සතියකට පමණ පෙර සිදු වූ ඉතා වැදගත් සිදු වීමක් වූයේ මැයි 1 දින සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔපෙක් සංවිධානයෙන් ඉවත් වීමයි. මෙය ඔපෙක් සංවිධානයේ දෙදරීමක් හා ලෝක තෙල් වෙළඳපොළේ සුක්කානම තව දුරටත් ඇමරිකානු අක්ෂය වෙත විතැන් වීමක් ලෙස මෙන්ම මැද පෙරදිග කලාපයේ අනාගත බල තුලනයේ සිදු විය හැකි වෙනස්කම් පිළිබඳව ඉඟි කරන්නක් ලෙසද සැලකිය හැකියි.
ඔපෙක් සංවිධානය තුළ සිටි විශාලතම තෙල් නිෂ්පාදකයන් වූයේ, සවුදි අරාබිය, ඉරාකය, ඉරානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කුවේටයයි. වසර හැටක පමණ කාලයක් ඔපෙක් සාමාජිකයෙකුව සිටි එක්සත් අරාබි එමීර් රාජ්‍යය එම සංවිධානයෙන් ඉවත් වීමෙන් පසුව, ඔපෙක් සාමාජික රටවල් ගණන එකොළහක් දක්වා අඩු වෙනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔපෙක් සංවිධානයෙන් මෙන්ම වඩා පුළුල් සංවිධානයක් වන ඔපෙක් ප්ලස් සංවිධානයෙන්ද ඉවත් වී තිබෙනවා.
ලෝකයේ දැනට හඳුනාගත් තෙල් සංචිත වලින් 79.2%ක්ම ඔපෙක් සංවිධානයේ පාලනය යටතේ පැවති අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉවත් වීමෙන් පසුවද මෙම ප්‍රතිශතය 72.0%ක්ව පවතිනවා. මෙම හඳුනාගත් සංචිත වල ඇති ඉන්ධන පවතින වෙළඳපොළ මිලට වඩා බොහෝ අඩුවෙන් නිපදවිය හැකි වුවද, ඔපෙක් සංවිධානය පිහිටුවීමෙන් පසුව එම සංවිධානයේ උපාය මාර්ගය වූයේ ඉන්ධන නිෂ්පාදනය සීමා කිරීම මගින් මිල ඉහළ මට්ටමක පවත්වා ගැනීමයි.
කෙසේ වුවද, ශල්ක තෙල් නිෂ්පාදනය හරහා ඇමරිකාව ලෝකයේ විශාලතම තෙල් නිෂ්පාදකයා බවට පත් වීමෙන් පසුව ඔපෙක් සංවිධානයේ උපාය මාර්ගය අභියෝගයට ලක් වී තිබෙනවා. ඔපෙක් සංවිධානයට නිෂ්පාදනය සීමා කිරීම මගින් ඇමරිකාවේ ශල්ක තෙල් නිෂ්පාදන පිරිවැය ඉක්මවා වැඩි කාලයක් මිල ඉහළින් තබා ගැනීමේ හැකියාවක් නැහැ. ඒ සඳහා, තෙල් මිල පහත වැටෙන්නට ඉඩ හැරීම මගින් වරින් වර ඇමරිකාවේ තෙල් නිෂ්පාදනය අඩාල කරන්නට සිදු වෙනවා.
දේශපාලනික නිදහස අතින් මැද පෙරදිග අනෙකුත් මුස්ලිම් රටවලින් ලොකුවට වෙනස් නොවුනත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ආර්ථික හා සංස්කෘතික නිදහස අතින් මැද පෙරදිග අනෙකුත් මුස්ලිම් රටවලට වඩා බටහිරට සමීපයි. ඔපෙක් සංවිධානයෙන් ඉවත් වීමෙන් පසුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට තෙල් නිෂ්පාදනය වැඩි කිරීමට කිසිදු බාධාවක් නැහැ.
ලෝකයේ හඳුනාගත් තෙල් සංචිත වලින් වැඩිම ප්‍රමාණයක් තිබෙන්නේ වෙනිසියුලාව තුළයි. මෙම ප්‍රමාණය ලෝකයේ හඳුනාගත් මුළු තෙල් සංචිත වලින් 19.4%ක්. වෙනිසියුලාව තවමත් ඔපෙක් සංවිධානයේ සාමාජික රටක් වුවත්, මේ වන විට වෙනිසියුලාවේ ඉන්ධන කර්මාන්තය ඇමරිකානු සමාගම් සමඟ ඒකාබද්ධ වෙමින් පවතිනවා. මේ තත්ත්වය තුළ, ලෝක තෙල් සැපයුම පාලනය කිරීම සඳහා ඔපෙක් සංවිධානය සතු වූ හැකියාව ක්‍රමක්‍රමයෙන් අඩු වෙමින්, දශක ගණනාවකට පසුව තෙල් වෙළඳපොල නැවතත් වෙළඳපොළ බලවේග වල පාලනයට නතු වෙමින් පවතින ආකාරය දකින්න පුළුවන්.
No comments:
Post a Comment
මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.