වෙබ් ලිපිනය:

Sunday, January 11, 2026

දේශීය ඉතිරි කිරීම් සහ විදේශ ප්‍රාග්ධනය

කලින් සටහන පළ කළේ, කිහිප දෙනෙකු විසින්ම අහපු, "විභව ආර්ථික වර්ධන වේගය වැඩි කරගන්නේ කොහොමද?" කියන ප්‍රශ්නයට පිළිතුරක් ලෙසයි. නමුත් ලිපියේ පිළිතුරු දී තිබෙන්නේ "වැඩි කර ගන්නේ කොහොමද?" කියන  ප්‍රශ්නයට නෙමෙයි. "වැඩි වෙන්නේ කොහොමද?" කියන ප්‍රශ්නයටයි. "වැඩි කර ගන්නේ කොහොමද?" කියන එක දේශපාලනික කරුණක්. නමුත් ඒ දේශපාලනික ප්‍රශ්නයට පිළිතුරු හොයන්න පුළුවන් වෙන්නේ "වැඩි වෙන්නේ කොහොමද?" කියන එක ගැන අදහසක් ඇත්නම් පමණයි. 

මෙහිදී අප මේ සටහන් ලියද්දී වැඩි අවධානයක් යොමු කරන්නේ ලංකාව කෙරෙහි නිසා ලංකාවට අදාළ කර ගත නොහැකි දේවල් කතා කිරීමෙන් ඒ තරම් පලක් නැහැ. වත්මන් ලංකාවට දඬු මොණරයකින් ගිහින් පැය කිහිපයක් ඇතුළත වෙනත් රටක රාජ්‍ය නායකයෙක් පැහැර ගෙන එන්න බැහැ. අසල්වැසි රටක් රටේ ගුවන් සීමාව ආක්‍රමණය කරලා පරිප්පු දැම්මොත් කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒ වගේ රටකට ලෝකය කැරකෙන විදිහ බලලා කැරකෙනවා මිසක් ලෝකය කැරකෙන විදිහ වෙනස් කරන්න බැහැ. 

අනෙක් අතට ලංකාව කියන්නේ කුඩා නාගරික රාජ්‍යයක් හෝ විශාල ස්වභාවික සම්පත් ප්‍රමාණයක් තිබෙන රටකුත් නෙමෙයි. කවුරු කවදා කොහොම කිවුවත්, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් පමණක් රට ගොඩ දමන්න බැහැ. ලොකු ආර්ථිකයක් නැති, ලෝක බලවතෙකු නොවන පර්යන්තයේ පිහිටි රටක් වුනත්, ලංකාව කියන්නේ මිලියන 21කට වඩා වැඩි ජනගහණයක් ඉන්න රටක්. රටට ඉදිරියට යා හැක්කේ ඔය මිලියන 21ක ජනගහණය ඉදිරියට තල්ලු කරගෙනයි. ඒ නිසා ලෝක බලවතෙකුට කළ හැකි දේ වගේම කුඩා නාගරික රාජ්‍යයකට කළ හැකි දේවලුත් ලංකාවට කරන්න අමාරුයි.

ලෝකයේ රටවල් තිබෙන්නේ දෙසීයකට ආසන්න ප්‍රමාණයක්. මේ රටවල් දෙසීය එකිනෙකට වෙනස් රටවල්. ලංකාවට වෙනත් අයෙකු දෙස බලා වෙනස් වෙනවානම් එසේ බලන්න වෙන්නේ බොහෝ කරුණු අතින් ලංකාවට සමාන රටක් දෙසයි. මෑත කාලයේදී ලංකාවේ ආදායම් මට්ටමේ සිට වේගයෙන් දියුණු වූ, එසේ ලංකාව හා සමාන කළ හැකි රටවල් නැති තරම්. ලංකාව හා සමාන කළ නොහැකි වුවද, එසේ වේගයෙන් දියුණු වූ රටවල් වුනත් තිබෙන්නේ අතළොස්සක් පමණයි. ඒ නිසා, ලංකාවට එසේ බැලිය හැකි තනි රටවල් නැති තරම්.

ලංකාව හා සංසන්දනය කළ හැකි, වේගයෙන් දියුණු වූ තනි රටවල් නැත්නම්, ලංකාවට බලන්න වෙන්නේ එසේ වේගයෙන් දියුණු වූ රටවල් සහ අනෙකුත් රටවල් අතර වෙනස්කම් මොනවාද කියන එකයි. එවැනි වෙනස්කම් හඳුනාගත්තත්, සමහර දේවල් වෙනස් කරන්න බැරි දේවල්. උදාහරණයක් විදිහට රටේ පිහිටීමේ බලපෑමක් පෙනෙන්න තිබුණා කියලා රට වෙනත් තැනකට අරගෙන යන්න බැහැ. ඒ නිසා, අවධානය යොමු කිරීමට අවශ්‍ය වන්නේ වෙනස් කර ගත හැකි දේවල් කෙරෙහියි.

