වෙබ් ලිපිනය:

Thursday, December 5, 2019

යහපාලන ණය හා රාජපක්ෂ ණය

ණය ගැන ලියූ පෙර ලිපියට ප්‍රතිචාර සේ තැන් තැන් වල ඇති තොරතුරු රැසක් කොපි කර තිබෙනවා. ඇතැම් තොරතුරු කොපි කර ගෙන තියෙන්නේ පසුගිය වසර මුල මහින්ද රාජපක්ෂගේ නමින් නිකුත් වුනු නිවේදනයකින්. මේ නිවේදනයෙන් පෙන්වන්න උත්සාහ කර තිබුණේ යහපාලන ආණ්ඩුව විසින් පසුගිය වසර කිහිපය තුළ විශාල ලෙස ණය ලබා ගෙන ඇති බවයි.

විවේචකයින් උත්සාහ කළත්, යහපාලන ආණ්ඩුව විශාල ලෙස ණය ලබා ගෙන ඇති බව පෙන්වීම මාකට් වන කතාවක් නෙමෙයි. එයට හේතුව මිනිස්සු මේ කතාව විශ්වාස නොකිරීම හෝ සැක කිරීම නෙමෙයි. ගොඩක් අයට කොහොමටත් ඔය කතා තේරෙන්නේ නැහැ. කතාව මාකට් නොවෙන්නේ මේ කතාව මිල දී ගන්නට ඉඩක් ඇති පාරිභෝගික පිරිස වන රාජපක්ෂවාදීන්ට යහපාලන ආණ්ඩුව විවේචනය කරන්න වෙනත් දේවල් ගණනාවක් තිබෙන නිසයි.

යහපාලන ආණ්ඩුවනම් අනික් දේවල් කෙසේ වුවත් රාජපක්ෂ ණය සෑහෙන තරමකින් මාකට් කර ගත්තා. පස්සේ පස්සේ මේ කතාව මිනිස්සුන්ට එපා වුනේ ඇඩ් වැඩි කම නිසාමයි. බදු වැඩි කරද්දීත් කිවුවේ රාජපක්ෂ ණය ගෙවන්න බදු වැඩි කරන්න සිදු වී ඇති බවයි.

යහපාලන ආණ්ඩුව බලයට පත් වන විට, 2014 අගදී, රජයේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 7,391ක්. 2018 අවසානය වන විට මේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 11,978ක් දක්වා ඉහළ ගිහින් තිබුණා. පසුගිය ජූලි මාසය අවසන් වන විට මේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 12,646ක් වෙලා. බැලූ බැල්මටම පෙනෙන විදිහට යහපාලන ආණ්ඩුව පැවති කාලය ඇතුළත රුපියල් බිලියන 5,255ක ණය අලුතින් අරගෙන තිබෙනවා. යහපාලන ආණ්ඩුව එපමණ ණය ගත්තානම් මේ සල්ලි වලින් කළේ කුමක්ද කියන ප්‍රශ්නය මතු වෙනවා.

රජයේ ණය ප්‍රමාණය මේ විදිහට වැඩි වී තිබෙන්නේ පසුගිය කාලය ඇතුළත මෙපමණ මුදලක් අලුතෙන් ණය සේ ලබා ගත් නිසා නෙමෙයි. ණය ප්‍රමාණය වෙනස් වන හේතු ගණනාවක් තිබෙනවා. යහපාලන ආණ්ඩුව විශාල ලෙස අලුතින් ණය ලබා ගෙන ඇති බව කීම බොරුවක්. ඒ වගේම, යහපාලන ආණ්ඩුව විසින් රාජපක්ෂ ආණ්ඩුව විසින් ලබාගත් ණය ගෙවුවා කියන එකත් බොරුවක්.

දෙවන කරුණට මුලින් ආවොත් යහපාලන ආණ්ඩුව විසින් රාජපක්ෂ ණය සතයක්වත් ගෙවා නැහැ. මෙයින් කියන්නේ රාජපක්ෂ ආණ්ඩුව විසින් ගත් ණය වල වාරික යහපාලන ආණ්ඩුව විසින් නොගෙවූ බව නොවෙයි. සියලු ණය වාරික හා පොලිය නිසි පරිදි ගෙවා තිබෙනවා. එහෙත්, එසේ ණය ගෙවා තිබෙන්නේ අලුතින් ණය වී මිස ආදායම් උපයා නෙමෙයි. අලුත් ණයකින් පරණ ණයක් ගෙවීම ණය ගෙවීමක් සේ සලකන්න බැහැ. එසේ කළා කියා ණය අඩු වෙන්නේ නැහැ.

අනෙක් අතට යහපාලන ආණ්ඩුව විසින් අලුත් ණය වලින් රාජපක්ෂ ආණ්ඩුවේ ණය පියවා දැමූ පසුව ඒ අලුත් ණය යහපාලන ණය කියා කියන්න බැහැ. ඒ ණය තව දුරටත් රාජපක්ෂ ණයම තමයි. එකම ණය මුදලින් පරණ ණය ගෙවන්නත්, අලුත් සංවර්ධන වැඩ කරන්නත් බැහැ. ඒ නිසා, කිසියම් ආණ්ඩුවක් විසින් පරණ ආණ්ඩුවක ණය අලුත් ණය වලින් ගෙවා දැමූ විට ඒ අලුත් ණය සැලකිය යුත්තේ පරණ ආණ්ඩුවේ ණය ලෙසයි.

කොහොම වුනත් පසුගිය කාලයේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 5,255කින් වැඩි වී තිබෙනවානේ. ඒ කියන්නේ අලුත් ණය වලින් පරණ ණය ගෙවීමට අමතරව මෙපමණකින් ණය වැඩි වී තිබෙනවා. එහෙමනම්, ඒ ප්‍රමාණය යහපාලන ආණ්ඩුවේ අලුත් ණයද?

ඒත් නැහැ. යහපාලන ආණ්ඩුව බලයට එන විට තිබුණු රජයේ ණය ප්‍රමාණය වූ රුපියල් බිලියන 7,391 වසර හතරකට පසුව ඒ විදිහටම තියෙන්නේ නැහැ. මේ ණය ප්‍රමාණයෙන් සතයක්වත් යහපාලන ආණ්ඩුව විසින් ගෙවා නැති නිසා වසරින් වසර ඒ ණයට පොලිය එකතු වෙනවා. ඒ පොලිය ගෙවන්නෙත් අලුත් ණය වලින් නිසා පොලියත් ණය ප්‍රමාණයට එකතු වී වැල් පොලී වෙනවා. මේ විදිහට ණය ප්‍රමාණය වසරින් වසර ඉහළ යනවා කියා කියන්නේ රජයට වියදම් කළ හැකි මුදලක් අතට ලැබුණා කියන එක නෙමෙයි. ඒ නිසා, ණය වැඩි වුවත් සිදු වූ දෙයක් නැති බව ඇත්ත.

පොලී එකතු වීමට අමතරව ණය ප්‍රමාණය වැඩි වන තවත් ආකාර තිබෙනවා. ඩොලරයක මිල ඉහළ ගිය විට ඩොලර් ණය ප්‍රමාණය ඉහළ නොගියත් ඒ ණය වල රුපියල් අගය වැඩි වෙනවා. නමුත්, එයින් අදහස් වෙන්නේ රජයට වියදම් කළ හැකි මුදලක් අතට ලැබුණු බව නෙමෙයි. ඩොලර් ණය වල අගය වෙනස්වනවා වගේම විවිධ හේතු මත සුරැකුම්පත් වල මිල වෙනස් වන විට රුපියල් ණය ප්‍රමාණයේ අගයත් වෙනස් වෙනවා. මේ අවස්ථා කිසිවකදී රජයට වියදම් කළ හැකි මුදලක් ලැබෙන්නේ නැහැ. නමුත්, ණය ඉහළ යනවා.

එහෙමනම්, යහපාලන ආණ්ඩුව ණය අරගෙනම නැද්ද?

කිසියම් වසරක් තුළදී රජය විසින් ඉපැයූ ආදායම් ඉක්මවා වියදම් කළොත් ඒ වෙනස පියවා ගන්න වෙන්නේ ණය වලින්. යහපාලන ආණ්ඩුව 2015දී ආදායම ඉක්මවා රුපියල් බිලියන 320ක් වැය කළා. රුපියලේ නාමික අගය අනුව බැලුවොත් මෙය වසරක් තුළ රජය ණය වූ විශාලම මුදලයි. ඒ ණය හා ඒ මත එකතු වූ පොලියත්, ණය මුදලේ වටිනාකම වෙනස් වීමත් සැලකිය හැක්කේ යහපාලන ආණ්ඩුව විසින් ලබාගත් අලුත් ණය ලෙසයි.

ඉන් පසුව, 2016දී යහපාලන ආණ්ඩුව විසින් ආදායම ඉක්මවා තවත් රුපියල් බිලියන 29ක් වැය කළා. නමුත්, 2017දී රුපියල් බිලියන 2ක් හා 2018දී රුපියල් බිලියන 91ක් ඉතිරි කළා. මේ සියලු ඉතිරි කිරීම් වලින් පසුවත් යහපාලන ආණ්ඩුව 2015දී වූ ණය ආවරණය වෙන්නේ නැහැ. පොලී හා වටිනාකම් වෙනස්වීම් සැලකූ විට 2018 අවසානයේදී වූ රජයේ ණය වලින් යහපාලන ණය ප්‍රමාණය රුපියල් බිලියන 377ක්. කෙසේ වුවත්, මේ ප්‍රමාණය රුපියල් බිලියන 11,978ක මුළු ණය ප්‍රමාණයෙන් 3.1%ක් පමණයි. ඒ කියන්නේ ඉතිරි 96.9%ම, එනම් රුපියල් බිලියන 11,601ක්ම පරණ ණය, පරණ ණය වල පොලිය හා පරණ ණය වල වටිනාකම වෙනස් වීම. යහපාලන ආණ්ඩුව ආදායම ඉක්මවා සතයක්වත් වියදම් නොකළත් රජයේ ණය ප්‍රමාණය මේ වන විට රුපියල් බිලියන 11,601ක් වෙලා.

එහෙමනම්, ඉතිරි රුපියල් බිලියන 11,601 රාජපක්ෂ ණයද?

ඉතිරි ණය වලින් සැලකිය යුතු කොටසක් රාජපක්ෂ ණය වුවත්, වැඩි ප්‍රමාණයක් රාජපක්ෂ ණය නෙමෙයි. 2004 අවසානය වන විටත් රජය රුපියල් බිලියන 2,140ක් ණය වී සිටියා. ඒ ණය වලට වසරින් වසර 2014 වන තුරුම රාජපක්ෂ ණය එකතු වුනා. රාජපක්ෂ ණය වලට වගේම පරණ ණය වලටත් පොලිය එකතු වී පොලිය වැල් පොලී වුනා, රුපියල පිරිහෙන විට විදේශ ණය වල රුපියල් අගය ඉහළ ගියා. 2014 අග වන විට මේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 7,391ක් වී 2018 අග වන විට රුපියල් බිලියන 11,601ක් වුනා. නමුත්, එයින් රාජපක්ෂ ණය ප්‍රමාණය ලෙස සැලකිය හැක්කේ රුපියල් බිලියන 2,210ක් හෙවත් 2018 මුළු ණය ප්‍රමාණයෙන් 18.5%ක් පමණයි. ඉතිරි කොටස රාජපක්ෂ ආණ්ඩුවට පෙර ආණ්ඩු වලින් උරුම වූ ණය.

නිදහසින් පසු ලංකාවේ ආණ්ඩු සියල්ලක්ම ණය වුනා මිස ණය ගෙවුවේ නැහැ. 2018 අගදී ලංකාවේ රජයේ ණය ප්‍රමාණය වූ රුපියල් බිලියන 11,978ට නිදහසින් පසු රට පාලනය කළ සෑම ආණ්ඩුවක්ම දායක වී තිබෙනවා. වැඩිම දායකත්වය ජයවර්ධන ආණ්ඩුවෙන්. මා පෙරද ලියා ඇති පරිදි ලංකාවේ ණය අර්බුදය රාජපක්ෂ ආණ්ඩුවේ නිර්මාණයක් කියා කියන්න බැහැ . රාජපක්ෂ ආණ්ඩුව විසින් කළේ ගෙවුම් ශේෂ අර්බුදයක් නිර්මාණය කිරීමයි.



6 comments:

  1. රාජපක්ෂ රෙජීමයේ හමුදා ජුන්ටාවට එරහිව අභිතව සටන් වදින ඉකොනෝමැට්ටා මහතාට අල්ලා දෙවි පිහිටයි.

    ReplyDelete
  2. රේල්වේ මැදිරියේ එම ආසන ලබා ගන්නා අයට එම ඉඩකඩ කැමති ආකාරයකට භාවිතා කල හැකියි. එහි එලෙස රාක්කයක් සදා ඇත්තෙත් එම ආසන හතරේ ගමන් යන එන පාරිභෝගික මගී නෝනා මහත්වරුන්ගේ ඕනා එපාකම් පිණිසයි. අනික් ආසන වල යනෙන පාරිභෝගික මගී නෝනා මහත්වරුන්ට සයිඩ් එකෙන් විදුරු දමා තිබෙනවා අවශ්‍ය නම් එලි පහලිය නැරඹීමට. මෙම මැදිරියේ වැසිකිලියක් සදා තිබෙනවා පාරිභෝගික මගී නෝනා මහත්වරුන්ට මළපහ, මුත්‍රා කිරීමට. විදුලි පංකා,විදුලි පහන් ආදිය හවුලේ පාවිච්චි කිරීම අනුමත කරයි වැසිකිළිය සමග වෙන වෙනම.

    ReplyDelete
  3. 2020-2025දි ගන්නා ණය ප්‍රමාණයෙහි ප්‍රතිශතය කුමක් විය හැකිද?

    ReplyDelete
  4. ණයවෙලා රට තිබෙන තැනින් උඩට ගෙනිහින් ණය වාරික විතරක් ගෙවමින් හිටියොත් අවුලක් වෙන්නේ නැහැ(දැන් කරනවා වගේ). රටක ණය කියන්නේ මිනිහෙක්ගේ ණය වගේ ඉක්මනට ගෙවල හිත නිදහස් කරගන්න ඕනේ දෙයන් නෙමෙයිනේ.
    පෙනෙන විදිහට ලංකාවේ ප්‍රශ්නේ ආදායම අඩුවීමයි, ණය වර්ධනය ආදායම වර්ධනයට සමාන්තරනම් අවුලක් නැහැ. පසුගිය ආණ්ඩුව වගේ නොකා නොබී ණය ගෙව්වා කියල රටට වාසියක් නැහැ. ඩොලර් බිලියන 10ක් ණය වෙලා අවුරුද්දකට ඩොලර් බිලියන 1ක් ගානේ ආදායම ලැබෙන ව්‍යාපෘතියක් කරන එක වාසියි, ණය නොවී අමාරුවෙන් බදුවලින්ම ජිවත් වෙනවට වඩා.

    ReplyDelete
  5. ණය කතා ගැන ඇත්ත කතාව මේ ආචාර්ය නාලක ගොඩහේවා කරන පැහැදිලි කිරීම් වලින් තේරුම් ගන්න;

    https://m.youtube.com/watch?feature=youtu.be&v=LOCsTZKJpgI

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: