වෙබ් ලිපිනය:

Tuesday, May 17, 2022

ටීවී, ෆෝන් නොගෙන ඉම්මුද?


මේ වෙලාවේ රූපවාහිණී යන්ත්‍ර, ජංගම දුරකථන වැනි අත්‍යාවශ්‍ය නොවන ආනයනික භාණ්ඩ මිල දී නොගෙන පොඩ්ඩක් කල් දමන්න කියලා මහ බැංකු අධිපතිවරයා කියනවා ඇහුනා. මම දැක්කේ පොඩි ක්ලිප් එකක් නිසා ඔය කතාව කියපු සන්දර්භය ගැන හරියටම දන්නේ නැහැ. සමහර විට "මේ වෙලාවේ මිනිස්සු කරන්න ඕනෑ කුමක්ද?" කියලා අහපු ප්‍රශ්නයට දුන්න පිළිතුරක් වෙන්න ඇති.

ඔය ප්‍රශ්නයම නොයෙක් අය අපෙනුත් අහනවා. මෙය ඒ ප්‍රශ්නයට දෙන පිළිතුරක්ම නොවුනත් ආසන්න පිළිතුරක්.

ඔය ටීවී, ෆෝන් ගන්න එක කල් දාන්න කියපු එකට ප්‍රතිචාරයක් විදිහට මාත් එක්ක කතා කරපු කෙනෙක් මෙහෙම කතාවකුත් කිවුවා.

"ඒ මොන මෝඩ කතාවක්ද? මිනිස්සු ගන්නේ කඩ වල තියෙන ඒවානේ!"

ඔහොම තමයි ඉතිං සමහර අයගේ අවබෝධය. මිනිස්සු ටීවී, ෆෝන් කඩෙන් ගන්නවා මිසක් ආනයනය කරන්නේ නැහැ. ඒ වෙනුවෙන් රුපියල් වලින් මිසක් ඩොලර් වලින් ගෙවන්නෙත් නැහැ. හැබැයි මිනිස්සු කඩ වලින් ටීවී, ෆෝන් මිල දී ගනිද්දී කඩ වල තොග පහළ බහිනවා. තොග පහළ බහිද්දී, ඉල්ලුමත් පේන්න තියෙද්දී ඔය වගේ බඩු විකුණන අය ඩොලර් එකට කීයක් ගෙවන්න වුනත් ඒ ගාන දීලා තව ටීවී, ෆෝන් ආනයනය කරලා විකුණන්න පෙළඹෙනවා. මිනිස්සු ටීවී, ෆෝන් නොගෙන හිටියොත් ඔය වැඩේ වෙන්නේ නැහැ. කඩේ තියෙන ටීවී, ෆෝන් ටික ඒ විදිහටම ඉතුරු වෙනවා. ඒ නිසා, අලුතෙන් ආනයනය කරන්න වෙළෙන්දෝ පෙළඹෙන්නේ නැහැ. මම හිතන්නේ මහ බැංකු අධිපතිවරයා කියන්නේ ඔය කතාව.

මිනිස්සු ඔය කතාව පිළිගෙන ටීවී, ෆෝන් මිල දී ගැනීම කල් දමන එකේ කිසිම වැරැද්දක් නැහැ. කැමැත්තෙන් කරන වැඩක්නේ. එහෙම කළොත් යම් ඩොලර් ප්‍රමාණයක් ඉතුරු වෙයි. හැබැයි ටීවී, ෆෝන් මිල දී නොගෙන හිටියා කියලා රටේ තියෙන ඩොලර් ප්‍රශ්නේනම් විසඳෙන්නේ නැහැ. ඒකත් හොරකම් කරපු සල්ලි හොයාගෙන ණය ගෙවනවා වගේ වැඩක් තමයි. ප්‍රයෝජනයක් තිබෙනවා. නමුත් විශාල එකක් නෙමෙයි.

මහ බැංකුවේම සංඛ්‍යාලේඛණ අනුව පසුගිය මාර්තු මාසයේදී ටීවී, ෆ්‍රිජ් ආදී සියළුම දේවල් ඇතුළත් ගෘහ උපකරණ ආනයනය සඳහා වැය වී තිබෙන්නේ ඩොලර් මිලියන 12.2ක් පමණයි. මෙය පෙර වසරට සාපේක්ෂව 61.7%ක අඩු වීමක්. විදුලි සංදේශ උපකරණ සඳහා වැය වී තිබෙන්නේ ඩොලර් මිලියන 10.2ක් පමණයි. මෙය පෙර වසරට සාපේක්ෂව 74.8%ක අඩු වීමක්. ඒ කියන්නේ ඔය කාණ්ඩ දෙකේම ආනයන වියදම් වල එකතුව ඩොලර් මිලියන 22.2ක් පමණයි. ලංකාවේ කවුරුවත්ම විදුලි සංදේශ උපකරණ හෝ ගෘහ උපකරණ මිල දී නොගෙනම හිටියත් මාසයකට ඉතුරු වෙන්නේ ඔය ඩොලර් මිලියන 22.2 පමණයි.  

වැටිලා ඉන්න තත්ත්වයේ හැටියට මාසයකට ඩොලර් මිලියන 22.2ක් ඉතුරු කර ගන්නවා කියන එකත් ලොකු දෙයක් නෙමෙයි නේද කියලා කාට හරි අහන්න පුළුවන්. 2021 මාර්තු මාසයේදී මේ කාණ්ඩ දෙක යටතේ ආනයන වියදම ඩොලර් මිලියන 72.4ක්. එහෙම බැලුවහම දැනටමත් ඩොලර් මිලියන 50කට වඩා ඉතුරු වෙලා. දැනටත් ගොඩක් අය ටීවී, ෆෝන් ගන්න එක නවත්තලා නැත්නම් කල් දමලා. දැන් ඔය ඉතුරු වෙලා ඉන්න ගොඩක් පාරිභෝගිකයෝ ටීවී, ෆෝන් අත්‍යාවශ්‍යම හා හදිසියේම නොගෙනම බැරි අයයි. 

ඔය අත්‍යාවශ්‍ය භාණ්ඩ හා අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ කියන බෙදීම වාස්තවික ලෙස කරන්න ටිකක් අමාරු විෂයමූලික දෙයක්. දරුවන්ට ටියුෂන් ගැනීමේ සිට රාජපක්ෂලා ගෙදර යවන්න දේශපාලනය කිරීම දක්වා කුදු මහත් කටයුතු සියල්ල කරන්න තියෙන ෆෝන් කට්ට හදිසියේ කැඩුනොත් අලුතෙන් ෆෝන් එකක් ගන්න එක හදිසි හා අත්‍යාවශ්‍ය කටයුත්තක් වෙනවා. ටීවී එක කැඩුනත් එච්චරයි. අලුතෙන් එකක් ගන්න එක මාස ගාණක් කල් දාන්න බැහැ. ඒ වෙද්දී ආණ්ඩු දෙක තුනක් මාරු වෙලා තියෙන්න පුළුවන්. ටීවී එකයි ෆෝන් එකයි නැත්නම් දන්නෙත් නැහැ.

හැමෝම ටීවී, ෆෝන් ගන්නේ ඔය විදිහට නොගෙනම බැරි නිසා නෙමෙයි. ඇත්ත. සමහර අයට අලුත් අයිෆෝන් වර්ෂන් එකක් ආවහම තියෙන එක මදි වෙනවා. ඒ වගේ අයටනම් ඕක කල් දාන්න බැරිකමක් නැහැ. ඒ වගේ අයත් ටික දෙනෙක් හරි තවම ඉතිරි වෙලා ඇති. දැන් එහෙම අය කවුරුත් කිවුවා කියලා ෆෝන්, ටීවී ගන්න එක කල් දායිද?

එක පැත්තකින් අලුත් ටීවී, ෆෝන් කොහොම වුනත් ඕවාට අවශ්‍ය අමතර කොටස් ආදිය නිදහසේ ආනයනය කරන්න දෙන්නම වෙනවා. ඔය ඩොලර් මිලියන 22.2ට ඒවත් ඇතුළත්. කැඩුණු ෆෝන් එක හදාගන්න අවශ්‍ය අමතර කොටස් නැත්නම් කොහොම හරි පරණ එක අටෝගෙන කාලයක් අදින කෙනාටත් වෙන්නේ අලුත් ෆෝන් එකක් ගන්නයි. හදාගන්නම බැරිනම් කොහොමත් අලුත් එකක් ගන්න වෙනවා. ඊට අමතරව රැල්ලට ෆෝන් ගන්න අයව පාලනය කරන්න ඕනෑනම් ඒක කරන එක මහ බැංකුව අතේම තියෙන වැඩක්. ඩොලරය ඉහළ යන්න ඉඩ දෙන අතරම රුපියල් අතේ තියෙන අයගෙන් රුපියල් එකතු කර ගන්න එක තමයි එකම සාර්ථක විසඳුම.

ෆෝන්, ටීවී ගැන අවධානය යොමු වුනාට ආනයන වියදමෙන් ලොකුම කොටස ඉන්ධන වියදමයි. ගෙවුණු මාර්තු මාසයේදී ඉන්ධන ආනයන වියදම ඩොලර් මිලියන 519.8ක්. ඉන්ධන පරිභෝජනය 4.2%කින් අඩු වුනොත්, ගෘහ උපකරණ හා විදුලි සංදේශ උපකරණ ආනයනයට වැය වන මුදලට සමාන මුදලක් ඉතුරු වෙනවා. ඒ නිසා, වඩා ඵලදායී ඉල්ලීමක් ලෙස මට පෙනෙන්නේ අනවශ්‍ය ගමන් බිමන් සීමා කරන්න, ළඟ පාතකට යද්දී පයින් හරි බයිසිකලේකින් හරි යන්න, හැකි තරම් පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන්න, විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න වගේ ඉල්ලීම්. හැබැයි ඕවත් මිනිස්සුන්ගේ නිදහස් තීරණ. කවුරුවත් කිවුවා කියලා මිනිස්සු තමන්ගේ චර්යාවන් එහෙමට වෙනස් කරන්නේ නැහැ.

කවුරුවත් කිවුවා කියලා මිනිස්සු  ටීවී, ෆෝන් ගන්න එක කල් දමන්නේ හෝ ඉන්ධන පරිභෝජනය අඩු කරන්නේ නැතත් මිල වැඩි කළහම ලස්සනට ඔය වැඩේ වෙනවා. ඒ නිසා, ආනයන වියදම් අඩු කරගන්න කළ හැකි සාර්ථකම දෙය ඉන්ධන, විදුලි පරිභෝජන ගාස්තු ආදිය සැලකිය යුතු ලෙස වැඩි කිරීමයි.

දැනට මේ වැඩේ කරන එක සාධාරණීකරණය කරන ලොකුම තර්කය ලංවිම, තෙල් සංස්ථා වැනි තැන් වල විශාල පාඩුව. හැබැයි මේ පාඩු ගැන කතා කරද්දී මතු කෙරෙන ප්‍රබල ප්‍රතිතර්කයක් තියෙනවා. ඒ මේ පාඩු වලට හේතුව කුමක්ද කියා හොයලා පාඩු වලක්වා ගත යුතුයි කියන එක. ඒක ඇත්ත. ලංවිම, තෙල් සංස්ථාව වැනි තැන් පාඩු ලබන්නේ අඩුවට විකුණන නිසාම නෙමෙයි. එය එක හේතුවක් පමණයි. මේ තැන් වල අධික පාඩු වලට හේතු වන දූෂණ, වංචා, අකාර්යක්ෂමතා වලට වැට බැඳලා මේවා ලාබ ලබන ආයතන බවට පත් කළ යුතුයි. ඒ දේවල් කළ යුත්තේ රජයේ රුපියල් ප්‍රශ්නයට විසඳුමක් ලෙසයි. හැබැයි ඔය විදිහට මේ තැන් ලාබ ලබන ආයතන කළත් ඩොලර් ප්‍රශ්නය විසඳා ගන්නනම් මිල වැඩි කරන්නම වෙනවා.

22 comments:

  1. මේ post එක කියවනකොට වෙලාව රෑ 10.40යි.
    අද හවස 4.30 ට අපේ නංගිගේ දුව මෙහාට ආවා. එයාගේ මොබයිල් ෆෝන් එක කැඩිලා. අමතර කොටස් හිඟය නිසා හදන්න 12,000/-ක් යනවයි කිව්වලු. තව තැනක ඒ ගණන 20,000/-ක්. අලුත් එකක් බැලුවාම, අඩුම ෆෝන් එක 30,000/-ක් කිව්වලු!
    එයයි මට කිව්වේ කොට්ටාවේ සිට මහරගමට එන අතර දැකපු දේකුත්. දවස් තුනක් තෙල් නෑ කියලා දැනුම් දී තිබියදීත්, ෂෙඩ් හැම එකකම මිනිසුන් හැතැප්ම ගණන් දිග පෝලිම්වල ඉන්නවා කියල.

    ReplyDelete
    Replies
    1. ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණය ඩොලර් බිලියනයක් වුවත් බිලියන 10ක් වුනත් ඒවා ගෙවන්නට ලංකාව සතුව ඩොලර් මිලියනයක් වත් නැතැයි ඉකොනෝමැට්ටා මහතා (18) පැවසීය.

      Delete
  2. ස්මාට් ෆෝන් එකක් කියන්නෙ( නවතම සැම්සුන්, අයිෆෝන් හැර), තව දුරටත් සුඛෝපභෝගී භාණ්ඩයක් නෙමෙයි. මෙතන කොස්ස නිදි කිව්වා වගේ, පරණ ෆෝන් එක අටවගෙන උපරිම දුවන්න නොදෙන, අමතර කොටස් හිඟය සහ අමතර කොටස් මිල.

    මිනිසුන්ට නිදහසේ සුඛෝපභෝගී භාණ්ඩ භුක්ති විඳින්න දීලා, දැන් රට වෙනුවෙන් පටි තදකර ගනිල්ලා( කියන එවුන් සැප විඳින ගමන්) කියන එක, මහිතේ 70-77 කාලෙ අත්හදා බැලුව නේද? ඒ කාලෙ රට කාර්මිකකරණය කරන්න, අසාර්ථක වුනත් වෑයමක්වත් තිබ්බා. කොහෙන් හරි ණයක් කොටාගෙන ඇවිත්, එදාවේල ටුවර්ස් දුවන්න ජාම බේරල දෙන්නම් කියල විතරයි නේද රනිල් පොරොන්දු වෙන්නෙ?

    අසාර්ථක සුභසාධන ආර්ථිකයක් ගැන ඇර වෙන විසඳුමක් ගැන නොකියන සජිත්/අනුරට කල නොහැකි එක දෙයක් රනිල්ට කල හැකියි. ඒ රටේ අසාර්ථකම
    සහ ලොකුම සුදු අලියා වන, දෑවැන්ත පරිපාලන සහ සේවා යාන්ත්‍රණයට අත තැබීමයි. අනිවාර්‍යයෙන්ම ජන-අප්‍රිය සියදිවි නසා ගැනීමක් වේවි. ඒත් නවීන කෘෂිකාර්මික, කාර්මික හෝ පර්‍යේෂණ පදනමක් නැති, තරඟකාරී ශ්‍රම බලකායක් නැති රටකට, අලුත් විදේශවිනිමය සොයන මාවත් හොයන එක සිහිනයක් කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. Jagath PathiranaMay 17, 2022 at 5:54 PM

      //මිනිසුන්ට නිදහසේ සුඛෝපභෝගී භාණ්ඩ භුක්ති විඳින්න දීලා, දැන් රට වෙනුවෙන් පටි තදකර ගනිල්ලා( කියන එවුන් සැප විඳින ගමන්) කියන එක

      ඔන්න ඕක තමයි සිංහලයගේ වැරැද්ද!
      තව සිංහලයෙක් පොඩ්ඩක් සැප විඳිනවා දැක්කාම ඊරිසියාවේ පැලෙන්න හදනවා.

      වැඩේ සමස්තයක් හැටියට හොඳනම්. එකෙක් දෙන්නෙක් අයුතු විදියට සැප වින්දම මොකද?

      Delete
    2. https://www.youtube.com/watch?v=qTQJdGp4F34

      Delete
    3. https://www.economyhub.info/2022/05/18/parliament-lunch/

      Delete
  3. ඩොලර් නැති ලංකාවේ ,එහෙමත් නැත්නම් අඩියටම ඩොලර් ටික හිදෙනකොට රුපියල ශක්තිමත් වෙන්නේ කොහොමද , මේ ටිකේ ඩොලර් මිල අඩූ වී ගෙන යනවා නේ

    ReplyDelete
  4. මම දැක්කා ලංකා IOC එක පසුගිය කාලේ සැලකිය යුතු ලාභයක් උපයද්දී එම කාලය තුල එම මිලටම තෙල් වික්ක සංස්ථාව පාඩුයි කියලා. හැබැයි රජයෙන් නම් කියන්නේ තෙල් අඩුවට විකුණන නිසා පාඩු වෙනවයි කියලා. රනිලුත් ඒක කිව්වේ පෙරේද.

    ඉතිං එහෙම වෙන්නේ කොහොමද ඉකොනෝ? මේවායේ දත්ත නැද්ද ඉකොනෝ ලග.

    අනික මට හිතෙන දේ තමයි 2002 වගේ කාලේ IOC එක ලංකාවේ මෙහෙයුම් පටන් ගද්දි සමහරු ඒකට එරෙහි උනාට ඒක නැත්තන් අද වෙනකොට සංස්ථාවේ අලාභේ මීටත් වැඩියි කියන ඒක.

    ReplyDelete
  5. මේ ලිපියෙ තොයෙන විදියට බොන්ඩ්ස්කෑම් එක නිසා ෆොරින් රිසර්ව්ස් හිඳුන හැටි පැහැදිලි කරන්න පුලුවන්ද?
    මේ කියන විදියට බොන්ඩ් ස්කෑම් එකෙන් පස්සෙ ඩොලර් පිටවුනාද රටෙන්?

    ReplyDelete
    Replies
    1. මටනම් නිකම් හිස් වචන ටිකක් විතරයි. එහෙම පැහැදිලි කිරීමක් ඔබට පේන්න තියෙනවද?

      Delete
    2. ඉකොනො, පහල ෆේස්බුක් ලින්ක් එක එකට දාන්න අමතක උනා. ඒකෙ කියල තියෙන එක ගැන ඇහුවෙ.
      මේ කියන විදියට බොන්ඩ් ස්කෑම් එකෙන් පස්සෙ ආයෝජකයො ඩොලර් ටික ලන්කාවෙන් අයින් කර ගත්තද? සහ බේසිස් පොයින්ට් 200ක් ඉහල ගිය කතාව මොකක්ද?

      Delete
    3. ලින්ක් එක දැක්කා. පොලී අනුපාතික ඉහළ ගියා කියන එක ඇත්ත. එය විශාල ලෙස කතාබහට ලක් වී තිබෙන දෙයක්නේ. අවශ්‍යනම් මේ ගැන මා ලියා තිබෙන ලිපි මාලාව කියවන්න. වැඩියෙන් ණය ගනිද්දී වැඩි පොලියක් ගෙවන්න වෙන එක සාමාන්‍ය දෙයක්. පොලී අනුපාතික වැඩි වෙද්දී ආයෝජකයෝ සල්ලි අරන් යනවද? නිකමට හිතන්න. බැංකුව පොලිය වැඩි කළාම මිනිස්සු පොලිය වැඩියි කියලා සල්ලි ආපහු අරන් යනවද?

      සිදු වුන දෙය මම කලින් පැහැදිලි කරලා තියෙනවා. පහත ලිපිය කියවන්න.

      කඩා වැටෙන්නට නියමිත පොන්සි ක්‍රීඩාව
      http://economatta.blogspot.com/2022/05/blog-post_17.html#comment-form

      Delete
    4. මම ඔබගේ පරන ලිපි සීරීසෙකම කියවා තිබෙනව.
      මෙන්න මේනිශ්චිත ප්‍රකාශය ගැන හරිහෝ වැරදි බවතහවුරු කරගන්න විදියක්නැද්ද මහබැන්කු වාර්තා වලින් එහෙම?
      //2015 පෙබරවාරි 25 බිලිය්න 3.4 තිබ්බ විදේශ ආයෝජන පහුවෙනිද ඉඳල අඩුවෙන්න ගත්ත//

      Delete
  6. https://www.facebook.com/100013275431636/posts/1400610523724782/?app=fbl

    ReplyDelete
  7. ෆෝන්, වාහන, සහ ළමයින් විදේශ සරසවි වලට යාම නිසා ගෙවීම් තමයි මමහිතන්නෙ විශාලම විදේශ විනිමය යන දේවල් (තෙල් ආහාර ) හැරුණාම. ඇපල් එකෙන් අළුත් අයිෆෝන් එකක් දාන දාන පාරට ලෝකෙ සමහර අය ෆෝන් මාරු කරනවා. අඩුම ගානෙ අවුරුදු 3ක් වත් ෆෝන් එකක් පවිච්චි කරන්න හිතනවනම් හොඳයි. රටේ පෞද්ගලික විශ්ව විද්‍යාල (සමඟ සිසු ණය ක්‍රමය ) නම් අත්‍යාවශ්‍යයි. ජේවීපී එකේ ආණ්ඩුවක් ගැන මගේ බය මේ ගැන විතරයි.

    ReplyDelete
    Replies
    1. //ජේවීපී එකේ ආණ්ඩුවක් ගැන මගේ බය මේ ගැන විතරයි.//

      පෞද්ගලික විශ්ව විද්‍යාල සම්බන්ධ ප්‍රතිපත්තිය පමණක් වෙනස් කළොත් රටේ ආර්ථික ප්‍රශ්න විසඳිය හැකි වැඩ පිළිවෙළක් ජවිපෙට තියෙනවා කියලද ඉයන් කියන්නේ?

      Delete
  8. ඉකොනෝමැට්ටා නං කුණු ලෝබ ඩයල් එකක් නිසා කුම්මැහි කමට ෆෝන් එකක් වත් ගන්නේ නෑ අලුතින්.

    ReplyDelete
  9. පවතින අර්බුධයට විසදුමක් ලෙස මෙම බ්ලොග් අඩවිය චීන රටට විකුණා දමනා මෙන් අප ඉල්ලා සිටිමු. එම හම්බෙන මුදලින් තෙල්, ගෑස්, පරිප්පු, පාන් පිටි ගෙන්නමු. තෙල් ගහගෙන කඩේට ගිහින් පානුයි පරිප්පුයි අරං එමු. ගෑස් ඇති නිසා පරිප්පු හොද්දක් හදාගෙන පාන් කමු.

    ReplyDelete
  10. මාස් පඩි ගන්න රස්සා කරන කට්ටිය තමා එදා වෙලා හොයාගන්න බොහෝ දෙනෙක්ට රස්සා දෙන්නේ...
    එක එදා වේල හොයා ගන්න සමහර අයට තේරෙන්නේ නෑ...

    පෙට්‍රල් රුපියල් 100කින් වැඩි උනාම ත්‍රී වීල් රියදුරන් හදන්නේ කිලෝමීටර් 3-4 දුරක් ගිය ගමන් ඒ 100 ම එක හයර් එකෙන් අල්ලන්න...
    මේසන් බාස්, ගෝල බාස් හදන්නේ උඑයාගේ වියදම් වැඩි වීම් ඔක්කොම එක දවසේ පඩියෙන් අල්ලන්න....

    ඔය වැඩි දෙනාගේ රස්සාව ඔක්කොම රැදිලා තියෙන්නේ මාසේ පඩි ගන්න බොහෝ දෙනා මත....

    කොටින්ම සිල්ලර කඩ... මාළු වෙළෙන්දා.... කීර පලා වෙළෙන්දා ඔක්කොම....

    මේ උද්දමනය යන විදිහට, බාන්ඩ මිල ඉහල යන විදිහට මාස් පඩි හම්බෙන අය ඉස්සරලාම කරන්නේ අඩු කරන්න පුළුවන් සියලුම දේවල් වියදම අඩු කරන එක.
    ඒ කියන්නේ ත්‍රී වීල් ගමන්, ගෙවල් දොරවල් හැදිලි වගේ අත්‍යාවශ්‍ය නොවන දේවල්.
    ඊළගට කපන්න කෑම බීම මිලදී ගන්න දේවල්....

    දැනටමත් එක වෙමින් පවතිනවා.... හිතු හිතු ලෙස මිල වැඩි කරපුවා දැන් ටික ටික බහින්න පටන් අරන්..............

    ReplyDelete
  11. https://www.economatta.com/ වෙබ් අඩවියට ශ්‍රී ලංකාවේ සිට පිවිසීමේදී පහත දැක්වෙන පණිවිඩය දීස්වේ. මෙය සාදා ගන්නේ කෙසේද?

    ස්ක්‍රීන්ෂොට්

    ReplyDelete
    Replies
    1. bojunhala.economatta.com ලිපිනය භාවිතා කළ හැකියි. අනෙක් වෙබ් අඩවි,

      සතපහ: sathapaha.economatta.com
      බොජුන්හල ඡායා වෙබ් අඩවිය: 2.economatta.com

      Delete
  12. ඔබ මේ ගනන් මිනුම් සොයාගන්න විශේෂ මූලාශ්‍රයක් භාවිතා කරනව්න නම් ඒක කියන්න පුළුවන්ද? නැත්තන් මහ බැංකු වාර්තාවද

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: