දිත්වා සුළි කුණාටුව ඇවිත් ගිහින් දැන් මාස තුනක් ඉවරයි. මාස තුන යාන්තම් ඉවර වෙද්දී තමයි ඉරාන යුද්ධය ආවේ. දිත්වා සුළි කුණාටුවෙන් පසුව එයින් ලංකාවේ ආර්ථිකයට වූ බලපෑම ගැන කතා කළ ගොඩක් අය හිටියා. ඒ සාකච්ඡාවට ලෝකයේ ප්‍රධාන පෙළේ ආර්ථික විද්‍යාඥයින්ද සම්බන්ධ වුනා. එහෙම නැත්නම් මොනයම් ආකාරයකින් හෝ සම්බන්ධ කරගනු ලැබුවා.
දිත්වා සුළි කුණාටුව නිසා ලංකාවේ ආර්ථිකයට සිදු වීමට නියමිත බලපෑම ගැන ඉහත සඳහන් ගොඩක් අය ලොකුවට බර දමලා කතා කළා. ඇතැම් අයට අනුව නැවතත් ලංකාවට ණය ප්‍රතිව්‍යුහගත කරන්න සිදු වීමේ අවදානමක් දිත්වා සුළි කුණාටුව නිසා ඇති වී තිබුණා. මේ ගැන ඒ අවස්ථාවේ අපගෙන් විමසූ අයට අප විසින් පෙන්වා දුන්නේ දිත්වා සුළි කුණාටුවේ හානිය ඔය කියපු තරම්ම බරපතල නැති බවයි.
ඒ වෙලාවේ මේ ගැන කියපු දේවල් සියල්ලම ඉකොනොමැට්ටා වියුණුවේ හෝ වත්පොත් පිටුවේ පළ නොකළ නිසාත්, ඉරාන යුද්ධයේ හානිය ගැන කතා කිරීම සඳහා පූර්විකාවක් ලෙස ඒ කොටස අවශ්‍ය වන නිසාත් අපි මේ ලිපිය දිත්වා සුළි කුණාටුවෙන් පටන් ගනිමු.
දිත්වා සුළි කුණාටුව පැමිණි වහාම ආණ්ඩුවේ හිතවතුන් විසින් සංවිධානාත්මකව හෝ තනි තනිව එහි හානිය අතිශයෝක්තියට නැංවීමේ උත්සාහයක් පෙනෙන්න තිබුණා. මේ අය කරමින් සිටියේ මැස්සා එළවන්න රජාට කඩුවෙන් කොටනවා වගේ වැඩක්. මෙහිදී මේ අය උත්සාහ කළේ රට ඉතාම දරුණු ස්වභාවික ආපදාවකට මුහුණු දී ඇති බව ලෝකයට පෙන්වලා, විශාල විදේශ ආධාර ප්‍රමාණයක් එකතු කරගෙන, ඒ විදේශ ආධාර වල උදවුවෙන් රට ගොඩ දාගන්නයි.
කොහොම වුනත් මේ කරන වැඩේ තිබෙන අවදානම ආණ්ඩුව ඉතා ඉක්මණින් තේරුම් ගත්තා. ආණ්ඩුවේ තවමත් දැකිය හැකි සාධනීය ලක්ෂණයක් වන්නේ වැඩක් වැරදුනු බව තේරුණු විට අඩියක් පස්සට ගන්න එක.
ඒ වෙලාවේ අප විසින් පෙන්වා දුන්නේ දිත්වා හානියේ බලපෑම කෙතරම් විශාල වුවත්, එහි ආර්ථික බලපෑම තිබෙන්නේ උපරිම වශයෙන් මාස හයක් වගේ කාලයක් කියන එක. දිත්වා හෝ සුනාමිය වගේ ස්වභාවික ආපදාවක හානිය කොයි තරම් විශාල වුනත්, ඒ හානිය එක වරකදී සිදු වී අවසන් වන හානියක්. රටේ ආර්ථිකය ආකෘතිමය ලෙස ශක්තිමත්නම් ඉතා කෙටි කාලයකින් ඒ හානියේ බලපෑම අවසන් වෙනවා.
පසුව ලෝක බැංකුව මුල් වී දිත්වා හානිය පිළිබඳ තක්සේරුවක් සකස් කර තිබුණා. ඒ අනුව, හානිය ඩොලර් බිලියන 4.1ක් වගේ ගණනක්. රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 4%කට වඩා වැඩියි. නමුත් මේ හානිය බොහෝ දුරට වත්කම් හානියක්. දළ දේශීය නිෂ්පාදිතය කියන්නේ රටේ වත්කම් වලින් වසරකට ලැබෙන ආදායම. ඒ නිසා, වත්කම් වලින් 4%ක් අඩු වෙනවා කියන්නේ ආදායම 4%කින් අඩු වෙනවා කියන එක නෙමෙයි.
රටක ප්‍රාග්ධන සංචිතය එහි දළ දේශීය නිෂ්පාදිතය මෙන් කිහිප ගුණයක් විශාලයි. ඔය ලෝක බැංකු වාර්තාවට අනුවම දිත්වා නිසා සිදු වූ හානිය රටේ ප්‍රාග්ධන සංචිතයෙන් 0.48%ක්. සාමාන්‍යයෙන් රටක ප්‍රාග්ධන සංචිතය 1%කින් අඩු වෙද්දී දළ දේශීය නිෂ්පාදිතය අඩු වෙන්නේ 0.33%කින් පමණ. ඒ පදනම මත ආර්ථික වර්ධනය කෙරෙහි සිදු විය හැකිව තිබුණේ 0.12%ක පමණ බලපෑමක්. නමුත් විනාශ වූ වත්කම් වල ස්වභාවය අනුව මේ ප්‍රතිශතය අඩු හෝ වැඩි විය හැකිව තිබුණා.
දිත්වා හානියෙන් පසුව මූල්‍ය අරමුදල විසින් 2026දී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2.9% දක්වා අඩු වෙයි කියලා ඇස්තමේන්තු කළා. නමුත් අමතක නොකළ යුතු කරුණ වන්නේ දිත්වා හානියට පෙරද ඔවුන්ගේ ඇස්තමේන්තුව වුනේ 3.1%ක ආර්ථික වර්ධනයක් පමණක් බවයි. ඒ කියන්නේ මූල්‍ය අරමුදල විසින් ආර්ථික වර්ධනය කෙරෙහි දිත්වා බලපෑම ලෙස සලකා තිබුණේ 0.2%ක අඩු වීමක්. මෙය මම කලින් කියපු 0.12% එක්ක කිට්ටුවෙන් යනවා.
ලෝක බැංකුව සහ මූල්‍ය අරමුදල ඇතුළු විවිධ පාර්ශ්ව විසින් දිත්වා නිසා රටේ ආර්ථික වර්ධනයට සිදු වෙන බලපෑම ලෙස වැඩිපුරම දැක්කේ කෘෂිකාර්මික සහ සංචාරක කර්මාන්ත කෙරෙහි සිදු වන බලපෑම. දැන් මාස තුනකට පසුව ආපසු හැරී බලද්දී පැහැදිලිව පෙනෙන පරිදි ඔය අංශ දෙකෙන් එකකටවත් හිතපු තරමේ බලපෑමක් වෙලා නැහැ. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ දිත්වා නිසා ලංකාවේ ආර්ථික වර්ධනයට සිදුව ඇති බලපෑම නොගිණිය හැකි තරම් කියන එකයි.
ආර්ථික වර්ධනයට වගේම විදේශ අංශයට හෝ උද්ධමනයටද දිත්වා නිසා දැනෙන බලපෑමක් සිදු වී නැහැ. නමුත් දිත්වා හමුවේ රජය විසින් ඉතා ඉක්මණින් රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති වෙනසකට මුල පිරුවා. අතුරු අයවැයක් ඉදිරිපත් කර සම්මත කර ගත්තා. ඔය වගේ වෙලාවක ඒ විදිහට ක්ෂණික තීරණ ගන්න එකේ වරදක් නැහැ.
දිත්වා හානියේ බලපෑම එක්ක බලද්දී ඉරාන යුද්ධය නිසා ලංකාවේ ආර්ථිකයට සෑහෙන තරමේ බලපෑමක් සිදුව ඇති බව පෙනෙන්න තිබෙනවා. ඒ වගේම, ඒ බලපෑම තක්සේරු කරගන්නත් අමාරුයි. යුද්ධයක් කියන්නේ ස්වභාවික ආපදාවක් වගේ ඇවිත් යන එකක් නෙමෙයි. කෙසේ වුවත්, පුදුමයකට මෙන්, දිත්වා ආපදාවෙන් පසුව රටේ ආර්ථිකය ගැන කණස්සළු වුන බොහෝ දෙනෙක් මේ වෙලාවේ කතාවක් නැහැ. එයින් පෙනෙන්නේ මේ ගොඩක් අයට ඇත්තටම වැදගත් වී තිබෙන්නේ තම තමන්ගේ දේශපාලන ඇජෙන්ඩා මිසක් ලංකාවේ ආර්ථිකය නොවන බවයි.
දිත්වා නිසා ලංකාවේ ආර්ථිකයට ගොඩ යන්න බැරි බරපතල අවදානමකට මුහුණ දෙන්න සිදු වුණේ නැහැ. ඒ වෙලාවේ තිබුණේ සාපේක්ෂව පහසුවෙන් ගොඩ දා ගන්න පුළුවන් ප්‍රශ්නයක්. නමුත් දැන් මුහුණ දෙන්න වී තිබෙන තත්ත්වය ඊට වඩා බරපතලයි. යුද්ධය දිගට ඇදුනොත් සහ වැරදි ප්‍රතිපත්ති අනුගමනය කළොත් තවත් 2022ක් නිර්මාණය වීමේ අවදානමක් මේ වෙලාවේ ඇති වී තිබෙනවා.
කෙසේ වුවත්, හේතු දෙකක් නිසා පවතින අවදානම කළමනාකරණය කර ගැනීම ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලා මම හිතනවා.
පළමුව, ශුභවාදී පදනමකින්, මේ යුද්ධය විශාල කාලයක් ඇදෙන එකක් නැහැ කියලා මම හිතනවා. යුද්ධය මාස දෙකක් වගේ ඇතුළත අවසන් වෙයි කියා හිතුවොත්, ඒ කාලය ලංකාවට අල්ලාගෙන ඉන්න පුළුවන් කාලයක්. නමුත් යුද්ධ පටන් ගන්න අයට වුනත් පටන් ගන්න තරම් ලේසියෙන් යුද්ධ අවසන් කරන්න අමාරුයි කියන ඉතිහාස පාඩම අමතක කරන්නත් හොඳ නැහැ.
දෙවනුව, රජය සහ මහ බැංකුව ප්‍රශ්නයේ ගැඹුර නිවැරදිව අවබෝධ කරගෙන තිබෙන බව පේනවා. ඒ වගේම, ප්‍රශ්නයට මුහුණ දීම සඳහා කළ යුතු දේවල් කරමින් සිටින බව පේනවා. ඒ නිසා, මේ සටහන ලියන්නේ මේවා කියවන අයට සිදු වෙමින් තිබෙන දේ පැහැදිලි කරන්න මිසක් රජයට හෝ මහ බැංකුවට උපදෙස් දෙන්න නෙමෙයි.
යුද්ධයේ බලපෑම බොහෝ දුරට එන්නේ රටේ විදේශ අංශයට. දිත්වා නිසා පසුගිය දෙසැම්බර් මාසය තුළ සංචාරක කර්මාන්තයේ යම් පසුබෑමක් සිදු වුනත්, ඉරාන යුද්ධය පටන් ගනිද්දී ඒ තත්ත්වයේ විශාල වෙනසක් සිදු වෙලයි තිබුණේ. ජනවාරි සහ පෙබරවාරි දෙමස තුළ, පෙර වසරට සාපේක්ෂව, සංචාරක පැමිණීම් වල 12.9%ක වර්ධනයක් සිදු වී තිබුණා. ඒ අනුව, ඊට කිට්ටු වර්ධනයක් වසරේ ඊළඟ මාස වලදීද දැක ගැනීමේ හැකියාවක් පෙනෙන්න තිබුණා. නමුත් යුද්ධය ආරම්භ වීමෙන් පසුව, මාර්තු 1-8 අතර, පෙර වසරේ එම දවස් වලට සාපේක්ෂව, සංචාරක පැමිණීම් 23.4%කින් අඩු වී තිබෙනවා. සිදු වීමට නියමිතව තිබුණු 12.9%කට ආසන්න වර්ධනයත් එක්ක බලද්දී 32.1%ක කඩා වැටීමක්.
දළ ඇස්තමේන්තුවක් විදිහට යුද්ධය හේතුවෙන් රටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය දවසකට 2,822කින් පමණ අඩු වී ඇති බව ඇස්තමේන්තු කරන්න පුළුවන්. මේ හේතුවෙන් රටට ලැබෙන විදේශ විණිමය ප්‍රමාණය දවසකට ඩොලර් මිලියන 3.85කින් පමණ අඩු වෙනවා. මේ අනුව බලද්දී යුද්ධය ඇදෙන කාලය තුළ අපේක්ෂිත සංචාරක ආදායම් වල මාසයකට ඩොලර් මිලියන 115ක පමණ අඩුවක් සිදු වීමේ ඉඩක් පෙනෙන්න තිබෙනවා.
ඊළඟට තෙල් මිල ඉහළ යාමේ බලපෑම. යුද්ධය පටන් ගනිද්දී බොරතෙල් බැරලයක් තිබුණේ ඩොලර් 65 මට්ටමේ. මේ මිල වැඩි වෙලා නැවත අඩු වෙලා දැන් ඩොලර් 85 වගේ මට්ටමකට ඇවිත් තිබෙනවා. බොරතෙල් බැරලයක මිල ඩොලර් 20කින් ඉහළ ගියොත්, ලංකාවේ දවසක තෙල් වියදම ඩොලර් මිලියන 3.23කින් පමණ ඉහළ යනවා. ඒ කියන්නේ මාසයකට අමතර ඩොලර් මිලියන 97ක් පමණ අවශ්‍ය වෙනවා. යම් හෙයකින් බොරතෙල් බැරලයක මිල ඩොලර් 105 දක්වා ඉහළ ගියොත් අමතර ඩොලර් මිලියන 194ක් අවශ්‍ය වෙනවා. අපි දැනට ඩොලර් මිලියන 97 ගනිමු.
සංචාරක කර්මාන්තයේ ආදායම් අඩුවීම සහ ඉන්ධන ආනයන වියදම ඉහළ යාම පමණක් සැලකුවත් ජංගම ගිණුමට මාසයකට ඩොලර් මිලියන 212ක පමණ අමතර බරක් වැටෙනවා. මේ තමයි ජංගම ගිණුමට දරා ගන්න පුළුවන් උපරිම ආතතිය. පසුගිය මාස වල මහ බැංකුව විසින් සාමාන්‍ය අගයක් ලෙස ඔය ප්‍රමාණයට කිට්ටු විදේශ විණිමය ප්‍රමාණයක් මාසයකට වෙළඳපොළෙන් මිල දී ගෙන තිබෙන නිසා, සංචිත විකුණන්නේ නැතිව ඩොලර් මිලියන 212ක අඩු වීමක් දරා ගන්න පුළුවන්. එකම දේ සංචිත එකතු කර ගන්න වැඩේ තව දුරටත් කරන්න වෙන්නේ නැහැ.
ප්‍රශ්නය තියෙන්නේ ජංගම ගිණුමට බර වැටෙන්නේ ඔය ක්‍රම දෙකෙන් පමණක් නොවීම. යුද්ධය නිසා නැව් ගාස්තු, රක්ෂණ වියදම් ඉහළ යනවා. ඉන්ධන වලට අමතරව අනෙකුත් ආනයන මිල ගණන්ද ඉහළ යනවා. විශේෂයෙන්ම මැද පෙරදිග කලාපයට සිදු කරන අපනයන වල යම් අඩු වීමක් වෙනවා. ප්‍රේෂණ වලටද යම් බලපෑමක් වෙනවා. මේ සියල්ල සලකද්දී කෙටිකාලීනව වුවත් විණිමය වෙළඳපොළ තුළ යම් හෝ ආතතියක් අපේක්ෂා කරන්න පුළුවන්.
අපේ ප්‍රාර්ථනාව වන්නේ යුද්ධය ඉක්මණින්ම අවසන් වීම වුවත්, යම් හෙයකින් මාස දෙක පැන්නොත් තත්ත්වය හිතනවාට වඩා ගොඩක් දරුණු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මැද පෙරදිග ශ්‍රමිකයින් රැකියා අතහැර හෝ අහිමි වී ආපසු රටට එන තත්ත්වයක් ඇති වුනොත් රටට ලැබෙන ප්‍රේෂණ වල විශාල කඩා වැටීමක් සිදු වෙනවා. ඒ වගේ දෙයක් වෙන්න බැරිකමක් නැති නිසා දැන්ම සිට සූදානම් ශරීරෙන් ඉන්න එකයි හොඳම උපාය මාර්ගය. ඒ නිසා, මේ වෙලාව සංචිත නාස්ති කළ යුතු වෙලාවක් නෙමෙයි. පුළුවන් තරම් සංචිත ආරක්ෂා කරගත යුතු වෙලාවක්.
සංචිත ටික බේරාගෙන ජංගම ගිණුම තුලනය කරගන්නනම් ඩොලරයක මිල ඉහළ යාම ඉවසා දරා ගන්න වෙනවා. සංචිත වැය කරමින් ඩොලරයක මිල පාලනය කරන්න ගියොත්නම් වැඩේ කෙළවර වෙන්නේ තවත් 2022කින්. රටට ලැබෙන ඩොලර් ප්‍රමාණයට ගැලපෙන විදිහට ආනයන සීමා වන පරිදි ඩොලරයක මිල සකස් වෙන්න ඉඩ ඇරියොත් ඩොලර් හිඟයක් ඇති වෙන එක පාලනය කරගන්න පුළුවන්. ස්වභාවික ලෙස ආනයන පාලනය කරන්න තිබෙන හොඳම ක්‍රමය ඩොලරයක මිල ඉහළ යන්න ඉඩ හරින එක.
විදේශ අංශයෙන් රාජ්‍යමූල්‍ය අංශයට ආවොත්, පසුගිය අවුරුද්ද රාජ්‍ය ආදායම ඉලක්ක ඉක්මවා ගිය අවුරුද්දක්. නමුත් එය සිදු වුනේ අනපේක්ෂිත වාහන ආනයන නිසා. යුද්ධය පටන් ගන්න පෙරම, ජනවාරි මාසය වන විටත් වාහන ආනයන විශාල ලෙස අඩු වෙලයි තිබුණේ. විදේශ අංශයේ දැනට පවතින ආතති තත්ත්වයත් එක්ක වාහන ආනයන ප්‍රවර්ධනය වීමකට ඉඩ අරින්න අමාරුයි. එහි ප්‍රතිඵලයක් ලෙස මේ අවුරුද්දේ රාජ්‍ය ආදායම් ඉලක්කට යන එකේත් තරමක අභියෝගයක් තිබෙනවා. මේ තත්ත්වය එක්ක රාජ්‍ය වියදම් ගැන වුනත් වඩා බරපතල ලෙස හිතන්න වෙනවා.
ඉතා පැහැදිලි ලෙසම, ඩොලරයක මිල ඉහළ යන්න ඉඩ අරිමින් තිබෙන විදේශ සංචිත ආරක්ෂා කරගන්නවා වගේම, මෙය රජය සතු රුපියල් සංචිතද ආරක්ෂා කරගත යුතු වෙලාවක්. ඉන්ධන, විදුලි ගාස්තු ආදිය පිරිවැය හා ගැලපීම ඔය දෙකටම උදවුවක්. ඒ හේතුවෙන් උද්ධමනය තරමක් වැඩි වෙයි. නමුත් දැනට උද්ධමනය තිබෙන්නේ මහ බැංකුවේ 5% ඉලක්කයට වඩා ගොඩක් පහළින් නිසා එය විශාල ප්‍රශ්නයක් නෙමෙයි.
කලින් සැලසුම් කළ දිත්වා ප්‍රතිසංස්කරණ වුනත් දැන් තිබෙන තත්ත්වය යටතේ ප්‍රමුඛතාවයක් විය යුතු නැහැ. අතුරු අයවැය සම්මත කරගත්තා කියලා අනිවාර්යයෙය්න්ම ඒ සල්ලි වියදම් කරන්න අවශ්‍ය නැහැනේ. එහෙම කළොත් රාජ්‍ය අයවැයට වගේම අපනයන ඉහළ යාම හරහා විදේශ අංශයටත් පීඩනයක් එනවා. ඒ වගේම, මුලින් විස්තර කළ පරිදි, රජය මුල් වී ලොකු වියදමක් නොකළත් ආර්ථික වර්ධන වේගයට දිත්වා හානිය නිසා ලොකු බලපෑමක් වෙන්නේ නැහැ. යුද්ධය ඇදුනොත් සිදු විය හැකි බලපෑම ඊට වඩා වැඩියි. ආර්ථිකය නැවත අස්ථාවර වුවහොත් සිදු විය හැකි බලපෑම ඔය දෙකටම වඩා වැඩියි.
යුද්ධය ඉක්මණින් අවසන් වුනොත් ඉන් පසුව නැවතත් ආර්ථික වර්ධනය ගැන හිතන්න පුළුවන්. නමුත් පවතින අවිනිශ්චිත වාතාවරණය අවසන් වන තුරු වැඩිපුර අවධානය යොමු කළ යුත්තේ ආර්ථික ස්ථායීතාවයට කෙරෙහියි. ලංකාවේ ආර්ථිකයට තවමත් ලොකු කම්පනයක් දරා ගැනීමේ හැකියාවක් නැහැ. දිත්වා කම්පනය තිබුණේ දරා ගන්න පුළුවන් සීමාවේ. නමුත් යුද්ධය දිගට ඇදුනොත් පහසුවෙන්ම ඒ සීමාව පනින්න පුළුවන්.
No comments:
Post a Comment
මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.