Wednesday, December 18, 2019

බදු අඩු කිරීම හා එළවළු මිල

මේ දවස් වල එළවලු වර්ග ගණනාවක මිල ඉහළ ගිහින්. මහ බැංකුවේ දත්ත අනුව ඊයේ (දෙසැම්බර් 17) පිටකොටුවේ බෝංචි කිලෝවක සිල්ලර මිල රුපියල් 390ක්. එම දත්තම අනුව, හරියටම වසරකට පෙර (2018 දෙසැම්බර් 17) පිටකොටුවේ බෝංචි කිලෝවක සිල්ලර මිල රුපියල් 210ක් පමණයි. බෝංචි කිලෝවක් හිටිවනම මේ තරම් ගණන් ගිහින් තියෙන්නේ ඇයි?

බෝංචි මේ තරම් ගණන් ගිහින් තියෙන්නේ තාවකාලික සැපයුම් ප්‍රශ්නයක් නිසා මිසක් ආණ්ඩුවේ මූල්‍ය ප්‍රතිපත්ති නිසා නෙමෙයි. අයහපත් කාලගුණය හෝ වෙනත් හේතුවක් නිසා බෝංචි සැපයුම අඩු වී තිබෙන බව පේනවා. ඉල්ලුම නොවෙනස්ව තිබියදී සැපයුම අඩු වුණාම මිල ඉහළ යනවා. ගෝඨාභය රජ වීමෙන් පසුව ස්වයංජාත බෝංචි පහළ වුනානම් සැපයුම ඉහළ ගිහිං මිල අඩු විය හැකිව තිබුණා. නමුත්, එහෙම වුනේ නැහැනේ. කාලගුණය යහපත් වී බෝංචි සැපයුම නැවත මුල් තත්ත්වයට පැමිණි විට මිලත් අඩු වෙයි.

නිදහස් වෙළඳපොළේ බෝංචි මිල තීරණය වන ආකාරය ගැන ලිපියක් මා ඊයේ අනෙක් පැත්තේ ලියා පළ කළා.

බෝංචි ගණන් වැඩිද?

එම ලිපියේ මා ඉදිරිපත් කර තිබෙන උදාහරණයේ බෝංචි ඉල්ලුම හැදෙන්නේ තනි පුද්ගලයින් 15 දෙනෙකු විසින් බෝංචි කිලෝවකට ගෙවන්න කැමති උපරිම මිල මතයි.

අමල් - 1000
බිමල් - 700
චමල් - 550
දයාල් - 500
එමිල් - 450
ෆසල් - 420
ගයාන් - 400
හසන් - 390
ඉයන් - 375
ජෙයන් - 350
කෙවින් - 320
ලොහාන් - 300
මෝහන් - 280
නුවන් - 250
ඔෂාන් - 220

එක් එක් පුද්ගලයා විසින් බෝංචි කිලෝවකට ගෙවන්න කැමති උපරිම මිල සමාන නොවී මේ ආකාරයට වෙනස් වෙන්නේ මිනිසුන්ගේ රුචිකත්වයන් වගේම ආදායම් මට්ටමුත් වෙනස් නිසා. ලොහාන්ට සල්ලි තිබුණත් ඔහු බෝංචි වලට එතරම් කැමති නැති නිසා කිලෝවකට රුපියල් 300කට වඩා ගෙවන්න කැමති නොවනවා විය හැකියි. නුවන් බෝංචි වලට කැමති වුවත්, අතේ තිබෙන මුදලින් හාල් පොල් මිල දී ගැනීම ඔහුගේ ප්‍රමුඛතාවය නිසා බෝංචි කිලෝවකට රුපියල් 250කට වඩා නොගෙවනවා විය හැකියි. අමල්ට උතුරන්න සල්ලි තිබෙන නිසා ඔහු බෝංචි වලට මහා ලොකු කැමැත්තක් නැතත් කිලෝවකට රුපියල් 1000ක් ගෙවන එක ගැන දෙවරක් නොහිතනවා විය හැකියි.

හේතු මොනවා වුවත් වැදගත් කරුණ වන්නේ මෙහි සඳහන් එක් එක් පුද්ගලයා විසින් බෝංචි කිලෝවක් වෙනුවෙන් ගෙවන්න කැමති උපරිම මිල මෙහි තිබෙන මුදල බවයි. බෝංචි වල ඉල්ලුම් වක්‍රය හැදෙන්නේ මේ විදිහට එක් එක් පුද්ගලයා විසින් බෝංචි කිලෝවක් වෙනුවෙන් ගෙවන්න කැමති උපරිම මිල ගණන් වලිනුයි. මිල රුපියල් 1000ක් නම් ඉල්ලුම කිලෝවක් පමණයි. නමුත්, මිල රුපියල් 700 දක්වා අඩු වූ විට ඉල්ලුම කිලෝ 2 දක්වාත්, මිල රුපියල් 550 දක්වා අඩු වූ විට ඉල්ලුම කිලෝ 3 දක්වාත් ආදී වශයෙන් ඉහළ යනවා. මිල අඩු වෙද්දී බෝංචි වැනි බොහෝ පාරිභෝගික භාණ්ඩ වල ඉල්ලුම ඉහළ යාම සාමාන්‍ය තත්ත්වයයි.

         මිල    ඉල්ලුම
1000 1
700 2
550 3
500 4
450 5
420 6
400 7
390 8
375 9
350 10
320 11
300 12
280 13
250 14
220 15

මේ දත්ත අනුව බෝංචි වල ඉල්ලුම් වක්‍රය පහත ආකාරයේ පහළට නැඹුරු වූ එකක්.


බෝංචි කිලෝවක වෙළඳපොළ මිල තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුම සමතුලනය වීම මතයි. කිසියම් නිශ්චිත සතියක බෝංචි සැපයුම තීරණය වන්නේ කාලගුණ සාධක වැනි කරුණු මතයි. මිල වැඩි වුනා කියා සැපයුම ක්ෂණිකව වැඩි වෙන්නේ නැහැ. මිල අඩු වුනා කියා සැපයුම ක්ෂණිකව අඩු වෙන්නේත් නැහැ. මිල කුමක් වුවත් හිටවා ඇති බෝංචි වැල් වල බෝංචි හැදෙනවා. ඒ නිසා, කෙටිකාලීනව බෝංචි වල සැපයුම් වක්‍රය සිරස් රේඛාවකට ආසන්න එකක්.


කිසියම් සතියක බෝංචි සැපයුම කිලෝග්‍රෑම් 12ක්නම් සමතුලිත මිල රුපියල් 300ක් වෙනවා. සැපයුම කිලෝග්‍රෑම් 7ක්නම් සමතුලිත මිල රුපියල් 400ක් වෙනවා. වාසුදේව යෝජනා කර තිබෙන "සමාජවාදී" විසඳුමෙන් මේ සමතුලිතතාවය වෙනස් කරන්න බැහැ. (ප්‍රශ්න තිබේනම් අහන්න. පැහැදිලි කරන්නම්.)

බදු අඩු කිරීම බෝංචි මිලට බලපාන්නේ කොහොමද?

බදු අඩු කිරීම නිසා මිනිස්සුන්ගේ අතේ පෙර තත්ත්වයට සාපේක්ෂව මුදල් ඉතිරි වීමක් සිදු වෙනවා. මිනිස්සුන්ට තමන් කලින්ට වඩා ටිකක් පෝසත් වුනා කියා දැනෙනවා. එවිට කලින්ට වඩා ටිකක් අත දිග හැර වියදම් කරන්න පෙළඹවීමක් ඇති වෙනවා. බෝංචි වලට තිබෙන කැමැත්ත වැඩි වී නැතත් බෝංචි වලට සාපේක්ෂව මුදල් වල වටිනාකම අඩු වී තිබෙන නිසා බෝංචි කිලෝවක් වෙනුවෙන් කලින් ගෙවුවාට වඩා මුදලක් ගෙවන්න කැමැත්තක් ඇති වෙනවා. බදු අඩු කිරීමෙන් පසුව කලින් උදාහරණයේ එක් එක් පුද්ගලයා බෝංචි කිලෝවක් වෙනුවෙන් ගෙවන්න සූදානම්ව සිටි උපරිම මිල පහත ආකාරයට වෙනස් වෙනවා.

අමල් - 1200
බිමල් - 850
චමල් - 650
දයාල් - 550
එමිල් - 500
ෆසල් - 475
ගයාන් - 450
හසන් - 425
ඉයන් - 400
ජෙයන් - 375
කෙවින් - 350
ලොහාන් - 325
මෝහන් - 300
නුවන් - 275
ඔෂාන් - 250

ඒ එක්කම වෙළඳපොළේ බෝංචි වල ඉල්ලුම් වක්‍රයත් වෙනස් වෙනවා. ආර්ථික විද්‍යා භාෂාවෙන් කියනවානම් දකුණට විතැන් වෙනවා. නිල් පාටින් තියෙන්නේ අලුත් ඉල්ලුම් වක්‍රය. දැන් සමතුලිත මිලට වෙන්නේ කුමක්ද? සැපයුම කිලෝග්‍රෑම් කීයක් වුවත් සමතුලිත මිල කලින් මිලට වඩා වැඩියි. කිසියම් සතියක බෝංචි සැපයුම කිලෝග්‍රෑම් 12ක්නම් සමතුලිත මිල රුපියල් 325ක් වෙනවා. සැපයුම කිලෝග්‍රෑම් 7ක්නම් සමතුලිත මිල රුපියල් 450ක් වෙනවා.


බදු අඩු කිරීම, රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම වගේ ක්‍රම වලින් ආර්ථිකය උත්තේජනය කළ විට වෙන්නේ ඔයාකාරයට භාණ්ඩ හා සේවා වලට තිබෙන ඉල්ලුම වැඩි වී මිල ඉහළ යන එකයි. මේ විදිහට මිල ඉහළ ගිය විට නිෂ්පාදකයින්ගේ ලාබ ඉහළ යන නිසා අලුත් නිෂ්පාදකයින් එකතු වී නිෂ්පාදනය ඉහළ ගොස් සැපයුමද වැඩි වීමේ ඉඩක් තිබෙනවා. එය එසේ සිදු වුවහොත් නැවතත් මිල පහතට වැටෙනවා. නමුත්, එය එසේ වෙන්නේ නිෂ්පාදන ධාරිතාවක් රටේ තිබියදී ප්‍රමාණවත් ඉල්ලුමක් නැති කමින් නිෂ්පාදනය අඩාල වී තිබේනම් පමණයි. එසේ නොවේනම් අන්තිමේදී වෙන්නේ භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යාම පමණයි.

බෝංචි නිෂ්පාදනය හා අදාළව කතා කරනවානම් දැන් බෝංචි මිල වැඩි වී තිබෙන නිසා මෙතෙක් කල් තමන්ගේ ගොවිපොළට නොගොස් ගෙදරට වී සිටි බෝංචි ගොවියෝ රාජ්‍යමූල්‍ය උත්තේජනයෙන් පසුව දැන් නැවතත් බෝංචි නිෂ්පාදනය ආරම්භ කළ යුතුයි. ප්‍රශ්නය තියෙන්නේ එහෙම ගෙදරට වී සිටි බෝංචි ගොවීන් ලංකාවේ හිටියාද? සාමාන්‍යයෙන් බෝංචි වගා කළ වගා බිම් බෝංචි වලට ඉල්ලුමක් නැතිකම නිසා අත් හැර දමනු ලැබ තිබුණාද? එහෙම නැත්නම් වගා නොකරන බෝංචි ගොවීන් කියන්නේත් "කිසිදා ඡන්ද පොළට නොයන එජාප ඡන්දදායකයින්" වගේ පිරිසක්ද?

කිසිදා ඡන්ද පොළට නොයන එජාප ඡන්දදායකයින් ඡන්ද පොළට යවා දිනන්න බලා සිටි සජිත්නම් බර ගාණක් ණය වෙලා කියා ආරංචියි. බදු අඩු කිරීමේ ප්‍රතිඵලය ඊට වඩා වෙනස් එකක් වෙයිද?

13 comments:

  1. වගුව 2කේ ටයිපො එකක්, වාසු සීයා කිව්වෙ අමල්,බිමල්, චමල් ල බෝංචි ගන්න එක නැවැත්තුවොත් ජෙයන්,කෙවින් ලටත් අඩු මිලට බෝංචි ගන්න පුලුවන් කියන එක නෙමෙයිද?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි, ඇනෝ! ටයිපෝ එක හැදුවා.

      Delete
    2. //වාසු සීයා කිව්වෙ අමල්,බිමල්, චමල් ල බෝංචි ගන්න එක නැවැත්තුවොත් ජෙයන්,කෙවින් ලටත් අඩු මිලට බෝංචි ගන්න පුලුවන් කියන එක නෙමෙයිද?//

      ඔබ හරියටම මට අවශ්‍ය ප්‍රශ්නය අසා තිබෙනවා, ඇනෝ. අපි හිතමු අමල්, බිමල් හා චමල් වාසු කියපු දේ අහලා බෝංචි ගන්න එක නැවැත්තුවා කියලා. දැන් බෝංචි නිෂ්පාදකයා බෝංචි කිලෝ 8 විකුණගන්නත් ඕනැනේ. ඒ නිසා, වාසු කියපු විදිහටම මිල අඩු කරන්න වෙනවා. ලැයිස්තුවේ උඩින් තුන් දෙනෙක් අයින් වුන නිසා දැන් සමතුලිත මිල වෙන්නේ රුපියල් 320ක්. රුපියල් 70ක්ම අඩු වෙලා. ඉයන්, ජෙයන් හා කෙවින් පටස් ගාලා බෝංචි ගන්නවා. වැඩේ කියන්නේ බෝංචි මිල අඩු වුනත්, අමල්, බිමල් හා චමල් අඩු වූ මිලට බෝංචි ගන්න යන කොට කඩේ බෝංචි නෑ. බෝංචි ටික ඉයන්, ජෙයන් හා කෙවින් අරගෙන. රුපියල් 320ට ගන්න තියෙන්නේ නැති රටේ නැති බෝංචි. සමාජවාදී විසඳුමක් කියා මම කිවුවේ ඒකයි. මිල අඩුයි. ඒත් ඒ මිලට ගන්න කඩේ බඩු නැහැ. රුපියල් 320ට බෝංචි ගන්නනම් උදෙන්ම නැගිටලා පෝලිමේ ඉන්න ඕනෑ. ඔන්න කරනවානම් නිදහස් වෙළඳපොළක් තියෙද්දීම සමගි පෙරමුණු සමාජවාදය ක්‍රියාත්මක කරන්න ක්‍රමයක්!

      Delete
  2. මෝඩ ගෝටාට ජන්දේ දුන්නු උන්ට තණකොළ කන්න කියලා, අනික් උන්ට බෝංචි ටික ඉතිරි කරන්න කිව්වොත් වඩා ප්‍රායෝගිකයි නේද? බෝංචි මිල සුටුස්‌ ගහලා අඩුවෙලා, තණකොළ මිල ඉහල යයි.

    ReplyDelete
  3. ඔබ විශ්ලේෂණය කරන්නේ වාසු කියූ දේ නොවේ. අනෙක වාසු යෝජනා කරන්නේ සමාජවාදී ක්‍රමයක් කියා මා නම් හිතන්නේ නෑ.

    ඔබේ විශ්ලේෂණයේ දී ඔබ භාවිතා කර ඇති දත්ත මත මගේ අදහස කියනවා නම්, අද වෙළඳ පොලේ සැපයුම කිලෝ 12 ක් වන විට "සමතුලිත මිල" කිලො!වක් රුපියල් 300 ක් වන්නේ ලයිස්තුවේ ඇති සියළු දෙනාම බෝංචි තම කැමැත්ත අනුව මිලට ගත්තොත් පමණයි.

    වාසු යෝජනා කරන්නේ අප අවාරයේ අඹ වනැ පළතුරක් සොය සොයා ගොස් මිලට නොගන්නා සේ, ගනං ගොස් ඇති බෝංචි මිලට නොගන්නා ලෙසයි. එය ක්‍රියාත්මක වීම, සීමාසහිතව, සමාන කළ හැකියි අමල්ගේ සිට ඔෂාන් දක්වා පහළොස් දෙනාම තම ගැනුම් මිල 10% කින් අඩු කිරීමකට. එවිට සිදුවන්නේ, ඉල්ලුම් චක්‍රය යටට විතැන් වී, බෝංචි කිලෝ 12 විකුණා ගැනීමේ සමතුළිත මිල රුපියක් 270 දක්වා අඩුවීමයි.

    ඉකොනොමැටි (ie, econometrics) නොවන විශ්ලේෂණයක් කළහොත්, හිතන්න බෝංචි කිලෝ 12 මිලට ගැනීමට සිටින 15 දෙනා අතරින් 52.3% ක් වාසු කියන දේ එලෙසින්ම පිළිපදින අය ය කියා. ඒ කියන්නේ අට දෙනෙකු යැයි ගොඩ තරමක් වැඩි කොට සිතමු. මේ අට දෙනා බෝංචි මිලට ගැනීමෙන් වැලකී සිටිනවා. කිලෝ දොළහ ගන්නට ඉන්නේ අට දෙනයි. බෝංචි යනු පෙරිෂබල් භාණ්ඩයක් නිසා, එදින කඩේ වහන්නට පෙර මුදළාලිට අවසාන කිලෝව රුපියල් සීයට විකුණන්න සිදුවුණොත් පුදුම විය යුතු නෑ!

    ReplyDelete
    Replies
    1. //අනෙක වාසු යෝජනා කරන්නේ සමාජවාදී ක්‍රමයක් කියා මා නම් හිතන්නේ නෑ.// වෙළඳපොළ ඉල්ලුම සැපයුම අමතක කර "නිවැරදි" මිලක් ගැන කතා කිරීම මාක්ස්වාදී අදහසක්. ඒ වගේම, ඉල්ලුම තරමට සැපයුමක් නැතත්, වෙළඳපොළේ බඩු නැතත්, මිල පහලින් තබා ගැනීම සමාජවාදී භාවිතාවක්.

      //අද වෙළඳ පොලේ සැපයුම කිලෝ 12 ක් වන විට "සමතුලිත මිල" කිලො!වක් රුපියල් 300 ක් වන්නේ ලයිස්තුවේ ඇති සියළු දෙනාම බෝංචි තම කැමැත්ත අනුව මිලට ගත්තොත් පමණයි.//
      මෙහි ඉල්ලුම් වක්‍රය හැදී තිබෙන්නේ අද දිනයේ තමන්ගේ වටිනාකමට වඩා අඩු මිලකට මිල දී ගැනීමට අවස්ථාව ලැබේනම් මිල දී ගන්නට සූදානමින් සිටින පාරිභෝගිකයන්ගෙන්. අද බෝංචි මිල දී ගැනීමට අවශ්‍ය නොවන අය මෙහි නැහැ. පොදු වශයෙන් ගත්තත් ඉල්ලුම් වක්‍රයක් හැදෙන්නේ භාණ්ඩයක් කිසියම් මිලකට මිල දී ගන්න ඉඩ ලැබේනම් මිල දී ගන්න සූදානමින් සිටින අයගෙන් පමණයි. ඔවුන් මිල දී නොගන්නවානම් නොගන්නේ මිල තමන්ගේ වටිනාකමට වඩා වැඩි නිසයි. සලකා බලන අවස්ථාවේදී භාණ්ඩය මිල දී ගන්න අවශ්‍ය නැති අය අදාළ නිශ්චිත මොහොතේදී පාරිභෝගිකයින් සේ සලකන්න බැහැ.

      //වාසු යෝජනා කරන්නේ අප අවාරයේ අඹ වනැ පළතුරක් සොය සොයා ගොස් මිලට නොගන්නා සේ, ගනං ගොස් ඇති බෝංචි මිලට නොගන්නා ලෙසයි. එය ක්‍රියාත්මක වීම, සීමාසහිතව, සමාන කළ හැකියි අමල්ගේ සිට ඔෂාන් දක්වා පහළොස් දෙනාම තම ගැනුම් මිල 10% කින් අඩු කිරීමකට. එවිට සිදුවන්නේ, ඉල්ලුම් චක්‍රය යටට විතැන් වී, බෝංචි කිලෝ 12 විකුණා ගැනීමේ සමතුළිත මිල රුපියක් 270 දක්වා අඩුවීමයි.//

      අවාරයේ අඹ හොයාගෙන ගොස් මිල දී ගන්නේ අඹ වලට රුචිකත්වය ඉතා වැඩි, අඹ වලට ඉහළම වටිනාකමක් ලබා දෙන අයයි. එය ඒ අයගේ රුචිකත්වයයි. ඒ අය අවාරයේ අඹ සොයා යන එක මොනයම් හා අයුරකින් වැලක්වුවත් ඔවුන්ගේ අඹ වලට තිබෙන රුචිකත්වය අඩු වෙන්නේ නැහැ. මෙහි උපරිම ගැනුම් මිල කියන එක රුචිකත්වය, වත්කම් ආදිය මත අනායාසයෙන් තීරණය වන දෙයක්. පුද්ගලයෙකුගේ තීරණ වෙනස් කළ හැකි වුවත් වටිනාකම් වෙනස් වෙන්නේ නැහැ. කවර ආකාරයකින් හෝ තීරණ වෙනස් වී සමතුලිත මිල රුපියල් 270ක් වුවහොත් (අපි හිතමු ඔබ කියන ආකාරයට තමන්ගේ වටිනාකමෙන් 10%කට අඩුවෙන් මිස මිල දී නොගැනීමට සියලු දෙනාම අදිටන් කර ගැනීම නිසා) මුල් 12 දෙනාට වාසියක් ලැබෙනවා. මෙතැනදී වෙන්නේ ඒ දහදෙනා කාටලයක් සේ ක්‍රියා කිරීමක්. නමුත්, එසේ කළා කියා බෝංචි මිල වැඩි නිසා කලින් බෝංචි මිල දී ගැනීමේ අවස්ථාව අහිමි වූ 13 වන තැන සිටින මෝහන්ට බෝංචි ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔහු ඔය 10% සම්මුතියට එකඟ වෙන්නේ නැහැ. හැකියාවක් තිබේනම් මිල රුපියල් 270 වූ වහාම ඔහු බෝංචි කිලෝවක් මිල දී ගන්නවා. මොකද ඔහුගේ වටිනාකම රුපියල් 280 නිසා. එවිට, උඩ 12 දෙනාගෙන් අයෙකුට බෝංචි නැති වෙනවා. ඒ නිසා, ඔවුන්ට මේ සම්මුතියට යන්න වෙන්නේ රුපියල් 30ක වාසියට බෝංචි නොලැබීමේ 1/12ක අවදානමක් අරගෙනයි. ලැයිස්තුවේ උඩින් ඉන්න අමල්ට රුපියල් 300කට බෝංචි මිල දී ගත් පසුවත් රුපියල් 700ක වාසියක් තිබෙනවා. දැන් ඔහුට මේ රුපියල් 700ක වාසිය අහිමි වීමේ සම්භාවිතාව 700*(1/12) = රුපියල් 58ක් පමණ වන නිසා රුපියල් 30ක වාසියට ඔහු මේ යෝජනාවට කැමති වෙන්නේ නැහැ. බිමලුත් එහෙමයි. ඇත්තටම මේ උදාහරණයේදී සමතුලිත මිල පහළ දමා ගන්න අවශ්‍යනම් උඩ සිටින අය තීරණ වෙනස් කරන්න අවශ්‍ය නැහැ. ආන්තික පාරිභෝගිකයා වන ලොහාන්ට එය කළ හැකියි. නමුත්, විශාල පාරිභෝගික පිරිසක් සිටින විට මේ වගු වල මෙන් මිල ගණන් අතර පරතර නැති නිසා එය කිරීම අසීරුයි.

      Delete
    2. //හිතන්න බෝංචි කිලෝ 12 මිලට ගැනීමට සිටින 15 දෙනා අතරින් 52.3% ක් වාසු කියන දේ එලෙසින්ම පිළිපදින අය ය කියා. ඒ කියන්නේ අට දෙනෙකු යැයි ගොඩ තරමක් වැඩි කොට සිතමු. මේ අට දෙනා බෝංචි මිලට ගැනීමෙන් වැලකී සිටිනවා. කිලෝ දොළහ ගන්නට ඉන්නේ අට දෙනයි. බෝංචි යනු පෙරිෂබල් භාණ්ඩයක් නිසා, එදින කඩේ වහන්නට පෙර මුදළාලිට අවසාන කිලෝව රුපියල් සීයට විකුණන්න සිදුවුණොත් පුදුම විය යුතු නෑ!//

      ඔවු, ඔබ කියන තත්ත්වයන් යටතේදී එක් අයෙකුට රුපියල් 100කට බෝංචි කිලෝවක් ගන්න ඉඩ ලැබෙන්න පුළුවන්. නමුත්, ඒ මිලට බෝංචි ගන්න කැමැත්තෙන් සිටින තව හත් දෙනෙකුටම බෝංචි ගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. සමාජවාදී විසඳුමක් කියා මම කිවුවේ මෙයයි. මිල සත පණහක් වුනත් ඒ මිලට මිල දී ගන්න බෝංචි නැත්නම් ඒ මිල විහිළුවක් පමණයි. මේ වගේ විහිළු දුලබ නැති වීම වෙනම කරුණක්.

      Delete
    3. සමාජවාදී ක්‍රමයක් අවශ්‍ය නම් මා යෝජනා කරන්නේ කිලෝ 12, පාරිභෝගිකයින් 15 දෙනා අතරේ එක් අයෙකුට ග්‍රෑම් 800 බැගින් බෙදා දෙන ක්‍රමයකි.

      Delete
  4. correction:
    කිලෝ දොළහ ගන්නට ඉන්නේ හත් ‌ද‌ෙනයි.

    ReplyDelete
  5. බෝංචි කිලෝ එකක් ගිය දුර?

    ReplyDelete
  6. හැබැයි හිටපු අගමැති තුමානම් කිව්වේ "මිල අඩු කළාම, ඉල්ලුම වෑඩි වෙයි කියලා හිතුවේ නෑ" කියලා..

    ReplyDelete
    Replies
    1. මොකක් හා අදාළවද එහෙම කිවුවේ?

      Delete
    2. ගෑස් වලට අදාලව..

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.