වෙබ් ලිපිනය:

Wednesday, December 30, 2020

එක්සත් රාජධානිය එන්නත්කරණය වේගවත් කරයි!


අද දිනයේ (දෙසැම්බර් 30) එක්සත් රාජධානිය විසින් ඇස්ට්‍රසෙනිකා එන්නතටද හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා. මේ අනුව, ඇස්ට්‍රසෙනිකා එන්නත බටහිර රටක අනුමැතිය ලබන තෙවන එන්නත බවට පත් වෙනවා. 

ඇස්ට්‍රසෙනිකා සමාගමට අනුව, දැනට ඇස්තමේන්තු කර ඇති පරිදි, එන්නතේ අපේක්ෂිත ඵලදායීතාවය 70.4%ක්. මේ අගය පදනම් වන්නේ සායනික පරීක්ෂණ සඳහා සහභාගී වූ එක්සත් රාජධානියේ හා බ්‍රසීලයේ පුද්ගලයින් 11,636 දෙනෙකුගේ දත්ත මතයි. මෙම ප්‍රමාණය පයිසර්-බයෝඑන්ටෙක් හා මොඩර්නා සායනික පරීක්ෂණ සඳහා යොදාගත් පුද්ගලයින් ප්‍රමාණයට වඩා අඩු නිසා ඇස්තමේන්තුවේ නිරවද්‍යතාවයද සාපේක්ෂව අඩුයි. ඒ අනුව, මෙහි ඵලදායීතාවය 54.8-80.6% පරාසයේ විචලනය විය හැකියි. 

ඉහත මට්ටමේ ඵලදායීතාවයක් ලැබෙන්නේ දෙවන මාත්‍රාව ලබා දී දින 14කට පසුවයි. එහෙත්, මේ වෙද්දී බ්‍රිතාන්‍ය බලධාරීන් විසින් තීරණය කර තිබෙන්නේ හැකි තරම් විශාල පිරිසකට ඉතා ඉක්මණින් එන්නතේ එක් මාත්‍රාවක් ලබා දීමටයි. ඒ නිසා, එන්නතේ ඵලදායීතාවය මීට වඩා බෙහෙවින්ම අඩු විය හැකියි.

මොඩර්නා එන්නතේ අපේක්ෂිත ඵලදායීතාවය 94.1% වන අතර එය 89.3-96.8% පරාසයේ විචලනය විය හැකියි. පයිසර්-බයෝඑන්ටෙක් එන්නතේ අපේක්ෂිත ඵලදායීතාවය 95.0% වන අතර එය 90.3-97.6% පරාසයේ විචලනය විය හැකියි. 

පයිසර්-බයෝඑන්ටෙක් එන්නත මුලින්ම අනුමත කළේද එක්සත් රාජධානියයි. මේ වන විට එක්සත් රාජධානිය තීරණය කර තිබෙන්නේ එම එන්නතද පළමුව එක් මාත්‍රාවක් බැගින් හැකි තරම් වැඩි පිරිසකට ලබා දීමටයි. පයිසර්-බයෝඑන්ටෙක් සමාගම් වලට අනුව, පළමු මාත්‍රාව ලබා දී දෙවන මාත්‍රාව ලබා දෙන්නට පෙර කාලය තුළ එම එන්නතේ අපේක්ෂිත ඵලදායීතාවය 52.4%ක්. එම අගය 29.5-68.4% පරාසයේ විචලනය විය හැකියි.

එක්සත් රාජධානිය විසින් දැනටමත් ඇණවුම් කර තිබෙන පයිසර්-බයෝඑන්ටෙක් හා ඇස්ට්‍රසෙනිකා එන්නත් ප්‍රමාණය රටේ ජනගහණයට අවශ්‍ය එන්නත් ප්‍රමාණයට වඩා වැඩියි. ඒ නිසා, මුලින් එක් මාත්‍රාවක් බැගින් ලබා දුන්නත් දෙවන මාත්‍රාවද ඉතා ඉක්මණින් ලබා දෙන්න පුළුවන් වෙයි.

ඇස්ට්‍රසෙනිකා එන්නතේ අපේක්ෂිත ඵලදායීතාවය අඩු වුවත්, එම එන්නත සාමාන්‍ය ශීතකරණයක ගබඩා කර තබා ගත හැකිවීම එහි ඇති වැදගත් වාසියක්. එමෙන්ම, මේ එන්නත අඩුආදායම්ලාභී රටවලට දරා ගත හැකි, ඩොලර් 4කට නොවැඩි මිලකට අලෙවි කිරීමට නියමිතයි. 

ලෝකයේ සෑම රටකම 20%ක ජනගහණයකට හැකි ඉක්මණින් කෝවිඩ් එන්නතක් ලබා දීමේ අරමුණින් ලෝක බැංකුව විසින් ඇස්ට්‍රසෙනිකා එන්නත් මිලියන 300ක් වෙන් කර ගෙන ඇතත් එම ප්‍රමාණය සෑහෙන්නේ ලෝක ජනගහණයෙන් 2%කට පමණයි. රටවල් ගණනාවක්ම තමන්ගේ රටේ ජනතාව වෙනුවෙන් දැනටමත් එන්නත් වෙන් කර ගෙන හෝ වෙන් කර ගනිමින් සිටින නිසා, 20% කෙසේ වෙතත්, ඉතිරිවන රටවල 5%ක පමණවත් ප්‍රතිශතයකට මෙම එන්නත් ලබා ගන්න ඉඩ සැලසෙයි කියා හිතන්න පුළුවන්. 

චීනය විසින්ද අද දිනයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන්නේ ඔවුන්ගේ සිනෝපාර්ම් එන්නත සායනික පරීක්ෂණ වලදී 79.34%ක සාර්ථකත්වයක් පෙන්වා ඇති බවයි. එහෙත්, අමතර තොරතුරු කිසිවක් නැති නිසා මේ ඇස්තමේන්තුවේ නිරවද්‍යතාවය පිළිබඳව දැනට තිබෙන්නේ අවිනිශ්චිතතාවයක්. 

අනුමත වූ පළමු කෝවිඩ් එන්නත ලෙස හඳුන්වා ගන්නා රුසියාවේ ස්පුට්නික්-වී එන්නත එරට විසින් අනුමත කළේ තෙවන අදියරේ සායනික පරීක්ෂණ සිදු නොකරයි. දෙසතිකට පෙර ඉදිරිපත් කළ සායනික පරීක්ෂණ ප්‍රතිඵල අනුව එම එන්නතේ ඵලදායීතාවය 91.4%ක්.

රුසියානු එන්නතේ මාත්‍රා බිලියන 2.4ක් සඳහා ඉන්දියාව, බ්‍රසීලය, චීනය, දකුණු කොරියාව ඇතුළු රටවලින් ඇනවුම් ලැබී ඇති බව සඳහන්ව තිබෙන අතර එන්නතක් ඩොලර් 10කට නොවැඩි මිලකට ලබා දෙන බවද සඳහන්ව තිබෙනවා. 

ඵලදායීතාවය වැඩි කර ගැනීම සඳහා රුසියානු ස්පුට්නික්-වී එන්නතේ හා ඇස්ට්‍රසෙනිකා එන්නතේ මිශ්‍රණයක් ලබා දීමේ හැකියාවද මේ වන වට පරීක්ෂා කෙරෙමින් පවතිනවා.


4 comments:

  1. ඉකොනෝ, ඔබ පෙර වියමනෙහි දෙසැම්බර් 30 /9.42 am  දා තිබුණ පිළිතුර හදාරමින් යන විට මට මෙහෙම ගැටළු කිහිපයක් මතු වුනා.

    1. SARS COV 2 සඳහා R0  අගය 2.2 නම් , ආසාදිත පුද්ගලයකු හා නිරෝගී පුද්ගලයකු අතර දුර r නම්, නිරෝගී පුද්ගලයාට රෝගය වැළදීමේ සම්භාවිතාවය, S , ගණනය කිරීමට හෝ estimate කිරීමෙි හැකියාවක් තිබෙිද?

    2. එන්නත ලබා ගැනීමෙන් අනතුරුව වුව, නව සාමාන්‍ය තත්ත්වය යටතේ , රෝගය වැළඳීමේ සම්භාවිතය කුමක්ද?

    3. R0 නිර්ණය කරන සංරචක තුනෙන් වඩාත් critical වනුයේ කවර සාධකයද?

    CP-C

    ReplyDelete
    Replies
    1. මුලින්ම ප්‍රශ්න තුනටම අදාළව කෙටි පිළිතුරක් දෙන්නම්.

      මම මේ බ්ලොග් එකේ මේ හා අදාළව ලියපු බොහෝ දේවල් පදනම් වුනේ ඉතාම සරල ආකෘති මතයි. එවැනි ආකෘති යොදා ගන්නේ මේ විෂය මුලින්ම ඉගෙන ගන්නා කෙනෙකුට වඩා සංකීර්ණ ආකෘති තේරුම් ගැනීමට ආරම්භයක් වශයෙන් පමණයි. මේ එක ප්‍රශ්නයකටවත් සරල පිළිතුරු දෙන්න අමාරුයි. එවැනි පිළිතුරක් දුන්නා කියලා ප්‍රායෝගිකව කිසිම වැඩක් නැහැ. ඒක අර ලංකාවේ ප්‍රධාන ජනවර්ගය මුස්ලිම් වන දවස ගණන් හදලා පෙන්නනවා වගේ වැඩක්. පහසුවට R0 අගය ලෙස 2.2 වැනි තනි සංඛ්‍යාවක් ඉදිරිපත් කළත් එය සංඛ්‍යා ව්‍යාප්තියක අපේක්ෂිත අගය. ඒ වගේම, එය රටින් රටට හා රටක ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා. ඒ ගණන ඇස්තමේන්තු කරන්න යොදා ගන්නා විචල්‍යයන් වලද සංඛ්‍යාන ව්‍යාප්තියකුයි තියෙන්නේ.

      1. SARS COV 2 සඳහා R0 අගය 2.2 නම් , ආසාදිත පුද්ගලයකු හා නිරෝගී පුද්ගලයකු අතර දුර r නම්, නිරෝගී පුද්ගලයාට රෝගය වැළදීමේ සම්භාවිතාවය, S , ගණනය කිරීමට හෝ estimate කිරීමෙි හැකියාවක් තිබෙිද?

      ඔබ මෙහිදී R0 අගය නිශ්චිත අගයක් ලෙස සිතා තිබෙනවා. මෙය ගුරුත්ව සමීකරණයේ නියතය වැනි නියතයක් නෙමෙයි. ඔබ කියන r හා S මත R0 තීරණය වනවා මිස R0 හා r මත S තීරණය වන්නේ නැහැ. හරියටම නොවුනත් ආසන්න වශයෙන් හෝ මෙහි නියතය සේ සැලකිය හැක්කේ S. කෝවිඩ් අලුත් ප්‍රභේදය එනවා කියන්නේ S වැඩි වන එක. එවිට R0ද වැඩි වෙනවා. එසේ වුවත් (ගණිතය අනුව) යම් හෙයකින් R0 දන්නවානම් r අනුව S වෙනස් වන ආකාරය හොයා ගන්න බැරි ඇයි කියා ඔබට අහන්න පුළුවන්. එවැන්නක් කිරීමේ තේරුමක් නැත්තේ S කෙළින්ම හොයා ගන්න එක (එයද පහසු නැති වුනත්) ඊට වඩා පහසු නිසයි.

      2. එන්නත ලබා ගැනීමෙන් අනතුරුව වුව, නව සාමාන්‍ය තත්ත්වය යටතේ , රෝගය වැළඳීමේ සම්භාවිතය කුමක්ද?

      පළමුව එය දැන් රෝගය වැළඳීමේ සම්භාවිතාව මත තීරණය වෙනවා. එන්නත ලබාගත් වහාම (පයිසර් හෝ මොඩර්නා එන්නතක්නම්) එම සම්භාවිතාව කලින් අගයෙන් 5% පමණ දක්වා අඩු වෙනවා. නමුත් කලින් ගෙදරට වී හිටපු කෙනෙක් දැන් එළියට යන්න පටන් ගත්තා කියමු. ගෙදරට වී සිටීම නිසා අවදානම 1% මට්ටමට අඩු වුනානම් දැන් එන්නත අරගෙන එළියට ගියාම අවදානම පස් ගුණයකින් වැඩි වෙනවා. එහෙත්, එන්නත ලබා ගන්නා ප්‍රතිශතය ක්‍රමයෙන් ඉහළ යද්දී මේ සම්භාවිතාව ටිකින් ටික අඩු වී යනවා.


      3. R0 නිර්ණය කරන සංරචක තුනෙන් වඩාත් critical වනුයේ කවර සාධකයද?

      critical වනුයේ කවර සාධකය වුවත් අපට පහසුවෙන් වෙනස් කළ හැක්කේ එකිනෙකා අතර දුර සාධකය හා හමුවන පුද්ගලයින් ගණන කියන සාධක දෙකයි. වෛරසයේ ලක්ෂණ අපට වෙනස් කරන්න පුළුවන්කමක් නැහැ. සාමාන්‍යයෙන් භාවිතා කරන rule of thumb එක වන්නේ ආසාදිතයෙකුගෙන් අඩි හයක් ඇතුළත මිනිත්තු 15ක් සිටියොත් රෝගය ආසාදනය විය හැකි බවයි. පැය 24ක් ඇතුළත ආසාදිතයින් තිදෙනෙකු සමඟ මිනිත්තු 5ක් බැගින් හිටියත් මේ අවදානමම තිබෙනවා.

      Delete
  2. මාගයාගේ සලකුන අතේහෝ නලලලේ සටහන්කරගත්තොත් උඹට ස්වර්ගය අහිමිවේ!!!!!

    ReplyDelete
  3. ඉකොනෝ..
    Differential equations ටික බඩගාලා දා ගත්තත්, Discrete mathematics  නම් (මට) එදා සිටම මඤ්ඤඃ!
    ඒක නිසා වේලාව ඇතොත් ගණිත අකෘති ටික තව ටිකක් පැහැදිලි කරන්න. රෝගය සම්ප්‍රේෂණය වීමේ සම්භාවිතය සෙවීමට තවත් variables අවශ්‍ය බව තේරුණත් ඒවා හරියටම set වෙන මූලික සමීකරණයක් හෝ මට හොයා ගන්න බැහැ.

    නමුත් මේ යුගයේ යථාර්ථය තේරුම් ගන්න සහ මිත්‍යාවන් සමඟ නොපැරදී සටන් කරන්න නම් මේ දැනුම අවශ්‍යම බව නම් හොඳට වැටහෙනවා.

    CP-C
    P/S
    අළුත් අවුරුද්ද ජය වේවා!


    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: