වෙබ් ලිපිනය:

Friday, November 26, 2021

විසඳුම් නැද්ද?



මා පෙර ලිපියක සඳහන් කළ පරිදි, ලංකාවේ විසඳුම් සෙවිය යුතු ප්‍රශ්නයක් තිබෙන බව මේ වෙද්දී දේශපාලන පක්ෂ භේදයකින් තොරව බහුතරයකගේ පොදු පිළිගැනීම වී තිබෙනවා. ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා විවිධ කණ්ඩායම් විසින් උත්සාහ දරමින් සිටිනවා. එකිනෙකට වෙනස් දේශපාලන ධාරා තුනකට යම් මට්ටමකින් සම්බන්ධ පිරිස් විසින් අපේ පෞද්ගලික මිතුරන් හරහා හා වෙනත් ක්‍රමවලින් අපගේ අදහස්ද විමසා තිබෙනවා. බල දේශපාලනයට සෘජුව සම්බන්ධයක් නැති පුළුල් කණ්ඩායමක් විසින්ද එලෙසින්ම අපගේ අදහස් විමසා තිබෙනවා. ඒ නිසා, කවර හෝ දේශපාලන කණ්ඩායමක පරිධියේ සිට තමන්ගේ ස්වාමියන් වෙනුවෙන් මෙහි ප්‍රතිචාර දමන බලු කුක්කන් නොසලකා හැර "විසඳුම්" ගැනද කතා කිරීමට මේ යෝග්‍ය කාලයකැයි මා සිතනවා.

මේ වියුණුව පටන් ගෙන දැනට වසර පහමාරක් වෙනවා. ලියන්න පටන් ගෙන මාස හයක් පමණ යද්දී අප ලියන දේවල් සැලකිය යුතු පිරිසකගේ අවධානයට ලක් වුනා. ඉන් පසුව අඩු වශයෙන් වසර පහක් තිස්සේ අප විසින් ලංකාවේ ආර්ථිකය ගැන කතා කර තිබෙනවා. එම කාලය තුළ අප විසින් පෙන්වා දුන් ලංකාවේ ආර්ථිකයේ ප්‍රශ්න මේ වෙද්දී ඇස් පනාපිට පේන්න තියෙනවා. හැමදාම කොටි එනවා කිවුවත් ඔය කොටියා තාම ආවේ නැහැ කියා අවසන් මොහොත දක්වාම අපව සමච්චලයට ලක් කරමින් සිටි අය ඉදිරිපිට මේ වෙද්දී කොටියා හිටගෙන සිටිනවා. 

ලංකාවේ ප්‍රශ්නය රටේ බොහෝ දෙනෙකුට අවබෝධ කර ගැනීමට උදවු කිරීම සඳහා අප විසින් කාලයක් තිස්සේ ගත් වෑයම සාර්ථක වී තිබීම පිළිබඳව අපට තිබෙන්නේ නිහතමානී සතුටක්. ඇත්තටම අප විසින් කළේ මේ වැඩේට සොච්චම් දායකත්වයක් ලබා දෙන එක පමණයි. අප වැනි හාල් කෑලි විසින් කියූ දේවල්ම වැඩි පිරිසකට උස් හඬින් කී වෙනත් බොහෝ අය සිටියා. දැනටත් ඉන්නවා.

පසුගිය කාලය පුරා අප විසින් ප්‍රශ්න ගැන කතා කළ තරමට විසඳුම් ගැන කතා කර නැහැ. එය හිතාමතාම කළ දෙයක්. විසඳුම් ගැන කතා කළ හැක්කේ ප්‍රශ්න ගැන පුළුල් එකඟතාවක් ඇති පසුබිමක පමණයි. එහෙත්, විසඳුම් ගැන කවුරු හෝ සෘජුව ප්‍රශ්න කළ අවස්ථා වලදී අප විසඳුම් ගැනද කතා කර තිබෙනවා. 

ලංකාවේ ප්‍රශ්න වලට විසඳුම් තිබුණත් ඒවා වියුණු ලිපියක් හරහා කෙටියෙන් ඉදිරිපත් කළ හැකි තරම් සරල නැහැ. දැන් පටන් ගත්තොත් ඉදිරි වසර තුනක පමණ කාලය තුළ බොහෝ දේවල් සටහන් කර තබන්න පුළුවන් වෙයි. විසඳුම් ගැන කතා කිරීමට යෝග්‍යම කාලය සේ මා දකින්නේද මේ කාල වකවානුවයි. බොහෝ දෙනෙක් මේ වෙද්දී ප්‍රශ්න පිළිබඳව වටහාගෙන තිබෙන නිසා තවදුරටත් දිගින් දිගටම ප්‍රශ්න ගැනම පමණක් කතා කරන එකේ තේරුමක් නැහැ.

විසඳුම් හොයන අයගෙන් බොහෝ දෙනෙක්ද හොයන්නේ මේ මොහොතේ ලංකාව මුහුණ දෙන ප්‍රශ්නයට විසඳුම්. එසේ මේ මොහොතේ තිබෙන ප්‍රශ්නයට විසඳුම් හොයන බොහෝ අය "ආතල් එකට" සංවාද කිරීමට එකතු වන අය මිසක් ප්‍රශ්නයට විසඳුම් සෙවීමේ වගකීම දරන හෝ පැත්තක සිටියත් එම වගකීම තමන්ගේ කරගෙන සිටින අය නෙමෙයි. මේ මොහොතේ තිබෙන ප්‍රශ්නය යම් ආකාරකින් විසඳෙයි. එයට විසඳුම් අප විසින් යෝජනා කරන එකේ තේරුමක් නැහැ. විසඳුම් අවශ්‍ය වන්නේ ඉන් පසුවද ඉතිරි වන දිගුකාලීන ප්‍රශ්න වලටයි.

කලින් කීවාක් මෙන් අප මේ වැඩේ හදිසියේ කරන්න යන්නේ නැහැ. එසේ කිරීමේ හැකියාවක්ද නැහැ. ඒ වගේම, කවර හෝ පාර්ශ්වයක් විසින් අපගේ අදහස් පෞද්ගලිකව විමසා සිටින අවස්ථාවකදී පැය දෙක තුනකින් ඒ කාර්යය කළ නොහැකියි. අපගේ යෝජනා මෙහි ටිකින් ටික සටහන් කරන්නේ ඒ වගේ අවස්ථාවක ප්‍රයෝජනයට ගැනීම සඳහා කරන ආයෝජනයක් ලෙසයි.

අප මීට පෙර මේ වියුණුව හරහා යෝජනා කර තිබෙන පොඩි පොඩි දේවල් එම යෝජනා ක්‍රියාත්මක කිරීමේ බලය හා හැකියාව තිබුණු ඇතැම් අය විසින් ක්‍රියාත්මක කර ඇති අවස්ථා ගණනාවක් අප දැක තිබෙනවා. බොහෝ විට එවැනි යෝජනාවක් අවසානයේ ක්‍රියාත්මක කළ අය මුලින්ම යෝජනාව ආවේ කොහෙන්ද කියා නොදන්නවා විය හැකියි. එය ප්‍රශ්නයක් නෙමෙයි. අප ඉදිරියේදී මෙහි ලියන කවර හෝ දෙයක් වුවත් අවශ්‍ය කෙනෙක් තමන්ගේම යෝජනාවක් හෝ අදහසක් කර ගැනීම අපට ප්‍රශ්නයක් නෙමෙයි. එසේ කරන්නෙකුගේ වෙනත් දේශපාලනික හෝ දේශපාලනික නොවන අදහස් අපේ අදහස් සමඟ සමපාත වීම හෝ නොවීමද ප්‍රශ්නයක් නෙමෙයි.

කතා කළ යුත්තේ දිගුකාලීන විසඳුමක් ගැන වුවත් කතාව පටන් ගන්න වෙන්නේ මේ මොහොතේ සිටයි. මේ ආණ්ඩුව බලයට පත් වී තවමත් වසර දෙකයි. ආණ්ඩුවට තවත් වසර තුනක කාලයක් තිබෙනවා. විශාල ජන වරමක් ලබා බලයට පත් වූ මේ ආණ්ඩුව පිළිබඳ ජන ප්‍රසාදය ඉතා පහළ මට්ටමකට වැටී තිබෙන බව පැහැදිලි වුවත්, ඒ හේතුව නිසාම ආණ්ඩුව වෙනස් වන්නේ නැහැ. එසේ වීමේ අවශ්‍යතාවයක්ද නැහැ. නියමිත කාලයට පෙර මේ ආණ්ඩුව වැටෙන එක දුරස්ථ කරුණක්.

ඒ කියන්නේ තවත් අවම වශයෙන් වසර තුනක කාලයක් ලංකාවේ ආර්ථිකය මෙහෙයවන්න වෙන්නේ මේ ආණ්ඩුවට. ලංකාවේ ආර්ථිකයේ  මේ මොහොතේ පෙනෙන්නට තිබෙන ප්‍රශ්න වලට සෘජුව මුහුණ දෙන්න වෙන්නේත්, විසඳුම් හොයන්න වෙන්නේත්, මේ ආණ්ඩුවට. පැත්තක සිටින අප වැනි අය යෝජනා කරන විසඳුම් ආණ්ඩුවේ විසඳුම් සමඟ සමපාත නොවන්නේනම් ඒවා නිකම්ම නිකම් කතන්දර පමණයි. ආණ්ඩු බලය නැති පක්ෂ වල යෝජනා ගැන කියන්න තියෙන්නෙත් ඒ ටිකම තමයි. විපක්ෂයේ පක්ෂ වලට වගේම, අපටත් කළ හැක්කේ ආණ්ඩුව කරන දේවල් වල හොඳ නරක විග්‍රහ කරන එක පමණයි. 

මේ මොහොතේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යා යුතු බවට ප්‍රබල හඬක් නැගෙනවා. මේ හඬ නැගෙන්නේ ප්‍රධාන වශයෙන්ම එජාපය පැත්තෙන්. සජබයේ පාර්ශ්වයන්ද ඒ මතයේ ඉන්නවා. ඊට අමතරව ආණ්ඩුව ඇතුළේද යම් පිරිසක් මේ මතය වෙනුවෙන් පෙනී සිටිනවා. එහෙත්, ආණ්ඩුවේ ආර්ථිකය මෙහෙයවන ප්‍රධාන පාර්ශ්ව, විශේෂයෙන්ම මහ බැංකු අධිපති කබ්රාල්, ඉන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යා නොයුතුය යන දැඩි මතයේ. ජවිපෙ මේ පිළිබඳව පතෝල ස්ථාවරයක සිටිනවා.

විකල්ප විසඳුමක් වෙනුවෙන් පෙනී සිටින අධිපති කබ්රාල් විණිමය අනුපාතය වෙනස් වන්නට නොදී රුපියල් 200 මට්ටමේ තියා ගැනීමේ දැඩි ප්‍රතිපත්තියක හිර වී සිටින අතර තමන්ට එය කළ හැකි බව අධිෂ්ඨානශීලීව පවසනවා. තමන්ට හැකි පමණින් ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු කරමින් සිටිනවා. එජාපය වගේම ජවිපෙද සිටින්නේ විණිමය අනුපාතය යම් ප්‍රමාණයකින් අවප්‍රමාණය වෙන්නට ඉඩ හැරිය යුතුය යන මතයේ. 

රනිල් වික්‍රමසිංහ විසින් මේ පිළිබඳව පැහැදිලි හා නිශ්චිත අදහසක් ඉදිරිපත් කර තිබෙනවා. වාර්තා වී තිබෙන හැටියට "IMF සමග එකඟතාවකට පැමිණියහොත් ඇමරිකානු ඩොලරයක අගය රුපියල් 240ක පමණ සීමාවක තබාගත හැකිවනු ඇති වුවත් එසේ නොකළහොත් ඩොලරයේ අගය රුපියල් 300ක් පමණ දක්වා ඉහළ යනු ඇති බව" රනිල් වික්‍රමසිංහ විසින් කියා තිබෙනවා. මේ ප්‍රකාශය විග්‍රහ කළ යුතු ප්‍රකාශයක්.

රනිල් වික්‍රමසිංහ විසින් ලංකාව IMF වෙත යා යුතු බව කියන්නේම ඩොලරයේ මිල ස්ථාවර කර ගැනීම සඳහා. ඔහු යෝජනා කරන්නේ IMF ගොස් ඩොලරය 300 දක්වා යාම වලක්වාගෙන 240 සීමාවේ රඳවා ගත යුතු බවයි. ගණන වෙනස් වුනත් රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශයේ පදනම වන්නේත් ඩොලරයේ මිල ස්ථාවර කර ගැනීමයි. 

ඩොලරයේ මිල රුපියල් 200 මට්ටමේ ස්ථාවර කර නොගෙන රුපියල් 240 මට්ටමේ ස්ථාවර කර ගැනීම වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ පෙනී සිටින්නේ ඩොලරය රුපියල් 200 මට්ටමේ ස්ථාවර කර ගැනීම කිසිසේත්ම කළ නොහැක්කක් කියන පදනමේ සිටයි. (මගේ පෞද්ගලික අදහසද එයයි.) එසේ වුවත්, රනිල් වික්‍රමසිංහ විසින් කළ නොහැකියැයි සිතන මේ කටයුත්ත කවර ආකාරයකින් හෝ නිවාඩ් කබ්රාල්ට කළ හැකිනම්, රනිල් වික්‍රමසිංහට අනුවම වුවත් එහි වැරැද්දක් තියෙන්න බැහැ. රනිල් වික්‍රමසිංහට අනුව රුපියල් 240 මට්ටමේ වුවද ඩොලරය ස්ථාවර කර ගත හැක්කේ දැන්ම IMF ගියොත් පමණයි. එහෙත් නිවාඩ් කබ්රාල්ට අනුව IMF නොගොස් රුපියල් 200 මට්ටමේ ඩොලරය ස්ථාවර කර ගැනීම කළ හැක්කක්. ඒ සඳහා ඔහු සයමාසික වැඩ පිළිවෙළක්ද ඉදිරිපත් කළා.

කබ්රාල්ගේ වැඩපිළිවෙළ දෙස අප බැලිය යුත්තේ මේ ආණ්ඩුවට තවත් වසර තුනක් තිබෙනවා කියන පසුබිමේ සිටයි. දේශපාලනික ලෙස ප්‍රශ්නය දිහා බැලුවොත්, කබ්රාල්ට මේ යන විදිහට තවත් අවුරුදු තුනක් ඇදගෙන යන්න පුළුවන් වෙයිද?

ආණ්ඩුව කරන්නේ විශාල අවදානමක් ගැනීමක්. අතුරේ යාමක්. ඉදිරි වසර තුළ ඩොලර් බිලියන හතකට ආසන්න විදේශ ණය ප්‍රමාණයක් ආපසු ගෙවිය යුතුයි. ඊට අමතරව පසුගිය කාලයේ පැවති සාමාන්‍ය තත්ත්වයන් යටතේ ලංකාවට වසරකට ඩොලර් බිලියන දෙකක හෝ තුනක විදේශ ණය අවශ්‍යයි. නමුත් රටේ තිබෙන විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන දෙකකට ආසන්න ප්‍රමානයක් පමණයි. ඒ කියන්නේ, ණය පැහැර නොහැරීම සඳහා ලබන වසර තුළ පමණක් අවම වශයෙන් ඩොලර් බිලියන හතක් පමණවත් හොයා ගන්න වෙනවා. 

වසංගතය අවසන් වුනා කියා හෝ සංචාරක කර්මාන්තය යථා තත්ත්වයට පත් වුනා කියා මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. සංචාරක කර්මාන්තය හරහා තව ඩොලර් බිලියන දෙකක් හොයා ගත්තත්, ඒ එක්කම ආනයන සීමා යම් තරමකින් හෝ ඉවත් කරන්න වෙන නිසා, වැඩිම වුනොත් ලැබෙන්නේ ඩොලර් බිලියනයක ශුද්ධ වාසියක් පමණයි. තවත් ඩොලර් බිලියන හයක් පමණවත් කොහෙන් හරි හොයා ගන්නම වෙනවා. අජිත් නිවාඩ් කබ්රාල් මේ ඩොලර් ප්‍රමාණය හොයා ගන්න මාර ගේමක් ගහනවා. හැබැයි තවමත් වැඩේ යම් තරමකින් හෝ සාර්ථක වී ඇති බවක් පෙනෙන්නේ නැහැ. ඔය වගේ ඩොලර් ප්‍රමාණයක් හොයා ගන්නවා කියන එක ඉතාම දුරස්ථ ඉලක්කයක්.

එක පැත්තකින් රාජපක්ෂලාට වෙලා තියෙන දෙය 1987 පමණ කාලයේදී ජේආර්ට වුනා වගේ වැඩක්. ඔය කාලය දක්වාම වගේ  ඉන්දියාව හිටියේ සෝවියට් කඳවුර එක්ක. ජේආර් ඇමරිකාව පස්සේ ගියා. නමුත්, ඉන්දියාව ලංකාවට පරිප්පු දමද්දී ඇමරිකාව හෝ වෙනත් බටහිර රටක් ජේආර්ගේ උදවුවට ආවේ නැහැ. ඔය විදිහටම, කිහිප දෙනෙක්ම ඇත්තටම ඇමරිකානුවන් වුවත්, රාජපක්ෂලා ප්‍රදර්ශනාත්මකව හෝ බටහිර විරෝධීන් සේ පෙනී සිටිමින් චීනය පස්සේ ගියා. නමුත්, චීනය හෝ වෙනත් බටහිර කඳවුරට විරුද්ධ කඳවුරේ රටක් ලංකාව බේරගන්නේ නැහැ. නැවත බටහිරට කිට්ටු වුනා කියලා බටහිර රටවල් ලංකාවේ බේරා ගන්නේත් නැහැ. තමන් හිසට තම අතමය...!

ලබන වසරේදී මේ ආණ්ඩුවට IMF යන්නම වෙනවා. ඒ බෙල්ල මුලටම හිර වුනාට පස්සේ. ඒ බව මේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්පාදකයින්ට නොතේරෙන්න හේතුවක් නැහැ. එහෙත් ඔවුන් තමන්ගේම දේශපාලන උගුලක හිරවෙලා. රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් කරන්නේ පැත්තක ඉඳලා තොණ්ඩුව තවත් තද කරන එකයි. IMF යා යුතු බව රනිල් වික්‍රමසිංහ වැනි අය විසින් උස් හඬින් කියන තරමට ආණ්ඩුවට වැඩේ අමාරු වෙනවා. මෙයට පිළියමක් ලෙස ආණ්ඩුව විසින් IMF යා යුතු බව කියන්න ආණ්ඩුවේම පිරිසක් සැලසුම්සහගතව එළියට දමයි. මුලදී මේ කණ්ඩායම කැරළිකරුවන් පිරිසක් වගේ පෙනෙයි. ඒක පොඩි ඇස් බැන්දුමක්!

මමනම් පෞද්ගලිකව හිතන්නේ මේ යන ක්‍රමය හොඳයි කියලා. අපි හිතමු රනිල් වික්‍රමසිංහ විසින් යෝජනා කරන විදිහට ඉතා ඉක්මණින් IMF ගියා කියලා. කියන විදිහටම ඩොලර් එක රුපියල් 240 වගේ තැනක ස්ථාවර කර ගන්න පුළුවන් වෙයි. ඒ එක්ක ගන්න වෙන අනෙකුත් ක්‍රියාමාර්ග එක්ක ඉදිරි වසර තුන හතර ඉතාම නරක කාලයක් වෙනවා. ආණ්ඩුවට මැතිවරණ වලට යන්න වෙන්නේ ජනප්‍රියත්වය බිංදුවට බස්සාගෙන. ඉදිරි මැතිවරණයකින් ආණ්ඩුව බිංදුවට වැටෙද්දී, රනිල් වික්‍රමසිංහ ගණන් හදන විදිහට, එජාපයට විශාල ජයග්‍රහණයක් ලැබෙනවා. ඒ එක්කම, ඒ වසර තුනේ ගෙවෙන නරක කාලය පහු කළාම ආර්ථිකය නැවත පහසුවෙන් ස්ථාවර කර ගත හැකි තත්ත්වයක් ඇති වෙනවා. ඉදිරියට බලයට පත් වන කවර හෝ ආණ්ඩුව ගොඩ!

හැබැයි මෙයින් අදහස් වෙන්නේ ආණ්ඩු මාරුවක් සිදු වීමෙන් පසුව දැන් මෙන්ම ණය පිරමිඩය නඩත්තු වෙනවා කියන එකයි. ඒ කියන්නේ නැවත කොයි වෙලාවක හරි ප්‍රශ්නයේ මුලට වැටෙන්න පුළුවන්. 

දැනට මේ ආණ්ඩුව ඉන්න IMF යන්නේ නැහැ කියන දැඩි ස්ථාවරයේම ඉඳලා බෙල්ල මුලටම හිර වුනාම කරන්න වෙන්නෙත් IMF යන එක. ඒ වෙද්දී රටේ තත්ත්වය වඩාත් නරක අතට හැරිලා. රනිල් වික්‍රමසිංහ කියනවා වගේම ඒ වගේ අවස්ථාවක IMF කියන දේම කරනවා හැර වෙනත් කළ හැකි දෙයක් ඉතිරි වෙන්නේ නැහැ. ඒ වගේම, IMF එකට වුවත් ප්‍රශ්නය ගොඩින් විසඳන්න ලැබෙන්නේ නැහැ. බොහෝ විට මේ ආණ්ඩුවට ගෙදර යන්න වෙයි. හැබැයි අළුතෙන් පත් වෙන ආණ්ඩුවකට වීරයාගේ චරිතය රඟපාන්න ඉඩ ලැබෙන්නේ නැහැ.

දැනට තියෙන ක්ෂණික ප්‍රශ්නය ඩොලර් ප්‍රශ්නය. නමුත්, ඩොලර් ප්‍රශ්නය පසුපස තිබෙන මූල ප්‍රශ්නය අයවැය හිඟය. ඩොලර් ප්‍රශ්නය ගැන දැන් රටේ මිනිස්සුන්ට තේරෙනවා. නමුත්, මූල ප්‍රශ්නය වූ අයවැය හිඟය ගැන මිනිස්සුන්ට තවමත් හරියකට තේරුමක් නැහැ. ඒක තේරෙන්නනම් විණිමය අනුපාතය කඩා වැටිලා හෝ නිවැරදි වෙන්න ඕනෑ. අයවැය හිඟය ප්‍රශ්නයක් බව හරියටම තේරෙන්නේත්, පැලැස්තර වලින් විසඳිය නොහැකි මට්ටමකට පත් වන්නේත්, එයින් පසුවයි. මූල ප්‍රශ්නයට රැඩිකල් විසඳුමක් දෙන්න පුළුවන් වෙන්නේ එහෙම වුනොත් පමණයි.

මූල ප්‍රශ්නය වූ අයවැය හිඟය පිළිබඳ ප්‍රශ්නය විසඳිය හැකි ප්‍රායෝගික හා පුළුල් විසඳුම් අවශ්‍ය වෙන්නේ තවත් අවුරුදු තුනකින් පමණ පසුවයි. ඒ කාලය තුළ, අපිත් අපේ අදහස් ටිකෙන් ටික සටහන් කර තියන්නම්!

(Photo credit: Sagara Lakmal de Mel)

15 comments:

  1. ඉකොනෝ, දන්නවාද ජාතික කෞතුකාගාරය ඉදිරිපිට බිම හාරමින් මතුපිට පස් තට්ටුව ඉවත් කර අලුතින් තණ පිඩලි ඇල්ලීමට යන බව.... ඒ වගේ සෝබන (ඥානක්කාගෙ උපදෙසක්ද දන්නෙත් නෑ.) වැඩත් තවම කෙරෙන්නේ කොහොමද මන්දා?

    ReplyDelete
  2. මම හිතන්නෙ විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන් වෙනම දේශපාලන් ව්‍යාපාරයක් අවශ්‍යයි තියෙන අසමතුලිතතාව නැති කරන්න.

    ReplyDelete
  3. එක පැත්තකින් විදේශ මුදල් සංචිතය සිඳී ගිය නිසාත් ආදායම් අඩු වීම සමග ආනයන කරගන්න බැරුව සහ තියෙන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීමට නොහැකිව සියලුම දේවල් අනාගෙන නාගන්න ආණ්ඩුව ජනතාවට ජෝක් සපයනවා, එතකොට තියෙන සහනාධාර කප්පාදු කරමින් මිල ගණන් වැඩි කරමින් බදු වැඩි කිරීමෙන් ජනතාව සූරා කන සහ කිසිම විදිහකින් සහන නොදෙන ගෝටා ෆේල් බව විපක්ෂය කියනවා. හැමෝටම රුපියල් 20,000 ගානේ සල්ලි බෙදලා සහන දීලා ජනතාව ජීවත් කරවන කතා සජී කියනවා. ජවිපෙ අනුර ඇතුළු පිරිස ඇද කුද කියනවා විතරයි පැහැදිලි වැඩ පිළිවෙළක් නෑ, පෙර බයිලාවම ඔහේ ගගහ ඉන්නේ, එතකොට ආචාර්ය හර්ෂයන් රනිල් වික්‍රමසිංහ ගිය පාර ගැන කියමින් අපි අනිවාර්යයෙන්ම යා යුතුම බව කියන IMF ගියහම සජීගෙ බෙදිල්ල කොහොම වෙතත් ඉබේම පටි තද වෙයි කට්ටියගෙම, කොහොමත් තව ටික දවසකින් IMF සරණ යනවා කබ්බා.

    කෙසේ නමුත් ජවිපෙ සහ පොදුජන පෙරමුණේ ද සහය ලබා ගෙන 2024 පාඨලී චම්පික රණවක ජනපති කරගෙන මේ ප්‍රශ්න වලට පිළිතුරු හොයා ගන්න උත්සාහ කළ යුතු බව මගේ අදහසයි. කෙසේ වෙතත් එතකම් යටින් පොහොට්ටුවට සහය ලබා දී අවශ්‍ය ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගනිමින් වැඩ කරන්න ඉඩ ලබා දුන්නොත් ආර්ථිකයේ ඇති මේ දැවෙන ප්‍රශ්න වලට මූලික විසඳුම් ලබා ගැනීමට පුළුවන් වේවි. ඒ සමගම හොඳ ඩීල් එකක් බැසිල් සහ රාජපක්ෂ කණ්ඩායම සමග දාගෙන නාමල් 2029 ජනපති කීරීමට එකඟ වන බව පොරොන්දු වී 2024 දී පොදුජන පෙරමුණේ ද සහය ලබා ගෙන රනිල් පාඨලී සුසංයෝගයෙන් රජයක් පිහිටුවීමට නම් සජිත් ප්‍රේමදාස ගේද සහය අවශ්‍යයි. නමුත් එම රජය තුල 2015 - 19 කාලයේ ජනතාවට ආතල් ලබා දුන් මෛත්‍රීගේ භූමිකාව සඳහා සජිත් ප්‍රේමදාස සුදුසු බව මට හිතෙනවා. ජවිපෙට මැතිවරණයෙන් පසු විපක්ෂයට නැවත එක් වී නැවතත් සුපුරුදු පරිදි ආණ්ඩුව විවේචනය කරමින් ඔවුන්ගේ සුපුරුදු විපක්ෂ භුමිකාව ඉතා හොඳින් කිරීමට අවශ්‍ය සියලුම පහසුකම් ලබා දිය යුතු අතරම සුනිල් හඳුන්නෙත්ති නැවත වතාවක් කෝප් කමිටුවට පත් කර පොදුජන පෙරමුණේ චරිත හේරත් වැනි අය සමග එම පොදු ව්‍යාපාර කටයුතු සහ රාජ්‍ය ව්‍යවසායන්/ සංස්ථාපිත මණ්ඩල ආදිය අධීක්ෂණය කීරීමට අවස්ථාව දීම දූෂණ වංචා පාලනය කිරීමට හොඳයි නේද? ඉකොනො ඔබ මගේ මේ යෝජනා ගැන හිතන්නේ මොකක් ද? මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් හොඳයි නේද?

    ReplyDelete
    Replies
    1. හැම විටම මෙන්ම මේ අවස්ථාවේදීද මම බලන්නේ වැඩ පිළිවෙළවල් දෙස මිසක් ඒවා ක්‍රියාත්මක කරන පුද්ගලයින් දෙස නෙමෙයි. බල දේශපාලනයේ මූලික වශයෙන්ම පුද්ගලයින්ගේ හොඳ නරක තීරණය වන්නේ ඔවුන් පෙනී සිටින වැඩ පිළිවෙළ කුමක්ද යන්න මතයි. පුද්ගල සාධකය වැදගත් වන්නේ එයින් ඔබ්බට. වැඩ පිළිවෙළ හොඳ අවස්ථා වලදී පවා ඒවා ඒ විදිහටම වෙයිද කියන සහතිකයක් නැහැ. වැඩ පිළිවෙළ හොඳ නැත්නම් කොහොමටත් හොඳක් වෙන්න ඉඩක් නැහැ.

      Delete
  4. ඇත්තටම ගොටා ආවේ රටේ වෙනසක් කරන්න නම් ඔහුට තිබුනේ අයවැය ප්‍රශ්නයට මෙවැනි තිරසාර විසදුමක් දෙන එක. 2/3 බලයක් ලැබුන වෙලාවේම පටන් ගත්තනම් 2025 වෙනකොට මෙහි පැහැලිදී ප්‍රතිපල බලාගන්න තිබ්බා. (පාර්ලිමේන්තු බලය ඇතිතරම් තිබූන නිසා ඔහුට එය කරන්න තිබුණා) නමුත් උනේ පරණ පිරමිඩයම නඩත්තු කරන්න යාමෙන් රට තවත් අගාදයට අද දැමීම.

    ReplyDelete
    Replies
    1. 2/3 බලය ගත්තේ අයවැය හිඟය අඩු කරන බව කියල නෙමෙයිනේ. බදු අඩු කරනවා කියලා. දළ වශයෙන් බැලුවොත් කියපු දේ තමයි කළේ. අයවැය හිඟය සම්බන්ධව මේ වෙද්දී බල දේශපාලනයේ ඉන්න පක්ෂ, කණ්ඩායම් හා පුද්ගලයින්ගේ ප්‍රතිපත්ති මොනවාද? ඔවුන් අයවැය හිඟය අඩු කිරීම වෙනුවෙන් පෙනී සිටිනවානම් එය කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද? මිනිස්සු, විශේෂයෙන්ම මාධ්‍ය විසින්, මේ අයව එක තැනක තියලා හෝ වෙන වෙනම මේ ප්‍රශ්නය සෘජුව ඇසිය යුතුයි.

      Delete
  5. ඉකොනොමැට්ටා,

    ලංකාවේ රජය විසින් ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදලකට අනුමැතිය දීමත් සමගම ලංකාවේ නැවතත් පහුගිය රජය කළ මිල සූත්‍ර ප්‍රෝඩාව වැනි තවත් මගඩියක් දකින්න පුළුවන් වේවි ද?

    ලංකාවේ මාධ්‍ය අනුව පසුගිය ඇමති මණ්ඩල රැස්වීමේ දී ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදලක් පිහිටුවීමට අනුමැතිය හිමි වීමත් සමගම ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදලෙන් සිදු වෙන්නේ ලෝක වෙළඳපොලේ මිල උච්චාවචනයන්ගෙන් ජනතාවට බලපෑමක් ඇතිවන එක වළක්වලා ඉන්ධන මිල හැකිතාක් දුරට ස්ථාවරව පවත්වා ගැනීම බවයි රජය කියන්නේ මේක ගැන මට නම් සැකයි.

    ගම්මන්පිල පැහැදිලි කළ විදියට වෙළඳපොලේ මිල පහත වැටුණාම එහි වාසිය සම්පූර්ණයෙන්ම ජනතාවට දෙන්නේ නැතුව මිල ස්ථායීකරණ අරමුදලට මාරු කරන බවත් ඒ වගේම මිල ඉහළ යන විට එහි බර සම්පූර්ණයෙන්ම ජනතාවට දෙන්නේ නැතුව හැකිතාක් දුරට මේ අරමුදල විසින් දරා ගනිමින් එය hedge fund එකක් ලෙසද ලෝකයේ රටවල් හතක ක්‍රියාත්මක ඉන්ධන මිල ස්ථායීකරණ අරමුදල් ගැඹුරින් අධ්‍යනය කර මේ අරමුදල පිහිටුවූ බවයි රජය කියන්නේ.

    කෙසේ නමුත් මේ අරමුදලේ සභාප වෙන්නේ බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක්ලු. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නියෝජිතයෙකු, එල්අයිඕසී සමාගමේ නියෝජිතයෙකු, ධීවර ඇමති නම් කරන ධීවර සංගම් නියෝජිතයෙකු, ප්‍රවාහන ඇමති නම් කරන ප්‍රවාහන සංගම් නියෝජිතයෙකු සහ බලශක්ති ඇමති නම් කරන ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන විද්‍යා දැනුම සහිත සාමාජිකයින් දෙදෙනෙකුගෙන් මෙම අරමුදල සමන්විතලු. ඒ අනුව ඉදිරියේදී ඉන්ධන මිල තීරණය කරන්නේ ඉන්ධන මිල ස්ථායිකරණ අරමුදල විසින් සහ අමාත්‍යවරුන් නොවන බව කියන්නේ මේකෙන් මොන සංතෑසියක් වේවිද මන්දා.

    ReplyDelete
    Replies
    1. මේ ගැන ගම්මා කියපු කතන්දර

      "මාස අටකට කලින් 2021 මාර්තු ඉදිරිපත් කළ ඉන්ධන මිල ස්ථායිකරණ අරමුදල පිහිටුවීමේ යෝජනාවට ඇමති මණ්ඩල අනුමැතිය හිමි වුණේ නොවැම්බර් 23දා. මේ මාස අට තුළ විතරක් ඛනිජ තෙල් මිල 36% කින් ඉහළ ගියා. ඒ නිසා මේ අරමුදල පිහිටවූ වහාම ජනතාවට ක්ෂණික සහන ලබාදීමේ හැකියාවක් නෑ. මේ අරමුදල පිහිටුවිය යුතුව තිබුණේ ඉන්ධන මිල පහත වැටෙමින් තිබුණු අවස්ථාවේ. එහෙම නම් ඉන්ධන මිල ඉහළ යන විට එහි බර ජනතාව පිට පටවන්නේ නැතුව අරමුදලට දරන්න තිබුණා. නමුත් දැන් ඉන්ධන මිල ඉහල යෑමේ බර දැරීමට අරමුදල තුළ මුදල් නෑ. මූලික මුදලක් ලබා දීමට භාණ්ඩාගාරයට හැකියාවක් ඇත්තේත් නෑ. අරමුදල පිහිටුවීමේ ප්‍රමාදය නිසා මේ මොහොතේ අරමුදල පිහිටුවීමෙන් ජනතාවට ක්ෂණික සහනයක් ලබා දෙන්න හැකියාවක් නෑ."

      "ඒ නිසාම මේ මොහොතේ කළ යුත්තේ වහාම ශ්‍රී ලංකාවට සුදුසු ගැලපෙන මිල සමීකරණයක් ක්‍රියාත්මක කිරීමයි. මංගලගේ මිල සූත්‍රය පිලිබඳ විවේචනය කරලා දැන් මිල සූත්‍රයක් යෝජනා කරන්නේ ඇයි කියලා අපෙන් අහනවා නම් මම කියන්නේ මංගලගේ මිල සූත්‍රය පිළිබඳ අපට ප්‍රධාන විවේචන දෙකක් තිබුණා.

      පළවෙනි එක තමයි එහි විනිවිද භාවයක් නොතිබීම. ඒ මාසෙකට සැරයක් ඉන්ධන මිල අච්චරකින් වැඩිකරනවා මෙච්චරකින් අඩුකරනවා කිව්වත් ඒක හදන විදිහක් කවුරු වත්ම දන්නේ නෑ. ලෝක වෙළඳපොලේ මිල පහළ යන කොට පහළ යන මට්ටමින්ම මිල අඩු කිරීම සිදු වන්නේ නෑ. ජනතාවට මේක දැනගන්න අයිතියක් තියෙන නිසා අපි ඉල්ලුවා මිල සූත්‍රය ප්‍රසිද්ධ කරන්න කියලා. ඒක කළේ නෑ. ඒපාර අපි අධිකරණයේ පිහිටෙන් තොරතුරු දැනගැනීමේ පණතේ අයිතිය යටතේ මිල සූත්‍රය ඉල්ලුවා. ඒකට ප්‍රතිචාරයක් විධියට තමයි වී1+වී2+වී3+වී4 = එම් ආර් පී කියන සූත්‍රය ඉදිරිපත් කළේ. නමුත් ඒක හැදෙන විදිහ ඉදිරිපත් කළේ නෑ.

      ඊළඟට මේකේ දෙවැනි කාරණය තමයි ලංකාවට වඩාත් ගැලපෙන්නේ මිල සූත්‍රයකට වඩා මිල ස්ථායිකරණ අරමුදලක් වීම. ලෝක වෙළඳපොලේ මිල වැඩි වන ආකාරයෙන් මිල වැඩි කළාම රටේ දුප්පත් ජනතාවට ඉන්ධන මිල දරා ගන්න බැරි වෙනවා. විශේෂයෙන්ම ඉන්ධන මිල වැඩි වීම සෑම ක්ෂේත්‍රයකටම මිල වැඩිවීමකට බලපානවා. නිරතුරුව ඉන්ධන මිල වෙනස්වීම පුංචි ලාභයක් තබා ගෙන සිදු කරන කර්මාන්ත වලටත් බලපානවා. ලංකාව වැනි දුප්පත් ජනතාවක් සිටින රටක කුඩා ලාභ ප්‍රතිශතයක් ඇති කර්මාන්ත කරගෙන යන රටකට වඩාත් ගැලපෙන්නේ මිල සූත්‍රයකට වඩා මිල ස්ථායීකරණ අරමුදලයි."

      "ඒ වගේම තමයි මිල ස්ථායීකරණ අරමුදලක් තිබෙන විට මිල නිරතුරුව වෙනස් නොවන නිසා ඉන්ධන මිලෙන් නිෂ්පාදකයාත් පාරිභෝගිකයාත් පීඩාවට පත් වන්නේ නෑ."

      "මේ ගැන තවදුරටත් සරලව කිව්වොත් ශ්‍රී ලංකාවට වඩාත් ගැලපෙන්නේ මිල ස්ථායිකරණ අරමුදලයි. මුකුත් නොකර ඉන්නවාට වඩා අඩුම ගණනේ මිල සූත්‍රයක් තිබෙන එක උනත් රටට වාසිදායක බවයි අපේ අදහස. ඒ සමගම බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල “ශ්‍රී ලංකා තෙල් සහ ගෑස් සමාගම” නමින් නව සමාගමක් පිහිටුවන බවත් ලංකාවේ ඛනිජ තෙල් සහ ගෑස් ගවේෂණට පිහිටුවන බවත් පැවසුවා.

      Delete
    2. ඒ අනුව ලංකාවේ ඛනිජ තෙල් සහ ගෑස් ගවේෂණට සහ කැණීම් සදහා පැමිණෙන සමාගම් සමග හවුල් ව්‍යාපාර ආරම්භ කරන රාජ්‍ය හවුල්කරු ලෙස කටයුතු කිරීම සදහා මෙම සමාගම පිහිටුවන බවත් අනාගතයේදී විදෙස් සමාගම් ගෙන්වා නොගෙන තෙල් හා ගෑස් ගවේෂණ කටයුතු සිදු කිරීමේ හැකියාව මේ සමාගමට ලැබෙනු ඇති බවත් ඔහුගේ අදහසයි. මේක ගැන පැහැදිලි කරන්න පුළුවන් ද? ඒ වගේම
      ගමන්පිලයා කියන විදිහට 2021 අංක 21 දරණ ඛනිජ තෙල් සම්පත් පනතේ පස්වන කොටස මගින් ජාතික ඛනිජ තෙල් මෙහෙයුම්කරු ලෙස කටයුතු කිරීමට සමාගමක් පිහිටුවිය යුතු බවත් එම සමාගම ජාතික ඛනිජ තෙල් මෙහෙයුම්කරු බවට ඇමතිවරයා විසින් ගැසට් මගින් ප්‍රසිද්ධ කල යුතු බවත් සඳහන් වෙනවා. ඒ වගේම 2020 ඔක්තෝම්බර් මාසයේ දී ඇමති මණ්ඩලය අනුමත කල ජාතික ගෑස් ප්‍රතිපත්තියේ ද ජාතික ඛනිජ තෙල් මෙහෙයුම්කරු ලෙස සමාගමක් පිහිටුවිය යුතු බවට සඳහන් වෙනවා. ජාතික ඛනිජ තෙල් මෙහෙයුම්කරු ලෙස “ශ්‍රී ලංකා තෙල් සහ ගෑස් සමාගම” නමින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ පාලිත සමාගමක් පිහිටුවීමට ගමන් පිලයා කළ යෝජනාවට 2021 නොවැම්බර් 23 ඇමති මණ්ඩල අනුමැතිය ලැබුණලු"

      මේ සමාගම සිදු කරන්නේ ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් සහ ගෑස් ගවේෂණට සහ කැණීමට පැමිණෙන සමාගම් සමග හවුල් ව්‍යාපාර ආරම්භ කරන රාජ්‍ය හවුල්කරු ලෙස කටයුතු කිරීමයි. ඒ අනුව ලංකාවේ තෙල් සහ ගෑස් කැණීම් කරන්න එන සමාගම් 15% දක්වා කොටස් අයිතිය මේ සමාගමට ලබාදීලා පිහිටුවන හවුල් ව්‍යාපරායකින් තමයි ලංකාවේ ගවේෂණය හෝ කැණීම් සිදුකළ යුත්තේ. 15% දක්වා කොටස් අයිතිය වගේම අධ්‍යක්ෂ මණ්ඩල තනතුරක් ද මේ සමාගමට ලබා දිය යුතුයි. අපිට එක පැත්තකින් මේ සමාගම් තෙල් හා ගෑස් කැණීමෙන් උපයන ලාභයෙන් කොටසක් ලංකාවට හිමිවෙනවා. අනික් පැත්තෙන් ඒ අධ්‍යක්ෂක මණ්ඩල වල කටයුතු කරලා කළමනාකරණයට සහභාගී වීම හරහා මේ විෂය පිළිබද තාක්ෂණික දැනුම හා පළපුරුද්ද ලබාගන්නත් ලංකාවට අවස්ථාව ලැබෙන බවත් එවිට තවත් වසර 10 කින් පමණ විදෙස් සමාගම් ගෙන්වාගන්නේ නැතුව අපේම මේ සමාගම හරහා අපේ රටතුළත් අවශ්‍යනම් පිටරවලත් තෙල් හා ගෑස් ගවේෂණ කටයුතු සිදු කිරීමේ හැකියාව අපිට ලැබෙන අතර මැලේසියාවේ පෙට්‍රෝනාස් සහ ඉන්දියාවේ ඕඑන්ජීසී බිහි වුණේ මේ ආකාරයට බවත් මේ ආදර්ශ දෙක දිහා බලල අපිත් මෙවැනි සමාගමක් පිහිටුවිය යුතුයි කියලා ගමන් පිලයා තීරණය කළාලු. මේ සමාගම පිහිටුවීමේ අරමුණ ලංකාවේ ඛනිජ තෙල් ගවේෂණයෙන් නිලධාරීන් හෝ දේශපාලකයන් අතලොස්සක් වෙනුවට රටේ ජනතාවට ජාතියට එහි ප්‍රථිලාභ ලැබෙන බවට වග බලාගැනීම බව ගමන් පිලයගේ කයිවාරුවයි. මේකේ ඇත්ත නැත්ත මොකද්ද කියලා කියන්න පුළුවන් නේද?

      Delete
    3. මූලික අදහස් අනුව, මේ යෝජනා දෙකම හොඳ යෝජනා දෙකක්. ඇත්තටම මිල ස්ථායිකරණ අරමුදලක් මිල සුත්‍රයකට වඩා බොහෝ කරුණු අතින් සාධනීයයි. වී වැනි දෙයක් හා අදාළව වුවත් අවශ්‍ය වන්නේ මිල ස්ථායිකරණ අරමුදලක්. තෙල් ගවේෂණය සම්බන්ධ රාජ්‍ය-විදේශ සමාගම් හවුල්කාරිත්වය පිළිබද අදහසත් නරක නැහැ. එහෙත් 15%:85% අනුපාතය හොඳම අනුපාතයද යන්නත්, ප්‍රායෝගිකද යන්නත්, ප්‍රශ්නයක්.

      Delete
  6. //මේ මොහොතේ තිබෙන ප්‍රශ්නය යම් ආකාරකින් විසඳෙයි//
    ඔබ මෙයින් අදහස් කලේ කුමක්ද?

    ReplyDelete
    Replies
    1. මේ ප්‍රශ්නය කොහොමටත් මේ ආණ්ඩුවට විසඳන්නම වෙනවා. මූලික, නිදන්ගත ප්‍රශ්න නෙමෙයි. දැනට තිබෙන ඩොලර් ප්‍රශ්නය. එක්කෝ මේ ආණ්ඩුව තව ටිකක් හිර වුණාම IMF ගොස් ප්‍රශ්නය විසඳයි. එහිදී රුපියල අවප්‍රමාණය කරන්න සිදු වෙනවා. එසේ නැත්නම් පාලනය ගිලිහී ස්වභාවිකව රුපියල කඩා වැටී එය අවප්‍රමාණය වෙයි. රුපියල අවප්‍රමාණය වූ පසු දැනට තිබෙන ඩොලර් ප්‍රශ්නය යම් කාලයකට විසඳෙනවා.

      Delete
  7. ඇත්තටම මගේ අදහසත් දරුණු කඩා වැටීමක් නැතුව ආර්ථිකයේ තියන මුල් බැහැපු රෝග වලට කරන්න ඕනේ ප්‍රතිකාර වලට ජනතාව සුදානම් කරන්න බැහැ කියන එක.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. මෙවා වෙනස් වෙන්න නම් ජනතාව මකලා හදන්න ඕනේ.
      1. සුබසාධන මත යැපෙන අකාර්යක්ෂම ගොවිතැන
      2. අකාර්යක්ෂම රාජ්‍ය සේවය
      3. අතින් කාලා හරක් බලන ආණ්ඩුවේ බිස්නස් (CPC, CGR, Srilankan, ...)

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: