Friday, November 29, 2019

ණය හා විනය

අලුත් ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව, මූලික වටයේදීම ගන්නා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගයක් ලෙස රජයේ බදු ප්‍රතිපත්ති ලිහිල් කරන බව නිවේදනය කර තිබෙනවා. මෙය අලුත් ආණ්ඩුවේ ආර්ථික උපාය මාර්ගයේ කොටසක් සේ හිතනවාට වඩා දේශපාලනික උපාය මාර්ගයක් සේ සැලකීම වඩා නිවැරදියි. බදු ප්‍රතිපත්තිය හරහා අපේක්ෂා කර තිබෙන්නේ ඉදිරි මහ මැතිවරණයේදී දේශපාලන වාසියක් ගැනීමයි. ඒ නිසා, මහ මැතිවරණයෙන් පසුව ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරනු ඇතැයි සිතිය හැකි ආර්ථික උපාය මාර්ග ගැන මේ ක්‍රියාමාර්ගය දෙස පමණක් බලා පුරෝකථනය කළ නොහැකියි.

මේ අයුරින්ම යහපාලන ආණ්ඩුව පිහිටවූ වහාම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විශාල ලෙස ඉහළ දැම්මා. ඒ හේතුව නිසා රාජ්‍ය වියදම් විශාල ලෙස ඉහළ ගියා. එහෙත්, 2015 අගෝස්තු මහ මැතිවරණයෙන් පසුව යහපාලන ආණ්ඩුව විසින් දිගින් දිගටම මහන්සි දැරුවේ රාජ්‍ය වියදම් අඩු කිරීම හා රාජ්‍ය ආදායම් ඉහළ දමා ගැනීම සඳහායි. මේ කාර්යයේදී පසුගිය ආණ්ඩුව විසින් නිදහසින් පසු ලංකාවේ කිසිදු ආණ්ඩුවක් විසින් නොපෙන්වූ තරමේ දැඩි මූල්‍ය විනයක් පෙන්නුම් කළා.

පසුගිය ආණ්ඩුව එසේ කටයුතු කළේ එය දේශපාලන සිය දිවි හානි කර ගැනීමක්ව තිබියදීයි. ඇතැම් විට සුළු ජාතික ඡන්ද වලින් ඉදිරි මැතිවරණ ජය ගත හැකි වනු ඇතැයි යන මිථ්‍යාවේ ගැලී සිටි නිසා ඔවුන් බය නැතුව මේ වැඩේට අත ගැහුවා විය හැකියි. එසේ නැත්නම්, වෙන කළ හැකි දෙයක් නැති වූ නිසා වියදම් සීමා කළා වෙන්නත් පුළුවන්. හේතුව කුමක් වුවත්, පසුගිය වසර හතර ආණ්ඩුවේ ආදායම් වියදම් පරතරය ඉතා විශාල ලෙස අඩු කර ගනිමින් ලංකාවේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය නැවත නියම මාර්ගයට දමා ගත් සුවිශේෂී කාල පරිච්ඡේදයක්. ඒ වෙනුවෙන්, පසුගිය ආණ්ඩුවට විශාල ගෞරවයක් හිමි විය යුතුයි.

දැන් ආණ්ඩුව වෙනස් වී තිබෙනවා. මහ මැතිවරණය අවසන් වන තුරු මේ ආණ්ඩුවෙන් නිවැරදි ආර්ථික වැඩ පිළිවෙලක් අපේක්ෂා කරන්න බැහැ. එහෙත්, මහ මැතිවරණයෙන් පසුව මේ ආණ්ඩුවට නැවත රටේ ආර්ථිකය විනාශ මුඛයට යොමු නොකෙරෙන ආර්ථික වැඩ පිළිවෙලක් ගැන හිතන්නට වෙනවා. අලුත් ආණ්ඩුව මෙහෙයවන්නේ, බොහෝ දුරටම, පසුගිය රාජපක්ෂ ආණ්ඩුව මෙහෙයවූ අයම වුවත් මේ ආණ්ඩුව රාජපක්ෂ දශකයේ කටයුතු කළ ආකාරයෙන් වෙනස්ව කටයුතු කරන්න සූදානම්ව සිටින බව ප්‍රදර්ශනය කරමින් සිටිනවා. මේ තත්ත්වය දිගටම පවතීද නැද්ද යන්න ගැන සහතිකයක් නැතත් අශුභවාදී වීමට තවම කල් වැඩියි.

රාජපක්ෂ පවුලේ සාමාජිකයින් ගණනාවක් අලුත් ආණ්ඩුවේ සිටියත් ඔවුන් අතර ආර්ථික විද්‍යා දැනුමක් ඇති අයෙකු නැතිවීම අඩුවක්. ඒ නිසා, ඔවුන්ට ඔවුන්ගේ කඳවුරේ සිටින වෙනත් අය කෙරෙහි විශ්වාසය තියන්න වෙනවා. පසුගිය රාජපක්ෂ දශකයේදී ලංකාවේ ආර්ථිකය විශාල අර්බුදයක් කරා තල්ලු කළේත් මේ කණ්ඩායමේ අයම වීම ප්‍රශ්නයක්. ඒ නිසා, නැවත පැරණි පාරටම වැටෙන්න තිබෙන ඉඩකඩ බැහැර කරන්නත් බැහැ. කොහොම වුනත් මේ සියලු කරුණු ගැන අප මෙහි සාකච්ඡා කරන්නේ නැහැ. හැම දෙයක්ම එකවර කතා කළොත් කොහොමටත් කියවන අයට බර වැඩි වෙයි. ඒ නිසා, දැනට එක් සරල කරුණකට පමණක් අවධානය යොමු කරමු.

අපගේ පෙර ලිපිය ආර්ථිකය ගැන කතා කළ එකක් නොවූවත් කිහිප දෙනෙකු විසින් රටේ ආර්ථිකය හා අදාළ කරුණු ගණනාවක් ගැන කතා කරමින් ප්‍රතිචාර දමා තිබුණා. මේ එක් ප්‍රතිචාරයක තෝරාගත් කොටස් දෙකක්.

"පහුගිය කාලේ රජයේ ආදායම් වලට සාපේක්ෂව වියදම් සෑහෙන්න වැඩිවුණා."

"එහෙනම් 2016-2019 ගහපු බදු ගැහිල්ලට අය වැය පරතරය පට්ට විදියට අඩුවෙලා තියෙන්න ඕනෙ.. ඒ වෙනුවට පරතරය තව තව වැඩි වෙලා තියෙන්නේ කියලා නම් පේනවා."

මේ කරුණු සඳහන් කළ පාඨකයා විසින් ලියා තිබෙන්නේ ඔහු හෝ ඇය ඇත්තටම සිතා සිටින දෙය විය හැකියි. ඒ වගේම, මෙය කියවන බොහෝ දෙනෙක් මෙන්ම මෙය නොකියවන රටේ සිටින බොහෝ දෙනෙක්ද මෙසේ සිතා සිටිනවා විය හැකියි.

පසුගිය කාලය රජයේ ආදායම් වලට සාපේක්ෂව වියදම් අඩු වූ කාලයක්. එවැනි කාලයක් ලංකා ඉතිහාසයේ මෑතකදී තිබුණේම නැහැ. 1956 සිට 2016 දක්වාම ලංකාවේ රජයේ ප්‍රාථමික අයවැය ශේෂය ධන අතට හැරුණේ එකම එක වසරකදී පමණයි. ඒත් යාන්තමින්. එහෙත්, 2017 හා 2018 වසර වලදී ප්‍රාථමික ශේෂය ධන අතට හැරවීමට පසුගිය ආණ්ඩුව සමත් වුණා. අප පසුගිය ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටි හා පෙනී සිටින ප්‍රධානම හේතු අතරින් එකක් වන්නේ මේ වෙනසයි. පසුගිය ආණ්ඩුව විසින් කළ කැප කිරීම් නිසා මේ තත්ත්වය දිගටම පවත්වා ගැනීම දැන් ගොඩක් අමාරු දෙයක් නෙමෙයි. විය යුත්තේද එයයි.


ප්‍රාථමික අයවැය ශේෂය කියා කියන්නේ කුමක්ද?

ප්‍රාථමික අයවැය ශේෂය කියා කියන්නේ රජයේ සමස්ත ආදායම් හා වෙනත් ලැබීම් වලින් පොලී වියදම් හැර අනෙකුත් වියදම් අඩු කළ විට ඉතිරි වන මුදලයි. සමස්ත අයවැය ශේෂය කියා කියන්නේ මේ ඉතිරි මුදලින් පොලී වියදම්ද ගෙවූ පසු ඉතිරි වන මුදලයි. පොලී වියදම් කියා කියන්නේ පෙර වසර වලදී ලබාගත් ණය වෙනුවෙන් දැරිය යුතු වියදමක්. කිසියම් වසරක රජයේ වියදම් අඩු කළා කියා එම වසරේදීම මේ පොලී වියදම් අඩු වෙන්නේ නැහැ.

ප්‍රාථමික අයවැය ශේෂය සෘණ අගයක් ගන්නවා කියා කියන්නේ එම වසරේ රජයේ ආදායම් වලට වඩා වියදම් වැඩි බවයි. එසේනම්, ඒ අඩුව පුරවන්න වෙන්නේ ණය අරගෙනයි. ඊට අමතරව පරණ ණය වෙනුවෙන් පොලී ගෙවන්නත් ණය ගන්න වෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රාථමික ශේෂය සෘණ අගයක පවත්වා ගන්නා සෑම වසරකදීම රජයේ ණය ප්‍රමාණය ඉහළ යනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඉදිරි වසර වලදී ගෙවිය යුතු පොලී වියදමද එන්න එන්නම වැඩි වෙනවා. 1956 සිටම වුනේ මෙයයි. මේ චක්‍රයෙන් මිදෙන්නනම් අනිවාර්යයෙන්ම රජයේ ප්‍රාථමික අයවැය ශේෂය ධන අගයක පවත්වා ගන්න වෙනවා.

කාලයක් තිස්සේ සෘණ මට්ටමක තිබෙන ප්‍රාථමික අයවැය ශේෂය ධන අගයක් කළ හැක්කේ කොහොමද? ඒ සඳහා, එක්කෝ රජයේ ආදායම් වැඩි කරගත යුතුයි. නැත්නම් වියදම් අඩු කළ යුතුයි. පසුගිය ආණ්ඩුව සෑහෙන පමණකින් ඔය කටයුතු දෙකම කළා.

පොලී වියදම් හැරුණු විට ලංකාවේ ආණ්ඩුවේ පුනරාවර්තන වියදම් වලින් විශාල කොටසක් වැය වන්නේ රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වෙනුවෙන් හා තෝරාගත් කණ්ඩායම් වෙනුවෙන් ලබා දෙන සීමිත සහනාධාර වෙනුවෙනුයි. රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප්  වියදම් ක්ෂණිකව අඩු කිරීමේ හැකියාවක් නැහැ. කළ හැක්කේ මේ වියදම් තවත් වැඩි නොකර සිටීම පමණයි. ලංකාවේ රජය විසින් දැනට ලබා දෙන සහනාධාර කපන එකත් ප්‍රායෝගිකව කළ නොහැකි දෙයක්. ඒ නිසා, පසුගිය ආණ්ඩුව විසින් දිගින් දිගටම කළේ රජයේ ප්‍රාග්ධන වියදම් අඩු කරන එකයි. බොහෝ දෙනෙක් රාජපක්ෂ කාලයේදී මෙන් රටේ සංවර්ධනයක් සිදු නොවන බවක් දැක්කේත්, ආර්ථික වර්ධන වේගය අඩු වුනේත් මේ ප්‍රාග්ධන වියදම් කප්පාදුව නිසයි.

රජයකට ආදායම් ඉපැයිය හැකි ප්‍රධානම ආකාරය බදු ගැසීමයි. පසුගිය ආණ්ඩුවේ බදු ගැහීම ගැන කවුරුත් දන්න නිසා තවත් අමුතුවෙන් කිව යුතු නැහැනේ. ප්‍රාථමික අයවැය ශේෂය ධන අගයක් බවට පත් කර ගැනීමට පසුගිය ආණ්ඩුවට හැකි වුනේ මේ ආකාරයට බදු ඉහළ දමා ආදායම් වැඩි කර ගැනීමත්, ප්‍රාග්ධන වියදම් අඩු කිරීමත් යන දෙකම කළ නිසයි. මේ දේවල් කළේ ඇයි කියන එක ගැන රටේ ජනතාව නිසියාකාරව දැනුවත් කිරීමට පහුගිය ආණ්ඩුව සමත් නොවූ නිසා බොහෝ දෙනෙකු දකින්නේ ආණ්ඩුව බදු වැඩි කළත් කළ දෙයක් නැති බවයි.

පසුගිය ආණ්ඩුවේ සමහර අය කිවුවේ රාජපක්ෂලා ගත් ණය ගෙවීමට බදු වැඩි කරන්න සිදු වී තිබුණු බවයි. මේ කතාව එක්ක නිරායාසයෙන්ම මතු වෙන ප්‍රශ්නයක් වන්නේ බදු ගැහුවේ රාජපක්ෂ ණය ගෙවන්නනම් යහපාලන ආණ්ඩුව පැවති කාලයේදී ණය අඩු නොවුනේ ඇයි කියන එකයි. යහපාලන ආණ්ඩුවට ඒ ප්‍රශ්නයට පිළිතුරක් දෙන්න පුළුවන්කමක් තිබුණේ නැහැ.

යහපාලන ආණ්ඩුව බලයට පත් වූ වහාම දේශපාලන උපාය මාර්ගයක් ලෙස රාජ්‍ය සේවක වැටුප් විශාල සේ වැඩි කළ බවත් කවුරුත් දන්නා දෙයක්. එහි ප්‍රතිඵලයක් ලෙස 2015 වසරේදී රජයේ ප්‍රාථමික අයවැය ශේෂය පෙර නොවූ විරූ තරම් (නාමික රුපියල් අගය අනුව) ඉහළ ගියා. එසේ වුවත්, ඉන් පසුව එම ආණ්ඩුව රජයේ ආදායම් වියදම් නිසි සේ කළමනාකරණය කළා. පසුගිය 2018 වසරේදී රජය ඉපැයූ ආදායමෙන් රුපියල් මිලියන 91,421ක් ඉතිරි කළා.

ලංකාව හිර වී සිටින ණය උගුලෙන් ගොඩ යාමටනම් ධන ප්‍රාථමික ශේෂයක් පවත්වා ගැනීම අනිවාර්ය අවශ්‍යතාවයක්. එහෙත්, එය කිසිසේත්ම ප්‍රමාණවත් අවශ්‍යතාවයක් නෙමෙයි. ප්‍රාථමික ශේෂය ධන අගයක් වුවත්, එම ශේෂය පැරණි ණය වල පොලී ගෙවීමට ප්‍රමාණවත් නැත්නම්, පොලී ගෙවන්න තවත් ණය ගන්න වෙනවා. එවිට රටේ ණය ඉහළ යනවා. රටේ ණය ඉහළ ගිය විට ඉදිරි වසර වල පොලී වියදම් තවත් ඉහළ යනවා.

ඉතා අසීරුවෙන් ප්‍රාථමික ශේෂය ධන අගයක් කර ගෙන තිබුණත්, එම ශේෂය තවමත් රටේ වාර්ෂික පොලී වියදමට වඩා ගොඩක් වැඩියි. පසුගිය වසරේ රටේ වාර්ෂික පොලී වියදම රුපියල් මිලියන 852,190ක්. ඒ නිසා, සමස්ත අයවැය ශේෂය තවමත් හිඟයක්. මේ හිඟය පියවන්න අලුත් ණය අවශ්‍ය වූ නිසා පසුගිය සිවු වසර තුළත් වසරින් වසර රටේ ණය බර වැඩි වුනා. තිබෙන ණය ආපසු ගෙවීම පැත්තකින් තිබ්බත්, ණය තවත් වැඩි කර නොගැනීමටනම් වාර්ෂිකව පොලී වියදම් ගෙවීමට ප්‍රමාණවත් තරම් ප්‍රාථමික ශේෂයක් ඉතිරි කර ගත යුතුයි. ඒ කියන්නේ සමස්ත අයවැය ශේෂය ධන අගයක් විය යුතුයි.

පසුගිය ආණ්ඩුවේ සැලැස්ම වූයේ ඉදිරි වසර කිහිපය තුළදී මේ ඉලක්කය කරා යාමයි. රටේ ආර්ථික ස්ථාවරත්වය ගැන හිතනවානම් අලුත් ආණ්ඩුවටත් මෙවැනි ඉලක්කයක් තබා ගන්න වෙනවා. ඒ වගේම, ඒ ඉලක්කය කරා යා හැකි මූල්‍ය විනයක්ද අවශ්‍ය වෙනවා.

එවැනි මූල්‍ය විනයක් පවත්වා ගත්තත් මෙය පහසු වැඩක් නෙමෙයි. යහපාලන ආණ්ඩුව විසින් කළ සියලු දේවල් වලින් පසුවත් 2018 වසරේ ගෙවිය යුතු වූ ණය පොලිය එම වසරේ රජයේ සමස්ත ආදායම් හා ලැබීම් වලින් 44%ක්. ඉතිරි කරගත් ප්‍රාථමික ශේෂය ආදායම් හා ලැබීම් වලින් 5%ක් පමණයි. ප්‍රාථමික ශේෂය ධන වුවත්, මේ වෙනස රටේ ණය තොගයට අලුතින් එකතු වන නිසා 2019දී රජය විසින් ගෙවිය යුතු පොලී වියදම තවත් ඉහළ යනවා. ණය දිගින් දිගටම ඉහළ යාම නවත්වා ගන්නනම් ආදායමෙන් 44%කට වඩා ඉතිරි කරන්න වෙනවා. එය වසර පහ හයකින් ළඟා කර ගත හැකි ඉලක්කයක් නොවන නිසා මොන තරම් හොඳ මූල්‍ය විනයක් තිබුණත් තවත් වසර ගණනාවක් යන තුරු රටේ ණය බර එන්න එන්නම වැඩි වෙන එක වුනත් නවත්වා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා, ප්‍රාථමික ශේෂය කෙසේ හෝ ටිකෙන් ටික ඉහළ නංවා ගන්න එක අලුත් ආණ්ඩුවට කරන්නම වෙන දෙයක්.

8 comments:

  1. මහත්තයා ශ්‍රී ලංකා මහා බැංකුවේ පියන් කෙනක්ද?

    ReplyDelete
  2. මේ ආන්ඩුව කියන්නෙ බදුඅඩු කර ගත්තත් රජයේ ආදායම වැඩි කර ගන්න වෙන විකල්ප තියෙනවා කියලා......එයින් ප්‍රධානම කාරනය බදු නොවෙන අදායම වැඩි කර ගැනීම මගින් රජයේ ආදායම වැඩි කර ගන්නව කියලා.
    මේ කාරණය ගැන මේ ලිපියේ සදහනක් වෙන්නේ නෑ......

    ReplyDelete
  3. රනිල්ගේ ආන්ඩුව බලයට ආවේ රක්ශා ලක්ශ 10 ක් අළුතින් නිර්මානය කරනවා කියලා පොරොන්දු දෙමින්...ඒත් ඒ වෙනුවට සිද්ධ උනේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා , මධ්‍යම පාංතියේ ව්‍යාපාර කඩා වැටී, තිබ්බ ‍රැකියා අවස්ථාවනුත් නැතී උන එක.

    අනිත් එක රනිල් කරපු මහ බැංකු හොරකම හින්දා රාජ්‍ය ආයතන කීපයක් අමාරුවෙ වැ‍ටුනා. උදාහරනයක් ලෙස ඊපීඑෆ් එක 2018 දී කොටස් වෙලද පොලෙන් අයින් වෙන්න සිද්ධ උනා. ඒ සමගම වෙලදපල ක්‍රියාකාරමක් වල අඩුවක් වෙන්න, ඉකොන් කියන විදිහට නම් ආර්ථික බ්‍රේක් ගස්සන්න, මේවා හේතු උනා.
    සිංගප්පුරූ ටම්සෙක් මොඩල් එකේ අයෝජන ඊපීඑෆ් / ඊටීඑෆ් දාලා කරනවා කිව්ව..අන්තිමට කරපු රෙද්දක් නෑ...අර වොක්ස්වැගන් ව්‍යාපෘතිය වගේ බෝරුවක්

    රනිල් රාජ්‍ය බැංකු මුදල් අමාත්‍යාංශයෙන් වෙන් කරලා ඒවාට බලපෑම කලා. බොන්ඩ් කේස් එකේදී එන් එස් බී එකට බලපෑම් කලා ඇලෝශියස් ට සල්ල්ලි දෙන්න..මේවා නිදහස් වෙලද පොල මත සිද්ද උන ගණුදෙණු වලට වඩා යටි කූට්ටි වැඩ. Hඇබැයි මට මතකයි ඉකෝන් මේ ගනුදෙණුවත් සධාරණිකරනය කරලා ඒ කාලේ පෝස්ට් දෑම්මා.

    අනිත් එක යූඑන්පී ආර්ථික ප්‍රතිපත්ති වල වැරදි නිසා අන්තර්ජාතිකව පිලිගත් ඹූඩී රේටින් වෙලෛන් ලංකාව තවත් පහලට බැස්සා..ඔය කියන තරම රනිල් ආර්ථිකය කලමණාකරණය කලා නම් එහෙම රේටීන් වැටෙන්න විදිහක් නෑ..

    එවගේම රනීල් බලයට ආපු ගමන් කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ඒ වෙන කොට සිදුකරමින් පැවති මහා පරිමාණ ව්‍යාපෘති නැවැත්තුවා..පෝට් සිටි එක උදාහරනයක්...අනිතිමට පච වෙලා ඒ ව්‍යාපෘති නැවත ආරම්බ කලා...හැබැයි ඒ වෙනුවට ලොකු ක්ලේම් එකක් චීන සමාගමට ගෙවන්න සිද්ධ උනා....මේව මහ මෝඩ වැඩ..

    රසීන් සාලී ඉස්සරාට දාගෙන රනිල් ගෙනපු ආර්ථික කමි‍ටුව වැඩ බැරි දාස එකක් උනා...

    ReplyDelete
    Replies
    1. අනේ රනිල් කරලා තියෙන වැරදි ගොඩ.... නොකළ එකම වැරැද්ද රාජපක්ෂලට රැකවරණය දුන් එක. අනේ mayya නොදුටු මොක් පුර !

      Delete
  4. මොකා රජ උනත් 2020දි ලංකාව දුවවන්න නම් ණය හෝ ප්‍රධාන ලෙස ඩොලර් මිලියන 2000ක් වත් ඕන වෙනවලු.
    මෝඩි ගෙන් 400ක්
    MCC එකෙන් 480ක්
    හිඟයි තව 1120 ක්
    පිං කරන මහතුනේ
    තව කවුරුද දෙන්නේ!

    ReplyDelete
  5. පොලොන්නරුවෙ පොඩිවිජේ...වෙඩි නොවදින
    පොඩි විජේ.....කැලේ රජ උනා.....

    ඇන්ටන් ජෝන්ස් ගැයූ මේ ගීය ඒ වකවානුවෙ බොහොම ජනප්‍රිය උනා. අපේ රට හෙල්ලූ බොහෝ සිද්ධීන් අලලා ඔහු ගැයූ ගී ගොඩක් ජනප්‍රිය උනා.

    මම කුඩාම සන්දියෙ පාසැල් ගියේ...පොලොන්නරුව ජයන්තිපුර කියන ගමේ..තිබුනු කනිෂ්ඨ පාසැලකට. ගේ ලගම තිබුනු ජයන්තිපුර කනිටු විදුහල තියෙද්දි කිලෝමීටරයක් විතර ගම ඇතුලෙ තිබුනු පාසැලකට යන්න සිද්ධවුනු කතාවත්..හරි අපූරුයි.ඒත්..ඒ කතාව වෙන දවසකට තියාගනිමු..

    තඹලවැව කනිටු විදුහල..5 පන්තියේ ශිෂ්‍යත්වය සමත්වන තුරු..දිනපතා උදේ සවස මේ දුෂ්කර ක්‍රියාව (ඒ කියන්නෙ කිමි 2 පයින් බඩගාන එක.)...පොලොන්නරුව කොලඹ ප්‍රධාන මාර්ගයේ 22 වෙනි සැතපුම් කනුව අසලින් තඹලවැව පැත්තට වැටී තිබෙන මාර්ගය සුසැදී තිබෙන්නේ ඇල බන්ට් එකක්
    දිගෙයි..

    මේ පාසැලට බොහෝ දුර ඉදල ගිය එකම ලමය මමයි. ඇල බන්ට් එකේ කිමි 1 විතර ගියාම අපේ කුඩා පාසැල පිහිටි ඉසව්වට යන්න වංගුවකින් හැරිල තව අතුරු පාරක් තියෙනව...ඔය හරියෙදි තමයි පාසැලට යන ලමය් එකා දෙන්නා මුනගැහෙන්නෙ පටන් ගන්නෙත්.

    ඔය කියන වංගුවේ..අක්කර 2 රූස්ස අඹ කොස් පොලොස් වලින් වැහිච්ච වත්තක තිබුනු කොලනි ගෙදරක් මට තදින් මතක යේ තියෙනව...

    දැන් මෙය කියවන ඔබ කලබලයට පත්වෙලා...ඇන්ටන් ජෝන්ස් ගෙ පොඩිවිජේ සිංදුවෙන් පටන් ගත්තෙ කියල...එතෙනට එන්නටයි මේ පාර කැපුම.

    අර මහ විශාල අඹ පොල් කොස් වත්ත ඇතුලෙ තිබුනු කුඩා කොලනි ගෙයි අම්ම තාත්ත ඇතුලු දරු මල්ලො 6 දෙනෙක් හිටිය කියලයි මට මතක.ඒ නිවස තමයි පොඩි විජේගෙ මහ ගෙදර.
    හේරත් මුදියන්සේලාගේ විජේරත්න...ඔහු ත් ආවේ තඹලවැව පාසැලටයි. ඔහුගේ වැඩිමල් සහෝදරයා සරණපාල ඔවුන්ගේ පියා ගම්මු ඔහු හැදිවූයේ මඩාටුගම පියදාස කියල..ඔහු හොද ගොවියෙක්..ඔවුන්ගෙ වැඩිමල් දියනිය ජයන්තා...ඉගෙනගත්තෙ මගෙ පංතියේ...
    ඈ දිනක් මට විශේෂ බත් මුලක් ගෙනත් දුන්න.
    සුනුසහල් සමග ඕලු ඇට බතක් මගෙ ජීවිතේට එදා විතරයි එහෙම රස බත් එකක් කෑවේ. අදත් එතරම් රසට හැදූ ඕලු සහල් බතක් කන්න මම ආසයි.
    පොඩි විජේ ලගෙ ගෙදර ගැමි විදියට රසට උයන පිහන අමුතු අමුතු කෑම ජයන්තා මට ගෙනත් දුන්නෙ..හරි කැමැත්තෙන්...
    පොඩි විජේ...පාසැල් ගිය ඒ කුඩාකාලෙ අපි ඔහුට කතා කලේ විජේ අයියා කියල.ඒ කාලෙ පොඩි...කෑල්ල තිබුනෙ නෑ.
    මම ශිෂ්‍යත්වෙ සමත් වෙලා...කැකිරාව මධ්‍ය මහා විද්‍ය්‍යාලයට ගියා.

    යලිත් මම ගමට එද්දි බොහෝ දේවල් වෙනස් වෙලා තිබුනා...සරණපාල ගොවිපලක් දාලා තිබුනා...විජේ..පාසැලෙන් ඉවත් වෙලා..රැකියාවිරහිතයො සමගි කල්ලි ගැසී සිටියා.ජයන්තා පාසැල් අධ්‍යාපනයට සමුදීලා ..තිබුනා..බාල නංගිලා දෙන්නා පමනක් පාසැල් ගියා..ඔවුන්ගේ පවුලේ බාලම පිරිමි දරුවා පැවිදිවෙලා තිබුනා..
    දරුවන් කුඩාකල කැලේ කොලේ අතගාල වුනත් රසමසවුලු ඉවූ..මේ නිවසේ ගෘහපාලිකාවට දැඩිමේනිවුනු මේ සියලු දෙනාගේ කුස ගින්දර නිවීම ගැටලුවක් වී තිබුනා.
    එලැඹ තිබුනේ..සිරිමාවෝ මැතිනියගේ රජයයි..වගා සංග්‍රාමයෙන් රට දිනවන්න එතුමිය ගත් වෑයම අසාර්තක වෙලා ගොවිබිම්වල රැකියා විරහිත තරුනයින් විකල්ප මාවත් හොයන වකවානුවේ සරනපාල..ඔහුගේ නියගයෙන් බැට කෑ ගොවිපල අතෑරලා...විමුක්ති කාමීන් ගේ සංවිධානයට බැදුනා....

    මේ වකවානුවෙ..විජේගේ භූමිකාවත් පරිවර්තනයකට ගොදුරු වුනා... තඹලවැව ඉහත්තාවට ඉහලින් තිබුනු වනාන්තරයේ විජේ ඇතුලු පිරිසක් නීති විරෝධි මත්පැන් නිෂ්පදනයට අතගැහුවා...

    විජේ මුලින්ම පොලිස් අත් අඩංගුවට පත් වන්නේ ඔන්න ඔය නීති විරෝධි මත්පැන් නිෂ්පාදනයේදියි....
    නිතර නිතර පොලිස් අත් අඩංගුවට පත්වීම් හා බන්ධනාගාර ගතවීම් වලදී..විජේ උසස් අධ්‍යාපනය ලැබුවා.....යහපත් දෙයට නොව අයහපත් දෙයට...ඔහු ඇසුරු කලෝද යහපත් මිතුරෝ වුනේ නෑ.

    ඔහු මුදල් හරි හම්බ කරන්නට පටන් ගත්තා..එකක් නොව..කිහිපයක්ම..... හම්බ කිරීමේ මාර්ග ගනනාවක්ම...දිලිදුබවේ අන්තයට වැටී සිටි පවුල සෙමෙන් හිස ඔසවමින් සිටියා.

    ඇලහැර අත්තනකඩවල ග්‍රාමයේ ජීවත්වූ යසවතී විජේගේ හිත හොරා ගත්තේ මේ වකවානුවෙදියි.
    දින වකවානු නැකත් අවැසි නැත මේ විජේගේ බඹරා වැල්ලේ ගැසුවත් කැරකෙන කාලයකි.ඔහු යසවතී ගෙදරට ක්ව්න්දාගෙන ආවේය.

    ReplyDelete
    Replies
    1. අතමිට යහමින් ගැවසුනු...විජේ පොලොන්නරුව කොලඹ මාර්ගයේ 22 හංදියෙන් ඉඩම් කෑල්ලක් මිලදී ගත්ත..එහි නිවසක් තැනූ විජේ නිවස ඉදිරිපස කොටසේ වෙලද සැලක් ද ඉදිකලා.

      එක්තරා ..රාත්‍රියක පහන් වෙද්දී...ජයන්තිපුර ජනපදයම කලබලයට පත්වී තිබුනා..හිගුරක්ගොඩ සිට පොලොන්නරුව බලා පැමිනෙමින් තිබූ සිගරට් වෑන් රිය නැවතූ මුහුන ආවරනය කරගත් කන්ඩායමක් විසින් එහි තිබූ මුදල් මංකොල්ල කා පලාගොස් තිබුන. ඒ රැයේ විජේ තම අලුත් නිවහනට ගෙවදීම නිමිත්තෙන් මිතුරන් උදෙසා සංවිධානය සාදයක විනෝද වෙමිනුයි හිටියෙ.
      මැදියම් රැය තෙක් පැවති සාදය නිසා විජේ පසුුදින මදක් දහවල් වනතුරු නින්දට වැටී සිටියා.

      රට හෙල්ලූ අපරාධකරුව කු වූ පොඩිවිජේගේ කතාව පටන් ගන්නේ එතැන් සිටයි.. සිගරට් වෑන්‍ රථය මංකොල්ල කෑවේ.. පොඩිවිජේ ඇතුලු පිරිසක් විසින් බව පොලීසියට ලැබුනු තොරතුරකට අනුව ඒ ඉරණම් දිනයේ ඔහු පොලිස් අත් අඩංගුවට පත් උනා. පොඩිවිජේ අභිනවයෙන් සැදූ නව නිවහන පිහිටියේ මගේ නිවසේ සිට බැලූ විට ආසන්නයේමය.ඒ කියන සාදයේගී හඩ අපටද මැදියම් රැය තෙක් ඇසුනා මට මතකයි.

      පොඩිවිජේ ගේ ඉරනම් ගමන වෙනස් කල කතාවේ ඉතිරිය..මම ලබන සතියට කල් දමනව..මේ කතාව මා ලියන්නේ මගේ ඇස්පනාපිට දුටු දේවලිනි.එහෙයින් මෙය අභියෝගයට ලක්කල හැක්කේ ඔහුගේ පවුලේ උදවියට පමනක් බව කාරුනිකව සලකන්න.

      Delete
    2. පොඩි විජේගේ ඉකොනොමි එක වර්ධනය වූ හැටි කියන්නද යන්නේ?

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.