වෙබ් ලිපිනය:

Thursday, November 24, 2022

දේශීය ණයත් ප්‍රතිව්‍යුහගත කරන්න වෙයිද?


මේ ප්‍රශ්නය කිහිප දෙනෙක් විසින්ම වරින් වර අසා ඇති, හරියකට පිළිතුරක් දෙන්න ඉඩ නොලැබුණු, ප්‍රශ්නයක්. ප්‍රසිද්ධියේ ප්‍රශ්නය අහපු අයට අමතරව යම් පිරිසක් විසින් මේ ප්‍රශ්නය හෝ කිට්ටුවෙන් යන ප්‍රශ්න පෞද්ගලිකවත් අහල තියෙනවා. පෞද්ගලිකව අහපු ප්‍රශ්න පහත ආකාරයේ ප්‍රශ්න.

"මා ලඟ අමාරුවෙන් එකතු කරගත්ත රුපියල් xxxක මුදලක් තියෙනවා. මේ සල්ලි ආයෝජනය කිරීම (බැංකුවක දැමීම/ භාණ්ඩාගාර බිල්පත් වල දැමීම) සම්බන්ධව ඔබ දෙන උපදෙස කුමක්ද?"

පොදු යහපත සලසා මේ සටහන් ලිවුවත්, මේ ලේඛකයා විසින් ඉහත ආකාරයේ පෞද්ගලික උපදේශන සපයන්නේ නැහැ. තමන්ගේ සල්ලි ගැන තීරණ ගැනීම එක් එක් පුද්ගලයා විසින් සැලකිල්ලෙන් හිතාමතා කළ යුතු දෙයක්. ආයෝජනයක ප්‍රතිලාභ එක්කම ඒ හා බැඳුණු අවදානම්ද තිබෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. කොහොම වුනත්, අප ලියන දේවල් වලින් ඇතැම් විට මේ ප්‍රතිලාභ හා අවදානම් කිරා බැලීමේදී යම් උදවුවක් වෙන්න පුළුවන්. 

ගොඩක් අය ඉහත ආකාරයේ ප්‍රශ්න අහන පසුබිම කුමක්ද?

උද්ධමනය නිසා අපිට හරිම අමාරුයි, අතේ සතේ නැහැ කියා පෙන්නගෙන හිටියත් ලංකාවේ ගොඩක් අය අතේ සල්ලි තිබෙනවා. ණය වෙලා හිරවෙලා ඉන්නේ රජය මිසක් රටේ මිනිස්සු නෙමෙයි. රටේ මිනිස්සුන්ගෙනුත් කොටසක් ණය වෙලා, හිර වෙලා බව ඇත්ත. නමුත් සමස්තයක් ලෙස ගත්තහම මිනිස්සු අතේ ණය වලට වඩා සල්ලි තියෙනවා. උද්ධමනය ඇති වෙන්නේම මිනිස්සු අතේ අතිරික්ත මුදල් තිබෙන නිසා. 

රට ණය වුනාට ඒ ණය වලට හරියන තරමේ වත්කම් රටේ නැහැ කියන බොරුව ගැන මම කලින් සටහනක පැහැදිලි කළා. ක්‍රෙඩිට් සුවිස් ඇස්තමේන්තු අනුව, 2001 වසර අවසානයේදී ලංකාවේ නිවාස ඒකක සතු වූ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 31ක් පමණයි. අවුරුදු විස්සකට පස්සේ, 2021දී, ඔය ප්‍රමාණය ඩොලර් බිලියන 401ක් වෙලා. ඒ කියන්නේ ඩොලර් බිලියන 370ක වැඩිවීමක්. ඔය කාලය තුළ විදේශ ණය වැඩිවීම ඩොලර් බිලියන 42ක් පමණයි. 

එහෙම තත්ත්වයක් තුළ ණය ගෙවාගන්න බැරි වී තිබෙන්නේ හේතු තුනක් නිසා. එකක් ඔය වත්කම් රටේ වත්කම් වුනත් රජයේ වත්කම් නෙමෙයි. රටේ වත්කම් රජයේ වත්කම් වෙන්නේ බදු හරහා. පසුගිය කාලය මුළුල්ලේම රජය විසින් වියදම් කළ තරමට බදු එකතු කරගෙන නැහැ. වියදම් කළේ කා වෙනුවෙන්ද, මොනවටද කියන එක වෙනම කතාවක්. දෙවන හේතුව ඔය වත්කම් සියල්ලම ද්‍රවශීල වත්කම් නොවීම. උදාහරණයක් විදිහට නිවාස ඒකක වල වත්කම් වලින් සැලකිය යුතු කොටසක් ගෙවල්, ඉඩම්, වාහන වගේ මූර්ත වත්කම් මිසක් මූල්‍ය වත්කම් නෙමෙයි. තුන්වෙනි කරුණ, තිබෙන මූල්‍ය වත්කම් ප්‍රමාණය වුනත්, රුපියල් වත්කම් මිසක් ඩොලර් වත්කම් නෙමෙයි. විදේශ ණය ගෙවා ගන්න බැරි වෙන්න ප්‍රධානම හේතුව ඔය තුන්වන කාරණාව.

දේශීය ණය ගැන කතා කරද්දී ඉහත තුන්වන කරුණ අදාළ නැහැනේ. නමුත්, දෙවන කරුණ සෑහෙන දුරකට අදාළයි. රජයට රටේ තිබෙන මූර්ත වත්කම් වලින් කොටසක් බදු හෝ ණය විදිහට ලබාගන්න බැරිකමක් නැතත්, ඒ වැඩේ අමාරු වැඩක්. මූල්‍ය වත්කම් වලින් කොටසක් බදු හෝ ණය විදිහට ලබාගන්න එක ඒ තරම් අමාරු වැඩක් නෙමෙයි. රටේ මිනිස්සු අතේ මූල්‍ය වත්කම් කොපමණ තියෙනවද? 

සංචිත මුදල් ප්‍රමාණය හා මුදල් සැපයුම අතර වෙනස මම පෙර සටහනක පැහැදිලි කළා. සංචිත මුදල් කියන්නේ ප්‍රධාන වශයෙන්ම කාසි හා නෝට්ටු. හැබැයි කාසි හා නෝට්ටු පමණක් නෙමෙයි. මහ බැංකුවේ ගිණුම් වල තිබෙන කාගේ හෝ සල්ලිත් සංචිත මුදල්. 

සාමාන්‍ය මිනිස්සුන්ට මහ බැංකුවේ ගිණුම් විවෘත කරන්න බැහැනේ. මහ බැංකුවේ ගිණුම් විවෘත කරන්න පුළුවන් බැංකු වලට. ඒ නිසා, මහ බැංකුවේ ගිණුම් වල තිබෙන සල්ලි කියා කියන්නේ ප්‍රධාන වශයෙන්ම වාණිජ බැංකු වල සල්ලි. මීට අමතරව මහ බැංකුවේ තවත් ගිණුම් තිබෙනවා. එයින් සමහරක් රජයේ ගිණුම්. මේ ගිණුම් ගැන මම විශේෂයෙන් සඳහන් නොකළේ සාමාන්‍යයෙන් ඔය ගිණුම් වල ශේෂය අයිරා (overdraft) වී තිබෙන නිසා. තාක්ෂනික ලෙස නිවැරදි වෙන්නනම් සංචිත මුදල් අර්ථ දක්වද්දී මහ බැංකුවේ තිබෙන රජයේ ගිණුම් වල ශේෂයන්ද එකතු කළ යුතුයි.

හැබැයි, කලින් සටහනක පැහැදිලි කළ පරිදිම, ගණුදෙනු සඳහා රට ඇතුළේ භාවිතා කෙරෙන මුදල් ප්‍රමාණය ඉහත කී සංචිත මුදල් ප්‍රමාණය පමණක් නෙමෙයි. එම ප්‍රමාණය ඉහත ප්‍රමාණයට වඩා ගොඩක් වැඩියි. ඒ, බැංකු පද්ධතිය විසින් ණය දීමේ ක්‍රියාවලිය තුළ සංචිත මුදල් ප්‍රමාණය ගුණනය වීමක් සිදු වෙන නිසා. මෙහි ප්‍රතිඵලයක් විදිහට මහ බැංකුව විසින් නිකුත් කරන රුපියලක් අවසානයේදී රුපියල් දහයක් වගේ ගණනක් වෙන්න පුළුවන්. මුදල් ගුණකය කියා කියන්නේ මේ අනුපාතයට. ඒ විදිහට ගුණනය වීමෙන් පසු මුදල් ප්‍රමාණ M1, M2, M2b, M4 ලෙස හැඳින්වෙනවා. මේවාට පොදුවේ මුදල් සමස්ත කියාත් කියනවා. පහළ තියෙන්නේ මහ බැංකු වෙබ් අඩවියෙන්ම උපුටාගත් ලංකාවේ මුදල් සමස්ත වල අර්ථදැක්වීම්.

"ශ්‍රී ලංකාවේ ප්‍රධාන මුදල් සමස්ත මොනවා ද?

ශ්‍රී ලංකාවේ භාවිත කරන මුදල් සමස්තවල ප්‍රධාන නිර්වචන පහත පරිදි වේ.

සංචිත මුදල්/ පදනම් මුදල්/ අධිබලැති මුදල් (M0) - ව්‍යවහාර මුදල් (මහජනයා වෙතැති ව්‍යවහාර මුදල් සහ වාණිජ බැංකු වෙතැති ව්‍යවහාර මුදල්), ශ්‍රී ලංකා මහ බැංකුව වෙතැති වාණිජ බැංකු තැන්පතු සහ මහ බැංකුව වෙතැති රාජ්‍ය නියෝජිත ආයතනවල තැන්පතු ඇතුළත් වේ.

පටු මුදල් (M1) - මහජනයා වෙතැති ව්‍යවහාර මුදල් සහ වාණිජ බැංකුවල පවත්වාගෙන යනු ලබන මහජනයා සතු ඉල්ලුම් තැන්පතුවලින් සමන්විත වේ.

පුළුල් මුදල් (M2) - පටු මුදල් සැපයුම (M1) සහ මහජනයා සතු වාණිජ බැංකු වෙතැති කාලීන සහ ඉතිරි කිරීමේ තැන්පතු ඇතුළත් වේ.

පුළුල් මුදල් (M2b) - පටු මුදල් සැපයුම (M1), මහජනයා සතු වාණිජ බැංකු වෙතැති කාලීන සහ ඉතිරි කිරීමේ තැන්පතු සහ වාණිජ බැංකු වෙතැති විදේශ ව්‍යවහාර මුදල් තැන්පතුවලින් කොටසක් ඇතුළත් වේ.

පුළුල් මුදල් (M4) - පුළුල් මුදල් සැපයුම (M2b) සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම් වෙතැති මහජනයා සතු කාලීන හා ඉතිරිකිරීමේ තැන්පතු ඇතුළත් වේ."

ඔය ටික මගේ වචන වලින්ම ලිවුවනම් වඩා හොඳින් තේරෙයි. නමුත්, මුදල් සමස්ත අර්ථ දක්වන්නේ මහ බැංකුව විසින් නිසා  මහ බැංකුවේ නිර්වචනම යොදා ගන්න එක කෝකටත් හොඳයිනේ.

හරි. දැන් ඔය තියෙන්නේ නිර්වචන. පහළින් තියෙන්නේ 2022 සැප්තැම්බර් අවසානයේදී  M0, M2b, M4 මුදල් සමස්ත වල ප්‍රමාණය.

සංචිත මුදල් (M0) - රුපියල් බිලියන 1,379 යි.

පුළුල් මුදල් (M2b)  - රුපියල් බිලියන 12,051 යි.

පුළුල් මුදල් (M4)  - රුපියල් බිලියන 14,540 යි.

සරලව කිවුවොත්, පළමු කොටස නෝට්ටු හා කාසි සහ මහ බැංකුවේ තිබෙන බැංකු වල සල්ලි. සැප්තැම්බර් අවසානයේ ගණන හරියටම දන්නේ නැතත්, 2022 ජූනි අවසානයේදී කාසි හා නෝට්ටු විදිහට මිනිස්සු අතේ තිබුණු මුදල් ප්‍රමාණය පමණක් රුපියල් මිලියන 797,471ක්. ලංකාවේ ගෙවල් ගණන වන මිලියන 5.1න් බෙදුවොත්, එක ගෙදරක සාමාන්‍ය වශයෙන් ගත්තහම කාසි හා නෝට්ටු වලින්ම රුපියල් 156,000කට වඩා තිබිය යුතුයි. 

ගොඩක් ගෙවල් වල ඔය සල්ලි ප්‍රමාණය නැතුව ඇති. හැබැයි මෙය තමයි සාමාන්‍ය ගණන. ඒ කියන්නේ, එක ගෙදරක මේ ගණන නැත්නම්, වෙන ගෙදරක ඒ අඩු ප්‍රමාණයත් තියෙනවා. මතක තියා ගන්න මේ බැංකු වල තියෙන සල්ලි අත ඇරලා. කෑෂ් වලින්ම ගෙවල් වල තිබෙන කොටස පමණයි. 

මිනිස්සු අතේ තිබෙන සල්ලි වලට බැංකු වල තියෙන සල්ලිත් එකතු කරලා ගණන තමයි දෙවන ගණන. නමුත් එහි තියෙන්නේ වාණිජ බැංකු වල තියෙන සල්ලි පමණයි. ජාතික ඉතිරි කිරීමේ බැංකුව වගේ වාණිජ බැංකු නොවන බැංකු වල දමා තියෙන සල්ලි එහි නැහැ. ලියාපදිංචි මූල්‍ය සමාගම් වල දමපු සල්ලිත් නැහැ. ඒ ටික ඔක්කොම එකතු කළාම ගණන තමයි රුපියල් බිලියන 14,540 යි.

දැන් මේ ගණන රටේ නිවාස ඒකක ගණනින් බෙදුවහම ගාන කීයද? රුපියල් ලක්ෂ 28.5ක්! ඒ කියන්නේ බැංකු වල දමපුවත් එක්ක සාමාන්‍ය වශයෙන් එක ගෙදරක තිබෙන සල්ලි ප්‍රමාණය රුපියල් ලක්ෂ 28.5ක්. ලක්ෂ එකහමාරක් පමණ කෑෂ් වලින්. ඉතුරු ලක්ෂ 27 බැංකු ගිණුම් වල!

මේවා ඇස්තමේන්තු නෙමෙයි. බැංකු ලේඛණ වල ඔය රුපියල් බිලියන 14,540න් හැම සතයක්ම අයිති කාටද කියන එක පැහැදිලිව සටහන් වෙලා තියෙනවා. කෑෂ් වලින් තියෙන සල්ලි තියෙන්නේ කා ළඟද කියන එකනම් හරියටම හොයාගන්න බැහැ. හැබැයි ගාණ හරියට සතේටම දන්නවා. 

මේ ගණනට EPF, ETF ආදියේ තියෙන මිනිස්සුන්ගේ සල්ලි නැහැ. මිනිස්සු තමන්ගේ නමට භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වල දමපු සල්ලි නැහැ. කොටස් වෙළඳපොළ ආයෝජනය කරපු සල්ලි නැහැ. තිලිණි ප්‍රියමාලිලා වගේ අය ළඟ ආයෝජනය කරපු සල්ලි නැහැ. ඒ කියන්නේ මූල්‍ය වත්කම් වලින් වුනත් කොටසක් විතරයි මේ ගණන ඇතුළේ තියෙන්නේ. ගෙවල්, වාහන වගේ මූර්ත වත්කම් කොහොමටවත් නැහැ. 

පසුගිය සතිය අවසාන වෙද්දී (2022 නොවැම්බර් 16) රජය විසින් නිකුත් කර තිබුණු මුළු භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 12,480ක්. එයින් විදේශිකයින් සතු වූ ප්‍රමාණය රුපියල් බිලියන 25ක් පමණයි. ඒ කියන්නේ, ඉතිරි රුපියල් බිලියන 12,455 රටේම සල්ලි. එයින් මහ බැංකුව සතු වූ කොටස රුපියල් බිලියන 2,571ක්. ඒ ටිකත් අඩු කළාම රුපියල් බිලියන බිලියන 9,884ක්.

දැන් ඔය සල්ලි කාගේ සල්ලිද? එක්කෝ රටේ මිනිස්සුන්ගේ සල්ලි කෙළින්ම භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වල ආයෝජනය කරපුවා. එහෙම නැත්නම්, රටේ මිනිස්සුන්ගේ සල්ලි බැංකුවක දැම්මට පස්සේ එම බැංකු විසින් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වල ආයෝජනය කරපුවා. එහෙමත් නැත්නම්, EPF එක විසින් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වල ආයෝජනය කරපු රටේ මිනිස්සුන්ගේම සල්ලි. 

රජයට ඔය සල්ලි ආපසු නොගෙවා ඉන්න අවශ්‍යනම් එය ගොඩක් අමාරු වැඩක් නෙමෙයි. වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේ නීතියක් සම්මත කළාම වැඩේ ඉවරයි. විදේශ ණය වගේ ජාත්‍යන්තර නීති වලින් බැඳීමක් නැහැ. නමුත්, සාමාන්‍යයෙන් රජයකට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අඩු වශයෙන් වෙනත් විකල්ප දෙකක් තියෙනවා. එකක් බදු වැඩි කරන එක. අනෙක් එක සල්ලි අච්චු ගහන එක.

දැන් බොහෝ දුරට බදු වැඩි කරලා ඉවරයි. බදු තවත් වැඩි කරයි කියලා මම හිතන්නේ නැහැ. කියන විදිහට සල්ලි අච්චු ගහන්නෙත් නැහැ. එහෙමනම්, ඒත් ඔය ණය ප්‍රශ්නයක් නැතිව ගෙවන්න පුලුවන්ද? 

අපි නැවතත්, කලින් සටහනේ කතා කළ, යෝජිත 2023 අයවැය ඇස්තමේන්තු වෙත යමු. 

පොලී ගෙවීම් හැර වසරේ රාජ්‍ය වියදම - රුපියල් බිලියන 3,665 යි.

දේශීය ණය හා පොලී ගෙවීම් - රුපියල් බිලියන 3,586 යි.

විදේශ ණය හා පොලී ගෙවීම් - රුපියල් බිලියන 629 යි.

එකතුව - රුපියල් බිලියන 7,879 යි. 

අපේක්ෂිත ආදායම - රුපියල් බිලියන 3,433යි.

පියවා ගත යුතු හිඟය - රුපියල් බිලියන 4,446යි.


දැන් මේ හිඟය පියවා ගන්න යන්නේ කොහොමද? 

විදේශ ණය හා ආධාර - රුපියල් බිලියන 619 යි.

දේශීය මූලාශ්‍ර - රුපියල් බිලියන 3,827 යි. 

ආසන්න වශයෙන් බැලුවොත්, විදේශ ණය හා ආධාර ගන්න යන්නේ විදේශ ණය හා පොලී ගෙවීම් සඳහා. මේ වැඩේ කොහොමටත් මේ විදිහට කරන්නම වෙනවා. සල්ලි අච්චු ගහලා හෝ දේශීය වෙළඳපොළෙන් රුපියල් ණයට අරගෙන විදේශ ණය හා පොලී ගෙවීම් කරන්න බැහැනේ. වැදගත් දෙය ඊට වඩා වැඩියෙන් විදේශ ණය ගන්නේ නැති එක. 

ඒ කියන්නේ දේශීය මූලාශ්‍ර වලින් අරමුදල් සම්පාදනය කර ගන්න යන්නේ ප්‍රාථමික අයවැය හිඟය පියවීමට, දේශීය ණය ආපසු ගෙවීම් වලට හා දේශීය ණය වල පොලී ගෙවීම් වෙනුවෙන්. දැනට රජයට සෘජු ලෙස හෝ වක්‍ර ලෙස දේශීය ණය දීලා තියෙන්නේ (මහ බැංකුව හැරුණු විට), අතිරික්ත අරමුදල් තියෙන අයනේ. මේ අයට ඔය සල්ලි ආපසු මුදල් කරන්න හදිස්සියක් නැහැ. ඒ නිසා, පොලී අනුපාතික ප්‍රමාණවත් මට්ටමක තිබෙන තුරු, ආපසු ලැබෙන ණය හා පොලිය නැවත ආයෝජනය කරන්න මේ ණයහිමියෝ පැකිලෙන්නේ නැහැ. ඒ නිසා, රජයට එම මුදල් ප්‍රමාණය හොයාගන්න එක කිසිම අමාරුවක් නැති වැඩක්. ඊට පස්සේ තව අඩු රුපියල් බිලියන 241ක් පමණයි. 

දේශීය මූලාශ්‍ර වලින් එකතු කර ගැනීමට අදහස් කරන රුපියල් බිලියන 3,827න් රුපියල් බිලියන 3,586ක්ම ඔය විදිහට ලේසියෙන්ම හොයා ගත්තට පස්සේ (rollover කළාට පස්සේ), ඉතුරු රුපියල් බිලියන 241 හොයා ගන්න එක මහා ලොකු අමාරු වැඩක් නෙමෙයි. ගොඩක් වෙලාවට ඔය ප්‍රමාණයට වඩා වැඩි මුදලක් මිනිස්සු ඉතිරි කරනවා. රජයේ වත්කම් විකුණා සල්ලි හොයා ගැනීමේ විකල්පයත් තියෙනවා. ඔය මොකක්වත් හරිගියේ නැත්නම් ඔය වගේ ප්‍රමාණයක් සල්ලි අච්චු ගහන්න වුනත් පුළුවන්. එහි හානියක් තිබුණත් සාපේක්ෂව අඩු හානියක්. මේ හේතු නිසා දැනට පවතින තත්ත්වයන් තුළ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් වෙන එකක් නැහැ කියන එකයි මගේ අදහස.

හැබැයි අවදානම් නැතුව නෙමෙයි. ප්‍රධානම අභියෝගය ඇස්තමේන්තු වල තියෙන තරමට බදු ආදායම් එකතු නොවීමේ අවදානම. ලංකාවේ සාමාන්‍යයෙන් ඇස්තමේන්තු වල තියෙන තරමට බදු ආදායම් එකතු වෙන්නේ නැහැ. මේ පාරත් ඔය වැඩේ වෙනවා කියන්නේ ඇස්තමේන්තුවට වඩා අයවැය හිඟය වැඩි වෙනවා කියන එක. එහෙම වුනා කියලත් ණය ප්‍රතිව්‍යුහගත කරන්න අවශ්‍යම නැහැ. දෙවන අවදානම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරන්න යද්දී මෙය කොන්දේසියක් ලෙස ඉදිරිපත් වීමේ හැකියාව. ඒ අවදානමටත් මම ගොඩක් බර තියෙන්නේ නැහැ. 

12 comments:

  1. දේශීය ණය ප්‍රති ව්‍යුහ ගත කළ හොත් එය බැංකු පද්ධතිය කඩා වැටීමේ අවධානමකට මුහුණ දෙන්නේ නැත්ද?

    ReplyDelete
    Replies
    1. බැංකු පද්ධතිය කඩාවැටෙන්න ඉඩ හරිමින් රජය හෝ මහ බැංකුව විසින් ණය ප්‍රතිව්‍යුහගත කරයි කියා ඔබ හිතනවද? ඒක කවදාවත් නොවන දෙයක්. (ප්‍රතිපත්ති සම්පාදකයින් ඉතාම අදූරදර්ශී හා හිතුමතේට වැඩ කරන පුද්ගලයින්නම් පමණක් මේ වගේ දෙයක් වෙන්න පුළුවන්). යම් හෙයකින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන්න සිදු වුනත් එය කරනු ඇත්තේ බැංකු පද්ධතිය ආරක්ෂා කරමිනුයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කළ පමණින් බැංකු කඩා වැටෙන්නේ නැහැ.

      Delete
  2. //කොටස් වෙළඳපොළ ආයෝජනය කරපු සල්ලි නැහැ//
    කොටස් මිලදී ගත්තම ඒ සල්ලි විකුණුම් කරුගේ ගිණුමෙන් පෙන්නනවා නේද?සල්ලි විදිහටම තියෙන ඒවා තැරැව්කරුවන් ගෙ ගිණුම් වලින් වාර්තා වෙනවා නේද

    ReplyDelete
    Replies
    1. කොටස් මිල දී ගැනීමේදී ඒ ප්‍රමාණයට සල්ලි එන්නේ අලුතෙන්ම කොටස් නිකුත් කිරීමේදී පමණයි. එහිදී ක්ෂණිකව බැලුවොත් ඒ සල්ලි කාගේ හෝ ගිණුමක තිබෙනවා. නමුත් සමාගමක් කොටස් නිකුත් කරන්නෙම මූර්ත ආයෝජන සඳහා සල්ලි හොයා ගන්න. උදාහරණයක් විදිහට අලුතෙන් මිනි හයිඩ්‍රෝ එකක් හදන්න. ඒ වෙනුවෙන් සල්ලි යට කළාට පස්සේ සමාගමේ පැත්තෙන් මූල්‍ය වත්කම මූර්ත වත්කමක් වෙනවා. මූර්ත වත්කම් මුදල් සමස්ත ඇතුළේ නැහැ. තැරැව්කරුවන්ගෙ ගිණුම් වල ශේෂ බැලුවොත් ආයෝජකයින් සතු මූල්‍ය වත්කම් ප්‍රමාණය බලා ගන්න පුළුවන්. නමුත් ඉහත ගණන් වලට එම මුදල් එකතු කර නැහැ.

      ද්වීතියික වෙළඳපොළට ආවොත්, සමාගමක් කොටස් 100ක් නිකුත් කර තිබෙනවා කියා හිතමු. එක කොටසක මිල රුපියල් 5යි. දැන් මිනිස්සුන්ට කොටස් වත්කම් ලෙස රුපියල් 500ක් තිබෙනවා. (ඉහත හේතුව නිසා මෙය මුදල් සමස්ත වල නැහැ) දැන් මේ එක් අයෙක් රුපියල් 6කට කොටසක් මිල දී ගන්නවා. එහිදී අයෙකුගේ ගිණුමෙන් රුපියල් 6ක් තවත් අයෙකුගේ ගිනුමට යනවා. මුදල් සමස්ත වෙනස් වෙන්නේ නැහැ. නමුත් කොටස් වටිනාකම් රුපියල් 600 දක්වා වැඩි වෙනවා. මිනිස්සුන්ගේ වත්කම් එලෙස රුපියල් 100කින් වැඩිවීම මුදල් සමස්ත වල පේන්නේ නැහැ. කලින් වගේම තැරැව්කරුවන්ගෙ ගිණුම් වල ශේෂ බැලුවොත් ගණන හොයා ගන්න පුළුවන්.

      Delete
  3. දේශීයණය ප්‍රතිව්‍යුහගත කලොත් මිනිස්සුන්ට බොන්ඩ්ස් වල දාපු සල්ලි හම්බ වෙන්නෙ නැති වෙනව විතරද? බැන්කු වල තියෙන ෆික්ස්ඩ් ඩිපොසිට්ස් හම්බ වෙන්නෙත් නෑ නේද?

    ReplyDelete
    Replies
    1. පළමුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් වෙන එකක් නැහැ. දෙවනුව, ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් වුනත්, බොන්ඩ්ස් වල දාපු සල්ලි හම්බවෙයි. කල් පිරෙන දවසටම හම්බ වෙන එකක් නැහැ.

      Delete
    2. නැහැ ඉකොනොමැට්ටා එහෙම නෙවෙයි ලංකාවේ රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ පවා බැංකු වලට දැන් ණය ලබාදීමට ඇත්තේ රජය පමණක් වගේ මොකද පුද්ගලික අංශයේ ව්‍යවසායයන් 30% ක් විතර පොළියක් ගෙවා ණය ගැනීම ඉතාමත් අඩුයි අනික ආනයන ආශ්‍රිත ව්‍යාපාර කටයුතු බරපතළ ලෙස බිඳ වැටීම සහ අපනයන ආශ්‍රිත ව්‍යාපාර වලට පවා අමුද්‍රව්‍ හිඟ වීමට හෝ මිල අධික වීමත් සමග ප්‍රවාහන සේවා වියදම් සේවක වැටුප් වැඩි කිරීම ආදී දේවල් නිසා ලංකාවේ ව්‍යාපාර සෑම අංශයකින්ම විශාල වශයෙන් පසුබෑමකට ලක්ව ඇති අතර 2021 වසරේ මාස ගණන් රට වසා තිබියදී පවා අපනයන ආදායම ඩොලර් බිලියන 15.1 ක් පමණ වුණාට 2022 මෙය ඩොලර් බිලියන 12 ක් විතර දක්වා අඩුවීමට නියමිත අතර 2023 වසර සඳහාත් එක්සත් ජනපදයේ සහ යුරෝපයේ ඕඩර් දැනටමත් කැන්සල් කරලා කියනවා ඒ රටවල ආර්ථික අර්බුදය නිසා.

      මේ නිසා ලංකාවේ බැංකු පද්ධතියේ ණය වලින් අති විශාල කොටසක් දී ඇත්තේ 30% කට එහා පොළියට රජයටයි. නමුත් බැංකු 20% - 30 ත් අතර පොළියකට පොදු මහජනතාවගේ මුදල් තැන්පතු වශයෙන් FD වලට ලබාගෙන තියෙනවා මේ නිසා රජය විසින් ණය ප්‍රතිව්‍යුහගත කළොත් අනිවාර්යයෙන්ම බැංකු වල fixed deposit වලට බඩු බනිස් වීම නිසැකවම සිදුවිය හැකියි

      ඒ වගේම ඔබ පුන පුනා ප්‍රකාශ කරනවානේ දේශීය ණය ප්‍රමාණය කිසිසේත්ම ප්‍රතිව්‍යුහගත කරන්නේ නැහැ කියලා නමුත් පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත සිට ආචාර්ය හර්ෂ ද සිල්වා ඇතුළු සමගි ජන බලවේගයේ කණ්ඩායම පවසන්නේ අයි එම් එෆ් එකේ කොන්දේසි වලට අනුව රජයට බොහෝ විට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම අනිවාර්ය විය හැකි බවත් බැංකු පද්ධතිය ඒ සමගම ක්ෂණිකව කඩා බිඳ වැටීම දකින්න පුළුවන් බවයි. නමුත් ලංකාවේ සාමාන්‍ය පුරවැසියන් මෙසේ ප්‍රකාශ කර ඇති පසුබිමක මේ නිසා විශාල වශයෙන් අපේක්ෂා භංගත්වයට සහ දැඩි ලෙස බියට පත්ව සිටින්නේ. ඒකයි අවුල තියෙන්නෙ. කාටවත් කිසිම විශ්වාසයක් නැහැ බැංකු පද්ධතිය ගැන.

      Delete
    3. මගේ ප්‍රශ්නය පැහැදිලි නැතිව ඇති ඔබට.
      මට දැනගන්න අවශ්‍ය උනේ, රජය ණය ප්‍රතිව්‍යුහගත කලොත්, බැන්කු වල ෆ්හාල තියෙන ෆික්ස් ඩෙපොසිට්ස් වගේ ඒවත් කල් පිරෙද්දි ගන්න බැරි වෙනවද? බොන්ඩ්ස් නේද අවදානම අඩුම කියන්නෙ ෆික්ස් ඩිපොසිට්ස් වලටත් වඩා. එහෙම උනොත් බොන්ඩ්ස් වල සල්ලි ගෙවන එක විතරක් කල් යන්න විදියක් නැහැ නේද?

      Delete
    4. ප්‍රශ්නය පැහැදිලියි. එහෙම වෙන්නේ බැංකු වල cashflow එක balance කරගන්න බැරි වෙන තරමේ කල් දැමීමක් කළොත් පමණයි. යම් හෙයකින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කළත් එහෙම කරන්න තිබෙන ඉඩකඩ ඉතාම අඩුයි. ශුන්‍ය තරම්. එහෙම දෙයක් වෙනවනම් ණය ප්‍රතිව්‍යුහගත නොකර සල්ලි ටිකක් අච්චු ගහන්න පුළුවන්නේ.

      Delete
    5. එහෙම බැලුවම බැන්කු වල දාන එක අවදානම අඩුයි බොන්ඩ්ස් වලට වඩා.

      Delete
  4. ඉකොනො ලංකාවේ විදේශ ණය ගෙවීම පැහැර හැරීම නිසා මේ ක්ලිප් එකේ කියන තරම් බරපතළ අවුලක් වෙන්නේ නැහැ නේද?

    https://fb.watch/h0C2QLO4xU/

    මම හිතන්නේ පහුවෙලා හරි බැරිම තැන හරි විදේශීය ණය නොගෙවා හරි ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කිරීම හොඳයි කියලා නැත්නම් ලංකාවේ විශාලතම විදේශ ණය ප්‍රමාණය එච්චරම ස්ටේබල් නෑ නේද? ලංකාවේ ආණ්ඩුව අවම වශයෙන් 2020 අග භාගයේදී පමණ ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට යුහුසුළුව කටයුතු කළා නම් මම හිතන්නේ අර්බුදය කල් දමාගෙන ප්‍රශ්න වලින් පැනල ගිහින් ඊළඟ ආණ්ඩුවට පවරා ෂේප් එකේ මගහැර ඉන්න තිබුණා කියලා නමුත් ජනපතිවරයාගේ සහ කබ්රාල් ඇතුළු බකපණ්ඩිත කේවට්ටයන්ගේ පැවති අතිශය උඋද්දච්ච උඩගු ස්වභාවය අනුව ඔවුන් ගැන පැවති අධිතක්සේරුවත් අර්බුදය අවතක්සේරු කර විශාල රිස්ක් එකක් ගැනීමත් සමග මහත් විනාශයක් සිදු වුණා නේද?

    ReplyDelete
  5. තෙරුවන් සරණයි ඔයාට

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: