Tuesday, January 12, 2021

ආයෙත් ඒවිද ඒ සමනලයා


සාර්ථකත්වය 95.0% බව කියන පයිසර්-බයෝඑන්ටෙක් කෝවිඩ් එන්නතේ සාර්ථකත්වය 0% සිට 100% දක්වා ඕනෑම අගයක් වෙන්න පුළුවන්. ඒක එහෙම නෙමෙයි කියා කියන කෙනෙක් එන්නවානම් කරුණාකර ඉදිරිපත් වෙන්න. විද්‍යාව අනුව එවැනි නිශ්චිත ප්‍රකාශයක් කරන්න පුළුවන්කමක් නැහැ. ධම්මික පැණියේ සාර්ථකත්වයත් 0% සිට 100% දක්වා ඕනෑම අගයක් වෙන්න පුළුවන්. එහෙමනම්, මේ දෙකම එකිනෙකට සමානද? 

"ඒ කාලේ පල්ලියේ ඉගැන්වීම වුනේ සමස්ත විශ්වයම පෘථිවිය කේන්ද්‍ර කරගත්තක් බව. ඒත් පෘථිවිය සූර්යයා වටා භ්‍රමණය කෙරෙන බවට සාක්ෂි සොයා ගෙන ගැලීලියෝ ගැලිලි ඒක ප්‍රකාශයට පත් කළාම ඒ ගැන කිපුණු කතෝලික පල්ලිය 1633 දී ඔහු නිවාස අඩස්සියේ තබන්න නියෝග කළා. ... ඉතාලි පාලකයන් එදා ඔහු කියූ සත්‍යය බැහැර කළත් අද මුළු ලෝකයම ඔහු එදා හෙළි කළ දේ පිළිගන්නවා."

ඉහතින් තියෙන්නේ සරෝජ් පතිරණගේ ප්‍රකාශයක්.

පෘථිවිය සූර්යයා වටා භ්‍රමණය කෙරෙන බවට ගැලීලියෝ විසින් කරපු ප්‍රකාශය සත්‍යයක්ද? අද මුළු ලෝකයම ඔහු එදා හෙළි කළ දේ පිළිගන්නවා කියන්නේ ඇත්තද? විද්‍යාවේ පියා ලෙස සැලකෙන ගැලීලියෝ ගැලීලිගෙන් සෘජුවම පැවත එන, ගැලීලියෝගේ වගේම අයිසෙක් නිවුටන්ගේත් ශාස්ත්‍රාලයීය මී මුණුපුරෙක් වන නලින් ද සිල්වානම් මේ කතාව පිළිගන්නේ නැහැ. නලින් ද සිල්වාගේ පහත ලිපිය අගට ගියොත් සූර්යයා පෘථිවිය වටා භ්‍රමණය වන ආකෘතියක් ඇස් වලින්ම බලා ගන්න පුළුවන්.

කොපර්නිකස් හා ගැලීලියෝ නිවුටන්ට කළ හදිය

දැන් එහෙමනම්, නිවැරදි නලින් ද සිල්වාද නැත්නම් සරෝජ් පතිරණද? කෙටි පිළිතුරනම් ඔය ආකෘති දෙකම එක තරමට නිවැරදි බවයි. අවශ්‍යනම් ආකෘති දෙකම වැරදි බව "පෙන්වා දෙන්නත්" පුළුවන්.

මේ ආකෘති දෙකටම වඩා නිවැරදි භෞතික විද්‍යා ආකෘතියක් අනුව පොළොව වටා ඉරවත්, ඉර වටා පොළොවවත් ගමන් කරන්නේ නැහැ. ඇත්තටම සිදුවන්නේ පොළොවේත්, ඉරේත් පොදු ගුරුත්ව කේන්ද්‍රය වටා (barycenter) ඉරත් පොළොවත් දෙකම ගමන් කිරීමයි. පහත ලිපිය ආරම්භයේ ඇති ආකෘතිය බලන්න.

දවසට පැය කීයක්ද එහේ?

ඇත්තටම කියා කිවුවත් ඇත්තටමත් නෙමෙයි. මුල් ආකෘති දෙක වගේම මේ තෙවැන්නත් තවත් ආකෘතියක්. වෙනත් කෙනෙකුට ඉතාම පහසුවෙන් මේ ආකෘති තුනම වැරදි බව පෙන්වා දෙන්න පුළුවන්. සරලම වැරැද්දක් විදිහට ඉර, හඳ, හා පොළොව මේ ආකාරයට එකම තලයක ගමන් කරන්නේ නැහැ. ඒ බව සලකා ත්‍රිමාන ආකෘතියක් හදන්න පුළුවන් වුනත් එයත් තවත් ආකෘතියක් පමණයි. යම් තත්ත්වයන් යටතේදී මේ වගේ ආකෘතියකින් මේ ග්‍රහවස්තූන් සැබෑවටම චලනය වන ආකාරය නිරූපණය වන්නේ නැහැ. එහෙමයි කියලා වැඩ ගත හැකි සීමාව තුළ වැඩ ගන්නවා මිස ඔය ආකෘති අහක දාන්න අවශ්‍යත් නැහැ. 

පයිසර්-බයෝඑන්ටෙක් කෝවිඩ් එන්නත හදලා තියෙන්නේ විද්‍යාවේ ක්‍රමවේදය අනුව. කියන විදිහට ධම්මික පැණිය හදලා තියෙන්නේ කාලි අම්මාගෙන් අසාගත් වට්ටෝරුවකට. ඔය දෙකේම සාර්ථකත්වය 0% සිට 100% දක්වා ඕනෑම අගයක් වෙන්න පුළුවන්. එසේ වුවත්, පෞද්ගලිකව මට මේ දෙකෙන් පයිසර්-බයෝඑන්ටෙක් කෝවිඩ් එන්නත සම්බන්ධව තිබෙන විශ්වාසය ධම්මික පැණිය සම්බන්ධව නැහැ. ඒ ඇයි?

පයිසර්-බයෝඑන්ටෙක් කෝවිඩ් එන්නත හදලා පරීක්ෂා කරලා වෙළඳපොළට එන ක්‍රමවේදය පිළිබඳව මට විශ්වාසයක් තිබෙනවා. ධම්මික පැණිය සම්බන්ධව මට එවැනි විශ්වාසයක් නැහැ. මගේ විශ්වාසය අනුව මා විසින් පයිසර්-බයෝඑන්ටෙක් කෝවිඩ් එන්නත ලබා ගත්තොත් කෝවිඩ් හැදී මාව මැරෙන එක වැලකෙන්න 100%කට ඉතාම ආසන්න සම්භාවිතාවක් තිබෙනවා. කෝවිඩ් නොහැදෙන්න අඩු වශයෙන් 95%ක පමණවත් සම්භාවිතාවක් තිබෙනවා. නමුත්, ධම්මික පැණිය ලබා ගැනීමෙන් පසුව කෝවිඩ් නොහැදෙන්න එවැනි ඉහළ සම්භාවිතාවක් ඇති බව විශ්වාස කරන්න මට සාධක නැහැ. සමහර විට මේ පැණිය ගත්තා කියා කිසිම වැඩක් නැති වෙන්නත් පුළුවන්. මේ නිගමන විෂයමූලිකයි. ඒ නිසා, වෙන කෙනෙක් වෙනත් ආකාරයකට හිතනවානම් එහි කිසිම වැරැද්දක් නැහැ.

කාලි දෙවඟන විසින් මේ බෙහෙත දුන්නා කියන කතාව හෝ අඩු වශයෙන් කාලි දෙවඟන කියා කෙනෙක් ඉන්නවා කියන එක (ඇතැම් අයගේ මානසික ලෝක වල හැර) මම විශ්වාස කරන්නේ නැහැ. එහෙත්, අඥේයවාදියෙක් විදිහට මේ දේවල් මට මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන්න බැහැ. මොකද මේ දේවල් ඇත්ත කියා ඔප්පු වී නැතුවාක් මෙන්ම බොරු කියා ඔප්පු වෙලත් නැහැ. එහෙමනම්, මම මේ දේවල් ගැන විශ්වාසයක් නැති බව කියන්නේ ඇයි?

සරල පිළිතුරක් දුන්නොත් මට කිසිම දවසක ඔය කියන කාලි දෙවඟන, නාථ දෙවියන් හෝ වෙනත් දෙවි කෙනෙක් හමු වෙලා හෝ සන්නිවේදනය කරලා නැහැ. එවැනි අත්දැකීමක් තිබුණානම් මට මේ කතාව විශ්වාස කරන්න තිබුණා. 

එහෙමනම්, මම කෝවිඩ් හැදෙන්නේ වෛරසයකින් කියා විශ්වාස කරන්නේ (අඥේයවාදියෙක් විදිහට සැකය බැහැර නොකර මම එසේ විශ්වාස කරනවා) ඔය කියන වෛරසය දැකල තියෙන නිසාද? නැහැ. මම මේ වෛරසය දැකලා නැහැ. නමුත්, අවශ්‍යනම් එම වෛරසය දකින්න පුළුවන් වෙයි කියලා මට විශ්වාසයක් තිබෙනවා. සමහර විට ඒ සඳහා අවශ්‍ය වන උපකරණ (ඉලෙක්ට්‍රොනික් අන්වීක්ෂයක්) තිබීම පමණක් ඒ සඳහා ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. ඉලෙක්ට්‍රොනික් අන්වීක්ෂයකින් වෛරසය දකින්න පුහුණුවක් අවශ්‍ය වෙන්න පුළුවන්. මට අවශ්‍යනම් එවැනි පුහුණුවක් ලබා ගැනීමේ හැකියාව පිළිබඳවද මට විශ්වාසයක් තිබෙනවා. 

මේ විශ්වාසය පදනමක් නැති විශ්වාසයක් නෙමෙයි. මා ගැන පෞද්ගලිකව දන්නා අය දන්නා පරිදි මා එකිනෙකින් වෙනස් විෂයයන් ගණනාවක් විධිමත් ලෙස හදාරා තිබෙනවා. තවත් ඇතැම් විෂයයන් අවිධිමත් ලෙස හදාරා තිබෙනවා. කාලය හා මුදල් අවශ්‍ය වන නමුත් මා බොහෝ විට සාර්ථක වී තිබෙනවා. වෙනත් බොහෝ අයත් මා මෙන්ම මේ දෙය කරනු මා නිරීක්ෂණය කර තිබෙනවා. ඒ නිසා, මා දැනට හදාරා නැති බටහිර විද්‍යාවේ වෙනත් විෂයය ක්ෂේත්‍රයක් හදාරන්න අවශ්‍යනම් එය කළ හැක්කක් බවට මට සෑහෙන විශ්වාසයක් තිබෙනවා. 

මා හදාරා තිබෙන ක්ෂේත්‍ර තුළ හමු වී තිබෙන අලුත් දැනුම් හැම විටම ඇත්තද? පැහැදිලිවම නැහැ. මා බටහිර විද්‍යාව හදාරන්නේත් අඥේයවාදියෙකුගේ සැකය අත් නොහැරයි. හැබැයි හදාරන දෙය හැකිතාක් හොඳින් හදාරනවා. බටහිර විද්‍යාව තුළ වුවත් හමුවන හැම දෙයක්ම නිවැරදි නැහැ. සමහර දේවල් වැරදියි. නිවැරදි බොහෝ දේවල්ද නිවැරදි වන්නේ යම් සීමාවක් තුළයි. නමුත්, සමස්තයක් ලෙස මා පසුතැවිලි වී නැහැ. බටහිර විද්‍යාව තුළ, අවශ්‍යතාවයක් හා හැකියාවක් ඇත්නම් වැරදි නිවැරදි කිරීමේ හා නිවැරදි දේ නිවැරදි වන සීමාව පුළුල් කිරීමේ අවස්ථාව මා හමුවේ තිබෙනවා. මහා ලොකු දේවල් නොවුනත්, එසේ කර ඇති තැන්ද තිබෙනවා. අදටත් මා බටහිර විද්‍යාවන් පිළිබඳ මගේ දැනුම වඩා පුළුල් කර ගැනීම පිණිස මගේ පෞද්ගලික කාලය හා මුදල් ඉතා කැමැත්තෙන් වැය කරනවා.

බටහිර විද්‍යාවේ දැනුම් ක්ෂේත්‍රයට අයත් නොවන විකල්ප දැනුම් පිළිබඳ මගේ විශ්වාසයක් නැතත් එවන් දේ හැදෑරීම වෙනුවෙන්ද මා සෑහෙන කාලයක් යොදවා තිබෙනවා. එවැනි හැදෑරීම් කර තිබෙන්නේද බටහිර විද්‍යා විෂයයක් හදාරන තරමේම උනන්දුවකින් හා කැප කිරීමකින්. මෙය එක අතකින් අජිත් ධර්මා මළවුන් සමඟ කතා කරන්න යාමට සමාන කළ හැකියි. එහෙත්, බොහෝ විට මට හමු වී තිබෙන්නේ එක්කෝ හිතාමතා කරන බොරු. එසේ නැත්නම් ඇත්තක් ඇති බව විශ්වාස කිරීමට තරම් සාක්ෂි නැති දේ. මා සතු ඇතැම් විකල්ප දැනුම් ගැන මා වැඩිපුර ලියන්නවත් කැමති නැත්තේ මගේ විශ්වාසය අනුව එසේ ලිවීමෙන් අර්ථයකට වඩා අනර්ථයක් සිදු විය හැකි නිසයි. ඒ එක්කම මේ විකල්ප දැනුම් සම්පූර්ණ බොරු බව තහවුරු වී නැති බවද කිව යුතුයි.

ඊයේ රෑ "පූර්ණ ආගන්තුකයා (The Perfect Stranger)" කියලා ක්‍රිස්තියානි චිත්‍රපටයක් බැලුවා. මෙහි තරුණ කාන්තාවකට අමුත්තෙක්ගෙන් අහඹු ලෙස රාත්‍රී කෑමකට ආරාධනාවක් ලැබෙනවා. ඔහු තමන්ව හඳුන්වා දෙන්නේ නාසරෙත් සිට පැමිණි ජීසස් ලෙසයි. ඇමරිකාවේ පෙනිසිල්වේනියා ප්‍රාන්තයේ නිවුයෝර්ක් මායිමට කිට්ටුව නාසරෙත් නම් වූ නගරයක් තිබෙනවා. ජීසස් කියන නමත් දුලබ නමක් නොවන නිසා මෙහි ලොකු අමුත්තක් නැහැ. රාත්‍රී කෑම අවසානයේදී අමුත්තා පිටත්ව යාමට පෙර තමන් සමඟ නැවත සම්බන්ධ විය හැකි ආකාරය කාන්තාවට බිස්නස් කාඩ් එකක පිටුපස ලියා දෙනවා. ගෙදර ගිහින් බලද්දී එහි ලියා තිබෙන්නේ "එළිදරවු 3:20" කියලයි. බයිබලය පෙරලා බැලූ විට අදාළ පාඨය මෙවැන්නක්.

එළිදරවු 3:20: "මෙන්න, මම දොර ළඟ සිට තට්ටු කරමි. යමෙක් මාගේ හඬ අසා දොර අරින්නේ නම් මම ඇතුළු වී, ඔහු සමඟ කෑම කන්නෙමි. ඔහු ද මා සමඟ කෑම කන්නේ ය."

නාථ දෙවියන් හෝ කාලි අම්මා සමඟ සම්බන්ධ වීමට ඔය වගේ නිශ්චිත ක්‍රමයක් තිබුනනම් මමත් එය කරනවා. නමුත්, කවුරුවත් එවැනි ක්‍රමයක් නොදන්නා නිසා මට ඒ අයත් එක්ක සම්බන්ධ වෙන්න ක්‍රමයක් නැහැ. හැබැයි කවුරු හෝ තමන්ට එසේ සම්බන්ධ විය හැකි බව කියනවානම් එය ප්‍රතික්ෂේප කරන්න මට පුළුවන්කමක් නැහැ. සම්බන්ධ වන ක්‍රමය අහගත්තත් අදාළ දෙවියාට මා සමඟ සම්බන්ධ වෙන්න අවශ්‍ය නැත්නම් වැඩේ කෙරෙන්න විදිහක් නැහැනේ.

වෙනත් කෙනෙකුට දෙවි කෙනෙක් සමඟ සම්බන්ධ වෙන්න බැරි බව මට නිශ්චිතව කියන්න පුළුවන්කමක් නැත්නම්, ඒ කියන්නේ ඔය වැඩේ වෙන්න කවර හෝ හැකියාවක් තිබෙනවානම් එහෙම කෙනෙක් කෝවිඩ් සඳහා ප්‍රතිකාරයක් ලබා දෙන එකත් වෙන්න පුළුවන්නේ. ඒකේ අවුලක් නැහැ. නමුත්, එහෙමයි කියලා දෙවියන්ගෙන් අහගත්තා කියා කවුරු හරි දෙන බෙහෙතක් ගැන මට විශ්වාසය තියන්න පුලුවන්ද? 

අඥේයවාදියෙක් වන මට දෙවියෙක් විසින් මිනිහෙක්ට බෙහෙතක් ලබා දිය හැකියි කියන කතාව සාධක රහිතව මුළුමනින්ම බැහැර කරන්න බැරුවාක් වගේම එහෙම දෙන බෙහෙතක් වැඩ කරනවා කියන එක සාධක රහිතව පිළිගන්න පුළුවන්කමකුත් නැහැ. ඔය ප්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින අයම කියන විදිහට දෙවියන්ගේ බෙහෙත් වුනත් හරියටම හරි නොයන්න පුළුවන්. දෙවියෝ බොරු කියන්නත් පුළුවන්. එහෙමනම් දෙවියෝ දුන්නත් බෙහෙත ගන්න වෙන්නේ පරීක්ෂා කිරීමෙන් පසුවයි. මීට කලින් හරියට බෙහෙත් දීලා දෙවියන්ට හොඳ වාර්තාවක් තිබුණානම් සමහර විට පරීක්ෂා නොකර වුනත් බෙහෙත ගන්න තිබුණා. එහෙම වාර්තාවක් නැහැනේ.

ධම්මික පැණියට මගේ පිළිගැනීමක් ලැබෙන්නනම් එය පරීක්ෂා කළ යුත්තේ කොහොමද? බටහිර ඖෂධයක් සාමාන්‍යයෙන් පරීක්ෂා කරන විධික්‍රමය අනුගමනය කරමින්, සැලකිය යුතු තරම් විශාල නියැදියක් යොදා ගෙන සසම්භාවී සායනික පරීක්ෂණයක් කරලා ඵලදායීත්වය තහවුරු වුනොත් මම මෙය සාර්ථක ඖෂධයක් ලෙස පිළිගන්නවා. අදාළ ඔසුව හදන්න දැනුම ලැබුණේ කොහොමද කියන එක මට අදාළ නැහැ. මොකද පරීක්ෂා කරන ක්‍රමය පිළිබඳව මට සෑහෙන විශ්වාසයක් තිබෙන නිසා. මතක තබා ගන්න මම මේ කතා කරන්නේ අඥේයවාදියෙක්ගේ විශ්වාසයක් ගැන මිසක් සැකයෙන් තොර විශ්වාසයක් ගැන නෙමෙයි.

ධම්මික පැණිය බටහිර ක්‍රමයටම පරීක්ෂා කළ යුතුද? මෙය පරීක්ෂා කළ හැකි වෙනත් සාර්ථක ක්‍රමයක් තිබෙනවානම් සසම්භාවී සායනික පරීක්ෂණ ක්‍රමයම යොදා ගත යුතු නැහැ. නමුත්, දැනට කිසිම කෙනෙක් එවැනි විකල්ප ක්‍රමයක් යෝජනා කර නැහැ. රෝගීන්ට පැණිය දීගෙන ගියා කියලා ඖෂධය පරීක්ෂා වෙන්නේ නැහැ. එය අර මම පොඩි කාලේ කරපු මදුරු පරීක්ෂණය වගේ එකක්.

මදුරු පරීක්ෂණ ක්‍රමයෙන් ඖෂධය පරීක්ෂා වෙන්නේ නැහැ කියා කියන්නේ ඇයි? මේ වෙද්දී බොරු වී තිබුණත්, මේ හා අදාළව කියපු කතාව වුනේ දැනට දහ පහළොස් දාහකට බේත දීලා තිබුණත් ඒ කාටවත් කෝවිඩ් හැදී නැහැ කියන එකයි. පසුගිය සති වලදී සාමාන්‍ය වශයෙන් සතියකට ලංකාවේ 4000කට කිට්ටු පිරිසකට කෝවිඩ් හැදුණා. ලංකාවේ ජනගහණය මිලියන 21කට වැඩියිනේ. ඒ කියන්නේ බෙහෙතක් නොගත්තත් සතියක් යද්දී දහ පහළොස් දාහක පිරිසකගෙන් කොවිඩ් හැදෙන්න ඉඩ තිබුණේ දෙන්නෙක්ට නැත්නම් තුන් දෙනෙක්ට පමණයි. කෝවිඩ් වැඩිපුර හැදුනේ කොළඹ ආශ්‍රිතව නිසා, ධම්මික පැණිය වැඩිපුර ගත්තේ කෑගල්ල පැත්තේ පිරිස්නම් ඔය විදිහට දෙතුන් දෙනෙකුට හෝ කෝවිඩ් නොහැදෙන එක පැණිය නොගත්තත් සිදුවිය හැකිව තිබුණු දෙයක්. 

මේ වෙද්දී පැණිය ගත් කිහිප දෙනෙකුටම කෝවිඩ් හැදී තිබෙන බව වාර්තා වී තිබෙනවා. පැණිය ගත් එක් අයෙකුට හෝ කෝවිඩ් හැදුනානම් එය මුලින් කියපු ආකාරයේ සියයට සියයක් සාර්ථක දිව්‍ය ඖෂධයක් කියන එක බොරු වෙනවා. නමුත්, ඒ හේතුව නිසා මේ පැණිය ඵලදායී එකක් නොවන බව තහවුරු වෙලා නැහැ. පැණිය කොයි තරම් ඵලදායීද කියන එක තවමත් විවෘත ප්‍රශ්නයක්. 

රෝගය වැළැක්වීමේ හැකියාව පැත්තකින් තිබ්බොත්, ඇතැම් තැන් වල පළ කර තිබුණු තොරතුරු අනුව, වතුපිටිවල පරීක්ෂණයේදී පැණිය ගත් සියල්ලන්ගේම කෝවිඩ් සුව වී තිබෙනවා. එහෙත්, පැණිය නොගත් පාලිත කණ්ඩායම තුළ එවැනි දෙයක් සිදු වී නැහැ. නියැදිය ඉතා කුඩා වුනත් මේ පරීක්ෂණය හරියට කරපු එකක්නම් එයින් කියැවෙන්නේ පැණිය කෝවිඩ් සුව කිරීමට සමත්ව ඇති බවයි. ඒ කියන්නේ එසේ වීමට විශාල සම්භාවිතාවක් ඇති බව මිස සැකයකින් තොර නිශ්චිත ප්‍රකාශයක් නෙමෙයි. එහෙත් මේ පරීක්ෂණය කර ඇති ආකාරය අනුව එය නිසියාකාරයෙන් කර නොතිබීමේ හැකියාව බැහැර කරන්න බැහැ.

ධම්මික පැණිය නිසි සසම්භාවී සායනික පරීක්ෂාවකින් නිසැකව සමත් වුවහොත් මා එය සාර්ථක ඖෂධයක් සේ පිළිගන්නවා. එසේ නැත්නම් පිළිගන්නේ නැහැ. කෙසේ වුවත්, එයින් අදහස් වන්නේ නිසි සසම්භාවී සායනික පරීක්ෂාවකින් නිසැකව සමත් වී නැති සියලු දේ මා බැහැර කරන බව නෙමෙයි. හෙම්බිරිස්සාවකට තම්බා බොන ඉඟුරු කොත්තමල්ලි හෝ ඇතැම් ආයුර්වේද බෙහෙත් එවැනි පරීක්ෂාවකට ලක්ව නොතිබීම මට ප්‍රශ්නයක් නෙමෙයි. එහෙත්, හදිසියේ කඩා පාත් වූ ලෙඩකට ප්‍රතිකාරයක් සේ හදිසියේ කඩා පාත් වූ ඖෂධයක් වසර සිය හෝ දහස් ගණනක් තිස්සේ පරීක්ෂාවට ලක් වූ දේවල් ගොඩට දමන්න පුළුවන්කමක් නැහැ. වසර සිය හෝ දහස් ගණනක් තිස්සේ කාලයේ පරීක්ෂාවට ලක් වීම වුවද නිසැකව ඖෂධයක ඵලදායීත්වය තහවුරු කරන්නේ නැතත් එම සම්භාවිතාව ඉහළ නංවනවා.

ධම්මික පැණිය යම් හෙයකින් කෝවිඩ් මඩින ඉතා සාර්ථක ඖෂධයක් බව සසම්භාවී සායනික පරීක්ෂාවකින් තහවුරු වුනා කියා හිතමු. ඒ හේතුව මත විධික්‍රමයක් ලෙස දෙවියන්ගෙන් දැනුම ලබා ගැනීමේ සාර්ථකත්වය තහවුරු වෙනවාද? පැහැදිලිවම නැහැ. සමහර අය කියන විදිහට කාලි අම්මාගෙන් ලැබුණු සේ එළියට එන්නේ ලංකාවේ කොහොමටත් භාවිතයේ තිබුණු ආයුර්වේද හෝ වෙනත් දේශීය ඖෂධයක් කියන එක අපට බැහැර කරන්න බැහැ.

තාවකාලික කල්පිතයක් විදිහට දෙවියන්ගෙන් දැනුම ලබා ගැනීම ක්‍රමවේදයක් විදිහට අපි පිළිගනිමු. දෙවියන්ගෙන් ලැබුණු සේ පැවසුණු දැනුමක් මිනිස් පරීක්ෂා සමත් වූ අවස්ථා ගැන සීමිත වාර්තා කිහිපයක් අප සතුව තිබෙනවා. බොහෝ දෙනෙක් පුන පුනා කතා කරන්නේ අපට තහවුරු කර ගැනීමේ හැකියාවක් නැති මෙවැනි වාර්තා අතළොස්සක් ගැනයි. අදාළ දැනුම් නිවැරදි බව මිස එම දැනුම් ලැබුණේ දෙවියන්ගෙන් හෝ වෙනත් අදෘශ්‍යමාන ප්‍රාණියෙකුගෙන් කියන එක තහවුරු වී නැහැ. 

අඥේයවාදී ස්ථාවරයක සිටිමින් අපි දැනට හිතමු මේ කතා සියල්ල ඇත්ත බව. මා විද්‍යාත්මක පර්යේෂණයක් කර නැතත් අදෘශ්‍යමාන ප්‍රාණියෙකුගෙන් යම් යම් දේ දැනගත් බව කියමින් මිනිසුන් දැන හෝ නොදැන (උදාහරණයක් ලෙස යම් මානසික ආබාධයක් නිසා) සිදු කරන ලද ප්‍රකාශ මීට වඩා විශාල ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා. මෙවැනි වාර්තා නිසි ක්‍රමවේදයකට එකතු කළොත් අපට පුළුවන් දැනගන්න අදෘශ්‍යමාන ප්‍රාණියෙකුගෙන් යම් දැනුමක් ලබාගත් බවට කවුරු හෝ කරන ප්‍රකාශයක ඇති තොරතුරක් සත්‍ය වීමේ සම්භාවිතාව. මගේ විෂයමූලික අනුමානය මෙම සම්භාවිතාව ඉතාම අඩු බවයි. කෙසේ වුවත්, මෙපමණකින් වුවද දෙවියන්ගෙන් දැනුම ලබා ගැනීම පිළිබඳ අදහස අපට බැහැර කරන්න බැහැ.

කෝවිඩ් සඳහා ඔසුවක් හැදීම වැනි දෙයක හෝ වෙනත් එවැනි කටයුත්තක පියවර ගණනාවක් තිබෙනවා. මුල් අදියරේදී ඉදිරිපත් වන අදහස් වලින් අවසන් අදියර වන විට සාර්ථක බව තහවුරු වන්නේ ඉතාම සුළු අදහස් ප්‍රමාණයක් පමණයි. අපට අවශ්‍යනම් මේ සම්භාවිතාව ගණනය කළ හැකියි. දෙවියෙක්ගෙන් ලැබුණු දැනුමක් ලෙස කිසිවෙකු විසින් ඉදිරිපත් කරන අදහසක් නිවැරදි වීමේ සම්භාවිතාව මිනිසෙකු විසින් මුල් අදියරේදී ඉදිරිපත් කරන අදහසක් නිවැරදි වීමේ සම්භාවිතාවට වඩා වැඩිනම් දෙවියන්ගෙන් දැනුම් ලබා ගැනීම යම් තරමකින් හෝ ඵලදායී කාර්යයයක්. එවැනි වෙනසක් නැත්නම්, දෙවියන්ගෙන් දැනුම ලබා ගත හැකි වුවත් ඒ දැනුමෙන් ඇති වැඩක් නැහැ.

මේ නිදර්ශනයෙන් පැහැදිලි කළ පරිදි දෙවියන්ගෙන් දැනුම ලබා ගැනීම ඵලදායී දෙයක්ද නැද්ද කියා විද්‍යාත්මක ලෙස පරීක්ෂා කිරීමට අපට දෙවියන් පිළිබඳව විශ්වාස කරන්න අවශ්‍ය වන්නේ නැහැ. දෙවියන් කියා කොට්ඨාසයක් ඉන්නවාද, ඔවුන් සමඟ සන්නිවේදනය කළ හැකිද ආදී දේ ගැන අඥේයවාදීව සිටිමින්ම දෙවියන්ගෙන් දැනුම ලබා ගැනීමේ ඵලදායීත්වය අපට විද්‍යාත්මක පරීක්ෂාවකට ලක් කළ හැකියි.


15 comments:

  1. කෝවිඩ් වලින් අන්තවාදීව ආරක්ෂාවීමෙන් හෝ ගැලවෙන්න පුළුවන්. මව්පියන්ට කුඩා ළමුන් අහිමි කරන, ළමුන්ට දෙමව්පියන් අහිමිකරන, ආරක්ෂාවීමට පැහැදිලි ක්‍රමයක් නැති පිළිකා වැනි රෝග වලට දෙවියන් බෙහෙත් නොදෙන්නේ ඇයි කියන එකයි මගේ පලමුවෙනි කුතුහලය. කාලි දෙවියන් අදහන ඉන්දියාවේ විශාල ප්‍රමාණයක් ආසාදනය වෙද්දී සහ කෝවිඩ් වලින් මිය යද්දී ලංකාවේ අයට පමණක් බෙහෙත හෙලිදරව් කලේ ඇයි කියන එක දෙවෙනි කුතුහලය.

    ReplyDelete
    Replies
    1. පහළ විපුල අබේසිංහට දැමූ ප්‍රතිචාරය බලන්න.

      Delete
  2. මම දන්න එක් හාමුදුරුනමක් ඉන්නවා කාළි දෙවගන / මෑණියන් ගෙන් අසාගන්නා කරුණු අනුව රෝගීන් සුවපත් කරන...ඉකොනො ගේ ලිපියට පස්සෙ මට හිතුනා ඒ හාමුදුරුවෝ එක්ක කථා කරලා ලිපියක් ලියන්න. හාමුදුරුවෝ කැමති උනොත් ලබන සතිය ඇතුලෙදි මම කට්ටකාඩුවට ඒ ලිපිය ලියන්නම්.

    ReplyDelete
    Replies
    1. යෙහෙව්වා වහන්සේ කාලි දෙමඟනව මවලා තියෙන්නේ flywheelඇතුව.
      ඒ නිසා කාලි මොනවා හිතනවද කියලා අනුමානකිරීම සෑහෙන්න අමාරුයි.

      සමහරවිට කාලි හිතනවනම් පොලවේ ජනගහනය අඩුකරලා මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්ම ස්ථාවර කරන්න?

      ඒ නිසා කාලි කිව්ව පලිටම අදහන්නේ නැතුව අපිත් ටෙස්ට් කල යුතුයි.

      නලීන්ද සිල්වාගේ බුද්ධිමය දරුවන් වන අප සැමගේ මතය එයයි.

      Delete
    2. මම හිතනවා මට ඇතැම් විද්‍යාත්මක නොවන දැනුම් යොදාගෙන (හෝ එවැනි දැනුම් යොදා ගන්නා බව සාර්ථක ලෙස පෙන්වමින්) මිනිසුන්ගේ ඇතැම් ප්‍රශ්න වලට විසඳුම් දිය හැකි බව. නිකම් හිතළුවක් නෙමෙයි. කළ පුරුද්දෙන් කියන දෙයක්. අත්දැකීමෙන්ම දන්නා පරිදි එසේ විසඳුම් ලබා ගන්නා මිනිසුන්ගෙන් 100%ක්ම වගේ ඒ විසඳුම් වලින් සතුටු වෙනවා. එසේ වූ පමණින් එවැනි ක්‍රමවේදයක් සාර්ථක බව මට නිගමනය කරන්න බැහැ. ඒ නිසා එවැනි ක්‍රමවේද පිළිබඳව පෞද්ගලිකව මට විශ්වාසයක් ඇති වී නැහැ. ඒ නිසා, මගේ ප්‍රශ්න වලට විසඳුම් හෙවීමේදී මම එවැනි ක්‍රමවේද පිළිබඳව විශ්වාසය තබන්නේ නැහැ. වෙනත් මිනිස්සු සතුටු වුනත්, මගේ හෘද සාක්ෂියට එකඟව නිවැරදි නැති නිසා පරීක්ෂණයක් ලෙස කළොත් මිස මම එවැනි දේ කරන්නේ නැහැ. මට සාපේක්ෂව එය කුඩු විකුණනවා වගේ වැඩක්. මේ ගොඩට සාමාන්‍යයෙන් විද්‍යාත්මක නොවන සේ සලකන දේවල් වගේම සාමාන්‍යයෙන් විද්‍යාත්මක සේ සලකන හෝ එසේ පෙන්වනු ලබන දේවල්ද ඇතුළත්. සතුට කියන එක මානසික දෙයක් නිසා මේ වගේ දේවල් කළ හැකියි. එහෙත්, කෝවිඩ් සුව කිරීම හෝ වැළැක්වීම එසේ කළ හැකියයි මා හිතන්නේ නැහැ. ඒ නිසා, නිසි සේ කරනවානම් මෙය විද්‍යාත්මක නොවන දැනුමක් පරීක්ෂාවට ලක් කිරීමට තිබෙන හොඳම අවස්ථාවක්.

      Delete
  3. ඇත්තටම කාළි මෑණියන්ට බෙහෙත් නොදී කොරෝනා සුව කරන ක්‍රමයක් හොයා ගන්ඩ බැරි උනේ ඇයි?

    ReplyDelete
    Replies
    1. බෙහෙත් නොදී කොරෝනා සුව කරන ක්‍රමයක් හොයා ගන්ඩ බැරි උනේ ඇයි?
      පිළිකා වැනි රෝග වලට දෙවියන් බෙහෙත් නොදෙන්නේ ඇයි?
      කාලි දෙවියන් අදහන ඉන්දියාවේ විශාල ප්‍රමාණයක් ආසාදනය වෙද්දී සහ කෝවිඩ් වලින් මිය යද්දී ලංකාවේ අයට පමණක් බෙහෙත හෙලිදරව් කලේ ඇයි?
      මේසන් බාස් කෙනෙකුට බෙහෙත හෙලිදරව් කලේ ඇයි?

      මේ ප්‍රශ්න සියල්ලම වැරදි ප්‍රශ්න. විද්‍යාත්මක ක්‍රමයට දැනුම සොයා යාමේදී පළමු වැදගත්ම දෙය නිවැරදි ප්‍රශ්නයක් ඇසීමයි. ඉහත ඕනෑම ප්‍රශ්නයක පදනම වන්නේ කාලි යනු ආබ්‍රහමික ආගම් වල දෙවියන් වැනි පරිපූර්ණත්වයක් විය යුතු බවයි. කාලි යනු එවැනි පරිපූර්ණත්වයක්නම් අපට කිසි විටෙකත් මිනිස් දැනුම යොදා ගෙන එවැනි පරිපූර්ණත්වයක් පරීක්ෂාවට ලක් කිරීමේ හැකියාවක් නැහැ. මොකද ඕනෑම ආකාරයක පරිපූර්ණත්වයකට ඕනෑම දෙයක් කිරීම සඳහා අප නොදන්නා හේතු තිබිය හැකියි. ජගත් පතිරණ කියනවා වගේ පොළොවේ ජනගහනය අඩුකරලා මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්ම ස්ථාවර කළ යුතුයි කියා කාලි දෙවඟන හිතනවා වෙන්න පුළුවන්. ඒ නිසා මිනිස්සුන්ට බොරු කියනවා වෙන්නත් පුළුවන්.

      ඇත්තටම කියනවානම් මනුෂ්‍ය නොවන දැනුම් අපට පරීක්ෂා කළ හැක්කේ එවැනි දැනුමක් මනුෂ්‍ය දැනුමකට වඩා අඩු මට්ටමක තිබෙන දැනුමක්නම් පමණයි. ඒ නිසා, මෙවැනි බෙහෙතක් පරීක්ෂා කිරීමෙන් පසුව සාර්ථක බව පෙනී ගියත් බෙහෙත වැඩ කරන ආකාරය පිළිබඳ දැනුම පරීක්ෂාවට ලක් කර දැන ගන්නා තුරුම එහි අවදානමක් තිබෙනවා. මොකද බෙහෙත වැඩ කිරීමට හේතු වන අප නොදන්නා කිසියම් සාධකයක් වෙනස් වෙන්න පුළුවන්. සම්ප්‍රදායික බෙහෙතක් සම්බන්ධව එතරම් අවදානමක් නැත්තේ (අවදානම ඉතාම අඩු) දිගු කාලයක් පුරා වෙනස් වන තත්ත්වයන් යටතේ බෙහෙත වැඩ කර තිබෙන බව අප දන්නා නිසයි.

      අපි හිතමු ගෙදර කවුරු හෝ කෙනෙක් නොදන්නා අසනීපයකින් මැරෙන්න යනවා. ඔහුට විශාල ලෙස ආදරය කළ ගෙදර බල්ලා වත්තේ කිසියම් පැලෑටියක් ළඟට ගිහින් එක දිගටම බුරනවා. එම පැලෑටිය කොටලා යුෂ පෙවුවහම රෝගියා සුව වෙනවා. දෙවියන්ගෙන් දැනුම ගත් කතා වගේම ඔය වගේ කතාත් ජනවහරේ තිබෙනවා. දැන් මෙහිදී බෙහෙත නිසා ලෙඩේ සුව වූ බව මිස එය සිදු වුනේ කොහොමද කියා අපි දන්නේ නැහැ. ඒ වගේම සුව වුන ලෙඩේ කුමක්ද කියා අපි දන්නේත් නැහැ. ඒ නිසා එවැනි දැනුමකින් දිගුකාලීනව ප්‍රයෝජනයක් නැහැ. දිගුකාලීනව ප්‍රයෝජනයක් වෙන්නනම් ලෙඩාට හැදී තිබුණු ලෙඩේ කුමක්ද, පැලෑටිය නිසා එය සුව වුනේ කොහොමද කියන එක කිසියම් ආකාරයක මිනිස් දැනුමක් විය යුතුයි. මෙය පොදු වශයෙන් මනුෂ්‍ය නොවන දැනුම් මිනිසුන් විසින් භාවිතා කිරීම කියන සංකල්පය ඇතුළේම තිබෙන සෛද්ධාන්තික ප්‍රශ්නයක්.

      කාලි දෙවඟනගේ හෝ නාථ දෙවියන්ගේ දැනුම පරිපූර්ණ දැනුමක් නොවුනත්, මිනිස් දැනුමට වඩා වැඩි මට්ටමක දැනුමක්නම් එවැනි දැනුමක් අපට පරීක්ෂා කිරීමේ හැකියාවක් නැහැ. අපට කළ හැක්කේ එවැනි දැනුමක් පිළිබඳව පූර්ණ විශ්වාසය තබා කියන දේ කියන විදිහට කරන එක පමණයි. බෙහෙත අරගෙන මැරුණත් එය දෙවියන්ගේ කැමැත්ත හෝ දෙවියන්ට පෙනෙන හොඳම දෙය ලෙස භාර ගෙන පිළිගන්න වෙනවා. මම පෞද්ගලිකව එසේ දෙවියන් පිළිබඳව පූර්ණ විශ්වාසය තියන්න කැමති නැහැ. කිසියම් අයෙක් එසේ කරනවානම් එවැන්නෙකුගේ විශ්වාස වලට සාපේක්ෂව එය තාර්කික තීරණයක්. එවැනි විශ්වාසයක් නැත්නම් බාග විශ්වාසයක් තියන එකේ තේරුමක් නැහැ. සමහර විට නලින් ද සිල්වා බෙහෙත පරීක්ෂා කළ යුතු නැති බව කියන්නේ මෙවැනි පදනමකින් වෙන්න පුළුවන්.

      එසේනම්, බෙහෙත පරීක්ෂා කළ යුතුයි කියා මම කියන්නේ ඇයි? මම හිතන විදිහට මේ බෙහෙත හදන්න ගන්න දේවල් මනුෂ්‍ය දැනුමක්. කාලි කතාවක් අදාළම නැහැ. ඒ නිසා, මෙහිදී පරීක්ෂාවට ලක් වන්නේ සම්ප්‍රදායික මනුෂ්‍ය දැනුම. මෙය සම්ප්‍රදායික දැනුමක් බටහිර විද්‍යාත්මක ක්‍රමය තුළ පරීක්ෂාවට ලක් කළ හැකි මහඟු අවස්ථාවක්. එයින්ද එම සම්ප්‍රදායික දැනුම ඇත්තද බොරුද කියා හොයාගත නොහැකි වුනත් (අවශ්‍යනම් මේ කොටස විස්තර කළ හැකියි) එම සම්ප්‍රදායික දැනුම බටහිර වෛද්‍ය විද්‍යා ප්‍රතිකාරයක් ලෙස යොදා ගැනීමේ හැකියාව තහවුරු වීම හෝ ප්‍රතික්ෂේප වීම සිදු වෙනවා.

      Delete
    2. මට මතක් වෙන්නේ එඩ්ගාර් කේසි හා ඔහු බෙහෙත් කරපු ආකාරය. ඔහු කීවෙත් දෙවියන්ගෙන් හෝ මළවුන්ගෙන් බෙහෙත් ලැබෙනවා කියල.

      Delete
  4. "ලංකා සිතුවිලි" ලියන ලියුම්කරු වැදගත් කරුණක් කොරොනා සම්බන්ධ ඔහුගේ පලමු ලිපියේ සදහන් කරල තීනවා. එහිදී ඔහු/ඇය මතු කරන ප්‍රධාන කරුණක් වන්නේ hiv වයිරසයට තවම වැක්සීනයක් සොයා ගත නොහැකී වී තිබියදී, කොරොනා වයිරස සම්බන්ද වැක්සීනයක් සොයා ගැනීම මෙපමන අඩු කාලදී සොයා ගැනීම විශ්මයක් බවයි සහ පයිසර් බයෝ ටෙක් ආයතානය සම්බන්ද අයතා ගනුදෙනු (බෙහෙත් සම්බන්ද ) ද ඇති බවය. ඒ අනුව සධාරණව බැලුවොත් එහිත් ඇත්තක් තියෙනවා කියල ඔබ හිතන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. වැදගත් ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයත් කාලි අම්මාට කොරෝනා වලට බෙහෙතක් කියන්න පුළුවන් වුනත් පිළිකාවකට බෙහෙතක් කියන්න බැරි ඇයි කියා අහනවා වගේ ප්‍රශ්නයක්. එහෙම නැත්නම් අවුරුදු පහළොවක්ම කොටියෙක් දඩයම් කර ගන්න බැරි වුනු දඩයක්කාරයා එක දවසෙන් මුවෙක් දඩයම් කළේ කොහොමද කියා අහනවා වගේ ප්‍රශ්නයක්. වෛරස් ප්‍රභේද ඉතා විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒවා එකිනෙකට වෙනස්. ඒ වගේම මිනිස් සිරුරට කරන බලපෑමත් වෙනස්. කෝවිඩ් හදන වෛරසය සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා හදන වෛරස වලට කිට්ටු ඥාතිත්වයක් තිබෙන ප්‍රධාන වශයෙන් ශ්වසන පද්ධතියකට හානි කරන වෛරසයක්. එවැනි වෛරසයකට එරෙහිව යම් කාලයකට සිරුරේ ප්‍රතිශක්තිය ඇති කිරීම සඳහා එන්නතක් සැලසුම් කරන එක සාපේක්ෂව පහසු දෙයක්. පසුගිය වසර මුල කෝවිඩ් පැතිරෙද්දීම මාස 12-18 අතර කාලයකදී මේ සඳහා සාර්ථක එන්නතක් හදාගත හැකි බව ඇමරිකාව ඇතුළු බටහිර රටවල් (වගේම චීනය, රුසියාව වැනි රටවල්ද) හොඳින් දැන සිටියා. හැම දෙයක්ම සැලසුම් කළේ ඒ දැනුම මතයි. එන්නතක් එළියට දමන්න මාස 12-18 අතර කාලයක් අවශ්‍ය වන්නේ ප්‍රධාන වශයෙන්ම එවැනි එන්නතක් පරීක්ෂා කර එහි සුරක්ෂිතතාවය හා ඵලදායීතාවය තහවුරු කර ගැනීමටයි. එන්නත් සැලසුම් කරන්න ගියේ ඉතාම කෙටි කාලයක්. බටහිර රටවල බොහෝ දෙනෙක් සෑම වසරකම ශීත කාලයට පෙර ඉන්ෆ්ලුවන්සා රෝග වලින් වැලකීමට එන්නතක් ගන්නවා. හැම වසරකම වෛරසය වෙනස් වන (හෝ වෙනස් වන්නට ඉඩ තිබෙන) නිසා එන්නත්ද හැම වසරකම අළුතෙන් සැලසුම් කර නිෂ්පාදනය කරනවා. දැනට තිබෙන දැනුම අනුව එවැනි දෙයක් සාපේක්ෂව අමාරු නැහැ. ඕනෑම එන්නතකින් කරන්නේ සිරුර තුළ කිසියම් නිශ්චිත රෝගයකට එරෙහිව ස්වභාවික ප්‍රතිශක්තිය සපයන ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඉක්මණින් හා කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක විය හැකි පරිදි ශක්තිමත් කරන එකයි. එවිට වෛරසය සිරුරට ඇතුළු වූ විට ඉතා ඉක්මණින් එය මැඩ පවත්වන්න සිරුරට පුළුවන්. HIV වෛරසය විසින් පහර දෙන්නේ හරියටම මේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන සෛල වලටයි. ඒ නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වී බිඳ වැටෙනවා. HIV නිසා කිසිවෙකු මැරෙන්නේ නැහැ. නමුත්, HIV ඒඩ්ස් තත්ත්වයට පැමිණි පසු වෙනත් කවර හෝ ආසාදනයක් සිදු වූ විට ශරීරයේ ස්වභාවික ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාත්මක නොවන නිසා එම වෙනත් රෝගය සුව වන්නේ නැහැ. HIV සුවිශේෂී අභියෝගයක් වන්නේ ඒ නිසයි. දැන් මේ තත්ත්වය හමුවේ වෙනත් වෛරස් රෝග වලට එරෙහිව කරනවාක් මෙන් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය රෝගයට එරෙහිව යොදා ගන්න බැහැ. ඒ නිසා, එන්නතක් හදන එක සෛද්ධාන්තික ලෙසම අභියෝගයක්. අපි මෙහෙම කියමු. විවිධ වෛරස් හරියට හොරු, මංකොල්ලකාරයෝ වගේ. සමාජය තුළ සිටින එවැනි සමාජ විරෝධීන් මඩින්න අප පොලීසිය යොදවනවා. එන්නතකින් කරන්නේ පොලීසියට වැඩි බලතල දීම වගේ වැඩක්. HIV වෛරසය විසින් කරන දෙය සමාන කළ හැක්කේ පොලීසිය ඇතුළෙන්ම හොරු, මංකොල්ලකාරයෝ විශාල ලෙස බිහි වීම වැනි දෙයකට. දැන් පොලීසිය ශක්තිමත් කරලා ප්‍රශ්නය විසඳන එක සෛද්ධාන්තික ලෙසටම කරන්න බැහැ.

      Delete
    2. ඇත්තටම මෙම ප්‍රතිචාරය "ලංකා සිතුවිලි" ලියන මහත්මයා හෝ මහත්මිය දැක්කා නම්, මෙවැනි බටහිර හා දේශීය බෙහෙත් හා ක්‍රම ගැන හොද සංවාදයක් ඇති කරගන්න පුලුවන්. එ මගින් පාඨ්ක අපිටත් හොද පැහැදිලි කිරීම් සහිත දැනුමක් බෙදාගන්න පුලුවන් ඉකෝන්.

      Delete
    3. කිසියම් දේශපාලන හෝ වෙනත් අරමුණක් ඇතිව තෝරා බේරා සොයාගන්නා ඇත්ත හා ඇත්ත සේ පෙන්විය හැකි ව්‍යාජ තොරතුරු තමන්ට අවශ්‍ය පරිදි ඉදිරිපත් කරන, සංවාදයක් හරහා ඇත්ත මතු කර ගැනීමට සූදානම් නැති අය සමඟ සංවාද කිරීම මගේ සීමිත කාලය නිකරුණේ නාස්ති කිරීමක්. බොරුවට නිදාගෙන සිටින අය මොනවා කළත් ඇහැරෙන්නේ නැහැ. එයින් වෙනස්ව අප සමඟ එකඟ නොවන වෙනත් බොහෝ අය අපට බැන්නත්, විවේචනය කළත්, කරුණු සහගතව පෙන්වා දුන් විට යමක් පිළිගන්න සූදානම් තමන්ට අවංක අය. එවැනි අයගේ ද්වේශ සහගත ප්‍රතිචාර වලට පවා මා හැකි හැම විටකම ද්වේෂයකින් තොරව ප්‍රතිචාර දක්වන නමුත් හොරට නිදාගෙන ඉන්න අය ඇහැරවන්න මගේ කාලය නාස්ති කරන්න කැමති නැහැ. මා ලියන දේ කිසිවකු පිළිගත යුතු නැහැ වගේම මට වෙනත් අයගේ අදහස් වෙනස් කරන්න අවශ්‍යත් නැහැ. නමුත්, මා ලියන දේ සම්බන්ධව යමෙකුට අවංකවම ගැටළු ඇත්නම් පැහැදිලි කිරීමට මම සූදානම්. ඒ නිසා, වෙනත් අය මත බර නොතබා ඔබට පෞද්ගලිකව පැහැදිලි කිරීමක් අවශ්‍යනම් අසන්න.

      Delete
    4. //HIV වෛරසය // මේක දැන් එන්නතක් සොයාගෙන තියනවා නෙද්ක? මට මතකයි එය සාර්ථකව දුන්න කියල කාටද

      Delete
    5. ප්‍රතිකාර තිබුණත් තවමත් එන්නතක් අනුමත වී නැහැ. එහෙත් පරීක්ෂණ මට්ටමේ තිබෙනවා. වැඩි කල් නොගොස් එන්නතක් අනුමත වේයැයි සිතනවා.

      Delete
  5. දැනුමින් උදම්වී ඔළු ඉදිමුවාගෙන
    ඇස්දෙක පවා මොහඳුරකින් ඔතාගෙන
    පඬියන් වෙන්න හදනා පණ්ඩින් ඉන්න
    ලොවකට ලියාපන් මිතුරේ දැනගන්න!

    හැම දේ හොයාගෙන ඒවා කියවන්න
    කාලය සම්පතුත් නැති අප වෙත මෙතින
    මෙසේ කරුණු ගලපා දෙනවට ඉතින
    නොපෙනෙන පිං දෙමි රිසි නම් අරගන්න!!

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.