Tuesday, December 17, 2019

ලංකාවේ සමාගම් කොයි තරම් ලාබ ලබනවාද?

පසුගිය දශක කිහිපය තුළ ලංකාවේ ජාතික ආදායම කිහිප ගුණයකින් වැඩි වී තිබෙනවා. එහෙත්, රජයේ බදු ආදායම් සමානුපාතිකව වැඩි වී නැහැ. එයින් අදහස් වෙන්නේ වැඩි වූ ජාතික ආදායම උපයන කණ්ඩායම හා බදු දැලට අහු වී සිටින කණ්ඩායම එකම කණ්ඩායමක් නොවන බවයි.

රටක ජාතික ආදායම විවිධ ආකාර වලින් විභේදනය කළ හැකියි. මෙසේ ජාතික ආදායම විභේදනය කළ හැකි එක් ආකාරයක් වන්නේ ශ්‍රමය වෙනුවෙන් ලැබිය යුතු කොටස හා ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබිය යුතු කොටස ලෙස කොටස් දෙකකට බෙදීමයි. සමාගමක ලාබ ශ්‍රමයේ ප්‍රතිලාභ හා ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ ලෙස බෙදී යනවා. ශ්‍රමයේ ප්‍රතිලාභ වන්නේ සමාගමේ සේවකයින් වැටුප්, පාරිතෝෂික හා වෙනත් ප්‍රතිලාභ සේ ලබා ගන්නා කොටසයි. ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ යනු කොටස් හිමියන් ලාභාංශ සේ ලබන මුදලයි. ලාභාංශ සේ ලබා නොගෙන නැවත කරන ආයෝජනයන්ද මෙයටම ඇතුළත්.

භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය කරන සමාගමකට ඒ සඳහා ශ්‍රමය හා ප්‍රාග්ධනය කියන නිෂ්පාදන සාධක දෙක අවශ්‍ය වෙනවා. මේ එක් එක් නිෂ්පාදන සාධකය වැඩි වැඩියෙන් යොදවන තරමට නිෂ්පාදනය ඉහළ යනවා. එහෙත්, එසේ නිෂ්පාදනය ඉහළ යන්නේ සමානුපාතිකව නෙමෙයි. නිෂ්පාදන සාධක ඒකකයක ඵලදායීතාවය ඒකක ගණන වැඩි වෙද්දී ක්‍රමයෙන් පහළ යනවා. ඒ නිසා, නිෂ්පාදනයේදී ශ්‍රමය හා ප්‍රාග්ධනය යෙදවිය යුතු ප්‍රශස්ත මට්ටමක් තිබෙනවා. ඒ මට්ටම පවතින තාක්ෂණයේ ස්වභාවය මත තීරණය වන්නක්.

නිදහස් වෙළඳපොළක් සමතුලනය වීමේදී ස්වභාවිකවම ශ්‍රමය හා ප්‍රාග්ධනය මේ ප්‍රශස්ත මට්ටමට යෙදවෙන නිසා එය කිසිවෙකු විසින් අමුතුවෙන් සැලසුම් කළ යුතු නැහැ. සමාගම් ලාබ පිණිස ක්‍රියා කරද්දී සමතුලිතතාවය ස්වභාවිකවම ඇති වෙනවා.

ලංකාවේ වෙළඳපොල පරිපූර්ණ නිදහස් වෙළඳපොළක් නෙමෙයි. නීති හෝ සම්ප්‍රදාය නිසා ලංකාවේ සමාගමකට ලාබ අඩුවන විට සේවකයින් ඉවත් කිරීමේ හැකියාවක් නැහැ. මේ බාධකය නිසා ලංකාවේ සමාගම් ලාබ වැඩි වන කාල වකවානු වලදී තාවකාලිකව සේවකයින් බඳවා ගන්නේත් ඉතා අඩුවෙන්. මම මේ කතා කරන්නේ භාණ්ඩ හා සේවා නිපදවන සම්ප්‍රදායික සමාගම් ගැන. ඉදි කිරීම් වැනි ක්ෂේත්‍ර වල තත්ත්වය වෙනස්.

ශ්‍රමය වගේම ලංකාවේ ප්‍රාග්ධනය නිදහසේ චලනය වෙන්නෙත් ඉතා සීමිතවයි. බොහෝ විශාල සමාගම් වල කොටස් හිමිකම් එම සමාගම් වල ආරම්භකයන්ගේ පවුල් උරුමයන්. ලාබ අඩු වුනා කියා මේ කොටස් හිමියන් තමන්ගේ ප්‍රාග්ධනය ඉවත් කරගෙන වෙනත් තැන් වල ආයෝජනය කරන්නේ නැහැ. වෙනත් අයට තමන්ගේ කොටස් හිමිකම් අයිති කරගන්න ඉඩ හරින්නේත් නැහැ.

කෙටිකාලීනව ශ්‍රමය හෝ ප්‍රාග්ධනය නිදහසේ චලනය නොවන නිසා සිදුවන්නේ කෙටිකාලීනව ශ්‍රමයේ හා ප්‍රාග්ධනයේ නිෂ්පාදන ඵලදායිතාව විචලනය වීමයි. ඒ නිසා, කෙටිකාලීනව ශ්‍රමයේ හා ප්‍රාග්ධනයේ ප්‍රතිලාභත් විචලනය වෙනවා. එහෙත්, දිගුකාලීනව සමතුලිතතාවයක් ඇති වීම මේ බාධක නිසා වැළකෙන්නේ නැහැ.

ලංකාවේ සමාගම් වල කොටස් හිමිකම් දරන අය තමන්ගේ ප්‍රාග්ධනය වෙනුවෙන් කොපමණ ප්‍රතිලාභ ලබනවද?

කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගම් අතරින් එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකයට ඇතුළත් කර ගෙන තිබෙන්නේ රටේ ප්‍රමුඛතම සමාගම් සේ සැලකිය හැකි සමාගම් 20ක්. පහත වගුවේ තිබෙන්නේ මේ සමාගම් 20 පසුගිය දශකය තුළ කොටස් හිමිකම් වෙනුවෙන් ලබා ඇති ප්‍රතිලාභ අනුපාතිකයි. කිහිප වරක් පරීක්ෂා නොකළ නිසා මේ සංඛ්‍යාලේඛණ 100%ක්ම නිවැරදි නොවිය හැකි වුවත් තිබිය හැකි වැරදි නිසා ලිපියෙන් පෙන්වා දෙන කරුණ වෙනස් වෙන්න හේතුවක් නැහැ.


මේ සමාගම් අතරින් දුම්කොළ සමාගම, නෙස්ලේ සමාගම හා චෙව්රෝන් සමාගම සැලකිය හැක්කේ බහුජාතික සමාගම් ලෙසයි. විණිමය අනුපාතික විකෘතියේ වාසි ඇතුළු වෙනත් වාසි ලබන එම සමාගම් තුනත්, ඩිස්ටලරීස් සමාගමත් ඉවත් කළ විට අනෙකුත් දේශීය සමාගම් වල සාමාන්‍ය නාමික ප්‍රතිලාභ අනුපාතිකය 14%ක් පමණ වෙනවා. උද්ධමනය 6%ක් ලෙස සැලකුවහොත් මෙය 8%ක පමණ මූර්ත ප්‍රතිලාභ අනුපාතිකයක්. ඇමරිකාවේ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගමක් සාමාන්‍යයෙන් උපයන දිගුකාලීන මූර්ත ප්‍රතිලාභ අනුපාතිකයද 8% පමණ වෙනවා.

ලංකාවේ එක් අවුරුදු භාණ්ඩාගාර බිල්පත් අනුපාතිකය 9%ක් පමණ වෙනවා. දිගුකාලීන බැඳුම්කර පොලී අනුපාතිකය මීටත් වඩා ප්‍රතිශතාංක කිහිපයක් වැඩියි. ඒ කියන්නේ, සමාගම් වල ආයෝජනය කිරීමේ අවදානම සැලකූ විට ලංකාවේ පෞද්ගලික සමාගම් වලට මුදල් යොදවන අය ලබන විශේෂ වාසියක් නැහැ. ඒ නිසා, මේ සමාගම් නියැලී සිටින නිෂ්පාදන කර්මාන්ත වල මීට වඩා තරඟකාරිත්වයක් ඇති වීමේ ඉඩක් නැහැ. වෙනත් විදිහකින් කිවුවොත් අලුත් තරඟකරුවන් මේ කර්මාන්ත වලට පැමිණීමේ ලොකු ඉඩක් නැහැ. එසේ වෙනවානම් විය හැක්කේ දැනට සිටින සමාගම් නිෂ්පාදනයෙන් ඉවත් වීමට සමාන්තරවයි.

රජය විසින් දේශීය ණය ලබා ගැනීමේදී ගෙවන පොලී අනුපාතික විශාල ලෙස අඩු නොවුනොත් ළඟකදී තත්ත්වයේ වෙනසක් වීමේ ඉඩක් නැහැ. රජයේ අයවැය හිඟය විශාල ලෙස අඩු නොවුණහොත් ණය ලබා ගැනීමේදී රජයට ගෙවන්න සිදුවන පොලී අනුපාතික අඩුවෙන්න ඉඩක් නැහැ.

6 comments:

  1. //රජය විසින් දේශීය ණය ලබා ගැනීමේදී ගෙවන පොලී අනුපාතික විශාල ලෙස අඩු නොවුනොත් ළඟකදී තත්ත්වයේ වෙනසක් වීමේ ඉඩක් නැහැ. රජයේ අයවැය හිඟය විශාල ලෙස අඩු නොවුණහොත් ණය ලබා ගැනීමේදී රජයට ගෙවන්න සිදුවන පොලී අනුපාතික අඩුවෙන්න ඉඩක් නැහැ.//

    මේක පොඩ්ඩක් පැහැදිලි මදි. රජය අලුතෙන් මුදල් අච්චු ගැසීම හරහා නම් අයවැය හිඟය පියවාගන්නේ එයින් සිදුවනුයේ මුදල් සැපයුම වැඩි වී පොලී අනුපාතික පහත වැටීම නොවේද ?

    ReplyDelete
    Replies
    1. පළමුව කියන්න තියෙන්නේ මේ ලිපියෙන් කතා කළේ ලංකාවේ සමාගම් වල දිගුකාලීන ලාබ ගැන හා ප්‍රාග්ධන වෙළඳපොළේ දිගුකාලීන සමතුලිතතා ගැන. වසරින් වසර යම් වෙනස්කම් වුනත්, දිගුකාලීනව ලංකාවේ රජය අයවැය හිඟය පියවගන්න ක්‍රම තුනක් තියෙනවා. දේශීය ණය ගැනීම, විදේශීය ණය ගැනීම හා අලුතින් මුදල් සංසරණයට එකතු කිරීම (=සල්ලි අච්චු ගැසීම = මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් විකිණීම). ඔබ අහන්නේ තෙවන ක්‍රමයේ බලපෑම ගැන. අයවැය හිඟය පියවා ගන්න අලුතින් මුදල් අච්චු ගැහුවත් ඒ මුදල් ගෙඩිය පිටින්ම භාණ්ඩාගාරයට යන නිසා මූල්‍ය වෙළඳපොළේ මුදල් සැපයුමේ විශේෂ වැඩි වීමක් වෙන්නේ නැහැ. ඒ නිසා, පොලී අනුපාතික අඩු වෙන්නේ නැහැ. හැබැයි ඒ මුදල් මූල්‍ය වෙළඳපොළෙන් දේශීය ණය සේ ගත්තානම් පොලී අනුපාතික ඉහළ යන්න තිබුණු ඉඩකඩ තාවකාලිකව වැළකෙනවා. ඉන් පසුව, රජය ඒ මුදල් වියදම් කර භාණ්ඩ හා සේවා වලට තිබෙන ඉල්ලුම වැඩි වුනහම මිල මට්ටම් ඉහළ යනවා. එවිට උද්ධමනය පාලනය කරන්න මහ බැංකුවට පොලී අනුපාතික වැඩි කරන්න සිදු වෙනවා. ඒ නිසා, මුදල් අච්චු ගැසීමේදී වෙන්නේ දේශීය ණය ගැනීමේදී වෙන දෙය තරමක් පමා කරගන්න හැකි වීම පමණයි. කෙටිකාලීනව වෙනසක් තිබුණත් දිගුකාලීනව වෙනසක් නැහැ.

      Delete
  2. //මේ සමාගම් නියැලී සිටින නිෂ්පාදන කර්මාන්ත වල මීට වඩා තරඟකාරිත්වයක් ඇති වීමේ ඉඩක් නැහැ. වෙනත් විදිහකින් කිවුවොත් අලුත් තරඟකරුවන් මේ කර්මාන්ත වලට පැමිණීමේ ලොකු ඉඩක් නැහැ.//

    රාජ්‍ය ව්‍යවාසයන් කොටස් වෙළඳපොල තුල ලැයිස්තුගත කිරීම මේකට හොඳ ඔප්ෂන් එකක් වෙයි නේද ?

    //රජය විසින් දේශීය ණය ලබා ගැනීමේදී ගෙවන පොලී අනුපාතික විශාල ලෙස අඩු නොවුනොත් ළඟකදී තත්ත්වයේ වෙනසක් වීමේ ඉඩක් නැහැ. රජයේ අයවැය හිඟය විශාල ලෙස අඩු නොවුණහොත් ණය ලබා ගැනීමේදී රජයට ගෙවන්න සිදුවන පොලී අනුපාතික අඩුවෙන්න ඉඩක් නැහැ.
    //
    ඒ කියන්නේ අලුත් ආණ්ඩුව කරපු බදු සංශෝදන වලින් අපේක්ෂා කරන මට්ටමේ ආර්ථික ප්‍රසාරණයක් ලබාගන්න අසීරුයි නේද ?

    ReplyDelete
    Replies
    1. //රාජ්‍ය ව්‍යවාසයන් කොටස් වෙළඳපොල තුල ලැයිස්තුගත කිරීම මේකට හොඳ ඔප්ෂන් එකක් වෙයි නේද ?//
      එසේ කිරීමෙන් මා කියන තත්ත්වයේ වෙනසක් වෙන්නේ නැහැ. අපි හිතමු රජය සතු කිසියම් ව්‍යවසායයක් කොටස් වෙළඳපොල තුළ ලැයිස්තුගත කළා කියා. මෙහි කොටස් මිල දී ගැනීම වෙනත් සමාගමක කොටස් මිල දී ගන්නවාට වඩා වාසිදායකනම් ඉල්ලුම වැඩි වී කොටසක මිල "අවශ්‍ය පමණ" ඉහළ ඉහළ ගොස් සමතුලිතතාවයකට එනවා. එයින් පසුව වෙළඳපොළේ කොටස් මිල යටතේ එම කොටස් වල ROE එක වෙන්නේත් අනෙකුත් සමාගම් වල ROE එක වන 14%ම තමයි. අවදානම සැළකු විට බැඳුම්කරයක මුදල් ආයෝජනය කර 11%ක් ලැබීම ඊට වඩා වාසිදායකයි.

      කිසියම් වෙළඳපොලක තරඟකාරීත්වය වැඩි වන්නේ සමාගම් ප්‍රමාණය වැඩි වන විටයි. අලුත් සමාගම් ආකර්ශනය වෙන්නේ ප්‍රාග්ධන ආයෝජන වලට ලැබෙන ප්‍රතිලාභ ඉහළ යන තරමටයි. නමුත්, ලංකාවේ බොහෝ නිෂ්පාදන කර්මාන්ත වල ප්‍රතිලාභ අනුපාතිකය අලුත් තරඟකරුවන් ආකර්ශනය කර ගත හැකි මට්ටමක නැහැ. ඒ කියන්නේ තිබිය යුතු ව්‍යවසාය ගණන දැනටත් තිබෙනවා. මෙය වැඩි වෙන්නනම් වෙළඳපොළ ප්‍රසාරණය විය යුතුයි. නමුත්, ලංකාවේ මුළු වෙළඳපොළම එතරම් විශාල නැහැ. විශේෂයෙන්ම ඉන්දියාව හා චීනය වගේ රටවල් සැලකුවහම. තිබෙන වෙළඳපොළෙන් විශාල භාගයක් බොහෝ විට ආනයන වලින් අල්ලාගෙන තියෙන්නේ. දිගින් දිගටම විදේශ ණය ගනිමින් රුපියල ඕනෑවට වඩා ශක්තිමත්ව තියා ගැනීම නිසා දේශීය නිෂ්පාදකයින්ට බොහෝ විට තරඟ කරන්න වෙන්නේ අසාධාරණ කොන්දේසි යටතේ. රාජ්‍ය සුරැකුම්පත් පොලී අනුපාතික පහළ යන තරමට දැනට ලබන 14% ප්‍රතිලාභයේ සාපේක්ෂ ආකර්ශනීයත්වය වැඩි වෙනවා. රුපියල අවප්‍රමාණය වන තරමට අපනයන සමඟ තරඟ කිරීමේ හැකියාව වැඩි වෙනවා. රුපියල අවශ්‍ය පමණ අවප්‍රමාණය වුනොත් අපනයන වෙළඳපොළවල් කරා යොමු වී වෙළඳපොළ තවත් ප්‍රසාරණය කරගන්න හැකි වෙනවා. වෙළඳපොළේ පරිමාව වැඩි වන විට තිබෙන ලාභ අනුපාතික යටතේ වුවත් වැඩි සමාගම් ගණනකට අවකාශයක් හැදෙනවා.

      Delete
    2. //ඒ කියන්නේ අලුත් ආණ්ඩුව කරපු බදු සංශෝදන වලින් අපේක්ෂා කරන මට්ටමේ ආර්ථික ප්‍රසාරණයක් ලබාගන්න අසීරුයි නේද ?//
      සිදුවන හානියට සාපේක්ෂව ලොකු වාසියක් ලැබේයැයි හිතන්න අමාරුයි. බොහෝ විට සිදු වනු ඇත්තේ උද්ධමන පීඩන වැඩි වීමයි. අනාවැකියක් ලෙස අළුත් මාළු වැනි දේ වල මිල මුලින්ම ඉහළ යන්න පුළුවන්. (සැපයුම් වෙනස්කම් නිසා සිදුවන විචලනයන්ට අමතරව).

      Delete
  3. අපි නොදැනම පැටලිලා ඉන්න පඹගාලක තරම කියලයි මට නං හිතුණේ.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.