වෙබ් ලිපිනය:

Tuesday, December 29, 2020

කෝවිඩ් ජාතිකත්වය


මා පෙර ලිපියක විස්තර කළ පරිදි, ඇමරිකාව විසින් කෝවිඩ් එන්නත් වැඩි දියුණු කිරීම සඳහා කරන ආයෝජන වශයෙනුත්, එන්නත් මිල දී ගැනීම සඳහා කරන පෙර ගෙවුම් ලෙසත්, සමාගම් ගණනාවකට ඩොලර් බිලියන 12කට ආසන්න මුදලක් ගෙවා තිබෙනවා. මේ ආයෝජන හා පෙර ගෙවුම් සිදු කර තිබෙන්නේ අදාළ එන්නත් සාර්ථක වනු බවට කිසිදු සහතිකයක් නැතිවයි. වෙනත් විදිහකට කිවුවොත් නැති එන්නත් මිල දී ගැනීම වෙනුවෙන් ඇමරිකානුවන්ගේ බදු මුදල් වලින් ඩොලර් බිලියන 12ක පමණ මුදලක් වැය කර තිබෙනවා.

මේ ආකාරයෙන් එන්නත් හදන්නත් කලින් එන්නත් මිල දී ගත් එකම රට ඇමරිකාව නෙමෙයි. ඇමරිකාව මෙන්ම අනෙකුත් බටහිර රටවල් සියල්ලම මෙන්ම නැති එන්නත් මිල දී ගැනීම වෙනුවෙන් විශාල මුදලක් වැය කර තිබෙනවා. මේ විදිහට සමාගම් ගණනාවකට අදාළ එන්නත් හදන්න කලින්ම පෙර ගෙවුම් කිරීමෙන් කර තිබෙන්නේ ඔට්ටු ඇල්ලීමක්. එම රට වලට ගත් අවදානම වෙනුවෙන් මේ වෙද්දී ප්‍රතිඵල ලැබෙමින් තිබෙනවා. 

විවිධ රටවල් විසින් පෙර ගෙවුම් ගිවිසුම් අත්සන් කිරීමේ ප්‍රතිඵලයක් විදිහට අවම වශයෙන් එන්නත් බිලියන 8ක් මේ වන විට විකිණී අවසන්. එය ලෝක ජනගහණය ඉක්මවන ප්‍රමාණයක්. එක් අයෙකුට බොහෝ විට එන්නත් දෙකක් අවශ්‍ය වන නිසා මේ එන්නත් ප්‍රමාණය අවම වශයෙන් ලෝක ජනගහණයෙන් බාගයකට ප්‍රමාණවත් වුවත්, එම එන්නත් ලෝකයේ රටවල් අතර ජනගහණයට සමානුපාතිකව බෙදී යාමේ ඉඩක් පෙනෙන්නට නැහැ. උදෙන්ම ඇහැරුණු කුරුල්ලෝ වැඩියෙන් පණුවෝ අල්ලයි.

ඇමරිකාව වෙනුවෙන් සමාගම් හයකින් දැනටමත් මිල දී ගෙන තිබෙන එන්නත් ප්‍රමාණය මිලියන 550 කට ප්‍රමාණවත්. එහෙත්, ඇමරිකාවේ ජනගහණය මිලියන 330ක් පමණයි. ඒ අනුව, රටේ ජනගහණය මෙන් 167%කට ප්‍රමාණවත් එන්නත් ප්‍රමාණයක් වෙනුවෙන් ඇමරිකාව මේ වන විට මුදල් ගෙවා අවසන්. එහෙත්, මේ එන්නත් වලින් මේ වන තුරු අනුමත වී තිබෙන්නේ සමාගම් දෙකක එන්නත් පමණයි. එම සමාගම් දෙකෙන් මිල දී ගැනෙන එන්නත් වුවත් ජනගහණයෙන් 60%කට ප්‍රමාණවත්. එම මට්ටමේදී සාමූහික ප්‍රතිශක්තිය ඇති වීමට සැලකිය යුතු ඉඩක් තිබෙනවා. ඊයේ උදේ වෙද්දී ඇමරිකානුවන් 2,127,143 දෙනෙකු විසින් කෝවිඩ් එන්නතක් ලබාගෙන තිබුණා. මේ ප්‍රමාණය ලෝකයේ කිසියම් රටක ලබා දී තිබෙන වැඩිම එන්නත් ප්‍රමාණය වුවත්, එම ප්‍රමාණය ඇමරිකාවේ ජනගහණයෙන් 0.64%ක් පමණයි.

මේ කාර්යයේදී වෙනත් බටහිර රටවල් ගණනාවක්ම ඇමරිකාවටත් වඩා ඉදිරියෙන් ඉන්නවා. මිලියන 38ක ජනගහණයක් සිටින කැනඩාව විසින් සමාගම් හතකින් මිල දී ගෙන තිබෙන එන්නත් ප්‍රමාණය මිලියන 117කට, එනම් රටේ ජනගහණය මෙන් 308%කට, ප්‍රමාණවත්.දැනට අනුමත වී තිබෙන පයිසර්-බයෝඑන්ටෙක් හා මොඩර්නා එන්නත් පමණක් වුවත් කැනේඩියානුවන්ගෙන් 80%කට ප්‍රමාණවත්. ඒ මට්ටමේදී කැනඩාව තුළ සාමූහික ප්‍රතිශක්තිය ඇති නොවන්නට හේතුවක් නැහැ. මේ වන විට අවම වශයෙන් කැනේඩියානුවන් 52,324 දෙනෙකු විසින් එන්නත ලබා ගෙන තිබෙනවා. එහෙත්, එම ප්‍රමාණය කැනඩාවේ ජනගහණයෙන් 0.16%ක් පමණයි.

එක්සත් රාජධානිය විසින් සමාගම් හතකින් මිල දී ගෙන තිබෙන එන්නත් ප්‍රමාණය එරට ජනගහණය මෙන් 290%කට ප්‍රමාණවත්. එහෙත්, එක්සත් රාජධානිය විසින් මේ වන තුරු අනුමත කර තිබෙන්නේ පයිසර්-බයෝඑන්ටෙක් එන්නත පමණයි. එම එන්නතෙන් මිල දී ගෙන ඇති ප්‍රමාණය එරට ජනගහණයෙන් 30%කට ප්‍රමාණවත්. එක්සත් රාජධානිය විසින් වැඩිපුර ඔට්ටු දමා තිබෙන්නේ ඇස්ට්‍රසෙනිකා එන්නත වෙනුවෙනුයි. ඇස්ට්‍රසෙනිකා එන්නත එක්සත් රාජධානිය තුළ ඉතා ඉක්මණින් අනුමත වේයැයි අපේක්ෂිතයි. එම එන්නත අනුමත වුවහොත්, එක්සත් රාජධානියේ ජනගහණයෙන් ඉතිරි 70% සඳහා අවශ්‍ය වන එන්නත් ප්‍රමාණයටත් වඩා වැඩියෙන් එරටට ලැබෙනවා. දැනට ලැබී තිබෙන දත්ත අනුව, ඇස්ට්‍රසෙනිකා එන්නතේ ඵලදායීත්වය අඩු නිසා එරටට සාමූහික ප්‍රතිශක්තිය ඇති කර ගැනීම සඳහා ජනගහණයෙන් 90%ක් පමණ එන්නත් කරන්න අවශ්‍ය විය හැකියි. එක්සත් රාජධානිය තුළ මේ වන විට අවම වශයෙන් 625,981 දෙනෙකුට එන්නත ලබා දී තිබෙනවා. එම ප්‍රමාණය ජනගහණයෙන් 1.18%ක්. මේ අනුව, එන්නත්කරණය අතින් එක්සත් රාජධානිය ඇමරිකාවට හා කැනඩාවට වඩා ඉදිරියෙන් සිටිනවා.

යුරෝපීය සංගමය විසින්ද කලාපයේ රටවල ජනගහණය මෙන් 170%කට ප්‍රමාණවත් එන්නත් ප්‍රමාණයක් වෙනුවෙන් සමාගම් හයකට පෙර ගෙවුම් කර තිබෙනවා. දැනට අනුමත කර තිබෙන පයිසර්-බයෝඑන්ටෙක් එන්නතෙන් යුරෝපීය සංගමයට ලැබෙන ප්‍රමාණය කලාපයේ ජනගහණයෙන් 22%කට ප්‍රමාණවත්. යුරෝපීය සංගමය විසින් මේ වන විට ඇස්ට්‍රසෙනිකා, මොඩර්නා හා ජැන්සෙන් (ජොන්සන් සහ ජොන්සන්) එන්නත් අනුමැතිය සඳහා සලකා බලමින් සිටිනවා. එම සමාගම් වලට කර ඇති පෙර ගෙවුම් මත යුරෝපීය සංගමයට ලැබෙන එන්නත් ප්‍රමාණය ජනගහණයේ ඉතිරි 78% සඳහා ඕනෑවටත් වඩා ප්‍රමාණවත්.

ඕස්ට්‍රේලියාව එරට ජනගහණයට අවශ්‍ය ප්‍රමාණය මෙන් 230% කටද, නවසීලන්තය එරට ජනගහණයට අවශ්‍ය ප්‍රමාණය මෙන් 247% කටද පෙර ගෙවුම් කර ඇතත් එම රටවල් විසින් තවමත් කිසිදු එන්නතක් අනුමත කර නැහැ.

ලෝකයේ රටවල් අතරින් කෝවිඩ් එන්නත්කරණයෙන් මේ වන විට ඉදිරියෙන්ම සිටින රට ඊශ්‍රායලයයි. මිලියන 9ක පමණ ජනගහණයක් සිටින ඊශ්‍රායලය මේ වන විටද 495,000 දෙනෙකු එන්නත් කර අවසන්. මේ ප්‍රමාණය එරට ජනගහණයෙන් 5.7%ක් පමණ වන අතර එරටෙන් මෙතෙක් හඳුනාගෙන තිබෙන කෝවිඩ් ආසාදිතයින් ප්‍රමාණය වන 409,338ද ඉක්මවනවා. ඊශ්‍රායලය විසින් පයිසර්-බයෝඑන්ටෙක් සමාගම සමඟ අත්සන් කර තිබෙන ගිවිසුම අනුව එන්නත් මිලියන 8ක්ද, මොඩර්නා සමාගම සමඟ අත්සන් කර තිබෙන ගිවිසුම අනුව තවත් එන්නත් මිලියන 6ක්ද, එරටට හිමි වෙනවා. මෙම ප්‍රමාණය මිලියන 7කට, එනම් ඊශ්‍රායලයේ ජනගහණයෙන් 80%කට පමණ, ප්‍රමාණවත්. මේ එන්නත් දෙකේම ඵලදායීතාවය 95% මට්ටමේ තිබෙන නිසා ලෝකයේ මුලින්ම සාමූහික ප්‍රතිශක්තිය ලබන රට ඊශ්‍රායලය විය හැකියි. හරියටම දිනන අස්සයින්ට ඔට්ටු දමමින් අඩුම වියදමකින් ඉලක්කයට යන්නට සමත්වීම ඊශ්‍රායලය සතු උපාය මාර්ගික හැකියාව හොඳින් පෙන්වා දෙනවා.


උදෙන් ඇහැරුණු කුරුල්ලන් ලොකු පණුවන් කලින්ම අල්ලා ගනිද්දී, දවල් වන තුරු නිදා ගන්නා කුරුල්ලන්ගේ අහිංසක පැටවුන්ට බඩගින්නේ ඉන්න වෙනවා. ඒ අයගේ පිහිටට ඉන්නේ ලෝක බැංකුවයි. ලෝක බැංකුව විසින් එන්නත් දැනටමත් ඇනවුම් කර නැති රටවල් වලට අවම එන්නත් ප්‍රමාණයක් ලබා දීම සඳහා සමාගම් තුනක් සමඟ ගිවිසුම් අත්සන් කර තිබෙනවා. එහෙත්, ඒ එන්නත් අතරින් එළැඹෙන 2021 වසර තුළ සාර්ථක ප්‍රතිඵල පෙන්වීමේ ශක්‍යතාවයක් තිබෙන්නේ ඇස්ට්‍රසෙනිකා එන්නතට පමණයි. 

ලෝක බැංකුව විසින් මිලියන 200ක් මිලදී ගන්න සූදානම්ව සිටින යූබීඅයි එන්නත තවමත් තිබෙන්නේ සතුන් යොදවා පරීක්ෂා කරන අදියරකයි. ලෝක බැංකුව විසින් තවත් මිලියන 200ක් මිලදී ගන්න සූදානම්ව සිටින සනෝෆි එන්නත මිනිසුන් තුළ ප්‍රතිශක්තිකරණය ඇති කිරීමට සමත්ව නැහැ. එම එන්නත වෙනුවෙන් වැය කළ ඩොලර් බිලියන 2.1ක ඇමරිකානු බදු මුදල්ද, යුරෝපීය සංගමය, එක්සත් රාජධානිය හා කැනඩාව විසින් වැය කළ මුදල්ද දැනට පෙනෙන විදිහටනම් වතුරේ. 

කොවැක්ස් වැඩසටහන යටතේ ලෝක බැංකුවට දැනට ලැබෙන බවට සහතිකයක් තිබෙන්නේ මිලියන 150කට ප්‍රමාණවත් ඇස්ට්‍රසෙනිකා එන්නත් මිලියන 300ක් පමණයි. මේ එන්නත් ලබා ගන්නට බලා සිටින රටවල ජනගහණය සැලකූ විට, ලෝක බැංකුවේ ඉලක්කය සෑම රටකම අවම වශයෙන් 20%ක්වත් එන්නත් කෙරෙනු ඇති බවට වගබලාගැනීම වුවත්, සැබැවින්ම යා හැක්කේ 2% මට්ටමට පමණයි. 


13 comments:

  1. එන්ගල්න්තේ වර්තමානයේ ව්‍යාප්තවන නව වයිරස සම අනුමත එන්නත් වලින් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගත් හැකිද කියල ප්‍රශ්නයක් තියෙනවා නේද? වයිරස වර්ශන් එක වෙනස් නිසා

    ReplyDelete
    Replies
    1. දැනට තිබෙන තොරතුරු අනුව නව ප්‍රභේදය භයානක වන්නේ වේගයෙන් ව්‍යාප්ත වීම මත පමණයි. එය මරණ අනුපාතය අතින් වඩා භයානක බවක් පෙනෙන්නේ නැහැ. ඒ වගේම, එයටද මේ එන්නත් බොහොමයකින් ප්‍රතිශක්තිය ලැබෙනු ඇති බව විශ්වාස කළ හැකියි. යම් අවිනිශ්චිතතාවක් තිබෙනවා තමයි. ඒ වගේම, මේ ආකාරයෙන් අලුත් ප්‍රභේද ඇති වීමේ අවදානම ඇමරිකාව ඇතුළු බටහිර රටවල් විසින් වසංගතය ආරම්භයේදීම සැලකිල්ලට ගෙන තිබුණු කරුණක්. දැන් තිබෙන එන්නතකට පාලනය කළ නොහැකි ප්‍රභේදයක් ඇති වුවහොත්, ඒ සඳහා ගැලපෙන එන්නතක් අලුතින් හදාගන්න එතරම් කාලයක් යන එකක් නැහැ. එකම වෙනස වේගයෙන් ව්‍යාප්ත වීම පමණක්නම් එයින් වෙන්නේ R0 අගය ඉහළ ගොස් සාමූහික ප්‍රතිශක්තිය සඳහා එන්නත් කළ යුතු ප්‍රතිශතය ඉහළ යාමයි.

      Delete
  2. ආගන්තුකයාDecember 29, 2020 at 4:58 PM

    ඔයාගේ අදහස මොකක්ද? එන්නත් නැතුව බොන බෙහෙත් මොකුත් සාර්ථක වෙන එකක් නැද්ද. පොඩිකාලේ ඉඳලාම අපිට ඔය කටු ඇනිල්ල පෙන්නන්න බැරි දෙයක් ��

    ReplyDelete
    Replies
    1. හොඳ ප්‍රශ්නයක්. ඇමරිකන් සමාගමක් විසින් මේ වන විට කෝවිඩ් පෙත්තක්ද මිනිසුන් යොදාගෙන පරීක්ෂා කරමින් ඉන්නවා. ඊට අමතරව නාසයෙන් උරන ස්ප්‍රේද පරීක්ෂණ මට්ටමේ පවතිනවා. ධනවාදී ක්‍රමයක තිබෙන අපූර්වත්වය මෙයයි. ලාබ ලැබීම සඳහා සෑම නිෂ්පාදකයෙකුටම අනෙක් අයට වඩා හොඳ දෙයක් වෙළඳපොළට දමන්න වෙනවා. නැත්නම් අනිත් අය නොකරන වෙනස් දෙයක් කරන්න වෙනවා.

      කෝවිඩ් සම්බන්ධ ටිකක් අසුබවාදී, එහෙත් නොවෙන්න බැරි, කරුණක් වන්නේ ලෝකයට හැමදාම කෝවිඩ් සමග ජීවත් වෙන්න සිදු විය හැකි වීමයි. ඒ කියන්නේ හැමදාම දැන් වගේ ගෙවල් වලට වී බයෙන් ඉන්න වෙනවා කියන එක නෙමෙයි. කෝවිඩ් වලින් බේරෙන්න වසරකට හෝ දෙකකට වරක් එන්නතක් ලබා ගන්න සිදු වෙන්න ඉඩ තිබෙනවා. එහෙම වුනොත් එන්නත් වලට කැමති නැති අයට මේ විකල්ප ගොඩක් වටිනවා. (මටත් ඔය කටු ඇනිල්ල අල්ලන්නේ නැහැ. මොනව කරන්නද ඉතිං?)

      Delete
  3. ඉතා දැනුම්වත් - එමෙන් හරවත්
    තොරතුරු ලබා දෙත් - මෙන්න පිං පෙත්!

    ReplyDelete
  4. එකොනො,

    දැන් රටවල්, ජාතීන් මට්ටමින් PfIZER -BioNtech , Moderna  සහ AstraZeneca   එන්නත් වැඩ කරගෙන යනකොට WHO එකේ ලොකු දොස්තර නෝනා වන Saumya Swaminathan කියනවා.."  මේ එන්නත ගත්තත් රෝගය පාලනය වෙයි කියලා අපට හරියටම කියන්න බැහැ.." කියලා.

    නමුත් මේ එන්නත් ගැනීමෙන් පසුව රෝගය වැළඳුනත් එය මාරාන්තික තත්ත්වයක් කරා නොයයි කියලා ඔවුන් විශ්වාසය පල කරනවා. එය එසේ වුවත් එය අනිත් අයට බෝ වෙන්න පුළුවන් නිසා එන්නත ගත්තත් සමාජ  දුරස්ථබව පවත්වා ගැනීම, මාස්ක් දැමීම සහ රටින් රට යනවා නම් නි⁣රෝධායනය වීමත් කල යුතුලු. මාර සීන්නෙකක් ඒක!
    When we start the deployment of this vaccine we will not have sufficient concrete data to prove that this vaccine reduces transmission,” එහෙම කියන්නේ Moderna  කොම්පැණියේ ලොකු මහත්තයා වන Tal Zaks. ⁣මට නම් මෙය ඇසෙන්නේ හතර බීරි කතාවක් ලෙස.

    CP-C

    ReplyDelete
    Replies
    1. @ CPC

      (උපුටා සංශෝධන සහිතව පළ කරමි.)

      ලංකාවේ JRJ බලයට එනකොට ආණ්ඩුවෙ ඉඩම් සංචිතය විතරක් අක්කර මිලියන ගාණක් තිබුණා. අත්කර 50 පනත 100 දක්වා වැඩි කරලා ජේ ආර් ජේ ගේ එජාපයේ හිතවතුන්ට ඉඩම් කොල්ලකන්නට සැලසුවා, ප්‍රේමදාසගෙ අඹන්පොළ ඉඩමත් එහෙමයි. ලැවරියා විකුණලා අරං නෙමේ. ඒ විතරක් නෙමේ තමන්ගේ කණාටු පොල් ඉඩම් ටික රජයේ ඉතාම සරුසාර ඉඩම් වලට දූෂිත ලෙස වංචාවෙන් මාරු කරගත්තා. IRC අපරාධකරුවන්ට සමාදාන විනිසුරුවරුන්ගේ සිට ප්‍රාදේශීය සභා මහනගර සභා පළාත් සභා වල සිට ඇමති ධුරයන් දක්වා පිරිනමමින්
      රටේ නොතිබුණු පාතාලේ, කුඩු යනාදී සියලුම අකටයුතුකම් අලුතෙන් ස්ථාපිත කිරීම රාජ්‍ය අනුග්‍රහයෙන් කළ අතර කලින් නොතිබූ පරිදි දේශපාලනය, අධිකරණය පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ වැනි රටේ ක්ෂේත්‍ර සියල්ලක්ම පාහේ අපරාධකරුවන් රැසකගේ සහ හොර වංචාකාරීන්ගේ තිප්පොළවල් ලෙස බෝකරා.

      ඒ හරහා රටේ වැඩිම දෙනෙකුට යැපෙන්න තියන ප්‍රධානම රැකියා⁣ව දේශපාලනය කරා. ඒ සඳහා පළාත් සභා වැනි අලුත්ම ක්‍රම සහ මනාප වැනි බලුපොර ගෙනල්ලා රටම අනාථ කරා.

      කවරදාකවත් ලෝකෙ එක එකාට වහල්කම් නොකරපු ජාතියක ප්‍රධානම ආදායම් මාර්ගය වහල් සේවය මෙන්ම සාඩම්බර ලාංකික ගැහැනිය අරාබියට විකුණලා දැමීමට ක්‍රමය සකස් කළා.

      ඡන්ද දූෂණ වංචා අලුත්ම ක්‍රම හඳුන්වා දුන්නා. කොටින්ම කියනවනම් තමන්ගේ opposition contestant (විපක්ෂයේ ප්ධාන තරඟකරු) කොබ්බෑකඩුව ඡන්දෙ දාන්න යනකොට ඒකත් හොරෙන් දාලා. වෙන රටක නම් ඡන්දෙ අහෝසි කරනවා. සිරිමාවොට ඉල්ලන බැරිවෙන්න ප්‍රජා අයිතිය අහෝසි කරනවා. ඔන්න දිනන හැටි.
      පුතා රවී STF හදලා කොටි අඩවිය ආක්‍රමණය කරගෙන එනකොට දිඹුලාගල හාමුදුරුවෝ එක්ක ජන අනුපාතෙට අලුත් ගම්මාන හදාගෙන එනකොට කඩුවෙලින් මැරයො දාලා අහිංසක මිනිස්සුන්ට ගහනවා එදා අතපය අහිමි වූ අන්ත දුප්පත් මිනිස්සු අදත් ඉන්නවා. තමන්ගේම පුතාට තාත්තව තිත්ත වෙනවා. (මාලිංග ගුණරත්නගේ පොත බලන්න) අසූ තුනේ
      ජූලි කලබල නිදහසේ කරගෙන යන්න දින 3ක් දෙන්නෙත් මෙයාම තමා.
      කොහොමද ධර්මිෂ්ටර්ගෙ වැඩ... තව ලියන්න පුළුවන් පොතක් මෙයා ගැන.
      අරකිව්වා වගේ දේශපාලන වහල් බවින් අන්ධ වූවන්ට නොව නිදහස් අදහස් දරන්නට දැන ගැනීමටයි මේ ටික.

      JRJ බලයට එනකොට ලංකාවට නිදහස ලැබිලා යාන්තමින් අවුරුදු 28යි. ඒ වෙනකොට අපි ඔරුවල වානේ සංස්ථාවේ මහා පාලම් කාප්ප දක්වා බොහෝ වානේ භාණ්ඩ දේශීයව නිපැදුවා.

      Delete
    2. ඉන්දියාවට වෙනම වර්ගයේ උදැල්ලක් යූකේ Chillington කිඹුලා ලකුණෙන් තලය මහත ලංකාවේ හැදුවා. ඒවා එක දිගටම ඉන්දියානු ගොවියට ලංකාවෙන් යැවුණා. එජාප හිතවාදී උපාලි විජේවර්ධනගේ සමාගමක
      Unic රේඩියෝව ලංකාවේ හදලා ආසියාවේ රටවල් වලට අපනයනය කරා. ග්‍රාමීයව weaving mills දාලා අපේ රෙදි පිළි අවශ්‍යතාව ගම් මට්ටමින්ම සපුරා ගත්තා. එතකොට මදුරු දැල් තිබුණා. ඩියුරෝ කියලා සවි ශක්තිය අතින් ඉහළයි. දාස සමූහ ආයතනය තමා නිෂ්පාදනය කළේ. දාසලා රාණි, සඳුන් සබන් දේශීය අමු ද්‍රව්‍ය වලින්ම නිපදවලා පිට රටටත් අපයනය කළා. අදත් චෙන්නායි වල බර්මා බසාර් ගිහිල්ලා අහලා බැලුවොත් රාණි සබන් නමට ලොකු ඉල්ලුමක් තිබුණ බව පේනවා.

      JRJ, දාස මුදලාලි ඇතුළු ඒ කාලයේදී ඔළුව උස්සගෙන ආපු දේශීය අංකුර ව්‍යාපාර ශ්‍රී ලංකා කාරයෝ කියලා සැලසුම් සහගත ලෙස වැටෙන්නම ගහලා කුජීත කරලා දැම්මා. අපේ ගෙවල් වල විතරක් නෙමේ කඩවල් හෝටල්වල භාවිතා උනේ පැරකුම්බා condensed milk. ලංකාවෙම තණ බිම් වලින් අපේ කිරි අවශ්‍යතාව සපුරා ගත්තා. මුස්ලිම් ගොවි මහත්වරු පොළොන්නරුවේ විශාල වශයෙන් කිරි නිපැදවූවා. දැං ඒ ඔක්කොම වගේ පිටරටින් තොරම්බල් බඩු ගේන්න පුරුදු වෙලා.

      ඒ කාලේ ⁣Proton car ලංකාවේ ගහන්න ඉඩක් ඉල්ලනකොට අපි දුන්නෑ. මොකද අපි Upali Fiat එක හදන නිසා. තව නොබෝදිනකින් saloon car එකක් අපි ලෝකෙට හඳුන්වා දෙන්නම් කියලා බලාපොරොත්තු තිබුණු නිසා. JRJ ඇවිල්ලා සියල්ල විනාශ කරලම දැම්මා. උපාලි විජේවර්ධනව මරලා දැම්මා රහසිගත විදිහට. (ප්‍රේමදාස ඒක කළ බව කුප්‍රකටයි.) වරායෙන් අපනයනය වූ බඩු අතර පලයාකාට් සරොම් තොග ගණන් (containers ප්‍රසිද්ධ නැති යුගයක) ඩියුරෝ රෙදි පිලි තොග ගණන් යැවුවා, ලංකා සිල්ක්, බතික් අපේම අමුද්‍රව්‍ය වලින්. St. Bridget එකේ Sistersලා පට පණුවන්ගෙන් සිල්ක් නූල් අරන් රෙදි නිපදුවා. පස්සේ මේ වැඩේ ධර්මිෂ්ට නෑ කියලා ඒක නවත්තලා චීනෙන් ගේන්න මුස්ලිම් මුදලාලිලාට බාර දුන්නා.

      ලේලන්ඩ් වාහනේ ලංකාවට ඉන්දියාවෙන් එනකොට දාලා එව්වෙ කැලණි ටයරය ලොකුවට made in Sri Lanka කියලා ලියලා, පොඩි අපි සතුටට පත් වුණා මේවා දැකලා. අපි බරවාහන දේශීයව හදාගන්න කාලය අත ලඟ කියලා හීන දැක්කා.

      අපි චොකලට් �� කර්මාන්තය පටන් අරං පිටරටවල පවා කොකෝවා වැව්වා ලංකාපුත්‍රයන් යටතේ ඒ රටවල මිනිස්සු වැඩ කරා. අපිට එහෙව් යුගයක් තිබුණා. දැන් ගෑනු ඇඟ විකුණලා ගේන සල්ලි වලින් ජපන් වාහන අරගෙන පදින තිරිසන් ජාතියක් කරලා දැම්මේ ඔය JRJම තමා. JR ගෙන් පස්සෙ ආපු එකදු ජනාධිපති කෙනෙක්ටවත් මේ රටේ ගෑනු වහල් සේවයට යවන එක නවත්තන්න උවමනාවක් තිබුණෙ නෑ.

      යූරී ගගාරීන් ලංකාවට එනවා මේ නිෂ්පාදන ආර්ථිකයක පිමි පනින ජාතිය ඇසින් දැක ගන්න. 59 කියුබානු විප්ලවය ඉවර කළ චේ ගවේරාට පසු කාලෙක බාර දෙනවා විශාල වගකීමක් එරට ආර්ථිකය නගා සිටුවන්න. ඔහු තෝරා ගත් රටවල් කීපයකට එනවා. සංවර්ධනය සැලසුම් හදාරන්නට. එවකට ආසියාවේ තෙවෙනි නිෂ්පාදන ආර්ථිකය තිබුණු ලංකාවට ඔහු අමතක නොකරම බලන්න එනවා. දැං මොකාද ලංකාවෙන් ඉගෙනගන්න එන්නේ? මන්දපෝෂණය ගැන නම් පුළුවන් වෙයි අද ආවොත් ඉගෙන ගන්න.

      එතකොට සිංගප්පූරුව හදන්න පෙර ලී ක්වාන් කියනවා මම මලක්කාවේත් ලංකාවක් හදලයි පස්ස බලන්නේ කියලා. (ලී ක්වාන් ගේ Third world to first world පොත බලන්න)
      කුඩා දරුවන් වූ අපි නිතරම අධ්‍යාපන චාරිකා ගියා පාසැල් වලින්. ඒ අපේ දේශීය කර්මාන්ත ශාලා නැරඹීමටයි. අද ලුණු ටිකත් ඉන්දියාවෙන්.
      එදා අද මෙන් රෑපවාහීනී, mobile phones,☎ laptops, flat screens යනාදී gadgets ලෝකෙම තිබුණෙ නෑ.
      එකල ජර්මනිය, ජපානය වැනි රටවල් වලත් ඔය ගැජට් නෑ.
      මේ කිවූ කිසිම දෙයක් නාඳුනන මා කීවාට පිළිනොගන්න. කරුණු ⁣තව දුරටත් සොයාබලා විශ්වාස කරන්න.
      එකල අපිට තිබුණු ලොකුම ප්‍රශ්නයක් තමා ඉන්දියාවෙන් සහ මාලදිවයිනෙන් බෝට්ටුවල ⛵ නැගලා නීති විරෝධී සංක්‍රමණිකයන්ගේ පැමිණීම. අද 1977ට පස්සේ, අපි ⛵වල පාවෙලා ජීවිත පවා නැති කරගෙන වෙන රටවල් වලට පනින ලැජ්ජා නැති ජාතියක් වෙලා. කවදද වැරදිලා තියෙන්නේ? ඒ දිනය අපිටනම් පැහැදිලියි.

      තව මෙවන් දේ පොත් ගණනක් ලියතැහැකි. අද අපේ මිනිස්සු දැනුවත් වෙලා නැති තැන් අපි කතා කරන්න ඕනේ. නැත්තං ඒ ළමයි කොහෙන් දැනගන්නද? අද හෙට ඉතිහාසය ගැන උනන්දුව නැති කරපු දාට මේ දේවල් දන්න කෙනෙක් නැති වෙලා යයි. මැරෙන්න කලින් මේ ටික හරි ඉන්න එකාලට කියලා දීම වගකීමක් ලෙස දකින නිසා ලියා තබමි.
      අදහස් හොයන්න, අසන්න, කියවන්න, හිතන්න පුරුදුවෙමු. එතකොට ඔය එක එකා අපේ මිනිස්සුන්ව අන්දගෙන යන එක අඩුවේවි.

      මෙසේ ලියා තැබීම සද්කාර්යක් මෙන්ම මෙය උපුටාගෙ ප්‍රචලිත කිරීම ජනතාවට යම් ආලෝකයක් �� ලබා දීමක්.

      ## පරාක්‍රම සිරිමාන්න#

      Delete
    3. CP-C,

      ඔබ අහල තිබෙන ප්‍රශ්නය ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මෙය මතු කිරීම මේ කරුණට අදාළව ඉතා වැදගත් වනවා වගේම පොදු වශයෙන් විද්‍යාව අර්ථකථනය කිරීම පිළිබඳ ප්‍රශ්නයක් කියා කියන්න පුළුවන්. මෙවැනි වැරදි ඉතා සුලභයි.

      ඔබ දන්නා පරිදි කෝවිඩ් රෝගයේ එක් විශේෂත්වයක් වන්නේ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන අය රෝග වාහකයන් වී සිටීමයි. රෝග ලක්ෂණ තිබෙන අය බොහෝ විට ගෙදරට වී හෝ රෝහල්ගත වී සිටින නිසා රෝගය පැතිරීමට විශාල දායකත්වයක් දෙන්නේ මේ රෝග ලක්ෂණ නොපෙන්වන පිරිසයි. වෙනත් කවර ප්‍රශ්න තිබුණත්, ලංකාව විසින් අනුගමනය කළ හා දැනටත් කරන බුද්ධි අංශ යොදවා ආශ්‍රිතයින් සෙවීම, ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වල ගාල් කිරීම හා බුද්ධි අංශ විසින් හඳුනාගත් පිරිස් පමණක් වැඩි වශයෙන් පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කරවීම සාර්ථක වී තිබෙන්නේ මේ හේතුව නිසයි. මුව වැසුම් දැමීමෙන් රෝග ව්‍යාප්තිය පාලනය වන්නේත් ඒ නිසයි. ඇමරිකාව ඇතුළු බොහෝ රටවල මේ පිරිස නිදැල්ලේ හැසිරෙමින් අනෙක් අයට රෝගය පතුරවනවා. ඒ බව ඒ අයවත් දන්නේ නැහැ.

      ලංකාවේ ක්‍රමය 100%ක් සාර්ථක නැති බවත්, විභවාත්මක ලෙස කොයි වෙලාවේ හෝ අද පවතින තත්ත්වය ඇති විය හැකි බවත් මා දැන සිටියා. ඒ නිසා, මා ලංකාව පිළිබඳව අනවශ්‍ය තරමේ සුබවාදී අදහසක හිටියේ නැහැ. ඒ වගේම, දැන් ලංකාවේ පවතින තත්ත්වය මත මා ලංකාව පිළිබඳව අනවශ්‍ය තරමේ අසුබවාදී අදහසකද නැහැ. කෝවිඩ් රෝගීන් දිනපතාම සිය ගණනක් හමු වුනත්, ලංකාවේ ක්‍රමය තවමත් වැඩ කරනවා. මරණ අනුපාතය පහළ මට්ටමක තිබෙන්නේ ඒ නිසයි. එහෙම නැතුව ලංකාවේ සෞඛ්‍ය සේවය ඉතාම හොඳ නිසා නෙමෙයි.

      මගේ පෙර ලිපියේ ලියූ පරිදි "මොඩර්නා සායනික පරීක්ෂණ සඳහා යොදාගත් අයගෙන් 15,185 දෙනෙකුට ඇත්ත එන්නත ලබා දුන්නා. ඉතිරි 15,165 දෙනෙකුට ලබා දුන්නේ බොරු එන්නතක්. ඇත්ත එන්නත ලබාගත් 11 දෙනෙකුට කෝවිඩ්-19 ආසාදනය වෙද්දී බොරු එන්නත ලබාගත් 185 දෙනෙකුට කෝවිඩ්-19 ආසාදනය වී තිබෙනවා." දැන් මේ අනුව සමස්තයක් ලෙස 196 දෙනෙකුට කෝවිඩ් හැදී තිබෙනවා. නමුත්, මේ සායනික පරීක්ෂණයේදී සහ අනෙකුත් එවැනි සායනික පරීක්ෂණ වලදී මේ ආකාරයෙන් කෝවිඩ් හැදුනු අය ලෙස පුද්ගලයින් හඳුනා ගත්තේ කෝවිඩ් රෝග ලක්ෂණ පෙන්වූ අය අතරිනුයි. එහෙම නැතුව ඔය 30,350 දිනපතා හෝ සතිපතා පීසීආර් පරීක්ෂණ වලට ලක් කළේ නැහැ. යම් හෙයකින් එසේ කළානම් රෝග ලක්ෂණ නොපෙන්වන කෝවිඩ් රෝගීන් තවත් සැලකිය යුතු ප්‍රමාණයක් හඳුනා ගත හැකිව තිබුණා.

      මේ කරුණ පැහැදිලි කර ගැනීම සඳහා අපි හිතමු සමාන්තර විශ්වයක මේ පිරිස දිනපතාම පීසීආර් පරීක්ෂණ වලට ලක් කළා කියලා. එහිදී තවත් අමතර රෝගීන් 204ක් හඳුනා ගන්නවා. ඒ කියන්නේ එකතුව 196+204= 400ක්. දැන් මේ 204ම හමු වුණේ බොරු එන්නත ලබා ගත් කණ්ඩායමෙන්නම් එම කණ්ඩායම 185+204 = 389ක් වෙනවා. ඒ අනුව, එන්නතේ ඵලදායීතාවය (389-11)/389 = 97.2% දක්වා ඉහළ යනවා. අනෙක් අතට මේ 204න් 189ක්ම හමු වුනේ ඇත්ත එන්නත ලබාගත් කණ්ඩායමෙන් කියා කියමු. ඒ අනුව, ඒ කණ්ඩායමේ ආසාදිතයින් ගණන දැන් 11+189=200ක්. බොරු එන්නත ලබාගත් කණ්ඩායමේ ආසාදිතයින් ගණනත් 185+15 = 200ක්. ඒ කියන්නේ එන්නතේ ඵලදායීතාවය 0%යි. එය ඇල්වතුර එන්නතකින් වෙනස් නැහැ.

      අපි හිටියේ ඔය කියපු සමාන්තර විශ්වයේ නෙමෙයි. අපේ විශ්වයේ මොඩර්නා සමාගම විසින් හෝ වෙනත් සමාගමක් විසින් තවමත් ඔය ආකාරයේ සායනික පරීක්ෂණයක් සිදු කර නැහැ. ඒ නිසා අපට කියන්න පුළුවන් වෙන්නේ මොඩර්නා එන්නත රෝග ලක්ෂණ ඇති වන මට්ටමෙන් කෝවිඩ් ආසාදනය වීම වැළැක්වීම 95%ක පමණ ඵලදායීතාවයකින් කරනවා කියන එක පමණයි. එන්නත නිසා වෙන්නේ රෝගය ආසාදනය වීම මුළුමනින්ම නවතින එකද නැත්නම් රෝග ලක්ෂණ මතු නොවන තරමට රෝගය පාලනය වීමද කියන එක තවමත් නිසි සායනික පරීක්ෂාවකට ලක් වී නැහැ. වෛරසවේදයේ හා ප්‍රතිශක්තිකරණවේදයේ මූලධර්ම අනුව අපට රෝගය ආසාදනය වීම එන්නත නිසා නවතින හෝ අඩු වන බව විශ්වාස කරන්න පුළුවන්. එහෙත් එය පරීක්ෂණාත්මකව තවමත් තහවුරු නොකළ (පරීක්ෂාවට ලක් කෙරෙමින් පවතින) විශ්වාසයක් පමණයි. මා මෙහි කියූ කරුණු මත පදනම්ව, මොඩර්නා ලොක්කාගේ ප්‍රකාශයේ පහත කොටසද ඔබට තේරුම් ගත හැකි වේයැයි සිතනවා.

      “Do I believe that it reduces transmission? Absolutely yes, and I say this because of the science,” he added. “But absent proof, I think it’s important that we don’t change behaviors solely on the basis of vaccination.”

      Delete
  5. ඒ උනාට මෙහෙ නම් කියන්නේ වෙන විදියකට.

    ReplyDelete
  6. ඉකොනෝමැට්ටාගේ මීට කලින් පලවූ 'මැදවච්චි නොයන කිලිනොච්චි හරක්' ලිපියේ සදහන් උනා නේද එම හරක් මිය ගියේ අහාර නොමැති කමින් බව. ඒ උනාට පුවත්පත් වල පලව තිබුනේ මෙවැන්නක්.

    ...
    කිලිනොච්චියේ ගවයන්ට ​රෝගයක්; හදිසියේ මිය යන්නට පටන්ගෙන

    ••මාධව කුලසූරිය-වව්නියාව

    කිලිනොච්චිය, කෝනාවිල් ප්‍රදේශයේ ගවයන් හදිසියේ මියයාමට පටන්ගෙන ඇති බව කෝනාවිල් ප්‍රදේශවාසීහු පවසති. ප්‍රදේශවාසීන් පැවසුවේ ටී. සුවේන්ද්‍රන් නමැත්තාට අයත් ගව පටටියක ගවයන් අටදෙනකු එක්වරම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. තවත් ගවයන් පිරිසකට නැගිටීමට අපහසු රෝගයක් හටගෙන ඇති බවද කියයි.

    පශු වෛද්‍ය නිලධාරීන් මගින් ප්‍රතිකාර ලබාදුන්නද ගවයන් රෝගයට ගොදුරු වීම පාලනය නොවන බවද ප්‍රදේශයේ ජනතාව පවසති.

    http://epaper.aruna.lk/Home/ArticleView

    ReplyDelete
    Replies
    1. මා ඔය ඡායාරූප උපුටාගත් වත්පොත් පිටුවේ ලින්ක් එකක් දමා තිබෙනවා. ගවයන් මැරෙන්නේ කාලයක් ප්‍රමාණවත් ආහාර නොලැබීම නිසා ඇති වූ රෝගී තත්ත්වයක් නිසාද, එසේ නැත්නම් වෙනත් රෝගී තත්ත්වයක් නිසාද කියා මා දන්නේ නැහැ. ඒ දෙකෙන් කොයි එක වුවත් වෙනත් බොහෝ දෙනෙකුගේ ප්‍රතිචාර අනුව ප්‍රශ්නයක් තිබෙන බවනම් පැහැදිලියි. ඇතැම් අය ලියා තිබුණු පරිදි මේ ප්‍රශ්නය මඩකලපුවේත් තිබෙනවාලු. මම හිතන්නේ කිරි නිෂ්පාදන කාර්යයයේදී ඵලදායී නැති හරකුන්ට කෑම සපයමින් නඩත්තු කිරීමට අයිතිකරුවන්ට අවශ්‍ය නොවීම පිළිබඳ ප්‍රශ්නයක් කියලා. මම ලිපිය ලිවුවේ හරක් මරන්න ඉඩ දිය යුතුයි කියා යෝජනා කරන්න නෙමෙයි. එහෙත්, රාජ්‍ය ප්‍රතිපත්තියක් විදිහට හරක් මරන්නේ නැත්නම් එවැනි ප්‍රතිපත්තියක ප්‍රකාශිත ඉලක්කය සපුරා ගැනීමට තිබෙන බාධා පිළිබඳවද අවධානය යොමු විය යුතුයි. හරකාගේ බෙල්ල කපලා පස්සේ ඔලුව ගන්න මුට්ටියත් බිඳින එකේ තේරුමක් නැහැ.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: