Saturday, November 21, 2020

කළු කපුටා සුදු වන තුරු...


මේ දවස් ටික ඉතාම කාර්ය බහුලයි. ලියන්නනම් ගොඩක් දේවල් තිබෙනවා. නමුත්, අනෙකුත් ප්‍රමුඛතා අවසන් කරලා බ්ලොග් එක පැත්තේ එන්න තවත් දවස් ගණනාවක් යන්න පුළුවන්. එතෙක් පරණ ලිපි කිහිපයක් ගැන නැවත මතක් කරන්නම්. 

මේ වෙද්දී මේ බ්ලොග් එකේ ගොඩක් දේවල් ගැන මොනවා හරි ලියල තියෙනවනේ. පළමුවෙන්ම කපුටා ගැන ලියපු ලිපි කිහිපයකින් එකක් ගැන නැවත මතක් කිරීමක්. අර කපුටා කියලා පියාසර කරන කළු සතෙක් ඉන්නේ. අන්න ඒ සතා ගැන. 

කපුටා කිවුවහම පොඩි කතාවක් මතක් වුනා. මේ කතාවත් කතාවක් ගැන කතාවක්. මගේ පුතෙක් පොඩි කාලේ දවසක් අපේ නැන්දම්මා එයාට කතාවක් කියා දෙනවා. ඒ කතාව ගැන අපි කතා නොකර ඉඳිමු. ඒ ගැනත් කතා කරන්න ගියොත් මේ කතාව කථා සරිත් සාගරයේ කතාව වගේ කදලු (nested) ආකෘතියේ කතාවක් වෙනවනේ. 

ඔය නැන්දම්මා පුතාට කියා දෙන කතාවේත් කපුටෙක් ඉන්නවා. ඒ කපුටාට කෑමක් හම්බ වෙලා කෑම බෙදා ගන්න තවත් කපුටන්ට කතා කරනවා. කපුටෝ ඉතිං එහෙමනේ. සම්පත් සාමූහිකව බෙදා ගන්නවා. හැබැයි සමසමව හරි නිර්ධන පංතියේ කපුටන්ගේ ආඥාදායකත්වයකට අවශ්‍ය පිළිවෙලට හරි නෙමෙයි. ඕනෑනම් මොනවා හරි කෑමක් එළියට දමලා පොඩ්ඩක් කාක් කියලා බලන්න.

පොඩ්ඩක් පාරෙන් එළියට ගියා. හරි. ආපහු පාරට දාගත්තා. ඉතිං දැන් අර කපුටා කාක් කාක් කියලා වටේපිටේ ඉන්න අනෙක් කපුටන්ට කතා කළාට පස්සේ සිදු වුන දේ අපේ නැන්දම්මා පුතාට විස්තර කළේ මේ විදිහටයි. 

"ඔන්න එතකොට වටේම ඉන්න කපුටෝ ටික හනිකට දුවගෙන දුවගෙන ආවා."

ඔහොම කියපු ගමන්ම අපේ පුතා මෙහෙම ප්‍රශ්නයක් අහනවා.

"ඉතිං ආච්චි කපුටෝ ටික පියාඹාගෙන එන්නේ නැතිව දුවගෙන ආවේ ඇයි?"

සාධාරණ ප්‍රශ්නයක්නේ. දැන් ඉතිං දීපංකෝ උත්තර.

කපුටෝ සාමාන්‍යයෙන් එන්නේ පියාඹාගෙන මිසක් දුවගෙන නොවන බව පුතා විසින් ඒ වෙද්දී බොහෝ වර නිරීක්ෂණය කරලා තිබෙනවා. ඒ නිරීක්ෂණය ඔහු සාධාරණීකරණය කරගෙන. ඔහු එවැනි සාධාරණීකරණය කිරීමක් කරලා තිබෙන්නේ තර්ක ශාස්ත්‍රය ඉගෙන ගෙන තිබුණු නිසා නෙමෙයි. ඒ වෙද්දී වයස අවුරුදු තුනයි. 

දැකලා තිබෙන බොහෝ අවස්ථා වලදී කපුටෙක් ඔය වගේ වෙලාවක පියාඹාගෙන මිසක් දුවගෙන එන්නේ නැති නිසා පුතා එය සාමාන්‍ය තත්ත්වය ලෙස පිළිගන්නවා. එහෙම නොවෙන්නනම් විශේෂ හේතුවක් තිබිය යුතුයි. එවැනි විශේෂ හේතුවක් තියෙනවාද කියලයි පුතා නැන්දම්මාගෙන් ඇහුවේ. ලංකාවේ ජීවත් වූ සම වයසේ දරුවෙක් තරමටම සිංහල භාෂාව හුරු වී තිබුණානම් භාෂාවේ මේ යෙදීම ඔහුට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත්, ඔහු ඒ තරම්ම සිංහල භාෂාවට නිරාවරණය වෙලා නැති නිසා දුවගෙන ආවේ කියන එක තේරුම් ගත්තේ එහි වචනාර්ථය අනුව යමිනුයි.

කපුටා කියන්නේ පියාසර කරන සතෙක් වනවාක් මෙන්ම කළු සතෙක්. කපුටා කලුයි කියන එක බොහෝ දෙනෙක් සාධාරණ ප්‍රකාශයක් ලෙස පිළිගන්නවා. කළු නැති සුදු කපුටෙක් දකින්න මෝල් ගහේ දළු එන තුරු බලා ඉන්න ඕනෑ. දුවගෙන එන කපුටන්ව දැකපු අය සාපේක්ෂව ටිකක් වැඩිපුර හිටියත්, සුදු කපුටන් දැකපු අයනම් ගොඩක් දුර්ලභයි. 

කවදාවත් සුදු කපුටෙක්ව දැකලා නැති කෙනෙක්ට සුදු කපුටෙක්ව පරිකල්පනය කර ගැනීම අසීරු දෙයක් නෙමෙයි. සුදු කපුටන් ගැන කතා බොහෝ සංස්කෘතීන් වල තිබෙනවා. එක ස්වදේශික ඇමරිකානු ජන කතාවකට අනුව ඉස්සර සියලුම කපුටෝ සුදුයිලු. කපුටා කළු වෙලා තියෙන්නේ දිව්‍ය ලෝකයෙන් මිනිස්සුන්ට ගින්දර අරන් එද්දී වැදුණු දුම නිසා. දුම් හට්ටි අල්ලපු නිසානම් නෙමෙයි. කවදාහරි මිනිස්සුන්ගේ කල්කිරියාව හොඳ වුනු දවසක නැවතත් කපුටෝ සුදු වෙනවා කියලා ඒ ස්වදේශික ඇමරිකානුවෝ විශ්වාස කරනවා. ඒක වෙන්නේ කොමියුනිස්ට් සමාජයක් හැදුනු දවසකද දන්නේ නැහැ.


(Photos by Mike Yip)

ඉතාම දුර්ලභ වුනත් සුදු කපුටෝ ඉන්නවා. ඇතැම් අය සුදු කපුටන්ව ඡායාරූපගත කරලා තිබෙනවා. උඩ ඉන්න සුදු කපුටාව හමු වෙලා තියෙන්නේ කැනඩාවේ වැන්කුවර් දිවයිනෙන්. සමහර විට කල්කිරියාව අතින් හොඳ මිනිස්සු බිහි විය හැක්කේ ඔය වගේ ධනවාදී රටකින් නිසා වෙන්න ඇති.

කල්කිරියාව අතින් හොඳ මිනිස්සු බිහි විය හැක්කේ ධනවාදී රටකින් කියන එක මගේ විශ්වාසයක්. එය මගේ නිරීක්ෂණ මත පදනම් වූ විශ්වාසයක්. කපුටා කෑමක් කන්න කතා කළාම පියාඹා ගෙන මිසක් දුවගෙන නොඑන බව වගේම විශ්වාසයක්. ඒ එන්නේ කළු කපුටෝ මිසක් සුදු කපුටෝ නොවන බව සිතීම වගේම විශ්වාසයක්. කපුටා පියාඹන කළු සතෙක් කියා සිතීම වැනිම විශ්වාසයක්. මේ විශ්වාස නිවැරදි වන්නේ කිසියම් සන්දර්භයක. එසේ සිතීමත් මගේ විශ්වාසයක්.

සුදු කපුටෝ පැත්තකින් තියමුකෝ. ලංකාවේ නෙමෙයි කැනඩාවේ පැත්තකින්. කළු කපුටෝ ඇත්තටම කළුද? එහෙමනම් කපුටා කළු වෙන්නේ කොහොමද? කපුටාට "කළු" කියා හැඳින්විය හැකි ගුණයක් තිබෙන නිසාද නැත්නම් කපුටා කළු සේ මා දකින නිසාද?

පරණ ලිපි කිහිපයකට සබැඳි පහත තිබෙනවා.

කළු, කැත කපුටා හා ලස්සන මොණරා

කපුටාගේ කැත කපුටාගේ ප්‍රශ්නයක් නොවේ!

කපුටා කළු නැත්නම් තැඹිලි තැඹිලි පාටද?

තැඹිලි තැඹිලි පාටද? (පළමු කොටස)

තැඹිලි තැඹිලි පාටද? (දෙවන කොටස)

ප්‍රතිචාර කියවා පිළිතුරු ලියන්න වෙලාව හොයා ගන්න අමාරුයි. හදිසි වැඩ ටික ඉවර කර ගන්න දවස් කිහිපයක් යයි. කළු කපුටා සුදු වන තුරු මෝල් ගහේ දළු එන තුරු තරම් කාලයක්නම් යන එකක් නැහැ.



7 comments:

  1. ඉකෝන් මේ පහළ වාර්තාවේ කියන දේ ඇත්ත නෙමේ කියලා තමයි මට නම් තේරෙන්නේ. මොකද වාහන සේල් කාරයෝ ඒවායේ සේවකයන් සහ අලුත් වාහන වලට සෙටප්, ගැජට් සවිකරන අය සියළු දෙනා එකතු කලත් ලක්ෂයක් නම් කවදාවත් වෙන්න බැහැ.

    අනෙක් අතට ඔවුන් කරන මහ ලොකු value addition එකක් නෑ නේද?


    https://economynext.com/sri-lanka-vehicle-import-ban-threatens-100000-jobs-tax-revenues-industry-group-76200/

    මම හිතන්නෙ මේක බොරු කතාවක් කියලා

    ReplyDelete
  2. හොඳ පෝස්ට් එකක් ඉකෝන්, ලංකාවේ ආර්ථික තත්ත්වය ගැන විග්‍රහයක් ඉදිරිපත් කරද්දී මම හිතන්නෙ ලංකාවේ මිනිසුන්ට තිබෙන්නේ සංවර්ධනය පිළිබඳ ප්‍ර‍ශ්නයකටත් වඩා විනය පිළිබඳ ප්‍ර‍ශ්නයක්.

    උදාහරණයක් විදියට ලංකාවේ මිනිසුන් පාරේ පයින් ගමන් කළ යුතු පැත්ත හෝ දන්නෙ නැහැ. තුන්මුල්ල හංදියේ කහ ඉර ගාව සිටි පොලිස් නිලධාරියා ඊයේ උදේ මා එතන සිටගෙන සිටි විනාඩියක විතර කාලය තුළ මාස්ක් එක පහත් කර හතර වතාවක් පේමන්ට් එකට කෙළ ගැහුවා. ගෙදර යනකොට ඒසී බස් වල මාස්ක් වැරදි විදිහට දාලා වායුගෝලයට කිඹුහුම් මුදා හරිනවා. වාහන පදවන්නේ රියදුරන්ට වඩා චණ්ඩි. බොහෝ රජයේ කාර්යාලවල විතරක් නෙමෙයි, ඇතැම් පෞද්ගලික සමාගමකින් පවා අදාළ නිලධාරියකුගෙන් තොරතුරක් ඇහුවත් ඒගොල්ලන් උත්තර දෙන්නෙ තරහින්. කෑම විකුණන කඩවල වැඩ කරන අය පස්ස කහ කහා කෑම අතගානවා.

    හැබැයි මේ මිනිසුන්ම වුණත් හොඳින් විනයක් සහිත රටකට ගිහින් දැම්මොත් හොඳට හැසිරෙන්නට දන්නවා. අපේ මිනිසුන්ට එහෙම වෙලා තියෙන්නෙ ඇයි?

    මේ මිනිසුන්ගෙන්ම ඇහුවොත් කියයි රටේ නීතිය ක්‍රියාත්මක නො වෙන එක තමයි හේතු කියලා. හැබැයි, නීති කඩනවා ද බලන්න හැම මිනිහෙකු ම පිටුපසින් පොලිස් නිලධාරියකු දමන්නට රජයකට පුළුවන්කමක් නැහැ. ඇයි අපේ මිනිසුන්ට බැරි තම තමන් නීති ගරුක වන්නට?

    ස' ෆේල් කියලා සියල්ලට වගකිව යුතු ආණ්ඩුවය කියන අදහසත්, හැම දෙයකට ම ආණ්ඩුවට බැනීමත් හරිම සුලබව දැකිය හැකි තත්වයක්. හැබැයි, මේ බොහෝ දෙනෙකු ආණ්ඩුවයි, රජයයි අතර වෙනසවත් දන්නෙ නැහැ. ආණ්ඩුව පුද්ගලයන් වශයෙන් ගත්තොත් දාහක් දෙදාහක්ට අඩු පිරිසක්. රජය එහෙම නෙමෙයි. විශ්‍රාමිකයිනුත් එක්ක ලක්ෂ 20ක් පනිනවා.

    අපි ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි පිළිබඳ ප්‍ර‍ශ්නය ගනිමු. මේ තෙල් ටැංකි අවුරුදු පනහකට වඩා කාලයක් මළකඩ කමින් තිබුණා. ආණ්ඩුවේ විතරක් නෙමෙයි, තෙල් සංස්ථාවේ, වරාය අධිකාරියේ මහජන මුදලින් වැටුප් ගත් රජයේ නිලධාරීන්, සේවකයන්, වෘත්තීය සමිති මොනවද කළේ?

    සියල්ල රජයෙන් නොමිළේ දිය යුතුයි කියන අදහස ලංකාවේ ස්ථාපිත වුණේ මාක්ස්වාදී බලවේගවල බලපෑමෙන්, විවිධ ආණ්ඩු යටතේයි. උදාහරණයක් ලෙස, උසස් අධ්‍යාපනයත් නොමිළේ දීලා, එයින් බිහි වන කුසලතා රහිත උපාධිධාරීන්ට රැකියාත් රජයෙන් ම දිය යුතුයි කියා තමයි ලංකාවේ මිනිසුන් හිතන්නේ.

    තව මෙවැනි පිරිසක් තමයි බහුතර වගාකරුවන්. ඔවුන් ආහාර නිෂ්පාදනයේ යෙදෙන නිසා උපාධිධාරී රජයේ සේවකයන්ට වඩා වැදගත් පිරිසක් බවට කිසිදු තර්කයක් නැහැ. හැබැයි, වතුර, පොහොර, බිත්තර වී ආදිය නිකම් දීලා, අස්වැන්නත් රජයෙන් ම වැඩි මිළට මිළ දී ගත යුතුයි කියායි ලංකාවේ වගාකරුවන් සාමාන්‍යයෙන් සිතන්නෙ.

    හැබැයි, මේ රජය කියන්නේ මොකක්ද කියා රජයේ සේවකයන්ගෙන් ඇහුවොත් ඔවුන් හැසිරෙන්නේ තමන් රජය නෙමෙයි වගේ. ඔවුන් ද ආණ්ඩුවට කැතට බනිනවා. රජයට බනිනවා. උදාහරණයක් විදියට රජයේ ආයතනවල වෘත්තීය සමිති නායකයන් අරගෙන බලන්න. ඒවායේ හැමදාම වගේ නායකත්වයේ ඉන්නේ එකම පිරිසක්. මේ අය වැඩ කරන්නේම නැහැ. රජයෙන් පඩි ගනිමින්, රජයටම බනිමින්, කඩාකප්පල් ක්‍රියා සංවිධානය කරන ආකාරය ගැන කල්පනා කරමින් කාලකණ්ණි වෙනවා.

    ලංකාවේ තත්ත්වය අවුල් කරන තවත් පිරිසක් තමයි මාධ්‍යකරුවෝ. ලංකාවේ මාකට් එකේ හැටියට මාධ්‍ය ප්‍රමාණය හරිම වැඩියි. එච්චර මාධ්‍ය පරිහරණය කරන්නට මිනිසුන්ට වෙලාවත් නැහැ. ඒ නිසා හොර රේටිං දමාගෙන, දැන්වීම් හිඟාගෙන මේ කරන කුණු රස්සාව වෙනුවෙන් ඕනෑම බාල දෙයක් විකුණන්නට ඔවුන්ට සිදු වෙලා තිබෙනවා. ඒ නිසා මේ පිරිසගේ මුළු කාලයම යෙදවෙන්නේ නැති අවුල් ඇති කිරීමටයි. තම පුද්ගලික ප්‍ර‍තිරූප ගොඩනගා ගැනීම වෙනුවෙන් මේ පාන්වලට හොදි වෙන්න සූදානම් දේශපාලකයන්, වෘත්තීය සමිති නායකයන්, වෙනත් සිවිල් සමාජ කයිවාරු පොරවල් හා කලාරිටවල් හෙවත් කලාකරුවන් වැනි අයත් ඉන්නවා.

    වැඩ කරන මිනිසුන් සවසට රූපවාහිනිය ඉදිරිපිට වාඩි වුණාම මේ පොල් බූරුවන් ඇවිත් ඒ මිනිසුන්ගේ ඔලු කුරුවල් කරනවා. විනයක් නැතිකම බෝ වෙන්නෙ එහෙමයි.

    මේ දවස්වල ලංකාවේ රජය ආර්ථික ප්‍ර‍තිසංස්කරණ සිදු කරන්නට දරණ උත්සාහය සම්බන්ධයෙන් දේශපාලකයන්ගෙ, වෘත්තීය සමිතිකාරයන්ගෙ, මාධ්‍යකාරයන්ගෙ හා වෙනත් සිවිල් සමාජ පොරවල චර්යාවත් ඔය වගේම තමයි.

    ඒ වෙනුවෙන් නිර්මානය කරපු භාෂා ප්‍රයෝග තිබෙනවා. නිදහස් අරක, නිදහස් මේක, විකිණීම, ලාභ ලැබීම, වෙළඳපොළකරනය, නව ලිබරල්වාදය වැනි සංකල්ප කිසිදු ගැඹුරකින් තොරව මිනිසුන්ගේ ඔලු මත දමා ගසන ආකාරය දැකිය හැකියි. වෙළඳපොළ වැරදිද, සාධාරණ ලාභය කියන එකේ වරද මොකක්ද, නිදහස්ය කියන ඒවට කවුරුද ගෙවන්නෙ, නවලිබරල්වාදය කියල දෙයක් තියෙනව ද වගේ ප්‍ර‍ශ්න නැගුවාම මේ වචන භාවිතා කරන අයට ඒවාට පිළිතුරු නැහැ.

    මේ සියල්ල පවතින්නෙ විනයක් නැති සමස්තයක් ඇතුළෙ. දේශපාලකයන්ටත් විනයක් නැති බව ඇත්ත. හැබැයි පුරවැසියා කියන්නෙ දේශපාලකයාට වඩා ඉදිරියෙන් සිටිය යුතු කෙනෙක් මේ ට'සිරි ලංකාවෙ හැටියට. ඇයි මේ කතාවට එකඟ වෙන්න බැරිද?

    ReplyDelete
  3. "සිල් රෙදි හොරා"
    නිදහස ලබන යුගයක
    කල්කිරියාව හොඳවේවිද
    ජනයාගේ
    බලා ඉන්න වෙනවලු
    කළු කපුටා සුදුවෙනතුරු!

    ReplyDelete
  4. කපුටො දුවගෙන එනවා කියන එකේ මටත් කිසිම වෙනසක් දැනුනෙ නෑ ඉකොන පහල කරලා තියන පැහැදිලි කිරීම කියවනකම්.. ඕක ඉංග්‍රීසියෙන් කියද්දි ඔය දුවගෙන එනවා කියන අර්ථය ගන්න යෙදෙන වාක්‍ය‍ය හෝ කිහිපය මොකක්ද?

    සුදු කපුටො ඉන්නවා කියලා අහලා තිබුනට මෙච්චර සුදු උන් ඇති කියලා දැනන් හිටියෙ නෑ.

    තනි කිරි පාට සුදු අලිනම් ඕන තරම් ඉන්න රාජ්‍ය‍ය ආයතන වල.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සෙන්නා සුදු අලි රාජ්‍ය ආයතන ගැන කියද්දි මට හිතෙන්නේ ලංකාවේ පාර්ලිමේන්තුව රටේ සල්ලි කන ලොකුම සුදු අලියා නැත්නම් ලොකුම සුදු අලි කීපයෙන් එකක් කියලා. මොකද ඕකේ කරන විවාද වලින සත පහක ප්‍රයෝජයක් නෑ.. උදාහරණයක් විදිහට, වෙනම දවසක් දාගන කොරෝනා වසංගතය ගැන මහා ලොකු විවාදයක් කළා. දැන් එම විවාදයේ අදහස් හා යෝජනා මොනවා ද ඒ හරහා ගත්තු, ඊට කලින් පාර්ලිමේන්තුව නැතුව ජනාධිපති කාර්‍යසාධක බළකායත් සමඟ කතා බහ කරලා ගත්තු නැති එක තීරණයක් කියන්න පුළුවන් ද?

      නිකන් බොරුවට දෙපැත්තට බෑන අඬ ගහගෙන, බොරු බයිලා ගහලා ගහලා අන්තිමට විසිරිලා ගියා. දවසකට කෝටි දෙකක්ද තුනන්ක්ද යනවලු ඔය මගුල රැස් වෙන්න.

      එතකොට අනිත් පැත්තෙන් ජනාධිපති අවශ්‍යම නිලධාරි ටික එක්ක කාර්‍යය සාධක බළකාය රැස් වෙලා තත්ත්වය සමාලෝචනය අරගෙන ගන්න ඕන තීරණ කතා කරගෙන ඒවා ක්‍රියාත්මක කරන්න පරිපාලන කටයුතු වලට යන වියදම අරකෙන් දාහෙන් එකක්වත් යන්නෑ මන් හිතන්නෙ.

      තවදුරටත් මේ ලංකාවේ සුදු අලි පාර්ලිමේන්තුව අපිට ඕනද? අඩුම තරමෙ මෙච්චර විශාල එකක්? මේ පිළිබඳව ජනතාවගේ සහ ව්‍යවස්ථා සම්පාදකයන්ගේ අවධානය අලුත් ව්‍යවස්ථාව සකසද්දි යොමු කරන්න පුළුවන් නම් වටිනවා මොකක් හරි ප්‍රයෝජනවත් ටාගට් බේස් වැඩ කරන්න ඕන ක්‍රමයක් ඉදිරිපත් කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.

      Delete
  5. අපි නම් අහල තියෙන්නෙ මෝල් විල්ල දළුලන තුරු කියලයි..:)

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.