වෙබ් ලිපිනය:

Tuesday, March 31, 2026

ආයෝජන වියදම් අඩු වෙලාද?


පසුගිය දවස් වල ප්‍රශ්න හා ප්‍රතිචාර ගණනාවකටම මාතෘකාව වී තිබුණු ආයෝජන වියදම් පිළිබඳව සටහනක් දැමීම මෙතෙක් ප්‍රමාද වූයේ ඒ සඳහා අවශ්‍ය සියළුම දත්ත ප්‍රකාශයට පත් කෙරෙන තුරු බලා ඉන්න සිදු වූ නිසා. මේ වෙද්දී අවශ්‍ය සියලුම දත්ත ප්‍රසිද්ධ කර තිබෙනවා.

පසුගිය (2025) වසරේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 32,751ක්. රටේ කාගේ හෝ ආදායමක් සේ සැලකිය හැකි මේ මුදල් ප්‍රමාණය වැය කෙරී තිබෙන්න පහත ආකාරයෙනුයි.

රජයේ පරිභෝජන වියදම්ද ඇතුළුව පරිභෝජන වියදම = රුපියල් බිලියන 24,311යි

ආයෝජන වෙනුවෙන් වැය කර ඇති වියදම = රුපියල් බිලියන 9,709යි.

මේ අනුව, රටේ දදේනියෙන් 74.2%ක කොටසක් පරිභෝජන වියදම් වෙනුවෙන් වෙන් වෙද්දී, 29.6%ක කොටසක් ආයෝජන වෙනුවෙන් වෙන් වී තිබෙනවා (මේ කොටස් දෙකේ එකතුව 100% ඉක්මවන්නේ අපනයන වලට වඩා වැඩියෙන් ආනයනය කර පරිභෝජනය කර තිබෙන නිසා).

ඊට පෙර (2024) වසරේ ආයෝජන වියදම වූ රුපියල් බිලියන 7,929ට සාපේක්ෂව පසුගිය වසරේ ආයෝජන වෙනුවෙන් වැය කර තිබෙන මුදල 24.4%කින් වැඩියි. ඊට සාපේක්ෂව බලද්දී පරිභෝජන වියදම් ඉහළ ගොස් තිබෙන්නේ 6.0%කින් පමණයි. මෙය සෑහෙන්න හොඳ තත්ත්වයක්. 2024දී ආයෝජන වෙනුවෙන් වැය කර තිබුණේ එම වසරේ දදේනියෙන් 26.3%ක් පමණයි.

රටක ආර්ථිකය වර්ධනය කර ගැනීම සඳහා ආයෝජන අවශ්‍ය වෙනවා. නමුත් රටක ආයෝජන කියන්නේ ඇතැම් අය හිතාගෙන ඉන්නවා වගේ රජය විසින් කරන ප්‍රාග්ධන වියදම් පමණක් නෙමෙයි. ඇත්ත වශයෙන්ම රජය විසින් කරන ප්‍රාග්ධන වියදම් කියන්නේ ලංකාව ඇතුළු බොහොමයක් රටවල වසරක් තුළ සිදු කෙරෙන ආයෝජන වියදම් වලින් සාපේක්ෂව කුඩා කොටසක්.

පසු ගිය (2025) වසර තුළ ශ්‍රී ලංකා රජය විසින් රුපියල් බිලියන 998ක ප්‍රාග්ධන වියදමක් වැය කර තිබුණා. තේරුමක් නැති සංසන්දනයක් වුනත්, රුපියල් ගණන අනුව, ඉතිහාසයේ වැඩිම රාජ්‍ය ප්‍රාග්ධන වියදම. මෙය තේරුමක් නැති සංසන්දනයක් වන්නේ ප්‍රාග්ධන වියදම් පෙර වසර වලට වඩා වැඩි මට්ටමක තිබීම බොහෝ වසර වල සිදු වන සාමාන්‍ය දෙයක් නිසා. 

කෙසේ වුවත්, රටේ මුළු ආයෝජන වියදම් එක්ක බලද්දී මෙම ප්‍රමාණය 10.3%ක කොටසක් පමණයි. මෙය පසුගිය අවුරුද්දේ පැවති විශේෂ තත්ත්වයක් නෙමෙයි. 2024 වසරේ වැය කළ ප්‍රාග්ධන වියදම වූ රුපියල් බිලියන 791 සැලකුවත්, එම වසරේ මුළු ආයෝජන ප්‍රමාණයෙන් 10.0%ක් පමණයි. ප්‍රාග්ධන වියදම් වලින් 90.0%ක්ම සිදු කර තිබෙන්නේ පෞද්ගලික අංශය විසින්. ඒ නිසාම, රටේ ආර්ථික වර්ධනය කෙරෙහි වැඩි බලපෑමක් කරන්නේ පෞද්ගලික අංශය විසින් සිදු කරන ආයෝජන මිසක් රාජ්‍ය අංශයේ ආයෝජන නෙමෙයි. 2024 සහ 2025 දෙවසර තුළ 5.0% බැගින් වන ආර්ථික වර්ධනයක් වාර්තා වීම අනුව වුනත්, එම දෙවසර තුළ ආයෝජන මදි කමක් තිබී නැති බව පේනවා.

අඩු වෙලා කියන රාජ්‍ය අංශයේ ප්‍රාග්ධන වියදම් සැලකුවත්, 2025 ප්‍රාග්ධන පිරිවැය පෙර වසරට වඩා 26.2%කින් වැඩියි. මෙය සැලකිය යුතු වැඩි වීමක්. එහෙමනම්, මේ ප්‍රාග්ධන වියදම් අඩු වෙලා කියන කතාවේ පදනම කුමක්ද? 

වසර මුල ඉදිරිපත් කළ අයවැය ඇස්තමේන්තු වල ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් බිලියන 1,315ක් වෙන් කර තිබුණා. නමුත්, පසු ගිය වසර වලදී වගේම, ඇත්තටම වියදම් කරලා තියෙන ප්‍රමාණය මේ වෙන් කළ මුදලට වඩා අඩුයි. අඩුව රුපියල් බිලියන 317ක්. 

රජය විසින් ඔය රුපියල් බිලියන 317ත් වියදම් කළානම් ආර්ථිකය මාර විදිහට වර්ධනය වෙලා තියෙයිද? කිසිසේත්ම නැහැ. ඇත්ත වශයෙන්ම බොහෝ විට ඇහැට පෙනෙන කිසිම වෙනසක් වෙන්නේ නැහැ. 

මේ මුදල වියදම් කළානම් රජයට ඒ ප්‍රමාණයට තවත් ණය ගන්න සිදු වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අයවැය හිඟය දදේනියෙන් 2.3% සිට 3.2% දක්වා ඉහළ යනවා. ප්‍රාථමික අයවැය අතිරිත්තය දදේනියෙන් 5.4% සිට 4.5% දක්වා අඩු වෙනවා. ඒ වගේම, මේ විදිහට තවත් ණය ගැනීම සඳහා රජයට පෞද්ගලික අංශයත් එක්ක තරඟ කරන්න වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස පෞද්ගලික අංශයේ ණය ගැනීම් අඩු වෙනවා. පෞද්ගලික අංශයේ ණය වලින් වැඩි කොටසක් ආයෝජන සඳහා ලබා ගන්නා ණය නිසා පෞද්ගලික අංශයේ ආයෝජන අඩු වෙනවා. 

පෞද්ගලික අංශයේ ණය වලින් 75%ක් පමණ ආයෝජන ණය සේ සැලකුවොත්, ශුද්ධ වශයෙන් බලද්දී ආයෝජන අඩු වෙන්නේ රුපියල් බිලියන 79ක් වැනි ප්‍රමාණයකින්. ඒ වගේ සුළු වෙනසකින් ආර්ථික වර්ධන වේගයේ ඇහැට පෙනෙන වෙනසක් වෙන්නේ නැහැ. රජය කරන්න හිටපු රුපියල් බිලියන 317ක පමණ ආයෝජනයෙන් රටේ ආර්ථිකයට ලැබෙන්න තිබුණු ප්‍රතිලාභ වලට වඩා එයින් 75%ක් පෞද්ගලික අංශය විසින් ආයෝජනය කිරීමේ ප්‍රතිලාභ වැඩි වෙන්න වුනත් පුළුවන්.

රජයකට ආයෝජන කරන්න වෙන්නේ එක්කෝ බදු ලෙස එකතු කර ගන්නා මුදල් වලින්. නැත්නම් ණය අරගෙන. ණය අරගෙන ආයෝජන කරද්දී පෞද්ගලික අංශයට ණය ගන්න තිබෙන හැකියාව සීමා වෙනවා. කලින් විස්තර කළේ  ඒ තත්ත්වය. අනෙක් ක්‍රමය වන බදු මුදල් වලින් ආයෝජන කිරීම ප්‍රතිඵලදායක වන්නේ අඩු ආදායම්ලාභීන් මත බදු ගසා ආයෝජනය කළොත් පමණයි. වැඩි ආදායම්ලාභීන් විසින් ඔවුන්ගේ අතිරික්ත අරමුදල් කොහොමටත් ආයෝජනය කරන නිසා රජය විසින් ඒ සල්ලි එකතු කරගෙන ආයෝජනය කරද්දී වෙන්නේ වඩා කාර්යයක්ෂම ආයෝජනයක් වෙනුවට අකාර්යක්ෂම ආයෝජනයක් ආදේශ වීම පමණයි. අඩු ආදායම්ලාභීන් මත බදු ගසා ආයෝජනය කළොත්නම්, ඔවුන්ගේ පරිභෝජනය සීමා වී ඒ සල්ලි ආයෝජනය වීමක් සිදු වෙනවා.

ඔය ක්‍රම දෙකටම අමතරව තිබෙන අනෙක් ක්‍රමය විදේශ ණය අරගෙන ආයෝජනය කරන එක. ඒ ක්‍රමයේදී, මුලදී වෙනත් හානියක් නැතිව ආර්ථිකය වර්ධනය වෙනවා. නමුත් ණය ආපසු ගෙවන්න සිදු වූ විට ඒ ආර්ථික වර්ධනය ආපසු හැරෙනවා. ඒ නිසා, එවැනි ආර්ථික වර්ධනයක් තිරසාර වර්ධනයක් නෙමෙයි. විදේශ ණය අරගෙන ආයෝජනය කළ වකවානු වල ආර්ථික වර්ධන වේගය තරමක් වැඩි වුනේත්, පසුව ඒ ණය ආපසු ගෙවන්න සිදු වෙද්දී ආර්ථිකය හැකිළෙන්න ගත්තේත් ඒ නිසා. 

පසු ගිය දශක හතරකට ආසන්න කාලය තුළ රජයේ ප්‍රාග්ධන වියදම් දදේනි අනුපාතයක් ලෙස ඉහළ මට්ටමක තිබුණු සෑම වසරකදීම අයවැය හිඟය තිබුණේ ඊට වඩා වැඩි මට්ටමකයි. එයින් අදහස් වන්නේ ප්‍රාග්ධන ආයෝජන නිසා රජය සතු වත්කම් වැඩි වෙනවාට වඩා වැඩියෙන් රාජ්‍ය ණය වැඩි වෙලා කියන එකයි. පසු ගිය අවුරුද්දේදී වසර 38කට පසුව මේ තත්ත්වයේ වෙනසක් සිදු වී තිබෙනවා. අයවැයේ ජංගම ගිණුමේ අතිරික්තයක් තිබෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ ණය වැඩි වීම ඉක්මවා වත්කම් වැඩි වී ඇති බවයි. 

1 comment:

  1. ඉකොනොමැට්ටාට ඇත්තටම සංවර්ධනය වෙමින් පවතින රටක ආර්ථික විද්‍යාව (Economics of Developing Nations) ගැන තියෙන ප්‍රාථමික අවබෝධයක් නැතිකම පෙන්වන හොඳම උදාහරණයක් තමයි මේ පෝස්ට් එක.

    මේකේ කියලා තියෙන ප්‍රධානතම භයානක වැරදි සංකල්ප (Economic Fallacies) කීපයක් ගැන දැනට මම කියන්නම්

    ​ "රාජ්‍ය ආයෝජන සහ පෞද්ගලික ආයෝජන එකිනෙකට ආදේශක" (Substitutes) යන වැරදි මතය, ඉකොනොමැට්ට හිතන්නේ රජය ආයෝජනය නොකිරීම පෞද්ගලික අංශයට හොඳයි කියලා. නමුත් සැබෑ ආර්ථික විද්‍යාවේදී මේ දෙක අනුපූරක (Complements) විතරයි.

    ​යථාර්ථය තමයි පෞද්ගලික අංශය කම්හලක් හදන්නේ රජය විසින් පාරවල්, වරාය, විදුලිය සහ පුහුණු ශ්‍රමිකයින් (අධ්‍යාපනය) ලබා දෙනවා නම් විතරයි. රජය ප්‍රාග්ධන වියදම් කපනවා කියන්නේ පෞද්ගලික ආයෝජන සඳහා තියෙන "පරිසරය" විනාශ කරන එක. මේකට අපි කියන්නේ Crowding-in Effect එක නැති කිරීම කියලා. රජය වියදම් නොකරන කොට පෞද්ගලික අංශයත් බය වෙලා ආයෝජන නතර කරනවා.

    "Crowding-out" තර්කය වැරදි ලෙස භාවිත කරන තවත් මෝඩ කතාවක් තමයි රජය ණය ගත්තොත් පෞද්ගලික අංශයට ණය නැති වෙනවා (Crowding-out) කියලා කියන එක.

    මේ තර්කය වලංගු වෙන්නේ ආර්ථිකය උපරිම ධාරිතාවයෙන් (Full Employment) වැඩ කරන වෙලාවක විතරයි. ලංකාව වගේ ආර්ථිකය හැකිළී ඇති, බැංකු පද්ධතියේ සල්ලි අතිරික්තයක් තියෙන රටක, රජය ණය අරන් නිෂ්පාදන වැඩකට යෙදෙව්වා කියලා පෞද්ගලික අංශයට බලපෑමක් වෙන්නේ නැහැ.

    ඇත්තටම අද ලංකාවේ පෞද්ගලික අංශය ණය නොගන්නේ සල්ලි නැති නිසා නෙවෙයි, ආර්ථිකයේ අනාගතය ගැන විශ්වාසයක් නැති නිසයි.

    ඊළඟට ප්‍රාග්ධන වියදම් (Capital Expenditure) යනු හුදු "වියදමක්" ලෙස දැකීම, මෙතනදී ප්‍රාග්ධන වියදම දකින්නේ අයවැය හිඟය වැඩි කරන බරක් විදිහටයි.

    ඒත් ඇත්තටම ආර්ථික විද්‍යාවේදී ප්‍රාග්ධන වියදම කියන්නේ ගුණක බලපෑමක් (Multiplier Effect) තියෙන දෙයක්. රජය රුපියලක් ආයෝජනය කළොත්, ඒකෙන් ආර්ථිකයට රුපියල් 2ක් හෝ 3ක වර්ධනයක් එන්න පුළුවන්. අයවැය හිඟය බලනකොට අපි බලන්න ඕනේ ඒ ණය ගත්තේ "කන්නද?" නැත්නම් "හදන්නද?" කියන එකයි. "හදන්න" ගන්න ණය ආර්ථිකය වර්ධනය කරන නිසා දිගුකාලීනව ණය බර අඩු කරනවා.

    අනෙක"අඩු ආදායම්ලාභීන් මත බදු ගසා ආයෝජනය කිරීම ප්‍රතිඵලදායකයි" යන අමානුෂික සහ වැරදි මතය

    ​ඔයා කියනවා දුප්පතුන් මත බදු ගසා ආයෝජනය කිරීම හොඳයි කියලා. ඒත් මේක මූලික ආර්ථික විද්‍යාවටත් විරුද්ධයි. අඩු ආදායම්ලාභීන්ගේ පරිභෝජනය (Consumption) කියන්නේ රටේ නිෂ්පාදනයට තියෙන ඉල්ලුම (Aggregate Demand). ඔවුන් මත බදු ගැහුවොත් වෙළඳපොළේ ඉල්ලුම වැටෙනවා, එතකොට පෞද්ගලික අංශයේ නිෂ්පාදන විකිනෙන්නේ නැහැ. එවිට පෞද්ගලික අංශය තවත් ආයෝජන නතර කරනවා. මේක වටකුරු ආර්ථික මර උගුලක්.

    දළ දේශීය නිෂ්පාදිතය (GDP) සහ ආදායම පටලවා ගැනීම
    ​මුළු GDP එකම "කාගේ හෝ ආදායමක්" ලෙස ඔයා සරල කරනවා.

    ඇත්තටම කතාව GDP එකේ ලොකු කොටසක් විදේශිකයන්ට ඇදී යන ලාභ, ණය වාරික සහ ක්ෂය වීම් (Depreciation) වලට අයිතියි. GDP එක වැඩි වුණාට රටේ සාමාන්‍ය මිනිහාගේ "වැය කළ හැකි ආදායම" (Disposable Income) වැටෙන්න පුළුවන්.

    ඔයා කරන්නේ සංඛ්‍යාලේඛන මැජික් එකකින් මිනිස්සුන්ගේ බඩගින්න වහන්න හදන එක. ඔයා හදන්නේ "Austerity" (අරපිරිමැස්ම) කියන විනාශකාරී ප්‍රතිපත්තිය සාධාරණීකරණය කරන්නයි. ලෝක ඉතිහාසයේ කිසිම රටක් තමන්ගේ ප්‍රාග්ධන වියදම් කපාගෙන දියුණු වෙලා නැහැ.

    අර කලින් පෝස්ට් එකක ඇනෝ කෙනෙක් කීවා වගේම මේක හරියට ගොවියෙක් ලබන අවුරුද්දේ වගා කරන්න තියෙන "බීජ ටිකත් කනවා" වගේ වැඩක්. බීජ ටික කෑවාම මේ අවුරුද්දේ බඩ පිරෙයි, හැබැයි ලබන අවුරුද්දේ මුළු පවුලම බඩගින්නේ.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: