වෙබ් ලිපිනය:

Saturday, November 7, 2020

ජෝ බයිඩන්- ඇමරිකාවේ මීළඟ ජනාධිපති


මේ වෙද්දී සියළුම ප්‍රධාන මාධ්‍ය විසින් ඔවුන්ගේ පුරෝකථන අනුව ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය තහවුරු කර තිබෙනවා. එක් එක් මාධ්‍ය ආයතනය විසින් ඔවුන්ගේ විශ්ලේෂණ අනුව මේ වන විට තහවුරු කර ඇති බයිඩන්ගේ නියෝජිතයින් ගණන 273, 279, 284, 290 ආදී ලෙස වෙනස් වුනත් එම ප්‍රමාණය 270 ඉක්මවන බවට පොදු එකඟත්වයක් ඇති වී අවසන්. රිපබ්ලිකන් පක්ෂය බලය හොබවන අපේ ප්‍රාන්තයේ ඩිමොක්‍රටික් පක්ෂයේ ලොක්කන්නම් ඔවුන්ගේ ජය සැමරුම් සාදය ඊටත් කලින්ම සංවිධානය කළා. කෙසේ වුවත්, ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තවමත් පරාජය භාර ගෙන නැහැ.

මාධ්‍ය ආයතන විසින් මේ වන තුරුත් උතුරු කැරොලයිනා, ජෝර්ජියා හා ඇලස්කා ප්‍රාන්ත කිසිදු අපේක්ෂයෙකුට ලියා දී නැහැ. ඇරිසෝනා හා නෙවාඩා වල තරඟය ඇතැම් මාධ්‍ය ආයතන වලට අනුව තීන්දු වී අවසන් වුවත් තවත් ඒවාට අනුව තවමත් විවෘතයි. අවසන් ප්‍රතිඵලය තීන්දු වීමට හේතු වූයේ පෙනිසිල්වේනියා ප්‍රතිඵලය පිළිබඳ විවිධ විශ්ලේෂකයින්ගේ පොදු අවසන් නිගමනයයි. එහෙත්, මා පෙර ලිපියේ විස්තර කළ පරිදි, මාධ්‍ය වල පෙන්වන්නේ අවසන් නිල ප්‍රතිඵල නෙමෙයි. කලින්ම අවසන් ප්‍රතිඵලය නිශ්චය කෙරුණු කැලිෆෝර්නියා ප්‍රාන්තයේත් තවමත් ගණන් කර අවසන්ව තිබෙන්නේ 82%ක පමණ ඡන්ද ප්‍රතිශතයක් පමණයි.

නිල ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම සඳහා ඇමරිකාවේ මැකෝ කෙනෙක් නැද්ද? සෙන්නා සහ තවත් අයෙක් මේ ප්‍රශ්නය අසා තිබුණා. පෙර ලිපියේ ප්‍රතිචාර කොටසේ ලියූ පරිදි, තනි මැකෝ කෙනෙක් අවශ්‍ය වෙන්න ඇමරිකාව කියා කියන්නේ ලංකාව වැනි ඒකීය රටක් නෙමෙයි. ජාතික මැතිවරණයක් කියා කිවුවත් මේ පැවැත්වුනේ ප්‍රාන්ත හා ප්‍රාදේශීය මැතිවරණ විශාල ප්‍රමාණයක්. එම මැතිවරණ පැවැත්වෙන්නේ අදාළ ප්‍රාන්ත වල නීති අනුව. හැම ප්‍රාන්තයකම මැකෝ කෙනෙක් (තනතුරේ නම කුමක් වුවත් නිසි බලධාරියෙක්) ඉන්නවා. ඔවුන්ට නිල ප්‍රතිඵල ලබා දෙන්න යම් නිශ්චිත දිනයක් තිබෙනවා. එය ප්‍රාන්තය අනුව වෙනස් වෙනවා.

උදාහරණයක් විදිහට දැනටත් ප්‍රතිඵල අවිනිශ්චිතව තිබෙන ජෝර්ජියා ප්‍රාන්තයේ නීතිය අනුව මැතිවරණ දිනට පසු දින සිට එළඹෙන දාහත්වන දින පස්වරු 5ට පෙර (මේ අවුරුද්දේනම් නොවැම්බර් 20) ප්‍රාන්ත ලේකම් විසින් මැතිවරණ ප්‍රතිඵල සහතික කර ප්‍රාන්ත අධිපති (ගවනර්) වෙත ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම නෙවාඩා ප්‍රාන්තයේ නීතිය අනුව ප්‍රතිඵල ලබා දිය යුත්තේ ඡන්දය පැවැත්වූ දිනයෙන් පසු එළඹෙන සිවුවන අඟහරුවාදා. මේ අවුරුද්දේනම් දෙසැම්බර් පළමුවැනිදා.

ලංකාවේ මෙන් ඇමරිකාවේ මැතිවරණය පැවැත්වුණු වහාම බල හුවමාරුවක් වෙන්නේ නැහැ. ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඇත්තම ඡන්දය තිබෙන්නේ ජනවාරි 6 වෙනිදා. ජනාධිපති දිවුරුම් දෙන්නේ ජනවාරි 20 දවල් 12ට. මේ හැම දෙයක්ම සිදු වෙන නිශ්චිත පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙළ හදා තිබෙන්නේ අවශ්‍ය වැඩේ හරියට කරන්න අවශ්‍ය වන කාල පරතර සහිතවයි.

උදාහරණයක් විදිහට මැද පෙරදිග හමුදා කඳවුරක සේවය කරන සෙබලෙකුගේ තැපැල් ඡන්ද පත්‍රිකාව ඇමරිකාවේ අදාළ ප්‍රාන්තයට හා ප්‍රාන්තයේ නිශ්චිත කවුන්ටියට එන්න සති කිහිපයක් ගත වෙනවා. එවැනි ඡන්ද වල ප්‍රතිඵලය එකතු කරන තුරු නිල ප්‍රතිඵල නිකුත් කිරීමේ හැකියාවක් නැහැ. මා කියන්නේ මේ අවුරුද්ද ගැන පමණක් නෙමෙයි. ඕනෑම අවුරුද්දක තත්ත්වය එයයි.

නමුත්, මාධ්‍ය වලට හා මාධ්‍ය ප්‍රේක්ෂකයින්ට ඒ තරම් කල් බලා ඉන්න බැහැ. ඔවුන්ට මැතිවරණ ප්‍රතිඵල දැනගන්න විශාල හදිස්සියක් තිබෙනවා. ඒ නිසා, සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ගණන් කර අවසන් වූ පසු ඔවුන් ඔවුන්ගේ ඇස්තමේන්තු අනුව ජයග්‍රාහකයින්ව නිවේදනය කරනවා. සාමාන්‍ය අවුරුද්දකදී පසු වී ලැබෙන ඡන්ද සුළු ප්‍රමාණයක් නිසා මේ ප්‍රතිඵලය සමස්තයක් ලෙස වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා, මාධ්‍ය ආයතනයකට ඔවුන්ගේ විශ්ලේෂන මත පදනම්ව අවසන් ප්‍රතිඵලය ඉතා ඉක්මණින් නිවේදනය කළ හැකියි. එහෙත්, 2000 වසරේදී ෆ්ලොරිඩා ප්‍රාන්තයේ සිදුවුනාක් මෙන්, අවසන් මැතිවරණ ප්‍රතිඵලය අවසන් ඡන්දය ගණන් කරන තුරුම අවිනිශ්චිත වන අවස්ථා තියෙන්න පුළුවන්. මෙවර ප්‍රාන්ත ගණනාවකම එවැනි තත්ත්වයක් ඇති වී තිබෙනවා.

ප්‍රධාන මාධ්‍ය ආයතන සියල්ලම ජයග්‍රාහකයා කවුද කියා ඇස්තමේන්තු කර නිවේදනය කළ පසු මිනිස්සු එය පිළි ගන්නවා. අපේක්ෂකයින් දෙදෙනාගෙන් එක් අයෙක් බොහෝ විට පරාජය පිළිගන්නවා. එයින් පසුව ජයග්‍රහකයා තමන්ගේ ජයග්‍රහණයේ කතාව පවත්වනවා. නමුත්, මේ කිසිවක් සිදු වන්නේ නිල වශයෙන් නෙමෙයි. නිල වශයෙන් ජනාධිපතිවරයා තේරෙන්නේ ජනවාරි මාසයේදී.

දැනට ප්‍රධාන මාධ්‍ය ආයතන විසින් අවසන් ප්‍රතිඵලය නිගමනය කර නැති ප්‍රාන්ත අතරින් ඇලස්කා ප්‍රාන්තය ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජයගනු ඇති බව ඩිමොක්‍රටික් පාක්ෂිකයින් පවා පොදුවේ පිළිගන්නා දෙයක්. මගේ ඇස්තමේන්තුව අනුව 95%කට වඩා වැඩි ඉඩක් තිබෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇලස්කා ප්‍රාන්තය ජය ගැනීමටයි. අවිනිශ්චිතතාවයක් තිබෙන්නේ ඉතා සුළු පරතරයක් තිබෙන ඉතිරි ප්‍රාන්ත පහ හා අදාළවයි.

ඇලස්කා නිල ප්‍රතිඵල (දැනට තත්ත්වය): https://www.elections.alaska.gov/results/20GENR/Map/

උතුරු කැරොලයිනා ප්‍රාන්තය තුළ මේ වන විට ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඡන්ද 76,515කින් ඉදිරියෙන් සිටිනවා. ගණන් කරන්නට ඉතිරි වී තිබෙන ඡන්ද ප්‍රමාණය 99,000කට වඩා අඩු ප්‍රමාණයක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා. ඒ අනුව, සෛද්ධාන්තිකව ජෝ බයිඩන්ට උතුරු කැරොලයිනාව ජය ගැනීමට තවමත් ඉඩක් තිබෙනවා. එහෙත්, ප්‍රායෝගිකව එම ඉඩ ඉතාම කුඩා ඉඩක්. 

ඉහත කී ඉතිරිව ඇති ඡන්ද ප්‍රමාණය යනු මේ වන තුරු ආපසු ලැබී නැති තැපැල් ඡන්දයි. මේ ඇතැම් තැපැල් ඡන්ද ලබාගත් අය තැපැල් ඡන්දය භාවිතා නොකර ඡන්ද මධ්‍යස්ථානකදී තමන්ගේ ඡන්දය දමා තිබෙන්නට පුළුවන්. තවත් අය ඡන්දය දමා නොතිබෙන්න පුළුවන්. තවත් අය ඡන්ද පත්‍රිකාව මැතිවරණ දිනයෙන් පසුව තැපැල් කර තිබෙන්නට පුළුවන්. 

මැතිවරණ දිනයේදී හෝ ඊට පෙර තැපැල් කර තැපැල් කන්තෝරු දින මුද්‍රාව වැදී පසුව ලැබෙන ඡන්ද ගණන් කර අවසන් කිරීම සඳහා කවුන්ටි මැතිවරණ මණ්ඩල වලට නොවැම්බර් 13 දක්වා කාලය හිමි වෙනවා. මැතිවරණ දින තැපැල් කරනු ලැබ, නොවැම්බර් 12 දින පස්වරු 5 දක්වා ලැබෙන උතුරු කැරොලයිනා ඡන්ද පත්‍රිකා වලංගු ඡන්ද සේ සැලකෙනවා. 

මෙසේ තැපෑලෙන් එන ඡන්ද සඳහා බලා සිටිය යුතු සහන කාලය පෙර මැතිවරණ වලදී දින තුනක් වුවත් ප්‍රාන්තයේ මැතිවරණ කොමිසම විසින් කෝවිඩ් වසංගතය නිසා එම කාලය දින නවයක් දක්වා දිගු කළා. මේ තීරණයට එරෙහිව රිපබ්ලිකන් පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට ගියත්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉහත තීරණය අනුමත කළා.  

මේ අනුව උතුරු කැරොලයිනා ප්‍රාන්තයේ අවසන් ප්‍රතිඵලය දැනගැනීම සඳහා ඉදිරි සතිය තුළ තැපෑලෙන් පැමිණීමට ඉඩ තිබෙන ඡන්ද පත්‍රිකා ගණන් කර අවසන් වන තුරු බලා ඉන්න වෙනවා. 

උතුරු කැරොලිනා මැතිවරණ මණ්ඩලය විසින් අවසන් වරට යාවත්කාලීන කර ප්‍රසිද්ධ කර තිබෙන නිල නොවන සමස්ත ප්‍රතිඵලය පහත සබැඳියෙන් බලා ගන්න පුළුවන්.

උතුරු කැරොලයිනා නිල ප්‍රතිඵල (දැනට තත්ත්වය): https://er.ncsbe.gov/?election_dt=11/03/2020&county_id=0&office=FED&contest=1373

ඉහත කී ලැබෙන්නට ඉඩ තිබෙන ඡන්ද වලින් සැලකිය යුතු ප්‍රමාණයක් නැවත ආපසු නොලැබෙනු ඇති බව හා එසේ ලැබෙන ඡන්ද පත්‍රිකා වලින් යම් කොටසක් වලංගු ඡන්ද නොවිය හැකි බව පැහැදිලි කරුණක්. අලුතෙන් එකතු වන සමස්ත ඡන්ද ප්‍රමාණය 76,515 ඉක්මවූවේ නැත්නම් ජෝ බයිඩන්ට කෙසේවත් උතුරු කැරොලයිනා ප්‍රාන්තය ජයගන්න බැහැ. ඒ සඳහා ඊට වඩා වැඩි වලංගු ඡන්ද ප්‍රමාණයක් අලුතෙන් එකතු විය යුතුයි. එහෙත්, එසේ අලුතෙන් එකතු වන ඡන්ද සියල්ලම ජෝ බයිඩන් විසින් ලබා ගනු ඇතැයි හිතන්න බැහැ. ඒ නිසා, මගේ ඇස්තමේන්තුව අනුව 90%කට වඩා වැඩි ඉඩක් තිබෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් උතුරු කැරොලිනා ප්‍රාන්තය ජය ගැනීමටයි. 

දැනට ඩොනල්ඩ් ට්‍රම්ප්ට ස්ථිර ලෙස හිමි වී ඇති සේ සැලකෙන නියෝජිතයින් ගණන 214ක් පමණයි. එම ගණනට ඇලස්කා හා උතුරු කැරොලයිනා නියෝජිතයින් එකතු කළොත් ට්‍රම්ප්ගේ නියෝජිතයින් ගණන 232 දක්වා ඉහළ යනවා. එසේ වුවත්, ඔහුට 270 සීමාවට යාම සඳහා තවත් නියෝජිතයින් 38 දෙනෙකුගේ අඩුවක් තිබෙනවා.

මේ වන විට ජෝර්ජියා ප්‍රාන්තය තුළ ජෝ බයිඩන් ඉදිරියෙන් සිටියත්, ඔහුගේ වැඩි ඡන්ද ප්‍රමාණය 7,248ක් පමණයි. තවමත් ගණන් කරන්නට ඉතිරි වී තිබෙන්නේ රටින් පිට සිට ඡන්දය භාවිතා කළ අයගේ හා හමුදා සේවයේ යෙදී සිටි 8,400 දෙනෙකුගේ ඡන්ද හා "ද්වීතියික ඡන්ද" 14,200ක් පමණයි. ද්වීතියික ඡන්ද සියල්ලම වලංගු ඡන්ද නෙමෙයි. හමුදා සාමාජිකයින්ගේ ඡන්ද වලින් වැඩි ප්‍රමාණයක් ට්‍රම්ප්ට ලැබෙන්නට ඉඩ තිබෙන නමුත් ද්වීතියික ඡන්ද අපේක්ෂකයින් දෙදෙනාගෙන් කාට වුනත් ලැබෙන්න පුළුවන්. පරතරය ඉතා අඩු වුවත්, මගේ ඇස්තමේන්තුව අනුව ඩොනල්ඩ් ට්‍රම්ප්ට මෙම පරතරය පියවා ගැනීමට මේ වන විට ඉතිරිව තිබෙන්නේ 20%කට වඩා අඩු ඉඩක්. 80%ක්ම ඉඩ තිබෙන්නේ ජෝර්ජියා ප්‍රාන්තය ජෝ බයිඩන්ට හිමි වීමටයි.

ජෝර්ජියා නිල ප්‍රතිඵල (දැනට තත්ත්වය): https://results.enr.clarityelections.com/GA/105369/web.264614/#/summary

ඇතැම් මාධ්‍ය ආයතන විසින් කළින්ම ජෝ බයිඩන්ට ලියා දුන් ඇරිසෝනා ප්‍රාන්තයේ ජෝ බයිඩන්ගේ වැඩි ඡන්ද ප්‍රමාණය මේ වන විට 20,573 දක්වා ක්‍රමයෙන් අඩු වී තිබෙන අතර තවත් ඡන්ද 92,000 දක්වා ප්‍රමාණයක් ගණන් කිරීමට තිබෙනවා. මේ ඡන්ද වලින් වැඩි ප්‍රමාණයක් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලැබී ඉහත පරතරය අඩු වෙන්නට ඉඩක් තිබුණත්, පරතරය පියැවී ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රාහකයා වෙන්නනම් අවම වශයෙන් ඉතිරි ඡන්ද වලින් 60%කට වඩා ඔහුට ලැබිය යුතුයි. මේ ඡන්ද ගණන් කිරීමට ඉතිරිව තිබෙන්නේ රිපබ්ලිකන් පක්ෂය ඉදිරියෙන් සිටින කවුන්ටි වල නිසා එය සිදු විය නොහැක්කක් නෙමෙයි. මගේ ඇස්තමේන්තුව අනුව තවමත් ඇරිසෝනා ප්‍රාන්තය ජයග්‍රහණය කිරීමේ ඉඩක් ට්‍රම්ප්ට ඉතිරිව තිබෙනවා. අපි කියමු 20%ක පමණ ඉඩක් කියා. 

ඇරිසෝනා නිල ප්‍රතිඵල (දැනට තත්ත්වය): https://results.arizona.vote/#/featured/18/0

නෙවාඩා ප්‍රාන්තය තුළ ජෝ බයිඩන් ඉදිරියෙන් සිටින්නේ වැඩි ඡන්ද 25,699කින් පමණක් වුවත්, මෙම පරතරය වැඩි වෙන්නට මිස අඩු වෙන්නට ඉඩක් මට පෙනෙන්නේ නැහැ. නෙවාඩා ප්‍රාන්තයේ තවත් ඡන්ද විශාල ප්‍රමාණයක් ගණන් කරන්නට ඉතිරි වී ඇතත් එම ඡන්ද ගණන් කර අවසන් වෙද්දී ජෝ බයිඩන්ගේ වැඩි ඡන්ද තවත් වැඩි වන්නට මිස අඩු වන්නට ඉඩක් නැහැ. මේ අනුව, සෛද්ධාන්තිකව ට්‍රම්ප්ට නෙවාඩා ප්‍රාන්තය ජයග්‍රහණය කළ හැකි වුවත් ප්‍රායෝගිකව ඒ සඳහා තිබෙන්නේ ඉතාම අඩු ඉඩක්. දැනට තිබෙන තොරතුරු මත පදනම්ව කෙරෙන මගේ ඇස්තමේන්තුව අනුව මේ ඉඩත් 20%කට වඩා අඩුයි.

නෙවාඩා නිල ප්‍රතිඵල (දැනට තත්ත්වය): https://silverstateelection.nv.gov/

ඇරිසෝනා, නෙවාඩා හා ජෝර්ජියා ප්‍රාන්ත ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජය ගැනීමට තිබෙන්නේ බොහෝ අඩු ඉඩක්. යම් හෙයකින් මේ ප්‍රාන්ත තුනම ඔහු ජය ගත්තත්, ඔහුගේ නියෝජිතයින් ගොඩට එකතු වන්නේ නියෝජිතයින් 33 දෙනෙකු පමණයි. එවිටද ඔහුගේ එකතුව 265ක් පමණයි. ජයග්‍රහණය සඳහා අවම වශයෙන් නියෝජිතයින් 270ක් අවශ්‍යයි.

නියෝජිතයින් 20 දෙනෙකු සිටින පෙනිසිල්වේනියාව දෙස බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබුණේ මේ හේතුව නිසයි. අවම වශයෙන් නියෝජිතයින් 253 දෙනෙකු හිමි කරගෙන සිටි බයිඩන්ගේ ගොඩට පෙනිසිල්වේනියා නියෝජිතයින් 20 එකතු වූ වහාම, ඉතිරි අවිනිශ්චිත ප්‍රාන්ත වල තත්ත්වය කෙසේ වුවත්, බයිඩන්ගේ ජයග්‍රහණය තහවුරු වෙනවා. ට්‍රම්ප්ට ජයග්‍රහණය සඳහා තිබෙන ඉඩකඩ ඇහිරෙනවා.

පෙනිසිල්වේනියා ප්‍රාන්තයේ ජයග්‍රහකයා ජෝ බයිඩන් බව මේ වෙද්දී සියලුම ප්‍රධාන ජනමාධ්‍ය විසින් තහවුරු කර තිබෙන අතර ඒ සමඟම ඩිමොක්‍රටික් පාක්ෂිකයින් විසින් ජයග්‍රහණය සමරමින් සිටිනවා. මේ වන විට පෙනිසිල්වේනියා ප්‍රාන්තය තුළ ජෝ බයිඩන්ගේ වැඩි ඡන්ද ප්‍රමාණය 34,458 දක්වා ඉහළ ගොස් තිබෙන අතර ගණන් කිරීමට ඉතිරිව තිබෙන්නේ තවත් ඡන්ද 76,498ක් පමණයි. මේ ඡන්ද තැපැල් ඡන්ද. මෙතෙක් රටාව අනුව තැපැල් ඡන්ද වලින් 75%ක් පමණම ලැබුනේ ජෝ බයිඩන්ට නිසා ඉතිරි ඡන්ද ගණන් කර අවසන් වෙද්දී මෙම වැඩි ඡන්ද ප්‍රමාණය 50,000 පමණ මට්ටමක් දක්වා තවත් ඉහළ යාමට ඉඩ තිබෙනවා. 

මේ වන විට පවතින තත්ත්වය අනුව, නීතිමය බාධාවක් ඇති නොවුනහොත්, පෙනිසිල්වේනියා ප්‍රාන්තයේ ජයග්‍රහණය ජෝ බයිඩන්ට හිමි වීමටත්, ඒ අනුව ඇමරිකාවේ මීළඟ ජනාධිපතිවරයා ජෝ බයිඩන් වීමටත් තිබෙන සම්භාවිතාව 100%ක් කියා සෛද්ධාන්තික හේතු මත කියන්න පුළුවන්කමක් නැතත් 99%කට වඩා වැඩි බව කියන්න පුළුවන්. එහෙත්, නඩු තීන්දු මත මේ තත්ත්වයේ වෙනසක් වෙන්න බැරිකමක් නැහැ.

පෙනිසිල්වේනියා ප්‍රාන්තයේ නිල ප්‍රතිඵල (දැනට තත්ත්වය): https://www.electionreturns.pa.gov/

දැන් තත්ත්වය අනුව පෙනෙන්නේ 306: 232 ලෙස නියෝජිතයින් බෙදීයාමට වැඩි ඉඩක් තිබෙන බවයි. ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය සමරන්න බලා සිටි අයට දැන් එය සැමරිය හැකියි. ට්‍රම්ප්ගේ ජයග්‍රහණය බලාගෙන සිටි අයට දැන් තිබෙන්නේ දුක සමරන්නයි. දෙගොල්ලන්ටම චියර්ස්!


9 comments:

  1. මෙහෙත් ඉන්නවා ජී.එල්.පීරිස් කෙනෙක්.ඒ තමයි Rudy Giuliani.

    ReplyDelete
  2. ඔබ ඇමරිකාවේ ජීවත් වන කෙනෙක් නිසා, ඇමරිකානුවන් මේ තෝරා ගැනීම වෙත පෙළඹුණේ ඇයිද කියන කාරණය ඇස් දෙකෙන් දකිනවා ඇති. අප දන්නේ තුන් වන පාර්ශ්වයක් කියන කාරණා පමණයි. එම නිසා ලිපියකින් හෝ ලිපි කිහිපයකින් ඔබට පුළුවන්ද ඇමෙරිකානු පුරවැසියන් මේ තීරණය වෙත එලැඹීමට හේතුව.

    ReplyDelete
    Replies
    1. මගේ අදහස් ඉදිරියේදී ලියන්නම්.

      Delete
    2. ඉකොනොමැට්ටාගේ පුරෝකතන මෙවරත් කලින් වගේම ජයග්‍රාහී 69 වතාවටත් වැරදි.

      මිනිහා, මිනිහගේ සංඛ්‍යාලේඛන විශ්ලේෂණ වලින් ඉදිරියේ මෙහෙම වෙයි කියලා මේකේ ලියනවා නං අපිට එකෙන් ගන්න දෙයක් තියෙනවා. ඒ තමයි මිනිහා කියන දේට හාත්පසින්ම විරුද්ධ දේ තමයි සැබෑ ලෝකේ වෙන්නේ කියන එක.

      මේ යකා මුගේ සංඛ්‍යාලේඛන විශ්ලේෂණ වලින් කියපුවා ටිකක් මේ.සජිත් දිනනවා කිව්වා, ගෝටාට ඇමරිකන් පුරවැසිකම ඉවත්කර ගන්න වෙන්නේ නැහැ කිව්වා. එජාපෙට පාර්ලි‌‌මේන්තුව තුල ආසන 6 ක් එනවා කිව්වා. පොහොට්ටුවට පාර්ලිමේන්තුවෙ තුනෙන් දෙකක් එන්නේ නැහැ කිව්වා. ට්‍රම්ප් දිනනවා කිව්වා. ලංකාවේ කෝවිඩ් පැතිරිලා මින්ස්සු දහස් ගානක් මැරෙයි කිව්වා.

      මේ ඔක්කොගෙම අනික් පැත්ත උනේ.
      දැන් ට්‍රම්ප් පැරදුනාම පස්සේ වෙන වෙන බයිලා කිය කියා ඉන්නවා.

      Delete
    3. //ඒ තමයි මිනිහා කියන දේට හාත්පසින්ම විරුද්ධ දේ තමයි සැබෑ ලෝකේ වෙන්නේ කියන එක.//

      ඇනෝට ඉදිරියේදීත් මම ලියන දේවල් ඉතා හොඳින් තේරුම් ගන්න හැකි වෙයි කියා මම හිතනවා.

      Delete
  3. ඇමරිකන් ධනවාදය මේ මොහොතේ බිඳ වැටෙමින් පවතී. ඇමරිකන් ධනවාදී සමාගම් කිහිපයකගේ උවමනාව මත අන්ත දුෂිත මැතිවරණ ක්‍රමයක් පවත්වාගෙන යන ඇමරිකන් ධනවාදය පරදවමු. රිපබ්ලිකන්වරුන්ගේ විමුක්ති සන්නද්ධ අරගලයට අපගේ කොන්දේසි විරහිත සහය ලබා දෙමු. හිරු නැගෙනා විට සන්නද්ධ අරගලයකින් ඇමරිකාවේ සමාජවාදය ගොඩනගමු.

    ReplyDelete
  4. අද්මිරාල් සඳගිරි, බත් ජූන්ඩිත්තක් වත් කමු බඩගිනි.

    ReplyDelete
  5. අහෝ, දැන් ඉතින් නැවතත් ඔරුමත්තුනාඩුවන්ගේ ධනය යොදවා බටහිර ක්‍රිස්තියානි ජාත්‍යන්තර සුපිරි ව්‍යුහය නඩත්තු කෙරෙනු ඇත.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: