Thursday, December 19, 2019

බඩු මිල, බදු හා උද්ධමනය


ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වී දැන් මාසයක් වෙනවා. මේ කාලය ඇතුළත අලුත් ආණ්ඩුව විසින් කළ කී දේ වලින් චම්පික රණවකව අත් අඩංගුවට ගන්නා තුරු වැඩිපුරම කතා බහට ලක් වුනේ බදු අඩු කිරීමයි. බදු අඩු කිරීම නිසා අලුත් ආණ්ඩුව විසින් කෙටිකාලීනව වගේම දිගුකාලීනවත් විශාල පාඩුවක් කර ගෙන අවසන්. නමුත්, ඒ පාඩුවට හරියන වාසියක් ආණ්ඩුවට ලැබී ඇති බවක් පෙනෙන්නේ නැහැ.

රාජපක්ෂ පවුල ඇතුළේ ආර්ථික විශේෂඥයින් නැහැ. රාජපක්ෂලාට බදු අඩු කරන්න උපදෙස් දෙන්න ඇත්තේ ඔවුන් වටා ඉන්න ආර්ථික විශේෂඥයින් විය යුතුයි. පසුගිය ආණ්ඩුව බදු අනුපාතික විශාල ලෙස වැඩි කළා. ඒ හේතුව මත රනිල්ව බොහෝ විට සමච්චලයට ලක් වුනා. එහෙත්, රනිල්ගේ බදු ගැන විවේචන ප්‍රචාරණය කළේ පොදුජන පෙරමුණේ හා ජවිපෙ පාක්ෂිකයින් විසිනුයි. ඒ හැර සාමාන්‍ය ජනතාව අතර ඇත්තටම බදු විරෝධයක් ඇති වී තිබුණේ නැහැ. පැවති ආණ්ඩුවට බොහෝ දෙනෙකුගේ තිබුණු අකැමැත්ත ප්‍රකාශ කිරීමේදී බදු ගැහීම ගැනත් විවේචන කළත්, රනිල්ගේ බදු නිසා ඇත්තටම බඩු මිල මිනිස්සුන්ට දැනෙන තරමට වැඩි වී තිබුණේ නැහැ.

මිනිස්සුන්ට බඩු මිල ප්‍රශ්නයක් වී නොතිබුණු නිසාම බදු කැපිල්ලත් මිනිස්සුන්ට ලොකුවට දැනී නැහැ. ඇත්තටම බදු කැපුවා කියා බඩු මිල අඩු වෙලත් නැහැ. බොහෝ ආහාර ද්‍රව්‍ය වල මිල පසුගිය මාසය තුළ වැඩි වී මිස අඩු වී නැහැ. එසේ මිල වැඩි වීමට ප්‍රධාන හේතුව බදු කැපීම කියා කියන්න පුළුවන්කමක් නැතත්, බදු අඩු කිරීම නිසා බඩු මිල අඩු වී නැති බවනම් පැහැදිලියි. ගෝඨාභය රාජපක්ෂටම හාල් කඩ ගානේ රස්තියාදු වෙන්න වී තිබීමෙන් පේන්නේ වැඩේ හරි නොගිය බව ඔහුටත් තේරී ඇති බවයි.

උද්ධමනය හා ජීවන වියදම කියන්නේ එකම දේ නෙමෙයි. ආර්ථික විද්‍යාඥයින් උද්ධමනය ලෙස හඳුන්වන්නේ භාණ්ඩ හා සේවා වල වටිනාකමට සාපේක්ෂව රටේ මුදල් ඒකකයේ වටිනාකම අඩු වීමටයි. ඒ නිසා, ලංකාවේ උද්ධමනය රුපියල් වලින් ගනුදෙනු කරන කාටත් එක සේ දැනෙනවා. නමුත්, ජීවන වියදම කියන එක එක් එක් පුද්ගලයාගේ ජීවන විලාසිතා මත තීරණය වන දෙයක්. බෝංචි කිලෝවක් රුපියල් දාහට ගියත් බෝංචි නොකන කෙනෙකුගේ ජීවන වියදමට එය බලපාන්නේ නැහැ. එහෙත්, එය ඔහුගේ හෝ ඇයගේ අතේ තිබෙන රුපියල් වල වටිනාකමට බලපානවා.

සැපයුම් සාධක මත තාවකාලිකව බෝංචි මිල හෝ රතු ළූණු මිල ඉහළ ගියා කියා රටේ උද්ධමනය වැඩි වෙන්නේ නැහැ. උද්ධමනය වැඩි වෙන්නේ රටේ මුදල් සැපයුම වැඩි කළ විටයි. රටේ සෑම භාණ්ඩයකම හා සේවාවකම මිල ගණන් පරීක්ෂා කරන එක පහසු දෙයක් නොවන නිසා, උද්ධමනය මැනීම සඳහා යොදා ගන්නා මිල දර්ශකයක තිබෙන්නේ තෝරා ගත් භාණ්ඩ හා සේවා දෙතුන් සීයක් පමණයි. නමුත්, උද්ධමනය කියන සංකල්පයෙන් අදහස් වෙන්නේ මේ භාණ්ඩ දෙතුන් සීයේ මිල නෙමෙයි. රජයකට තෝරාගත් භාණ්ඩ වල මිල ටින්කරින් කරන්න පුළුවන් වුනත්, හොර පාරෙන් උද්ධමනය අඩු කරන්න බැහැ.

බදු අඩු කිරීමේ ප්‍රතිඵලයක් විදිහට රටේ මිනිස්සු අතේ රැඳෙන මුදල් ප්‍රමාණය ඉහළ ගියත්, රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සමානුපාතිකව ඉහළ යන්නේ නැහැ. ඒ නිසා, මිනිස්සුන්ගේ ආදායම් වැඩි වූ විට වැඩි වැඩියෙන් මිල දී ගන්න පෙළඹෙන භාණ්ඩ හා සේවා වල මිල මුලින්ම ඉහළ යනවා. මේ බොහෝ භාණ්ඩ ආනයනික භාණ්ඩ නිසා බදු අඩු කිරීමේ ප්‍රතිඵලය රටේ ගෙවුම් ශේෂයට නරක විදිහට බලපානවා. විණිමය අනුපාතිකය මත පීඩනය වැඩි වෙනවා.

උදාහරණයක් විදිහට උපයන විට ගෙවීමේ බද්ද ගත්තොත් මේ බද්ද අහෝසි කිරීමේ වාසිය ලැබුණේ රටේ මැදි ආදායම් ලබන ස්ථරයකට. මේ අය නොකා නොබී බඩගින්නේ සිටි අය නොවන නිසා හාල් පොල් ඉල්ලුම අමුතුවෙන් වැඩි වෙන්නේ නැහැ. නමුත්, දේශීය නිෂ්පාදන වලින් අළුත් මාළු, කුකුළු මස්, කැරට් බෝංචි වගේ "පොෂ්" එළවළු, බාස්මතී වගේ මිල අධික හාල් ආදියට ඉල්ලුම වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම, චීස්, බටර්, කිරිපිටි වගේ ආනයනික ආහාර ඉල්ලුමත්, පෞද්ගලික වාහන සඳහා ඉන්ධන ඉල්ලුමත්, මත්පැන් ඉල්ලුමත් වැඩි වෙන්න පුළුවන්. මේ උදාහරණ කිහිපයක්. ආනයනික ද්‍රව්‍ය වලට ඉල්ලුම වැඩි වෙද්දී ආනයන වැඩි වැඩියෙන් රටට එන නිසා සැපයුමේ අඩුවක් සිදු නොවුණත් අළුත් මාළු, එළවලු වගේ දේවල් වල සැපයුම වැඩි නොවන නිසා මිල ඉහළ යාම වලක්වන්න අමාරුයි.

අයහපත් කාලගුණ තත්ත්වයක් නිසා මාළු සැපයුම අඩු වූ වහාම මේ කරුණ පැහැදිලිව පෙනෙයි. සැපයුම අඩුවෙන කොට කොහොමටත් මාළු මිල වැඩි වෙනවා තමයි. නමුත්, රටේ මුදල් සංසරණය වැඩි වී තිබෙන වෙලාවක මේ බලපෑම ගොඩක් වැඩියි. මොකද මිල ඉහළ ගියත් මාළු ගන්න අය ඉන්නවා. බෝංචි මිලට වුනත් යම් තරමකින් සිදු වී තියෙන්නේ මේ සන්තෑසියම තමයි.

අවසාන වශයෙන් මුළු පීඩනයම එන්නේ විණිමය අනුපාතිකයට. අයවැය හිඟය පුළුල් වෙමින් තියෙද්දී ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කරලා මුදල් එකතු කරන එකත් වඩා අමාරු වෙනවා. පහුගිය ආණ්ඩුවත් මුලදීම රාජ්‍ය සේවකයින්ගේ පඩි වැඩි කරලා මේ වගේම අමාරුවක වැටුණා. ඉන් පසුව, බදු වැඩි කරන්න සිදු වුනේ ඒ වැටුණු වලෙන් ගොඩ යන්නයි.

3 comments:

  1. දෙමළ මිනිස්සු බඩුමිල අඩුකරන්න ඉල්ලන් නෑ. මුස්ලිම් මිනිස්සු බඩුමිල අඩුකරන්න ඉල්ලන්නේ නෑ. වතු දෙමෙල්ලු ඉල්ලන්නේ උන්ට විතරක් අඩු කරන්න කියලා.

    මම ඉල්ලන්නේ එක්කෝ සිංහල අයට විතරක් කෝටා එකක් දෙන්න. නැතිනම් වෙළඳපොල යාන්ක්‍රණට ඉඩදිලා පැත්තකට වෙලා ඉන්න.

    ReplyDelete
  2. බොහෝ දෙනා පැතූ සිංහළ බෞද්ධ රාජ්‍යය බිහිවී ඇත. රුපියල් බිලියන 500කට ආසන්න ප්‍රමාණයකට බදු කපාදැමීම මගින් රජය විසින් රට වැසියාට සහන සලසා ඇත. වැඩිවන බදු මිලට ගැලපෙන ලෙස වියදම සකසා ගැනීමට බෞද්ධ රට වැසියා පුරුදු විය යුතුය. මස් මාංශ ආහාරයට ගැනීමෙන් වැලකීම මගින්ද වටිනාකමට වඩා බදුගෙවා මිලට ගන්නා සිගරට් බීම අත් හැරීම මගින්ද එවැනිම වූ මත්පැන් පානයෙන් වැලකීම මගින්ද විශාල මුදලක් ඉතිරි කරගත හැක.චිරං ජයතු!

    ReplyDelete
  3. හෙටානිද්දා පන්සිලුත් නීතිගත කරාවිද මන්දා මේ කියන විදිහට.

    බුද්ධ කාලයේත් පරාභව- සිඟාලෝවාද වගේ සූත්‍රවලින් ගිහි විනය- පිරිහීමේ කරුණු කිව්වා විනා නීති පනවලා තිබුණේ නැහැනේ. එක අතකට අදට වඩා නිදහසකුත් තිබුණා වගෙයි.

    කාමෙසුමිච්ඡාචාරා පදය තියෙද්දීම රාජ- මහාමාත්යවරුනුත් එළිපිටම- හොරෙන් නෙවෙයි; පුරම්බිකාවන් ඇසුරු කළා. තවත් ජනපද එක්ක තරගයට රූමත්ම කාන්තාව තෝරලා, මිලත් නියම කරවලා...... 'ආර්ථික මධ්‍යස්ථාන' විවෘතෙත් කළානෙ.

    පන්සලට අල්ලපු වැටේ චුන්ද සූකරිකයා ඌරොත් මැරුවේ....

    මට නම් හිතෙන්නෙම නීති-රීති වෙනුවට, අපේ හිත හදන අධ්‍යාපනයක් තමයි දිය යුතු කියලා.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.