වෙබ් ලිපිනය:

Wednesday, November 30, 2022

උද්ධමනය තවත් පහළ වැටේ!


කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගෙවුණු 2022 නොවැම්බර් මාසයේදී උද්ධමනය 61.0% දක්වා පහත වැටී තිබෙනවා. සැප්තැම්බර් මාසයේදී මෙම අගය 69.8% මට්ටමේ පැවති අතර ඔක්තෝබර් මාසයේදී 66.0% දක්වා පහත වැටුණා. මේ අනුව, පසුගිය දෙමස තුළ කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වන උද්ධමනය ප්‍රතිශතාංක 8.8%කින් පහත වැටී තිබෙනවා. 

උද්ධමනය අඩු වීම යනු බඩු මිල වැඩි වීමේ වේගය අඩුවීමක් මිස බඩු මිල අඩු වීමක් නොවූවත්, පසුගිය දෙමස තුළම බඩු මිලද අඩු වී තිබීම විශේෂත්වයක්. සමස්තයක් ලෙස කොළඹ බඩු මිල පෙන්වන කොළඹ පාරිභෝගික මිල දර්ශකය ඔක්තෝබර් මාසයේදී 0.4%කින් හා නොවැම්බර් මාසයේදී තවත් 0.5%කින් පහත වැටී තිබෙනවා. 

ආහාර මිල දර්ශකයේ පහත වැටීම පිළිවෙලින් 2.0%ක් හා 1.5%ක්. මේ අනුව, සැප්තැම්බර් මාසයේදී 94.9%ක් වූ ආහාර උද්ධමනය නොවැම්බර් වන විට 73.7% දක්වාම පහත වැටී තිබෙනවා. ආහාර නොවන උද්ධමනයද 54.5% දක්වා පහත වැටී තිබෙනවා. 

නොවැම්බර් මාසය තුළ හාල්, තිරිඟු පිටි, පාන්, පරිප්පු, සීනි, කුකුළු මස්, මාළු, පළතුරු, එළවළු ආදී ආහාර ද්‍රව්‍ය ගණනාවක මිල ගණන් පහත වැටී තිබෙනවා. ආහාර නොවන කාණ්ඩයේ ඉන්ධන මිල පහත ගොස් ඇතත්, ඇඳුම්, පාවහන්, මත්පැන් හා දුම්වැටි, උසස් අධ්‍යාපන පාඨමාලා ගාස්තු, වෛද්‍යවරුන්ගේ චැනල් ගාස්තු හා ෆාමසි වලින් ගන්නා බෙහෙත් මෙන්ම හෝටල් ගාස්තු ආදියේ මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ නිසා, ආහාර නොවන උද්ධමනය සුළු වශයෙන් අඩු වී ඇතත් සමස්තයක් ලෙස මිල ගණන් අඩු වී නැහැ. 

ඇතැම් අයගේ විශ්ලේෂණ අනුව පසුගිය මාසයේ උද්ධමනය අඩුවීම අහම්බයෙන් සිදු වූ සුළු අඩුවීමක් මිස මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමේ ප්‍රතිඵලයක් නෙමෙයි. එය එසේ නොවන බව නොවැම්බර් මාසයේදී උද්ධමනය තවදුරටත් අඩු වීමෙන් පැහැදිලිව පේනවා.

2 comments:

  1. පොඩි හරි බලාපොරොත්තුවක් දෙනවාට ඉකොනෝට ස්තුතියි..!

    ReplyDelete
    Replies
    1. විහිළු කතා විතරමයි මේව හොඳයි කොණ්ඩෙ බැඳපු චීනුන්ට... දැන් චීනයේ වත් ඒ වගේ උන් නැති නිසා ලංකාවේ මෝඩ මීහරක් වහන්සේලාට තමයි ඉතින් මේ වගේ රට බයිලා හරියන්නේ 😁😁😁 මේවත් විස්වාස කරනවා කියන්නේ නාමෝල් කාඩපක්ෂ ගොනා ඊළඟට ජනාධිපති පවා වෙන්න බැරි නැහැ ලංකාවේ ඉන්න මොළේ ටිකක් හරි තියෙන මිනිස්සු පුළුවන් තරම් ඉක්මනට රටින් පිටවෙලා යන එක ඇඟට ගුණයි....

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: