Wednesday, October 14, 2015

නීතියේ සාධාරණත්වය සහ නෛතික වැරදි කිරීමේ ආවස්ථික පිරිවැය

අපරාධ හා වැරදි යන සංකල්පද වෙනත් සංකල්ප මෙන්ම සාපේක්ෂ සංකල්පයි. මේ සංකල්ප වල නිර්වචන කලින් කලට, තැනින් තැනට වෙනස් විය හැකි බැවින් කෙනෙකු වරදක් ලෙස දකින දෙයක් තවත් කෙනෙකුට වරදක් නොවිය හැකිය. නීතිය මෙයට එක විසඳුමකි. මෙහිදී යම් සමාජයක බහුතරය (හෝ ඇතැම් තත්ත්වයන් යටතේදී සුළුතරය) විසින් අපරාධ හා වැරදි නිශ්චිත ලෙස අර්ථ දක්වන අතර මේ සමාජයේ ජීවත් වන පුද්ගලයෙකු යම් ක්‍රියාවක් වරදක් ලෙස නොපිළිගන්නේ වුවද එවැනි ක්‍රියාවක් නෛතිකව වරදක් විය හැකිය. මෙහි අනෙක් පැත්තද සිදු විය හැකිය.

සමාජයක වැඩි දෙනෙකුගේ යහපත වෙනුවෙන් අපරාධ හා වැරදි කරන පුද්ගලයින්ට දඬුවම් දීමක් සිදුවේ. මෙවැනි දඬුවමක ස්වභාවය අවසාන වශයෙන් තීරණය කරන්නේද පොදු සමාජය විසිනි. යම් නිශ්චිත සිදුවීමකට අදාලව මේ තීරණය ගැනීම සඳහා පොදු සමාජය මඟින් නිර්මාණය කරගෙන ඇති ආයතනික පද්ධතිය අධිකරණ පද්ධතිය ලෙස හැඳින්වේ.

විවිධ සමාජ විසින් නිර්මාණය කරගත් විවිධ අධිකරණ පද්ධති සහ ඒවාට අදාල නීති සහ දඬුවම් ක්‍රම තිබේ. ලංකාවේ දැනට භාවිතා වන නීති ක්‍රමයේ හරය රෝම ලන්දේසි නීතියයි. එයට ඉංග්‍රීසි පොදු නීතියේ කොටස්ද සෑහෙන දුරට බද්ධ වී තිබේ. මේ හැරුණු විට, යම් නිශ්චිත ජන කොටස් වලට අදාලව සීමිත තත්ත්වයන් යටතේදී උඩරට, තේසවලාමේ සහ මුස්ලිම් නීතිත්, ඇතැම් විශේෂිත තත්ත්වයන්ට අදාලව ජාත්‍යන්තර නීතියත් ක්‍රියාත්මක වේ.

බොහෝ නීති පද්ධතීන්හි ප්‍රමුඛම මුලධර්මයක් වන්නේ නීතිය සැමට සමව ක්‍රියාත්මක විය යුතු බවයි. සමානාත්මතාවය පිලිබඳ මේ අදහස නීති ක්ෂේත්‍රයේ බහුලව උපුටා දැක්වෙන පහත ලතින් පාඨ දෙකෙන් සංක්ෂිප්තව දැක්වේ.
- Audi alteram partem (අනෙක් පාර්ශ්වයට සවන් දිය යුතුය)
- Nemo judex in causa sua (තමන්ගේ විනිසුරු තමන් නොවිය යුතුය).

විනිශ්චයක් ලබා දීමට පෙර චුදිතයෙකුට සිය නිරවද්‍යතාව තහවුරු කිරීම සඳහා පුළුල් ඉඩකඩක් ලබා දෙන්නේ පළමු මූලධර්මය අනුවය. යුක්තිය ඉටුවීම ප්‍රමාණවත් නොවන බවත්, එය එසේ සිදුවනබව පැහැදිලිව පෙනෙන්නට තිබිය යුතු බවත් ප්‍රකාශ වන්නේ දෙවන මුලධර්මය අනුවය. ප්‍රායෝගිකව අකාර්යක්ෂමතා තිබුණත් සැමට සමානාත්මතාව යනු අධිකරණ පද්ධතියක මූලිකාංගයකි.

කාර්යක්ෂම හෝ අකාර්යක්ෂම අධිකරණ පද්ධතියක් තිබූ පමණින් කිසියම් සමාජයක නෛතික වැරදි සිදුවීම සම්පූර්ණයෙන්ම නැතිවන්නේ නැත. ඒ නෛතික වරදක් කිරීමෙන් වාසියක් ලැබීමේ අවස්ථාව පුද්ගලයෙකු සතු වන බැවිනි. යමෙකු ළමා අපචාරයක් කර වින්දිතයා මරා දමන්නේත්, පොදු දේපලක් අනිසි ලෙස පරිහරණය කරන්නේත්, හොරෙන් අල්ලපු වත්තේ පොල් කඩන්නේත්, රථවාහන වේග සීමා ඉක්මවන්නේත්, උසාවි තහනමක් නොතකා කොටුව දුම්රියපළ ඉදිරිපිට විරෝධතාවකට සහභාගී වන්නේත්, අනුන්ගේ වියුණු සටහනක් එහි හිමිකරුගේ කැමැත්තෙන් තොරව උපුටාගෙන තමන්ගේ වගේ පළකරන්නේත් එයින් යම් වාසියක් සැලසෙන බැවිනි. මේ වාසිය මුදල් වාසියක්ම විය යුතු නැත.

අධිකරණ පද්ධතිය කාර්යක්ෂම වන තරමට සමාජයක නෛතික වැරදි සිදුවීම අඩුවේ. කාර්යක්ෂම අධිකරණ පද්ධතියක් මඟින් නෛතික වැරදි සිදුකරන අවස්ථාවන් හඳුනාගෙන දඬුවමක් දීම මඟින් වැරැද්ද කිරීමෙන් ලැබෙන වාසියට අවාසියක්ද එකතු කරයි. එවිට යමෙකු නෛතික වරදක් කිරීමට පෙළඹෙන්නේ එයින් සෘජුව ලැබෙන වාසිය දඬුවමේ අවාසියට වඩා වැඩිනම් පමණි. කෙසේවුවද, අධිකරණ පද්ධතිය මඟින් චුදිතයෙකුට සිය නිරවද්‍යතාව තහවුරු කිරීම සඳහා විශාල ඉඩකඩක් ලැබෙන බැවින් මේ අවාසිය සිදුනොවීමටද යම් ඉඩකඩක් තිබේ.

ඉහත තත්ත්වය ගණිතමය ආකෘතියක් යොදාගෙන පැහැදිලි කළ හැකිය.

B  - නෛතික වරදක් කිරීමෙන් ලැබෙන සෘජු වාසිය
C - දඬුවමක් ලැබීමෙන් සිදුවන අවාසිය
p - වරදකරු වීමට ඇති සම්භාවිතාව

මේ අනුව, නෛතික වරදක් කිරීමේ ශුද්ධ වාසිය (B - pC) වේ. මේ අගය ධන අගයක්නම් යමෙකු නෛතික වරදක් කරනු ඇත.

රටක අධිකරණ පද්ධතිය ඉතා කාර්යක්ෂමනම් පුද්ගලයාගෙන් පුද්ගලයාට p වෙනස් වන්නේ නැත. මෙවැනි තත්ත්වයක් යටතේදී, වඩා හොඳ සමාජ-ආර්ථික තත්ත්වයක් ඇති අයෙකු වරදක් කිරීමට පෙළඹීමට ඇති ඉඩකඩ එසේ නොවන කෙනෙකුගේ එම ඉඩකඩට වඩා අඩුය. මෙසේ වන්නේ (B නොවෙනස් ලෙස සැලකුවහොත්) නීතියෙන් එකම දඬුවම ලබන පුද්ගලයන් දෙදෙනෙකුගේ ආවස්ථික පිරිවැය සමාන නොවන බැවිනි. අයෙකුට එය 'බෝඩිමේ නිවාඩුවකි'. තවත් අයෙකුට තමන් සභාපතිත්වය දරන සමාගම් දෙසිය ගණනක් මෙහෙයවීමට ඇති අවස්ථාව අහිමි වීමකි. මේ නිසා කාර්යක්ෂම අධිකරණ පද්ධතියක් ඇති විට සමාජයේ පහළ ස්ථර වල ආර්ථික, අධ්‍යාපනික සහ සමාජ තත්ත්වයන් වැඩිදියුණු කිරීමෙන් නෛතික වැරදි සහ අපරාධ අඩුකිරීමට පිටිවහලක් ලැබේ.

එමෙන්ම, බැලූ බැල්මට පෙනෙන පරිදි දඬුවමේ හානිය (C) හෝ දඬුවම් ලබාදීමේ සම්භාවිතාව (p) වැඩිකිරීමෙන් වැරදි කිරීම අඩුකරගත හැකිය. එල්ටීටීඊ පාලනය යටතේ උතුරේ ප්‍රදේශ වලත් දේජව්‍යා මඟින් 88/89 කාලයේදී පාලනය කෙරුණු ග්‍රාමීය ප්‍රදේශ වලත් C බොහෝ සේ වැඩි වූ නිසා මේ කණ්ඩායම් වලට සම්බන්ධ නැති සිවිල් පුද්ගලයින් විසින් කළ සුළු වැරදි වල යම් අඩුවීමක් විය.

වරදකරුවෙකුට බේරීයාමට ඇති ඉඩප්‍රස්තා සීමාකිරීම මඟින් p වැඩිකිරීම සාධනීය දෙයකි. කෙසේවුවද, චුදිතයෙකුට සිය නිවැරදිතාව තහවුරු කිරීමට ඇති ඉඩකඩ ඇහිරීමෙන් p වැඩි කළ විට මේ දෙය මේ ලෙසින්ම සිදුනොවේ. ඒ, එවිට නිවැරදිකරුවෙකු වුවද දඬුවම් විඳීමේ හැකියාවක් ඇතිවන බැවිනි. අපි මේ සම්භාවිතාව p0 ලෙස සලකමු. එවිට, දඬුවමේ පිරිවැය මෙසේය.

වරද කළොත්: p*C
වරද නොකළොත්: p0*C

යම් තීරණයක නියම වියදම එහි ආවස්ථික පිරිවැයයි. ආවස්ථික පිරිවැය ගණනය කරන්නේ අනෙතුත් විකල්පයේ පිරිවැයට සාපේක්ෂවය. මේ අනුව, දඬුවමේ පිරිවැය  p*C - p0*C = (p - p0)*C වේ. වරද කළත් නොකළත් දඬුවම් විඳීමට සිදුවීමේ ඉඩකඩ සමානනම් p = p0 නිසා C කෙතරම් විශාල වුවත් (p - p0)*C = 0 වේ. හාවන් වලසුන් කිරීමෙන් අපරාධ අඩුවනු වෙනුවට වැඩිවිය හැක්කේ මේ නිසාය.

ඇතැම් අධිකරණ පද්ධතීන්හි සියල්ලන්ම සමාන ලෙස සලකන නමුත් ඇතැමුන් වඩාත් සමානය. මේ වඩාත් සමාන අයගේ p අනෙත් අයගේ p වලට වඩා බෙහෙවින්ම අඩුනිසා ඔවුන්ගේ දඬුවම් පිරිවැය ඉතා කුඩාය. එවිට ඔවුන්ට බය නැතුවම නෛතික වැරදි කිරීමේ ඉඩකඩක් තහවුරු වේ. මෙවැනි තත්ත්වයක් යටතේ, මෙසේ වඩා සමාන නොවන සාමාන්‍යයෙන් සමාන අයගේ ස්ථාවරය කුමක් වනු ඇත්ද?

වඩාත් සමාන කෙනෙකු වීම සාමාන්‍යයෙන් සමාන අයෙකුගේ තාර්කික ඉලක්කයකි. එහෙත්, සියල්ලන්ටම සත්ව ගොවිපලේ ඌරන් වන්නට නොහැකිය. මෙයින් නොසන්සිඳුණු ඉල්ලුමක් ජනිත වේ. මා කැමති, එහෙත් මට කළ නොහැකි දෙයක් කළ අයෙකු මගේ වීරයෙකි. මගේ වීරයෙකු තරඟයකදී පළමුවැනියා වූ විට මට ෆිටේ ෆිට්ය. ඒ වෙනුවෙන් මට කළ හැකි උදවුවක් කිරීමට මා සූදානම්ය.

එසේනම්, රත්නපුරේ සහ ගාල්ලේ ඡන්දදායකයින් වැරදිද?

14 comments:

  1. මම මේ බ්ලොග් එකට එන්න බෑ ඌ ලියන ඒවා මට තේරෙන්නෙ නෑ කියලා බිම පෙරලි පෙරලි අඩන කොට..ඉයන්/ මාතායියන්ඩි/සුදිකයියන්ඩි/ ප්‍රා තව හෙන සෙට් එකක් මට හෙන තග් එකක් දැම්මා “තෝ යන්නම ඔනේ නැත්නම් කකුල් කඩනවා“ කියලා..
    පොඩ්ඩක් සරල කරන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. කකුල් කඩන කේස් වලට පැටලෙන්න බෑනේ. ඒ නිසා බලමු තව ටිකක් සරල කරන්න. :)

      Delete
    2. චෙෆා මගේ ඔලුව බිත්තියෙත් ඇන්නා

      Delete
    3. කොටදෙනියාවේ පොලිසියේද ඒ මහත්තුරු දැන් වැඩ ?

      Delete
    4. ගණන් ගන්න එපා E de B M, ඔලුවනෙ.

      Delete
  2. /* බොහෝ නීති පද්ධතීන්හි ප්‍රමුඛම මුලධර්මයක් වන්නේ නීතිය සැමට සමව ක්‍රියාත්මක විය යුතු බවයි. */

    ඒ වගේම වරද කළැයි සැක නොමැතිව ඔප්පු වෙන අයට දෙන දඬුවම, කළ වරදට සමානුපාතික විය යුතුයි.

    වෙනත් ආකාරයකට කියනවා නම්, ඔබේ සමීකරණයේ B සහ C අතර සම්බන්ධයක් තිවිය යුතුයි. (ඇත්තටම B ම නොවෙයි, නමුත් වරදක් කිරීමෙන් ලැබෙන සෘජු වාසිය යන්න වරදෙහි ප්‍රමාණය වෙනුවට සැලකිය හැකියි!)

    ReplyDelete
    Replies
    1. Ad quod damnum (දඬුවම හෝ වන්දිය වරද නිසා වූ හානියට ගැලපෙන එකක් විය යුතුය.) මෙය විශේෂයෙන්ම අදාල වන්නේ අගතියට පත්වූ පාර්ශ්වයට ලබා දියයුතු වන්දි මුදල තීරණය කිරීමේදීය. ආකෘතිය සංකීර්ණ කිරීමේ ආවස්ථික පිරිවැය මෙන්ඩාට බයෝනික් කකුල් දෙකක් අරන් දීමට යන වියදමයි.

      Delete
  3. පිස්සු හැදෙයි. අවංකවම මටනං තේරුණේ මේ ටික විතරමයි.

    //සමාජයේ පහළ ස්ථර වල ආර්ථික, අධ්‍යාපනික සහ සමාජ තත්ත්වයන් වැඩිදියුණු කිරීමෙන් නෛතික වැරදි සහ අපරාධ අඩුකිරීමට පිටිවහලක් ලැබේ.//

    ආට් කරපු මට මොන කැටයම් ද..............

    ReplyDelete
    Replies
    1. ආර්ථික විද්‍යාව වගේම නීතියත් හදාරන වැඩි දෙනෙක්ම ආට් කරපු අය නේද, ආර්යන්?

      Delete
    2. සරලව කියනවනම් නීතිය කාටත් සාධාරණව ක්‍රියාත්මක වන පසුබිමකදී සිදුවන සහ සිදුවියයුතු ඔබ උඩින් දක්වා ඇති කරුණ නීතිය සාධාරණව ක්‍රියාත්මක නොවන පසුබිමකදී ඒ විදිහටම නොවෙන්නත් පුළුවන්. ලොක්කෝ වැරදි කරලා නිදහසේ ඉන්නකොට පොඩ්ඩෝ පෙළඹෙන්නේ වැරදි නොකර ඉන්න නෙමෙයි. උනුත් ලොක්කෝ වෙලා වැරදි වලට දඬුවම් නොවිඳ ඉන්න.

      Delete
    3. ඇත්තම කියන්නද? ආර්ථික විද්‍යාව වගේම නීතියත් හදාරන වැඩි දෙනෙක්ම ආට් කරපු අය තමා. ඒත් ඒ ඉගෙන ගත්ත අයනේ. ආට් කරලා ඉගෙන ගත්තෙත් නැති එකාට මොකුත් බෑ. අන්න ඒ පාරනං තේරුණා...... කොහෙද බර වචන දාල කිවුවාම පිස්සු වගේ.........

      Delete
    4. අපි කවුරුත් මැරෙනකල්ම කරන්නේ මොනවා හරි ඉගෙන ගන්න එකනේ, ආර්යන්.

      Delete
  4. //රටක අධිකරණ පද්ධතිය ඉතා කාර්යක්ෂමනම් පුද්ගලයාගෙන් පුද්ගලයාට p වෙනස් වන්නේ නැත. //

    කාර්‍යක්ශමතාවය වැඩි හෝ අඩු වෙනවා මිසක් 100 % වෙන්නෙ නෑ. කෙසේ වෙතත් කෙනෙකු වරදකරු කිරීම හා දඬුවම් දීම ඒ සාධාරණය හෝ අසාධාරණය මත වෙනස් වියයුතු නෑ නේද? ඒ කියන්නෙ පොහොසත් බලවත් අය ඒ වැරැද්ද්දෙන්ම බේරී ගියත් අහුවුන දුප්පත් දුබල අය දඬුවම් ලැබීමේදී ඒ අසාධාරණ තත්වය mitigating circumstances වියයුතු නෑනේද? පෝසත් එකාවත් අල්ලාගත යුතු මිස ඌ බේරී ගියහේතුව මත දුප්පත් එකාට (ඌ ගිල්ටි නම් ) සහනයක් නොදියයුතු නේද?

    මං මේක ඇහුවේ සිස්ටම් එකේ අසාධාරණ අකාර්යක්ශමතාව නිසා අහුවෙන එකාට දඬුවම් දෙන එක ගැන සමහරු කියන කතා නිසා ඔබ වැනි ඉතා පැහැදිලිව අදහස් දක්වන අයෙකුගේ අදහස දැන ගැනීමට

    ReplyDelete
    Replies
    1. ඔබ වෙන තැනකත් සඳහන් කර තිබූ පරිදිම 100% දේවල් තියෙන්නේ ඇදහීම් (beliefs) තුල පමණයි. ප්‍රායෝගිකව ඕනෑම තැනක අවිනිශ්චිතතාවක් තිබෙනවා. එහි අඩුවැඩිකම් තමයි තියෙන්නේ.

      ඔබේ ප්‍රශ්නයට ආවොත් මම මේ දෙස බලන්නේ 'සාධාරණත්වය' කියන පදනමින් නෙමෙයි. මොකද සාධාරණත්වය කියන්නෙත් තවත් සාපේක්ෂ සංකල්පයක්. මා බලන්නේ සමස්තයක් ලෙස සමාජයකට වන බලපෑම දෙසයි. නීතියට යටත් (A) සහ නීතියට උඩින් සිටින (B) ලෙස කණ්ඩායම් දෙකක් සිටීන විට සමතුලිතතාවන් තුනක් තිබිය හැකියි.

      1. A කණ්ඩායම නීතියට උඩින් සිටීම වැරදි දෙයක් ලෙස B කණ්ඩායම නොසිතයි. මෙහිදී, B කණ්ඩායමේ අහුවුණු එකාට දඬුවම් දීම ප්‍රතිඵලදායකය. ස්ථායී සමතුලිතතාවකි. විශේෂයෙන්ම A කණ්ඩායම සාපේක්ෂව ඉතා කුඩානම් සමාජයකට මේ වෙනස දරා ගත හැකිය. (රජපවුල සහ යටත්වැසියෝ)

      2. A කණ්ඩායම නීතියට උඩින් සිටීම වැරදි දෙයක් ලෙස B කණ්ඩායම සිතයි. එහෙත්, B කණ්ඩායමේ සාමාජිකයින්ට තමන්ගේ අනන්‍යතාවය මාරුකරගෙන A කණ්ඩායමේ සාමාජිකයෙකු වීමේ කිසිදු හැකියාවක් නැත. මෙහිදීද, B කණ්ඩායමේ අහුවුණු එකාට දඬුවම් දීම ප්‍රතිඵලදායකය. එහෙත්, ස්ථායී සමතුලිතතාවක් නොවේ. කිසියම් විටෙක පුපුරා යා හැකිය. (ගැහැණු පිරිමි, ජනවාර්ගික බහුතරය සහ සුළුතරය)

      3. B කණ්ඩායමේ සාමාජිකයින්ට තමන්ගේ අනන්‍යතාවය මාරුකරගෙන A කණ්ඩායමේ සාමාජිකයෙකු වීමේ යම් විභවයක් තිබේ. (A කණ්ඩායම නීතියට උඩින් සිටීම වැරදි දෙයක් ලෙස B කණ්ඩායම සිතීම හෝ නොසිතීම අදාල නැත.) මෙහිදී, B කණ්ඩායමේ අහුවුණු එකාට දඬුවම් දීම ප්‍රතිඵලදායක නොවිය හැකිය. A කණ්ඩායම විශාල ලෙස පුළුල් වූ විට මෙය සිදුවිය හැකිය. ඉහළම තැන සිට ප්‍රාදේශීය සභාවක සාමාජිකයෙකුගේ බාප්පාගේ පුතාගේ නෝනාගේ මල්ලි දක්වා A කණ්ඩායම ව්‍යාප්ත වූ විට B කණ්ඩායමේ සාමාජිකයින් උත්සාහ කරන්නේ A කණ්ඩායමට රිංගාගෙන වරදට දඬුවම් නොවිඳීමට මිස වැරදි නොකර සිටීමට නොවේ.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.