වෙබ් ලිපිනය:

Sunday, May 22, 2022

ගොඩයන එක ලේසි නැත්තේ ඇයි?


දැන් කරගෙන යන විදිහට ඉස්සරහට ගියොත් අවුරුදු එකහමාරකින් පසුව රටේ තත්ත්වය හොඳ අතට හැරෙයි කියලා ගොඩක් අයට අහිංසක බලාපොරොත්තුවක් තිබෙනවා. ඒක කීයටවත්ම වෙන්න විදිහක් නැහැ කියලා මම කියන්නේ නැහැ. නමුත් ඔය අහිංසක බලාපොරොත්තුව ඉටු නොවෙන්න තිබෙන ඉඩකඩ වඩා වැඩියි. 

පළමුවෙන්ම කිව යුත්තේ මේ හොඳ අතට හැරීම කියා කියන්නේ යහපාලන ආණ්ඩුව කාලයේ තිබුණු තත්ත්වය මිසක් රාජපක්ෂ දශකයේ තිබුණු තත්ත්වය හෝ ගෝඨාභය ඇවිත් හදයි කියා හිතාගෙන හිටපු තත්ත්වය නොවන බවයි. ඒ සෞභාග්‍යයනම් ආයේ එන්නේ නැහැ.

අපේ ගොඩක් පෞද්ගලික මිත්‍රයෝ ඉන්නවා ඉදිකිරීම් ක්ෂේත්‍රය හරහා ගොඩ ගිය හා තවමත් එම ක්ෂේත්‍රයේ නිරතව ඉන්න. පසුගිය රාජපක්ෂ දශකය ඒ අයට හොඳ කාලයක්ව තිබුණා. යහපාලන කාලයේ ඔවුන්ගේ තත්ත්වය සාපේක්ෂව නරක අතට හැරුණා. මම මේ කියන්නේ ආණ්ඩුව එක්ක කිසිම සම්බන්ධයක් නොතිබුණු, පැත්තකට වෙලා තමන්ගේ පාඩුවේ ව්‍යාපාරය කරගෙන ගිය අය ගැන. 

දැන් මේ අය කබලෙන් ලිපට වැටිලා. දැනට ඉදිකිරීම් ක්ෂේත්‍රයට හිතා ගන්න හෝ පුළුවන් හොඳම තත්ත්වය ලිපෙන් නැවත කබලට යන එකයි. තවත් ඇතැම් අංශ හා අදාළව වුවත්, තත්ත්වය මේකයි. ප්‍රශ්නය ඒකවත් කර ගන්න පුළුවන් වෙයිද කියන එකයි. 

ස්ටීව් හැන්කි කියන විදිහට මේ වෙද්දී ලංකාව මාරාන්තික සුළියකට (ඔහුගේ වචනය death spiral) අසු වී සිටිනවා. ඔහු කියන හැම දෙයක් ගැනම මා එකඟ නැතත්, මේ කතාව පදනමක් නැති කතාවක් නෙමෙයි. 

ලංකාව සුළියට දැනටමත් අසු වී සිටියත් නැතත් සුළිය අද්දර සිටින බවනම් ඉතාම පැහැදිළියි. එසේ කීමෙන් මා කරුණු දෙකක් අදහස් කරනවා. පළමුවැන්න, සුළියට අසුවීමේ දැවැන්ත හානිය තවමත් සිදුව නැති බවයි. සුළියක මැද හා කෙළවර අතර වෙනස ඔබ දන්නවා. දෙවැන්න, මේ සුළියට අසු නොවී බේරී සිටීමේ අවසන් අවස්ථාව බොහෝ විට මේ වන විටද පසු වී ඇති බවයි. 

දැන් අපි රනිල් කියන පාලමෙන් එගොඩ කරන කතාවට හෝ මහ බැංකු අධිපති විසින් කියන ආර්ථිකය පිළිසකර කිරීම වෙත යමු. මහ බැංකුව විසින් මේ වන විට ඩොලරයක මිල රුපියල් 360 මට්ටමේත්, භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික 24% මට්ටමේත් නඩත්තු කිරීමට උත්සාහ ගනිමින් සිටිනවා. එහි ශක්‍යතාවය හා අපේක්ෂිත ප්රතිඵල ගැනත්, වෙනත් විකල්ප ගැනත් අපි දැන් විමසා බලමු.

මීට සති දහයකට පමණ පෙර ඩොලරයක මිල තිබුණේ රුපියල් 200 ආසන්න මට්ටමකයි. දැන් එම මිල 80%කින් ඉහළ ගිහින්. මහ බැංකු අධිපතිවරයා හිතන විදිහට මේ මිල ඕනෑවට වඩා වැඩි මිලක්. එම මිල අඩු විය යුතුයි. හිටපු අධිපති කුමාරස්වාමි විසින්ද මේ අදහස පළ කර තිබුණා. එසේ කියන්නට තර්කානුකූල හේතුත් තිබෙනවා.

අඩු වෙන එක කොහොම වෙතත්, ඩොලරය දැනට තිබෙන රුපියල් 360 මට්ටමේ තවත් මාස හත අටක් තියා ගත්තා කියා හිතමු. ඩොලරය වැඩි වූ නිසා ආනයනික බඩු වල මිල දැනටමත් අනුපාතිකව වැඩි වෙලා කියා හිතුවොත් ඩොලරය වැඩි නොවන්නේනම් එම මිල දිගින් දිගටම වැඩි වෙන්න හේතුවක් නැහැ.

දැන් අපි උද්ධමනය පැත්තටම එමු. මහ බැංකුව පැත්තෙන් කියවෙන්නේ උද්ධමනය 40% පමණ මට්ටමකට යා හැකි බවයි. ඒ මට්ටමට උද්ධමනය යනවා කියා කියන්නේ පසුගිය දෙවසර තුළ අච්චු ගහපු සල්ලි ටිකට හරියන්න උද්ධමනය වැඩි වෙලා කියන එකයි. එහෙමනම්, දිගින් දිගටම සල්ලි අච්චු ගැහුවේ නැත්නම්, උද්ධමනය ටිකෙන් ටික අඩු වෙලා යා යුතුයි. අධි උද්ධමනයක් ඇති වෙන්න හේතුවක් නැහැ. ඒ නිසාම, විණිමය අනුපාතය මත පීඩනයක් ඇති වෙන්න හේතුවකුත් නැහැ.  ස්ටීව් හැන්කි කියන "මාරාන්තික සුළියට" අහුවෙන්න හේතුවක් නැහැ. අවුරුද්දක් එකහමාරක් යද්දී නැවත 2019ට ආපසු යාමේ අහිංසක සිහිනය සැබෑ වෙනවා.

නමුත් මෙතැන තියෙන කොස්ස ඔය ඉලක්කය කරා යන්න හදන්නේ මහා පරිමාණයෙන් සල්ලි අච්චු ගසමින් වීමයි. ඒ කියන්නේ උද්ධමනයට අලුතෙන් තව තවත් ගෑස් ගහනවා කියන එකයි. උද්ධමනය හිතන තරම් ලේසියෙන් හෝ ඉක්මණින් අඩු වෙන්නේ නැහැ කියන එකයි. ඩොලරයක මිල මත පීඩනයද තවත් වැඩි වෙනවා කියන එකයි. ඒ කියන්නේ හැන්කි කියන මාරාන්තික සුළිය ඇතුළේ කැරකෙනවා කියන එකයි. මෙයින් බේරෙන්න මහ බැංකුව විසින් දැනට නොකරන, මහ බැංකුවට කළ හැකි දෙයක් තිබෙනවාද?

මේ වෙද්දී ඩොලරයක මිල රුපියල් 360 මට්ටමේ තියෙන්නේ මහ බැංකුව විසින් එය පාලනය කරන නිසා. එය කාට වුනත් පැහැදිලි විය යුතුයි. ඩොලරයක මිල රුපියල් 200 මට්ටමේ හිර කරගත් තැන් සිට අද දක්වාම ලංකාවේ පාවෙන විණිමය අනුපාතයක් නොතිබුණු බව මම දිගටම කියා තියෙනවනේ. ඩොලරයක මිල ටිකෙන් ටික වැඩි වෙන්න ඉඩ ඇරියා මිසක් මහ බැංකුව ඩොලරය පා කළේ නැහැ. ඩොලරය පා කරන්න පුළුවන් වුනානම් කොහොමටත් ඩොලර් ප්‍රශ්නයක් නැහැ. නමුත්, ඒ වැඩේ කරගන්න පුළුවන් වුනේ නැහැ. 

ඩොලරය පා කරනවා කියන්නේ ඩොලරයක මිල ඉල්ලුම හා සැපයුම මත තීරණය වනවා කියන එකයි. ඒ කියන්නේ රටේ ඩොලර් හිඟයක් හෝ අතිරික්තයක් නැහැ කියන එකයි. තවමත් රටේ විශාල ඩොලර් හිඟයක් තියෙනවා කියන්නේ ඩොලර් සැපයුමට වඩා ඩොලර් ඉල්ලුම වැඩියි කියන එකයි. ඒ දෙක සමතුලිත වෙන්නනම් මිල තවත් වැඩි විය යුතු බවයි. එහෙමනම්, වත්මන් අධිපතිවරයා, හිටපු අධිපති කුමාරස්වාමි වගේ අය ඩොලරයක මිල ඕනෑවට වඩා වැඩියි කියා කියන්නේ ඇයි? 

හිටපු අධිපති කබ්රාල් ඩොලරය රුපියල් 200 මට්ටමේ තියාගෙන සිටිමින් කිවුවේත් ඔය වගේම කතාවක්. ඒක පැත්තකින් තියමු. ඩොලරයක මිල තිබිය යුත්තේ දැන් මිලට වඩා පහළින් කියා විවිධ ආර්ථික විද්‍යා න්‍යාය ඇසුරෙන් කියන්න පුළුවන්. හැබැයි එහෙම කිවුවා කියලා ඩොලරයක මිල පහළ යන්නේ නැහැ. එවැන්නක් වෙන්නේ ඒ ආර්ථික විද්‍යා න්‍යාය මත පදනම්ව හෝ වෙන හේතු මත පදනම්ව ඩොලරයක මිල තිබිය යුත්තේ දැන් මිලට වඩා පහළින් කියා වෙළඳපොළ ඩොලර් ගනුදෙනුකරුවන් විශ්වාස කරනවානම් පමණයි. දැන් එවැනි තත්ත්වයක් නැහැ. 

කුමක් හෝ හේතුවක් නිසා ඩොලරයක වෙළඳපොළ මිල හා පවතින මිල එකක් නොවන බව මහ බැංකුව හිතනවානම් මහ බැංකුවට මැදිහත් වී මිල පාලනය කළ හැකියි. මිල අඩු විය යුතුයි කියා හිතනවානම් සංචිත විකුණා සැපයුම වැඩි කිරීම මගින් අඩු මිලකදී ඉල්ලුම හා සැපයුම සමතුලිත කළ හැකියි. මේ වෙලාවේ මහ බැංකුවේ සංචිත නැට්ටටම හිඳිලා නිසා ඒ වැඩේ කරන්න බැහැ. ඒ නිසා, මහ බැංකුව මොන විදිහට හිතනවාද කියන එකේ බලපෑම ඉතා සීමිතයි. 

මිල වැඩියි වගේ පෙනුණත් මහ බැංකුවට සංචිත විකුණා ඩොලරයක මිල අඩු කරන්න බැරි බව මේ වෙලාවේ ඩොලර් අතේ තියෙන අය දන්නවා. ඒ නිසා, ඒ අයට තමන්ගේ ඩොලර් වෙනුවෙන් ඉහළ මිලක් අර්පණය කළ හැකියි. ගන්නවානම් ගනිල්ලා. ඕකයි ගාණ!

දැන් ඩොලර් අවශ්‍ය අයට ඔය මිල දීලා ඩොලර් ගන්න වෙනවා. ගාණ වැඩියි වගේ වුනත්, මේ වෙලාවේ තමන්ගේ උදවුවට මහ බැංකුව එන්නේ නැති බව දන්නා නිසා, කියන ගාණට ඩොලර් ගන්නවා හැර වෙන විකල්පයක් නැහැ. හැබැයි ඔය විදිහට වැඩි මිලට ඩොලර් ගන්න කවුරුවත් නැත්නම් වැඩි මිලට විකුණන්න පුළුවන් වෙන්නේත් නැහැ.

ලංකාවේ මිනිස්සුන්ට කන්න හාල් ඕනෑ. රටේ හාල් නිෂ්පාදනය අඩු වෙද්දී හාල් මිල ඉහළ යනවා. මිල ඉහළ ගියත් කීයක් හරි දීලා හාල් ගන්නම වෙනවා. ඒ නිසා, ආනයනික හාල් වලට ඉල්ලුමක් හැදෙනවා. හාල් ආනයනය කරන්න ඩොලර් ඕනෑ. ඒ ඕනෑ කරන ඩොලර් ටික බැංකුවෙන් දෙන්නේ නැත්නම් කීයක් හරි දීලා පිටින් ඩොලර් ගන්න වෙනවා. ඒ විදිහට වැඩි මිලට ඩොලර් අරගෙන හාල් ආනයනය කළත් විකුණලා ලාබ ගන්න පුළුවන්නම් කවුරු හරි ඔය වැඩේට අත ගහනවා. බැංකු පද්ධතියට පිටින් වැඩි මිලට ඩොලර් ගන්න ඉල්ලුමක් ඇති වෙනවා. ඒ නිසාම, වැඩි මිලට ඩොලර් විකුණන්නත් අවස්ථාවක් ලැබෙනවා. කීයක් හරි දීලා අයිෆෝන් එකක් ගන්න අය හිටියත් වෙන්නේ ඕකයි. 

රට ඇතුළේ ඩොලර් සැපයුමට වඩා ඩොලර් ඉල්ලුමක් තිබෙන තුරු, මහ බැංකුවට විකුණන්න සංචිතත් නැත්නම්, මිල ඉහළ යන එක වලක්වන්න බැහැ. මහ බැංකුව ඒ වැඩේ කරන්න හදනවා කියන්නේ උන්ඩියල් ඉල්ලුම තවත් ඉහළ යනවා කියන එකයි. 

මහ බැංකුවට විකුණන්න සංචිත නැති බව කවුරුත් දන්නවනේ. එහෙමනම් දැන් මට්ටමේ හෝ ඉහළ මට්ටමක ඩොලරයක මිල ස්ථාවර විය හැක්කේ එක්කෝ ඉල්ලුම අඩු වුනොත්. නැත්නම් ඩොලර් සැපයුම අඩු වුනොත්. පහත තියෙන්නේ පසුගිය වසර කිහිපයක පළමු මාස තුනේදී ඩොලර් ලැබීම් හා ගෙවීම් පිළිබඳ සාරාංශයක්. මෙය දැන් වැඩි දෙනෙක් කියවන්නේ වියුණුව හරහා නොවන නිසා මම වගුවක් හදන්නේ නැතිව වත්පොතට ගැලපෙන විදිහට සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කරන්නම්.

ආනයන වියදම් (පළමු මාස තුන, ඩොලර් මිලියන)

2017 - (5,279)

2018 - (5,971)

2019 - (4,817)

2020 - (4,503)

2021 - (5,041)

2022 - (5,651)

මොන තරම් ආනයන සීමා දැම්මත්, මිල ඉහළ ගියත්, ආනයන වියදම් ඒ තරම්ම අඩු වී නැති බව පේනවනේ. දැන් මේ සල්ලි හොයා ගත්තේ කොහොමද?

අපනයන ආදායම් (පළමු මාස තුන, ඩොලර් මිලියන)

2017 - 2,774

2018 - 2,989

2019 - 3,156

2020 - 2,650

2021 - 2,982

2022 - 3,249

යම් වැඩි වීමක් තිබුණත්, අපනයන ආදායම් වලත් විශාල වෙනසක් වී නැති බව පැහැදිලි විය යුතුයි. ඩොලර් එකක මිල ඉහළ ගියා කියලා ක්ෂණිකව විශාල ලෙස ආනයන ඉහළ යන්නේ හෝ අපනයන පහළ යන්නේ නැහැ. අලුත් තත්ත්වයෙන් වාසි ලබමින් අපනයන නිෂ්පාදන කර්මාන්ත හා ආනයන ආදේශක කර්මාන්ත බිහිවෙන්න වසර ගණනාවක් යනවා. ඒ නිසා, රුපියල් 200 මට්ටමේ තිබෙන ඩොලර් එක රුපියල් 360 වෙන්න ඇරියා කියලා ක්ෂණිකව වෙළඳ ශේෂයේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඩොලරය තව වැඩි වුනත් එච්චරයි. වසර ගණනක් ඩොලරයක මිල ඉහළින් තියාගත්තොත් තත්ත්වයේ වෙනසක් වෙයි. 

වෙළඳ ශේෂය (පළමු මාස තුන, ඩොලර් මිලියන)

2017 - (2,505)

2018 - (2,982)

2019 - (1,661)

2020 - (1,853)

2021 - (2,959)

2022 - (2,402)

(වරහන් ඇතුළේ තියෙන්නේ සෘණ ගණන්)

වෙළඳ ශේෂය ඩොලර් බිලියන දෙකකට ආසන්න සෘණ අගයක් වුවත් ලංකාවේ සමස්ත ගෙවුම් ශේෂය බොහෝ විට සමතුලිත වුනා. ඒ වෙන ක්‍රම වලින් රටට ඩොලර් ආපු නිසා.

ගෙවුම් ශේෂය (පළමු මාස තුන, ඩොලර් මිලියන)

2017 - (176)

2018 - (311)

2019 - 912

2020 - 143

2021 - (1,101)

2022 - (2,269)

(වරහන් ඇතුළේ තියෙන්නේ සෘණ ගණන්)

පසුගිය දෙවසර තුළ ගෙවුම් ශේෂය මේ තරම්ම අර්බුදයට ගියේ ඇයි කියන එක පහත සංඛ්‍යාලේඛණ බැලුවහම පැහැදිලි වෙයි.

සංචාරක ඉපැයීම් (පළමු මාස තුන, ඩොලර් මිලියන)

2017 - 1,122

2018 - 1,313

2019 - 1,390

2020 - 682

2021 - 13

2022 - 513

ශ්‍රමික ප්‍රේෂණ (පළමු මාස තුන, ඩොලර් මිලියන)

2017 - 1,911

2018 - 1,979

2019 - 1,617

2020 - 1,600

2021 - 1,867

2022 - 783

දිගින් දිගටම වුනත් රටක වෙළඳ ශේෂයේ හිඟයක් තියෙන එක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ඒ අඩුව වෙන ක්‍රමයකින් පියවෙන්න ඕනෑ. ඒ වෙන ක්‍රමය ණය ගැනීම නොවිය යුතුයි. 2020 පළමු මාස තුනේදී සංචාරක ඉපැයීම් වලින් බාගයක්ම අඩු වෙලා තිබුණත් ගෙවුම් ශේෂ හිඟයක් තිබුණේ නැහැ. ඒ ශ්‍රමික ප්‍රේෂණ ටික හරියට ලැබුණු නිසා. 2021දීත් ශ්‍රමික ප්‍රේෂණ ටික ලැබුණා. නමුත් සංචාරක ආදායම් නැත්තටම නැති වුනා. ඒ නිසා ගෙවුම් ශේෂ හිඟය සැලකිය යුතු ලෙස ඉහළ ගියා. 

මේ අවුරුද්දේ මුල් මාස තුනේදී සංචාරක ඉපැයීම් ටිකක් ඉහළ ගිහින් තිබුණත් තවමත් 2017-2019 මට්ටමෙන් බාගයක්වත් සංචාරකයෝ එන්නේ නැහැ. ඊටත් වඩා ලොකුම හා අලුත්ම ප්‍රශ්නය ශ්‍රමික ප්‍රේෂණ විශාල ලෙස පහත වැටී තිබීමයි. ඔය ආදායම් මාර්ග දෙක හරියට තිබුණානම් අනාගතය දිහා ටිකක් හරි සුබවාදී විදිහට බලන්න තිබුණා.

මේ වසරේ පළමු මාස තුනේ සංචාරක ඉපැයීම් වල ක්‍රමික වැඩි වීමක් පෙනෙන්න තිබුණා. අප්‍රේල් මාසයේ රටේ පැවති තත්ත්වයන් එක්ක දැන් ඒ ප්‍රවණතාව ආපහු හැරිලා. ඒ විතරක් නෙමෙයි. මාර්තු මාසයේදී ඉහළ ගිය ශ්‍රමික ප්‍රේෂණත් නැවත පහළ ගිහින්.

සංචාරක ඉපැයීම් (ඩොලර් මිලියන)

2022 ජනවාරි - 148

2022 පෙබරවාරි - 174

2022 මාර්තු - 192

2022 අප්‍රේල් - 113

ශ්‍රමික ප්‍රේෂණ (ඩොලර් මිලියන)

2022 ජනවාරි - 259

2022 පෙබරවාරි - 205

2022 මාර්තු - 318

2022 අප්‍රේල් - 249

කොහෙන් හෝ ඩොලර් ටිකක් හොයාගෙන ලයිට් කැපෙන එක නවත්තලා, රටේ තත්ත්වයත් සාමකාමීව පැවතුණොත් සංචාරක ආදායම් ටිකක් වැඩි වෙයි. නමුත් ඉතා ඉක්මණින් කර්මාන්තයේ විශාල පිබිදීමක් ඇති වෙයි කියා හිතන්න බැහැ. ශ්‍රමික ප්‍රේෂණ වැඩි වෙයි කියා හිතන්න විශේෂ හේතුවකුත් නැහැ. ඒ කියන්නේ, තව මාස ගනණාවක් යන තුරු මේ විදිහට රට දුවවන්න වුනත් මාසයකට ඩොලර් මිලියන දෙතුන් සීයක් පොම්ප කරන්න වෙනවා කියන එකයි. 

රජයේ විදේශ ණය හා පොලිය ගෙවන්නෙම නැහැ කියා කියමු. ඒත් බැංකු පද්ධතියේ ණය නොගෙවා ඉන්න බැහැ. ඒ ණය ගෙවන්නත් ඩොලර් ඕනෑ. ඔය තත්ත්වයත් එක්ක ඩොලර් එක රුපියල් 360 මට්ටමේ තියා ගන්න හෝ තවත් අඩු කරගන්න මහ බැංකුවට අවශ්‍යව තිබෙනවා විය හැකි වුවත් එය කළ හැකි බව සාර්ථක ලෙස සමපේක්ෂකයින්ට සන්නිවේදනය කරන්න පුළුවන්කමක් මහ බැංකුවට නැහැ. ඩොලර් අතේ තියාගෙන ඉන්න අය හොයන්න පොලීසිය යොදවනවා වගේ වැඩ වලින් වැඩක් නොවන බව කොහොමටත් පැහැදිලියිනේ. ඒ නිසා, ඩොලරයක මිල දැන් තිබෙන මට්ටමේ තියාගෙන සිටීමේ හැකියාව ගැන මට තිබෙන්නේ විශාල සැකයක්. 

ලිපිය දැනටමත් ගොඩක් දිගයි. ඒ නිසා, පොලී අනුපාතික ගැන ඉතා කෙටියෙන් කතා කරමු.

මාර්තු මුලදී තනි ඉලක්කමේ තිබුණු භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික 24% මට්ටමට යන්න දුන්නා කියා කියන්නේ ලොකු වෙනසක් තමයි. ඒකේ කතා දෙකක් නැහැ. නමුත් ප්‍රශ්නය ඒ පොලිය ගෙවලත් භාණ්ඩාගාර බිල්පත් විකුණන්න බැරි වීමයි. අඩුව පුරවන්න සල්ලි අච්චු ගැසීම කෙළින්ම ඩොලර් ප්‍රශ්නයටත් බලපානවා. බඩු මිල ඉහළ යද්දී අතට රුපියල් එනවා කියන්නේ ආනයනික භාණ්ඩ වල මිල ඉහළ ගියත් ඉල්ලුම අඩු වෙන්නේ නැහැ කියන එකයි. අලුත් රෙගුලාසිය නිසා භාණ්ඩ ගෙන්වන්න උන්ඩියල් ඩොලර් හොයන එක නැවතුනත්, රුපියල බාල්දු වන තරමට ඩොලර් වලට තිබෙන ඉල්ලුම ඉහළ යන එක වලක්වන්න බැහැ. 

ආර්ථික ශක්තියක් තියෙන විදේශ රටවලට ඩොලර් පොම්ප කරමින් ලංකාවට හුස්ම ගන්න උදවු කරන්න පුළුවන්. කොයි තරම් කාලයක් ඒ  විදහට උදවු කරයිද? එහෙම උදවු කළත් එයින් අදහස් වෙන්නේ නිශ්චිත කාලයකට ලංකාව තවත් පහළට වැටෙන එක නවතිනවා කියා මිසක් ගොඩ යනවා කියන එක නෙමෙයි. 

කෙසේ වුවත්, ඩොලරයක මිල රුපියල් 360 සීමාවේ රඳවා ගැනීම ගැන මහ බැංකුවට චෝදනා කරන්නත් අමාරුයි. ඩොලරයක මිල ඉහළ යද්දී ඩොලර් හිඟය සමනය වෙන්නේ සල්ලි අච්චු නොගසා සිටිය හැකිනම් පමණයි. සල්ලි අච්චු ගැසීම හෝ නොගැසීම මහ බැංකුවේම වැඩක් වුනත්, රජයේ අයවැය හිඟය පියවීමට අරමුදල් සපයා දීමේ වගකීම මහ බැංකුවට මග හරින්න බැහැ. ඒ සඳහා, දැනට 24% මට්ටමේ තිබෙන පොලිය තවත් වැඩි කරන්න වෙනවා. මගේ අදහසනම් ඩොලරයක මිල මෙන්ම පොලී අනුපාතිකද තවත් ටිකක් වැඩි විය යුතු බවයි. කෙසේ වුවත්, මෙහිද සීමාවක් තිබෙනවා. එක් සීමාවකින් පසුව එන්නේ හැන්කි කියන මාරාන්තික සුළියයි. දැනටමත් මේ සීමාවට ඇවිත් නැත්නම් එය ඉතා ළඟ විය යුතුයි. වෙනත් විදිහකින් කිවුවොත් මේ වෙද්දී මහ බැංකුව පාරේ කෙළවරට ඇවිත්!

සල්ලි අච්චු ගැහීම නැවතෙන්නේ රජය පැත්තෙන් විශාල වෙනසක් වුනොත් පමණයි. ශ්‍රී ලන්කන් වැනි ආයතන මේ වෙලාවේ කවුරුවත් ගනියිද කියන එක සැකයි. එසේ ගත්තත් ගන්නේ ණයත් එක්කනම් නෙමෙයි. ණය ටික ගෙවන්න වෙන්නේ රජයටයි. විකිණුවා කියලා තියෙන හිඟයේ හැටියට මහා ලොකු ආදායමක් ලැබෙන්නේ නැහැ. 

ඩොලර් ප්‍රශ්නයට සෘජු පිළියමක් නොවුනත් රජය සතු වත්කම් රුපියල් අතේ තිබෙන දේශීය ධනවතුන්ට විකිණීම මේ වෙලාවේ කළ හැකි දෙයක්. ඉඩම්, ගොඩනැගිලි ආදී ඕනෑම දෙයක්.  ඒ හරහා අයවැය හිඟය පියවා ගත හැකි අතරම සංසරණයේ තිබෙන රුපියල් ප්‍රමාණයද සීමා කරගත හැකියි. රජය සතු වාහන වුවද විකුණා දමා අවශ්‍යතා අනුව වාහන කුලියට ගන්නේනම් මේ වෙලාවේ අයවැය පීඩනය අඩු කරගත හැකි වෙයි. රජයේ සේවකයින්ට නිවසේ සිට වැඩ කිරීමට ක්‍රමවේද හැදීම මගින් ගොඩනැගිලි අවශ්‍යතා වුවත් අඩු කරගත හැකියි. දේශපාලන අධිකාරිය සතු වාහන ආදිය විකුණා දැමිය යුතු බවනම් රටෙන්ම එන ඉල්ලීමක්.

රජයට බදු වැඩි කරන්නම වෙනවා. නමුත් එය ඉතා සැලකිල්ලෙන් කරන්න වෙනවා. ලංකාවේ නිවාස ඒකක වල සමස්ත ආදායමෙන් 50%කට වඩා ලැබෙන්නේ ඉහළ ආදායම් ලබන 20%ටයි. පහළ ආදායම් ලබන 50%කටම ලැබෙන්නේ සමස්ත ආදායමෙන් 20%කට මඳක් වැඩි කොටසක් පමණයි. මේ පහළ ආදායම් ලබන 50% දැන් ජීවත් වන්නේ ඉතාම අසීරුවෙන්. ඔවුන්ගේ ආහාර සුරක්ෂිතතාව පවා තියෙන්නේ අවදානමේ. ඔවුන්ගේ බදු බර තවත් වැඩි කළ නොහැකියි. 

ආසන්න වශයෙන් පහළ 50% කියන්නේ මසකට රුපියල් 50,000 නොඉක්මවන ආදායම් ලබන පවුල්. ඉහළ 20% කියා කියන්නේ මසකට රුපියල් ලක්ෂය ඉක්මවා ආදායම් ලබන පවුල්. වැඩි බදු බරක් පටවන්න වෙන්නේ ඒ පිරිසටයි. මේ වෙලාවේ කළ හැකි හොඳම දෙය නිවාස, වාහන ආදිය ඇතුළු වත්කම් මත සැලකිය යුතු වත්කම් බද්දක් අය කිරීමයි. ආදායම් සැඟවිය හැකි ඇතැම් අයට වත්කම් සඟවන්න අමාරුයි. 

සාමාන්‍ය මූලධර්මයක් ලෙස ආදායම් මත මිස වත්කම් මත ලොකුවට බදු අය කරන්නේ නැහැ. ඒ වත්කම් වලින් නිරූපණය වන්නේ අතීත ඉතිරි කිරීම් වීම නිසා සහ ඒ ඉතිරි කිරීම් කර තිබෙන්නේ බදු ගෙවීමෙන් පසුව නිසයි. මේ පදනම අනුව වත්කම් මත බදු අය කිරීම කියන්නේ ආදායම මත නැවත නැවත බදු අය කිරීමක්. නමුත් දැන් ලංකාවේ තිබෙන්නේ සුවිශේෂී තත්ත්වයක්. රජයට අය කර ගත යුතුව තිබෙන්නේ කාලයක් තිස්සේ අය කරගත යුතුව තිබුණු බදු හා එම බදු අය කර නොගෙන ණය ගැනීම නිසා එකතු වූ පොලියයි. 

මේ ආකාරයෙන් වත්කම් මත බදු අය කිරීම ලංකාවට දිගුකාලීනව වුවත් නරක නැහැ. මිල අධික වාහන මත සැලකිය යුතු මාසික බද්දක් අය කිරීමෙන් එවැනි වාහන භාවිතය අධෛර්ය කළ හැකියි. එවිට ලංකාවේ සුවිශේෂී තත්ත්වයක් වන වත්කමක් ලෙස වාහන නඩත්තු කිරීම නවතිනවා. වාහනයකින් ආදායම් උපයන අයට මෙය විශාල ප්‍රශ්නයක් නෙමෙයි. එහෙත්, වාහනය තියාගෙන මාසිකව බදු ගෙවිය නොහැකි අයට වාහනය විකුණා අඩු වටිනාකමැති වාහනයක් ගන්න වෙනවා. මෙය මේ වෙලාවේ වාහන ආනයනය නවතා තිබීම ප්‍රශ්නයක් වී ඇති අයටද පිළිතුරක්. 

මේ අයුරින්ම නිවාස හා ඉඩම් මත වටිනාකම අනුව සැලකිය යුතු බද්දක් අය කිරීමෙන් අනවශ්‍ය තරම් ලොකු ගෙවල් හදන එක අධෛර්ය කළ හැකියි. බදු ගෙවිය හැකි තරම් ආදායමක් තියෙනවනම් ප්‍රශ්නයක් නැහැ. ලංකාවේ විදේශ ණය ලැබීම් වලින් සැලකිය යුතු කොටසක් තැන්පත් වී තිබෙන්නේ වාහන හා ඉදි කිරීම් තුළයි. වත්කම් බදු හරහා වටිනාකම වැඩි නාගරික ඉඩම් වල පදිංචිව සිටින ලොකු ආදායමක් නූපයන අයට පිට පළාත් වලට සංක්‍රමණය වීමටද බලපෑම් කළ හැකියි. එයින් ගමෙන් නගරයට සංක්‍රමණය වන අයට එය වඩා පහසු කරවනවා.

මේ අයුරින්ම මූල්‍ය වත්කම් මතද බදු අය කළ හැකියි. සම්ප්‍රදායික ආදායම් බදු හා වක්‍ර බදු වලින් පමණක් මේ වෙලාවේ තිබෙන රාජ්‍යමූල්‍ය අර්බුදය විසඳාගන්න බැහැ. එය නොවිසඳා සල්ලි අච්චු ගැසීම වලක්වන්න බැහැ. සල්ලි අච්චු ගැසීම නවත්වන්නේ නැතිව "මාරාන්තික සුළියෙන්" ගැලවෙන්න බැහැ.

17 comments:

  1. ඉකොනෝ, රටට විදෙස් මුදල් එන එක ක්‍රමයක් වෙන්නේ ලංකාවේ සිට වෙනත් රටවල් වෙනුවෙන් පරිඝනක හරහා රැකියා කරන අය. මා දන්නා තරුණයන් කිහිප දෙනෙක්ම එවන් රැකියා කරමින් ප්‍රමාණවත් වැටුප් ලබනවා. ඒ අයගේ මතය රජය ඔවුන්ගෙන් පවා අය කරන බදු මුදල ඉතා වැඩි බවයි. 'ගත්තත් කමක් නැහැ- රටට වැඩක් වෙනවා නං. මේ ගොබ්බයන් කරන මොට්ට වැඩවලටනේ අපිට වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ.' කියලම එක්කෙනෙක් කිව්වා. (මට ඒ ක්ෂේත්‍රය ගැන දැනුමක් ඇත්තෙම නෑ!)
    වැදගත්ය කියා හිතනවා නම් මේ ගැනත් හොයා බලන්න.

    ReplyDelete
    Replies
    1. නිදි,

      ලංකාවේ ආණ්ඩුව නඩත්තු කරන්න බදු මුදල් අවශ්‍යයි. පහුගිය 2005- 14 රාජපක්ෂ රෙජීමය බදු යම් තරමකින් අඩු කරගෙන විදේශීය ආයෝජන සහ වෙනත් ක්‍රම මගින් ගියත් එය එතරම් සාර්ථක වූයේ නැති අතර ඊට පස්සෙ ආපු යහපාලන රජය සමයේ බදු මුදල් විශාල වශයෙන් වැඩි කරලා තිබුණා. මේ නිසා තොරතුරු තාක්ෂණ අංශයේ බොහෝ දෙනෙක් 2019 ගෝඨාභයට සහය දුන් අතර ඔහු පැමිණ මේ තොරතුරු තාක්ෂණ අංශයේ බදු විශාල වශයෙන් අඩු කිරීම සමග බෝහෝ බදු අඩු කරලා රජයේ ආදායම් විශාල වශයෙන් අඩු වෙලා තියෙනවා. නමුත් මේ අඩුවූ ආදායම් වැඩි කර ගැනීම සඳහා පසුගිය කාලයේ ගෝලීය වසංගත තත්ත්වය සමගින් රජයට කළ නොහැකි වූ බවත් ඒ නිසාම ඒ වෙනුවට විශාල වශයෙන් මුදල් අච්චු ගසා තිබෙන බවත් ඒ නිසා මේ දවස් වල ලංකාවේ තියෙන අධික උද්ධමනය ඇතිවූ බවත් ඉකොනොමැට්ටා පැහැදිලි කර තියෙනවා. මේ නිසා රනිල් වික්‍රමසිංහ මහතා නැවත බදු විශාල වශයෙන් වැඩි කරලා මුදල් අච්චු ගහන එක නවත්තන්න කටයුතු කළ යුතුයි ඉක්මනට. නැත්නම් මේ අධි උද්ධමනය ඉහළ යාම හා ඩොලරයට සාපේක්ෂව රුපියල් අධික ලෙස අවප්‍රමාණ වීම වලක්වන්න බැහැ.

      තව දෙයක් අද ආපු නිව්ස් එකක් තමයි කැකිරාව ඉපලෝගම රණජයපුර ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලේ හිමිකරු පදිංචි නිවසට ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් ගිනි තබා විනාශ කර ඇතිබව.

      ඒකෙන් තෙල් ගහන්න ඊයේ රාත්‍රී විශාල පිරිසක් පැමිණ තිබූ අතර එහි ඉන්ධන අවසන්වී පෝලිමේ සිටි ඇතැමුන්ට ඉන්ධන ලබා ගැනීමට නොහැකි වීමෙන් කෝපයට පත් පහුගිය දවස් වල ලංකාවේ රජයට එරෙහිව දැඩි ලෙස සටන් කළ උද්ඝෝෂණ ව්‍යාපාර කරුවන් පිරිසක් ක්ෂණිකවම සංවිධානය වී ව්‍යාජ ප්‍රචාරයක් හරහා සැලකිය යුතු පිරිසක් කුපිත කිරීමෙන් එම පිරවුම්හල් හිමියාගේ නිවසට මෙසේ ගිනි තබන්නට කටයුතු කළ බව මේ වන විට ඉපලෝගම පොලීසිය අනාවරණය කර ගෙන ඇත. එම අරගලකාරී පිරිස මේ ඉන්ධන පිරවුම් හල රාජපක්ෂ කල්ලියේ පොදුජන පෙරමුණේ එකක් බවට ව්‍යාජ ලෙස ප්‍රචාරය කිරීම කර ඇතත් මේ පිරවුම් හල කිසිදු මන්ත්‍රීවරයෙක්ට සම්බන්ධ නැති මීට වසර හතළිහක් පමණ පැරණි පෞද්ගලික ව්‍යාපාරිකයකුගේ පිරවුම් හලක් බව දැනට අනාවරණය වී තිබේ.

      රාත්‍රී විදුලි කප්පාදු කල අවස්ථාවේ මෙම ගිනි තැබීම සිදු කර ඇති අතර ඒ අවස්ථාවේ ඉන්ධන පිරවුම්හලේ හිමිකරුගේ බිරිඳ සහ එම දරුවන් දෙදෙනා නිවසේ සිට ඇත.

      ගම්වැසියන් හා පොලිස් නිලධාරීන් එක්ව ගින්න නිවා දමා නිවසියන් ජීවිත බේරා ගැනීමට කටයුතු කර තිබේ.

      ගින්න හේතුවෙන් පාසල් දරුවන්ගේ පොත්පත්ද මුළුමනින්ම විනාශ වී ඇති අතර ඉන් එක් දරුවෙකු මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත අයෙකි.

      මීට අමතරව පිළියන්දල මඩපාත ඉන්ධන පිරවුම් හල් හිමිකරුගේ ජීවිත සහ නිවස බේරී ඇත්තේ යන්තමින්, මේක බලන්න

      https://m.facebook.com/story.php?story_fbid=100671522665074&id=100588649340028

      මේ ෂෙඩ් හිමියා වගේම රටපුරා වෙනත් බොහෝ ෂෙඩ් හිමිකරුවන් පහුගිය දවස් වල පවුලේ අය සහ ගෙදර වටින බඩු මුට්ටු වහාම ගෙදරින් පිට කරලා යන්තම් පණ බේරාගෙන ගොස් ඇති මොහොතක මේ ගැන ඔබට කිව හැක්කේ මොනවාද?

      Delete
    2. ගොඩක් ස්තුතියි!
      නීතියක් නැති වුණාම අවස්ථාවාදීන්ට ලේසියි ඔවුන්ගේ පටු අරමුණු ඉටු කර ගන්න. ඒ වගේමයි හැම කතාවකම දෙතුන් පැත්තක් තියෙනවනේ. සමහර ඒවායේ ඇත්ත තෝරා ගන්නට දෙයියන්ටවත් බැරි වෙනවා ෂුවර්!

      Delete
  2. නව අය වැයක යෝජනා ලෙස ලැයිස්තුවක් සංසරණය වෙනවා. ඒ අනුව විකිණුම් බදු 8 % සිට 16% දක්වාත්, ආදායම් බදු 40% (බැංකු, මධ්‍යසාර සහ දුම්වැටි 50%) දක්වාත් වැඩි කිරීමට යෝජනා කර තිබෙනවා. උපයන විට ගෙවීම 10% ක අවසාන බද්දක් ලෙසත් යොඊජනා වී තිබෙනවා. ඩොලර් එවන අයට 20% අධිභාරයක් ගෙවීමටත් යෝජනා වල ඇතුලත්. අතිරේක ආදායම් ඇස්තමේන්තු දක්වා නැහැ. මේ ක්‍රම වලින් මුදල් මුද්‍රණය අඩුවුණොත් යම් වෙනසක් වෙයි නේද? එකම දේ දේශීය මිලගණන නැවත ඉහල යාමක් වෙනවා.

    ReplyDelete
    Replies
    1. ලින්ක් එකක් තියෙනවද?

      Delete
    2. ඉයන්/ ඉකොනොමැට්ටා,

      ලංකාවේ නව බදු වැඩි කළ යුතු බව ඔබ්වියස් දෙයක් වුණත් ඔය ඉයන් පවසා ඇති යෝජනා ගැන ඇත්තේ හාහූවක් පමණයි නේද? කෙසේ නමුත් මේ ලින්ක් දෙකේ කියන දේවල් වලින් යම් අදහසක් ගන්න පුළුවන් වෙයි;

      https://economynext.com/sri-lanka-plans-new-budget-2022-original-targets-cannot-be-achieved-pm-94316/

      https://economynext.com/sri-lanka-will-have-to-print-money-unless-taxes-are-raised-cb-governor-94163/

      මේ වෙලාවේ වගකීමක් අරන් ලංකාවේ පාලනය මෙහෙයවීමට කිසිවෙකු නොමැති මොහොතක් නිසා ගස් නැති රටේ තුත්තිරි ගහත් ගහක් කියන අයුරින් රනිල් වික්‍රමසිංහ අගමැති වී ඇති පසුබිමක සාමාන්‍යයෙන් කිසිදු බරක් පතලක් නැති ඉතා සහැල්ලුවෙන් තීන්දු තීරණ ගන්නා නමුත් කටින් පමණක් විවිධ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවලින් කට පාඩම් කරගත් විස්තර දොඩවා ලංකාවේ ඇතැම් මෝඩයින් ඉදිරියේ පොරක් මෙන් පෙනී සිටින රනිල් පාර්ලිමේන්තුවේ පමණක් නොව, ජාත්‍යන්තර මාධ්‍ය ඉදිරියේ ද කිසිදු වගකීමක් නැති විහිළුකාරයකු ලෙස හැසිරෙන්නට උත්සාහ කරන එකෙන් වියහැකි අවාසි ගැනත් අප ඉතා කල්පනාකාරී විය යුතුයි නේද?

      උදාහරණයක් විදිහට ඔහු ඇතැම් විට කිසිම බරක් පතලක් නැතුව කටට ආ පලියට විහිළු ලෙස කියන්නේ ප්‍රසිද්ධියේ නොකිව යුතු ඇතැම් සත්‍ය තත්වයන්, උදා: විදිහට මෑතදී වයිරල් වෙච්ච ජාත්‍යන්තර මාධ්‍යයක් සමග සාකච්ඡාවකදී ඔහු සංචාරකයන්ගේ පැමිණීම සම්බන්ධයෙන් දෙන පිළිතුර ඔහුගේ මෝඩ විහිළු සහගත සහ බරක් පතලක් නැති විකාර ස්වභාවය නිසා ගෝලීය මාධ්‍ය තුළ එය වැරදියට සන්නිවේදනය වුණා, ලංකාවේ දැනට පවතින තත්වය තුළ විදුලිය/ ගෑස් සැපයුම යථා තත්වයට පත් කර අවශ්‍ය තරමට ඉන්ධන සහ ප්‍රවාහන පහසුකම්, ඉන්ධන පෝලිම් ආදිය නිමා කරගෙන රට සාමාන්‍ය තත්වයට පත්කරගන්නා තෙක් ලංකාවට සංචාරකයන් නොඑන බව ඇත්ත වුණත් වෘත්තිමය දේශපාලන නායකයකු, රටක ජාතික නායකයකු සහ වගකිවයුතු රාජ්‍ය තාන්ත්‍රික ස්ටේට්ස්මන් කෙනෙක් ලෙස අප ඉක්මණින් තත්වය පාලනය කරගන්නා බැවින් සංචාරකයන්ට නුදුරේදීම ආපසු ලංකාවට පැමිණීමට හැකි බව වෙනුවට ලංකාවට ඇවිත් උද්ඝෝෂණ කරමින් ගෙවල් ගිනි තියමින් ඔහුට විරුද්ධව බෝඩ් ඇල්ලීම ගැන අමු මැටි ගොන් විහිළු ලෝකයට අදාළ නැති බව නොතේරෙන අමු කවටයෙකි ඔහුත්/ රටේ පවට මොළේ ඇති හාදයන් නායකයන් නැති රටක් වන ලංකාවට මෙවන් ගොබ්බයින් ගෙන් සැනසීමට සිදුවී තිබෙනවා.

      ඒ වගේම බොහෝ දේශපාලන විශ්ලේශකයින් කියන පරිදි රනිල් තම දෛවය ගැන ඕනෑවට වඩා උද්දාම වී අපායේ ඉන්ටවල් අතරතුර සැලිය රත්වෙනතෙක් රඟන නමුත් තවම කතාව අවසන් වීම තබා හරියටම ඇරඹුනෙත් නැති බව කවුරු හෝ ඔහුට තේරුම් කර දිය යුතු නේද? ඉයන් ඔබට හැකිනම් ඔහුව හමුවී මේ ගැන තේරුම් කර දෙන්න.

      මීට පෙර 2015 ජනවාරි 08 දා අපිත් ඡන්දය දී පත්කල ජනතාවාදී යහපාලන රජය තුල මෛත්‍රීපාලට නායකත්වය දිය යුතුව තිබුණත්, රනිල් කළේ මෛත්‍රීපාල හීනමානයටත් රට තුල කොලොප්පමක් බවට පත් කිරීමට ඉතා උඩඟු ලෙස සිය ගෝලබාලයන් සමග මුග්ධ ලෙස කටයුතු කර ඔහු සමග ගැටුමක් නිර්මාණය කරගෙන එය නඩත්තු කිරීමයි.

      මේ පැරණි අත්දැකීම අනුව ඔහු එම ක්‍රියාමාර්ගයම දැනට සෑහෙන ඉවසීමකින් කටයුතු කරන ගෝඨාභය රාජපක්ෂ හමුවේ ද ඔහු ඉංග්‍රීසි හා රාජ්‍ය තාන්ත්‍රික වැඩකෑලි දමා ඔහු හීනමානයට පත්කර කෙළවාගන්නට ඉඩ තිබේ. අනිත් කරුණ නම් හැමෝම නියත වශයෙන්ම දන්නා පරිදි රනිල් දේශපාලන කළමනාකරණයේදී කිසිම අයුරකින් දක්ෂයකු නොවේ.

      කෙසේ නමුත් ජනබලයෙන් නායකත්වය ලෙජිටිමේට් හිමිවූ රාජපක්ෂ හොර හැත්ත ඉතාමක් කුජීත ලෙස කිචවී නීච ලෙස සැඟවී සිටින මොහොතක එම ගෝතයින්ගෙන් සුක්කානම උදුරා රට නිසි මාවතට ඇද ගැනීම පිණිස රටට නායක්ත්වය දීමට කොන්දක් නැති අමන විපක්ෂ කාලකන්නින් රැලක් සහිත සජබ සහ ජවිපෙ වැනි මෙලෝ රහක් නැති ගොබ්බ දේශපාලු මල කෝලම් වලට සාපේක්ෂව ගත්විට නම් මේ මොහොතේ රනිල් මහතා කරමින් සිටින වැඩකොටස විශිෂ්ට බව අනිවාර්යයෙන්ම කීමට මම නොපැකිලෙමි.

      එමෙන්ම බටහිර ජාත්‍යන්තර බලවතුන් සමග සාකච්ඡා කර Intermediate/ emergency මූල්‍ය පහසුකම් ලබාගැනීමටත්, IMF සමග වැඩසටහනක් සාකච්ඡා කරගැනීමටත්, මේ දුෂ්කර සමයේ අවශ්‍ය දේශපාලන ස්ථාවරත්වය පවත්වාගැනීමට හා ප්‍රතිසංස්කරණ සිදුකිරීමටත් අවශ්‍ය බලතුලනය නිර්මාණය කිරීමේදී ඔහු ඉතාමත්ම වැදගත් සාධකයක් බව අමුතුවෙන් නොකිවමනා බවත් ඔබ සැම පිළි ගනීවි.

      Delete
    3. ඔය දේවල් කෙසේ වෙතත් රට කරවීමට හොඳ රූස්ස ගස් නැති රටක් වන ලංකාවේ තවමත් මේ මොහොත සඳහා අවශ්‍ය දේශපාලන නායකත්වය ලබාදීමට ඔහු ප්‍රමාණවත් ද යන්න සබුද්ධික ලාංකීයන් බහුතරයකට තවමත් ඉතා දැඩි ලෙස සැක සහිත නිසා, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, අනුර කුමාර දිසානායක වැනි කපටි දේශපාලකයන් හමුවේ ඔහු පරාජය වීමේ විභවය වැඩි නමුත් රාජපක්ෂ කල්ලිය මෙවර ඔහුට දැඩිව පහර නොදී ඔහු දිගු කලක් බලයේ තබා ගෙන 2024 ඔහුට ජනපති ලෙස රට බාරදීමටත් 2029 ජනපති ලෙස හෝ ඊට පෙර අගමැති ලෙස නාමල් ගෙන ඒමටත් කටයුතු කරන බව සිතිය හැක.

      කෙසේ නමුත් රනිල්ට ලැබී ඇති සීමිත කාලය තුළ විදේශ ආධාර ගෙනැවිත් පෝලිම් නැතිකිරීමට පමණක් වත් අසමත් වුණොත් මේ සැලසුම් සියල්ල වතුරේ යා හැක, එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට යන එක ලංකාවේ මේ අර්බුදයට මූලික හේතුව වන සමාජ දේශපාලන සහ රාජ්‍ය මූලික ආර්ථික ක්‍රමය තුල ඉත දැඩි ප්‍රතිරෝධයක් සහිත අභියෝගාත්මක ගමනක් බව රාජපක්ෂලා/ චම්පිකලා වගේම අවස්ථාවාදී ජවිපෙ උදලු පෙරමුණද දන්නා බැවින් ජවිපෙ පෙරෙට්ටන් සමග ලොකුවට උදලු දාන අතරේ බූරුවංස සහ පොහොට්ටු කල්ලියේ ඇතැමුන් මෙන්ම සජබද සිරස සමග රනිල්ගේ පතුරු යැවීමට කටයුතු කිරීමත් දුර දිග නොපෙනෙන ලංකාවේ අමන දේශපාලකයන්ට අවශ්‍ය වන්නේ බලය තමන් අතට ඩැහැගැනීමට වීමත් අප අමතක නොකළ යුතුයි. රාජපක්ෂලා හොඳ පාඩමක් ඉගෙනගෙන ඇති බැවින් රනිල්ට යම් කාලයක් දී සියල්ල ස්ථාවර කර ගැනීමටත් පසු බැස සිටියත් ඔවුන් තම ඡන්ද පදනම් තබා ගැනීමට කටයුතු කරාවි දිගටම. කෙසේ වෙතත් රනිල් ඉදිරි කාලයේ අසාර්ථක වුණොත් බොහෝ දුරට සජිත් ප්‍රෙමදාස/ ජවිපෙ මෙන්ම පොහොට්ටු කල්ලියේ වුණත් බල පෙරේතකමින් පෙළෙන මෝඩ දේශපාලකයන් කීපදෙනෙකු අත ලංකාව තව තවත් අගාධයට යනු ඇත. මේ නිසා උඩඟු කිසිම දෙයක බරක් පතලක් නොදකින මෙම limited එහෙත් ප්‍රශන ගණනාවක් සහිත මෙම සම්ප්ත (Resource) නිසි පරිදි ට්‍රබල්ශූට් කර කළමණාකරණය කිරීමට නම් රටට සැබවින්ම ආදරය කරන කවුරු හෝ ඔහු වටා රොක්වී ඒ වෙනුවෙන් දැඩි ලෙස උත්සාහ කළ යුතු නොවේද? ඔහු ගෝඨාභය, පොහොට්ටුව හා සෙසු දේශපාලන බලවේග කළමනාකරණය කරගැනීමට ශූර විය යුතු බැවින් ඒ වෙනුවෙන් ඔහුට දිය හැකි උපරිම සහය දිය යුතු අතරම රාජපක්ෂලා මෙන්ම මුග්ධ පුතාණෝත් යල්පැනගිය වමේ රට අවතාරවලටත් ඔවුගෙන් නිසි කලට පෙර නැවත් බලය ඩැහැ ගැනීමට ඉඩ නොදිය යුතු අතර 2019 සහ 2020 මැතිවරණවලදී ඡන්ද්ය පාවච්චි නොකර සිටි මිලියන දෙකක ජනයාට මෙන්ම පාර වැරදුනු 69 ලක්ෂයටත් තවත් මංමුලාවූ සජබ/ ජවිපෙ පාක්ෂිකයින්ගෙන් බහුතරයකටත් සාධාරණ තෝරාගැනීමක් විය හැකි අලුත් ප්‍රජාතන්ත්‍රවාදී/ නිදහස් වෙළඳපොළ මත පවතින නවීන පන්නයේ ඇඩ්වාන්ස් එකොනොමි එකක්/ ඇඩ්වාන්ස් නිදහස් සමාජ ක්‍රමයක් සහිත ශක්තිමත් ඉන්ස්ටිටියුෂන්ස් මත රෙගියුලේට් වන ඔනස්ට් ගවර්න්මන්ට් එකක් සහිත පාලන ක්‍රමයක් ඇතිකිරීමට නම තරුණ දේශපාලන වැඩපිලිවෙලක් සකස් කර අලුත් තරුණ නායකයන් සහ පවතින අයහේන් 43 සේනාව සහ පොදුජන පෙරම්නේත් ඇතැම් ඉදිරිගාමී පිරිස් එකතු කරගෙන නව බලවගයක් සාදා ගැනීමට අප කැප විය යුතු නොවේද? මේ ගැන ඉකොනොමැට්ටාටත් පෝස්ට් එකක් දාන්න කියා මා යෝජනා කරන අතරම ඉයන් ඇතුලු සියලුම පාඨකයන්ගේන් සාධනීය අදහස් හා යෝජනා ලබා ගැනීමට පුළුවන් වෙයි, අදහස් වලට වඩා අවශ්‍ය වෙන්නෙනේ කොහොන් හරිඔ පටන් අරන් වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමයි, එය සාර්‍තක කරගැනීම ටික ටික කළයුතුයි, රනිල් දැන් වයසයි නාමල්/ සජිත්/ අනුර වැනි ගර්හිත විගඩම් වෙනුවට හොඳ අලුත් පිරිසක් තෝරා ගත යුතුයි, චම්පික රනවක යම් තාක් දුරකට හොඳයි නමුත් ඔහුගේ සංවිධාන ශක්තිය සහ ජන ආකෂණීය බව තවමත් මදි. මේ ගැන ඔබේ අදහස කුමක්ද?

      Delete
  3. ඉකොනෝමැට්ටාගේ බ්ලොග් දෙකයි, ඒවායේ ක්ලෝන් දෙකයි, ඩොමේන් එකයි ඔක්කොම රිපෝර්ට් කරන්න ඕනි ශෝෂල් මිඩියා වල අසත්‍ය ප්‍රචාරය කරනවා කියලා.

    ReplyDelete
    Replies
    1. ආ කින්ස්ලි, තාම ඕට්ටේලියාවෙද? දැන් සැපද?

      Delete
    2. කින්ස්ලි පිරිස්ද?

      Delete
  4. වාහන ගෙන්නන කොටම ලොකු බද්දක් රුපියල්වලින් ගෙවනවා. ඒ ඇරෙන්න ආදායම් සහතික, රක්ශන, දුම් සහතික, ඉන්දන මත බදු, වගේ ලොකු බදු ප්‍රමාණයක් වාහන නිසා රජයට ලැබෙනවා. තවත් වාහන මතම බදු ගහන එක සාධාරණ නැහැ.

    ඉඩම් මත අය කරන බදුනම් ඉතාම අඩුයි. මාර්ග, පාසල්, රෝහල් වගේ පොදුපහසුමක් නිසා ඉඩම්වල ගනන් වැඩි වුනත් ඊට සාපේක්ශව අඩු බදු ප්‍රමාණයක් අයවෙන්නේ. අනික සමහර අඩු ආදායම් ලබන අයගේ ඉඩම් වත්කම්වල වටිනාකම ඉහලයි. ලොකු බද්දක් ගැහුවොත් ඒ අයට තමන්ගේ ඉඩමේ වටිනාකම තේරිලා ඒ ඉඩම විකුනලා වෙනතැනකට යන්න අවස්තාව ලැබෙනවා.

    ReplyDelete
  5. අලුත් බ්ලොග් එකක් ඕපන් කරන්න එහෙනම් ඉකොනෝ ඔබගේ බේගල් වලට. රිපෝර්ට් වදිනවා නේද. දැන් සැපද?

    ReplyDelete
  6. මම හිතන්නේ ඔය ලංකාවේ ආර්ථිකයට වඩා පහුගිය යුද්ධය කාලේ යුද අපරාද වලට එරෙහිව International investigation එකක් ඕනේ. ඒක නොකරන්නේ නම් සත පහක් වත් ලංකාවට නොදෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ සියලු රටවල් වලින් බලපෑම් එල්ල කිරීමට අවශ්‍යයි.

    අපි උසස් මනසින් යුතු යුද අපරාද කරුවන් ආරක්ෂා නොකරන ශ්‍රී ලාංකීයයන්.

    ලංකාවේ රජයේ හමුදාවේ එකෙක් නෑර අපරාද කරලා තියන කට්ටිය නීතිය ඉදිරයට ගෙන්න ඕනේ. ඔවුන්ට දැඩි දඬුවම් පමුණුවමින් රට සුද්ද කරන්න ඕන.

    ReplyDelete
  7. ඉකෝන්....
    ලංකාවේ තෙල් ආනයන කරන්න පුලුවන් සිපෙට්කො සහ අයිඕසී විතරයිනේ.....ඒත් මේ ක්‍රමය නැති කරලා කැමති ඕනෑම අයෙකුට තෙල් ආනයනය කරන්න දුන්නොත් මේ තෙල් පෝලිම් නැති කර ගන්න පුලුවන් ද?

    එතකොට ඔය උන්ඩියල් සහ ඕපන් එකවුන්ට් හරහා සුළු හා මධ්‍ය පරිමානයෙන් කට්ටිය තෙල් ගෙනවයි නේද?

    සූඩානයේ තියෙන්නේ මේවගේ තත්වයක්..සමහරු තෙල් බැරල් කීපයක් පමනක් ගෙන්වනව. තවත් සමහරු මහ ප්‍රරිමානයෙන් කරනවා..

    ReplyDelete
  8. ඉකොනෝමැට්ටා කියන්නේ ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ඉගෙන ගෙන ඇමරිකාවට ගිහිල්ලා ඉන්න ගමන් ලංකාවට වින කටින කුහක මනසක් ඇති කෙනෙක්. මේ මනුස්සයාගේ කටේම තියෙන්නේ ඕක හරියන්නේ නැහැ, හරියන්නේ නැහැ කියන එක තමයි. පට්ට නෙගටිව් කෙනෙක්. මේ බ්ලොග් දෙකයි, ඒවායේ ක්ලෝන් දෙකයි, ඩොමේන් එකයි ඔක්කොම රිපෝර්ට් කරන්න ඕනි ශෝෂල් මිඩියා වල අසත්‍ය ප්‍රචාරය කරනවා කියලා.

    මේ වගේ අයට තියෙන්නේ සමාජයත් එක්ක වෛරයක්, ඇරියස් එකක්. ජෙව්පිකාරයෝ වගේ තමයි. ඔන්න ඕක තමයි වෙන්නේ කුහක, දිළිඳු පවුල් වල අය ඉගෙන ගත්තම. අනික් කෙනාට වල කපන එකයි වැඩේ.

    තමුන්ට හරි හමන් පිළිතුරක් ඇත්තෙත් නැහැ. මේ වගේ අසත්‍ය වපුරන ලිපි නිසා උනත් මිනිස්සු කොච්චර රැවටෙනවාද. රටට සමාජයට හානියක් වෙනවද.

    එළකිරි එකේ ත්‍රෙඩ් එකක් දාල මෙම්බර්ස්ලාගේ සහයත් අරගෙන රිපෝර්ට් කරමු මේ බ්ලොග් එක.

    ReplyDelete
  9. Death Spiral එකකට අසුවී පසුව ගොඩ ගිය රටවල් තියෙනවද? නැතිනම් රාජ්‍යයේ අවසානය සිදුවූ රටවල් තියෙනවද

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: