වෙබ් ලිපිනය:

Thursday, November 12, 2020

බයිඩන් දිනුවේ කොහොමද?



ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් පරාජය වී බයිඩන් දිනුවේ කොහොමද කියන එක පිළිබඳව මගේ අදහස කුමක්ද කියා අපේ හිතවත් පාඨකයෙක් අසා තිබුණා. තවමත් බයිඩන් නිල වශයෙන් ජයග්‍රහණය කර නැතුවාක් මෙන්ම ට්‍රම්ප් පරාජය බාර අරගෙනත් නැහැ. නමුත්, සමස්තයක් විදිහට ඇමරිකානු ජනතාව වගේම ජාත්‍යන්තරයත් මේ වෙද්දී ජෝ බයිඩන් මීළඟ ඇමරිකානු ජනාධිපති සේ පිළිගෙන අවසානයි.

වසර හතරකට වරක් ඇමරිකාවේ ජනාධිපති වෙනස් වීම (හෝ නොවීම) සිදුවන ඉතාම නිශ්චිත නීතිමය ක්‍රියාදාමයක් තිබෙනවා. ඒ ක්‍රියාදාමය ඉතාම පැහැදිලියි. කාගේවත් හිතුමනාපයට වෙනස් කරන්න බැහැ. අවුලක් ඇති වුනොත්, ඒ අවුලට විසඳුමත් බොහෝ විට නීතියේ නිශ්චිත ලෙස සඳහන්ව තිබෙනවා.

මේ ක්‍රියාදාමයේ ආරම්භය මැතිවරණය නොවුණත් මැතිවරණ දිනය වැදගත්ම දිනයක්. එම දිනය වන්නේ නොවැම්බර් 2-8 අතර එළඹෙන අඟහරුවාදා දිනයයි. එය වෙනස් වන්නේ නැහැ. මේ අවුරුද්දේනම් නොවැම්බර් 3 වෙනිදා. එහෙත් ජනාධිපතිවරයාගේ නිල කාලය ආරම්භ වෙන්නේ ජනවාරි 20 වනදා. එය වෙනස් නොවන නිශ්චිත දිනයක්. මේ දින දෙක අතර දින 79-85 අතර කාලයක පරතරයක් තිබෙනවා. බල හුවමාරුව සඳහා එවැනි සාපේක්ෂව දිගු කාල පරාසයක් අවශ්‍ය ලෙස තීරණය කර තිබෙන්නේ යම් හෙයකින් ඇති විය හැකි අවුල් සියල්ල ලෙහාගෙන සුමට බල හුවමාරුවක් කර ගැනීමට ඉඩ සලසමිනුයි.

ඇමරිකාවේ ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ ක්‍රියාදාමය ආරම්භ වන්නේ මැතිවරණය දිනයට බොහෝ පෙරයි. මා පෙර ලිපි වල පැහැදිලි කර ඇති පරිදි එක් එක් දේශපාලන පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා කවුද කියා තීරණය කරන්නේත් මහජන ඡන්දයෙන්. ප්‍රාථමික මැතිවරණ සේ හැඳින්වෙන මේ මැතිවරණ නොවැම්බර් මැතිවරණ දිනයට මාස ගණනකට පෙර සිට පැවැත්වෙනවා.

මැතිවරණ දිනයේදී බොහෝ විට ඡන්දය සලකුණු කරන්නේ ඉලෙක්ට්‍රොනික ක්‍රමයටයි. ඒ නිසා, ඡන්දය ගණන් කරන්න අමුතු මහන්සියක් වෙන්න අවශ්‍ය නැහැ. පරිගණක පද්ධතියෙන් පහසුවෙන් හා ඉක්මණින් වාර්තාවක් ගන්න පුළුවන්. එහෙත්, තැපැල් ඡන්ද එකින් එක පරීක්ෂා කර දත්ත පරිගණක පද්ධතියට ඇතුළු කළ යුතුයි. එය කාලය අවශ්‍ය වන කටයුත්තක්. සාමාන්‍යයෙන් මැතිවරණයකදී ඕනෑම ඡන්දදායකයෙකුට තැපෑලෙන් ඡන්දය දමන්නට අවසර ලැබෙන්නේ නැහැ. ඒ නිසා, තැපැල් ඡන්ද ප්‍රමාණය සීමිත ප්‍රමාණයක්.

බොහෝ ප්‍රාන්ත වල මැතිවරණ දිනයේදී තැපැල් කර මැතිවරණ දිනයෙන් පසුව ලැබෙන තැපැල් ඡන්දද වලංගු ඡන්ද සේ සැලකෙනවා. වොෂින්ටන් ප්‍රාන්තය වැනි ඇතැම් ප්‍රාන්තයක මැතිවරණ දිනයේ සිට 20 වන දින දක්වාම තැපෑලෙන් ලැබෙන, මැතිවරණ දින දින මුද්‍රාව සහිත, තැපැල් ඡන්ද ගණන් කරනු ලබනවා. ඒ නිසා, ලංකාව වැනි රටක සිටින ඇමරිකානු පුරවැසියෙකු විසින් මැතිවරණ දිනයේදී තැපැල් කර එවන ඡන්දයක් වුවත් අපතේ යන්නේ නැහැ. මේ අවුරුද්දේනම් නොවැම්බර් 23 දින දක්වාම වොෂින්ටන් ප්‍රාන්තයේ ඡන්ද ගොඩට අලුත් ඡන්ද එකතු වෙන්න පුළුවන්.

ලංකාවේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක් හා සමාන කළ හැකි කිසියම් කවුන්ටියක හෝ එවැනි කවුන්ටි ගණනාවකින් සමන්විත ප්‍රාන්තයක අවසන් මැතිවරණ ප්‍රතිඵල නිසි බලධාරියෙකු විසින් නිශ්චිත දිනයකට පෙර සහතික කළ යුතුයි. එම දිනය අදාළ ප්‍රාන්තයේ නීතිය අනුව තීරණය වන්නක්. පෙර කතා කළ වොෂින්ටන් ප්‍රාන්තයේ කවුන්ටි හා අදාළව මේ දිනය මැතිවරණ දිනයේ සිට 21 වන දිනයයි. මේ අවුරුද්දේනම් නොවැම්බර් 24. කැලිෆෝර්නියා ප්‍රාන්තයේ එම දිනය මැතිවරණ දිනයේ සිට 31 වන දිනයයි. මේ අවුරුද්දේනම් දෙසැම්බර් 4.

කවුන්ටි වල මැතිවරණ කොමිසම් මගින් සහතික කළ ප්‍රතිඵල ප්‍රාන්ත ලේකම් වෙත ලැබුණු පසු ප්‍රාන්ත ලේකම් හෝ අදාළ වෙනත් නිසි බලධාරියෙකු විසින් එම ප්‍රතිඵල ලැයිස්තුගත කර සමස්ත ප්‍රතිඵලය පිළියෙල කර සහතික කළ යුතුයි. ඒ අනුව, ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා ප්‍රාන්තයේ ඡන්දදායකයින් වෙනුවෙන් ඡන්දය දෙන ප්‍රාන්තයේ මැතිවරණ නියෝජිතයින් තෝරා ගත යුතුයි. මෙය කළ යුත්තේ මැතිවරණ දින සිට 38 වන දිනයි. මේ අවුරුද්දේනම් දෙසැම්බර් 11.

සෑම ප්‍රාන්තයක් විසින්ම අදාළ ප්‍රාන්තයේ ක්‍රමවේදය අනුව ප්‍රාන්තයේ මැතිවරණ නියෝජිතයින් තෝරා ගැනීමෙන් පසුව ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිණිස ඔවුන්ගේ ඡන්දය ප්‍රකාශ කරන්නේ දෙසැම්බර් මාසයේ දෙවන බදාදාට පසුව එළැඹෙන සඳුදා දිනයේදීයි. දෙසැම්බර් 13-19 අතර යෙදෙන මේ දිනය මේ අවුරුද්දේ වැටෙන්නේ දෙසැම්බර් 14 දිනටයි. එයින් පසුව කොංග්‍රසය රැස්වී මේ ඡන්ද ගණන් කර ජනාධිපතිවරයාව තෝරා පත් කර ගන්නේ ජනවාරි 6 වන දිනයි. 

ඇමරිකාවේ ජනාධිපතිවරයාව ජනවාරි 6 දින නිල වශයෙන් තෝරා පත් කර ගැනීමෙන් පසුව දිවුරුම් දීම සිදුවන ජනවාරි 20 දක්වා දින 14ක කාලයක් තිබෙනවා. ඒ නිසා අලුතෙන් මුල් වරට පත් වෙන ජනාධිපතිවරයෙකුට වුවත්, පෙර සූදානම් වීම් සඳහා යම් අවම කාලයක් ලැබෙනවා. 

ප්‍රායෝගිකව මේ කාලය දින 14කට වඩා ගොඩක් වැඩියි. මැතිවරණයෙන් පසුව ඊළඟට පත් වීමට ඉඩ තිබෙන ජනාධිපතිවරයා කවුද කියන එක පැහැදිලි වූ වහාම බුද්ධි අංශ විසින් ජාතික ආරක්ෂාව හා අදාළ රහස් තොරතුරු සම්බන්ධව ඔහුව (හෝ ඇයව) දැනුවත් කිරීම ඇරඹෙනවා. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදනද නිශ්චිත ලෙස නීතියේ සඳහන්ව තිබෙනවා. මේ අවුරුද්දේ ප්‍රතිඵලයේ තිබෙන අවිනිශ්චිත ස්වභාවය  නිසා තවමත් මේ කටයුත්ත ඇරඹී නැහැ.

ඒ වගේම පත් වීමට නියමිත ජනාධිපතිවරයාටද කාර්යාල පහසුකම්, ප්‍රවාහන දීමනා ආදිය කලින් සිටම ලැබෙනවා. රජයේ ඉහළ තනතුරු සඳහා පත් කිරීමට නියමිත පුද්ගලයින්ගේ පසුබිම් තොරතුරු හැකි ඉක්මණින් පරීක්ෂා කිරීමෙන් පසුව ඔවුන්ට අදාළ කාර්යාල වලට ගොස් තොරතුරු ලබා ගැනීමට පහසුකම් සැලසෙනවා. ඒ නිසා, තමන්ගේ තනතුර නිල වශයෙන් භාර ගන්නා අවස්ථාව වන විට ඔවුන්ට මනා පෙර සූදානමක් තිබෙනවා. ඇමරිකාවේ සාපේක්ෂව පහළ මට්ටමේ තනතුරු හා සම්බන්ධවද මෙවැනි පෙර සූදානම් අවස්ථා තිබීම ඉතා සාමාන්‍ය දෙයක්.

මෙවර මැතිවරණ ප්‍රතිඵල විකාශනය කිරීමේදී ප්‍රධාන මාධ්‍ය බොහොමයක්ම එය කළේ ජෝ බයිඩන්ට ඇත්තටම තිබෙනවාට වඩා වාසිදායක තත්ත්වයක් ඇති බව පෙන්වමිනුයි. හොඳම උදාහරණය වන්නේ කළින්ම බයිඩන්ට ලියා දුන් ඇරිසෝනා ජයග්‍රහණයයි. මෙය මුලින්ම කළේ ප්‍රංශ පුවත් සේවය විසින්. පසුව වෙනත් මාධ්‍ය ආයතන විසින්ද ඇරිසෝනා ප්‍රාන්තය රතු පාටින් පාට කළා. 

මේ මොහොත වන විට ඇරිසෝනා ප්‍රාන්තයේ බයිඩන්ගේ වැඩි ඡන්ද ප්‍රමාණය 11,034 දක්වා අඩු වෙලා. ප්‍රතිශතයක් ලෙස ගත්තොත් 0.3%ක වෙනසක් පමණයි. ප්‍රංශ පුවත් සේවය අනුව යමින් ඇරිසෝනා ප්‍රාන්තය රතු පාට කළ සීඑන්එන් එක දැන් ඇරිසෝනා ප්‍රාන්තයේ රතු පාට අයින් කර නැවත අළු පාට කරලා. වැඩි ඡන්ද ප්‍රතිශතය 0.1% මට්ටමට අඩු වුවහොත් ඉල්ලීමක් නැතත් ඇරිසෝනා නීතිය අනුව අනිවාර්යයෙන්ම ඡන්ද නැවත ගණන් කළ යුතුයි.

දැනට ජෝර්ජියා ප්‍රාන්තයේ බයිඩන්ගේ වැඩි ඡන්ද ප්‍රමාණය 14,106ක් පමණයි. මෙයත් ප්‍රතිශතයක් ලෙස 0.3%ක් පමණයි. මෙම ප්‍රතිශතය 0.5%ට අඩුනම් ප්‍රාන්ත නීතිය අනුව නැවත ගණන් කරන සේ ඉල්ලීමක් කළ හැකියි. ජෝර්ජියා ඡන්ද නැවත ගණන් කෙරෙනු ඇති බව දැනටමත් ප්‍රකාශ වී තිබෙනවා.

විස්කොන්සින් ප්‍රාන්තය තුළ දැනට බයිඩන් ඉදිරියෙන් ඉන්නේ වැඩි ඡන්ද 20,546 කින් පමණයි. මෙය 0.6%ක ප්‍රතිශත වෙනසක්. මෙම වෙනස 1%ට අඩුනම් විස්කොන්සින් නීතිය අනුව ඡන්ද නැවත ගණන් කරන සේ ඉල්ලා සිටිය හැකියි. පළමු වටයේ අවසන් ප්‍රතිඵල ලැබුණු සැණින් මෙම ඉල්ලීම ඉදිරිපත් වීමට නියමිතයි.

දැනට ප්‍රකාශිත ප්‍රතිඵල අනුව, ඉතා සුළු වැඩි ඡන්ද ප්‍රමාණ වලින් දිනාගෙන තිබෙන ඇරිසෝනා, ජෝර්ජියා හා විස්කොන්සින් ප්‍රාන්ත තුනම බයිඩන්ගේ ගොඩට දැමීමෙන් පසුව ඔහුගේ ප්‍රාන්ත නියෝජිතයින් ගණන 306 දක්වා ඉහළ යනවා. ට්‍රම්ප්ගේ ගොඩ 232 දක්වා පහළ බසිනවා. පසුගිය ජනාධිපතිවරණයේදී සිදුවුනේ මෙහි අනෙක් පැත්තයි. එවර ට්‍රම්ප් විසින් නියෝජිතයින් 322ක් දිනා ගනිද්දී හිලරි ක්ලින්ටන් විසින් නියෝජිතයින් 232ක් දිනා ගත්තා. 2016ට සාපේක්ෂව  මෙවර ප්‍රතිඵලය වෙනස් වන්නේ ට්‍රම්ප්ගේ ගොඩේ තිබුණු පෙනිසිල්වේනියා, මිචිගන්, ඇරිසෝනා, ජෝර්ජියා හා විස්කොන්සින් යන ප්‍රාන්ත පහ සහ නෙබ්‍රස්කා ප්‍රාන්තයේ දෙවන දිස්ත්‍රික්කය බයිඩන්ගේ ගොඩට පැමිණීමෙනුයි.

ඇරිසෝනා (11), ජෝර්ජියා (16) හා විස්කොන්සින් (10) ප්‍රාන්ත තුනේ නියෝජිතයින් ගණන් වල එකතුව 37ක්. අලුතින් දිනාගත් නෙබ්‍රස්කා දෙවන දිස්ත්‍රික්කයේ නියෝජිතයාවත් එකතු කළොත් 38ක්. මේ 38 දෙනා නොවන්නට බයිඩන්ට හිමි වන්නේ නියෝජිතයින් 268 දෙනෙකු පමණයි. එසේනම්, ට්‍රම්ප් විසින් නියෝජිතයින් 270 සම්පූර්ණ කර තරඟය ජය ගන්නවා. මේ අනුව, බයිඩන්ගේ ජයග්‍රහණය සඳහා තීරණාත්මක සේ බලපා තිබෙන්නේ ඉහත ප්‍රාන්ත තුනෙන් හා නෙබ්‍රස්කා දෙවන දිස්ත්‍රික්කයෙන් ලබාගත් වැඩි ඡන්ද ප්‍රමාණයි. එම ප්‍රමාණය, දැනට ගණන් කර අවසන් ඡන්ද මත පදනම්ව, නෙබ්‍රස්කා දෙවන දිස්ත්‍රික්කයේ වැඩි ඡන්ද 21,607ක්ද ඇතුළුව, 67,244ක් පමණයි. මෙම ප්‍රමාණය මීටත් වඩා අඩු වෙන්න වුනත් බැරිකමක් නැහැ.

මේ වන විට ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා විසින් ලබාගෙන තිබෙන ඡන්ද ප්‍රමාණය මිලියන 150ක් පමණ වෙනවා. ලංකාවේ පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා විසින් ලබාගත්තේ මිලියන 12.5ක පමණ ඡන්ද ප්‍රමාණයක්. මේ අනුව, ඇමරිකාවේ ප්‍රතිඵලය සමාන කළ හැක්කේ ගෝඨාභය විසින් සජිත්ට වඩා ඡන්ද 5,650 ක් පමණක් ලබා ගනිමින් ජයග්‍රහණය කිරීමක් වැනි තත්ත්වයකටයි. එවැනි තත්ත්වයක් ඇති වුනානම් සජිත් එකවර පරාජය භාර නොගන්නා බව ඉතාම පැහැදිලියි. 

ට්‍රම්ප් පරාජය වී බයිඩන් දිනුවේ කොහොමද කියන ප්‍රශ්නයට ප්‍රතිචාරයක් සේ මේ කරුණු ලිවුවේ බොහෝ ජාත්‍යන්තර මාධ්‍ය වලින් පෙන්වන පරිදි ඇමරිකාවේ මහා විශාල පෙරළියක් සිදු වුනේ හෝ බයිඩන් රැල්ලක් හමා ගියේ නැති බව පෙන්වන්නයි. අවසාන ප්‍රතිඵලය ලැබෙන විට නියෝජිතයින් ගණන අනුව බයිඩන් කොපමණ ඉදිරියෙන් සිටියේ වුවත්, ඔහුගේ දිනුම කෙස් ගහෙන් ලබන ජයක්. මේ කරුණ ඉතා වැදගත් කරුණක් වන්නේ කොංග්‍රසයේ බල තුලනය, එම බලතුලනය දෙවසරකට වරක් මාරු වීම හා කෝවිඩ්-19 වසංගතයේ බලපෑම අවම වශයෙන් තවත් වසරක කාලයක් යන තුරුවත් තිබිය හැකි වීම ආදී අවශේෂ කරුණුද සැලකිල්ලට ගත් විටයි.

ඒ වගේම, ඇමරිකාවේ මෙවැනි රැළි හමා යාම සාමාන්‍ය දෙයක් නොවන බවත් කිව යුතුයි. බොහෝ විට එවැනි තත්ත්වයන් මවා පෙන්වන්නේ මාධ්‍ය විසින්. දැන් බයිඩන් රැල්ලක් නැතුවාක් මෙන්ම, වසර හතරකට පෙර, 2016දී ට්‍රම්ප් රැල්ලක් තිබුණේත් නැහැ. එවර ට්‍රම්ප් ජයග්‍රහණය කළේත් මේ වගේම කෙස් ගහෙන්. ට්‍රම්ප් විසින් සුළු වැඩි ඡන්ද ප්‍රමාණ වලින් ජයග්‍රහණය කළ හා මෙවර බයිඩන් විසින් ට්‍රම්ප්ගෙන් ආපසු ලබාගත්, මිචිගන්, විස්කොන්සින් හා පෙනිසිල්වේනියා ප්‍රාන්ත නොවන්නට පසුගිය ජනාධිපතිවරණයේ ජයග්‍රහකයා වන්නේ හිලරි ක්ලින්ටන්. එමෙන්ම ඇය සමස්තයක් ලෙස ට්‍රම්ප්ට වඩා ඡන්ද මිලියන 2.8ක් ඉක්මවා ලබාගත්තා.


මිචිගන්, විස්කොන්සින් හා පෙනිසිල්වේනියා ප්‍රාන්ත තුනෙන් ට්‍රම්ප් විසින් ලබා ගත්තේ වැඩි ඡන්ද 77,744ක් පමණයි. ඒ වෙනුවෙන් ඔහුට ප්‍රාන්ත නියෝජිතයින් 46 දෙනෙකුගේ ඡන්ද ලැබුනා. එම ඡන්ද නොවන්නට සමස්තයක් ලෙස ට්‍රම්ප්ට ලැබිය හැකිව තිබුණේ නියෝජිතයින් 260 දෙනෙකුගේ ඡන්ද පමණයි. එසේ වූවානම් නියෝජිතයින් 278 දෙනෙකුගේ සහයෝගය ලැබූ හිලරි ක්ලින්ටන් ඇමරිකාවේ 45වන ජනාධිපතිවරයා (ජනාධිපතිවරිය) වගේම එම ධුරයට පත් වූ පළමු කාන්තාව විය හැකිව තිබුණා. ඉතිහාසය වෙනස් කළේ ඉහත කී 77,744ක "සුළු" ඡන්ද ප්‍රමාණයයි. මේ අයුරින්ම මෙවර ඡන්ද ප්‍රතිඵලය තීරණාත්මක ලෙස වෙනස් කර තිබෙන්නේ ඡන්ද 67,283ක් හෝ ආසන්න ප්‍රමාණයක්. 

මෙවර බයිඩන් දිනුවේ කෙස් ගහෙන් බව මා මුලින් පැහැදිලි කළා. දැන් මා පැහැදිලි කර තිබෙන පරිදි මේ විදිහට කෙස් ගහෙන් දිනා ඇමරිකාවේ ජනාධිපතිවරයෙකු පත් වෙන එක ඉතාම සාමාන්‍ය දෙයක්. ට්‍රම්ප් දිනුවේත් ඔය විදිහටමයි. ඡන්දදායකයින්ගේ හැසිරීමේ ඔය වගේ පොඩි වෙනසක් වෙන්න මහා ලොකු හේතු අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම, මීටත් වඩා ඉතාම අඩු ඡන්ද ප්‍රමාණයකින්, කෙස් ගහකින් ඉරපු රීප්පයක් වැනි ඡන්ද 537ක ප්‍රමාණයකින්, ඇමරිකාවේ ජනාධිපතිවරයා තේරී වුනු අවස්ථාද තිබෙනවා.

ලිපිය දිග වැඩි වන නිසා ඉතිරි කරුණු ඉදිරි ලිපියකින් කතා කරමු.


(Image: https://commons.wikimedia.org/wiki/File:Vice_President_Biden_visit_to_New_Zealand,_July_20-21,_2016_(27824840164).jpg)


17 comments:

  1. ඇයි නිශ්චිත දිනයක් සඳහ්න් නොකර, 2-8 ත් අතර අඟහරුවාද? පළවෙනි සඳදාට පසු එළබෙන දෙවන දිනය ආදී වශයෙන් දින නියම කරන්නෙ? ඇයි කෙලින්ම නොකියන්නෙ සෑම සිව් වසරකටම වරක් නොවැම්බර් මාසේ අහවල් දවසේදී චන්දය තියනවා කියලා?

    ReplyDelete
    Replies
    1. ඇමරිකාවේ නිවාඩු දින යෙදෙන්නෙත් මේ ආකාරයටයි. බොහෝ විට සඳුදා දවසක. උදාහරණයක් විදිහට මාටින් ලූතර් කිංග් දිනය (ඔහුගේ උපන් දිනය සැමරීම) යෙදෙන්නේ ජනවාරි මාසයේ තෙවන සඳුදා. ඒ නිසා, අඟහරුවාදා නිවාඩු වැටිලා හැමෝම සඳුදා නිවාඩු ගැනීම වගේ ප්‍රශ්න මතු වෙන්නේ නැහැ.

      ඇමරිකාවේ ව්‍යවස්ථාව අවුරුද්දෙන් අවුරුද්දෙන් අවුරුද්ද සංශෝධනය කරන්නේ නැහැනේ. මැතිවරණ දිනය තීරණය කරලා තියෙන්නේ 1845 පමණ කාලයේ. ඉරිදා බොහෝ දෙනෙක් පල්ලි යනවා. ඒ නිසා ඉරිදා මැතිවරණය තියන්න සුදුසු නැහැ. බදාදා සාමාන්‍යයෙන් පොළ දවස. ඔය වගේ කරුණු සලකලයි අඟහරුවාදා දිනය තෝරා ගෙන තියෙන්නේ. පළමු අඟහරුවාදා නොකියා පළමු සඳුදාට පසුව එන අඟහරුවාදා කියන්නේ මාසයේ පළමුවෙනිදා මැතිවරණය වැටෙන එක වලක්වන්න. එදාට වෙළෙන්දෝ ඔවුන්ගේ ගිණුම් පියවීම වගේ දේවල් කරන නිසා. ඊට අමතරව නොවැම්බර් පළමුවෙනිදා සියලු සාන්තුවරයින්ගේ දිනයද වැටෙන නිසා.

      Delete
  2. ට්‍රම්ගේ නීතිමය තර්කය කුමක්ද ? තැපැල් චන්ද ගනං කිරීම නැවැත්වියුතුයි කියා ඔහු කියා තිබුනානේද බයිඩන්ගේ තැපැල් චන්ද ප්‍රමානය සපේක්ෂව ට්‍රම්ප්ට වඩා වැඩීවනෙ ප්‍රවනතාවයක් තිබුනා නේද ?
    චන්ද දුශන ලෙස ඔහු අදහස් කරන්නේ හොර චන්ද දැමිම වගේ එකක් ද? එසේ නම් එවැනි හොර චන්ද බයිඩන්ටම වැටුනා කිය ා කියන්නේ කොහොමද ?

    ReplyDelete
    Replies
    1. වැදගත් ප්‍රශ්න ටිකක්. ඉදිරි ලිපියක පිළිතුරු දෙන්න උත්සාහ කරන්නම්.

      Delete
  3. ඉකෝනෝමැට් මොනවා කියූවත් ඇමරිකන් එක්සත් ජනපදයේ මැතිවරණ අවුල තාමත් ලිහී නෑ නේද? මේ වගේ කුජීත විදිහට මැතිවරණ ප්‍රතිඵලයක් භාර නොගන්නා අවුල් සහගත තත්වයන් එනවා තමයි ඇමරිකානු විකාර මැතිවරණ සහ පාලන ක්‍රමය අනුව. සමාන්‍ය⁣යෙන් මෙහෙම වුනහම වෙන්නේ හිටපු ජනපති (ට්‍රම්ප්) ප්‍රතිඵල පිලිගත්තේ නැතිවුනත් රිපබ්ලිකන් මන්ත්‍රීවරුන් වැඩි දෙනෙකු එම ප්‍රතිඵල පිලිගැනීමෙන් හි.ජ. (ට්‍රම්ප්) ⁣ගේ තර්කය දුර්වල වීමයි. නමුත් මෙවර එහෙම වුනේ නැහැ. රිපබ්ලිකන් සියළුම දෙනා පාහේ (එක් අ⁣යකු බයිඩන්ට සුභ පතලා තිබුණා තමයි) ට්‍රම්ප් එක්ක ඉන්නෙ.

    ප්‍රධාන කරැණ පෙන්ටගනය. ස්වාධීන ආයතනයක් වෙන්න ඕන පෙන්ටගනය පසුගිය කාලය තුළ ට්‍රම්ප් සමිපුර්ණයෙන්ම ⁣වෙනස් කරලා තිබුණා. ඊයේ ⁣පොමිපියෝ මාධ්‍ය සාකචිඡාවක් තියලා කිව්වේ "බලය හුවමාරුව සදහා කටයුතු කරනවා. ඒ ට්‍රම්ප් ගේ දෙවන ධූර කාලය සඳහා" බව. සෑහෙන බරපතල ප්‍රකාශයක්.

    පෙන්ටගනයත් කිසිම ⁣⁣⁣බෙදීමක් නැහැ. අනික Black Lives Matters විරෝධතාවත් ඒ සමග ඇතිවුණ උග්‍ර ප්‍රචණ්ඩ ක්‍රියා නිසාත් ඇමරිකන් සුදු ජාතිකයන් තම රට ගැන බියට පත්⁣වෙලා ඉන්නෙ. මෙයත් ට්‍රම්ප්ට හොද අවස්ථාවක්. අපි මෙි ගැන ඇමරිකා එක්සත් ජනපදය මිහිපිට දිව්‍යලෝකය කියලා වැල් බයිලා ලියන නිව් යෝර්ක් නගරයේ සිරි හීන්පැල්ල ගෙන් අහලා බලන්න වෙනවා. ඔයා එයාව දන්නවද ඉකෝනෝමැට්?

    ReplyDelete
    Replies
    1. //ඉකෝනෝමැට් මොනවා කියූවත් ඇමරිකන් එක්සත් ජනපදයේ මැතිවරණ අවුල තාමත් ලිහී නෑ නේද? මේ වගේ කුජීත විදිහට මැතිවරණ ප්‍රතිඵලයක් භාර නොගන්නා අවුල් සහගත තත්වයන් එනවා තමයි ඇමරිකානු විකාර මැතිවරණ සහ පාලන ක්‍රමය අනුව.//

      එක් එක් ප්‍රාන්තයේ හෝ කවුන්ටියේ ප්‍රතිඵලයට අභියෝග කළ හැකි අවස්ථා නීතියේ පැහැදිලිව තිබෙනවා. ඇතැම් තැන් වල ප්‍රතිඵල වලට අභියෝග කරන එක හැමදාමත් සිදුවන සාමාන්‍ය දෙයක්. එවිට කළ යුතු දේත් පැහැදිලිව නීතියේ තිබෙනවා. ඒ වගේම පක්ෂ දෙකේම හැමෝම වගේ නීතියට එකඟයි. ප්‍රතිඵලයකට අභියෝග කරන්න පුළුවන් වෙන්නේ ප්‍රතිඵල දුන්නට පස්සේ. කලාතුරකින් තැනක හැර තවම ප්‍රතිඵල දීලාවත් නැහැ. ඒ නිසා ප්‍රතිඵල පිළි නොගැනීම කියා නෛතික ප්‍රශ්නයක් තවමත් ඇති වී නැහැ. ඒවා සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍ය වල ප්‍රශ්න. මෙතෙක් මතු වී නැති අලුත් ප්‍රශ්නයක් මතුවෙන්නේ ජනවාරි 6 වනදා ජනාධිපතිවරයා පත් කර ගැනීමෙන් පසුව එම ප්‍රතිඵලය එක් පාර්ශ්වයක් විසින් පිළි නොගත්තොත් පමණයි. එවැනි තත්ත්වයකදී කළ යුතු දෙයත් ඉතා පැහැදිලිව හා සවිස්තරාත්මක ලෙස නීතියේ තිබෙනවා.

      Delete
  4. 'වසර හතරකට වරක් ඇමරිකාවේ ජනාධිපති වෙනස් වීම (හෝ නොවීම) සිදුවන ඉතාම නිශ්චිත නීතිමය ක්‍රියාදාමයක් තිබෙනවා. ඒ ක්‍රියාදාමය ඉතාම පැහැදිලියි. කාගේවත් හිතුමනාපයට වෙනස් කරන්න බැහැ. අවුලක් ඇති වුනොත්, ඒ අවුලට විසඳුමත් බොහෝ විට නීතියේ නිශ්චිත ලෙස සඳහන්ව තිබෙනවා.'

    ජනපදයේ ප්‍රකාශිත, වලංගු මුළු ජන්ද සංඛ්‍යාවෙන් බහුතරය ලබා ගන්න අපේක්ෂකයාට ජනාධිපතිධුරය හිමිනොවී, ඊට අඩුවෙන් ගන්නා අපේක්ෂකයා ජනාධිපති ලෙස පත්වීම වැළැක්වීමට ගැනීමට ඇති නීතිමය ප්‍රතිපාදන මොනවාද?

    ReplyDelete
    Replies
    1. //ජනපදයේ ප්‍රකාශිත, වලංගු මුළු ජන්ද සංඛ්‍යාවෙන් බහුතරය ලබා ගන්න අපේක්ෂකයාට ජනාධිපතිධුරය හිමිනොවී, ඊට අඩුවෙන් ගන්නා අපේක්ෂකයා ජනාධිපති ලෙස පත්වීම වැළැක්වීමට ගැනීමට ඇති නීතිමය ප්‍රතිපාදන මොනවාද?//

      නීතිමය ප්‍රතිපාදන අවශ්‍ය වෙන්නේ ඇමරිකානු ජනතාව හිතන ආකාරය අනුව වැරැද්දක් වෙනවානම් පමණයි. ලංකාවේ හෝ වෙනත් රටක ඉන්න අයට අවශ්‍ය පරිදි (ඒ අය ඇමරිකන් පුරවැසියන් වන්නේනම් හැර) නීති හදන්න හේතුවක් නැහැනේ. වලංගු මුළු ජන්ද සංඛ්‍යාවෙන් බහුතරය ලබා ගන්න අපේක්ෂකයාට ජනාධිපතිධුරය ලබා දීම සඳහා ජාතික මට්ටමෙන් කිසිම දෙයක් කරන්න අවශ්‍ය නැහැ. අඩු වශයෙන් ව්‍යවස්ථාව හෝ මැතිවරණ ක්‍රමය හෝ වෙනස් කරන්න අවශ්‍ය වන්නේ නැහැ. අවම වශයෙන් නියෝජිතයින් 270/538 දෙනෙකු (හෝ අදාළ පරිදි බහුතරය) නියෝජනය කරන ප්‍රාන්ත ප්‍රමාණයක ඡන්දදායකයින්ගේ බහුතර කැමැත්ත පමණයි අවශ්‍ය වෙන්නේ. දැනට මෙවැනි යෝජනාවකට පක්ෂ ඡන්දදායකයින්ගේ බහුතරයක් ඉන්න ප්‍රාන්ත වලට හිමි 196/538ක නියෝජනයක් පමණයි. ඩිමොක්‍රටික් ප්‍රාන්තයට වැඩි බලයක් තිබෙන ඇතැම් ප්‍රාන්ත වල බහුතර ඡන්දදායකයින්ද ඇතුළුව ඇමරිකාවේ ඡන්දදායකයින් වැඩි ප්‍රමාණයක් මෙවැනි යෝජනාවකට කැමති නැහැ.

      මේක මේ වගේ දෙයක්. අපි හිතමු ලංකාව චීනයේ ප්‍රාන්තයක් වුනා කියලා. දැන් ලංකාවේ මිනිස්සු වැඩිපුර කැමති චීනයේ ලංකා ප්‍රාන්තයේ වැඩිම දෙනෙකු කැමති නියෝජිතයා චීන නායකයා වෙනවටද නැත්නම් සමස්තයක් ලෙස චීනයේ මිනිස්සු වැඩිපුර කැමති එහෙත් ලංකාවේ විශාල පිරිසක් අකැමැති අයෙක් හැමදාම දිගින් දිගටම නායකයා වෙනවටද?

      Delete
  5. මට තේරෙන විදිහට නම් මේ ඡන්දෙන් ඇමරිකන් ජඩ මාධ්‍ය වලට අනුව දිනලා කියලා කියන හාදය පාරේ යන්න පණ නැති වල පයයි ගොඩ පයයි ඩෑල් එකක් හින්දා ළඟදිම ඒ යකා ලෙඩ ඇඳේ වැටෙන්න හරි වලකජ්ජ ගහන්න ගොඩක් වෙලාවට ඉඩ තියෙනවා. ඒ නිසා කමල නැන්ද ඒ පැත්තට ලීඩ් එක දෙයි.

    අනිත් අතින් පැරදුනු බවට මාධ්‍ය සෙට් එකෙන් කියන මිනිහ චන්ද ප්‍රතිපල පිළිගන්නේ නැහැ. මේ වෙනකොට නව ජනාධිපතිට බලය පැවරීම සඳහා වන ක්‍රියාවලිය ආරම්භ කර තිබිය යුතුයි නමුත් ට්‍රම්ප් ගොයියා ඒ එකකටවත් ඉඩ දීල නැහැ නේද? මේක මේ විදිහට ගියොත් බයිඩන්ට ඡන්දෙ දීපු ඩිමොක්‍රටික් පාක්‍ෂික වහල් මිනිස්සු ගැහැණු පාරට බැහැල කලබල කරනවා. එතකොට ඒ අයට ගහන්න මරන්න ට්‍රම්ප්ගේ වහල් ගෝත්‍රික පාක්‍ෂික මිනිස්සු පාරට බහිනවා දිගට දිගට ගියාම වෙන දේ හිතාගන්න පුළුවන්. මොකද දෙන්නටම කෝටි 7 ගණනේ ඉන්නවා. තව කයනු තුනේ සුදු සන්නද්ධ කල්ලිය ඇතුලු සන්නද්ධ කණ්ඩායම් රැසක් වගේම කළු සන්නද්ධ කණ්ඩායම් ද සෑහෙන ඉන්නවා. මුන් එකිනෙකාව මරාගන්න ඉඩ තියෙනවා.

    ඇත්තටම ඉකොනො ට්‍රම්ප් ගොයියා ගේ චෝදනා වලට පදනමක් තියනවා ද නැද්ද යන්න මාධ්‍ය වලට තීරණ කරන්න පුළුවන් ද ? එහෙමනම් ඒ අයට අධිකරණමය සහ පරීක්ෂණ බලතල තිබෙන්න ඕන. දැන් ඇමරිකන් එක්සත් ජනපදයේ ෆෙඩරල් නීතිපති පරීක්ෂණයක් ආරමිභ කරලා තියනවා ට්‍රම්ප් ⁣⁣ගේ‍ මෙම චෝදනාව ට පදනමක් තිබෙනවා ද, එලෙස දුෂණයක් සිදුව ඇත්නම් එය ප්‍රතිඵල වෙනසක් වෙන්න තරම් ප්‍රබල ද යන්න පිළිබඳව ජඩ මාධ්‍ය සෙට් එකේ අයිතිකාර පාදඩ කුඩා කල්ලියකට රජයන් පත්කරන්න නෙරපන්න පුළුවන් කියල ද ඔයා පිලිගන්නෙ ඉකොනො?

    ReplyDelete
    Replies
    1. //මේ වෙනකොට නව ජනාධිපතිට බලය පැවරීම සඳහා වන ක්‍රියාවලිය ආරම්භ කර තිබිය යුතුයි නමුත් ට්‍රම්ප් ගොයියා ඒ එකකටවත් ඉඩ දීල නැහැ නේද?//

      ප්‍රායෝගිකව බොහෝ විට එසේ වන නමුත් ව්‍යවස්ථාව හෝ වෙනත් නීතියක් අනුව එසේ විය යුතු නැහැ. නිල වශයෙන් ජනාධිපතිවරයෙකු පත් කර ගැනෙන්නේ ජනවාරි 6 වෙනිදා. එයින් පසුවත්, ජනවාරි 20 වන තුරුම ජනාධිපති ධුරය හොබවන්නේ ට්‍රම්ප්.

      Delete
  6. ඇරිසෝනාවත් බයිඩන් දිනුවලු
    චීනෙන් සුභ පැතුමක් දැන් ආවලු
    රුසියාව ඉතින් තාමත් නිහඬලු
    ට්‍රුම්ප්පච්චිට දැන් යන්නම වේවිලු

    ReplyDelete
    Replies
    1. //ඇරිසෝනාවත් බයිඩන් දිනුවලු//

      ට්‍රම්ප්ට ඇරිසෝනා ප්‍රාන්තය දිනන්න ඉඩක් නැති බව සැබෑවක් වුවත් මේ වන තුරුත් (නොවැම්බර් 13 සිකුරාදා) ඇරිසෝනා ප්‍රාන්තයේ කවුන්ටි ගණනාවක ඡන්ද ගණන් කර අවසන් නැහැ.

      Delete
    2. Biden leads Trump by 11,434 votes in the statewide tally – a margin greater than the estimated number of ballots remaining to be counted in Arizona.(USA Today)

      Delete
    3. The "estimated" number of ballots remaining to be counted by mainstream media throughout this process was often wrong. However, the margin of error in their estimations at this point can't be high. Even though we can't rule out the possibility that Trump's margin over Biden in AZ could shrink, unlike the case of postal votes in PA, the votes in AZ are more balanced. So, the ballots to be counted have to be several times more than the current gap, if Trump has to close it. Clearly, that's not the case now.

      Delete
  7. ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ උසස් පාසලක වසර 10 ක් විදුහල්පති වශයෙන් සේවය කල ජෝන් ස්මිත් මහතා විශ්‍රාම යාම නිමිත්තෙන් උත්සවයක් පැවැත්වුනා

    මේ උත්සවයට විදුහලේ ගුරුවරු, අනිකුත් සේවකයින්, ඔවුන්ගේ පවුල්වල උදවිය හැමෝම වාගේ ඇවිත් හිටියා. මොකද ස්මිත් සුන්දර මනුස්සයෙක්..ඔහුට හැමෝම ආදරය කළා.

    ස්මිත් වෙනුවෙන් ගුණ කථන කීපයක් ගුරුවරු, සිසුන් කරා, ඉන් පසුව ස්මිත් තම කථාව ආරම්භ කරා.

    මේ පාසල මට මගේ ජීවිතයම උනා.
    ඔබ කවුරුත් දන් නැති උනාට මට මේ පාසලට එක දවසක්වත් වරද්දන්නේ නැතුව එන්න එක විශේෂ හේතුවකුත් තිබුනා..
    මට පසු ගිය අවුරුදු 10 පුරාවටම රමණිය වූත්, සුන්දරවූත් ප්‍රේමයක් තිබුනා මේ පාසල් බිමේ...

    ස්මිත්ගේ ආදරණීය බිරිඳත් දියණිවරු තිදෙනාත් ලැජ්ජාවෙන් සහ කෝපයෙන් බිම බලාගත්තා. ගුරුවරු එකිනෙකාගේ මුහුණට මුහුණ බැලුවා...
    ළමයි..අම්මෝ..මෙයා අපිට බණ කියලා පේනවානේ කරලා තියන දේ කියලා කොඳුරන්න ගත්තා...

    මොහොතක් නිහඬව සිටි ස්මිත් යළිත් හැඟුම්බර වෙන්න ගත්තා..

    මම මේ පාසලට ආවේ 1978. ජනවාරි 10..
    හදවත් සැත්කමක් කරලා මාස 2 ක් බෙඩ් රෙස්ට් කරලා...
    දොස්තර මහත්තයා මට තුන්වේලක් ජීවිත කාලේම බෙහෙත් නියම කලා...
    මම පාසලට ආපු මුල්ම දවසේ ස්ටාෆ් රූම් එකට ගිහින් බෙහෙත් බොන්න වතුර එකක් ඉල්ල ගත්තා තේ හදන ලින්ඩාගෙන්...ලින්ඩා කිලිටි ගවුමකුත් ඇදගෙන කාමරය අතුගාගා උන්නේ..

    මම ලින්ඩාට කිව්වා මම මරණ වරෙන්තුව ලියලා තියෙන මිනිහෙක්..මට හැමදාම උදේටයි දවල්ටයි බෙහෙත් බොන්න වතුර එකක් කාමරෙන් තියන්න කියලා......
    ලින්ඩා අහගෙන උන්නා විතරයි....

    එදා ඉදලා අවුරුදු දහයක් එක දිගට මම එක දවසක්වත් නිවාඩුවක් ගන්නේ නැතුවා මේ ඉස්කොලේට ආවා..

    මගේ මේසය උඩ උදේටයි දවල්ටයි වතුර එක වැරදුනේම නෑ...

    මරණ වරෙන්තුව ලියාගෙන හිටපු මගෙ හිත මටත් හොරෙන් ලින්ඩාට ආදරය කරන්න ගත්තා.....

    ලින්ඩා ලැජ්ජාවෙන් බිම බලාගෙන ඇගේ ස්වාමියාගේ අත තද කරගෙන කථාව අහගෙන ඉන්නවා...

    ස්මිත් යළිත්

    ලින්ඩා මගේ මේසය උඩින් තියන වතුර වීදුරුවේ තිබුනේ වතුර විතරක් නෙමේ...
    දයාව, ආදරය, කරුණාව, රැකවරණය, භක්තිය..

    හවසට ගෙදර යන්න කලින් දුරකථනය අතට ගත්තාම මගේ බිරිද දූවරූ එවල තියන කෙටි පණිවිඩ සුපර් මාර්කට් වලට යවන්න ඕන ඒවා...

    ඒ පණිවිඩ වලින් අහලා තිබුනේ නැහැ..තාත්තී බෙහෙත් බිව්වද කියලා.

    අවුරුදු 10 ක් පුරා මට ජිවත් වෙන්න බලාපොරොත්තුවක් දුන්නට මම මාසේ හැම පඩියකින්ම යම් මුදලක් ලින්ඩා නමින් ගිණුමක තැන්පත්කරා..
    මම ලින්ඩාටයි, ඇගේ ස්වාමි පුරුෂායාටයි ඉල්ලා සිටිනවා මාව ජිවත් කරවීම වෙනුවෙන් මගේ ත්‍යාගය ලබා ගන්නා ලෙස......

    ප්‍රේමය රාගයෙන් විතැන් වෙන්න පුළුවන් කියලා මම ඉගෙන ගත්තේ ලින්ඩාගෙන්...
    ඉතින් මට සමුගන්න වෙන්නේ පාසැලෙන් විතරක් නෙමේ ජීවිතෙන්.

    - Dhammika Samaratunga

    ReplyDelete
    Replies

    1. මනුස්සයෝ මෙහෙම තමයි
      කරුණාවට හරිම ලැදියි
      ඒත් අනුන්හට දෙන්නට
      සමහරු නම් හරි ලෝබයි

      Delete
  8. ඇත්තම කියනවනම් ටම්ප් එතරම් චන්ද ප්‍රමාණයක් ලැබීම තමයි පුදුමය. හැබැයි පුදුම වෙන්න දෙයක් නැත්තේ ට්‍රම්ප් ආවේ එස්ටබ්ලිෂ්මන්ට් එකට විරුද්ධ කෙනෙක් වශයෙන් (සාපේක්ෂව) . හරියට අපේ වාමාංශික සමාජවාදීන් කියනව වගේ, හැබැයි සිස්ටම් චේන්ජ් එකකට නෙමෙයි. බයිඩන් ගැන මගේ ලොකු සපෝර්ට් එකක් නැතිවුනත් මම හිතන්න ට්‍රම්පට් ට වඩා මේ අවස්ථාවේ හොඳයි බයිඩන් දිනපු එක. (මගේ අදහස ඔහු දිනන ලද බවයි) චන්ද ප්‍රශ්න තිබුනත් එතරම් බලපෑමක් තිබ්බ කියා හිතෙන්නේ නැහැ. අන්ත දක්ෂිනන්ශිකයෝ එක ලයින් එකක් පහු කෙරුවම අන්ත වාමාංශික යන්ට සම වෙනවා කියන එකයි මගේ අදහස.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: