Friday, December 6, 2019

ණය වැඩි වීම හා ආදායම් වැඩිවීම

රජයේ ණය ප්‍රමාණය එන්න එන්නම ඉහළ ගියත් ආදායම්ද සමාන්තරව ඉහළ යන්නේනම් ප්‍රශ්නයක් නැතැයි ඇතැම් අය කියනවා. ඒ කතාවේ අඩුපාඩු තිබුණත් කතාවට පදනමක් තිබෙන නිසා අඩුපාඩු ගැන කතා කිරීම පසුවට තබා ආදායම් වැඩි වීම ගැන මුලින් කතා කරමු.

ණය ගැනීම හෝ ණය ප්‍රමාණය ඉහළ යාම හැම විටම නරක දෙයක් නෙමෙයි කියන එක ඇත්ත. ණය ලෙස ලබා ගන්නා මුදල් නිසි සේ ආයෝජනය කර ණය හා පොලිය ආපසු ගෙවා අමතර ලාබයක්ද ලැබිය හැකි අවස්ථා තිබෙනවා. ඒ වගේ වෙලාවක ණය ගැනීමේ වරදක් නැහැ.

ණය නිසා ඔය කියන විදිහට ආදායම් ලැබෙනවානම් ගත් ණය හා පොලී ආපසු ගෙවීම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ලංකාවේ වෙලා තියෙන්නේ එහෙම දෙයක්ද?

අපි කතා කරමින් සිටියේ ලංකාවේ රජයේ ණය ගැනනේ. ණය අරගෙන රජය කරන ආයෝජන වල ලාබ එක්කෝ රජයට සෘජුවම ලැබෙන්න ඕනෑ. එහෙම නැත්නම් රටේ වෙන කාට හෝ ලැබී බදු හරහා වක්‍ර ලෙස රජයට ලැබෙන්න ඕනෑ. ඔය දෙකෙන් කොයි එක වුවත්, රජයේ ආදායම ඉහළ යා යුතුයි. ණය ආයෝජන වල ප්‍රතිඵල ලෙස රටේ මිනිස්සුන්ගේ ආදායම් වැඩි වී ඇති විටක රජයේ බදු ආදායම වැඩි කර ගැනීම සඳහා අමුතුවෙන් බදු වැඩි කරන්න අවශ්‍ය නැහැ. රටේ ආදායම් ඉහළ යන විට බදු අනුපාතික නිශ්චිතව තිබුණත්, රජයේ බදු ආදායම සමාන්තරව ඉහළ යා යුතුයි. ඒ කියන්නේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රජයේ ආදායම කිසියම් ස්ථාවර මට්ටමක දිගටම තිබිය යුතුයි.

නමුත්, ඇත්තටම වෙලා තිබෙන්නේ ඒකද? අඩු වශයෙන් දශක තුන හතරක සිට සිදු වෙමින් තිබෙන්නේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රජයේ ආදායම් වසරින් වසර අඩු වීමයි. පසුගිය යහපාලන ආණ්ඩුව විසින් දිගින් දිගටම රජයේ ආදායම් අඩු වීමේ ප්‍රවණතාව වෙනස් කර ගැනීමට සමත් වුවත් එසේ කළේ බදු අනුපාතික ඉහළ දමලයි. ණය වැඩි වී තිබෙන්නේ ඒ ණය ඵලදායී ලෙස ආයෝජනය කිරීම නිසානම් එහෙම වෙන්නේ කොහොමද?


8 comments:

  1. ඒ අතරේම බලන්න ඕනේ නේද හැමෝම අවංකව බදු ගෙවනවද කියලත්?

    ReplyDelete
  2. ප්‍රස්තාරයේ දැක්වෙන කාලය ඇතුලත ඒක පුද්ගල ආදායම දෙගුණයකට වඩා වැඩිවෙලා තියනවා. පෞද්ගලික අංශයත් ලාබ ලබලා තියනව. එහෙමනම් රජයේ ආදායම අඩුවිම, ආදායම් උපදවීමේ/එකතුකිරිමේ අකාර්‍යක්ශමතාවය නිසා වෙන දෙයක් නොවේද?

    ReplyDelete
    Replies
    1. සරල හා කෙටි පිළිතුරක් ලෙස බදු ආදායම් එකතු කර ගැනීමේ අකාර්යක්ෂමතාවය කියා කියන්න පුළුවන්. නමුත්, මෙය බදු ගෙවිය යුතු අය බදු නොගෙවීමට පමණක්ම සරල කළ හැකි දෙයක් නෙමෙයි. ආර්ථිකයක් කිහිප ගුණයකින් ප්‍රසාරණය වූ පසු ආර්ථිකයේ සිදු වන ආකෘතිමය වෙනස්කම් නිසා බදු ආකෘතියම අකාර්යක්ෂම වීමේ ප්‍රශ්නයක් එක පැත්තකින් මෙහි තිබෙනවා. අනෙක් පැත්තෙන් ඔබ කියන පෞද්ගලික අංශයේ ලාබ කියන කොටස ගැන මට විවේචන තිබෙනවා. මේ කරුණු දෙකම විස්තරාත්මකව පැහැදිලි කළ යුතු දේවල්. පළමු කරුණට ඉතාම කෙටි පැහැදිලි කිරීමක් ලෙස 1977 පමණ කාලයේදී සිදු වුනේ ආර්ථික ක්‍රියාකාරකම් වල නොනියැලුණු බොහෝ පිරිස් වෙළඳපොළ ආර්ථිකයක් ඇතුළට ටිකෙන් ටික අවශෝෂනය වෙන්න පටන් ගැනීම. එවැනි දෙයක් වෙන කාලයක පරිභෝජනය මත වක්‍ර බදු ගැසීම පලදායකයි. රටේ ආදායම් ඉහළ යාමට සමාන්තරව පහළ ස්ථර වල බොහෝ දෙනෙකුගේ පරිභෝජන මට්ටම්ද වේගයෙන් ඉහළ යන නිසා. නමුත්, ආදායම එක මට්ටමකට පැමිණි විට පරිභෝජන අවශ්‍යතා ටිකෙන් ටික සංතෘප්ත වී අමතර ආදායම් ආයෝජන වියදම් බවට පරිවර්තනය වෙනවා. එවිට පරිභෝජනය මත අය කරන වක්‍ර බදු වලින් ලැබෙන ආදායම් සමානුපාතිකව ඉහළ යන්නේ නැහැ. ආයෝජන නිසා රැකියා ජනනය වී පහළ ස්ථර වලට වැඩි වූ ආදායම් වල ප්‍රතිලාභ ගලා යනවානම් මෙය වෙනවා. ලංකාවේ එවැනි ආයෝජන කර ලාබ ලැබීම අසීරුයි. මෙය දෙවන කරුණට සම්බන්ධයි. පෞද්ගලික සමාගමක් ආර්ථික ලාබ ලබනවා කියා කියන්න පුළුවන් වන්නේ අඛණ්ඩව දිගින් දිගටම රාජ්‍ය සුරැකුම්පත් පොලියට වඩා සැලකිය යුතු තරම් විශාල ලාබ ආන්තිකයක් ලබනවානම් පමණයි. එවැනි ලාබ ලබන්නේ සම්ප්‍රදායික නොවන ව්‍යවසායකයෝ. ඒ අයගෙන් ආදායම් එකතු කර ගත හැකි ආකාරයේ බදු ආකෘතියක් නැහැ. වෙනත් විදිහකට කිවුවොත් වැඩි වූ ආදායම තිබෙන්නේ කාගේ අතේද කියන එක ගැන රජයට නිසි තක්සේරුවක් තිබිය යුතුයි. ඒ අනුව, බදු ආකෘතිය සංශෝධනය විය යුතුයි.

      Delete
    2. ස්තුතියි, නිදහස් වෙලදපොල ක්‍රමයකට රට ගමන් කරනවනම් වෙන්න ඕනේ රජය සතුව තිබුනු අංශ ටිකෙන් ටික පෞද්ගලික අංශයට යන එකනෙ. වෙන විදිහකට බැලුවොත් රජයේ වියදම් ටිකින් ටික අඩු වෙන්න ඕනේ.මේ බදු ආදායම් ප්‍රතිශත අඩුවිම වුනා කියල ලොකු අවුලක් නැහැ වගේම වෙන්න ඕන දෙයක්.නිදහස් රටක තමන් හම්බකරන සල්ලි ආණ්ඩුවේ/වෙනකෙනෙක්ගේ මැදිහත් විමකින් තොරව වියදම් කරන්න පුලුවන් වෙන්න ඕනේ.
      එජාප ආණ්ඩුව කලේ බදු ආදායම වැඩිකර ගනිමින් රජය තවත් විශාල කිරිමට වක්‍රව අනුබල දීමයි. කරන්න තිබුනේ රජයේ වියදම් අඩුකර ගනිමින් බදු ආදායමට ගැලපෙන ලෙස රාජ්‍ය පද්දතිය සකස් කිරිමයි.

      රනිල්ගේ 2001-2004 කාලේ මීට වඩා ආර්තික වශයෙන් ඉදිරිගාමි කියල හිතින්නෙ. රනිල්ගේ යුග දෙකේදිම වුනේ අන්තිමට ඇප නැතුව පරදින්න.

      ගෝටගේ බදු අඩුකිරිම, වැලි බලපත්‍ර ඉවත්කිරිම වගේ දේවල් නිදහස් වෙලදපොල ක්‍රමය පැත්තට ට්‍රෙන්ඩ් එකක් තියනව කියල හිතෙනවා.

      ඉකොනො රාජ්‍ය බදු ගැන ලිපි මේ බ්ලොග් එකේ අඩුයි වගේ පෙන්නෙ.පුලුවන්නම් ඒ ගැනත් සලකලා බල්න්න

      Delete
    3. //මේ බදු ආදායම් ප්‍රතිශත අඩුවිම වුනා කියල ලොකු අවුලක් නැහැ//
      බදු ප්‍රතිශත අඩු වීම හෝ වැඩිවීම ප්‍රශ්නයක් බව හෝ ප්‍රශ්නයක් නොවන බව සරලව කියන්න බැහැ. නමුත්, රජයේ බදු ආදායම් අඩු වුනොත් එය ප්‍රශ්නයක් වෙනවා. මොකද අයවැය හිඟය වැඩි වුවහොත්, බදු කියන වචනය නැතිව වක්‍රව රුපියලේ මූර්ත අගය අඩු වෙන්නට හැරීම වැනි ක්‍රම වලින් (සල්ලි අච්චු ගැසීමෙන්) නැවත ඒ මුදල් රජයට ගන්න එකයි අවසාන වශයෙන් කරන්න වෙන්නේ. බදු හරහා ආදායම් එකතු කිරීම පාරදෘශ්‍ය ක්‍රමයක්.

      //නිදහස් රටක තමන් හම්බකරන සල්ලි ආණ්ඩුවේ/වෙනකෙනෙක්ගේ මැදිහත් විමකින් තොරව වියදම් කරන්න පුලුවන් වෙන්න ඕනේ.//
      ඔබ නිවැරදියි. ඒ එක්කම රජය කියන ආයතනය පවතින මට්ටමෙන් පවත්වා ගැනීම ඒ නිදහස් මිනිසුන්ගේ කැමැත්තනම් එහි වියදමද ඔවුන් විසින් දැරිය යුතුයි. ඒ අනුව, ඒ ප්‍රමාණය දක්වා බදු ගෙවන්න වෙනවා.

      //එජාප ආණ්ඩුව කලේ බදු ආදායම වැඩිකර ගනිමින් රජය තවත් විශාල කිරිමට වක්‍රව අනුබල දීමයි. කරන්න තිබුනේ රජයේ වියදම් අඩුකර ගනිමින් බදු ආදායමට ගැලපෙන ලෙස රාජ්‍ය පද්දතිය සකස් කිරිමයි.//

      එජාප ආණ්ඩුව විසින් රජය විශාල කිරීමක්නම් කළේ නැහැ. මම හිතන විදිහට ඔවුන් උත්සාහ කළේ ඔබ කියන දේ කරන්නයි. නමුත්, රජයේ වියදම් වල ස්වභාවය අනුව රජය කුඩා කිරීම (පසුගිය ආණ්ඩුවට වගේම මේ ආණ්ඩුවටත්) එකවර කළ නොහැකි අසීරු දෙයක්. කරන්න වෙන්නේ රජය තවත් විශාල නොකර සිටීමයි. රජය පවතින මට්ටමින් පවත්වා ගන්නත් තව සෑහෙන්න බදු ආදායම් එකතු කර ගන්න වෙනවා. මේ ආණ්ඩුවටත් දිගුකාලීනව වෙනත් විකල්පයක් නැහැ.

      //ගෝටගේ බදු අඩුකිරිම, වැලි බලපත්‍ර ඉවත්කිරිම වගේ දේවල් නිදහස් වෙලදපොල ක්‍රමය පැත්තට ට්‍රෙන්ඩ් එකක් තියනව කියල හිතෙනවා.//
      දේශපාලනය පැත්තකින් තිබ්බොත් මේවා මැදි කාලීන රාජ්‍ය මූල්‍ය උපාය මාර්ග. 2014ට සාපේක්ෂව 2019 ආර්ථිකය තිබෙන තැන වෙනස්. ඒ නිසා පසුගිය කාලයේ බදු වැඩි කිරීමට වගේම දැන් යම් තරමකින් බදු ලිහිල් කිරීමටත් පදනමක් තිබෙනවා. නමුත්, එය දිගුකාලීනව රජයේ අයවැය පරතරය පුළුල් නොකළ යුතුයි. 2014 රාජපක්ෂ ආණ්ඩුව පරදින විට මැදිකාලීන ආර්ථික සැලසුම් වල තිබුණේත් වියදම් සීමා කර ආදායම් වැඩි කරගෙන අයවැය හිඟය අඩු කර ගැනීමේ ඉලක්කයක්. යහපාලන ආණ්ඩුව කළේත් එයයි. මුල් වසරේ කොහොම වුවත්, මහා මැතිවරණයෙන් පසුව හෝ මේ ආණ්ඩුවත් ආදායම් වැඩි කර ගැනීම ගැන නොහිතා ඉන්න හේතුවක් නැහැ.

      //ඉකොනො රාජ්‍ය බදු ගැන ලිපි මේ බ්ලොග් එකේ අඩුයි වගේ පෙන්නෙ.පුලුවන්නම් ඒ ගැනත් සලකලා බල්න්න//

      අඩු වශයෙන් ලිපි 20ක් තිබෙනවා. ඒත් තවත් ලියන්න දේවල්නම් තියෙනවා.

      http://emgesathapaha.blogspot.com/search/label/%E0%B6%B6%E0%B6%AF%E0%B7%94

      http://economatta.blogspot.com/search/label/%E0%B6%B6%E0%B6%AF%E0%B7%94

      Delete
  3. ණය අරං හරි කාලා බිලා ස්පා ගිහිං සැපේ ඉමු.

    ReplyDelete
  4. ඉකොනො පහුගිය අවුරුදු 5 දී ඊට කලින් ලංවීම මගින් සැලසුම් කර තිබූ පරිදි ජාතික විදුලිබල පද්ධතියට එකතුවිය යුතු මෙගාවොට් 100 ක් පමණ වන අවශ්‍ය විදුලි ධාරිතාවය එක් නොවීමෙන් ලබන 2020 වසරේ අපේ‍්‍රල් - මැයි වන විට ලංකාවට අතිශය දැවැන්ත විදුලි අර්බුදයකට මුහුණ දීමට සිදුවිය හැකි බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසා සිටියා දැක්ක නේද? ඉතින් මේ ගැන මට හිතෙන විදියට විදුලි බලාගාර ටික සාදා ඉවර වෙනතුරු මේ සඳහා තාවකාලික විසඳුමක් ඇත. එනම් කොළඹ හා අනෙකුත් නගර වල ප්‍රධාන පෙලේ දිවා කාලයට මෙන්ම රාත්‍රී කාලයට අධික ලෙස විදුලිය පරිභෝජනය කරන ආයතන වලට විශේෂයෙන් රාත්‍රී කාලයේ ජෙනරේටර් මගින් විදුලිය ලබාගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමයි. එමගින් රාත්‍රී කාලයට එම ආයතන මගින් ලබා ගන්නා විදුලියෙන් නිවාස ගණනාවක් ආලෝකමත් කිරීමටත් විදුලි ඉල්ලුම අඩුකර ගැනීමටත් හැකිවේ. එසේම විශ්ව විද්‍යාල හා අනෙකුත් විශාල ප්‍රමාණයේ වහල ඇති ගොඩනැගිලි පවතින ආයතනවලට සූර්ය පැනල සවිකර දිවාකල විදුලි ඉල්ලුම අඩුකර ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමයි මේ සඳහා රජයෙන් මූල්‍ය පහසුකම් සපයා දී අඩුවන විදුලි බිලෙහි සඳහන් මුදලින් කොටසක් නැවත රජයට ලැබෙන පරිදි සැකසූ විට ආයතනයටද බරක් නොමැතිව රජයටද ආයෝජිත මුදල නැවත ලබා ගැනීමේ හැකියාව ඇත. ලංකාවේ සූර්ය පැනල භාවිතයෙන් විදුලි උත්පාදනය වැඩි දියුණු කරන්න අධිවේගි මාර්ග පද්ධතියත් ඊට යොදාගන්න පුලුවන්. රජයේ ගොඩනැගිලි සියල්ලම යොදාගත හැකියි. මේක ගැන ඔබේ මතය මොකක්ද කියලා කියන්න.

    ReplyDelete
    Replies
    1. විදුලි බිල සාපේක්ෂව අඩු, ලංකාවේ තරම් හිරු එළිය නැති ඇමරිකාවේ සූර්ය බලශක්තිය ඉතා වාසිදායක ආයෝජනයක්. ලංකාවේ එය එසේ නොවන්නේ යි කියන එක මට පැහැදිලි නැහැ. මේ මෑතකදී අප ඉන්න පැත්තේ පාසැල් පරිපාලක මණ්ඩලය විශාල සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ආරම්භ කළා. පැනල් 4800ක්, වසරකට මෙගාවොට්පැය 2400ක් පමණ හදනවා. මේ සඳහා මුළු ආයෝජනයම ණය මුදලක්. වාර්ෂිකව ණය වාරික හා පොලිය ගෙවීමෙන් පසුව, නඩත්තු වියදම්ද අතහැර පළමු වසරේ සිටම සැලකිය යුතු මුදලක් ඉතිරි වෙනවා (cashflow positive ව්‍යාපෘතියක්). ඒ කියන්නේ අතින් කීයක්වත් යන්නේ නැහැ. ණය ගෙවා අවසන් වූ පසුව (මතක හැටියට වසර 15කින්) තනිකරම ලාබ. මතක හැටියට වසර 30කට වොරන්ටි එකක් තිබෙනවා. මම පාසැල් මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවා සමඟ ගොඩක් කතා කර තිබෙනවා. ඔහුට මේ වැඩේ ගැන තියෙන්නේ පුදුම උනන්දුවක්. පරිසරය ගැන හැඟීමෙන් බොක්කෙන්ම වැඩේට බැහැලා තියෙන්නේ.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.