පෙර ලිපියෙහි කරුණු ඉදිරිපත් කළේ ඔය පදනම මත. එහි පෙන්වා දුන් විභව ආර්ථික වර්ධනය ඉහළ දමන පළමු කරුණ ලෝකයේ දියුණු රටවල් දෙස බලා ඵලදායීත්වය වැඩි කරගැනීම. මෙය දියුණුම රටවල් හැරුණු විට අනෙක් හැම රටකටම කළ හැකි දෙයක්. ඒ වගේම අඩු වැඩි වශයෙන් කරන දෙයක්. එහෙමත් නැත්නම් සිදු වන දෙයක්. ඒ නිසා, අතළොස්සක් හැර ලෝකයේ බොහොමයක් රටවල් වල ආර්ථිකයන් වසරින් වසර වර්ධනය වෙනවා වගේම දියුණු රටවල් වලට වඩා වැඩි වේගයකින් වර්ධනය වෙනවා. නමුත් ඒ රටවල් අතරින්, කෙටි කාලයක් ඇතුළත වර්ධන වේගය සැලකිය යුතු ලෙස වැඩි කරගෙන, වෙනම තලයකට ගිහින් තියෙන්නේ රටවල් අතළොස්සක් පමණයි.

විදේශ ප්‍රාග්ධනය ලබා ගැනීම නොකරන රටක් නැති තරම්. ඒ රටවල් වල ආර්ථිකයන් බොහොමයක් වසරින් වසර දියුණු වන බවත් පේනවා. ලංකාවත් මේ රටවල් අතර ඉන්නවා. නමුත් මේ රටවල් අතරින් කෙටි කාලයක් තුළ විශාල පිම්මක් පැනපු රටවල් ප්‍රමාණය අතළොස්සක් පමණයි. ඒ අනුව, පැහැදිලි වනු ඇත්තේ මේ පරිවර්තනයට හේතුව විදේශ ප්‍රාග්ධනය නොවන බවයි. 

ඔය විදිහට විශාල පිම්මක් පැනපු රටවල් සහ එසේ නැතුව ලංකාව වගේ සාමාන්‍ය වේගයකින් හෙමිහිට වර්ධනය වන රටවල් අතර හඳුනාගත හැකි ප්‍රධාන වෙනසක් වන්නේ එසේ දියුණු වූ රටවල දේශීය ඉතිරි කිරීම් අනුපාතය එක දිගට විශාල කාලයක් ඉහළ මට්ටමක තිබීමයි. අනෙකුත් රටවල එසේ සිදු වී නැහැ. මේ විදිහට දියුණු වූ රටවල් අතර චීනය වැනි විශාල රටවල් වගේම සිංගප්පූරුව වැනි කුඩා රටවල්ද තිබෙනවා. ඒ අනුව පැහැදිලි වන්නේ මේ වර්ධනයට දායක වී තිබෙන්නේ දේශීය ඉතිරි කිරීම් අනුපාතය මිස රටේ ප්‍රමාණය නොවන බවයි. 

පහත තිබෙන්නේ තෝරාගත් රටවල් කිහිපයක දේශීය ඉතිරි කිරීම් අනුපාත. විශේෂයෙන් සඳහන් කර නැත්නම් 2024 අගයයන්. 

අයර්ලන්තය - 60.5%

සිංගප්පූරුව - 57.9%

බහරේන් - 46%

කටාර් (2022) - 67.6%

චීනය - 43.4%

ඕමාන් - 42.1%

එක්සත් අරාබි එමීර් රාජ්‍යය (2023) - 42.9%

වියට්නාමය - 37.2%

ඉන්දුනීසියාව - 36.9%

දකුණු කොරියාව - 34%

ඉන්දියාව - 28.6%

ලංකාව - 24.3%

බංග්ලා දේශය - 24.0%

ආජන්ටිනාව - 18.4%

ග්‍රීසිය - 12.7%

වෙනිසියුලාව - 12.5%

පකිස්ථානය - 6.4%

නේපාලය - 6.2%

රටක දේශීය ඉතිරි කිරීම් අනුපාතය ඉහළ මට්ටමක තිබේනම්, ඒ රටට විදේශ ප්‍රාග්ධනය නොමැතිව රට තුළ විශාල ලෙස ආයෝජන කළ හැකියි. දේශීය ඉතිරි කිරීම් අනුපාතය ඉහළ බොහොමයක් රටවල් රට තුළ  විශාල ආයෝජන කරනවා පමණක් නොව, රටින් පිටතද තමන්ගේ ඉතිරි කිරීම් ආයෝජනය කරනවා.

පහත තිබෙන්නේ පසුගිය වසර වල සිංගප්පූරුවට ආ ශුද්ධ විදේශ ප්‍රාග්ධනය (මූල්‍ය හා ප්‍රාග්ධන ගිණුමේ ශුද්ධ ශේෂය). වරහන් ඇතුළේ තිබෙන්නේ සෘණ ගණන්.

2024 - S$ Bn (88.1)

2023 - S$ Bn (39.4)

2022 - S$ Bn (288.7)

2021 - S$ Bn (27.9)

2020 - S$ Bn 17.6

2019 - S$ Bn (92.7)

2018 - S$ Bn (61.3)

2017 - S$ Bn (47.3)

2016 - S$ Bn (81.7)

2015 - S$ Bn (72.1)

ඒ කියන්නේ ශුද්ධ වශයෙන් විදේශ ප්‍රාග්ධනය රටෙන් එළියට ගිහින් කියන එක. 1994 සිට පසු ගිය වසර 31ක කාලය තුළ, 2020දී හැර, අනෙක් සියලුම වර්ෂ වලදී සිදු වී තිබෙන්නේ සිංගප්පූරුවට එන විදේශ ප්‍රාග්ධනයට වඩා වැඩියෙන් සිංගප්පූරුවේ ප්‍රාග්ධනය රටින් එළියට යන එකයි.


මෙයින් අදහස් වන්නේ සිංගප්පූරුවට විදේශ ප්‍රාග්ධනය පැමිණ නැති බව නෙමෙයි. 2024 වසර සැලකුවොත්, සිංගප්පූරු ඩොලර් බිලියන 203.0ක සෘජු විදේශ ආයෝජන රටට පැමිණ තිබෙනවා. එහෙත් ආයෝජන ලෙස සිංගප්පූරුවේ සිට රටින් පිටතට ගොස් ඇති මුදල ඊට වඩා සිංගප්පූරු ඩොලර් බිලියන 88.1කින් වැඩියි.

ඕනෑම රටකට විදේශ ආයෝජන ලැබෙන එකේ වාසි ගණනාවක්ම තිබෙනවා. විශේෂයෙන්ම සෘජු විදේශ ආයෝජන වල. ප්‍රධානම වාසිය සෘජු විදේශ ආයෝජනත් එක්ක රටේ දැනට නැති තාක්ෂනය රටට එන එක. සෘජු විදේශ ආයෝජන ලැබෙන එක වුනත්, විදේශ විණිමය ප්‍රභවයක් ලෙස සැලකුවොත් අමතර ප්‍රශ්න ගණනාවක් ඇති වෙනවා. 

රටකට විදේශ ප්‍රාග්ධනය එනවා කියන්නේ ඒ රටේ මුදල් ඒකකය අධිප්‍රමාණය වෙනවා කියන එක. විදේශ ප්‍රාග්ධනය එන රටකට වඩාත්ම වාසිදායක ආකාරය වන සෘජු විදේශ ආයෝජන සැලකුවත්, ඒ එක්ක මුදල් ඒකකය අධිප්‍රමාණය වීමේ අවාසිය තිබෙනවා. මුදල් ඒකකය අධිප්‍රමාණය වූ විට රට ඇතුළේ ආනයනික භාණ්ඩ ලාබ වෙනවා. පරිභෝජනය ඉහළ යනවා. ඉතිරි කිරීම් අඩු වෙනවා. දේශීය නිෂ්පාදකයින්ට ආනයන එක්ක තරඟ කරන්න බැරි වෙනවා. අවසාන වශයෙන් රටේ නිෂ්පාදිතය සීමා වෙලා සෘජු විදේශ ආයෝජන ලෙස පැමිණි විදේශ විණිමය ටික ආනයන විදිහට රටින් එළියට යනවා. 

ප්‍රශ්නය වඩා දරුණු වෙන්නේ විදේශ ණය සහ අනෙකුත් මූල්‍ය ආයෝජන විදිහට විදේශ ප්‍රාග්ධනය රටට එද්දී. මේ විදියට එන විදේශ ප්‍රාග්ධනය යම් නිශ්චිත කාලයකට පසුව අනිවාර්යයෙන්ම රටෙන් ආපසු යනවා. ඒ යන්නේ කලින් මුදල් ඒකකය අධිප්‍රමාණය වීමේ වාසිය පොලියත් එක්ක ආපහු අරගෙන. ඊට අමතරව රටේ නිෂ්පාදිතයත් කඩා දමලා. වැඩේ කෙළවර වෙන්නේ ආයෝජන තියා ණය විදිහටවත් විදේශ ප්‍රාග්ධනය එකතු කරගන්න බැරි තැනකට වැටිලා. ලංකාවට වුනෙත් ඕක.

ගොඩක් රටවල් මේ උගුලේ පැටලී හිටියත් සිංගප්පූරුව, චීනය, දකුණු කොරියාව වගේ මේ උගුලේ පැටලුනේ නැති රටවලුත් තිබෙනවා. ඒ රටවල් විදේශ ප්‍රාග්ධනය ඇවිත් තමන්ගේ මුදල් ඒකකය අධිප්‍රමාණය වෙන්න ඉඩ දෙන්නේ නැහැ. එයින් ඇත්තටම වෙන්නේ ආර්ථිකය ශක්තිමත් වීමක් නොවන බව ඒ රටවල් තේරුම් අරගෙන තිබෙනවා. ඒ නිසා, මේ රටවල් කරන්නේ රටට එන විදේශ ප්‍රාග්ධනය වෙළඳපොලෙන් ඉවත් කරගෙන මුදල් ඒකකය අවප්‍රමාණය වෙන්න අරින එක.

මුදල් ඒකකය අවප්‍රමාණය වෙද්දී ආනයන මිල අධික වෙනවා. ඒ නිසා ආනයන ඉල්ලුම අඩු වෙනවා. රටේ නිෂ්පාදනය ඉහළ යනවා. පරිභෝජනය අඩු වෙනවා. දේශීය ඉතිරි කිරීම් ඉහළ යනවා. ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙනවා. ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙන නිසා තව තවත් විදේශ ප්‍රාග්ධනය ගලාගෙන එනවා. ඉතිරි කිරීම් තවත් ඉහළ යනවා. රටට රටින් පිටට වැඩි වැඩියෙන් ප්‍රාග්ධනය යවන්න පුළුවන් වෙනවා.

පසුගිය වසරේ චීනයේ සිට ඩොලර් බිලියන 434.0ක් ප්‍රාග්ධනය විදිහට ශුද්ධ වශයෙන් එළියට ගිහින් තිබෙනවා. සිංගප්පූරුව වගේම චීනයත් වැඩි වැඩියෙන් ආයෝජන කරන්නේ රටේ දේශීය ඉතිරි කිරීම් වලින් මිසක් විදේශ ප්‍රාග්ධනය අරගෙන නෙමෙයි. අනෙක් බොහොමයක් රටවල් වලට වඩා වේගයෙන් ආර්ථිකය වර්ධනය කරගෙන තිබෙන අතළොස්සක් රටවලට පොදු විශේෂ ලක්ෂණයක් වන්නේ විදේශ ප්‍රාග්ධනය මත යැපෙන්නේ නැතිව, පරිභෝජනය සීමා කර, දේශීය ඉතිරි කිරීම අනුපාතය ඉහළ මට්ටමක තබා ගෙන සිටීමයි. 

සිංගප්පූරුව මේ වෙද්දී ලෝකයේ ධනවත්ම රටක්. චීනය ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය. ඒ වගේ රටකට ඉතිරි කිරීම් අනුපාතය උඩින් තියාගෙන ඉන්න පුළුවන් වුනත් ලංකාවට එහෙම කරන්න බැහැ කියලා කෙනෙකුට කියන්න පුළුවන්. නමුත් ඔය රටවල් ඔය වැඩේ කළේ අද ඊයෙක නෙමෙයි. මෙය ආදායම් මට්ටම ඉහළ යන්න කලින්ම කළ වැඩක්. ආදායම් මට්ටම වේගයෙන් ඉහළ ගියේ ඒ නිසා. ලංකාවට ආසන්න ඒක පුද්ගල ආදායමක් ඇති රටක් වන වියට්නාමයත් මේ වෙද්දී ඉතිරි කිරීමේ අනුපාතය විශාල ලෙස ඉහළ දමාගෙන තිබෙනවා. ඉදිරි වසර විස්සක කාලය ඇතුළත එහි ප්‍රතිඵල දකින්න හැකි වෙයි. 

4 comments:

  1. කුම්මැහි කමේ සල්ලි පොට්ටනි ගහලා වැඩක් නෑ ඉකොනො.

    ඉන්න ටිකේ කාලා බීලා බඩු ගහලා ආතල් එකේ ඉන්නවා ඇරෙන්න

    ReplyDelete
  2. ඉකොනොමැට්ටා

    ඇත්තටම ඔයාගේ මෙම බ්ලොග් සටහනේ මූලිකම වැරැද්ද වන්නේ සෘජු විදේශ ආයෝජන (FDI) සහ විදේශ ණය එකම මල්ලකට දමා විග්‍රහ කිරීමයි.

    නමුත් විද්‍යාත්මක සත්‍යය නම් විදේශ ණය යනු පොලියත් සමඟ අනිවාර්යයෙන්ම ආපසු ගෙවිය යුතු බරකි. නමුත් සෘජු විදේශ ආයෝජන (FDI) යනු ව්‍යාපාරික අවදානම ආයෝජකයා විසින් දරනු ලබන ප්‍රාග්ධනයකි.

    ​උදා: චීනය 1978 'විවෘත කිරීමේ' ප්‍රතිපත්තියෙන් පසු ලොව වේගවත්ම වර්ධනයක් ලැබුවේ FDI මගිනි. ඔවුන් ප්‍රාග්ධනයට වඩා වැදගත් කොට සැලකුවේ එමගින් ලැබුණු තාක්ෂණය සහ කළමනාකරණ පළපුරුද්දයි. FDI උගුලක් නම්, චීනය අද ලොව දෙවන ආර්ථික බලවතා විය නොහැක.

    ​2. මුදල් ඒකකය අධිප්‍රමාණය වීම සහ 'ලන්දේසි ලෙඩේ' (Dutch Disease)

    ​සෘජු විදේශ ආයෝජන එන විට මුදල් ඒකකය අධිප්‍රමාණය වී දේශීය නිෂ්පාදන විනාශ වන බවට කරන තර්කය අර්ධ සත්‍යයකි.
    ​විද්‍යාත්මක සත්‍යය නම් ආයෝජන ගලා එන විට මුදල් ඒකකයේ අගය ඉහළ යාමේ ප්‍රවණතාවක් ඇති නමුත් දියුණු රටවල් මෙය පාලනය කළේ මුදල් අවප්‍රමාණය කිරීමෙන් පමණක් නොවේ. ඔවුන් එම ආයෝජන යොදාගෙන නිෂ්පාදන කාර්යක්ෂමතාව (Productivity) ඉහළ නැංවීය.

    වියට්නාමය සහ තායිලන්තය වැනි රටවල් කළේ මුදල් ඒකකය කෘතිමව පහත හෙළාගෙන සිටීම නොව, විදේශ ආයෝජන හරහා තම අපනයන භාණ්ඩවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමයි. එවිට මුදල් ඒකකයේ අගය සුළු වශයෙන් ඉහළ ගියත්, ලෝක වෙළඳපොළේ ඔවුන්ගේ භාණ්ඩවලට ඇති ඉල්ලුම අඩු වූයේ නැත.

    ​3. දේශීය ඉතිරි කිරීම් සහ විදේශ ආයෝජන අතර සැබෑ සම්බන්ධය
    ​සටහන පවසන්නේ සිංගප්පූරුව සහ චීනය දියුණු වූයේ විදේශ ප්‍රාග්ධනය මත යැපෙන්නේ නැතිව දේශීය ඉතිරි කිරීම් වලින් පමණක් බවයි. මෙය සම්පූර්ණ අසත්‍යයකි.

    සිංගප්පූරුවේ ආකෘතිය

    සැබැව සිංගප්පූරුව යනු ලොව FDI මත වැඩිම විශ්වාසය තැබූ රටකි. ලී ක්වාන් යූ (Lee Kuan Yew) ප්‍රකාශ කර ඇත්තේ සිංගප්පූරුවට ස්වභාවික සම්පත් නැති බැවින් ඔවුන්ගේ එකම ගැලවුම්කරුවා බහුජාතික සමාගම් සහ ඔවුන්ගේ ආයෝජන බවයි.

    ​දත්ත: සිංගප්පූරුවේ දේශීය ඉතිරි කිරීම් ඉහළ ගියේ ආයෝජන පැමිණ ජනතාවගේ ආදායම ඉහළ ගිය පසුවයි. මුලින්ම පරිභෝජනය සීමා කර ඉතිරි කිරීමෙන් රටක් දියුණු කළ නොහැක; මන්ද ජනතාවට ඉතිරි කිරීමට නම් ප්‍රමාණවත් ආදායමක් තිබිය යුතුය.

    ​4. චීනයෙන් ප්‍රාග්ධනය පිටතට යාම (Capital Outflow) මෙම බ්ලොග් සටහනේ සඳහන් වන පරිදි චීනයෙන් ඩොලර් බිලියන ගණනින් මුදල් පිටතට යන්නේ ඔවුන්ට විදේශ ආයෝජන එපා නිසා නොවේ.

    ​සැබෑ හේතුව චීනය දැන් 'පරිණත' ආර්ථිකයකි. ඔවුන් දැන් අනෙකුත් රටවල (උදා: වෙනත් ආසියානු අප්‍රිකානු සහ දකුණු ඇමරිකා රටවල) ආයෝජනය කරයි. මෙය ආර්ථික ශක්තිමත්භාවයේ ලක්ෂණයක් මිස විදේශ ආයෝජන ප්‍රතික්ෂේප කිරීමක් නොවේ. චීනය අදටත් ලොව වැඩිම FDI ආකර්ෂණය කරගන්නා රටවල් 3 අතර සිටී.

    ​5. ලංකාවට වැරදුණු තැන
    ​ලංකාවට වැරදුණේ සෘජු විදේශ ආයෝජන (FDI) නිසා නොව, ඒ වෙනුවට 2015 -2019 කාලයේ අධික පොලියට කෙටි කාලීන ISB විදේශ ණය (Commercial Loans) අධික ලෙස ලබාගෙන ඒවා නිෂ්පාදනයක් නොවන තෙල් මිල ගෑස්මිල අඩුවෙන් තබාගෙන ලාබ පරිභෝජනය සහ සහනාධාර ලබාදීමසඳහා යෙදවීම නිසාය.

    සෘජු විදේශ ආයෝජන (FDI) රටකට පැමිණෙන විට ඒවා යෙදවෙන්නේ කර්මාන්තශාලා, හෝටල් හෝ සේවා මධ්‍යස්ථාන සඳහාය. ඒවා රටින් රැගෙන යා නොහැක.

    ඉකොනොමැට්ටා මෙම පෝස්ට් එකෙන් යල්පැනගිය ආර්ථික විද්‍යාවේ 'සංවෘත ආර්ථික මානසිකත්වය' ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරයි.

    ​මුදල් අවප්‍රමාණය කිරීම පමණක් විසඳුම නොවේ

    මොකද එසේ නම් ලංකාව අතීතයේ මුදල් අවප්‍රමාණය කර තිබෙන හැටියට ලංකාව අද ලොව දියුණුම රට විය යුතුය (මන්ද ලංකා රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වී ඇති බැවිනි).

    ​සැබෑ දියුණුවේ රහස නම් විදේශ ආයෝජන මගින් තාක්ෂණය ලබා ගැනීම, දේශීය ශ්‍රමිකයාගේ කුසලතා වර්ධනය කිරීම සහ ලෝක වෙළඳපොළ සමඟ බද්ධ වීමයි.

    ReplyDelete
  3. ආණ්ඩුවට වාතයක් ගියත් සුවඳයි කියන ඩෝබින් හැර රට ගැන කැක්කුමක් ඇති මිනිසුන්ට මෙම දැනුවත් කිරීම වැදගත් වනු ඇත.

    මෙහි ඇති තාක්ෂණික කාරනා පිළිඹඳ හෝ වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් කොමන්ට් කරන්න.
    .............

    බඩ මුදලාලි යනු අපේ රටේ විදිහට හොරෙකි. ටෙලි නාට්‍යයක හෝ චිත්‍රපටි චරිතයක් ගතහොත් හොරෙක් හෝ ගිනි පොලී කාරයෙක් හෝ එවැනි නරක චරිතයක් ආරූඩ කර ඇත්තේම මුදලාලි කෙනෙකුටය. එනම් කඩයක් දමා මුදල් හම්බ කිරීමේ සිට මහා පරිමාණ ව්‍යවසායකයා දක්වා සියළුම මිනිසුන් හොරුන් බව අපේ රටේ බොහෝ මිනිසුන් සිතති.

    එහෙත් ඒ මිනිසුන් ළඟ රස්සාව කිරීම හොඳවී එම ව්‍යාපාරය කිරීම නරක් වීම ලොකුම විහිළුවය.

    මේ රජය බලයට පැමිණීමෙන් පසු සිදු වූයේ එම ආකල්පය දෙගුණ තෙගුණ වී වැඩි වීමය. එනම් ටෙලිනාට්‍ය වලින් පැලකල එම ආකල්පය මේ ආණ්ඩුව නිත්‍යානුකුල තත්වයක් දක්වා ගෙන ගොස් ඇත.

    මේ ආණ්ඩුවේ ආකල්පය නම් පුද්ගලික අංශයේ ව්‍යවසායකයින් මේ රටට ඕනෑම නැත. උන් සියල්ල මේ රටේ හතුරන්ය. මේ කියන දෙය කවුරුන්හෝ ප්‍රතික්ෂේප කරන්නේ නම් මෙම ලිපිය අවසානය දක්වා කියවන්න.

    දවසේ බොහෝ වෙලාවක් ජංගම දුරකථන පරිහරණය කරණ ළමයින්ට, පාසල් පොතේ වෙබ් පිටු මුද්‍රණය කර පෙන්වූ මේ ආණ්ඩුවෙන් මීට වඩා වැඩි යමක් බලාපොරොත්තු වීමද මුලාවකි. එහෙත් මේ මෝඩ තකතීරු ප්‍රතිපත්ති නිසා අනාගතයේ මේ රට වැටෙන තැන ගැන ඇත්තටම අප හට ඇත්තේ විශාල දුකකි.

    ඔබගේ වහලය මත සෝලා පැනල් එකක් සවිකර විදුලිබල මණ්ඩලය ඔබට මාසිකව යම් මුදලක් ගෙවනවානම් මේ ආණ්ඩුවේ අලුත්ම සතුරා ඔබය. එනම් ඉතාම සරලව මෙය පැහැදිලි කරනවා නම්?

    මේ රජය සංශෝධනය කල නවතම විදුලිබල පනතට අනුව ඔබ නිවසේ සෝලා ජනනයක් ඇත්නම් ඔබ වැටෙන්නේ ලොකු අමාරුවකටය.

    දැන් පවතින ආකාරයට විදුලිබල මණ්ඩලය සෝලා විදුලිය සඳහා ගෙවනු ලබන්නේ ජනනය කරන යුනිට් ප්‍රමාණයෙන් පාවිච්චි කරන යුනිට් ප්‍රමාණය අඩු කර ඉතිරි වන ඒකක ප්‍රමානයටය. එය රැ 22 හෝ රැ 37 හෝ ගිවිසුම මත වෙනස් වේ.

    එහෙත් මෙම පනත ක්‍රියාත්මක වීමෙන් පසුව රාත්‍රියේදී නැත්නම් කාර්ය බහුල අවස්ථාවලදී ඔබ ගෙවන මිල සාමාන්‍ය පාරිභෝගිකයකු ගෙවන මිලට සමාන වනු ඇත. එනම් ඔබ වහලය මත සෝලා පැනල සවි කර විදුලි බිලක්ද ගෙවිය යුතුය, එනම් ඔබගේ පරිභෝජනයට වැයවෙන මුදල, ජනනයෙන් ඔබට ලැබෙන මුදලට වඩා වැඩි වනු ඇත.

    ReplyDelete
    Replies
    1. ලෝකයේ වැඩිපුරම යුද්ධ ඇතිවන්නේ බලශක්තියේ පංගු පේරුවටය. මෑතකදී ජපන් ආර්ථිකයද පසු කර ගිය ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදිගේ රටේ බලශක්තිය ඉහල දැමීමේ තේමාව "ස්වයං ශක්ති" ය . මුළු ලෝකයේම සියළු රටවල් අද දිනයේ උත්සාහ ගන්නේ බලශක්තියෙන් ස්වයංපෝෂිත වීමය. ඔවුන් හැමෝටම ඒ සඳහා අනාගත දැක්මක් ඇත. එක රටක දැක්ම අනික් රටට වඩා වෙනස්ය හේතුව ඔවුන්ට ඇති බලශක්ති ප්‍රභවය වෙනස් නිසාය. නොඑසේ නම් ඒ සඳහා ගන්නා උපායමාර්ගය වෙනස් නිසාය.

      මේ මෝඩ තකතීරු ආණ්ඩුව කරන්නේ එහි අනික් පැත්තය. මේ වනවිට වහලවල් මත ඉදිකළ සෝලා වලින් උපයන විදුලිය නිසා රටට මසකට ඉතිරිවන ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන සියය ඉක්මවයි. එනම් හිරු එලිය අපේ රටට ලැබෙන්නේ නොමිලේය. නොමිලේ ලැබෙන මේ මහා බලශක්ති ප්‍රභවය නිසාම පසුගිය රජයන් කලේ, ඒකකයට ගෙවන මිල වැඩි කර සහ නොයෙකුත් සහන ණය ලබා දෙමින් ව්‍යවසායකයින් උනන්දු කරමින් දිරිගැන්වීමය. එම දිරිගැන්වීමේ සාර්ථකත්වය කෙසේදයත් මේ වනවිට ජනනය වන සමස්ථ සෝලා විදුලිය 2000MW පමණ වන අතර සමහර දිනවල දිවා කල රටේ විදුලිබල අවශ්‍යතාවයෙන් 25% ඉක්මවයි. එසේ වුයේ ඒ සෑම රජයකටම අනාගතයේ පුනර්ජනනීය බලශක්තිය දැක්මක් තිබුණ බැවිනි.

      මේ මෝඩ රජයට සෝලා වහල මත සවිකර ඇති සියළු ජනතාව බඩ මුදලාලිලා ලෙස පෙනේ. අනාගත දැක්මක් හෝ ගන්න සසරක් නැති මෙවැනි මෙවන් රජයන් බලයට පත්වුයේ ලංකාවේ මිනිසුන්ගේ කරුමයකටය.

      මේ ආණ්ඩුවේ අළුත්ම තර්කය දිවා කාලයේ සෝලා විදුලිය අපතේ යන බවය. අපතේ යනවානම් කලයුත්තේ කුමක්ද ?

      එසේ නම් එය ගබඩා කල යුතුය. ගබඩා කිරීමට නම් බැටරි අවශ්‍යය. 5kw වහල මත සවි කල කුඩා සෝලා බලාගාරයකට ලක්ෂ හතක පමණ බැටරි වියදමක් යයි. එහි සියලු බදු ඉවත්කලවිට (බදු වල එකතුව 45%) වියදම ලක්ෂ හතරක් පමණ වනු ඇත. මේ ලක්ෂ හතරෙන් හරි අඩක සහනදාරයක් සෝලා හිමියන්ට ලබා දී ඒ සියළු නිවෙස් බැටරි බලයෙන් බලගැන්වුවා නම්, එය කාර්ය බහුල අවස්ථාවන්හිදී වසර දෙකක් ඉන්දන සඳහා රජය වියදම් කරන මුදල හා සමාන මුදලක් වනු ඇත. බැටරි වලට වසර දහයක් හෝ ඊට වැඩි වගකීම් කාලයක් ඇත. එවිට වසර ගණනක් රටට විදුලිය උත්පාදනය සඳහා වන තෙල් ආනයනය ඉතාම අවම වී මිලියන ගණනක් රටට ඉතුරු වනු ඇත.

      ඉන් ඇතිවෙන වෙනත් වාසි

      එවිට නිවසක විදුලිය විසන්දි වන්නේ තම නිවසේ කාර්මික දෝෂයක් ඇතිවුවහොත් පමණි. අද දිනයේ දියුණු තාක්ෂණික මෙවලම් නිසා එය සිදුවීමේ ප්‍රවනතාවය අවමය. එහෙත් ඔබ දිගටම රජයේ විදුලිබල සම්බන්දතාවය තබා ගැනීමට අවශ්‍ය නම් සුළු වාරික මුදලක් ගෙවමින් එයද කල හැක.

      රජයට එම නිවසට විදුලිය ලබාදීමේ වගකීමෙන් නිදහස් වීමෙන් ඒ සඳහා දරන්නට වන සේවක සහ අනෙකුත් පිරිවැය නැති වනු ඇත.

      නිවසේදීම බැටරියක් තිබෙන විට, නිපදවන විදුලිය එතැනම ගබඩා වී එතැනම (ඒ ප්‍රදේශයේම) පරිභෝජනය වේ. එවිට රජයේ රැහැන් පද්ධතිය හරහා විදුලිය එහා මෙහා ගෙන යාම අඩු වන නිසා පද්ධති හානිය (System Loss) විශාල ලෙස අඩු වේ.

      රාත්‍රී කාලයේදී (Peak hours) සියලු දෙනා විදුලිය භාවිතා කරන විට ට්‍රාන්ස්ෆෝමර් අධික ලෙස රත් වේ. පාරිභෝගිකයන් තම බැටරි වලින් විදුලිය ලබා ගන්නේ නම්, එම කාලයේදී ට්‍රාන්ස්ෆෝමර් මත ඇති බර අඩු වන බැවින් ඒවායේ ආයු කාලය වැඩි වේ.

      රජය රුපියල් බිලියන ගණනක් වැය කර එක තැනක බැටරි පද්ධතියක් ඉදි කළහොත්, එහි ඇති වන තාක්ෂණික දෝෂයකින් මුළු පද්ධතියටම බලපෑම් එල්ල විය හැකිය . නමුත් බැටරි යොදා එය විමධ්‍යගත කල විට එසේ නොවේ.

      ඔලුවක් ඇති මිනිසුන් මේ රජයේ සිටී නම් ඔයවැනි යෝජනා භුමියේ ක්‍රියාත්මක කරනු ඇත.

      මෙම නව විදුලිබල පනතට අනුව දැනට යුනිට් 60ට වඩා අඩුවෙන් පාවිච්චි කරන එනම් ලංකාවේ ජනගහනයෙන් 50%කගේ පමණ මිනිසුන්ගේ විදුලි බිල තුන් ගුණයකින් වැඩි වනු ඇති අතර යුනිට් 500ක් පමණ පාවිච්චි කරන මිනිසුන්ගේ බිල 50% අඩුවනු ඇත.

      මේ කයිය ගසා පැමිණි ජනතාවාදී, සමාජවාදී ආණ්ඩුවේ වැඩයි.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: