වෙබ් ලිපිනය:

Tuesday, November 15, 2022

අයවැය 2023


මේ වන විට ඉදිරි වසර සඳහා වන අයවැය යෝජනා ඉදිරිපත්ව තිබෙනවා. මෙය සුවිශේෂී අයවැයක්. අයවැය එසේ සුවිශේෂී වන්නේ එහි අරුම පුදුම දේවල් තිබෙන නිසා නෙමෙයි. අයවැය ඉදිරිපත් කෙරෙන අවස්ථාව වන විට රට වැටී තිබෙන තත්ත්වය හා ඒ සඳහා රාජ්‍ය අයවැයේ දායකත්වය නිසා.

මම අයවැය කතාවේ සඳහන් දිගුකාලීන ඉලක්ක ගැනනම් විග්‍රහ කරන්න යන්නේ නැහැ. ඒවා ගැන කතා කරන්න වචන නාස්ති කරන එකත් අපරාදයක්. මේ වගේ ලස්සන ඉලක්ක මීට පෙර අයවැය කතා වලත් තිබුණා. නමුත් ඒවා ඉලක්ක වුනා පමණයි. 

එසේ වුවත්, අයවැය කතාවේ ඇමුණුමෙහි තිබෙන කෙටිකාලීන ඉලක්ක ඉතාම වැදගත්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද එකඟ වී ඇති සාර්ව ආර්ථික වැඩ පිළිවෙළෙහි කොටසක් ලෙස මේ ඉලක්ක අපට හඳුනා ගන්න පුළුවන්. ඒ නිසාම, එම සංඛ්‍යා මත පදනම්ව, ස්ථායීකරණ වැඩ පිළිවෙළෙහි අනාගතය ගැන විමසා බැලීමට ප්‍රවේශ වෙන්න පුළුවන්.

අයවැය කතාව සමඟ ඉදිරිපත් කර තිබෙන ඇස්තමේන්තු අනුව, අපේක්ෂිත 2022 රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2094ක්. නමුත් මුදල් අමාත්‍යාංශ වෙබ් අඩවියෙහිම තිබෙන විස්තරාත්මක ආදායම් හා වියදම් ඇස්තමේන්තු අනුව මෙම මුදල රුපියල් බිලියන 2446ක්. මේ ගණන් අතර වෙනස කජු ඇට කොස් ඇට වෙනසක් නෙමෙයි. ඉතා ඉක්මණින් අයවැය ඇස්තමේන්තු වල ගණන් හිලවු ඔය වගේ ලොකු ගණන් වලින් වෙනස් වෙන එක අරුමයකුත් නෙමෙයි. දැනට අපි අයවැය කතාවේ ඇමුණුමේ තිබෙන ගණන් නිවැරදි ගණන් ලෙස සලකමු. 

දැන් මේක 2023 අයවැයනේ. ඒ නිසා, අපි 2022 පැත්තකින් තියලා කෙළින්ම 2023ට යමු. 2023 අය හා වැය මෙහෙමයි.

ආදායම - රුපියල් බිලියන 3,415යි 

පොලී ගෙවීම් හැර වියදම - රුපියල් බිලියන 3,626යි 

ප්‍රාථමික අයවැය හිඟය - රුපියල් බිලියන 211යි 

පොලී ගෙවීම් - රුපියල් බිලියන 2,193යි 

මුළු අයවැය හිඟය - රුපියල් බිලියන 2,404යි  

ආදායම් වැඩි කර ගන්න යන ක්‍රම වල යෝග්‍යතාව හා ශක්‍යතාවය, වියදම් වෙන් කර ඇති ආකාරයේ යෝග්‍යතාව වගේ දේවල් මම මේ සටහනේ කතා කරන්න යන්නේ නැහැ. දැනට තාවකාලික උපකල්පනය ආදායම් හා වියදම් ඔය විදිහටම සිදු වෙනවා කියන එකයි. එහෙම වෙනවානම් ප්‍රාථමික හිඟය අඩු කර ගන්න රජය විසින් සෑහෙන වැඩ කොටසක් කරලා. 

හැබැයි ඉහත තත්ත්වය යටතේ වුනත්, පොලී වියදම පමණක් රුපියල් බිලියන 2,193ක් නිසා, රුපියල් බිලියන 2,404ක අයවැය හිඟයක් තිබෙනවා. දැන් ඔය අඩුව පුරවන්න අලුතෙන් ණය ගන්න ඕනෑ.

ඊට අමතරව කලින් අරන් තියෙන, වසර තුළ ගෙවිය යුතු, ණයත් ගෙවන්න වෙනවා. ඒ සඳහා යන වියදම් ඉහත වියදම් ඇස්තමේන්තුව ඇතුළේ නැහැ. ඒ වියදම් එකතු කළොත් මුළු වියදම රුපියල් බිලියන 7,879ක්. ඒ කියන්නේ, වසරේ ණය අවශ්‍යතාවය රුපියල් බිලියන 4,979ක්. 

සමහර අය ගණන් හදලා නැත්නම් විගණනය කරලා පෙන්වා දෙනවනේ රටේ ණය වැඩි වෙන තරමට වත්කම් හැදිලා නැති බව. ඔව්. ණය වැඩි වෙන තරමට වත්කම් වැඩි වෙලා නැහැ. ඉදිරියේදී වුනත්, තවත් විශාල කාලයක් යන තුරු එහෙම වෙන එකකුත් නැහැ. ඒ ඇයි කියලා ඉහත ගණන් දිහා බැලුවහම පෙනෙයි.

හැම දෙයක්ම සැලසුම් කර ඇති විදිහට වුනොත්, (කවදාවත් එහෙම නොවෙන එක වෙනම දෙයක්) ලබන වසරේ රජයට රුපියල් බිලියන 4,979ක් අලුතෙන් ණය ගන්න වෙනවා. නමුත් තියෙන ණය වල වාරික හා පොලිය ගෙවුවට පස්සේ එයින් ඉතිරි වෙන්නේ රුපියල් මිලියන 211ක් පමණයි. ඒ කියන්නේ වත්කම් හැදෙනවානම් උපරිම වශයෙන් හැදෙන්න පුළුවන් ඔය ප්‍රමාණය. 

පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේ ණය වැඩි වුනේ ප්‍රධාන වශයෙන්ම ඔය හේතුව නිසා. ඊටත් පෙර රාජපක්ෂ ආණ්ඩුව කාලයේ වැඩි වුනු ණය වලින් සැලකිය යුතු කොටසක් වැඩි වුනෙත් ඔය ක්‍රමයට. හැම ආණ්ඩුවක් යටතේම එන්න එන්නම උග්‍ර වුනා වුනත්, ලංකාවේ ණය ප්‍රශ්නය කියන්නේ අද ඊයෙක හැදුනු ප්‍රශ්නයක් නෙමෙයි. දරා ගත නොහැකි සුබසාධන වියදම්, පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ආදිය නිසා නිදහස ලබපු කාලයේ සිටම පවතින ප්‍රශ්නයක්. දැන් මේ ණය චක්‍රයෙන් එහෙම ලේසියකට ගැලවෙන්න බැහැ. 

ඒ කතාව පැත්තකින් තියමුකෝ. දැන් ප්‍රශ්නය ලබන වසරේ ඔය රුපියල් බිලියන 4,979 ණයට ගන්නේ කොහොමද කියන එක. මේ කතා කරන්නේ ණය වලින් කොටසක් ගෙවීම පැහැර හැරියට පස්සේ තත්ත්වය ගැන කියලත් අමතක කරන්න එපා. ඒ ණය තිබුණානම් ඔය ගණන තවත් වැඩි වෙනවා. 

රුපියල් බිලියන 1000ක් විදේශ ණය ගන්න සැලසුම් කර තිබෙනවා. ඉතුරු ටික දේශීය ණය. ඒ කියන්නේ රුපියල් බිලියන 3,979ක් විය යුතුයිනේ. රුපියල් බිලියන 1000ක් කියන්නේ ඩොලර් කීයක්ද කියන එක තීරණය වෙන්නේ සාර්ව ආර්ථික වැඩ පිළිවෙළේ තියෙන විණිමය අනුපාතය මත. එය කීයක්ද කියා අප දන්නේ නැහැ. දැන් තිබෙන රුපියල් 360ම සේ සැලකුවොත්, මෙම මුදල ඩොලර් බිලියන 2.78ක්. ඔය වගේ මුදලක් ලබන වසරේ රජයට ණයට ගන්න පුළුවන් වෙයිද? 

මේ කතා කරන්නේ රජයේ අයවැය හිඟය පියවන්න ගත යුතු ණය ගැන. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සාමාන්‍යයෙන් ණය දෙන්නේ රජයට නෙමෙයි. මහ බැංකුවට. මහ බැංකුවට වසර තුළ ගෙවිය යුතු මහ බැංකුවේම ණය වෙනම තියෙනවා. පවතින තත්ත්වය විශේෂ තත්ත්වයක් සේ සලකා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දෙන ණය රජයේ අයවැය හිඟය පියවීමට යොදා ගන්න ඉඩ දෙන කතාවකුත් මහ බැංකු අධිපතිවරයා විසින් ටික කලකට පෙර කියා තිබුණා. එහෙම ලැබුණත් වසර තුළ ඩොලර් මිලියන 750ක් වගේ ගණනක්නේ ලැබෙනවා ඇත්තේ. ඒ කියන්නේ තවත් ඩොලර් බිලියන 2ක පමණ විදේශ ණය ගන්න වෙනවා. අයවැය හදලා තියෙන්නේ එහෙම පුළුවන් වෙයි කියා උපකල්පනය කරලා. 

විදේශ ණය ඔය ප්‍රමාණය හොයා ගත්තත්, දැනටම අරගෙන තිබෙන දේශීය ණය ප්‍රමාණයට අමතරව තවත් රුපියල් බිලියන 1,880ක ණය 2023 වසර තුළ දේශීය වෙළඳපොළෙන් ගන්න වෙනවා. ඒ කියන්නේ 2023 වසර තුළ ආපසු ගෙවිය යුතු දේශීය ණය ගෙවන්න ගන්න වෙන ණයත් එක්ක ඔය ගණන දෙගුණයක් පමණ වී සතියකට රුපියල් බිලියන 80ක පමණ ණය දේශීය වෙළඳපොළෙන් ගන්න වෙනවා කියන එකයි. ඔය වැඩේ කරන්නනම් පොලී අනුපාතික ලබන වසරේදීත් ඉහළ මට්ටමක තියා ගන්න වෙනවා. සමහර විට පොඩ්ඩක් අඩු වෙයි. ලොකුවට අඩුවෙන්න හේතුවක් පෙනෙන්න නැහැ. බලාපොරොත්තු පරිදි විදේශ ණය ගන්න බැරි වුනොත් තත්ත්වය තවත් නරක අතට හැරෙනවා. 

හැම දෙයක්ම හොඳම විදිහට වුනොත්, ආර්ථිකයේ තුවාල ටිකෙන් ටික සනීප වෙයි. හැබැයි කාලයක් යයි. හදිස්සියෙන් විශාල වෙනසක් වෙන්නේනම් නැහැ. 

7 comments:

  1. ඊට අමතරව කලින් අරන් තියෙන, වසර තුළ ගෙවිය යුතු, ණයත් ගෙවන්න වෙනවා. ඒ සඳහා යන වියදම් ඉහත වියදම් ඇස්තමේන්තුව ඇතුළේ නැහැ. ඒ වියදම් එකතු කළොත් මුළු වියදම රුපියල් බිලියන 7,879ක්. ඒ කියන්නේ, වසරේ ණය අවශ්‍යතාවය රුපියල් බිලියන 4,979ක්.

    Could you please explain the above statement ? I am confused since it says "පොලී ගෙවීම් - රුපියල් බිලියන 2,193යි

    "

    ReplyDelete
    Replies
    1. පොලී ගෙවීම් හැර වියදම - රුපියල් බිලියන 3,626යි
      පොලී ගෙවීම් - රුපියල් බිලියන 2,193යි
      ණය ගෙවීම් - රුපියල් බිලියන 2000+
      එකතුව - රුපියල් බිලියන 7,879

      Delete
  2. අරක්කු ගංජා බිලා ආර්ථිකේ ගොඩ ගන්න බැහැ ඉකොනෝ මල්ලි.

    ReplyDelete
  3. අනේ මන්දා ඉකොනොමැට්ටා මට තේරෙන විදිහට නම් ලංකාවේ ආර්ථිකය විනාශ වීමට මූලිකම හේතුව අප ඉපදීමට පෙර මා අසා ඇති ආකාරයට 1970 ගණන් වල මන්ත්‍රී චිට් වලට සහ ඊට පස්සෙ අසූ ගණන් වල සහ අනූ ගණන් මුල ජාතික සේවක සංගමය හරහාත් පසුව අපිත් දැකපූ අනූව දශකයේ මැද සහ සහස්‍රකයේ මුල නිදහස් සේවක සංගමය හරහා සහ අන්තරේ රැකියා විරහිත උපාධිධාරී සංගමය 2005-2008 කාලයේත් ඊටත් පස්සේ නිල් බලකායේ සහ පසුව උස මිටි කම්කරු සෙකුරිටි විගඩම් විකට ජවනිකා ආදී විවිධ පක්ෂ විපක්ෂ කණ්ඩායම් වල මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් මහා පරිමාන වශයෙන් කඩේ ගිය පාක්ෂිකයන් සැනසීම පිණිසම දේශපාලකයන් විසින් තම ඡන්ද පදනම හදාගැනීමේ අරමුනින් කල පින් බත් ගිලින රාජ්‍ය සේවක මහා පරිමාණයෙන් පත් කිරීම් සහ ජනසවිය සමෘද්ධි ආධාර/ සහනාධාර ඇතුලු විවිධ නිකමුන්ට කල සහන දීමනාවන්ය

    රජයේ සේවයේ නියුතු ඔවුන්ට වැටුප් ගෙවන්නේ පෞද්ගලික අංශයට බදු පිට බදු ගසා ඒත් මදි වූ විට මදිපාඩුවට දේසීය විදේසීය ණය අරන් සහ සල්ලි කොස් කොල ගානට අච්චු ගහලා. අලුත් අලුත් ක්‍රම වලට කොච්චර බදු ගැහුවත් ඒවත් ගෙවන්න ඉන්නේ පෞද්ගලික අංශයේ දැනටත් අමාරුවෙන් ඇදන් යන එකම සුලු පිරිස නම් උන් ටිකත් වැහිලම ගියාම රටට මොකද වෙන්නේ කියන එක හිතන්න තරම්වත් බුද්දියක් රටේ පාලනය කටයුතු සඳහා විශේෂඥ උපදෙස් දෙන මුග්ධ නිලධාරීන් සහ තීන්දු තීරණ ගැනීමේ හැකියාව ඇති දේශපාලන කණ්ඩායම් වලට ඇත්තෙ නෑ. පින් බත් ගිල ගිල පගා ගසමින් සිටින රාජ්ය සේවකයන්ව කාබනික පොහොර ව්යාපෘතියකට හෝ යොදවා මුදල් උපයා එමගින් ඔවුන්ගේ වැටුප් ගෙවීමයි සිදු විය යුත්තේ. කවුරුත් ඉල්ලන ක්‍රමයේ වෙනස විය යුත්තේ එයයි (සිස්ටම් චේන්ජ් එක). දැනටත් පෞද්ගලික අංශයේ ඇතැම් පුරප්පාඩු වලට සේවකයෝ ගේන්නේ ඉන්දියාවෙන්. ඒ ලන්කාවේ නිකමුන් වැඩ කරන්න කැමති නැති නිසා. අය වැයේ මුලු රාජය ආදායම මදි රාජය සේවක නිකමුන්ගේ පඩිවලින් බාගයක්වත් ගෙවන්න. එහෙම නේද? ඇයි ඔබත් මේ ගැන නිහඬව සිටින්නේ?

    ReplyDelete
  4. //විදේශ ණය ඔය ප්‍රමාණය හොයා ගත්තත්, දැනටම අරගෙන තිබෙන දේශීය ණය ප්‍රමාණයට අමතරව තවත් රුපියල් බිලියන 1,880ක ණය 2023 වසර තුළ දේශීය වෙළඳපොළෙන් ගන්න වෙනවා. //
    ඒ කියන්නේ 2023 අවශ්‍ය 3979bn න් 2000bn වලට ආසන්න ප්‍රමාණයක් මේ වෙනකොට දේශීයව ලබාගෙන ද?

    ReplyDelete
    Replies
    1. මේ වන විට අරගෙන තිබෙන දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 13,000 පමණ. රුපියල් බිලියන 2000+ කියා තිබෙන්නේ එයින් 2023 වසර තුළ ආපසු ගෙවිය යුතු කොටස. ඒ ටික ගෙවන්න අලුතෙන් ණය ගන්න වෙනවා. ඊට අමතරව තවත් අලුතෙන් රුපියල් බිලියන 1,880ක් ගන්න වෙනවා. පළමු කොටස වෙළඳපොළට දමා නැවත ආපසු ගන්න රුපියල්. දෙවන කොටස ඉතිරි කිරීම් විදිහට බැංකු පද්ධතිය තුළට අලුතෙන් පැමිණිය යුතුයි. (සල්ලි අච්චු ගැහුවේ නැත්නම්) ඒ තරමට ඉතිරි කිරීම් ආකර්ෂණය කරගන්නම් ඉහළ පොලී අනුපාතික තියා ගන්න වෙනවා.

      Delete
  5. පොලී මුදලාලිNovember 21, 2022 at 1:20 AM

    විදේශ ණය ප්‍රතිවිව්‍ය ගත කරොත්, කල් දාගත්තොත් මොනවා වෙයිද? ණය ගැනීම අඩු වෙනවා වගේ දෙයක්?
    දේශීය ණයත් ප්‍රතිවිව්‍ය ගත කරයිද?
    විදෙස් රටකින් ණයක් අරන් ලංකාවෙ FD දැම්මොත් වාසිද අවාසිද? විනිමය අනුපාතයෙන් සෝදාපාලු වෙලා යයිද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: