්න පුළුවන් දෙයක් ද?

    ඒ වගේම ඉකෝන් පහුගිය යහපාලන ආණ්ඩුව කාලයේ මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටුණු ස්ථානයේ නාගරික උද්‍යානයක් ඉදිකිරීම සඳහා අක්කර 22 භූමි ප්‍රමාණයක කසළ තුනීකර පස්පුරවා තණ පිඩැලි අල්ලා ඇතත් එහි උද්‍යානයක් ඉදිකිරීමට සුදුසු තත්ත්වයක් නැතැයි නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මාධ්‍ය වලට ප්‍රකාශ කළා.

    මේ සඳහා පහුගිය යහපාලන ආණ්ඩුව කාලයේ රුපියල් බිලියනයකටත් වඩා වැඩි විශාල මුදලක් ඊට වැයකොට ඇතත් බිලියනයක් තියා මිලියන පණහක් වත් වැය වෙන වැඩක් එහි සිදුවී නැතැයි කී රණවීර අධ්‍යක්ෂ ජෙනරාල් වරයා රුපියල් බිලියනයක් වැනි අතිශයින්ම විශාල මුදලක් වැය කරන විට එහි තිබු කුණු කන්ද සම්පූර්ණයෙන්ම ඉවත්කිරීමට පවා හැකියාව තිබු බව ද කීවා. ඒ නිලධාරීන් කියන කතාව ඇත්ත ද ඉකෝන්? මෙහෙම එකක් වෙන්න පුළුවන් ද?

    ඒ කියන විදියට පහුගිය 2016 වසරේදී මෙම කුණු කන්ද කඩාවැටුණු අතර ඉන්පසු එහි තිබු කුණු තුනී කර ඒ මත පස්පුරවා නාගරික උද්‍යානයක් ඉදිකිරීමට එවකට පැවැති රජය පියවර ගත් නමුත් සිදුකර තිබුණේ කිසිදු ප්‍රමිතියකන් තොරව දිරාගිය බාල වගුරු බිම් වලින් ගෙනා නොවටිනා මඩපසින් ලාවට යම්තමින් පුරවා ඊට උඩින් බඩවැටියකින් හොරෙන් කපාගත් පිදලි ඇල්ලීමක් පමණක් බවත් උද්‍යානයක් සඳහා කිසිදු සැළැස්මක් නොතිබු බවත් ඔහුයි කියුවේ.

    වියදමට වටිනාකමක් තියා ඒ වැය කරපු මුදලෙන් 5% ක් වත් වටිනා සංවර්ධනයක් එහි සිදුව නොතිබු බවත් කෙසේ වෙතත් නාගරික උද්‍යානයකට කිසිසේත් සුදුසු තත්ත්වයක් එහි නොමැති බවත් කී අධ්‍යක්ෂ ජනරාල්වරයා එහි ඇති කසළ ඉවත් කළ යුතු බවට නාගරික සංවර්ධන අධිකාරිය තිරණය කර ඇති බැවින් ඒ සඳහා වන අධ්‍යයනයක් මේ වනවිට සිදුවෙමින් පවතින බව ද මාධ්‍ය ආයතන වලට කියා සිටියා. මේක ගැන ඔබේ අදහස් මොනවා ද? මේක සත්‍ය චෝදනාවක් ද?

    තව සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ 2016 /17 කාලයේ ලංකාවේ උප්පැන්න සහතික ඔන්ලයින් ක්‍රමයට ලබා දීම සඳහා ස්විස් ණය යෝජනා ක්‍රමයක් යටතේ රුපියල් මිලියන 120 කට අධික මුදලක් වැයකර ඇති නමුත් එවැනි කිසිම දෙයක් සිදුවී නොමැති බවයි පැවසෙන්නේ. එවකට සෞඛ්‍ය ඇමති ගේ බව පැවසෙන නාමික සමාගමකට මේ මුදල් ගෙවා ඇති නමුත් මුකුත් කර නැති බව ද මාධ්‍ය වාර්තා කර තිබුණ. මේක ඇත්තක් වෙන්න පුලුවන්ද?

    ReplyDelete
  2. JVP USA

    https://www.facebook.com/officialjvpusa/videos/vb.1394488410850437/1557336157898994/?type=2&theater

    විජය කුමාරතුංග ඝාතනය කළේ කව්රුන්ද?

    ජනප්‍රිය නළු විජය කුමාරතුංග සහ ගීත රචක ප්‍රේමකීර්ති අල්විස් මහතා ඝාතනය කළේ කව්රුන්ද?

    මේ සුප්‍රසිද්ධ ජනප්‍රිය නළු ගරු විජය කුමාරතුංග මහතා සහ ගරු සුප්‍රසිද්ධ ගීත රචක ප්‍රේමකීර්ති අල්විස් යන මහත්වරුන් එක්සත් ජාතික පක්‍ෂ ආර්. ප්‍රේමදාස තිරිසන් රජය විසින් කුමන්ත්‍රණකාරී ලෙස ඝාතනය කළේ ජනතා විමුක්ති පෙරමුණ මහජනතාවට කලකිරවා අප්‍රසන්න කරවීමට බව ඒ කාලයේ සිටම බුද්ධිමත් දැනුම් තේරුම් ඇති කවුරුත්ම පාහේ දන්නෙමු.

    ජනතා විමුක්ති පෙරමුණ එසේ කළා නම් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඔවුන් සමඟ එක්ව ආණ්ඩු කරයි ද? ප්‍රේමකීර්තිද අල්විස් මහතා ඝාතනය කළේ කවුරුන් ද යන්න අද ඔහුගේ ආදරණීය දෙවන බිරිඳ විසින්ම ප්‍රසිද්ධ මාධ්‍යය ඔස්සේ මෑතකදී හෙළිකල අයුරු මතක නම් ඒ සැබෑ වංචනික රාජ පක්ෂ කල්ලියේ මෝඩ බයිසන් ගවයන් හා ඇතැම් එ.ජා.ප දේශපාලකයන් වහා එම මුග්ධ බොරු නින්දා අපහාස චෝදනා ඉවත දැමිය යුතුය. සත්‍යය කිසිදා වසන් කළ නොහැක. සත්‍යය කවදා හෝ ජය ගනු ඇත.

    විජය කුමාරතුංග සහ ප්‍රේමකීර්ති අල්විස් පමණක් නොව තවත් ඒ කාලයේ මියගිය බොහෝ දෙනා ජනතා විමුක්ති පෙරමුණ ගිණුමට දමා ඝාතනය කළේ එක්සත් ජාතික පක්‍ෂ ආර්. ප්‍රේමදාස තිරිසන් රජය විසින්ම එවක විපක්ෂයේ සිටි රාජ පක්ෂ කල්ලියේ කණ්ඩායම් සමග බව දැන් සියයට සියයක්ම ඔප්පු වී හමාරය.

    එක්සත් ජාතික පක්‍ෂයේම මැති ඇමතිවරු ද ඝාතනය කළේ එක්සත් ජාතික පක්‍ෂ ආර්. ප්‍රේමදාස විසින් බව පැහැදිලිය. මේ සෑම අපරාධයක් පිළිබඳ සත්‍යය තොරතුරු ඒ කාලේ පටන් දේශපාලන බලයේ ඉන්නා වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ සහ ජන පතී නන්දසේන රාජපක්ෂත් හොඳටම දන්නවා, ඔවුනුත් මේවට සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි. මාතලේ සමූහ මිනී වළවල් තුළ නිදන අහිංසක මිනිස්සු පිළිබඳ එවකට මාතලේ කලාපය භාරව කටයුතු කළ හමුදා නිලධාරී වත්මන් ජන පති නන්දසේන වගකිවයුතු වේ. ඒ වගේම එවකට එජාපයේ කණ්ඩායම් සමග එකතු වී මිනී මැරුම් සිදුකරන ලද රාජ පක්ෂ කල්ලියේ කණ්ඩායම් මේ සියල්ලටම වග කියන්න ඕන. කීර්ති අබේවික්‍රම ඇතුළු පිරිස ඝාතනය කලේ පාර්ලිමේන්තුවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කල එජාපයේ සහ රාජ පක්ෂ කල්ලියේ කණ්ඩායම් වල කුමන්ත්‍රණ අනුව.

    දැන්වත් ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි ඇති බොරු බිය තුරන් කර ගන්න. මන්ද අපත් දේශපාලන පක්ෂ භේදයන් ගෙන් තොරව සැමදාමත් මහජනතාව සමඟ ඉන්නා බැවින් කිසිවකු බිය විය යුතු නැත. මහජනයා වෙනුවෙන් ජීවිතය පරදුවට තබා ජීවිත පරිත්‍යාගයෙන් දේශපාලනය කරන ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් කව් ගී ලියැවුණා මදි. ඔබේ වටිනා ඡන්දය හැකි සෑම අවස්ථාවකදීම සැමවිටම සියයට දසදහසක් ජනතාව වෙනුවෙන් කැපවී කටයුතු කරන ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් භාවිතා කරන මෙන් ඉල්ලා සිටිමි. ස්තූතියි.

    Ahfesl-France, Editor Board PARIS

    For more information about us :

    http://ahfesl.free.fr

    ReplyDelete
    Replies
    1. //මේ සුප්‍රසිද්ධ ජනප්‍රිය නළු ගරු විජය කුමාරතුංග මහතා සහ ගරු සුප්‍රසිද්ධ ගීත රචක ප්‍රේමකීර්ති අල්විස් යන මහත්වරුන් එක්සත් ජාතික පක්‍ෂ ආර්. ප්‍රේමදාස තිරිසන් රජය විසින් කුමන්ත්‍රණකාරී ලෙස ඝාතනය කළේ ජනතා විමුක්ති පෙරමුණ මහජනතාවට කලකිරවා අප්‍රසන්න කරවීමට බව ඒ කාලයේ සිටම බුද්ධිමත් දැනුම් තේරුම් ඇති කවුරුත්ම පාහේ දන්නෙමු.//

      අපි මේ කතාව ඇත්ත කියා දැනට පිළිගනිමු. ඒ කියන්නේ මේ ඝාතන දෙක ජවිපෙ විසින් මේ වන විට අනුමත නොකරන දේශපාලන ඝාතන. වක්‍ර ලෙස මේ දෙන්නාම ඝාතනය වී තිබෙන්නේ (රෝහණ විජේවීර වගේම) ජවිපෙ නිසා. මම මෙයින් අදහස් කළේ "එක්සත් ජාතික පක්‍ෂ ආර්. ප්‍රේමදාස තිරිසන් රජය විසින්" මේ දෙන්නාව මරලා තියෙන්නේම "ජනතා විමුක්ති පෙරමුණ මහජනතාවට කලකිරවා අප්‍රසන්න කරවීමට" නිසා.

      //මන්ද අපත් දේශපාලන පක්ෂ භේදයන් ගෙන් තොරව සැමදාමත් මහජනතාව සමඟ ඉන්නා බැවින් කිසිවකු බිය විය යුතු නැත.//

      මේ කතාවත් අපි ඇත්ත කියා පිළිගනිමු. ඒ කියන්නේ දැන් ජවිපෙට රටේ මහජනතාව කවුරුත් එකයි. ජවිපෙ සාමාජිකයෙක්ද නැද්ද කියා වෙනසක් නැහැ.

      දැන් මට තියෙන එක ප්‍රශ්නයක් මේක. ජවිපෙ විරු සමරු වලදී රෝහණ විජේවීරව සමරන නමුත් "සුප්‍රසිද්ධ ජනප්‍රිය නළු ගරු විජය කුමාරතුංග මහතා සහ ගරු සුප්‍රසිද්ධ ගීත රචක ප්‍රේමකීර්ති අල්විස් යන මහත්වරුන්" දෙදෙනාව සමරන්නේ නැත්තේ ඇයි? සමහර විට ඒ අයගේ දේශපාලනය ජවිපෙට අනුව වැරදි එකක් වෙන්න පුළුවන්. නමුත්, දැන් ජවිපෙ රෝහණ විජේවීරගේ දේශපාලනය නිවැරදියි කියන මතයේත් නැහැනේ. (මම හිතන විදිහට). එහෙම වෙනසක් තිබුණත් දැන් ජවිපෙ "දේශපාලන පක්ෂ භේදයන් ගෙන් තොරව" ජනතාව එක්ක ඉන්නවනේ.

      සමහර විට ජවිපෙ දැන් සුප්‍රසිද්ධ ජනප්‍රිය නළු ගරු විජය කුමාරතුංග මහතා සහ ගරු සුප්‍රසිද්ධ ගීත රචක ප්‍රේමකීර්ති අල්විස් යන මහත්වරුන් දෙදෙනාවත් විරු සමරු වලදී සමරනවා ඇති. එහෙමනම් සමාවෙන්න.

      Delete

  3. විස්තරය ඉතා පැහැදිලියි ඉකොනෝ. මෙයට අදාල නැතත් මට පොඩි ප්‍රශ්නයක් අහන්න ඕනේ.

    විදේශ ශ්‍රමිකයන් එවන ප්‍රේෂණ මුදල් යැවීමේ සිට අපේ ගිණුම් වලට තැම්පත් වෙනතුරු සිදුවන ක්‍රියාවලිය විස්තර කරන්න පුලුවන්ද. මට දැන ගන්න ඕනේ විදේශ ශ්‍රමිකයෝ එවන ඩොලර් හරි ඩිරාම්/රියාල් මොන විදේශ මුදලක් හරි අපේ මහ බැංකුවෙන් මිලදී අරන් රුපියල් වලට හරවලද අපේ දේශීය බැංකු වලට දෙන්නේ. දේශීය බැංකු කරන්නේ ඒ මුදල් අපේ ගිණුම් වල තැම්පත් කරන එකද? සමහර විට ස්වයන්ක්‍රියව උනත් වෙන්නේ මේ වගේ දෙයක්ද?

    ReplyDelete
    Replies
    1. හොඳ ප්‍රශ්නයක්. ඉඩ ලැබුණු විටක විස්තරාත්මක ලිපියක් දමන්නම්.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ස්තුතී. මමත් දශකයකට අදික කාලයක සිට ප්‍රේෂණ එවන විදේශ ශ්‍රමිකයෙක් නිසාත් විදේශ ප්‍රේෂණ නිසා ලංකාවේ ආර්ථිකයට විශාල නිහඩ සේවයක් වෙන නිසාත් මේ ප්‍රශ්නය අහන්න හිතුනේ.

      Delete
    4. මුළු කතාවම පෝස්ට් එකක් විදිහට ලියන්න වෙලා යන නිසා දැනට ඔබේ ප්‍රශ්නයට මෙහිම පිළිතුරක් දෙන්නම්. ඔබ ලංකාවේ කාට හරි ලංකාවේ බැංකුවක චෙක්පතකින් ගෙවීමක් කළහම ඒ සල්ලි එම පුද්ගලයාට ලැබෙන්නේ කොහොමද? චෙක් එක ලංකා බැංකුවේ එකක්නම් සහ එය ලබාගත් තැනැත්තාගේ ගිණුම තිබෙන්නේත් ලංකා බැංකුවේනම් වැඩේ පහසුයි. ලංකා බැංකුවට ඔබේ ගිණුමෙන් අදාළ මුදල අඩු කරලා අනෙක් පුද්ගලයාගේ ගිණුමට හර කළ හැකියි. මෙය කළ හැකි වුනේ ගනුදෙනුවේ පාර්ශ්ව දෙකටම එකම තැනක ගිණුම් තිබුණු නිසා. ලංකා බැංකුව විසින් ඔබ සහ අනෙක් පුද්ගලයා අතර අතරමැදි කාර්යය කරනවා.

      නමුත්, අනෙක් පුද්ගලයා චෙක්පත තැන්පත් කළේ සම්පත් බැංකුවේනම් මේ වැඩේ මේ විදිහට කරන්න බැහැ. සම්පත් බැංකුව විසින් පළමුව ලංකා බැංකුවෙන් මේ මුදල ලබා ගත යුතුයි. ඒ සඳහා තෙවන පාර්ශවයක් සම්බන්ධ කර ගන්න වෙනවා. තෙවන පාර්ශ්වය ලංකා බැංකුව වගේම මහජන බැංකුව විසින්ද ගිණුම් නඩත්තු කරන තැනක් විය යුතුයි. මේ බැංකු දෙකටම මහ බැංකුවේ ගිණුම් තිබෙනවා. ඒ නිසා මහ බැංකුවට අදාළ මුදල ලංකා බැංකුවේ ගිණුමෙන් අඩු කරලා සම්පත් බැංකුවේ ගිණුමට දමන්න පුළුවන්. එවිට සම්පත් බැංකුව එම මුදල අදාළ පුද්ගලයාගේ ගිණුමට දමනවා. ලංකා බැංකුව අදාළ මුදල ඔබේ ගිණුමෙන් අඩු කර ගන්නවා. මහ බැංකුව විසින් කරන්නේ අතරමැදි කාර්යයක්.

      ගනුදෙනුවේ එක් පාර්ශ්වයක් විදේශ බැංකුවක් වූ විට මෙය මේ විදිහට කරන්න බැහැ. මොකද විදේශ බැංකුව ලංකාවේ ශාඛාවක් නැති, ශ්‍රී ලංකා මහ බැංකුවේ ගිණුමක් පවත්වා ගෙන නොයන එකක්නම් එම බැංකුවේ මුදල් සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුවට පාලනයක් නැහැ. එවිට මේ බැංකු දෙක විසින්ම ගිණුම් පවත්වා ගෙන යන තෙවන පාර්ශවයක් සම්බන්ධ කර ගන්න වෙනවා. බොහෝ විට එවැනි තෙවන පාර්ශවයක් නැහැ. ඒ නිසා, නැවත එන්න වෙන්නේ මහ බැංකුවටයි. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු ලෝකයේ බොහෝ මහ බැංකු ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුවේ ගිණුම් පවත්වා ගෙන යනවා. අනෙක් රටේ බැංකුව ඒ රටේ මහ බැංකුවේ ගිණුමක් පවත්වා ගෙන යනවා. ඒ නිසා ලංකාව ඇතුලේ බැංකු දෙකක ගනුදෙනුකරුවන් අතර ගනුදෙනුව ශ්‍රී ලංකා මහ බැංකුව හරහා පියවුනා වගේ මේ ගනුදෙනුව ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුව හරහා පියවන්න පුළුවන්. ඉන් පසු අදියර වලදී රටවල් දෙකේ මහ බැංකු දෙක හා වාණිජ බැංකු දෙක මේ වැඩේට අතරමැදියන් සේ සම්බන්ධ වෙනවා.

      මේ වැඩේ සංකීර්ණ වුනත් අන්තිමට වෙන්නේ විදේශ බැංකුවේ සිට ලංකාවේ බැංකුවකට ඩොලර් එන එක. මහ බැංකු දෙක හා ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුව විසින් කරන්නේ අතරමැදි කාර්යයක්. මේ මුදල් හුවමාරුව වෙන්නේ ඩොලර් වලින් නිසා මුලින්ම මැදපෙරදිග රටේ විදේශ බැංකුව පාරිභෝගිකයාගේ මුදල් ඩොලර් වලට හරවනවා. ඒ කියන්නේ ඔබේ ඩිරාම්/රියාල් මිල දී ගෙන ඔබට ඩොලර් විකුණනවා. වක්‍රව වෙන්නේ මෙයයි. ඉන් පසු එම ඩොලර් ලංකාවේ වාණිජ බැංකුව දක්වා එනවා. එම වානිජ බැංකුව විසින් (වක්‍ර ලෙස) ඩොලර් මිල දී ගෙන රුපියල් වලින් ගෙවීම කරනවා. මේ විදිහට ලංකාවට ශ්‍රමික ප්‍රේෂණ එන විට ඩොලර් එකතු වෙන්නේ වාණිජ බැංකු වල. වාණිජ බැංකු ගාණක් තියාගෙන මේ ඩොලර් විකුණනවා. එම ඩොලර් අවශ්‍ය පාරිභෝගිකයින්ට (ආනයනකරුවන්ට, විදේශ සංචාර වල යෙදෙන අයට) විකිණීමෙන් පසුව ඉතිරි වේනම් වෙනත් වාණිජ බැංකුවකට හෝ මහ බැංකුවට විකුණනවා. කවුරු හෝ ඇවිත් ඩොලර් ඉල්ලූ විට බැංකුවේ ඩොලර් නැත්නම් වෙනත් වාණිජ බැංකුවකින් හෝ මහ බැංකුවෙන් ඩොලර් මිල දී ගන්නවා. මහ බැංකුව හැම විටම ඩොලර් මිල දී ගන්නේ හෝ විකුණන්නේ නැහැ. ඒ නිසා බොහෝ විට ඩොලර් ගනුදෙනු කරන්න වෙන්නේ වානිජ බැංකු අතරයි. මහ බැංකුව මැදිහත් වෙන්නේ රටේ වාණිජ බැංකු පද්ධතියේ විශාල ඩොලර් අතිරික්තයක් ඇති වී ඩොලරයේ මිල ගොඩක් අඩු වූ විට හා එහි අනෙක් පැත්ත සිදු වූ විටයි.

      Delete
  4. ඉකොනොමැට්ටා හොඳ පෝස්ට් එකක්, තව රජයේ වියදම් අඩු කර ගැනීම පිණිස කාර්යක්ෂමතාව හා ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා යෝජනා වශයෙන් මෙහෙම දෙයක් කරන්න පුළුවන්. ලංකාවේ නම් 1948 සිට රජය විසින් ගොඩනැගිලි සැදුවත් system එක කාර්යක්ෂම "Efficient " සහ පලදායි "Effective" කරන්න කිසිදු කෙනෙකුට උවමනාවක් නැහැ නේද?

    උදාහරණයක් ලෙස ලංකාවේ foreign ටුවරිස්ට් ලා විසින් දුම්රිය ස්ථාන සහ කෝච්චියේ වීඩියෝ යුටියුබ් එකේ දමා තිබෙන විඩියෝස් වල කොමෙන්ට් බලන්න, ගොඩක් බටහිර රටවල ඉන්න විදේශීකයන් අහලා තියෙනවා "ලංකාවේ දුම්රිය සේවය බ්‍රිතාන්‍ය පාලකයන් රට දාලා ගියාට පස්සේ දියුණුවක් නැද්ද" කියලා සහ "තාමත් නූතන ලෝකයේ විදියට කිසිම අලුත් කිරීමක් නැහැනේ ලංකාවේ දුම්රියේ කියලා" වගේ කතා ගොඩයි කොමෙන්ට් අතරේ, ඔය අස්සේ ලංකාවේ එවුනුත් විලි ලැජ්ජාවක් නැති "Visit Sri Lanka" කියලා හිරිකිතයක් නැතිව reply කරනවා. මොකද අපේ දුම්රිය සේවයේ වැඩ කටයුතු අන්තිම outdated සහ කිසිම් modern technology එකක් නැහැ. ඩිසල් දැවි තෙල් කළු දුම පිඹිමින් අවලස්සන එන්ජින් සහ compartments සහිත දුම්රිය තාමත් දුවනවා, ඉන්දියාවෙන් එන අලුත් නමුත් යල් පැන ගිය තාක්ෂණයෙන් සවිබල ගැන්වෙන ගොබ්බ එන්ජින් තෙල් පුච්චනවා හොඳටම එත් ලංකාවේ මිනිස්සු දැක්කේ නැහැ වගේ යනවා.

    ලංකාවේ රජයේ අළුත් බිල්ඩින් පිටින් ඉතාමත් නවීන පන්නයේ අමුද්‍රව්‍ය ලිෆ්ට් සහ ෆර්නිචර් සහිත වුවත් වැඩ කරන්න අලුත්ම ඇපල් පරිගණක සැම්සුන් ඩිස්ප්ලේ ආදිය ලබා දී ඇතත් වැඩ කටයුතු සඳහා ඇතුලත ඇත්තේ පැරණි අකාරයක්ෂම සහ තවමත් යම්තාක් දුරකට දූෂිත ක්‍රියාවලියකුයි. එහෙත් ප්‍රයිවෙට් ආයතන තුල එසේ නැත, පැරණි බිල්ඩින් උනත් කාලෙට අනුව වෙනස් වෙමින් ඉතා කාර්යක්ෂමව වැඩේ කරගෙන යයි. එම බිල්ඩින් පවා හොදින් නඩත්තු කර ගෙන යයි . රජයේ ආයතන හැදෙන්න ඕනේ නම් ලංකාවේ පෞද්ගලික අංශය දිහා බලා ගෙන හැදෙන්න ඕනේ. මට තියෙන ගැටලුව ඕවා හදන්න දේශපාලකයකු පැමිණිය යුතුමද... යන්නයි. මෙය කළමනාකරුවන්ගේ කාර්යක් නේද?. ලංකාවේ සියලු දේ දේශපාලකයන් පිට දමා අත පිහ දා ගැනීමේ සම්ප්‍රදායකුත් ඇත.

    ඒ නිසා මිනිසුන් හදා රට හදමු කියලා සමහර කට්ටිය යෝජනා ඉදිරිපත් කරනවා ඔවුන්ගේ දේශපාලන අදහස තමයි කොතරම් අධිවේගී මාර්ග, අධිවේගී අන්තරජාල, වරාය, ගුවන්තොටුපොළවල් හැදුවත් වැඩක් නැත රටේ ඉන්නේ අමන, තකතීරු, මජර මිනිසුන් නම් කියලා කියන්නේ.

    අනික් අතට ලංකාව වගේ ප්‍රජාතාන්ත්‍රික ජනරජයක කොහොමත් දේශපාලකයො මේ තරම් බලවත් වෙන්නේ කොහොමද? මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?

    ReplyDelete
    Replies
    1. රජයේ මුදල් වියදම් කරලා විශාල සිවිල් ඉදිකිරීම් සහ ලොකු මිලදී ගැනීම් වලට අමතරව කල හැකි කල යුතු ප්‍රතිසංස්කරණ ගොඩක් අපේ පද්ධති වල තියෙනවා.

      දැන් අපි සරල උදාහරණයක් ගනිමු. අපේ රටේ දුමිරිය සේවයක් තියෙනවා. දුම්රිය සේවයේ දියුණුව කියලා හැමවිටම දේශපාලකයින් කරන්නේ දුම්රිය මැදිරි ගෙන්වීම, විශාල එන්ජින් ගෙන්වීම, දුම්රිය මාර්ග ඉදිකිරීම ආදී දේවල්.. ඒත් මේ ඇතුලේ තියෙන පද්ධති නවීකරණය කරන්න ලොකු උනන්දුවක් නෑ, කොටින්ම අපිට තාම ඉලෙක්ටොනික් ඔන්ලයින් ටිකට් සිස්ටම් එකක් වත් නැහැ.. රුපියල් බිලියන් ගානක් දීල ලොකු එන්ජින් ගෙන්වද්දි ඇත්තටම ටිකට් සිස්ටම් එකක් ගෙනාවොත් ලොකු මුදලක් ඉතිරි කරගන්න අවස්ථාවක් ලැබෙනවා නේද?

      Delete
    2. //රජයේ ආයතන හැදෙන්න ඕනේ නම් ලංකාවේ පෞද්ගලික අංශය දිහා බලා ගෙන හැදෙන්න ඕනේ. මට තියෙන ගැටලුව ඕවා හදන්න දේශපාලකයකු පැමිණිය යුතුමද... යන්නයි. මෙය කළමනාකරුවන්ගේ කාර්යක් නේද?. ලංකාවේ සියලු දේ දේශපාලකයන් පිට දමා අත පිහ දා ගැනීමේ සම්ප්‍රදායකුත් ඇත.//

      දේශපාලකයින් වේවා කළමනාකරුවන් වේවා ඒ මිනිස්සු රජයේ ආයතන හදන්නේ මොන කෙහෙම්මලකටද? මිනිස්සු උනන්දුවෙන් වැඩ කරන්නේ තමන්ට ලාබයක් ලැබෙන විටයි. මෙය පුද්ගලයින් ලෙස දේශපාලකයින්ගේ හෝ කළමනාකරුවන්ගේ වැරැද්දක් නෙමෙයි. මිනිස්සු මාරු කළා කියලා වෙනසක් නොවෙන්නේ ඒකයි. වැරැද්ද තිබෙන්නේ ක්‍රමයේ. වෙනස් කර ගත යුත්තේ ලංකාවේ පවතින හැම දේකටම වගේ රජය මත බර තබා ඇති සමාජවාදී ක්‍රමයයි. ඔය ඉන්න මිනිස්සුන්ටම වැටුප් වෙනුවට කවර හෝ ක්‍රමයකින් මනින මුදල්මය හෝ නොවන "ලාබයකින්" කොටසක් ගෙවුවනම් ඔය මිනිස්සුම වඩා කාර්යක්ෂම ක්‍රම හදයි. ආයතනය කාර්යක්ෂම වුනත් නැතත් එකම වැටුප ලබන මිනිස්සු හැමවිටම බලන්නේ තමන්ගේ රැකියාව යාන්තමින් බේරාගත හැකි තරමට පමණක් කාර්යක්ෂම වෙමින් වෙනත් හැකි අයුරකින් තමන්ගේ ආදායම වැඩි කර ගන්නයි.

      //අනික් අතට ලංකාව වගේ ප්‍රජාතාන්ත්‍රික ජනරජයක කොහොමත් දේශපාලකයො මේ තරම් බලවත් වෙන්නේ කොහොමද? මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද?//

      සරලම පිළිතුර රටේ නමේ මිසක් රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැති වීම. නියම ප්‍රජාතන්ත්‍රවාදයක් ඇතුළේ රටේ හැම මිනිහෙක්ම සමානයි. කවුරුවත් වැඩිපුර බලවත් නැහැ. ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය මුල සිටම හැදිලා තිබෙන්නේ මේ විදිහට. රටේ හැම මිනිහෙක්ම කෙසේ වෙතත් හැම වැඩිහිටි සුදු පිරිමියෙකුටම කිසියම් රාජ්‍ය පාලන බලයක් තිබෙන ක්‍රමයක් විදිහට. ඉන්පසුව වැඩිහිටි කාන්තාවන්, කළු ඇමරිකානුවන් හා අනෙකුත් සුළු ජාතීන්ද මේ කුලකය ඇතුළට ඇතුළත් කරගෙන තිබෙනවා. මේ ක්‍රියාවලිය තවමත් 100%ක් සම්පූර්ණ නැතත් සෑහෙන දුරකට සම්පූර්ණයි. ඇමරිකාවේ පුරවැසියෙකු වන හැම වැඩිහිටියෙකුටම රාජ්‍ය පාලනයට මැදිහත් විය හැකියි.

      ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය මුල සිටම හැදිලා තිබෙන්නේත් හරියටම මේ විදිහට. රටේ හැම මිනිහෙක්ම කෙසේ වෙතත් හැම වැඩිහිටි සුදු පිරිමියෙකුටම කිසියම් රාජ්‍ය පාලන බලයක් තිබෙන ක්‍රමයක් විදිහට. වැඩිහිටි සුදු පිරිමි ඇමරිකාවේ ජනගහණයෙන් 20%ක් පමණ වුනත්, ලංකාවේ ජනගහණයෙන් 1%කටත් අඩු පිරිසක්ව සිටි නිසා මේ ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළේ කවදාවත් ස්වදේශිකයින් ඉංග්‍රීසින් තරමට බලවත් වුනේ නැහැ. පසුකාලීනව ස්වදේශිකයින් අතරින් යම් පිරිසක් ඉංග්‍රීසින් තරමට බලවත් වී තිබෙනවා. ඒ අය අතේ දේශපාලන බලය තිබෙනවා. ඒ පිරිස තවමත් රටේ මුළු ජනගහණයෙන් සීමිත පිරිසක්. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ඒ අයගේ ප්‍රජාතන්ත්‍රවාදයක්. අනෙක් අයට මේ "රජ ලේ" තිබෙන අය අතරින් "රජෙක්" තෝරා ගන්න පුළුවන්. එය පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයක් නෙමෙයි.

      ඔබ දේශපාලකයින් බලවත් වීම ලෙස දකින දෙයම හැම විටම බලවත් අය දේශපාලකයින් වීම ලෙස පෙන්වා දෙන්නත් පුළුවන්. ඒ බලවත් නොවන ගොඩේ අය වරින් වර උඩට යනවා තමයි. එහෙම අමාරුවෙන් උඩට යන කෙනෙකුට තමන් අමාරුවෙන් එකතු කරගත් බලය පහළ ඉන්න අයට "නිකම්" බෙදා දෙන්න අවශ්‍යතාවයක් ඇති වන්නේ නැහැ. ලංකාවේ ඉහළ ස්ථර අතේ කේන්ද්‍ර වී තිබෙන දේශපාලන බලය පහළ ස්ථර අතට ගන්න යම් අරගලයක් අවශ්‍ය වෙනවා. හැබැයි ජවිපෙ වගේ පක්ෂ විසින් කරපු ආකාරයේ එකක් නෙමෙයි. දේශපාලන බලය ලබා ගැනීම සඳහා රාජ්‍ය බලය අවශ්‍ය වන්නේ නැහැ.

      ඇත්තටම පහළ ස්ථර වල ඉන්න අය විසින් ජවිපෙ හෝ සෝවියට් ක්‍රමයට රාජ්‍ය බලය ලබාගත් විට වෙන්නේ දේශපාලන බලය සියල්ලන්ටම ලැබෙනවා වෙනුවට එහි ඉහළ ස්ථරය වෙනස් වෙන එක පමණයි. කලින් හිටපු 1% හෝ 5% වෙනුවට දැන් වෙන 1%ක් හෝ 5% ඉන්නවා. නමුත් ඉතිරි පිරිසට තවමත් කිසිදු දේශපාලන බලයක් නැහැ. සිවිල් ව්‍යාපාර හා අරගල හරහා සමාජයේ දේශපාලන බලය නැති ස්ථර වෙත දේශපාලන බලය ලබා ගත හැකිනම් රාජ්‍ය බලය තිබෙන්නේ කා අතේද කියන එකේ ලොකු ප්‍රශ්නයක් නැහැ.

      දේශපාලන බලය එක්කම රටේ හැමෝටම ප්‍රාග්ධනය වෙත ප්‍රවේශ වීමේ හැකියාවත් ලබා ගත යුතු වෙනවා. මේ කාරණයේදී ලංකාවේ සමාජවාදී ප්‍රතිපත්ති, විශේෂයෙන් නිදහස් අධ්‍යාපනය, විසින් සිදු කර තිබෙන විශාල හානියක් තිබෙනවා. නිදහස් අධ්‍යාපනය කියා කියන්නේ ලංකාවේ පහළ ස්ථර වලට ප්‍රාග්ධනය සඳහා ප්‍රවේශ වීම අවහිර කරමින් කාලයක් තිස්සේ ලංකාවේ ප්‍රාග්ධනය හැසිරවීමේ බලය රටේ ඉහළ ස්ථර අතේ තියා ගැනීම පහසු කර ගැනීම සඳහා සාර්ථක ලෙස යොදාගෙන තිබෙන උපකරණයක්.

      Delete
    3. අන්තිම චේදය පැහැදිලි කරන්න පුලුවන්ද?

      Delete
    4. මේක ටිකක් සංකීර්ණ දෙයක්. පොතක් ලියන්න තරම් කරුණු සහිතව විස්තරාත්මකව පැහැදිලි කළ යුතු හා කළ හැකි දෙයක්. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය, උපරිම ඉඩම් සීමා, අඳ ගොවි පනත වගේ බොහෝ දෙනෙක් ප්‍රශ්න නොකර අගය කරන ජනප්‍රිය දේශපාලන ප්‍රතිපත්ති නොවන්නට ලංකාව අද ඉන්නේ මීට වඩා ගොඩක් ඉස්සරහින්. ගොඩක් අය මේ දේවල් වලට සංවේදී නිසා හා තර්ක බුද්ධිය පැත්තකට දමා හැඟීම්බරව බලන නිසා කෙටියෙන් පැහැදිලි කරන්න යාම ටිකක් භයානක වැඩක්. විස්තර සහිතව පැහැදිලි කරන්නනම් ඊට කලින් පොදුවේ මාක්ස්වාදයේ ගැටළු, නිදහස් අධ්‍යාපනය හා මාක්ස්වාදය සම්බන්ධ වන හැටි ආදිය පැහැදිලි කරන්න වෙනවා. ඔබ අහන නිසා දැනට හැකි තරම් සරලව හා සංක්ෂිප්තව උත්තරයක් දෙන්න බලන්නම්.

      මම කලින් විස්තර කළ කොබ්-ඩග්ලස් නිෂ්පාදන ශ්‍රිතය ගත්තොත්,

      ∂Y/∂L = (1-α)Y/L

      ∂Y/∂K = αY/K

      ∂Y/∂K: ශ්‍රමය දැනට තිබෙන මට්ටමේම තියෙද්දී ප්‍රාග්ධනය යම් ප්‍රමාණයකින් වැඩි කළොත් නිෂ්පාදිතය වැඩි වන ප්‍රමාණය. මෙයට අපි ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායීතාවය කියා කියනවා.

      ∂Y/∂L: ප්‍රාග්ධනය දැනට තිබෙන මට්ටමේම තියෙද්දී ශ්‍රමය යම් ප්‍රමාණයකින් වැඩි කළොත් නිෂ්පාදිතය වැඩි වන ප්‍රමාණය. මෙයට අපි ශ්‍රමයේ ආන්තික ඵලදායීතාවය කියා කියනවා.

      ශ්‍රම ඒකකයකට ගෙවන වැටුප් අනුපාතිකය w ලෙසත්, ප්‍රාග්ධන ඒකකයකට ගෙවන ලාභාංශ හෝ පොලී අනුපාතිකය r ලෙසත් සලකමු. එවිට, අපට මෙසේ ලියන්න පුළුවන්.

      w = ∂Y/∂L = (1-α)Y/L

      r = ∂Y/∂K = αY/K

      නිදහස් අධ්‍යාපනය වගේම නිදහස් සෞඛ්‍යය හරහාත් කෙරෙන්නේ මෙහි L වැඩි කරන එක. ඒ එක්කම ඒ සඳහා වැය වන ප්‍රාග්ධනය නිසා K අඩු වීමක් වෙනවා. මේ නිෂ්පාදන සාධක හා ඒවායේ ආන්තික ඵලදායීතාවය අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක් නිසා L වැඩි වන විට w අඩු වෙනවා. ඒ වගේම K අඩු වෙන කොට r වැඩි වෙනවා. ඒ කියන්නේ නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් විදිහට එක් ශ්‍රම ඒකකයකට ලැබෙන වැටුප අඩු වෙලා එක් ප්‍රාග්ධන ඒකකයකට ලැබෙන ප්‍රතිලාභ වැඩි වෙනවා. මුළු රටම ගත්තොත් ශ්‍රමය වෙනුවෙන් හා ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබෙන කොටස් වෙනස් වෙන්නේ නැහැ. නිදහස් අධ්‍යාපනය නිසා වෙන්නේ ශ්‍රමය වෙනුවෙන් ලැබෙන කොටස වැඩි දෙනෙක් අතර බෙදී ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබෙන කොටස ටික දෙනෙක් අතර බෙදෙන එකයි. ඒ නිසා වෙන්නේ ආදායම් විෂමතා හා පන්ති විෂමතා වැඩි වෙන එකයි.

      ගණිතය බර වැඩිනම් අපි සංයුක්ත උදාහරණයක් ගනිමු. මෙහිදී ඔබ රට ඉදිරියට යාම කියන එක මානුෂික කරුණු සමඟ පටලවා නොගත යුතුයි.

      අපි හිතමු ගම් වල ඉඩම් හිමියන් ඉන්නවා. අනෙක් අය එම ඉඩම් හිමියන්ගේ කුලී කරුවන් ලෙස සේවය කරනවා. ඒ අයගේ ජීවිත දුක්ඛිතයි. ඓන්ද්‍රීය වර්ධනයකදී ඉඩම් හිමියා මුලදී ප්‍රාග්ධනය එකතු කර ගන්නවා. අනෙක් අය අඩු ශ්‍රමයට කුලී වැඩ කරනවා. අඩු කුලියට වුවත් හැමෝටම රැකියා තිබෙනවා. එහෙත් කාලයක් යද්දී ඔය විදිහට ප්‍රාග්ධනය එකතු කර ගන්න අය අතර තරඟය නිසා ශ්‍රමය වෙනුවෙන් වැඩි මිලක් ගෙවන්න වෙනවා. ප්‍රාග්ධනය වැඩි වෙද්දී එයට ප්‍රතිලෝම ලෙස ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ ටිකෙන් ටික අඩු වෙනවා. ශ්‍රමයේ ප්‍රතිලාභ අඩු නිසා ශ්‍රම බලය වෙනුවෙන් ප්‍රමාණවත් ආයෝජන සිදු නොවී (අධ්‍යාපනය, සෞඛ්‍යය ආදිය වෙනුවෙන්) ශ්‍රම බලය පහළ යනවා. මෙසේ ශ්‍රම බලය පහළ යද්දී එයට ප්‍රතිලෝම ලෙස ශ්‍රමයේ ආන්තික ප්‍රතිලාභ වැඩි වෙනවා. ශ්‍රමය සපයන අයට අධ්‍යාපනය, සෞඛ්‍යය ආදිය වෙනුවෙන් වගේම භෞතික ප්‍රාග්ධනය හිමි කර ගැනීම වෙනුවෙන්ද යෙදවිය හැකි අතිරික්තයක් ඉතිරි කර ගත හැකි වෙනවා.

      නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය වගේ දේවල් නිසා ශ්‍රම බලය කෘතීම ලෙස ඉහළ යනවා. අනෙක් පැත්තෙන් අක්කර පනහේ නීති, දැඩි කම්කරු නීති ආදිය නිසා ප්‍රාග්ධනය එක් රැස් කර ගැනීම එන්න එන්නම අමාරු වී ප්‍රාග්ධන හිමියන් අඩු වෙන්න පටන් ගන්නවා. නිදහස් අධ්‍යාපනය හරහා එකතු කෙරෙන ශ්‍රම බලය කාර්යක්ෂම ලෙස නිෂ්පාදනය සඳහා යොදා ගත හැකි රැකියා අවස්ථා නැහැ. ප්‍රාග්ධනය අහිමි වූ ගම් වල පැරණි ඉඩම් හිමියන් වගේ අයටත් අවසාන වශයෙන් වෙන්නේ ජීවත් වීම සඳහා ශ්‍රමය විකුණන්නයි. ප්‍රාග්ධනය හිමි අය ටිකෙන් ටික අඩු වෙලා ගිහින් අවසානයේදී සුළු පිරිසක් ඉතිරි වෙනවා. ඒ ඉහළම ස්ථරය. ගොඩක් වෙලාවට අගනුවර ආශ්‍රිතව හෝ වෙනත් ප්‍රධාන නගරයක් ආශ්‍රිතව ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ට නොපෙනෙන පිරිසක්. ගම්වල ඉඩම් හිමියෝ වගේ නෙමෙයි. දැන් ප්‍රාග්ධනය මේ අය අතේ සංකේන්ද්‍රණය වෙලා. තරඟය අඩු නිසා ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ ගොඩක් වැඩියි. නිදහස් අධ්‍යාපනය හරහා ශ්‍රම වෙළඳපොළේ තරඟය දිගින් දිගටම වැඩි කරද්දී එයට අනුරූපව ප්‍රාග්ධනයේ ආන්තික ප්‍රතිලාභ එන්න එන්නම ඉහළ යනවා. ලංකාවේ වෙන්නේ ඔන්න ඕකයි.

      Delete
    5. ඓන්ද්‍රීය ලෙස ගම්වල ධනවතුන්ට ගොඩ නැගෙන්න ඉඩ දුන්නානම් ඔහොම වෙන්නේ නැහැ. ප්‍රාග්ධනය සංකේන්ද්‍රනය වීම එක්ක දේශපාලන බලය සංකේන්ද්‍රනය වීමක්ද සිදු වී තිබෙනවා. ගම් වල බලවතුන්ගේ බලය බිඳී තිබෙන්නේ එම බලය ගම් වල අනෙක් අය වෙත සම්ප්‍රේෂණය වීමෙන් නෙමෙයි. තනිකරම ගම් වලින් බැහැර වී සුළු පිරිසක් අතට යාමෙන්. දැන් ගම් වල ලොක්කෝ නැහැ. ඔක්කොම සොක්කෝ. ගම් වල ලොක්කෝ හිටියානම් කාලයක් යද්දී ඒ අයගේ බලය වඩා පහසුවෙන් බිඳෙනවා. එහෙත් දැන් පැත්තක ඉන්න දේශපාලන බලවතුන් එක්ක ඒ විදිහට ඔට්ටු වෙන්න බැහැ. ලෝක මට්ටමෙන් වෙන්නෙත් ඒකයි. චීනය ආදායම් විෂමතා අඩු කිරීම පැත්තකට දමලා ඇමරිකන් ධනවතුන් සමඟ හැප්පෙන්න පුළුවන් ලොකු චීන ධනවතුන් ගොඩ නගන්නේ ඒකයි.

      Delete
  5. මාතෘකාවට අදාල නැති ,ඔබේ විශයට අයත් පොඩි ප්‍රශ්නයක් තීනවා අහන්න,
    සංඛ්‍යානය වගේ විශයක් අපි යොදා ගන්නවනේ කාල ගුන පුරෝකතනය සදහා, ඒ සම්බන්ද විශේෂ වෙච්ච් පශ්තාත් උපාධි වැඩ සටහන්( MSc) එහේම තීනවා ද ඔබ දැනුවත් ව?? සහ ඒ සදහා ඇමරිකාව වගේ රට වල ඉල්ලුම කොහොමද ?

    ReplyDelete
    Replies
    1. ඔබ කියන්නේ APPLIED METEOROLOGY වගේ විෂයයක් ගැන. සංඛ්‍යානය විවිධ විෂයයන් සඳහා යොදාගත්තත් එහිදී සංඛ්‍යානය පිළිබඳ දැනුම පමණක් තිබීම කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. ගණිතය/සංඛ්‍යානය පිළිබඳ සැලකිය යුතු තරමේ "තාක්ෂනික" දැනුමක් තිබෙන බව පෙනෙන අය කෝවිඩ් හා කෝවිඩ් එන්නත් පිළිබඳව කිසිම පදනමක් නැති කතා කියනවා මම දැකලා තිබෙනවා. එයට හේතුව වසංගත රෝග විද්‍යාවේ මූලධර්ම ගැන දැනුමක් නැතිකමයි. මේ විදිහටම ආර්ථික විද්‍යාවේදී සංඛ්‍යානය යොදා ගත යුත්තේ ආර්ථික විද්‍යා මූලධර්ම පිළිබඳ අවබෝධයක් ඇතුවයි. ආර්ථිකමිතික විද්‍යාව (econometrics), මනෝමිතික විද්‍යාව (psychometrics), ජීවමිතික විද්‍යාව (biometrics) ආදී සංඛ්‍යානය යොදා ගන්නා විෂයයන් ඕනෑම එකකදී අදාළ මූල විෂය පිළිබඳ ප්‍රමාණික හා ප්‍රායෝගික දැනුමක්ද අවශ්‍ය වෙනවා. සංඛ්‍යානය තනිව ගත්තොත් එය වියුක්ත විෂයයක්. මේ කතාව කාලගුණ විද්‍යා අනාවැකි වලටත් පොදුයි. ඒ නිසා, ඔබට සංඛ්‍යානය යොදාගෙන කාලගුණ අනාවැකි කිව හැකි වන්නේ කාලගුණ විද්‍යාවේ (වායුගෝලීය විද්‍යාව/ පෘථිවි විද්‍යාව ඇතුළුව) මූල විෂයයන් පිළිබඳව දැනුමක්ද ඇත්නම් පමණයි. බොහෝ පශ්චාත් උපාධි පාඨමාලා වල මේ විෂයයන්ගේ එකතුවක් අඩංගුයි. ඔබේ ප්‍රශ්න වලට හා අදාළ ඇතැම් කරුණු පහත ලින්ක් එකේ තිබෙනවා.

      https://successfulstudent.org/best-atmospheric-sciences-and-meteorology-graduate-programs/

      Delete
    2. මේ හා අදාළ ප්‍රථම උපාධි පාඨමාලා තිබෙනවා. බොහෝ විට පශ්චාත් උපාධියක් කරන්නේ ප්‍රථම උපාධියක් කළ අයෙක්. එය එසේම විය යුතු නැහැ. පහත තිබෙන්නේ එවැන්නක්. රැකියා අවස්ථා ගැන විස්තරයක්ද එහි තිබෙනවා.

      https://admissions.purdue.edu/majors/a-to-z/applied-meteorology-and-climatology.php

      Delete
  6. ස්තූති ඔබට, මම පේරාදෙණියේ සංඛ්‍යානය හදාරනවා, විශයක් විදියට නැතුව ඉස්සරහට එය බාවිතා වන ක්ෂේත්‍රයකින් යන්න කැමති. එතකොට ඔබ කියන්වා වගේ සංඛ්‍යානය එහා ගිය අදාල ක්ෂේත්‍රය පිලිබද දැනමුකුත් අවශ්‍යයි නේ. එහෙම බලනකොට සංඛ්‍යානය ට අමතරව වෙනම ඉගෙන ගන්න වෙනවා

    ReplyDelete
    Replies
    1. ඔබේ පෞද්ගලික ප්‍රශ්නයට අදාළ නැති වුවත් ඔබ අසා තිබෙන ප්‍රශ්නයට අදාළ පොදු ප්‍රතිචාරයක් දමන්නම්. ඔබ අසා ඇති ආකාරයේ ප්‍රශ්න මීට පෙරත් කිහිප දෙනෙක් අසා තිබුණා.

      ඇමරිකාව වැනි ධනවාදී රටක xxx උපාධි පාඨමාලාවක් හැදෑරූ අයට රැකියා තිබෙනවද වැනි ප්‍රශ්න වලට සාමාන්‍යයෙන් තේරුමක් නැහැ. මේ වගේ ප්‍රශ්න මතුවන්නේ ලංකාව වැනි සමාජවාදී ආකෘතියේ රටවල. ඇමරිකාවේ රැකියා වෙළඳපොල වගේම අධ්‍යාපන වෙළඳපොළත් කිසිවකු විසින් සැලසුම් කරන්නේ නැහැ. රැකියා ප්‍රශ්න මතු වන්නේ එහෙම සැලසුම් කරන්න ගිය විටයි. ඒ වගේම ඇමරිකානු සිසුන් උසස් අධ්‍යාපනය සඳහා මුදල් වැය කළ යුතුයි. ඒ සඳහා වැඩි අපහසුවක් නැතුව ණය ලබා ගන්න පුළුවන්.

      දැන් කවුරු හෝ සිසුවෙක් උසස් අධ්‍යාපනය සඳහා කිසියම් පාඨමාලාවක් තෝරා ගන්නේ ඇයි? එහෙම කරන්නේනම රැකියා අවස්ථා තිබෙන නිසා. නැත්නම් ගත්ත ණය ආපසු ගෙවන්න විදිහක් නැහැනේ. ඒ වගේම ණය ගෙවලා අමතර වාසියක් තියෙන්නත් ඕනෑ. මේ හේතුව නිසා රැකියා අවස්ථා නැති උපාධි පාඨමාලා වලට සිසුන් ඉල්ලුම් කරන්නේ නැහැ. රැකියා අවස්ථා වැඩි පාඨමාලා වලට සිසුන් වැඩියෙන් ඉල්ලුම් කරනවා. හැම වෙලාවකම වගේ අධ්‍යාපනය ලබන සිසුන් හා රැකියා අවස්ථා අතර සමතුලනයක් තිබෙනවා.

      කිසියම් අංශයක රැකියා අවස්ථා අලුතින් ඇති වන විට එයට අනුරූපී උපාධි පාඨමාලාද අලුතෙන් ආරම්භ වෙනවා. ඒ නිසා, එක් එක් රැකියාවේ අවශ්‍යතාවය අනුව විෂයයන් මිශ්‍ර කර හැදූ උපාධි පාඨමාලා විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ වගේම එකම උපාධි පාඨමාලාව හදාරන සිසුන්ට වුනත් විශාල තේරීමක් තිබෙනවා. උපාධිය සඳහා අවශ්‍ය මූලික පාඨමාලා හැරුණු විට අනෙක් පාඨමාලා කැමැත්ත පරිදි තෝරා ගත හැකියි. මේ පාඨමාලා වෙනත් පීඨයක පාඨමාලා වීම සුලබ දෙයක්.

      ඔබ උනන්දුව දක්වන විෂය පථයට ආවොත් සංඛ්‍යානය හදාරන කෙනෙකුට කාලගුණ විද්‍යාවට අදාළ විෂයයන් කිහිපයක් හැදෑරිය හැකියි. එහි අනෙක් පැත්ත කරන්නත් පුළුවන්. ඒ වගේම එකවර උපාධි දෙකක් හෝ තුනක් ගන්නත් පුළුවන්. බොහෝ විෂයයන් උපාධි පාඨමාලා කිහිපයකටම ගණන් ගන්නා නිසා අමතර පාඨමාලා කිහිපයක් පමණක් ගෙන මෙය කළ හැකියි. නැත්නම් minor එකක් ලෙස කරන්නත් පුළුවන්. ඒ නිසා, බොහෝ විට ඕනෑම රැකියාවකට බඳවා ගැනීමේදී මුල් තැන දෙන්නේ හරියටම අවශ්‍ය දෙය ඉගෙන ගෙන තිබෙන කෙනෙකුට. වැඩේට දක්ෂනම් රැකියා තිබෙනවා.

      ඔබේ ප්‍රශ්නයට ආවොත් මම හිතන විදිහට ලංකාවෙන් සංඛ්‍යානය හැදෑරු කෙනෙකුට ඇමරිකාවේ APPLIED METEOROLOGY පාඨමාලාවකට ඇතුළු වීම එතරම්ම අපහසු වැඩක් නෙමෙයි. අමාරු අරමුදල් සොයා ගැනීමයි. ලංකාවේ බොහෝ දෙනෙක් උසස් අධ්‍යාපනය සඳහා එන්නේ මොන විදිහකින් හෝ ශිෂ්‍යත්වයක් හදාගෙනනේ. ශිෂ්‍යත්ව ලබා ගැනීමේදී තමන්ගේම ක්ෂේත්‍රය තෝරා ගැනීම වඩා ප්‍රතිඵලදායකයි. පසුව කැමති පැත්තට මාරු වීම ගොඩක් අපහසු නැහැ.

      Delete
  7. තෙල් ටික අඩුවට අරගෙන
    වැඩි මිලකට විකුණ විකුණ
    "එදාවේල ටුවර්ස්" නමින්
    සති ගාණක් දිව්වා

    විදේශ සංචිත අරගෙන
    ණයයි පොලිය දෙක ගෙවමින
    ගෙදරට මරගාතෙ උනත්
    ලෝකෙට පරකාසේ

    ගෙවුම් ශේෂ අර්බුදයෙන්
    කර මුලටම හිරවෙලාලු
    එන්නත ගෙන්වන්න තරම්
    මුදල් හදල් අපට නැතිලු

    ඒ උනාට පම්පෝරිය
    ප්‍රජා අයිතියට කෙලින්න

    ReplyDelete
  8. විනිමය හුවමාරු ගිවිසුම් වලට ඉංග්‍රීසියෙන් කියන්නේ Swap agreement කියලද.
    අපි ඉන්නේ එන්ගලන්තයේ. ඒක නිසා මගේ දරුවන්ට සිංහල කතා කරන්න පුලුවන් වුනාට ලියන්න කියවන්න බැහැ. මම ඔබගේ බ්ලොග් පිටු ඉංග්‍රීසියට පරිවර්තනය කරල දුවට දෙනවා කියවන්න. ඔබගේ ඉංග්‍රීසි බ්ලොග් එකකුත් තියනවද.

    ReplyDelete
    Replies
    1. ඔව්, ඇනෝ. Swap agreement තමයි. ඉකොනොමැට්ටා නමින් වෙනම ඉංග්‍රීසි බ්ලොග් එකක් නැහැ. ඇත්තටම ඉංග්‍රීසියෙන් කියවන්න පුළුවන් කෙනෙකුට මීට වඩා හොඳ සම්පත් අන්තර්ජාලයෙන් හොයා ගන්න පුළුවන්. මෙහි සිංහලෙන් පළවන දේ ඉංග්‍රීසියට පරිවර්තනය කර කියවීම එතරම් කාර්යක්ෂම දෙයක් කියා මම හිතන්නේ නැහැ. දරුවන් කැමතිනම් ප්‍රශ්නයක් නැහැ. නැත්නම් මේවා ඔවුන්ගේ ඇඟේ ගහන්න එපා. "marginal revolution university" නමින් තිබෙන වීඩියෝ දරුවන්ට ගැලපෙයි කියා මම හිතනවා. ආර්ථික විද්‍යාවට අදාළ බොහෝ සංකල්ප ඉතා හොඳින් හා නිවැරදිව මේවායේ විස්තර කරනවා. සර්ච් කර බලන්න.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: