වෙබ් ලිපිනය:

Sunday, March 29, 2026

රාජ්‍ය ණය තවමත් ඉහළ යන්නේ ඇයි?


මීට පෙර සටහන් කිහිපයකින්ද කතා කළ රාජ්‍යමූල්‍ය කළමනාකරණය වෙත අපි නැවත යොමු වෙමු. පහත තිබෙන්නේ පසුගිය (2025) වසරේ ශ්‍රී ලංකා රජයේ අයවැය පිළිබඳ වඩාත්ම යාවත්කාලීන තොරතුරු.

රාජ්‍ය ආදායම් හා ප්‍රදාන - රුපියල් බිලියන 5,485.6 (දදේනියෙන් 16.7%ක්)

රාජ්‍ය වියදම් - රුපියල් බිලියන 6,230.4 (දදේනියෙන් 19.0%ක්)

අයවැය හිඟය - රුපියල් බිලියන 744.9 (දදේනියෙන් 2.3%ක්) 

ප්‍රාථමික අයවැය අතිරික්තය - රුපියල් බිලියන 1,755.8 (දදේනියෙන් 5.4%ක්)

මීට පෙරද සඳහන් කළ පරිදි, මේ සංඛ්‍යා වලින් පෙන්නුම් කරන්නේ 1956 වර්ෂයෙන් පසුව, ඒ කියන්නේ වසර 69කට පසු, වාර්තා වන හොඳම තත්ත්වය. එසේ කියන්නේ මූලික වශයෙන්ම දදේනි අනුපාත ලෙස අයවැය හිඟය දෙස සහ ප්‍රාථමික අයවැය අතිරික්තය දෙස බලමිනුයි.

පසු ගිය වසරේ වාර්තා වී තිබෙන ප්‍රාථමික අයවැය අතිරික්තය ඉතිහාසයේ ඉහළම අගය. ඒ වගේම, අයවැය හිඟය වසර 69කට පසුව වාර්තා වන අඩුම අගය. එසේ වුවත්, එම අගය තව දුරටත් හිඟයක්. ඒ කියන්නේ රාජ්‍ය ආදායම් කොපමණ වැඩි වී තිබුණත්, වියදම් ඊට වඩා වැඩියි. 

ආදායමට වඩා වියදම වැඩියි කියන්නේ, හේතු මොනවා වුනත්, ආදායමෙන් අවසාන වශයෙන් ඉතිරියක් නැහැ කියන එක. හිඟය පියවා ගැනීම සඳහා ණය ගන්න වෙනවා කියන එක. ඒ නිසා, රජයේ ණය ප්‍රමාණය තව දුරටත් ඉහළ යනවා කියන එක. මේ තත්ත්වය වෙනස් වෙන්නේ අයවැය අතිරික්තයක් වාර්තා වූ දවසක පමණයි. 

දැනට තිබෙන හිඟ අයවැය තත්ත්වය අතිරික්ත තත්ත්වයක් වෙන්නනම් ආදායම් වැඩි වීම, වියදම් අඩු වීම හෝ ඔය දෙකම සිදු විය යුතුයි. රටේ ආර්ථිකය වර්ධනය වෙද්දී සහ උද්ධමනය නිසා බදු අනුපාතික වැඩි කළේ නැතත් බදු ආදායම් වසරෙන් වසර ඉහළ යනවා. ඒ නිසා, ආදායම් වැඩි වීම කියන්නේ කිසිවක් අමුතුවෙන් නොකළත් සිදු වෙන දෙයක්. නමුත් වියදම් අඩු කර ගැනීම කියන්නේ ඊට සාපේක්ෂව ඉතාම අසීරු කාර්යයක්. 

සාමාන්‍යයෙන් උද්ධමනය නිසා වියදම් වසරෙන් වසර යම් තරමකින් හෝ ඉහළ යන එකයි වෙන්නේ. ඒ නිසා, අයවැය තුලනය කරා යන ඉලක්කගත ගමනකදී ප්‍රායෝගිකව කරන්න වෙන්නේ ආදායම් ඉහළ යද්දී වියදම් ඉහළ යාම පාලනය කර ගන්න එකයි. එසේ කිරීම මගින්, ආදායම් හා වියදම් අතර පරතරය ටිකෙන් ටික අඩු කරගන්න පුළුවන්. 

රජයේ වියදම් අතරින් ලොකුම වියදම් සංරචකය පොලී වියදම කියා කියන්න පුළුවන්. පසුගිය වසරේ පොලී වියදම රුපියල් බිලියන 2,500.7ක් හෙවත් දදේනියෙන් 7.6%ක්. අනෙකුත් සියලුම වියදම් දදේනියෙන් 11.4%ක් පමණයි. ඒ නිසා, වියදම් ඉහළ යාම පාලනය කර ගන්නනම්, අනිවාර්යයෙන්ම පොලී වියදම් ඉහළ යාම පාලනය කර ගැනීම ගැන හිතන්න වෙනවා. 

පොලී වියදම් හැදෙන්නේ සාධක දෙකක් මත පදනම්වයි. පළමු සාධකය ණය ප්‍රමාණය. දෙවන සාධකය පොලී අනුපාතිකය. 

රාජ්‍යමූල්‍ය කළමනාකරණය කොයි තරම් හොඳ වුනත්, අයවැය හිඟයක් පවතින තුරු අළුතෙන් ණය ගන්න වෙනවා. ඒ නිසා ණය ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා, පොලී වියදම් අඩු විය හැකි එකම ක්‍රමය පොලී අනුපාතික අඩු වීමයි. 

රජයේ වත්මන් ණය කළඹ දිහා බැලුවොත්, එම ණය වලින් විශාල කොටසක් දිගුකාලීන ණය. ණය ප්‍රතිව්‍යුහගත කරද්දී ප්‍රධාන වශයෙන්ම කළේ ණය ආපසු ගෙවීම සඳහා වැඩි කාලයක් ලබා ගැනීමයි. මෙහි ප්‍රතිඵලයක් විදිහට ණය වලින් විශාල කොටසක් සඳහා අනාගතයේ ගෙවිය යුතු පොලී අනුපාතික දැනටමත් තීරණය වී අවසන්. මෙයින් ඉලක්ක කළේ අනාගතයේදී වැඩි පොලියට ණය ලබාගන්න සිදු වීමේ අවදානම ඉවත් කර ගන්න වුනත්, එසේ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ණය පොලී අනුපාතික අඩු කර ගැනීමේ හැකියාවද සීමා වී තිබෙනවා. 

වෙනත් විදිහකට කිවුවොත්, කෙටිකාලීනව පොලී අනුපාතික වල සිදු වන වෙනස් වීම් රජයේ ණය පොලී වියදම කෙරෙහි බලපානවා තමයි. නමුත් ඒ විදිහේ බලපෑමක් තියෙන්නේ ණය කළඹෙන් සාපේක්ෂව කුඩා කොටසක් වෙනුවෙන් ගෙවිය යුතු පොලී අනුපාතික වලට පමණයි. දිගුකාලීන ණය වෙනුවෙන් ගෙවිය යුතු පොලී අනුපාතික කලින්ම තීරණය වෙලා ඉවරයි. ඔය තත්ත්වයත් එක්ක, පොලී අනුපාතික අඩු කර ගැනීම මගින් තව දුරටත් වියදම් අඩු කර ගැනීම ප්‍රායෝගිකව පහසු වැඩක් නෙමෙයි. 

පොලී අනුපාතික අඩු වුනේ නැතත්, ණය ප්‍රමාණය අඩු වෙද්දී පොලී වියදම් අඩු වෙනවා. නමුත් ණය ප්‍රමාණය අඩු වෙන්නනම් අයවැය අතිරික්තයක් පවත්වා ගන්න වෙනවා. දැනට අයවැය අතිරික්තයක් නැහැ.

අයවැය අතිරික්තයක් නැතත්, දැනට සැලකිය යුතු ප්‍රාථමික අයවැය අතිරික්තයක් තිබෙනවා. ප්‍රමාණවත් ප්‍රාථමික අයවැය අතිරික්තයක් එක දිගට පවත්වා ගැනීම මගින් යම් කාලයකට පසුව අයවැය හිඟය අයවැය අතිරික්තයක් බවට හරවා ගන්න පුළුවන්. ඉන් පසුව, ක්‍රමයෙන් ණය අඩු වෙන්න පටන් ගන්නවා. මේ සඳහා ගත වන කාලය ප්‍රධාන වශයෙන්ම තීරණය වෙන්නේ පවත්වා ගන්නා ප්‍රාථමික අයවැය අතිරික්තය මතයි.

පසුගිය (2025) වසර ආරම්භයේදී මධ්‍යම රජයේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 28,738.7ක්. එම ණය ප්‍රමාණයේ අනුපාතයක් ලෙස බලද්දී වසර තුළ ගෙවා තිබෙන පොලී මුදල එයින් 8.7%ක්. ඒ කියන්නේ වසර ආරම්භයේදී තිබුණු ණය ප්‍රමාණය මත, සාමාන්‍ය අගයක් ලෙස, 8.7%ක පොලියක් ගෙවා තිබෙනවා. වසර අවසන් වෙද්දී රජයේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 29,994.7 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඔය ණය ප්‍රමාණය වෙනුවෙන් 2026 වසර ඇතුළත පොලී වැය ලෙස 8.7%ක වියදමක් දරන්න සිදු වෙනවා කියා සැලකුවොත්, ණය වැඩි වී තිබෙන අනුපාතයෙන්ම පොලී වියදමද ඉහළ යනවා. ඒ නිසා, අනෙකුත් වියදම් මොන විදිහකින් හෝ ස්ථාවරව තියා ගත්තත්, රජයේ සමස්ත වියදම ඉහළ යනවා.

කෙසේ වුවත්, ඔය විදිහට පොලී වියදම ඉහළ යද්දී, රටේ දළ දේශීය නිෂ්පාදිතයද ඉහළ යනවා. රටේ දදේනිය ඉහළ යද්දී, බදු අනුපාතික අඩු කළේ නැත්නම්, රජයේ බදු ආදායම් අවම වශයෙන් අනුපාතිකව ඉහළ යනවා. බදු අය කරන අවම සීමාවන් වෙනස් නොකළොත් බදු ආදායම් වඩා වැඩියෙන් ඉහළ යනවා. ඒ නිසා, රාජ්‍ය වියදම් වැඩි වෙද්දී වුනත්, එසේ වැඩි වන වේගය සීමා කර ගැනීම මගින්, දදේනි අනුපාතයක් විදිහට ප්‍රාථමික අතිරික්තය වැඩි කරගන්න හෝ පවත්වා ගන්න පුළුවන්. 

දදේනි අනුපාතයක් විදිහට ප්‍රාථමික අයවැය අතිරික්තය දැනට තිබෙන 5.4% මට්ටමේ දිගටම පවත්වා ගන්නවා කියලා අපි උපකල්පනය කරමු. අනුපාතය වෙනස් වෙන්නේ නැහැ කියන එකෙන් අදහස් වන්නේ ප්‍රාථමික අයවැය අතිරික්තයේ රුපියල් අගය රටේ දදේනිය වර්ධනය වන වේගයෙන් වසරින් වසර ඉහළ යනවා කියන එකයි. ප්‍රාථමික අයවැය අතිරික්තයේ රුපියල් අගය මේ විදිහට ඉහළ යද්දී, පොලී වියදම් වැඩි වන වේගය ඊට වඩා අඩු මට්ටමක පවත්වා ගන්න පුළුවන්නම්, වසරින් වසර අයවැය හිඟය ටිකෙන් ටික අඩු වෙලා යම් වසර ගණනකට පසුව අයවැය තුලනය වෙනවා. ඉන් පසුව, ණය ප්‍රමාණයද අඩු වෙන්න පටන් ගන්නවා. 

රටේ දදේනිය උද්ධමනය සහ ආර්ථික වර්ධනය කියන කාරණා දෙක මත තීරණය වෙනවා. ඒ නිසා, අවසාන වශයෙන් බලද්දී රටේ දිගුකාලීන රාජ්‍යමූල්‍ය තත්ත්වය කෙරෙහි බලපාන ප්‍රධාන කරුණු වන්නේ උද්ධමනය,  ආර්ථික වර්ධනය, සාමාන්‍ය පොලී අනුපාතිකය සහ ප්‍රාථමික අයවැය අතිරික්තය කියන කරුණු හතරයි. මේ කරුණු හතර අතරින් ආර්ථික වර්ධනය කෙරෙහි රජයට ලොකු සෘජු බලපෑමක් කරන්න බැහැ. උද්ධමනය ස්ථාවරව තබා ගැනීම මහ බැංකුව විසින් කරන දෙයක්. පොලී අනුපාතික ප්‍රධාන වශයෙන්ම තීරණය වෙන්නේ උද්ධමනය මත නිසා, පොලී අනුපාතික කෙරෙහි උද්ධමනයෙන් ස්වායත්තව රජයට තිබෙන්නේ සීමිත පාලනයක් පමණයි. රජයට පහසුවෙන්ම පාලනය කළ හැකි විචල්‍යය වන්නේ රජයේ ප්‍රාථමික අයවැය අතිරික්තයයි.

පහත උපකල්පන යටතේ ඉදිරි කාලයේ ලංකාවේ රාජ්‍යමූල්‍ය අංශයේ හැසිරීම මොන වගේ විය හැකිද කියා අපි දැන් විමසා බලමු. උපකල්පන මේවායි.

1. උද්ධමනය - දිගුකාලීනව සාමාන්‍ය අගයක් ලෙස 5% මට්ටේම් පවතිනු ඇත. මෙය මහ බැංකුවේ ප්‍රකාශිත ඉලක්ක මට්ටමයි.

2. ආර්ථික වර්ධනය- දිගුකාලීනව සාමාන්‍ය අගයක් ලෙස 5% මට්ටේම් පවතිනු ඇත. මෙය 2024 හා 2025 වසර වල වාර්තා වූ ආර්ථික වර්ධන මට්ටමයි.

3. පොලී අනුපාතිකය - දිගටම සාමාන්‍ය අගයක් ලෙස 8.7% මට්ටේම් පවතිනු ඇත. මෙය පසුගිය වසරේ රජයේ පොලී වියදම සහ වසර මුල පැවති ණය ප්‍රමාණය අතර අනුපාතයයි.

4. රජයේ ප්‍රාථමික අයවැය අතිරික්තය - දදේනියෙන් 5.4% මට්ටමේ දිගටම පවතිනු ඇත. මෙය පසුගිය 2025 වසරේදී ලඟා කර ගත හැකි වූ මට්ටමයි.

ඉහත උපකල්පන යටතේ, 2029 වසර දක්වා රාජ්‍ය ණය තව දුරටත් වැඩි වන නමුත්, 2030 වර්ෂයේදී සමස්ත අයවැය අතිරික්තයක් හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඉන් පසුව, ණය තවත් වැඩි නොවී අඩු වෙන්න පටන් ගන්නවා. ඔය තත්ත්වය ඔය විදිහටම දිගටම තිබුණොත්, 2040 වර්ෂය වන විට රජයේ සියලුම ණය ගෙවී අවසන් වෙනවා.

ඉහත පළමු උපකල්පන තුන නොවෙනස්ව තිබියදී, රජයේ ප්‍රාථමික අයවැය අතිරික්තය දදේනියෙන් 2.4% මට්ටමේ පැවතුණොත් ඉහත ප්‍රක්ෂේපණය වෙනස් වෙන්නේ කොහොමද? දදේනියෙන් 2.4% කියන්නේ දැනට රජයේ දිගුකාලීන සැලසුම් වල තිබෙන ඉලක්කයයි.

එසේ වුවහොත්, අයවැය තුලනය වනු ඇත්තේ 2044 වසරේදී වන අතර, ණය ගෙවී අවසන් වනු ඇත්තේ 2055 වසරේදීයි.

යම් හෙයකින් රටේ ආර්ථික වර්ධන වේගය සාමාන්‍ය අගයක් ලෙස 5% නොවී 4.5% වුනොත්? 

එසේ වුවද, 2030 වර්ෂයේදී සමස්ත අයවැය අතිරික්තයක් හදා ගන්න පුළුවන්. ඒ වගේම, 2040 වර්ෂය වන විට රජයේ සියලුම ණය ගෙවී අවසන් වෙනවා. ඒ කියන්නේ, යම් හෙයකින් ආර්ථික වර්ධන වේගය 5% නොවී 4.5% වුනත්, ප්‍රාථමික අයවැය අතිරික්තය දදේනියෙන් 5.4% මට්ටමේ දිගටම පවත්වා ගත හැකිනම්, රාජ්‍යමූල්‍ය තත්ත්වයේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ආර්ථික වර්ධන වේගය දිගුකාලීනව 4.5% මට්ටමටත් වඩා අඩු වෙන්න හේතුවක් නැහැ. 

අනෙක් අතට, ආර්ථික වර්ධන වේගය මොන විදිහකින් හෝ 6% දක්වා ඉහළ දමා ගත්තත්, අතිරික්තයක් හදා ගන්න පුළුවන් වෙන්නේ 2030දීම තමයි. රජයේ ණය ගෙවී අවසන් වෙන්නේ 2039දී. කාලය අඩුවෙන්නේ අවුරුද්දකින් පමණයි. 

උද්ධමන ඉලක්කය 5% සිට 4% දක්වා අඩු කළොත්, පොලී අනුපාතික අඩු වුනේ නැත්නම්, මේ කාලය 2041 දක්වා වසරකින් ප්‍රමාද වෙන එකයි වෙන්නේ. නමුත් උද්ධමනය ඉලක්කය අඩු කළොත්, පොලී අනුපාතිකද අඩු වී මේ බලපෑම නිශේධනය වෙනවා. ඒ වගේම, සාමාන්‍ය උද්ධමනය ඉහළ ගියොත්, පොලී අනුපාතික ඉහළ ගිහින් එහි බලපෑම නිශේධනය වෙනවා. අවසාන වශයෙන් රාජ්‍යමූල්‍ය අංශයෙහි අනාගතය කෙරෙහි ලොකුවට බලපාන්නේ ප්‍රාථමික අයවැය අතිරික්තය පමණයි.

පසුගිය අවුරුද්දේදී දදේනියෙන් 5.4%ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් වාර්තා වී ඇතත්, එවැනි ඉහළ මට්ටමක් දිගටම පවත්වා ගන්නා බවක් කිසිවෙකු කියා නැහැ. එකම දේ මේ ඉලක්කය ලඟා කර ගත හැකි ඉලක්කයක් බව මේ වෙද්දී තහවුරු වී තිබීම පමණයි. 

මේ අවුරුද්ද ලංකාවේ සාර්ව ආර්ථික කළමනාකරණය හා අදාළව අභියෝගාත්මක අවුරුද්දක්. ඒ නිසා, මේ අවුරුද්දේත් දදේනියෙන් 5.4%ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් වාර්තා වීම පිළිබඳව කිසිම සහතිකයක් නැහැ. දැනට ඉලක්ක කර තිබෙන දිගුකාලීන සාමාන්‍ය අගය දදේනියෙන් 2.4%ක් පමණයි. ණය තිරසාරත්වය සඳහා අවශ්‍ය අවම අගය සේ හඳුනාගෙන තියෙන්නේ දදේනියෙන් 2.3%. මෙම අගය වෙනස් වෙද්දී රජයේ ණය ගෙවී අවසන් වීම සඳහා ගත වන කාලය වෙනස් වෙන්නේ මේ විදිහටයි.

ප්‍රාථමික අයවැය අතිරික්තය දදේනියෙන් 2.3%ක්නම් - 2056දී 

ප්‍රාථමික අයවැය අතිරික්තය දදේනියෙන් 2.4%ක්නම් - 2055දී 

ප්‍රාථමික අයවැය අතිරික්තය දදේනියෙන් 2.5%ක්නම් - 2054දී 

ප්‍රාථමික අයවැය අතිරික්තය දදේනියෙන් 3.0%ක්නම් - 2050දී 

ප්‍රාථමික අයවැය අතිරික්තය දදේනියෙන් 3.5%ක්නම් - 2047දී 

ප්‍රාථමික අයවැය අතිරික්තය දදේනියෙන් 4.0%ක්නම් - 2044දී 

ප්‍රාථමික අයවැය අතිරික්තය දදේනියෙන් 4.5%ක්නම් - 2042දී 

ප්‍රාථමික අයවැය අතිරික්තය දදේනියෙන් 5.0%ක්නම් - 2041දී 

ප්‍රාථමික අයවැය අතිරික්තය දදේනියෙන් 5.4%ක්නම් - 2040දී 

ප්‍රාථමික අයවැය අතිරික්තය දදේනියෙන් 5.5%ක්නම් - 2039දී 

ප්‍රාථමික අයවැය අතිරික්තය දදේනියෙන් 6.0%ක්නම් - 2038දී 

රජයක් ණය ගෙවා අවසන් කළ යුතුද? ලෝකයේ අනෙක් රටවල් වල ඒ වගේ දෙයක් වෙනවද?

රජය ණය ගෙවා අවසන් කරනවා කියන එකෙන් ප්‍රායෝගිකව අදහස් වෙන්නේ ශුද්ධ වශයෙන් ණය ගෙවා අවසන් කරනවා කියන එකයි. රජයේ ණය වලට වඩා රජය සතු ද්‍රවශීල මූල්‍ය වත්කම් වැඩිනම්, එය රජය විසින් ණය ගෙවා අවසන් කිරීමක් සේ සලකන්න පුළුවන්. සාමාන්‍යයෙන් රජයක් සතු  සතු ද්‍රවශීල මූල්‍ය වත්කම් විවිධ කාර්යයන් සඳහා පිහිටුවන අරමුදල් වල තබා ගන්නවා. දැනට ශ්‍රී ලංකා රජය සතුව මෙවැනි අරමුදල් නැති තරම්.

මෙවැනි අරමුදල් සඳහා උදාහරණයක් ලෙස, ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදලක් පෙන්වා දෙන්න පුළුවන්. මෙහි අරමුණ වන්නේ ඉන්ධන මිල ඉහළ ගිය අවස්ථාවක සහනාධාර ලබා දීමයි. සහනාධාර දෙන්නේ කලින්ම ඒ සඳහා වෙන් කර තිබෙන අරමුදල් යොදවමින් නිසා මෙවැන්නක් රජයට අමතර වැය බරක් වෙන්නේ නැහැ. අධ්‍යාපනය, සෞඛ්‍යය, මාර්ග සංවර්ධනය, සමාජ සංරක්ෂණය වැනි විවිධ කටයුතු වෙනුවෙන් මෙවැනි අරමුදල් පිහිටුවන්න පුළුවන්.

රජය සතු මෙවැනි අරමුදල් වල මුදල් ඇති විට, එම මුදල් සුරක්ෂිත ලෙස ආයෝජනය කිරීමටද සිදු වෙනවා. ඒ වෙනුවෙන්, රජයට භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර නිකුත් කළ හැකියි. එසේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර නිකුත් කිරීම රජය විසින් ණය ගැනීමක් වුවත්, එහිදී රජයට ණය දෙන්නේ නැවත වරක් රජය විසින්ම බැවින්, ශුද්ධ වශයෙන් රජය ණය නැහැ. රජය ණය ගෙවා අවසන් කිරීමක් කියන්නේ එවැනි තත්ත්වයක්.

No comments:

Post a Comment

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: