Saturday, November 30, 2019

ණයෙන් ණය ගෙවීම

ලංකාවේ රජය ණය ගෙවන්නේ අලුතෙන් ණය අරගෙන බව ගොඩක් අය දන්නා සරල කතාවක්. නමුත්, මේ කතාව ලංකාවේ රජයේ ණය අර්බුදයේ සැබෑ ස්වභාවය පැහැදිලි කිරීමට තරම් ප්‍රමාණවත් කතාවක් නෙමෙයි. ඇත්ත කතාව මීට වඩා ගොඩක් භයංකාර එකක්.

ණයෙන් ණය ගෙවීම ලංකාවට අලුත් දෙයක් නෙමෙයි. එය යහපාලන ආණ්ඩුව හෝ රාජපක්ෂ ආණ්ඩුව කාලයේ පටන් ගත් දෙයක්ද නෙමෙයි. ඒ තියා ජේආර්ගේ කාලයේ පටන් ගත් දෙයක්ද නෙමෙයි. අඩු වශයෙන් 1956 සිටම ලංකාව කළේ අලුත් ණය වලින් පරණ ණය පියවන එකයි. ඊට අමතරව 1992දී හැර 2016 දක්වා සෑම වසරකදීම ලංකාවේ රජය වාර්ෂිකව ඉපැයූ ආදායම් ඉක්මවා වියදම් කළා. ඒ වෙනස පියවා ගත්තේත් ණය වලින් නිසා ණය වසරින් වසර වැඩි වුනා.

පසුගිය 2016 හා 2017 වසර වලදී රජය වැය කළේ ඉපැයූ ආදායමට වඩා අඩු මුදලක්. මේ වසරේ වැය කරන්න ඇස්තමේන්තු කර තිබුණේත් උපයන ආදායමට වඩා අඩු මුදලක්. නමුත්, ඒ විදිහට කිසියම් වසරකදී ආදායමට වඩා අඩුවෙන් වියදම් කළා වුවත්, ඒ හේතුව නිසාම ණය ප්‍රමාණය පහළ යන්නේ නැහැ. ණය අඩු වෙන්නනම්, සියලු වියදම් වලින් පසුව ආදායමෙන් ඉතිරි කර ගන්නා මුදල අඩු වශයෙන් පරණ ණය වල පොලී ගෙවන්න ප්‍රමාණවත් විය යුතුයි.

පසුගිය දෙවසරේදී රජය යම් මුදලක් ඉතිරි කළත් පරණ ණය වෙනුවෙන් පොලී ගෙවන්න තරම් ප්‍රමාණවත් මුදලක් ඉතිරි කළේ නැහැ. ඒ නිසා, පරණ ණය ගෙවන්න වගේම පරණ ණය වල පොලිය ගෙවන්නත් අලුතින් ණය ගන්න වුනා. අලුත් ණය ගන්නේ පරණ ණය ගෙවන්නනම් ණය විශාල ලෙස වැඩි වෙන්නේ කොහොමද කියා කෙනෙකුට අහන්න පුළුවන්. ණය වැඩි වෙන්නේ පරණ ණය වලට අමතරව ඒ ණය වෙනුවෙන් ගෙවිය යුතු පොලිය ගෙවන්නත් අලුත් ණය ගත යුතු නිසයි. 2016 වන තුරුම වුනේ ඕකයි.

පරණ ණය ගෙවන්න අලුත් ණය ගත යුතුයි. පරණ ණය වල පොලිය ගෙවන්නත් අලුත් ණය ගත යුතුයි. ඊට අමතරව කිසියම් වසරක් තුළ රජය ආදායම ඉක්මවා කරන වියදම් පියවන්නත් අලුත් ණය ගත යුතුයි. පරණ ණය ගෙවන්න ගන්න අලුත් ණය නිසා රජයේ ණය ප්‍රමාණය වැඩි නොවුනත්, පරණ ණය වල පොලිය වෙනුවෙන් ගන්නා අලුත් ණය නිසා ණය ප්‍රමාණය ඉහළ යනවා.

කිසියම් වසරක රජයේ ආදායම් හා වියදම් සමානනම්, ඒ කියන්නේ ප්‍රාථමික ශේෂය ශුන්‍යනම්, අලුත් ණය ගන්න වෙන්නේ පරණ ණය වල පොලිය ගෙවන්න පමණයි. ප්‍රාථමික ශේෂය සෘණ අගයක්නම් සමස්ත අයවැය හිඟය ප්‍රාථමික ශේෂය ඉක්මවනවා. ඒ හිඟයට සමානව අලුත් ණය ගන්න වෙනවා. ප්‍රාථමික ශේෂය ධනනම් අයවැය හිඟය ප්‍රාථමික ශේෂයට වඩා අඩුයි. එහෙත්, ප්‍රාථමික ශේෂය වසරේ පොලී වියදමට වඩා අඩුනම් සමස්ත අයවැය ශේෂය හිගයක් නිසා අලුතෙන් ගන්න අවශ්‍ය ණය ප්‍රමාණය පරණ ණය ගෙවන්න අවශ්‍ය මුදලට වඩා වැඩියි. ඒ නිසා ණය වැඩි වන ප්‍රමාණය අඩු වෙනවා මිසක් ණය අඩු වෙන්නේ නැහැ. ණය වැඩි වන විට පොලී වියදමද වැඩි වෙනවා. පසුගිය දෙවසර තුළ සිදු වුනේ එයයි.

පහත රූප සටහනේ කහපාට තීරුවෙන් පෙනෙන්නේ දැනට ලබාගෙන තිබෙන ණය වෙනුවෙන් ගෙවිය යුතු වාර්ෂික පොලී මුදල වසරින් වසර වැල් පොලී වෙමින් ඉහළ යන ආකාරයයි. ප්‍රාථමික ශේෂය ධන අගයක් වුවත් මේ වැල් පොලී වීම නිසා ණය වැඩි වෙනවා. පසුගිය වසර කිහිපයේදී රජයේ ආදායම් විශාල ලෙස වැඩි කරගෙන හා වියදම් විශාල ලෙස කප්පාදු කර තිබියදීත් අයවැය හිඟය අඩු නොවී ස්ථාවර මට්ටමක තිබුණේ මේ ආකාරයට පරණ ණය වල පොලී වියදම් වසරින් වසර ඉහළ ගිය නිසයි. මේ ප්‍රවණතාව ඉදිරි වසර කිහිපයේදී වෙනස් වන එකක් නෙමෙයි.



13 comments:

  1. මේ ඉකොනෝමැට්ටා කියන මිනිහාට නම් හොදටම පිස්සු. උදේ ඉදං රෑ වෙනකං කල්පනා කර කර ඉන්නේ රටේ ණය ගැනයි, එව්වා ගෙවන විදියයි අරකයි මේකයි. අරක්කු ඩිංගක් බිලා, ස්පා එකකට ගිහිල්ලා, කෑල්ලක් රූම් ඇදලා, ජොයින්ට් එකක් එහෙම ගහලා ඉන්නව අයිසේ. තවුසෙ මොකද ණය ගෙවන්නද? තවුසෙ තව අවුරුදු දහයක් පලොහක් ඉදි. ඔකෙවත් විනෝදෙන් ඉන්නවා අයිසේ. මේ යකා මෙලෝ රහක් නැති එකෙක්නි බලං ගියාම. කලාව රසවිදින්න, ස්ත්‍රී සමාගමේ පහස විදින්න, මත්පැන් විඩක් තොල ගාන්න මොකවත් ගැන දන්නේ නෑ. මේ යකාගේ බ්ලොග් එකෙත් පටන් ගත්තු වෙලේ ඉදං ඇඩියාව.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් තමුසෙලා වගේ මිනිස්සු තමයි අපමන අගයක් තියෙන රටකට ඕන. එතකොට ලෙසිනේ රට පාලනයට නේද ?

      Delete
  2. ලංකාවේ මෙවර ජනාධිපතිවරණ සමයේදී මධ්‍යම පාන්තිකයන්, රාජ්‍ය සේවකයන් ආදීන් බොහෝ දෙනෙක් ආර්ථිකය ගැන විශේෂයෙන් කතාකල තත්ත්වය කිසියම් ඉදිරිගාමී පියවරක් හැටියට සලකන්න පුළුවන් නේද ඉකොනොමැට්ටෝ?

    1977 සිට වසර 42-43ක් තිස්සේ භාවිත විවෘත ආර්ථිකය හැටියට හැඳින් වූ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති දැන් තිබෙන්නේ අර්බුදයට ගොසින්, එය අප රටට පමණක් සීමා නොවූ ගෝලීය අර්බුදයක්; ආර්ථික විශ්ලේෂකයන් පවසන පරිදි ලබන පසුගිය අන්ත දූෂිත අකාර්යක්ෂම එක්සත් ජාතික පක්ෂයේ අසාර්ථක අවිධිමත් ආර්ථික පාලනය නිසා 2020 වසර වනවිට දළ ජාතික නිෂ්පාදිතය ගත්කල 2-3% අතර පහළ අඩියකට වැටෙනු ඇත. ලංකාවට අදාළව ගත්විට 2015 දී 5%ක තිබූ ආර්ථික වර්ධන වේගය දැන් තිබෙන්නේ 2%ට වැටී ය. දකුණු ආසියාවේදී ලංකාව ඇෆ්ඝනිස්ථානයෙනුත් පහළට වැටී ඇති බව පසුගියදා කියනු ලැබුවේ හිටපු අගමැති රනිල්ම විසින්.

    හැබැයි ඉතින් ලංකාවේ මේ ආර්ථික කඩාවැටීමට හේතු ප්‍රත්‍ය ප්‍රමාණවත් පරිදි සොයා බැලීමක් සිදු නොවන බව මගේ හැඟීමයි. මූලිකව ගත්කල මෙම අර්බුදයට අපට පාලනය කළ නොහැකි ගෝලීය සාධක මෙන්ම ජාතික වශයෙන් ගත්කල ආර්ථික උපායමාර්ගවල ද අවුලක් ද තිබේ. ආර්ථිකය අවකළමනාකරණයත් දූෂණයත් වංචාවත් නාස්තියත් රාජ්‍ය සේවයේ බිඳවැටීමත් එකතු වූ විට රෝගියා සිටින්නේ අසාධ්‍ය තත්ත්වයේය. සැබැවින්ම මේ වනවිට රටේ නිෂ්පාදනය තිබෙන්නේ බින්දුවට වැටිලාය. නැතහොත් නිෂ්පාදනයක් සිදු නොවන තරම්ය.

    මේ ගැන මා නම් මූලිකම අවධානය යොමන්නේ ජනපති හා ඉකොනොමැට්ටා අඩුවෙන්ම අවධානය යොමුකරන කාරණය වන රාජ්‍ය ආදායම බිඳවැටීමටය. 1977 දී විවෘත ආර්ථිකය හඳුන්වා දෙන විට ලංකාවේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 24%කි. එය අද 10-12% අතර දෝලනය වේ. ඊට එක් හේතුවක් වූයේ නිෂ්පාදනය බිඳවැටීමය. අනෙක් කරුණ මූල්‍ය ප්‍රතිපත්තියයි. 1977 න් පසුව ධනවත් පිරිස් වලට අසීමිත ලෙස බදු සහන දෙන පිළිවෙතක් එවක එ.ජා.ප ආණ්ඩුව අනුගමනය කළේය. නමුත් කොපමණ බදු සහන දුන්නත් නිෂ්පාදනයක් වුණේ නැත. එහෙත් පාරිභෝගිකයන් මත කෙළින්ම පැටවෙන වක්‍ර බදු ප්‍රමාණය අද වනවිට තිබෙන්නේ 87% ක් වැනි ඉහළ අගයකය. එහි අන්‍යාර්ථය නම් ඇති හැකි ධනවත් අය කරන සෘජු බදු ප්‍රමාණය සුළු අගයක් බවය.

    ලංකාවේ රාජ්‍ය භාණ්ඩාගාරයට වසරකට ලැබෙන රාජ්‍ය ආදායම ප්‍රමාණවත් වන්නේ ලංකාව ලබාගත් ණය වාරිකය ගෙවීමට පමණි. 14 ලක්ෂයක් වූ රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවීමට, ලක්ෂ පහකට අධික වූ විශ්‍රාමිකයන්ට විශ්‍රාම වැටුප් ගෙවීමට, නිදහස් අධ්‍යාපනයට හා සෞඛ්‍යයට, සංවර්ධනයට ආදී සියල්ලට මුදල් යොදා තිබෙන්නේ ණයටය. විදේශ ණය මේ වනවිට ඩොලර් බිලියන 55 ක් දක්වා වැඩි වී තිබේ. දේශීය ණය කන්ද රුපියල් ට්‍රිලියන 13 ක් දක්වා ඉහළ ගොස්ඇති අතර රුපියල්වලට අමතරව ඩොලර්වලින් ගත් ණය ද සැලකිය යුතු ප්‍රතිශතයක් තිබේ. වෙළෙඳ පොළෙන්, බැංකුවලින්, පෞද්ගලික අංශයෙන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්, ලෝක බැංකුවෙන්, වෙනත් ආණ්ඩුවලින් ආදී වශයෙන් සියලුම මූලාශ්‍රවලින් ණය ගත් රටක් බවට ලංකාව පත්ව තිබේ.

    ඊළඟ කාරණය අපේ විදේශ විනිමයයි. අපට රුපියල් පමණක් නොවේ රට සල්ලිත් ඕනෑ. මේ වසර හතළිහේදී විදේශ විනිමය අපට ලැබෙන මූලාශ්‍ර ද විශාල ලෙස වෙනස් වී තිබේ. අද තේ, පොල්, රබර් කියා දෙයක් නැත. ඇඟලුම් වෙළෙඳපොළ විශාල ලෙස ප්‍රසාරණය විය. විදේශ විනිමය ලැබෙන ප්‍රධානතම මූලාශ්‍රය වී තිබෙන්නේ ශ්‍රමය අපනයනය කිරීමය. ශ්‍රී ලාංකික කාන්තාවන් මැද පෙරදිග ගොස් කඹුරා මෙරටට එවන මුදල්ය. කෘෂි හා කාර්මික අපනයන අඩුවීම ද විශාල ප්‍රශ්නයකි. කුරුඳු, තේ, රබර් මිල ද ඇත්තේ පහළ වැටීය. පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව සංචාරක කර්මාන්තයේ කඩාවැටීම ද ඊට එකතු වූ නිසා රටට විදේශ විනිමය ගලාඒම විශාල ලෙස අඩු වී ඇත. විදේශ විනිමය සංචිතය විශාල ලෙස අඩුවීමෙන් මෙහි බරපතළකම පෙනේ. අන්තිමට අපට රුපියල් ද නැත;ඩොලර් ද නැත.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ මේතාක් ආර්ථික උපාය මාර්ග සකසද්දී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා කල්පනා කළේ අපනයන ආර්ථිකයක් ගැනය. එහෙත් වසර හතළිහකට පසු නිර්මාණය වී තිබෙන්නේ කුමක් ද? ආනයන ආර්ථිකයකි. අපනයනයට වඩා දෙකයි දශම පහක ගුණයකින් ආනයන වැඩි වී තිබේ. එයින් නිර්මාණය වී තිබෙන්නේ වෙළෙද අවාසියකි. මේ තත්ත්වය තුළ අප කළයුත්තේ අපනයන ආර්ථිකයේදී පුහුණු ශ්‍රමය අපනයනයට බර තැබීමය. උදාහරණයකට පුහුණු හෙදියකට උපැයිය හැකි මාසික ආදායම පුහුණු ගෘහ සේවිකාවන් හතර දෙනෙකුගේ මාසික ආදායමට සමානය. වැඩිහිටි ගහණයේ වැඩිවීමට සාපේක්ෂව සෞඛ්‍ය සේවාවලට ඇති ඉල්ලුමත් සමග මෙවැනි අංශයකට අවධානය යොමුකරන්නේ නම් රටට උපැයිය හැකි මුදල අතිවිශාලය. එහෙත් සැලසුම් සකස් කරන්නෝ මෙවැනි කාරණා ගැන නොසිතති.

      ලංකාවේ ආර්ථික සංවර්ධනයට ඊළඟ ගැටලුව නම් ඉතිරි කිරීම්ය. ආසන්න දශක හතර පුරාම අපේ ඉතිරිකිරීම් තිබෙන්නේ 22-23% ක මට්ටමේය. එවැනි ඉතිරි කිරීම් මගින් රටට ආයෝජනයට ප්‍රාග්ධනය ප්‍රමාණවත් වන්නේ නැත. අනෙක් අතට විදේශයන්ගෙන් එන ආයෝජන ද ප්‍රමාණවත් නැත. ඒ වෙනුවට සිදුවන්නේ විවිධ අර්බුද හමුවේ පවතින ආයෝජන ද මෙරටින් පළායාමය. මේ වනවිට විදේශ ආයෝජන සම්පූර්ණයෙන්ම ගලායමින් තිබෙන්නේ ආසියාවේ අනෙකුත් රටවලටය.

      රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බලයට පැමිණි විට ප්‍රාග්ධනය මෙරටට ගලාඑන්නේ යැයි බොරු මාකටින් කටකතා එජාපයේ පිරිස ගොබෙල්ස් න්‍යායාත්මකව පතුරවා තිබුණත් අද එය සම්පූර්ණ විහිළුවක් වී ඇත.

      එහෙත් ඊට හාත්පසින්ම වෙනස් කොමියුනිස්ට් පක්ෂයක් බලයේ සිටින චීනයට ප්‍රාග්ධනය ගලා යයි.

      ඇත්තටම ලංකාවේ ආණ්ඩු වෙනස් වුණාය කියා ද ප්‍රාග්ධනය ගලාඑන්නේ නැත. ඒ සඳහා ප්‍රතිපත්ති වෙනස් විය යුතුය. වර්තමාන ආර්ථික අර්බුදය මේ වනවිට ආර්ථික තලයෙන් පිට සමාජ, දේශපාලන, සංස්කෘතික තලවලදී ද ප්‍රකාශවන්නට පටන්ගෙන තිබේ.

      ඕනම රටක ආර්ථිකය දුවන්නේ රාජ්‍ය හා පෞද්ගලික යන එන්ජින් දෙක උඩය. එහෙත් ලංකාවේදී මේ එන්ජින් දෙකම තිබෙන්නේ හරියට ක්‍රියාත්මක නොවන තැනකය. රාජ්‍ය සේවය තිබෙන්නේ විශාල බිඳ වැටීමක, විනයක් නැති තත්ත්වයකය. දැනුම, ආකල්ප, අකාර්යක්ෂමතාව, දූෂණය ආදියෙන් අගතැන්පත් තැනකය. ජනපති නොවළහා අවධානය යොමු කළ යුතු මූලික කාරණා හැටියට මේවා දැකිය යුතුය. දේශපාලක කතා දෙස බැලීමේදී එක්සත් ජාතික පක්ෂය 1950 පමණ අතීතයේ සහන සේවා පිනට දෙන මැජික් පප්පාගේ හිඟන්නන් බෝකරන ආර්ථික ප්‍රතිපත්තිත් අනික් අතට පෙරට සාපේක්ෂව රාජපක්ෂ කණ්ඩායම යම් ආකාරයේ හරවත් බර තැබීමක් සහිතව මේ කාරණා ගැන තබා තිබූ බවකුත් මම දකිමි. එහෙත් ආර්ථිකය දිශානුගත කිරීමේදී න්‍යායික වශයෙන් වූ පීලිපැනීම් ද දැකිය නොහැක්කේ නොවේ. රට ස්වයංපෝෂිත කිරීමට කරන කතාව එවැන්නකි. ලංකාව යනු අද වනවිට ලෝක ආර්ථිකයේම කොටසකි. පොහොර සහනාධාර වියදම් ද නැවත සිතා බලා කලයුතුය.

      අපට ස්වයංපෝෂිත විය නොහැකිය. වර්තමානය වනවිට ලෝක ආර්ථිකයේ පෙරගමන්කරු වන්නේ ආසියානු ආර්ථිකයයි. එහෙත් අපේ බොහෝ දේශපාලකයෝ මෙවැනි වෙනසක් වී ඇති බවවත් දන්නේ නැත. විශේෂයෙන් එජාපයේ නායකයින් ඉතා යල්පිනූ මෝඩ ආතල් දෙන පිස්සන් සෙට් එකක් වී ඇත.

      ඇත්තටම ලංකාව රටක් හැටියට අර්බුදයකට පත්ව තිබෙන්නේ උතුරු, නැගෙනහිර පමණක් නොව දකුණු ආසියාව පවා පොදුවේ ගත්විට ඉදිරියට පැමිණෙද්දීය. අප තවමත් යටත්විජිත සමයේ මෙන් අපනයනය කරන්නේ ඇමෙරිකාවටත් යුරෝපාකරයටත් සීමාවය. ඇමෙරිකාවේ හා යුරෝපයේ මේ වනවිට මිලදී ගැනීමේ හැකියාව ඉතාම වේගවත්ව අඩු වෙමින් තිබේ. බටහිර නිෂ්පාදනය උග්‍ර ලෙස පහළ වැටී ඇත. දැන් චීනයේ ශ්‍රම බලකාය මිලියන 900 කට ආසන්නය. එයින් මිලියන 400 ක් මධ්‍යම පාන්තිකයෝය. ඉතින් ලෝකයේ ලොකුම වෙළෙඳ පොළ තිබෙන්නේ එතැනය. එහෙත් අපනයන ක්‍ෂේත්‍රයේදී මේ ලෝක පරිමාණ වෙනස්කම් සැලකිල්ලට ගන්නා බවක් අපේ ප්‍රතිපත්ති තීරණය කරන්නන්ගෙන් තවමත් නොපෙනෙන බව පේනවා නේද?

      Delete
    2. මෑතකදී ජනපතිවරණයේදී ප්‍රචාරණ කටයුතු කළ උගතුන් හා බුද්ධිමතුන් ගැන ද යමක් කිව යුතුයි. ගෝඨාභය ගැන කතා කරන ඇතැම් උගතුන් ගේ තර්කයක් වී තිබූණේ ඔහු ජයගතහොත් ලංකාව ඒකාධිකාරී, ඒකාධිපති රාජ්‍යක් කරා ගමන් කරනු ඇතිබව. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ කෙළින්ම කිව්වේ ඒකාධිපති මිනීමරු ෆැසිස්ට් පවුල් ආණ්ඩුවක් ගොඩනැඟෙනු ඇත කියාය. එහෙත් මගේ අදහස නම් මේ තර්කයෙහි කිසිදු පදනමක් නැති බවය. අපේ රටේ පවතින්නේ බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයයි. තනි පක්ෂයකට දිගු කල් බලයේ සිටින්නට මිනිස්සු ඉඩ නොදෙති.

      පහුගිය ජනාධිපතිවරණයට සන්ධාන තුනක් බිහි වී තිබීමම ඊට කදිම නිදසුනකි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත්, එක්සත් ජාතික පෙරමුණත්, ජනතා විමුක්ති පෙරමුණත් තරග කලේ සංන්ධානවලින්. තරග නොකළ ද දෙමළ ජාතික සංන්ධානය පවා දේශපාලන තීන්දු ගන්නේ සංන්ධානයක් හැටියට. මෙවැනි සංන්ධාන දේශපාලනයක් ස්ථාපිත වූ රටක ඒකාධිපති පාලනයකට ඇති ප්‍රවණතාව ඉතා අඩුයි. එනිසාම මේ තර්කය ඉදිරිපත් කල පිරිස් වෑයම් කලේ මධ්‍යම පාන්තික පාවෙන ඡන්ද භීතියට පත්කර දුබල විසුළු අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීමකි. මෙවැනි පදනමක් නැති කතාවලින් සිදුවූයේ රටේ පවතින සැබෑ අර්බුදය වසන් කර අවශේෂ කාරණා මාතෘකා බවට පත්වීමය.

      වසර 2005 - 2019 පසුගිය වසර 15 - 20ක කාලයේදී උගත් ධනවත් අලුත් මධ්‍යම පන්තියක් නව රූප කායකින් බිහි වී තිබේ. රුපියල් ලක්ෂ දහයකට වඩා මාසික ආදායමක් ලබමින් සුඛෝපභෝගී මහල් නිවාසවල කුලියට ජීවත් වන මේ පිරිස බැංකුවල මුදල් තැන්පත් කරන්නෝ නොවෙති. මේ නව ජීවන සම්ප්‍රදාය සමග රටෙහි විශාල කළු ආර්ථිකයක් නිර්මාණය වී තිබේ. රාජ්‍ය ආදායම පහළ වැටෙන්නට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ මේ කළු ආර්ථිකයයි. ජනාධිපති අපේක්ෂකයන්ගෙන් මේ කළු ආර්ථිකය ගැන ලොකු සාකච්ඡාවක් දකින්නට නොමැති වීමම කනගාටුවට කරුණකි. මේ කාරණා ගැන උනන්දු විය යුත්තේ රටේ ජාතික ආදායම් මන්දිර හැටියට සැලකෙන දේශීය ආදායම්, සුරාබදු හා රේගු යන දෙපාර්තමේන්තුය. එහෙත් රාජ්‍ය ආදායම අපේක්ෂිත ලෙස ගලා නොඑන්නට හේතුව වී තිබෙන්නේ ද මේ මන්දිර තුනෙහි අකාර්යක්ෂමතාව හා දූෂණයයි.

      ජනපතිවරණයේදී ලක්ෂ 150කට අධික ඡන්දදායක පිරිසක් සිය ඡන්දය ප්‍රකාශ කලත් ඔවුන්ගෙන් ඉහළම මට්ටමේ සිටින 20% ක ජනයා ජාතික ආදායමෙන් ලබන පංගුව 55% කි. පහළම මට්ටමේ ජීවිත ගෙවන 20% ක පිරිස ලබන්නේ ජාතික ආදායමෙන් 4% කි. මේ තරම් ආදායම් පරතරයක් අපේ රටේ කවදාවත් තිබී නැත. මැද මට්ටමේ ජීවිත ගෙවන 60% ක ජනයාට ලැබෙන්නේ ජාතික ආදායමෙන් 40% කි. එසේ බලද්දී යමක් මිලදී ගැනීමට ඇති හැකියාව හෙවත් ක්‍රය ශක්තිය තිබෙන්නේ මේ පළමුව කී 20%ක පිරිසටය. මේ වනවිට රැකියා කරන පිරිසෙන් 14%ක් රජයේ සේවකයෝය. 26% ක් පෞද්ගලික අංශයේ රැකියා කරන්නෝය.

      රට පුරා බහුතරය වූ ඉතිරි 60% ක ජනයා සිටින්නේ අවිධිමත් ආර්ථිකයේය. මේ බහුතරය මාස් පඩි ගන්නෝ නොවෙති. ස්වයං රැකියා කරන්නෝ, අක්කරයක් දෙකක් වවන්නෝ වෙති. සියලුම ආණ්ඩු යටතේ අඩුම සැලකිල්ලක් අවධානයක් ලබන පිරිස වන්නේ මේ අවිධිමත් ආර්ථිකය නියෝජනය කරන පිරිසයි. මේ ආර්ථික අර්බුදයෙන් වැඩිපුරම පීඩාවට පත්වන්නේ මේ පිරිසයි. පසුගිය පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් කෙළින්ම බඩේ පාර වැදුණේ මේ අවිධිමත් අංශයටය. මා සිතන්නේ නව ජනපතිගේ වැඩි අවධානයක් මේ කියන අවිධිමත් අංශයට යොමු විය යුතු බවය.

      මම හිතනවා මේ ප්‍රශ්න විසඳීමට නම් දේශපාලන බලය ඉල්ලන සෑම පාර්ශ්වයකටම විවේචනාත්මකව මෙන්ම ස්වයංවිවේචනාත්මකව ද ප්‍රශ්න දෙස බැලීමට හැකි විය යුතු බව. පසුගිය වසර හතළිහක කාලයේදී සිදු වූ වැරැදි මොනවාද යන්න ගැන ආපසු හැරී බැලීමට ශක්තියක් තිබිය යුතු අතර ජාතික හා ගෝලීය වශයෙන් රටේ මෙන්ම මහජනතාවගේ පැවැත්ම තීරණය කෙරෙන ජනාධිපති ලෙස 2020 ජනපති ගෝඨාභය හැඳින්වීමෙහි වරදක් නැත්තේ එබැවිනි. පිළිතුරු සොයාගත යුතුව තිබෙන්නේ අප රට ගොඩනැඟීමට පෙර ගොඩගැනීම පිළිබඳ උපක්‍රමශීලීව මූලෝපායික ක්‍රමවේද නිර්මාණය කරන එක නේද ඉකොනොමැට්ටෝ?

      Delete
  3. පැහැරගැනීමේ නාටකයේ ස්විස් තානාපති කාර්යාලය හංගන රහස.!

    කොළඹ ස්විස් තානාපති කාර්යාලය විසින් මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආන්දෝලනාත්මක පොලිස් නිලධාරියෙකුට දේශපාලන රැකවරණය ලබාදී තිබුණේ පසුගිය දිනකය.

    ඒ වනවිටත් මෙරට රජයේ සේවකයෙක් වූ ඔහුට කිසිදු නීතිමය පටිපාටියකින් තොරව තානාපති කාර්යාලය මෙලෙසට දේශපාලන රැකවරණ වීසා ඔහුට ලබාදී තිබුණි. එමගින් මෙරට රාජ්‍ය රහස් රැසක් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ ඔහු විදෙස් ගත වී තිබුණි.

    නිශාන්ත ද සිල්වා කන්දප්පා වන මෙම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ පොලිස් නිලධාරියා කුප්‍රකට බුද්ධි අංශ දඩයමට සෘජුව මැදිහත්ව කටයුතු කළ නිලධාරියෙකි. ඔහුට දෙමළ ඩයස්පෝරාව සමග සම්බන්ධතා තිබූ බවටද චෝදනා එල්ල විය.

    එලෙසට ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යයට බලපෑම් වන ලෙස කටයුතු කළ මෙරට ස්විස් තානාපති කාර්යාලය පසුගිය දිනෙක සිදු කළ චෝදනාවක් කතබහට ලක් විය.

    එනම් එම තානාපති කාර්යාලයේ සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාවක් පැහැර ගැනීමට ලක් වූ බවය.

    දෙමළ ජාතික තරුණියක් වූ ඇය ස්විස් තානාපති කාර්යාලයේ වීසා අංශයේ සේවය කර තිබූ අතර ඇය පැහැර ගෙන ගොස් නිශාන්ත ද සිල්වා කන්දපපාට දේශපාලන රැකවරණ හිමිවීම පිළිබඳව ප්‍රශ්න කළ බවට ස්විස් තානාපති කාර්යාලය චෝදනා කර සිටියි.

    කෙසේ වෙතත් පුදුමයට කරුණක් වන්නේ මෙලෙස පැහැරගැනීමට ලක් වූවා යැයි කියන ශ්‍රී ලාංකික තරුණිය ඒ පිළිබඳව කිසිදු ලෙසකින් ශ්‍රී ලංකාවේ පොලිසියට පැමිණිල්ලක් සිදුකර නොතිබීමයි.

    ඒ වෙනුවට තානාපති කාර්යාලය රාජ්‍යතාන්ත්‍රික චෝදනාවක් ප්‍රසිද්ධියේ එල්ල කිරීම පමණක් සිදු කර තිබේ.

    මෙම සිදුවීම පිළිබඳව කටඋත්තරයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම තරුණියට සිදුකළ කැඳවීමද මෙරට ස්විස් තානාපති කාර්යාලය විසින් පැහැර හැර තිබේ.

    මෙලෙසට තමන් සිදු කළ චෝදනාව ඔප්පු කිරීමට ශ්‍රී ලංකාවේ නීතිමය පද්ධතියට උපකාර නොකරන ස්විස් තානාපති කාර්යාලය දැන් සිදුකර ඇත්තේ අපූරු වැඩකි. එනම් මෙම ආන්දෝලනාත්මක පැහැර ගැනීමට ලක් වූවා යැයි කියන තරුණියගේ සෞඛ්‍ය තත්ත්වය ප්‍රකාශයක් දීමට තරම් යහපත් නැතැයි පවසමින් දේශීය විමර්ෂකයන්ගෙන් ඇය සැඟවීමයි. එමගින් ඔවුන් කිසියම් රහසක් ආරක්ෂා කිරීමට උත්සාහ කරන බවට සැක පහළ වේ.

    මෙම චෝදනාව පිළිබඳව ශ්‍රී ලංකාවේ පොලීසිය විසින් අදාළ තරුණිය පැහැර ගැනීමකට ලක්වූවායි කියන ප්‍රදේශයේ සීසීටීවී දර්ශන පරික්ෂා කළ නමුදු එම දර්ශන වල මෙවැනි පැහැරගැනීමක් සටහන් වී නොතිබීමද සැකයට කරුණකි.

    මෙය සැබැවින්ම සිදු වූ පැහැරගැනීමක්ද නොඑසේ නම් නිශාන්ත ද සිල්වා කන්දප්පාට දේශපාලන රැකවරණ ලබා දී තමන් සිදු කළ වරද වසා ගැනීමට ස්විස් තානාපති කාර්යාලය නිර්මාණය කළ ව්‍යාජ කතාවක්ද යන්න ඉදිරියේදි හෙළිවෙනු ඇත.

    ReplyDelete
  4. This explains the dark side of economic conditions FYI

    https://youtu.be/JHDkALRz5Rk

    ReplyDelete
  5. ණයෙන් ගෙවන ණය
    රට ණය වෙන ණය
    තව ගනිමුද ණය
    ගොඩ නොඑනා ණය

    ReplyDelete
  6. පසුගිය එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන යහපාලන ආණ්ඩුව බලය හොබවා ඇති මුල් මාස 36ක කෙටි කාලය ඇතුළත පමණක් ඔවුන් ඇමරිකානු ඩොලර් බිලියන 14.6ක් විදෙස් විනිමය ණය වලින් පමණක් ලබාගෙන ඇත. මෙය, ගතවූ අවුරුදු තුන පුරාම නිකුත් කරන ලද ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර වලින් ලබාගත් ඇ.ඩො. බිලියන 7.2ක මුදල, 2015 හා 2017 නිකුත් කරන ලද සවරින් බොන්ඩ්වලින් ලබාගත් ඇ.ඩො. බිලියන 3.6ක මුදල, 2016 හා 2017 ජාත්‍යන්තර බැංකු ගණනාවක මැදිහත් වීමෙන් ලබාගත් ඇ.ඩො. බිලියන 1.7ක සින්ඩිකේටඩ් ලෝන් මුදල, 2015 හා 2016 ඉන්දියාවෙන් ලබාගත් ඇ.ඩො. බිලියන 2.2ක කරන්සි ස්වප් ණය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් 2016දී ලබාගත් ඇ.ඩො. බිලියන 1.5ක ණය වශයෙන් වෙන්කොට පෙන්විය හැක.

    මෙවැනි කෙටි කාලයක් තුළ වෙනත් කිසිම ආණ්ඩුවක් මේ තරම් විශාල විදෙස් විනිමය ණය ප්‍රමාණයක් ලබාගෙන නැත. ඇමරිකානු ඩොලර් බිලියන 14.6ක් වැනි මුදල් කන්දරාවකින් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාර පහක් හා හම්බන්තොට වරායවල් පහක් ඉදිකොට තවත් දක්‍ෂිණ අධිවේගී මාර්ග දෙකක් ඉදිකිරීමට මුදල් ඉතුරු කරගත හැකි වුවත්, යහපාලකයන් එම මුදලෙන් බෝක්කුවක්වත් ඉදිකර නැත.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඉහත සඳහන් කළේ, විදෙස් විනිමයෙන් ලබාගත් ණය පමණි. 2015 ජනවාරියේ සිට 2018 දක්වා ආණ්ඩුව භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන් රුපියල් බිලියන 5,706ක්ද ණය ලබාගෙන ඇත.
      මහා පරිමාණයෙන් විදෙස් ණය ලබාගත්තද, එයින් බෝක්කුවක්වත් ඉදිකර නැතැයි යන චෝදනාවෙන් බේරීමට, යහපාලන ආණ්ඩුවේ තුන්වැනි සංවත්සරයට සමගාමීව මොරගහකන්ද ජලාශයත්, රාජගිරියේ ගුවන් පාලමත් විවෘත කිරීමට යොදා ගත්තද, 2005 මහින්ද චින්තන වැඩපිළිවෙළට අනුව යමින් මොරගහකන්ද ජලාශය ඉදිකිරීමට පටන් ගත්තේ ඊට කලින් හිටපු දූෂිත රාජපක්ෂ ආණ්ඩුව සමයේය. එහි සැලසුම්, මුදල් වෙන් කිරීම යනාදිය නිමකොට ඉදිකිරීම් ආරම්භ කරනු ලැබුවේ 2007 වසර සිටය. රාජගිරියේ ගුවන් පාලම සඳහාද සැලසුම් හා මුදල් වෙන් කිරීම සිදුකරනු ලැබුවේ පසුගිය රාජපක්ෂ ආණ්ඩුව කාලයේය. රාජගිරියේ ගුවන් පාලමත්, පොල්ගහවෙල හා ගණේමුල්ල ගුවන් පාලම් දෙකත්, ඉදිකිරීමට ලන්සු කැඳවා කොන්ත්‍රාත්කරුවන් තේරීම ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණේ 2014 දෙසැම්බර් 4 වෙනිදා කැබිනට් රැස්වීමේදීය. යහපාලන ආණ්ඩුව තම තුන්වෙනි සංවත්සරය සැමරුවේද අනුන්ගේ ව්‍යාපෘතිවලට තමන්ගේ නම දා ගැනීමෙන් බව මෙහිදී කිව යුතුය.

      Delete
    2. 2015 යහපාලකයන් බලයට පැමිණියේ, ජරාප්ස්ස ආණ්ඩුව විසින් ඉදිකරන ලද විදුලි බලාගාර, වරායවල්, ගුවන් තොටුපොළවල්, අධිවේගී මාර්ග යනාදිය සඳහා ගන්නා ලද විශාල ණය නිසා රටේ අති භයංකාර ණය අර්බුදයක් පවතින බව කියමින් ජනතාව බයෙන් මුලා කරමින්. නමුත් මේ විශාල ව්‍යාපෘති සඳහා සැබවින්ම වැය වූ මුළු මුදල වූයේ;

      නොරොච්චෝලේ විදුලි බලාගාරයේ සියලුම අදියර සඳහා - ඇමරිකානු ඩොලර් මිලියන 1,350; කොට්ටාව සිට මාතර දක්වා දක්‍ෂිණ අධිවේගී මාර්ගය සඳහා -ඇ.ඩො. මිලියන 740; හම්බන්තොට වරායේ අදියර දෙක හා තෙල් ටැංකි සංකීර්ණය සඳහා - ඇ.ඩො. මිලියන 1,300; කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය සඳහා- ඇ.ඩො.මිලියන 292 හා මත්තල ගුවන් තොටුපොළ සඳහා- ඇ.ඩො මිලියන 209 වශයෙනි.

      එනම් ඉහත සඳහන් සියලුම මහා පරිමාණ ව්‍යාපෘති සඳහා වැයවූ සමස්ත වියදම ඇමරිකානු ඩොලර් මිලියන 3,900කටත් අඩුය. රාජපක්ෂ ආණ්ඩුව විසින් ලබාගත් ව්‍යාපෘති ණය ගෙවීම සඳහා යහපාලන ආණ්ඩුව ණය ගනිමින් සිටින බව කීම අමූලික බොරුවකි. යහපාලන ආණ්ඩුව මෙතෙක් ලබාගෙන ඇති ඩොලර් බිලියන 14.6න්, මම ඉහත නම්කරන ලද සියලුම ව්‍යාපෘති සඳහා ගිය මුළු වියදම සිවු වතාවක් ගෙවා නිම කළ හැක. යහපාලන ආණ්ඩුව ගත් ණය වලින් කලේ ජරාපස්ස ආණ්ඩුවේ ව්‍යාපෘති ණය ගෙවීම නොව ආණ්ඩුවේ එදිනෙදා වියදම් පියවා ගැනීමයි.

      ඇත්තටම 2015 ජනවාරියේ සිට රජයේ මුදල් දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට පාවිච්චි කිරීම නිසා කිසිදු සැලසුම් කිරීමකින් තොරව එක්වරම රජයේ වියදම් විශාල වශයෙන් වැඩි විය. මේ අමතර වියදම පියවා ගැනීම සඳහා යහපාලන ආණ්ඩුව රුපියල් වලින් මෙන්ම විදෙස් විනිමයෙන්ද දිගට හරහට වාණිජ ණය ලබාගැනීම නිසා වර්තමාන ණය අර්බුදය නිර්මාණය විය.

      විදෙස් ණය ලබාගත යුත්තේ ඉතාමත්ම ප්‍රවේශමෙනි. මේ ණය ගෙවීම සඳහා විදෙස් විනිමය මිලදී ගැනීමට සිදුවන නිසා විනිමය අනුපාතයේ සුළු වෙනසකින් වුවද ණය බර විශාල වශයෙන් වෙනස් විය හැක. 2015 හා 2016 මහ බැංකු වාර්තාවලට අනුව යහපාලන ආණ්ඩුව බලය ගැනීමෙන් පසු ඇති වූ ආර්ථික බිඳවැටීම නිසා රුපියල බාල්දු වීම හේතුවෙන් පමණක් ලංකාවේ ණය බරට තවත් රුපියල් බිලියන 478ක් එකතු වී ඇත. බැඳුම්කර මගඩිය හේතුවෙන් 2015 මුල සිට ලංකාවේ පොලී අනුපාතය 50%කින් පමණ වැඩි වීම නිසාද ආණ්ඩුවේ ණය බර තවත් වැඩි වූ බවද මෙහිදී අප මතක තබාගත යුතුය. රාජපක්ෂ පවුල් ආණ්ඩුව විදෙස් ණය ලබාගත්තේ පරිපාලන ආණ්ඩුවට සාපේක්ෂ වශයෙන් ප්‍රවේශමෙන් කියලා කියන්න පුළුවන්.

      Delete
    3. මුදල් අමාත්‍යාංශයේ වාර්තාවලට අනුව 2008 සිට 2014 දක්වා විදෙස් ණය වාරික හා පොලී ආපසු ගෙවීම් පහත සඳහන් ආකාරයට විය.

      2008 - ඇ.ඩො. මිලියන 881
      2009 - ඇ.ඩො. මිලියන 1,041
      2010 - ඇ.ඩො. මිලියන 826
      2011 - ඇ.ඩො. මිලියන 971
      2012 - ඇ.ඩො. මිලියන 1,620
      2013 - ඇ.ඩො. මිලියන 1,160
      2014 - ඇ.ඩො. මිලියන 1,306

      මේවා ගෙවා ගැනීමට නොහැකි තරම් විශාල ගණන් නොවන නිසා ආපසු ගෙවීම් පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් රාජපක්ෂ ආණ්ඩුවට තිබුණේ නැත. වර්තමාන ණය අර්බුදය සහමුලින්ම යහපාලන ආණ්ඩුවේ නිර්මාණයකි. 2015 සිට ඉදිරියට අපට ගෙවීමට වූ/ සිදුවන විදෙස් ණය හා පොලිය පහත දැක්වෙන ආකාරයට වෙයි.

      2015 - ඇ.ඩො.මිලියන 1,828
      2016 - ඇ.ඩො.මිලියන 1,604
      2017 - ඇ.ඩො.මිලියන 2,132
      2018 - ඇ.ඩො.මිලියන 2,891

      ඉදිරියේදී...

      2019 - ඇ.ඩො.මිලියන 4,217
      2020 - ඇ.ඩො.මිලියන 3,699
      2021 - ඇ.ඩො.මිලියන 3,344
      2022 - ඇ.ඩො.මිලියන 3,743
      2023 - ඇ.ඩො.මිලියන 2,120
      2024 - ඇ.ඩො.මිලියන 2,067
      2025 - ඇ.ඩො.මිලියන 4,155
      2026 - ඇ.ඩො.මිලියන 2,758
      2027 - ඇ.ඩො.මිලියන 3,448

      ආණ්ඩු වෙනසට පෙර තිබූ තත්ත්වයත් ඊට පසුව ඇති වූ තත්ත්වයත් ඉහත දක්වන ලද සංඛ්‍යා දත්තවලින් පැහැදිලි වනු ඇත. 2015 සිටම ණය ගෙවීම් වැඩි වන්නේ මාස කිහිපයකින් මෙන්ම අවුරුද්දකින් දෙකකින් ආපසු ගෙවීමට සිදුවෙන කෙටිකාලීන විදෙස් විනිමය වාණිජ ණය විශාල වශයෙන් ලබාගැනීම නිසාය.

      හැබැයි 2015දී ශ්‍රී ලංකාව අත්දුටුවේ ණය ගැනීමේ වියරුවකි. මහ බැංකුවේ නිල වාර්තාවලින් පෙන්වා දෙන පරිදි යහපාලන ආණ්ඩුව බලයට පැමිණීමට පෙර ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කරනු ලැබුවේ වසරකට දෙවතාවක් පමණි. එලෙස සිදුකරන ලද නිකුත් කිරීම්වලින්ද 2010 - 2014 යන කාලපරිච්ඡේදය ඇතුළත වසරකට ඩොලර් මිලියන 350ක්වත් රාජපක්ෂ කදවුරේ ආණ්ඩුව ලබාගෙන නැත. ඒ මෑත ඉතිහාසයේ ආණ්ඩුවක් විසින් සිදුකරන ලද දැවැන්තම ඉදිකිරීම් වැඩසටහනක් ක්‍රියාත්මකව තිබියදී බවත් මතක තබාගත යුතුය.

      කෙසේ නමුත් 2015 වසරේදී කිසිදු නව ඉදිකිරීම් ව්‍යාපෘතියක් ආරම්භ නොකර වුවද යහපාලන ආණ්ඩුව අවස්ථා 9කදී ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත්කොට ඇත. 2016දී හය වතාවකදීද, 2017දී සිව් වතාවකදීද ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත්කොට ඇත. තත්ත්වය මෙසේ තිබියදී 2018 වසර සඳහාද එජාපයේ නායකයින් යහපාලන ආණ්ඩුව වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 5,000ක විදෙස් විනිමය වාණිජ ණය ගැනීමට ක්‍රියා කළ අතර පරිභෝජනයට පමණක් ලබාගෙන තිබෙන මේ ණය ගෙවීමට ආණ්ඩුව ජනතාවට දරාගත නොහැකි ආකාරයට වැට් බදු, වාහන බදු, භාණ්ඩ ආනයන බදු, දඩ මුදල්, රජයේ මුද්දර ගාස්තු යනාදිය වැඩිකර තිබෙන අතර, 2020 මුල සිට, මුළු ජනගහනයම ආදායම් බදු දැල තුළට ගැනීමටද සැලසුම් කර තිබුණි.

      ඇත්තටම රටේ ජනතාව මත අධික ලෙස බදු අය කිරීමෙන් පමණක් යහපාලන ආණ්ඩුව ලබාගෙන තිබෙන ණය කන්දරාව ගෙවීමට නොහැකි නිසා ඔවුන් රජයට අයත් හෝටල් ව්‍යාපෘතිවල සිට, වරායවල්, අධිවේගී මාර්ග, විදුලි බලාගාර ඇතුළු සියලුම ජාතික සම්පත් විකුණා දැමීමේ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වූ අතර හම්බන්තොට වරාය විකුණා දැමුවේ එය තැනීමට ගත් ණය ගෙවීමට නොහැකි නිසා යැයි ආණ්ඩුව කීවද, වරාය විකිණීමෙන් ලැබුණු මුදල් අදාළ ණය ගෙවීමට නොව පරිභෝජනය සඳහා වැය කිරීමට මහා භාණ්ඩාගාරයට යොමුකර තිබීමෙන් එජාපයේ ආණ්ඩුවේ සැබෑ අරමුණ පැහැදිලි වේ. හම්බන්තොට වරාය ඉදිකිරීමට ගනු ලැබුවේ සහනදායී පොලියට දිගුකාලීන ණයකට නිසා එය ගෙවා දැමීමට ආණ්ඩුවට කිසිදු හදිස්සියක් තිබ්බේ නැත.

      එනමුත් එජාපයේ ආණ්ඩුව ගිනි පොලියට ගත් කෙටිකාලීන වාණිජ ණය ජනතා දේපළ විකුණා ලබාගන්නා මුදල්වලින් හෝ ගෙවීමට පැහැදිලි හදිසියක් ඇත. ඒවා නොගෙව්වොත් සිදුවන්නේ ලංකාවට ලෝක මූල්‍ය වෙළෙඳ පොළේ දොර වැසී යාමයි. අන්ත දූෂිත, වැඩ බැරි එජාපයේ ආණ්ඩුව රටේ මූල්‍ය කළමනාකරණයට කළ මේ විනාශයට හෙලි කරන එක ඉකොනො ගේ යුතුකමක්... මේක ගැන දීර්ඝ වශයෙන් විස්තර කරල පෝස්ට් එකක් දාන්න ඉකොනො.

      Delete
  7. වාර හමාරයි ගරු කටයුතු මැති සබයේ
    මාර වැඩේ රනිලා මය නායක විපක්ෂයේ
    කෝප් කමිටුවත් ඉන් බල්ලටම ගියේ
    "විනය ගරුක රට" කොතනටද මල්ලියේ

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.