Friday, November 22, 2019

යහපාලන පරීක්ෂණය



අවුරුදු හතරහමාරක් පමණ තිස්සේ සිදු කෙරුණු යහපාලන පරීක්ෂණය මේ වන විට අවසන් වී තිබෙනවා. මෙය ලංකාවේ දේශපාලනය තුළ සිදු කෙරුණු වෙනස්, අළුත් පරීක්ෂණයක්. දැන් ආරම්භ වී තිබෙන්නේද එවැනිම වෙනස්, අළුත් පරීක්ෂණයක්. බොහෝ කරුණු අතින් මේ පරීක්ෂණ දෙක අසමාන වුවත් සමානතාද තිබෙනවා. යහපාලන ආණ්ඩුව හමුවේ වූ ප්‍රධානම අභියෝගය වුනේ ඔවුන්ව බලයට පත් කළ විවිධ, වෙනස් පාර්ශ්ව වල විෂමජාතීය අභිලාශ ගණනාවක් එක වර ඉටු කිරීමයි. එය කළ නොහැකි වූ නිසා ඉතා ඉක්මණින්ම යහපාලන ආණ්ඩුවට මිතුරන් නැති වුනා. අලුත් ආණ්ඩුව හමුවේ ඇති ප්‍රධාන අභියෝගයද මීටම සමාන එකක්. මේ අභියෝගයට මුහුණ දෙන ආකාරය මත අලුත් ආණ්ඩුවේ අනාගතය තීරණය වෙනවා. අලුත් ආණ්ඩුව මේ ගැන අවබෝධයකින් කටයුතු නොකරන්න හේතුවක් නැහැ.

මා යහපාලන ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා සක්‍රියව හෝ වක්‍ර ලෙස දායක වූ අයෙකු නෙමෙයි. එවැනි තේරීමක් ඒ අවස්ථාවේදී මා සතුව තිබුණේද නැහැ. ලංකාවේ රාජ්‍ය පාලකයා තෝරා පත් කර ගැනීමට මට දායක විය හැකිව තිබුණු බොහෝ අවස්ථාවලදීද මා ඒ අවස්ථාවන් ප්‍රයෝජනයට ගෙන නැහැ. ඒ, රටේ බහුතරයකගේ කැමැත්ත කුමක් වුවත් ඒ සමඟ අනුගත වීම මට ප්‍රශ්නයක් නොවූ බැවිනුයි. කෙසේ වුවත්, 2015 ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කිරීම මගේ තේරීමක් වූයේනම් මගේ ඡන්දය මෛත්‍රීපාල සිරිසේන විසින් ලබාගත හැකිව තිබුණා. ඒ, ඒ අවස්ථාවේදී රාජපක්ෂලාගේ ගමනට තාවකාලිකව හෝ විරාමයක් තැබීම අනිවාර්ය අවශ්‍යතාවයක් වූ බැවිනුයි

රාජපක්ෂලා සමඟ මට පෞද්ගලික ප්‍රශ්න කිසිවක් තිබී නැහැ. දැනටත් නැහැ. රාජපක්ෂ ආණ්ඩුව මෙහෙයවූ ප්‍රධාන පුද්ගලයින්ගෙන් පෞද්ගලිකව මට හොඳක් මිස නරකක් සිදු වී ද නැහැ. එහෙත්, ඒ හේතුව නිසා හෘද සාක්ෂියට එකඟව රාජපක්ෂ ආණ්ඩුවේ අවසන් භාගයේදී කටයුතු සිදු වූ ආකාරය වෙනුවෙන් පෙනී සිටින්නට පුළුවන්කමක්ද නැහැ. 2015දී රාජපක්ෂලා පරාජය වූයේත්, යහපාලන ආණ්ඩුව බලයට පත් වූයේත් ආසන්න කාලයේදී රාජපක්ෂ ආණ්ඩුව විසින් කළ කී දෑ ගැන ඊට පෙර රාජපක්ෂ ආණ්ඩුව සමඟ සිටි බොහෝ දෙනෙක් කළකිරී සිටි නිසායි. විවිධ අය එසේ කළකිරී සිටියේ විවිධ හේතු මතයි.

රාජපක්ෂලා පරාජය කර යහපාලන ආණ්ඩුව පිහිටුවීමට දායක වූ බොහෝ දෙනෙකුට විවිධ අපේක්ෂාවන් තිබුණා. මේ අය ටිකෙන් ටික යහපාලන ආණ්ඩුවෙන් ඉවත් වූයේ ඔවුන් අපේක්ෂා කළ දේවල් යහපාලන ආණ්ඩුවෙන් ඉටු නොවූ නිසා. දැන් බොහෝ දෙනෙක් කියන්නේ යහපාලන ආණ්ඩුව විසින් කළ කෙහෙම්මලක් නැති බවයි. පෙර කී පරිදි මා යහපාලන ආණ්ඩුව පිහිටුවීමට දායක වූ අයෙකු නොවූවත්, යම් හෙයකින් මා එසේ දායක වී තිබුණේනම් මා අද ඒ ගැන කණගාටු වන්නේ නැහැ. 2015දී යහපාලන ආණ්ඩුවෙන් මා යමක් අපේක්ෂා කළේනම් ඒ දෙය ඔවුන් විසින් ඉටු කර තිබෙනවා. ඉතාම සංක්ෂිප්තව කියනවානම් යහපාලන ආණ්ඩුවෙන් මා අපේක්ෂා කළේ වසර කිහිපයක් හෝ ආණ්ඩු නොකර සිටීමයි.

මා සිතූ ආකාරයට සිතූ විශාල පිරිසක් යහපාලනය පිහිටුවීමට දායක වූ අය අතර වුවද සිටියේයැයි මා සිතන්නේ නැහැ. එහෙත්, ඒ වන විට රාජපක්ෂලාගේ ආණ්ඩු කිරීම ඇති වී සිටි යම් පිරිසක් සිටින්නට ඇති. රාජපක්ෂලාට කලකට නිවාඩුවක් දීමෙන් ලබාගත හැකි වූ සාධනීයම ප්‍රතිඵලය යම් තරමකින් හෝ ආණ්ඩු කිරීමෙන් බේරී ටික කලක් සිටිය හැකි වීමයි.

මේ ලිපිය ලියන ළමයා හිතන ආකාරයෙන් ලංකාවේ ළමයි බොහෝ දෙනෙක් හිතන්නේ නැහැ. ඒ ළමයින්ට ගුරු විවේකාගාරයට ගොස් ඉන්ටවල් ඉවර වෙන්නත් කලින් ටීචර්ව නැවත පංතියට කැන්දා ගෙන එන්නට තිබුණේ පුදුම හදිස්සියක්. වේවැල අතට ගන්නට ටීචර්ට මතක් කරන්නේත් ළමයින් විසින්මයි. අපේ කාලෙනම් එහෙම නෑ හාමුදුරුවනේ!

රනිල්ගේ ආණ්ඩුව වැඩ බැරි ආණ්ඩුවක් බව කියන බොහෝ පිරිසක් සිටිනවා. මේ අය දැන් රනිල්ව එපා වී සිටියත්, 2015දී යහපාලන ආණ්ඩුව බලයට රැගෙන ඒමට දායක වූ අයයි. ඔවුන් රනිල්ගෙන් ඒකාධිපතියෙකු බලාපොරොත්තු වන්නට ඇති. දැන් මේ පිරිස රනිල් තුළින් හමු නොවූ ඒ ඒකාධිපතියාව ගෝඨාභය තුළින් සොයනවා.

මා, හොඳ හෝ නරක හෝ, පුද්ගලයින්ගේ චරිත ලක්ෂණ මත ඕනෑවට වඩා බර තබන්නේ නැහැ. එහෙත්, බොහෝ දෙනෙක් එසේ කරනවා. රනිල්, මහින්ද, ගෝඨාභය, සජිත්, අනුර කුමාර, චම්පික වැනි ඕනෑම කෙනෙකු අවශ්‍ය තත්ත්වයන් සැපිරේනම් ඒකාධිපතියෙකු සේ කටයුතු කරන්නට ඉඩ තිබෙනවා. වෙනස් තත්ත්වයන් යටතේ ඒ අයම වැඩ බැරි දාසලා වන්නටද පුළුවන්. ඒ නිසා, ඒ අවශ්‍ය තත්ත්වයන් නිර්මාණය කර ගැනීම හෝ වලක්වා ගැනීම මිස පුද්ගලයින්ගේ චරිත ලක්ෂණ සැසඳීම වැඩි තේරුමක් නැති දෙයක්. රනිල්ට ඒකාධිපතියෙකු සේ කටයුතු කරන්නට ඉඩ සැලසෙන වාතාවරණයක් රටේ නොහැදෙන බව වගේම යහපාලන ආණ්ඩුවට කළ හැකි ලබ්බක් නැති බව 2015 ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් වන විටද පෙනෙන්නට තිබුණු දෙයක්. පෞද්ගලිකව මටනම් යහපාලන ආණ්ඩුව බලයට පැමිණීම ආකර්ශනීය වුනේම මේ හේතුව නිසා.

ආණ්ඩුවේ ඇඟිලි ගැසීම් අඩු වුනා කියා රටක් අයාලේ යන්නේ නැහැ. ආර්ථිකය වැටෙන්නේද නැහැ. බොහෝ විට ඔය දේවල් වෙන්නේ ටික දෙනෙකු එකතු වී පවතින ක්‍රමය වඩා හොඳින් ප්‍රතිනිර්මාණය කරන්නට යන විටයි.

මා මේ වියුණුව ආරම්භ කළේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති  වී මාස ගණනකට පසුවයි. ඒ දවස් වල ආණ්ඩුවට ඕනෑ තරම් යාළුවන් හිටියා. ඒ අය ආණ්ඩුව විසින් කළ හොඳ වැඩ ගැන කතා කළ නිසා අපට ආණ්ඩුවේ හොඳ වැඩ අගය කරන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ආණ්ඩුව වැරදි පාරවල් වල යන විට වෙනත් අය ඒ ගැන කතා කර නැති අවස්ථා වලදී අප පෙන්වා දුන්නා. පරණ ආණ්ඩුවට වැරදි පටවන අවස්ථා වලදීත් අප ඒ බව පෙන්වා දුන්නා. එහෙත්, පරණ ආණ්ඩුවේ වැරදි අප වැඩිපුර කතා කළේ නැහැ. අප අතීතයේ සිදු වූ වැරදි ගැන කතා කරන්නේ ඒ වැරදි වලින් ඉගෙන ගෙන වර්තමානය නිවැරදි කර ගන්නට අවස්ථාවක් ඇති විටයි. ඒ නිසා, ගෙදර ගිය ආණ්ඩුවක් බලයේ සිටිද්දී කළ දේ විවේචනය කිරීමේ වැඩි තේරුමක් තිබුණේ නැහැ.

වැඩි කල් නොයා යහපාලන ආණ්ඩුවට යාළුවන් නැති වී ගියා. ඉන් පසුව, යහපාලන ආණ්ඩුව අසාධාරණ සේ විවේචනයට ලක් වන විට අප නියම තත්ත්වය පැහැදිලි කළා. එක් එක් අය එය දකින්නේ තමන්ගේ දැනුම් සීමාවන් තුළයි. එක් ආගමික මතයක  සිරකරුවකු වී සිටින අයෙකු වෙනත් අයව දකින්නේ වෙනත් ආගමික මතයක සිරකරුවකු ලෙසයි. එක් වර්ගයක ජාතිවාදීයෙකු  වෙනත් අයව දකින්නේ වෙනත් වර්ගයක ජාතිවාදීයෙකු ලෙසයි. දේශපාලන පක්ෂයක රාමුව ඇතුළේ හිර වී සිටින අය අනෙක් අය දකින්නේ වෙනත් පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටින අය ලෙසයි. ඒ ගැන අපට කරන්න දෙයක් නැහැ.

යහපාලන ආණ්ඩුව නිසා රට බෙදෙනවා කියන එක දිගින් දිගටම කියැවුණු කතාවක්. උවමනාවක් තිබුණත් බලය බෙදීමක් වැනි දෙයක් කිරීමේ හැකියාවක් යහපාලන ආණ්ඩුවට තිබුණේ නැහැ. එවැන්නක් කිරීමේ හැකියාව තිබෙන්නේ සිංහල බහුතරයකගේ විශ්වාසය දිනා සිටින ආණ්ඩුවකට පමණයි.

යහපාලන ආණ්ඩුව කාලයේ රටේ ආර්ථික වර්ධනය ටිකින් ටික අඩු වුනා. අමුතු කතාවක් වගේ පෙනෙන්න පුළුවන් වුවත් මෙය තමයි යහපාලන ආණ්ඩුව විසින් කළ සුවිශේෂී කාර්යය. ක්රෑෂ් වෙන්න යන ආර්ථිකයක් ක්රෑෂ් වෙන එක වලක්වා සොෆ්ට් ලෑන්ඩින් එකක් කරන එක, ටේක් ඕෆ් එකක් හරියට කරනවාට වඩා අමාරු දෙයක්. රාජපක්ෂ ආණ්ඩුවේ සිටි අයගේ ආර්ථික විද්‍යා දැනුමේ අඩුවක් නොතිබුණත් පැවති දේශපාලනික තත්ත්වය අනුව රාජපක්ෂ ආණ්ඩුව යටතේ මේ සොෆ්ට් ලෑන්ඩින් එක කීයටවත් මේ ආකාරයට සිදු වෙන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂට කෝච්චියට නැග ගන්න පුළුවන් වෙන්න කෝච්චිය නැවතුනේ රනිල් කෝච්චියට බෙල්ල තියපු නිසයි.

වෙන්න යන දේ රාජපක්ෂ ආණ්ඩුව දැන සිටියා. කරන්න අවශ්‍ය පිළියමුත් දැනගෙන සිටියා. ඒත් අවශ්‍ය පිළියම් කළානම් සිදුවන දේශපාලන හානියට මුහුණ දෙන්න ඔවුන් සූදානම්ව සිටියේ නැහැ. යම් හෙයකින් 2015 ජනවාරියේදී තෙවන වරට මහින්ද රාජපක්ෂ දිනුවානම්, ඒ ආණ්ඩුවට ගෙවුම් ශේෂ අර්බුදයකට ඉතා ඉක්මණින් මුහුණ දෙන්න වෙනවා. රාජපක්ෂ ආණ්ඩුව හිටියේ අර්බුදයට පිළියම් යොදනවා වෙනුවට අර්බුදයට රට සූදානම් කරන මානසිකත්වයකයි. විදුලි පුටු කතා හරහා කළේ ඒකයි. රාජපක්ෂ ආණ්ඩුව අන්තිම කාලයේ ක්‍රියා කළ ආකාරය අනුව පෙනුනේ බටහිර රටවලින් සම්බාධකයක් වැටෙන තුරු මග බලාගෙන සිටි බවකුයි.

ලොකු ආර්ථික අර්බුද ලංකාවට පුරුදු නැහැ. ලංකාවේ ආර්ථිකය සංකෝචනය වී තිබෙන්නේ එකම එක වරක් පමණයි. ඒත් යාන්තමින්. පහුගිය අවුරුදු හතරේත් එක දිගටම ආර්ථිකය වර්ධනය වුනා මිස ආර්ථිකය හැකිළී නැහැ. ගෙවුම් ශේෂ අර්බුදයක් නිසා එක වරම ආර්ථිකයේ ප්‍රමාණය සීයට විස්සකින් විසිපහකින් කුඩා වෙන්න පුළුවන්. ඇතැම් සිස්ටම් චේන්ජ් කණ්ඩායම් උකුස්සන් වගේ බලා ඉන්නේ එවැනි තැනකට රට වැටෙන තුරුයි. ලංකාවට බටහිර සම්බාධකයක් වැටුනානම් එය බර පැටවූ බූරුවාගේ කොන්ද කඩන අන්තිම පිදුරු ගහ වෙනවා. ඒ නිසා, බූරුවාගේ කොන්ද කැඩුනේ ඒ පිදුරු ගහ නිසා බව මිනිස්සුන්ට කියන්න රාජපක්ෂ ආණ්ඩුවට හැකි වෙනවා.

යහපාලන ආණ්ඩුව බෙල්ල තියන්නේ දුවන කෝච්චියකට බව රාජපක්ෂලා දැන සිටියා. ඒ වගේම, රනිල්ලාත් දැන සිටියා. නමුත්, රාජපක්ෂලා වගේම රනිල්ලාත් ඒ බව සඟවමින් මිනිස්සුන්ට බොරු බලාපොරොත්තු දුන්නා. ආර්ථිකය ප්‍රසාරණය කරන ආකාරය ගැන රනිල්ලා කතා කළේ කිසිදු ප්‍රායෝගික සැලැස්මක් නැතුවයි. රාජපක්ෂලාගේ හොරකම් හා දූෂණ නැවැත්වූ පසු ඒ සල්ලි වලින් ආර්ථිකය ගොඩ දැමිය හැකි බව ඇතැම් අය කිවුවා. මේ වගේ බොරු යහපාලන ආණ්ඩුවට පාරාවළල්ලක් වුනා. කොහොම වුනත් යහපාලන ආණ්ඩුවේ ඓතිහාසික කාර්ය භාරය දැන් ඉවරයි. ජවිපෙත් එකතු කරගෙන නැවත වරක් ශක්තිමත් පොදු අපේක්ෂයෙක් දමලා යම් හෙයකින් ගෝඨාභයව පැරැද්දුවා වුනත් ඉන් පස්සේ නැවත වැටෙන්නේ 2015 ජනවාරියේදී හිටපු තැනටමයි.

යහපාලන ආණ්ඩුව ක්රෑෂ් ලෑන්ඩින් එකක් වැලැක්වුවත් එතැනින් එහාට ලොකු මැජික් එකක් කරලා නැහැ. ඒ නිසා, පොඩි කුෂන් එකක් තිබුණත් අලුත් ආණ්ඩුවට හිතේ හැටියට පිස්සු කෙළින්න පුළුවන් කමක් නැහැ. එහෙම පිස්සු කෙළියි කියා මම හිතන්නෙත් නැහැ.

(Image: http://www.dailynews.lk/2016/09/09/features/92736)

3 comments:

  1. රනිල්ගේ ආණ්ඩුව ආර්තිකයේ ක්‍රෑශ් ලැන්ඩින් එක බ්‍රේක් කරලා කුශන් කලා කිව්වම , රනිල්ගේ වැඩ බැරියාව කවර් කලා කියලා හිතනවා නම් ඒක මුලාවක්.

    උදාහරනයක් විදිහට රනිල් මුල් කාලේ නිතරම් කියපු දෙයක් තමයි, මේ රටේ ව්‍යාවසායික අවස්ථා වැඩි කිරීමට, ආන්ඩුවේ තිබ්බ රේඩ් ටේප් බැරියර්ස් අයින් කරලා, සින්ගල් කවුන්ටර් සර්විස් එකෙන් වැඩේ ඉටු කරනවයි කියලා..ඒත් ඒවා වචන විතරයි..මේවගේ දෙයක් කරන්න සල්ලි ඕනේ නෑ...ඕනේ උවමනාව විතරයි...

    ඊට පස්සෙ රනිල්ගෙ අය වැය යෝජනා..ඒවයේ කිසිම ඒකමිතියක් තිබ්බෙ නෑ...එක අවුරුද්දක අයවැය යෝජනා වලට හාත්පසින් වෙනස් යෝජනා ඊලග එකෙන්...

    මේවා රටට සල්ලි නැති හින්දා වෙච්ච් දේවල් නෙමෙයි..නිසි දැක්මක් නැති, නිසි වැඩ පිලිවෙලක් නැති කම නිසා සිද්දවෙච්චි දේවල්...

    ඒ හින්දා මට නම් රනිල් වැඩ බැරියෙක් කිව්වම ඒකේ කිසි වැරැද්දක් පෙන්නෑ...

    ReplyDelete
  2. ඉදිරියේදි ගෙවන්න නියමිත විශාල ණය වාරිකය, ආණ්ඩුවට, රටට මොන වගේ බලපෑමක් කරනු ඇද්ද?

    ReplyDelete
    Replies
    1. ලබන අවුරුද්දේ මුල් මාස නවය ඇතුළත ඩොලර් බිලියන 4ක් පමණ (ඩොලර් මිලියන 3,983.79ක්) පොලී (ඩොලර් මිලියන 1,330.53ක්) හා ණය වාරික (ඩොලර් මිලියන 2,653.27ක්) ලෙස ගෙවන්න තියෙනවා. පහුගිය අවුරුදු වලත් ඔය වගේ ලොකු ගෙවීම් කළ යුතු කාල තිබුණා. කලින් කළා වගේම අලුත් ණය අරගෙන පරණ ණය ගෙවයි. ඊට වඩා අමුතු, විශේෂ දෙයක් වෙන එකක් නැහැ. තිබෙන ණය තවත් කොපමණ වැඩි වෙනවාද කියන එක තීරණය වෙන්නේ අලුත් ණය ගන්නේ කොහොමද (කවර පොලී අනුපාතික යටතේද) කියන එක මතයි. උඩ තිබෙන සංඛ්‍යා දෙක දෙස බැලූ විටම ලංකාවේ ණය අර්බුදයේ ස්වභාවය පැහැදිලි වෙනවා. දැන් ඔය බිලියන 4 ගෙවන්න තව බිලියන 4ක් ණය ගත්තා කියමු. කොහොමටත් කරන්න වෙන්නේ ඒකනේ. මේ මුදල වෙන දෙයකට වියදම් නොකළත් ගෙවන්න වෙන්නේ ණය වාරික ලෙස බිලියන 2.65ක් පමණයි. ඉතිරි ටික පොලිය. ඉන් පසුව, තිබුණු ඩොලර් බිලියන 2.65ක ණය ප්‍රමාණය ඩොලර් බිලියන 4ක ණයක් බවට පත් වී පොලී වියදම තවත් ඉහළ යනවා. පහුගිය කාලයේ රජයේ වියදම් කොපමණ අඩු කළත් ණය තව තවත් ඉහළ ගියේ මේ හේතුව නිසයි. අමාරුවෙන් ඉතුරු කරගෙන මිලියන 500ක් අතින් ගෙවුවා කියමු. ඒත් තව බිලියන 3.5ක් ණය ගන්න වෙනවා. ඒ වගේම, තිබෙන ණය ප්‍රමාණය වැඩි වෙනවා. ඒ ඩොලර් මිලියන 500ක් කොහොම හරි ඉතුරු කර ගත්තොත්. නමුත්, ඒකත් ඉතා අසීරු වැඩක්. රජයේ වියදම් තව වැඩි වුනොත් වෙන්නේ තිබෙන ණය හා පොලී ගෙවනවාට අමතරව ඒ වියදම් වෙනුවෙනුත් තව ණය ගන්න වෙන එකයි.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.