වෙබ් ලිපිනය:

Thursday, March 19, 2026

තෙල් බද්ද, තෙල් සංස්ථා ණය ගෙවීම හා මිල සූත්‍රය


ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෑතකදී සිදු කළ කතාවක ආර්ථික අර්බුදයට විසඳුම් ලබා දීමේ ක්‍රියාවලිය තුළ 2022දී රජයට පවරා ගනු ලැබූ රුපියල් බිලියන 884ක සිපෙට්කෝ ණය පිළිබඳව නැවත මතක් කිරීමක් කළා. මේ කතාවෙන් පසුව එම ණය පිළිබඳව නැවතත් උනන්දුවක් ඇති වී තිබෙනවා. කිහිප දෙනෙකු විසින්ම ඒ ගැන වැඩි තොරතුරු අසා ඇති බැවින් මේ ඒ පිළිබඳ පැහැදිලි කිරීමක්. 

අපි පසුගිය (2025) වසරේ ගිණුම් වාර්තා දෙස බැලුවොත් සිපෙට්කෝ සමාගම රුපියල් බිලියන 36ක ලාබයක් වාර්තා කර තිබෙනවා. ඊට පෙර වසරේ (2024) ලාබය රුපියල් බිලියන 34ක්. මේ වගේ ලොකු ගණන් දෙස සංසන්දනාත්මකව බැලුවේ නැත්නම් බිලියන ගණනක ලාබයක් ඉතාම විශාල ලාබයක් වගේ පේනවා. නමුත් 2024 වසර සැලකුවොත්, එම වසරේ සිපෙට්කෝ ආදායම (පිරිවැටුම) රුපියල් බිලියන 923ක්. ඒ කියන්නේ ලාබ ආන්තිකය පිරිවැටුමෙන් 3.9%ක් පමණයි. 2025 පිරිවැටුම රුපියල් බිලියන 841ක්. ඒ අනුව, පිරිවැටුමෙන් 4.3%ක ලාබ ආන්තිකයක් තිබෙනවා. 

මේ ලාබ ගිණුම්කරණ ලාබ මිසක් ආර්ථික ලාබ නෙමෙයි. ඒ කරුණ අමතක කර ගිණුම්කරණ ලාබය දෙස පමණක් බැලුවත්, මේ පෙනෙන්නට තිබෙන ලාබය තුළ නොපෙනෙන දෙයක් තිබෙනවා. ඒ පෙර කී 2022දී රජයට පවරා ගනු ලැබූ රුපියල් බිලියන 884ක සිපෙට්කෝ ණය මුදල. ඒ ණය වෙනුවෙන් ගෙවිය යුතු පොලී මුදල් හා ණය වාරික දැන් සිපෙට්කෝ ගිණුම් වල පේන්නේ නැහැ. 

ආර්ථික අර්බුදයෙන් පසුව, 2022 වසර අවසන් වන විට, සිපෙට්කෝ සමාගමේ සමුච්ඡිත අලාභය රුපියල් බිලියන 1,032ක් දක්වා ඉහළ ගොස් තිබුණා. 2022 වසර තුළ පමණක් එම සමාගම රුපියල් බිලියන 618ක දැවැන්ත අලාබයක් ලැබුවා. පසුගිය දෙවසර තුළ සිපෙට්කෝ සමාගමේ ලාබ එම සමාගමේ සාමාන්‍ය ලාබ සේ සැලකුවොත්, එවැනි සමුච්ඡිත අලාභයක් පියවා ගැනීම සඳහා වසර 30ක් පමණ කාලයක් යනවා. ඒ කියන්නේ සිපෙට්කෝ සමාගම තිබුණේ ප්‍රායෝගිකව ගොඩ ගත නොහැකි තත්ත්වයකයි. එම සමාගමේ ණය වලින් රුපියල් බිලියන 884ක් රජය විසින් පවරා ගත්තේ ඒ පසුබිම තුළයි.

ඉහත ණය ප්‍රමාණය වෙනුවෙන් වාර්ෂිකව ගෙවිය යුතු පොලිය හා වාරික කොපමණදැයි මා හරියටම දන්නේ නැහැ. පැහැදිලි කිරීම සඳහා ණය වාරික අමතක කර, පොලිය 10%ක් සේ සැලකුවහොත් වසරකට රුපියල් බිලියන 88ක පොලී වියදමක්. 

දැන් මේ පොලී වියදම ඇත්තටම සිපෙට්කෝ ආයතනය විසින් දැරිය යුතු පොලී වියදමක් වුවත් එම වියදම සිපෙට්කෝ ගිණුම් වල නැහැ. ඒ නිසා එම ආයතනය ලාබ ලබන බව පෙනෙන්නට තිබෙනවා. නමුත් එම පොලී වියදම ගිණුම් වාර්තා වල තිබුණේනම්, රුපියල් බිලියන 36ක ලාබය රුපියල් බිලියන 52ක අලාබයක් බවට පත් වෙනවා. ඒ අනුව, පවරාගත් ණය වෙනුවෙන් රජය විසින් ගෙවන, රජයේ වෙනත් කිසියම් ගිණුමක සටහන් වන පොලියද සමග, ඉන්ධන වල සැබෑ පිරිවැය සැලකුවහොත්, පසුගිය වසර වල සිපෙට්කෝ ආයතනය විසින් ඉන්ධන විකුණා තිබෙන්නේ පිරිවැයට වඩා අඩුවෙන්. 

එහෙමනම් මේ වාසිය පාරිභෝගිකයින්ට ලැබුණාද? 

ඔය විදිහට සිපෙට්කෝ ආයතනය විසින් දැරිය යුතු පොලී වියදමක් රජය විසින් දැරුවත්, ඉන්ධන මත බද්දක් අය කිරීම මගින් රජය එම මුදල සහ බොහෝ විට තවත් අමතර මුදලක් පාරිභෝගිකයින්ගෙන් එකතු කර ගන්නවා. මේ බදු මුදල හරියටම කීයද කියා මම දන්නේ නැහැ. නැවතත්, පැහැදිලි කිරීමේ පහසුව පිණිස, බදු මුදල පිරිවැටුමෙන් 20%ක් ලෙස සලකමු. ඒ කියන්නේ රුපියල් බිලියන 168ක්. ඒ කියන්නේ, එම මුදල බදු ලෙස අය නොකරන අතර දැන් මිලටම ඉන්ධන විකුණුවේනම් සිපෙට්කෝ ආයතනයේ ලාබය රුපියල් රුපියල් බිලියන 116ක් වෙනවා (= 36 - 88 + 168). පිරිවැටුම එක්ක බලද්දී එහි 13.8%ක ආන්තිකයක් තිබෙනවා. 

රජය විසින් සිපෙට්කෝ ණය පවරා නොගෙන, බදුද අය නොකර සිටියේනම්, එම ආයතනය දැන් ලබන ලාබයට වඩා සැලකිය යුතු තරමින් වැඩි ලාබයක් ලබනවා. එම ලාබයෙන් රජයට ආදායම් බදු ලෙස මුදලක් අය කරන්න ඉඩ ලැබෙනවා වගේම, දැන් රජය විසින් සිපෙට්කෝ ණය වෙනුවෙන් ගෙවන පොලිය රජයට ඉතිරි වෙනවා. අනෙක් පැත්තෙන් දැන් එකතු වෙන ඉන්ධන බද්ද රජයට නොලැබී යනවා. සමස්තයක් ලෙස ඔය වැඩෙන් රජයට ලාබයක් නැත්නම්, එකතු කරන බදු මුදල සිපෙට්කෝ ණය හා පොලිය වෙනුවෙන් නැවත වැය වෙනවානම්, ඔය විදිහට පටලවපු එකේ තේරුමක් තියෙනවද?

එක වෙනසක්නම්, එවැනි විකල්ප තත්ත්වයක් යටතේ, සිපෙට්කෝ ලාබය ගිණුම් අනුව වැඩියෙන් පේනවා. එම ලාබයෙන් කොටසක් රජයට ආදායම් බද්දක් සේ අය කරගන්න පුළුවන් වුනත්, සමස්තයක් ලෙස රජයේ බදු ආදායමේ සැලකිය යුතු අඩු වීමක් වෙනවා. මේ ක්‍රමය මගින් රජයට, යම් තරමක් කෘතීම ආකාරයකින්, බදු ආදායම වැඩියෙන් පෙන්වන්න අවස්ථාව ලැබෙනවා. අනෙක් පැත්තෙන්, සිපෙට්කෝ ලාබය මීට වඩා ගොඩක් වැඩියෙන් පෙනුනානම්, ඉන්ධන මිල අඩු කර ඒ ලාබයේ වාසිය පාරිභෝගිකයින්ට දෙන්න දේශපාලන පීඩනයක් ඇති වෙනවා. අවසාන වශයෙන් රජයට ලැබෙන බද්ද සහ සිපෙට්කෝ ලාබය කියන දෙකම නැති වෙනවා. කාලයක් තිස්සේම ඔය වැඩේ ඔය විදිහට සිදු වුනු නිසා තමයි සිපෙට්කෝ සමාගමේ සමුච්ඡිත අලාභය රුපියල් බිලියන 1,032ක් දක්වා ඉහළ ගියේ.

හැබැයි ඔය හේතු වලට වඩා බරපතල කාරණයකුත් මේ ගණන් හිලවු පටලැවිල්ල ඇතුළේ තියෙනවා.

සිපෙට්කෝ සමාගමේ සිට LIOC සමාගම වෙතට හැරුනොත්, එම සමාගම විසින් 2025 මාර්තු 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය ඇතුළත රුපියල් බිලියන 276ක ආදායමක් සහ රුපියල් බිලියන 14ක පමණ ලාබයක් ලබා තිබෙනවා. මෙහි ලාබ ආන්තිකය පිරිවැටුමෙන් 5.0%ක් පමණයි. සිපෙට්කෝ ලාබ ආන්තිකය එක්ක බලද්දී විශාල වෙනසක් නැහැ. අනෙකුත් වියදම් වලට පෙර දළ ලාබය දෙස බැලුවොත්, සිපෙට්කෝ ආන්තිකය 8.9%ක් වෙද්දී LIOC ආන්තිකය 7.6%ක් පමණයි. 

සිපෙට්කෝ සමාගම විකුණන හැම දෙයක්ම LIOC එක විකුණන්නේ නැති නිසාත්, ඒ දේවල් වලින් ඒකාධිකාරී ලාබයක් ගන්න පුළුවන් නිසාත්, සිපෙට්කෝ එකට වැඩි දළ ලාබ ආන්තිකයක් පවත්වා ගන්න පුළුවන්. නමුත් LIOC එකට සාපේක්ෂව බලද්දී සිපෙට්කෝ එක අකාර්යක්ෂම නිසා අමතර වියදම් අඩු කළාට පස්සේ LIOC ආන්තිකය තරමක් වැඩියි. 

දැන් අපි නැවතත් ඉන්ධන බද්ද වෙත එමු. කලින් කළ 20% උපකල්පනය යටතේ, මේ බද්ද නැත්නම් LIOC එක වෙත ඉතිරි වන අමතර මුදල රුපියල් බිලියන 55ක්. ඒ අනුව, LIOC ලාබය රුපියල් බිලියන 14 සිට රුපියල් බිලියන 69 දක්වා ඉහළ යනවා. ලාබ ආන්තිකය පිරිවැටුමෙන් 25% දක්වා ඉහළ යනවා. මෙය විශාල ලාබ ආන්තිකයක්. සිනොපෙක්, ෂෙල් ඇතුළු අනෙකුත් සමාගම් වල ලාබ ආන්තිකයද ඔය විදිහටම විශාල ලෙස ඉහළ යනවා. මෙය සිදු වෙන එක වැලකී තිබෙන්නේ රජය විසින් අය කරන බද්ද නිසා. 

නමුත් මෙහිදී අප විසින් උපකල්පනය කළේ බද්ද ඉවත් කළොත් ඉහත සමාගම් විසින් එහි වාසිය මුළුමනින්ම අරගෙන දැන් අය කරන මිල ඒ විදිහටම අය කරයි කියලා. එය එසේ වෙන්නේ නැහැ. බද්ද ඉවත් කළොත් එම සමාගම් විසින් මිල අඩු කරනවා. එසේ මිල අඩු කරමින් වෙළඳපොළ පංගුව වැඩි කර ගැනීමට උත්සාහ කරනවා. දැන් මේ සමාගම් විසින් එසේ නොකරන්නේ මිල සූත්‍රය සහ බද්ද හරහා ලාබය සීමා කර තිබෙන නිසා. පවතින තත්ත්වය තුළ කොහොමටත් ලැබෙන්නේ අවම ලාබයක් නිසා මිල අඩු කරන එක ඒ සමාගම් වලට පාඩුයි.

ඔය විදිහට බද්ද ඉවත් කිරීමෙන් පසුව පෞද්ගලික සමාගම් විසින් තෙල් මිල අඩු කළොත් එම සමාගම් වලට තව දුරටත් ලාබ ගන්න පුළුවන්. මිල අඩු කිරීමේ අවාසිය අලෙවිය වැඩි වීමෙන් ආවරණය වෙනවා. නමුත් එසේ වෙද්දී සිපෙට්කෝ එකේ වෙළඳපොළ පංගුව ටිකෙන් ටික අහිමි වෙනවා. එය වලක්වා ගන්න මිල අඩු කළොත් පිරිවැය ආවරණය වෙන්නේ නැහැ. ඒ නිසා, මිල අඩු කළත් සිපෙට්කෝ එක අමාරුවේ. මිල අඩු නොකළත් සිපෙට්කෝ එක අමාරුවේ. 

මේ අනුව බලද්දී, සිපෙට්කෝ එක වෙනුවට පෞද්ගලික සමාගම් විසින් පමණක් ඉන්ධන අලෙවි කරන උපකල්පිත තත්ත්වයට සාපේක්ෂව, බද්ද කියන්නේ පාරිභෝගිකයින් විසින් ගෙවන අමතර මුදලක්. සිපෙට්කෝ එක නැත්නම්, බද්දත් නැත්නම්, පාරිභෝගිකයින්ට අඩුවට තෙල් ලැබෙනවා. නමුත් සිපෙට්කෝ එක තියෙද්දී බද්ද අඩු කළොත් එක පැත්තකින් සිපෙට්කෝ එකට පවතින්න අමාරු වෙනවා. අනෙක් පැත්තෙන්, සිපෙට්කෝ එක පවතින්න දරන උත්සාහය නිසා, බද්ද අඩු කළ එකේ වාසියෙන් කොටසක් පෞද්ගලික සමාගම් වලට යනවා.

මේ අනුව පැහැදිලි වන පරිදි, රජය විසින් අය කරන බද්ද මගින් නිරූපණය වන්නේ සිපෙට්කෝ සමාගම සහ අනෙකුත් පෞද්ගලික සමාගම් අතර කාර්යක්ෂමතා වෙනසයි. රජය විසින් කරන්නේ සියලුම සමාගම් වල පාරිභෝගිකයින්ගෙන් එකතු කරගන්නා බදු මුදල සිපෙට්කෝ පිරිවැයෙන් කොටසක් ආවරණය කිරීම පිණිස යෙදවීම මගින් සිපෙට්කෝ සමාගමේ අකාර්යක්ෂමතාව නඩත්තු කිරීමට උපකාර කිරීමයි. 

මේ තත්ත්වයෙන් ගැලවෙන්නේ කොහොමද? එසේ ගැලවෙන්න පුළුවන් වෙන්නේ සිපෙට්කෝ සමාගමද අනෙක් සමාගම් තරමටම කාර්යක්ෂම වුවහොත් පමණයි. එතෙක් මෙවැන්නක් කළ නොහැකියි. කෙසේ වුවත්, අමතර කරුණක් ලෙස මේ වෙනස මගින් නිරූපණය වන්නේ සිපෙට්කෝ සමාගමේ මේ මොහොතේ අකාර්යක්ෂමතාවය පමණක් නෙමෙයි. සිපෙට්කෝ සමාගමේ මේ මොහොතේ අකාර්යක්ෂමතාවය, එම සමාගමේ අතීත අකාර්යක්ෂමතා වල පාඩුව වගේම අතීතයේ පාරිභෝගිකයින් විසින් ලැබූ වාසියද මේ තුළ තිබෙනවා. 

මේ කොටස් තුනෙන් තුන්වන කොටස සිපෙට්කෝ ප්‍රශ්නයක් නොවන නිසා ඒ කොටස සියලුම පාරිභෝගිකයින්ගෙන් අය කරගන්න එකේ තර්කානුකූල පදනමක් තිබෙනවා. පළමු හා දෙවන කොටස් වල බර ඒ විදිහට පාරිභෝගිකයින් මත පටවන එක සාධාරණීකරණය කළ නොහැකි වෙතත්, සිපෙට්කෝ එක රාජ්‍ය ආයතනයක් බැවින් එහි අතීත හා වත්මන් අකාර්යක්ෂමතාවයන් වෙනුවෙන් වන්දි ගෙවන්න සිදු වන්නේ වත්මන් සහ අනාගත බදු ගෙවන්නනටයි.

ඊළඟට අපි පෞද්ගලික සමාගම් සමඟ රජය විසින් ඇති කරගෙන තිබෙන එකඟතා ගැනත් කතා කරමු. මම මේ ගිවිසුම් කිසිවක් දැකලා නැහැ. මෙය විවිධ අවිධිමත් මූලාශ්‍ර වල තිබෙන කරුණු මත පාදකව සිදු කරන පැහැදිලි කිරීමක් පමණයි. 

කරුණක් ලෙස ගත්තොත් කාලයක් තිස්සේ සිපෙට්කෝ සමාගම විසින් පිරිවැයට වඩා අඩුවෙන් ඉන්ධන විකිණුවා. පිරිවැයෙන් කොටසකට හේතුව අකාර්යක්ෂමතාවය වුවත්, එම අකාර්යක්ෂමතාවය අත හැරීමෙන් පසුව වුවද පිරිවැය ආවරණය වී නැහැ. අකාර්යක්ෂමතාවය ඉවත් කර ගැනීම මගින් වෙනත් සමාගමකට සිපෙට්කෝ සමාගම සමඟ තරඟ කරන්න පුළුවන්. නමුත් සෘජු පිරිවැයට වඩා අඩුවෙන් සිපෙට්කෝ එක තෙල් විකිණුවොත් වෙනත් සමාගමකට කෙසේවත් තරඟ කරලා ලාබයක් ගන්න බැහැ. 

මේ හේතුව නිසා සිපෙට්කෝ එක සෘජු පිරිවැයට වඩා අඩුවෙන්, ඒ කියන්නේ දළ ලාබයක් හෝ නැතිව, ඉන්ධන අලෙවි කරන තත්ත්වයක් යටතේ, අවස්ථාවක් තිබුනත් වෙනත් කිසිදු සමාගමක් රටට එන තත්ත්වයක් තිබුණේ නැහැ. එහෙම එන්නනම් වියදමට වඩා අඩුවෙන් තෙල් විකුණන්නේ නැහැ කියන සහතිකය ඔවුන්ට අවශ්‍ය වෙනවා. මේ අනුව, සිනොපෙක් වැනි සමාගම් රටට ඇවිත් තියෙන්නේ රජය (සිපෙට්කෝ) විසින් පිරිවැයට වඩා අඩුවෙන් තෙල් විකුණන්නේ නැහැ කියන සහතිකය ලබා ගෙන.

මිල සූත්‍රය ක්‍රියාත්මක වන්නේ ඉහත එකඟතාවය අනුවයි. සූත්‍රය මම හරියටම දන්නේ නැහැ. නමුත් පදනම මෙයයි. අනෙකුත් සමාගම් සමඟ ඇති කරගෙන තිබෙන එකඟතා වලට අමතරව මෙම මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම මූල්‍ය අරමුදලේද අවශ්‍යතාවයක්. ඒ නිසා, අරමුදල සමඟ ඉන්නනම් මිල සූත්‍රය ක්‍රියාත්මක විය යුතුයි. රජයට ඒ හැර වෙනත් විකල්පයක් නැහැ.

එසේනම්, ඉහත එකඟතා අනුව, රජයට ඉන්ධන මිල සුබසාධනය කිරීමේ කිසිදු හැකියාවක් නැද්ද? 

ඉන්ධන මිල සුබසාධනය කිරීම හෝ නොකිරීම වෙනම කරුණක්. එය රටේ සාර්ව ආර්ථික තුලනය සමඟද ගැට ගැසී ඇති දේශපාලනික කරුණක්. සාර්ව ආර්ථික තුලනය පැත්තකින් තිබ්බොත්, ඉන්ධන මිල සුබසාධනය කරන්න රජයට කිසිදු බාධාවක් නැහැ. උදාහරණයක් ලෙස සිපෙට්කෝ සමාගම විසින් භූමිතෙල් විකුණන්නේ පිරිවැයට වඩා අඩුවෙන්. එය දේශපාලනික තීරණයක් වගේම කාලයක් තිස්සේ සිදු වූ දෙයක්. 

මිල සුබසාධනය කිරීම මගින් ඉටු කර ගැනීමට අදහස් කෙරෙන දේශපාලනික අරමුණක් තිබෙනවා. නමුත් එහිදී සිපෙට්කෝ සමාගමට පිරිවැයට වඩා අඩුවෙන් භූමිතෙල් විකුණන්න සිදු වුනොත්, එසේ කරමින් ලාබ ලබන්න බැහැ. එය එම සමාගමට සිදු කෙරෙන අසාධාරණයක්. ඒ නිසා, ඒ වැරැද්ද හදන්න සුබසාධනයේ බර රජය විසින් දැරිය යුතුයි. මූල්‍ය අරමුදල විසින් කියන්නේ ඒකයි. සුබසාධනයේ බර රජය විසින් දරනවානම්, අවසාන වශයෙන්, භූමිතෙල් අඩුවට විකුණන තත්ත්වයක් යටතේ වුවත්, සිපෙට්කෝ සමාගමේ පිරිවැය ආවරණය වෙනවා. ඒ නිසා පාඩු ලබන්න හේතුව විදිහට සුබසාධනය ඉදිරිපත් කරන්න බැහැ.

ඉහත පදනම අනුව, අවශ්‍යනම්, ඉන්ධන මිල වැඩි මේ වගේ වෙලාවක රජයට ඉන්ධන මිල සුබසාධනය කරන්න පුළුවන්. රජයට ඒ සඳහා පූර්ණ නිදහස තිබෙනවා. නමුත් එසේ සුබසාධනය කළ යුත්තේ රජය විසින් මිසක් සිපෙට්කෝ සමාගම විසින් නෙමෙයි. එම සමාගම තව දුරටත් ලාබ ලැබිය යුතුයි. ඒ සඳහා මිල සූත්‍රය ක්‍රියාත්මක විය යුතුයි. ඒ අතර, රජයට පාරිභෝගිකයින් වෙනුවෙන් ඔවුන්ගේ ඉන්ධන මිලෙන් කොටසක් ගෙවීම මගින් පාරිභෝගිකයින්ව සුබසාධනය කරන්න පුළුවන්. ඒ තමයි මූල්‍ය අරමුදලේ කොන්දේසිය.

මේ විදිහට රජය විසින් අයවැයෙන් මුදල් වෙන් කර පාරිභෝගිකයින් සුබසාධනය කරන්නේනම්, ඔවුන් ඉන්ධන මිල දී ගන්නේ කාගෙන්ද කියන එක නොසලකා සියලුම පාරිභෝගිකයින් එක විදිහට සුබසාධනය කළ යුතුයි. සිපෙට්කෝ පාරිභෝගිකයින්ට ලබා දෙන වාසියම සිනොපෙක් පාරිභෝගිකයින්ටත් ලබා දිය යුතුයි. මෙය ඉතාම සාධාරණ ඉල්ලීමක්නේ. සිපෙට්කෝ පාරිභෝගිකයින්ව පමණක් සුබසාධනය කරනවානම් එහි සාධාරණ තරඟයක් නෑනේ.

ගිවිසුම අනුව තෙල් සමාගම් වලට මුදල් ගෙවිය යුතුයි කියන එකේ පදනම ඕකයි. ඇත්තටම සිදු වෙන්නේ තෙල් සමාගම් වලට සල්ලි ගෙවීමක් නෙමෙයි. රජය විසින් පාරිභෝගිකයින්ව සුබසාධනය කිරීමක්. නමුත් එක් එක් පාරිභෝගිකයාට වෙන වෙනම සල්ලි ගෙවන එක අමාරු වැඩක් නිසා, ඉන්ධන අලෙවිය අනුව අදාළ සමාගම් වලට අවශ්‍ය මුදල ලබා දුන් විට සමාගම් හරහා සහනාධාර මුදල පාරිභෝගිකයින්ට ලැබෙනවා. 

දැන් මෙහි සිදුවන දේ  පැහැදිලියිනේ. සමාගම් වලට සල්ලි ගෙවීමක් ඇත්තටම නැහැ. අඩුවෙන් විකුණන්න බැරිකමකුත් නැහැ. නමුත් තෙල් මිල සුබසාධනය කරන්නේනම් එහි බර රජය විසින් දැරිය යුතුයි. අදාළ සහනය සිපෙට්කෝ ඇතුළු තෙල් සමාගම් හරහා රජය විසින් පාරිභෝගිකයින්ට ලබා දෙනවා. මේ අනුව පෙනෙන පරිදි සැබෑ ප්‍රශ්නය වන්නේ මේ වෙනුවෙන් රජයට මුදල් වෙන් කළ හැකිද කියන එකයි. 

මේ මොහොතේ පවතින තත්ත්වය වෙත ආවොත්, පෙබරවාරි 27 සිට මාර්තු 19 දක්වා කාලය ඇතුළත සිංගප්පූරු වෙළඳපොළේ පිරිපහදු කළ ප්‍රෙට්‍රල් බැරලයක මිල 73.4%කින් ඉහළ ගොස් තිබෙනවා. බොරතෙල් බැරලයක මිල (WTI) 37.5%කින් ඉහළ ගොස් තිබෙනවා. මෙම මිල ගණන් තව දුරටත් වැඩි වෙන්න පුළුවන්. මීට අමතරව නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තු ආදියද ඉහළ ගොස් තිබෙනවා. ඒ අතර, ඩොලරයක මිලේද සුළු ඉහළ යාමක් (0.6%) සිදු වී තිබෙනවා. නමුත් මේ වන තුරු ප්‍රෙට්‍රල් මිල ඉහළ දමා තිබෙන්නේ 8.2%කින් පමණයි.

මේ අනුව, පවතින තත්ත්වය තුළ රජයට තවත් සැලකිය යුතු මිල වැඩි කිරීමක් කරන්නට සිදු වෙනවා. එම මිල වැඩි කිරීම පිරිවැය ඉහළ යාම හා නොගැලපෙන්නේනම්, අදාළ වෙනස සිපෙට්කෝ ඇතුළු තෙල් සමාගම් හරහා පාරිභෝගිකයින්ට ලබා දෙන්නට රජයට සිදු වෙනවා. ඒ වෙනුවෙන් අමතර මුදල් වෙන් කරන්නට සිදු වෙනවා. (මෙය එසේ කරන්න හෝ නොකරන්න කියා කරන යෝජනාවක් නෙමෙයි. එය රජයේ දේශපාලනික තීරණයක්).

මේ අයුරින් අමතර මුදලක් වැය කර පාරිභෝගිකයින් සුබසාධනය නොකරන්නේනම්, රජය සතු අනෙක් විකල්පය වන්නේ ඉන්ධන බද්ද අඩු කිරීමයි. ජනාධිපති දිසානායක විසින් පළ කළ අදහස් අනුව, මෙවැන්නක් සිදු විය හැකියි. ඉන්ධන බද්දේ බලපෑම පිළිබඳව ලිපියේ මුල් කොටසේ විස්තරාත්මක ලෙස පැහැදිලි කර තිබෙනවා.

එහි විස්තර කර ඇති පරිදි, සාමාන්‍ය තත්ත්වයක් යටතේ ඉන්ධන බද්ද ඉවත් කළහොත්, සිනොපෙක් වැනි තෙල් සමාගම් වල ලාබය ක්ෂණිකව විශාල ලෙස ඉහළ යනවා. මෙවැනි විශාල ලාබයක් ලැබෙද්දී එම සමාගම් විසින් කරන්නේ බද්ද අඩු කිරීමේ ලාබයෙන් සැලකිය යුතු කොටසක් පාරිභෝගිකයින්ට ලබා දී වෙළඳපොළ පංගුව අල්ලා ගැනීමයි. ඒ නිසා, ඉන්ධන මිල පහත වැටෙනවා. නමුත් එසේ මිල පහත වැටුණු විට සිපෙට්කෝ සමාගමට එම මිලට ඉන්ධන විකුණා ලාබයක් ලබන්න බැහැ. ඒ නිසා අනෙකුත් සමාගම් තව දුරටත් සැලකිය යුතු ලාබ ලබද්දී සිපෙට්කෝ සමාගමේ ලාබ ඉහළ යනවා. 

නමුත් දැන් තිබෙන්නේ සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. සිපෙට්කෝ සමාගමට අවශ්‍ය ඉල්ලුම සැපිරිය නොහැකිනම්, අනෙකුත් සමාගම් වලට වෙළඳපොල පංගුව අල්ලා ගැනීම සඳහා මිල අඩු කරන්නට අවශ්‍ය වන්නේ නැහැ. ඒ නිසා, බද්ද අඩු කිරීමේ ලාබය හෝ එයින් සැලකිය යුතු කොටසක් එම සමාගම් වල දැනට තිබෙන ලාබයට එකතු කරගන්න පුළුවන්.

ඉහත තත්ත්වය හමුවේ මිල ඉහළ යාම වැළැක්වීම සඳහා රජයට ඇත්තටම කළ හැක්කේ මුදල් වැය කර පාරිභෝගිකයින් සුබසාධනය කිරීමයි. මෙමගින් රජයේ වියදම් ඉහළ යනවා. ඒ වගේම මේ ගැටලුව හා ගැට ගැසුණු, මෙහි කතා කර නොමැති, රටේ සාර්ව ආර්ථික තුලනය පිළිබඳ තවත් කරුණු ගණනාවක් තිබෙනවා. මේ කරුණු සියල්ලම සලකා බලද්දී සහ ජනාධිපතිවරයාගේ හැසිරීම් අනුව පෙනී යන්නේ රජය විසින් තෝරා ගෙන තිබෙන විකල්පය තෙල් මිල සැලකිය යුතු ලෙස ඉහළ දැමීම බවයි. QR කෝඩ් ක්‍රමය හඳුන්වා දීම මගින් කළේ ඒ සඳහා අවශ්‍ය මානසිකත්වය හැදීම වෙන්න පුළුවන්.

6 comments:

  1. @ Economatta

    ඔයා ඉදිරිපත් කරපු සටහන බලශක්ති ආර්ථික විද්‍යාවේ (Energy Economics) මූලික සිද්ධාන්ත පවා විකෘති කරපු, හුදෙක් ආණ්ඩුවේ බදු ගැහිල්ල සාධාරණීකරණය කරන්න ලියපු පට්ටපල් මුසාවාදයක් විදියටයි මට නම් පේන්නේ

    පළවෙනි කාරණාව, ඔය කියන තෙල් සංස්ථාවේ බිලියන 884 ක 'පැරණි ණය' කියන බිල්ලා දැන් එච්චර ලොකු නැහැ, මොකද ලංකා බැංකුවට සහ මහජන බැංකුවට තිබුණු ඒ ඩොලර් බිලියන ගාණක ණය බරින් අතිවිශාල කොටසක් මහා භාණ්ඩාගාරය (Treasury) දැනටමත් තමන්ගේ ගිණුමට පවරාගෙන ඉවරයි, ඒ නිසා සිපෙට්කෝ (CEYPETCO) ශේෂ පත්‍රය දැන් ගොඩක් දුරට පිරිසිදුයි. ජනාධිපති අතේ පැලවෙන කෙබරයක් කිව්වා කෝටි අනූදාහක් කියලා, ඇත්තටම කෝටි 84,400ක් වගේ ගානක් පමණයි, තෙල් සංස්ථාවේ සමස්ත පිරිවැටුම එක්ක මේක කියන තරම් ලොකු ගානක් නෙමෙයි

    මේකේ තියෙන ඊළඟ බොරුව තමයි ලෝක වෙළෙඳපොළේ WTI මිල 37.5%කින් වැඩි වුණා කියන එක, මොකද ලංකාවට වැඩියෙන්ම බලපාන්නේ 'සිංගප්පූරු ප්ලැට්ස්' (Singapore Platts) මිල මිසක් ඇමරිකා එක්සත් ජනපදයේ WTI නෙවෙයි, අනික බොරතෙල් මිල වැඩි වුණත් රුපියල ශක්තිමත් වෙනවා නම් (පසුගිය කාලේ වුණා වගේ) ඒකේ පිරිවැය තුලනය වෙනවා.

    ​ඊළඟට අර බදු අඩු කළොත් සිනොපෙක් වගේ සමාගම් ඒ ලාභය සාක්කුවේ දාගන්නවා කියන එක අමු ගොන් තර්කයක් මොකද ලංකාවේ තියෙන්නේ 'පාලිත උපරිම මිලක්' (MRP), ඉතින් ආණ්ඩුව බද්ද අඩු කරලා මිල සූත්‍රයට අනුව උපරිම මිල රුපියල් 50කින් අඩු කළොත්, සිනොපෙක් එකට ඒක සාක්කුවේ දාගන්න බැහැ, මොකද ඔවුන්ට නීත්‍යානුකූලව ඒ අඩු කරපු මිලට වඩා වැඩියෙන් තෙල් විකුණන්න බැරි නිසා. සිපෙට්කෝ එකට ලාභ ලබන්න බැහැ කියන එකත් තක්කඩි කතාවක්, මොකද සංස්ථාවේ තියෙන අකාර්යක්ෂමතාවයයි, ඕනවට වඩා ඉන්න සේවකයොයි, අනවශ්‍ය අතිකාල දීමනායි අයින් කළොත් සිපෙට්කෝ එකට සිනොපෙක් එකටත් වඩා අඩුවට තෙල් දෙන්න පුළුවන්.
    ​ඇත්තම විසඳුම තමයි, තෙල් ලීටරයකින් ආණ්ඩුව ගහන අර 18%ක වැට් එකයි, රුපියල් 100කට එහා යන නිෂ්පාදන බද්දයි (Excise Duty) අඩු කරන එක.

    අද වෙනකොට ඛණිජතෙල් සංස්ථාව ලීටරයකින් රුපියල් 30-50ක් වගේ ලොකු ලාභයක් ලබනවා. ඒ ලාභයෙන් භාණ්ඩාගාරය දැනටමත් පවරාගෙන තියෙන ණය ටික ගෙවනවා වෙනුවට, සංස්ථාවේ දැනට තියෙන ඉතිරි ණය (Leasing and bank loans) ටික මාස 6ක් වගේ කෙටි කාලයකින් සම්පූර්ණයෙන්ම පියවලා ඉවර කරන්න පුළුවන් මේ අධික ලාභය හරියට පාවිච්චි කළොත්. ඒ ණය ටික පියවූ සැනින්, පොලී වියදම බිංදුවට වැටෙන නිසා තෙල් මිල තවත් රුපියල් 20-30කින් අඩු කරන්න ස්වයංක්‍රීයවම ඉඩක් හැදෙනවා.
    ​QR කෝඩ් එක ගේන්නේ මානසිකත්වය හදන්න නෙවෙයි, ඒක ආණ්ඩුවේ "පාලන තන්ත්‍රී" (Statism) මානසිකත්වයේ ලක්ෂණයක්; ඇත්තටම වෙන්න ඕනේ QR දාලා මිනිස්සුන්ව පාලනය කරන එක නෙවෙයි, තවත් සමාගම්වලට එන්න ඉඩ දීලා තරගකාරීත්වය (Competition) හරහා මිල අඩු කරන එකයි. ඉතින් මචං, මේ සටහන ලියපු කෙනා කරන්නේ ආණ්ඩුවේ "බදු කෑදරකම" වහන්න මිනිස්සුන්ව බය කරන එක විතරයි; සංස්ථාවේ ණය ගෙවලා ඉවර කරලා, බදු අඩු කරලා, හෙට වුණත් තෙල් මිල රුපියල් 100කින් විතර අඩු කරන්න පුළුවන් කියන එකයි මම දකින යථාර්ථය.

    ReplyDelete
  2. ලංකාවට පෙට්‍රල් ලීටරයක් ගොඩබානකොට ඒකේ ඇත්තම පිරිවැය (CIF Value) රුපියල් 180-190ක් වගේ වෙද්දී, ඒක රුපියල් 350-400කට විකුණන්නේ මේ කියන අධික බදු කන්දරාව නිසයි: පළමුවෙන්ම, රජය විසින් පනවලා තියෙන Excise Duty බද්ද සහ රේගු බද්ද Customs Duty ලීටරයකට රුපියල් 50-70ක් වගේ ලොකු ගණනක් වෙනවා

    ඊළඟට, වරාය සහ ගුවන් තොටුපළ බද්ද (PAL) සහ සමාජ ආරක්ෂණ බද්ද (SSCL) තවත් 5%ක් විතර එකතු කරනවා

    ඊටත් පස්සේ කරන බරපතලම දේ තමයි, මේ සියලුම පිරිවැයවල් සහ බදු එකතු කරපු මුළු එකතුවට උඩින් තවත් 18%ක වැට් (VAT) බද්දක් ගැසීම.

    ​මේක "බද්දට බදු ගැසීමක්" (Tax on Tax) උදාහරණයක් විදිහට රුපියල් 100ක බද්දකටත් තවත් රුපියල් 18ක වැට් එකක් අපි ගෙවනවා.

    ඔයා කියන විදිහට බදු අඩු කළොත් සමාගම්වලට ලාභ යනවා කියන්නේ වැරදි කතාවක්, මොකද මේ බදු රේඛීයව අඩු කළොත් මිල සූත්‍රය හරහා පාරිභෝගික මිල අනිවාර්යයෙන්ම පහළ යන නිසා.

    ​අනිත් පැත්තෙන්, සංස්ථාව දැන් ලීටරයකින් තියාගන්න රුපියල් 30කට එහා අධික 'ලාභාංශය' (Profit Margin) පාවිච්චි කරලා, මාස 6ක් ඇතුළත සංස්ථාවේ තියෙන සියලුම බැංකු ණය සහ සැපයුම්කරුවන්ගේ ණය පියවලා ඉවර කරන්න පුළුවන් ඉතාම පැහැදිලි මූල්‍ය කළමනාකරණයක් (Debt Restructuring) කළොත්

    එතකොට පොලී පිරිවැය (Finance Cost) සම්පූර්ණයෙන්ම ඉවත් වෙන නිසා, රජයේ බදුත් සාධාරණ මට්ටමකට ගෙනාවොත්, කිසිම පාඩුවක් නැතිව තෙල් මිල රුපියල් 100-120කින් එකවර පහත දැමීමේ හැකියාව තියෙනවා.

    ඇත්තම තත්ත්වය තමයි ආණ්ඩුව මේ තෙල් මිල සූත්‍රය පාවිච්චි කරන්නේ ණය ගෙවන්න නෙවෙයි, තමන්ගේ නාස්තිකාර වියදම් පියවාගන්න මිනිස්සුන්ගෙන් සූරාකන 'කප්පම්' යාන්ත්‍රණයක් විදිහටයි

    මාලිමාවේ ආණ්ඩුව මේ වැඩේ කරන්නේ ඔවුන්ට IMF එක සතුටු කරන්න බදු ඉලක්ක සපුරා ගැනීමට මේ "බදු සල්ලි" ටික ඕන කරන නිසා මිසක් වෙන කිසිම ආර්ථික විද්‍යාත්මක හේතුවක් නිසා නෙවෙයි.

    ReplyDelete
  3. අනේ මේ ඉකොනෝමැට්ටා, ප්ලීස් ජනාධිපති ගේ පච වලට reference දෙන්න එපා ප්ලීස්, රටේ ඕනෑම සාමාන්‍ය දැණීම තියන, එදිනෙදා නිවුස් බලන අයට ලේසියෙන්ම තේරෙන දේවල් ගැන පවා අතේ පත්තු වෙන මහා කෙප්ප බොහෝම කැෂුවල් විදියට තමන්ගේ කථා වල අතඇරීම කරන නිසා තමා ඔහුගේ තක්කඩි බොරුවෙන් පිරුණු මූසල මූන දකින කොටත් අපට නම් ඔය තුප්පහි AKD ගැන මහා අප්පිරියාවක් ඇතිවෙන්නේ.

    මේ මාලිමාවේ ආණ්ඩුවයි මෝඩ අනුරයි කරන්නේ කලින් ආණ්ඩුවෙන් 2022 දී මහා භාණ්ඩාගාරයට පවරාගත්ත සිපෙට්කෝ ණය කන්දරාව තමන්ගේ ගිණුමට දාගෙන " අපි තමයි ණය ගෙව්වේ හරිද?" කියලා අහිංසක මිනිස්සුන්ව රවට්ටන එකයි, ඒක හරියට අර ඇනෝ කෙනෙක් දවසක් කිව්වා වගේ වටේ ගිහින් ඇවිත් ගෙදර ඉන්න මෝඩ වයිෆ්ව රවට්ටනවා වගේ අමු තක්කඩි වැඩක්. ඇත්තටම LIOC සහ සිනොපෙක් Sinopec වගේ පෞද්ගලික සමාගම් ගෙනාවේ ආණ්ඩුවෙන් සල්ලි ඉල්ලන්න නෙවෙයි, උන්ගේම ප්‍රාග්ධනයෙන් තෙල් ගෙනල්ලා තරගකාරීත්වයක් ඇති කරන්න වුණත්, දැන් උන් කරන්නේ QR එකට පිටින් තෙල් ගහලා පද්ධතියම අවුල් කරන එකයි

    මේ වෙනකොට ලංකාවේ තෙල් වලට පාලන මිලක් නැති වුණත් මාකට් ශෙයාර් එක නැති වෙයි කියලා බයට උන් මිල වැඩි නොකර හිටියට, ඇත්තටම සිපෙට්කෝ එකට පුළුවන් තමන් ලබන රුපියල් 40ක විතර අධික මෙහෙයුම් ලාභය සහ බදු සහන පාවිච්චි කරලා තෙල් මිල රුපියල් 100කින් විතර එකවරම පහත හෙළලා මේ පෞද්ගලික මාෆියාව කුඩු කරලා දාන්න.

    හැබැයි අනුරලා ඒක කරන්නේ නැත්තේ මේ බදු සල්ලි ටික උන්ගේ නාස්තිකාර වියදම්වලට ඕන නිසාමයි. මාලිමාවේ නජිත් ඉන්දික, නුවන් නීලමුණිලා වගේ වෘත්තීය බොරුකාරයෝ රතු අකුරෙන් පෝස්ට් දාලා මේ 'වංචාව' උත්කර්ෂයට නැංවීමෙන්ම පේනවා මේකේ තියෙන දෘෂ්ටිවාදී හිස්බව සහ තක්කඩිකම ඉතින් මම කියන්නේ මේ 'ලේබල් නැති' මුසාවාදය නිසා වෙන්නේ රටේ බලශක්ති සුරක්ෂිතතාවය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා, අන්තිමට ජනතාවට ඉතුරු වෙන්නේ අනුරගේ පච කතා සහ හිස් පොම්ප විතරයි කියලා.

    ඊළඟට පොඩි පණිවිඩයක් තියෙනවා මාලිමා ඩෝබි බලකායේ බ්‍රිගේඩියර් සහ නජිත් ඉන්දික ඇතුළු වහල් ඩෝබි ටීම් වෙත,

    ​ඇත්තටම ගල් අඟුරු වංචාවට අනුර සම්බන්ධද නැද්ද කියලා හොයාගන්න ලේසිම ක්‍රමයක් මම කියන්නද? 😻😻😻😻😻

    ඔයගොල්ලන්ගේ ඩෝබි වට්සැප් ගෲප් එකේ ඉන්න පාටි ලොක්කන්ගෙන් කෙලින්ම අහන්න, "ගල් අඟුරු පැටවුම් අංගනය හෙවත් ලෝඩ් පෝට් (Load Port) එකේ රිපෝට්ස් ටික අපිට සැකයි" කියලා. මොකද ඒ සාම්පල් ටෙස්ට් කළේ හොර ගල් අඟුරු කොම්පැනිය වන 'ට්‍රයිඩෙන්ට්' එක විසින්ම නම් කරපු ලැබ් එකකනේ. අනික පටවපු අංගනය දකුණු අප්‍රිකාවේ තියෙද්දී, ඒ සාම්පල් ටෙස්ට් කරන්න ඉන්දුනීසියාවට යැව්වේ ඇයි? ප්ලේන් එකේදී සාම්පල් මාරු වුණාද දන්නේ නැහැනේ, මොකද මේක හොර කොම්පැනියක්නේ.

    ඉතින් ඔයාලා හැමෝම ඇඩ්මින්ලාගෙන් අහන්න, ඔය ලෝඩ් පෝට් රිපෝට් සෙට් එකම (13 ක්ද කොහේද) සැක නිසා ඒවා ඩබල් චෙක් කරන්න ඕනේ කියලා. ඒ නිසා ලෝඩ් පෝට් එකේ 'තර්ඩ් අම්පයර් සාම්පල්' (Third Umpire Samples) ටික ටෙස්ට් කරන්න ඕනේ කියලා බල කරන්න.

    ඔයගොල්ලන්ගේ පාටි ලොක්කෝ බහ් බහ් ගාලා ඒ ප්‍රශ්නෙන් මාරු වෙන්න හැදුවොත්, ෂුවර් අනුර ගල් අඟුරු වංචාවට කෙලින්ම සම්බන්ධයි. හැබැයි ලොක්කෝ කිව්වොත් "කිසි ප්‍රශ්නයක් නැහැ, ඒ 13 ම ටෙස්ට් කරමු" කියලා, අන්න එතකොට අනුර පිරිසිදු වීමේ සුළු හෝ ඉඩක් පවතිනවා 😻😻😻😻😻

    ​නමුත් මේ වෙනකම් ලෝඩ් පෝට් තර්ඩ් අම්පයර් සාම්පල් කිව්ව ගමන් නලීන්ද ජයතිස්ස ලිස්සුවා, අනිල් ජයන්ත ලිස්සුවා. ඒ නිසා ගොඩක් වෙලාවට වංචාව අහුවේවි, කුට්ටිය අහිමි වේවි කියන බයට තමයි මේ අය 'Load Port Third Umpire Sample' ටෙස්ට් කරමු කිව්වම කටයි පූපයි පූට්ටු වෙන්නේ.

    ​ඉතින් වහල් ඩෝබියනේ, මේක කරලා බලන්න. මටත් කියන්න මොකද වුණේ කියලා.

    ReplyDelete
  4. හැමදාමත් වෙන විදිහට ඇන්නෑවේ
    පාඩු කරපු කවුරුත් නැත ලැයිස්තුවේ
    පාරිභෝගිකයො පිට පාඩුව පැටවේ
    වෙනස වෙන්නෙ කවදද සිරි ලංකාවේ

    ReplyDelete
  5. බොරුවක් නම් මං පාර්ලිමේන්තුවේදී කියනවා.
    ඇත්තක් නම් මම සී.අයි.ඩියකට කියනවා - මීට කෙබර කුමාර දිසානායක.

    කෙබරයා තවත් පට්ට කෙබරයක් ගහලා ලංකාවට ඇමරිකන් එක්සත් ජනපද ප්ලේන් බාන්න ඇහුවාම ඌ කිව්වාලු එපා කියලා 😅🤣😂

    ඇමරිකාවට ඕනේ නම් කාගෙන්වත් අහන් නෑ. ඇවිල්ලා කෙලලා යනවා. ලංකාවට ආසන්න මුහුදේ තිබුණු ඉරාන නැව්වලට මොකද වුණේ ? නොකියාම සබ්මැරින් එකෙන් ඇවිල්ලා කෙලියා නේද?


    අනුර අයියා කෙලින අතේ පැලවෙන ටොම්පච තවමත් විශ්වාස කරන උන් තාම ඉතුරුවෙලා ඉන්නවනං වහාම ගිහිල්ලා මානසික වෛද්‍යවරයෙක්ව හම්බ වෙන්න.

    ReplyDelete
  6. ඉකොනොමැට්ටා කලින් පෝස්ට් එකේ වියට්නාමය ගැන කියපු නිසා ඔවුන් රට තුල කරපු ප්‍රතිසංස්කරණ ගැන සාකච්ඡා කළා නම් හොඳයි නේද?

    විශේෂයෙන්ම වියට්නාමය 1986 Doi Moi ප්‍රතිසංස්කරණ හරහා ආවේ ඉතාම පැහැදිලි, විනයගරුක සහ Socialist-oriented market economy කියන පැහැදිලි දෘෂ්ටිවාදී මඟ පෙන්වීමක් සහිතව මිසක් මේ ලංකාවේ අනුරලා කරනවා වගේ අවස්ථාවාදී තක්කඩි "ලේබල් නැති" මුසාවාදී නරුමවාදයකින් නෙවෙයි. වියට්නාමයේ හෝ චීනයේ තනි පක්ෂ ක්‍රමයක් තිබුණට, ඔයා කිව්වා වගේම එතැන තියෙන්නේ 'නිෂ්පාදන බලවේග' (Productive Forces) දියුණු කරන, රාජ්‍ය යාන්ත්‍රණය අතිශය කාර්යක්ෂමව හසුරුවන සංවාදශීලී සමාජ වෙළඳපොළවාදී මොඩල් එකක් මිසක්, ලංකාවේ වගේ රජයේ අසාර්ථක ප්‍රතිපත්ති විවේචනය කරන අයව පෞද්ගලික දේවල් ඇදලා මඩ ගහලා ඩොබිලා දාලා පතුරු ගහන එක විතරක් කරන පටු දේශපාලනයක් නෙවෙයි.

    ලංකාවේ තත්ත්වය මීට හාත්පසින්ම වෙනස්, ලංකාව කියන්නේ දශක ගණනාවක් පුරා බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය මනාව ස්ථාපිත රටක්. එහෙම රටක පහුගිය ජනාධිපතිවරණයේදී අනුර 42%ක සුළුතරයකින් ජනපති වෙලා, මහමැතිවරණයේදී අනෙක් පක්ෂවල සැලකිය යුතු පිරිසක් ඡන්දය නොදුන්න නිසා ලැබුණු ආසන 159ක 'විකෘති' බලයක් පාවිච්චි කරලා ඒකාධිපතිත්වයකට හීන දැක්කාට, ප්‍රජාතන්ත්‍රවාදී මුල් බැසගත්තු ලංකාවේ සමාජය ඒකට කවදාවත් ඉඩ දෙන්නේ නැහැ. මේක අසෝක රන්වල කතානායක ධූරයෙන් පහුගිය කිරීමේදී හොඳටම පෙනුනා. ආණ්ඩුවේ හොර දොස්තර බකපඬියා දණහිසින් උඩට ගනන් ගන්නේ නෑ කිව්වාට 3% වහල්ලු ටික ඇරුණාම ඡන්දය දීපු අනිත් අය බහුතරය දැඩි ලෙස විරෝධයක් එල්ල කළා

    වියට්නාමය සහ චීනය තමන්ගේ රටේ ස්වෛරීභාවයට තර්ජනයක් වෙන එක්සත් ජනපදය විසින් 'රෙජීම් චේන්ජ්' (Regime Change) කරන්න යූස් කරන YouTube, Facebook WhatsApp වගේ සෝෂල් මීඩියා මෙවලම් පාලනය කළාට, ඒ රටවල ජනතාවට ආර්ථික නිදහස සහ වැඩ කිරීමේ අයිතිය උපරිමයෙන් දීලා තියෙනවා

    හැබැයි අපේ රටේ මේ 'වැඩ බැරි දාසලා' කරන්නේ ආර්ථිකය කළමනාකරණය කරගන්න බැරි වුණාම, තමන්ගේ බංකොලොත්භාවය වහගන්න ඒකාධිපති ලේබල් ගේන්න හදන එකයි.

    ​උදාහරණයක් විදිහට, වියට්නාමය IMF එකත් එක්ක ගනුදෙනු කරලා තමන්ගේ කොන්දේසි මත රට දියුණු කරද්දී, මාලිමාව කරන්නේ IMF එකටයි ජනතාවටයි දෙපැත්තටම බොරු කියන 'මුසාවාද' දේශපාලනයක්; මුන්ට වියට්නාමයේ වගේ විනයක්වත්, චීනයේ වගේ දැක්මක්වත් නැහැ, තියෙන්නේ හුදෙක් බලය වෙනුවෙන් ඕනෑම කුජීත වැඩක් කරන අවස්ථාවාදය විතරයි. ඉතින් මචං, මාලිමාව කියන්නේ වියට්නාම ආකෘතියේ තියෙන 'විනය' හෝ 'කාර්යක්ෂමතාවය' ගෑවිලාවත් නැති, හුදෙක් ඡන්ද විකෘතියකින් බලයට ආපු, වැඩ බැරි, කොන්ද පණ නැති පිරිසකගේ එකතුවක් විතරයි.

    මම මේක විග්‍රහ කරන්නේ "ප්‍රතිපත්තිමය අරාජිකත්වය" (Policy Anarchy) විදිහටයි. වියට්නාමය වගේ රටවල් තමන්ගේ බලශක්ති ක්ෂේත්‍රය විවෘත කරලා සිනොපෙක් වගේ සමාගම් ගෙනාවේ ඉතාම පැහැදිලි නීතිමය රාමුවක් සහ තරගකාරීත්වයක් ඇතුළේ වුණත්, අපේ රටේ මාලිමා රජය කරන්නේ අර උඩ ඇනෝ කිව්වා වගේ "වටේ ගිහින් ඇවිත් මෝඩ වයිෆ්ව රවට්ටනවා" වගේ අමු පච කෙප්ප ඇදබාමින් මිනිස්සුන්ව මුලාවේ දාන එකයි. උදාහරණයක් විදිහට, 2022දී භාණ්ඩාගාරයට පවරගත්ත සිපෙට්කෝ ණය ටික "අපි තමයි ගෙව්වේ" කියලා අනුරලා කියන කොට, ඒක පට්ටපල් මුසාවාදයක් බව දන්නා ඕනෑම ආයෝජකයෙක් ලංකාව ගැන තියෙන විශ්වාසය බිංදුවටම දාගන්නවා.

    පෞද්ගලික සමාගම් ගෙනාවේ උන්ගේ සල්ලිවලින් තෙල් ගෙනල්ලා රජයට බරක් නොවී මාකට් එක හැන්ඩ්ල් කරන්න වුණාට, දැන් වෙන්නේ උන් QR එකට පිටින් තෙල් ගහමින් පද්ධතිය අවුල් කරද්දීත්, වැඩ බැරි දාසලා වගේ මාලිමාවේ ආණ්ඩුව බලාගෙන ඉන්න එකයි; මොකද පාලන මිලක් නැති වුණත් උන්ට ඕන විදිහට මාෆියාවක් කරන්න ඉඩ දීලා තියෙන්නේ මේ ආණ්ඩුවේ තියෙන "කොන්ද පණ නැති" අවස්ථාවාදය නිසයි.
    ​තෙල් නැවට සල්ලි ගෙවන්නත් රජයෙන් සල්ලි ඉල්ලන මට්ටමට මේ පෞද්ගලික සමාගම් වැටිලා තියෙන්නේ මාලිමාවේ ආණ්ඩුවට උන්ව පාලනය කරන්න කිසිම Vision එකක් නැති නිසයි.

    ඇත්තටම වෙන්න ඕනේ සිපෙට්කෝ එක ලබන අර රුපියල් 40ක විතර අධික ලාභයයි, ආණ්ඩුව ගහන අසාධාරණ වැට් (VAT) සහ නිෂ්පාදන බදුයි අයින් කරලා තෙල් මිල රුපියල් 100කින් විතර එකවර පහත දාලා ජනතාවට සහනයක් දෙන ගමන් මේ මාෆියාව කුඩු කරන එක වුණත්, මාලිමාව ඒක කරන්නේ නැත්තේ මේ බදු සල්ලි ටික උන්ගේ නාස්තිකාර රජය නඩත්තු කරන්න ඕන නිසයි. නුවන් නීලමුණිලා වගේ වෘත්තීය බොරුකාරයෝ රතු අකුරෙන් පෝස්ට් දාලා මේ පච උත්කර්ෂයට නංවද්දී, ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීම්වලදී ලංකාව තව තවත් පල්ලමට යනවා; මොකද බොරුවෙන් සහ මුසාවාදයෙන් ආර්ථිකයක් මෙහෙයවන්න බැරි බව ලෝකය දන්නා නිසයි. ඉතින් මචං, මාලිමාවේ මේ "වැඩ බැරි" පාලනය නිසා අපේ රටේ තෙල් ව්‍යාපාරය විතරක් නෙවෙයි, මුළු ආර්ථිකයේම කොඳු නාරටිය බිඳිලා, අන්තිමට අපිට ඉතුරු වෙන්නේ අනුරගේ පච පිරුණු තක්කඩි මූණ විතරයි කියලා මට හිතෙනවා.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: