පසුගිය (2025) වසර තුළ ශ්‍රී ලංකාවේ ජංගම ගිණුමෙහි ඩොලර් මිලියන 1,733.4ක අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. මේ අනුව, එක දිගට වසර තුනක්ම ශ්‍රී ලංකාවේ ජංගම ගිණුමෙහි අතිරික්තයක් වාර්තා වෙනවා.
1956 වසරෙන් පසුව, පසුගිය ආර්ථික අර්බුදය ඇති වන තුරු, ශ්‍රී ලංකාවේ ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වූයේ දෙවසරකදී පමණයි. අනෙක් හැම වසරකදීම දැකගත හැකි වූයේ ජංගම ගිණුම් හිඟයක්.
ජංගම ගිණුමේ හිඟයක් ඇති විට එම හිඟය පියවෙන්නේ රටට පැමිණෙන විදේශ ප්‍රාග්ධනයෙන්. මේ විදේශ ප්රාග්ධනය බොහෝ විට විදේශ ණයයි. විදේශ ණය ප්‍රමාණය ඉහළ යන තරමට ඒ වෙනුවෙන් වාර්ෂිකව ගෙවිය යුතු පොලී වියදමද ජංගම ගිණුමට බරක් වී ජංගම ගිණුමේ හිඟය තවත් ඉහළ දමනවා.
ජංගම ගිණුමේ හිඟයක් යන්නෙන් අදහස් වන්නේ උපයන විදේශ විණිමය ප්‍රමාණය ඉක්මවා විදේශ විණිමය වැය කරනවා කියන එකයි. ඒ අනුව, ජංගම ගිණුමේ අතිරික්තයකින් පෙන්නුම් කරන්නේ ඉපැයූ විදේශ විණිමය වැය නොකර ඉතිරි කර ගැනීමක්.
කාලයක් ප්‍රචලිත කර තිබුණු අදහසක් වූයේ ලංකාවේ ජංගම ගිණුමේ හිඟයක් "පවතින" නිසා එම හිඟය පියවා ගැනීම සඳහා විදේශ ණය ගන්නට සිදු වන බවයි. අප විසින් පසුගිය කාලයේ දිගින් දිගටම පෙන්වා දුන්නේ එය එසේ නොවන බව සහ විදේශ ණය ගන්නා නිසාම ජංගම ගිණුමේ හිඟයක් පවතින බවයි. පසුගිය වසර දෙස බලද්දී අප විසින් පෙන්වා දුන් කරුණ ඉතා හොඳින් සනාථ වී තිබෙනවා.
මෙහිදී පසුගිය වසර ගැන විශේෂයෙන් සඳහන් කළේ පසුගිය වසරේදී ආනයන සිදු කිරීම බාධාවකින් තොරව සිදු වූ නිසයි. නිදහසේ වාහන ඇතුළු ආනයන සිදු කළද රටේ කිසිදු විදේශ විණිමය හිඟයක් ඇති වූයේ නැහැ. ජංගම ගිණුමේ හිඟයක් ඇති වූයේත් නැහැ. රජය විසින් විදේශ ණය ලබා ගෙන වෙළඳපොළට විදේශ විණිමය පොම්ප කරන්නේ නැත්නම් විදේශ විණිමය ඉල්ලුම හා සැපයුම වෙළඳපොළ තුල තුලනය වෙනවා.
මහ බැංකුව විසින් මැදිහත් වී වෙළඳපොළෙන් විදේශ විණිමය මිල දී ගැනීම මගින් ජංගම ගිණුමේ අතිරික්තයක් පවත්වා ගන්න පුළුවන්. එවිට ඉතිරි වන විදේශ විණිමය ප්‍රමාණය හා විදේශ විණිමය ඉල්ලුම තුලනය වී රටේ විදේශ විණිමය යම් ප්‍රමාණයක් ඉතිරි වෙනවා. විණිමය අනුපාතය නිදහසේ තීරණය වීමට ඉඩ හරින්නේනම් රටේ විදේශ විණිමය හිඟයක් ඇති වන්නේ නැහැ.
පසුගිය දශක ගණනාවක් පුරාම මෙවැන්නක් කළ නොහැකි වූයේ රජයේ අයවැය හිඟය පියවා ගැනීම පිණිස විදේශ ණය යොදා ගත් නිසා. රජයේ බදු ආදායම් ඉහළ නංවා ගැනීමෙන් පසුව මේ තත්වය වෙනස් වී තිබෙනවා.
වසර තුළ ජංගම ගිණුමට ලැබුණු විදේශ විණිමය:
අපනයන ආදායම් - ඩොලර් මිලියන 13,581.4
සේවා ආදායම් - ඩොලර් මිලියන 7,065.7
(මෙයින් ඩොලර් මිලියන 3,219.2ක් සංචාරක ආදායම්)
ප්‍රාථමික ආදායම් - ඩොලර් මිලියන 621.2
ද්වීතියික ආදායම් (ශ්‍රමික ප්‍රේෂණ) - ඩොලර් මිලියන 8,076.2
එකතුව - ඩොලර් මිලියන 29,344.5
වසර තුළ ජංගම ගිණුමෙහි වැය:
ආනයන වියදම් - ඩොලර් මිලියන 21,479.9
සේවා වියදම් - ඩොලර් මිලියන 3,358.5
ප්‍රාථමික වියදම් - ඩොලර් මිලියන 2,645.5
ද්වීතියික වියදම් - ඩොලර් මිලියන 130.4
එකතුව - ඩොලර් මිලියන 27,614.3
ඉකොනොමැට්ටා ලියා ඇති මේ පෝස්ට් එක ආර්ථික විද්‍යාත්මක මූලධර්ම සහ දත්ත ඉතාමත් සාවද්‍ය ලෙස අර්ථකථනය කිරීමක් ලෙස හැඳින්විය හැකියි.
ReplyDeleteමෙහි ඇති බරපතල වැරදි සහ "මුලාවන්" කිහිපයක් පහත පරිදි විග්රහ කළ හැකියි.
ජංගම ගිණුමේ අතිරික්තය රටේ සැබෑ ජයග්‍රහණයක් ලෙස මෙම පෝස්ට් එකේ පැවසුවත් "ජංගම ගිණුමේ අතිරික්තය" යනු ශ්‍රී ලංකා ආර්ථිකය ඉතා නිරෝගී තත්ත්වයක තිබෙන බවට දෙන වැරදි සහගත සහතිකයකි. මේ කරුණු අමතක නොකරන්න
1. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ගෙවීම් පැහැර හැරීම (Debt Default)
ශ්‍රී ලංකාව 2022 වසරේ සිට විදේශ ණය වාරික සහ පොලී ගෙවීම් තාවකාලිකව අත්හිටුවා ඇත. ජංගම ගිණුමේ වැය පැත්තේ සටහන් විය යුතු ප්‍රධානම අංගයක් වන්නේ ප්‍රාථමික ආදායම් ගිණුම (Primary Income Account) යටතේ විදේශයන්ට ගෙවිය යුතු පොලී වියදම්ය.
අපි ණය නොගෙවා සිටින විට, එම මුදල් වැය ලෙස සටහන් නොවන නිසා කෘත්‍රිමව අතිරික්තයක් නිර්මාණය වේ.
උදා: පුද්ගලයෙකු තමන්ගේ මාසික වැටුපෙන් කෑම බීම ගෙන, තමන් ගත් ලක්ෂ ගණනක ණය වාරිකය නොගෙවා සිටින විට ඔහුගේ අතේ මුදල් ඉතිරි වේ. එය ඔහු "පොහොසත්" වීමක් නොව, "ණය නොගෙවා මගහැරීමකි". මෙය රටකටද අදාළ වේ.
2. ආනයන සීමා සහ ආර්ථිකය හැකිලීම
ඉකොනොමැට්ටා පවසන්නේ වාහන ඇතුළු ආනයන නිදහසේ සිදු වූ බවයි. නමුත් මෙය සම්පූර්ණ අසත්‍යයකි. 2024-2025 කාලය තුළ පවා පෞද්ගලික වාහන ආනයනය සඳහා පූර්ණ අවසරයක් නොතිබුණි.
රටේ ආනයන වියදම් අඩු වූයේ අතිබහුතර ජනතාවගේ ක්‍රය ශක්තිය (Purchasing Power) පහත වැටීම සහ ආර්ථිකය ඍණාත්මක වීම නිසා මිස රට ස්වයංපෝෂිත වීම නිසා නොවේ.
නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය සීමා වීම නිසා රටේ දළ දේශීය නිෂ්පාදිතය (GDP) හැකිලී ඇති පසුබිමක, ආනයන අඩු වීම ආර්ථික "අර්බුදයක" ලක්ෂණයක් මිස "වර්ධනයක" ලක්ෂණයක් නොවේ.
විදේශ ණය සහ ජංගම ගිණුමේ හිඟය "කරත්තය අශ්වයාට ඉදිරියෙන් තැබීම" වැනි මෙහි සඳහන් වන විශාලතම මෝඩ අදහස වන්නේ "විදේශ ණය ගන්නා නිසා ජංගම ගිණුමේ හිඟයක් ඇති වනවා" යන්නයි. ආර්ථික විද්‍යාවේදී මෙය සම්පූර්ණයෙන්ම අනෙක් පැත්තට ක්‍රියාත්මක වන්නකි.
සැබෑ තත්ත්වය නම් රටක් ජංගම ගිණුමේ හිඟයක් ඇති කර ගන්නේ රටේ ආයෝජන (Investment) සඳහා අවශ්‍ය ඉතිරි කිරීම් (Savings) රට තුළ නොමැති විටයි. එනම් I > S තත්ත්වයකදීය. එම හිඟය පියවීමට (Financing the deficit) විදේශ ණය ලබා ගනී.
ණය ගත් නිසා හිඟයක් ඇති වන්නේ නැත; හිඟය පියවීමට ණය ගනී. මෙය හරියට "බෙහෙත් බොන නිසා ලෙඩ වෙනවා" යැයි කීම වැනි හාස්‍යජනක කතාවකි.
විණිමය අනුපාතය සහ වෙළඳපොළ තුලනය පිළිබඳ මිථ්‍යාව ගැනත් කිව්වොත් ලංකාවේ මහ බැංකුව මැදිහත් නොවන්නේ නම් විණිමය ඉල්ලුම සහ සැපයුම නිරායාසයෙන් තුලනය වන බව මෙහි කියවේ. නමුත් පහත කාරණා ගැන විස්තර නැත
සීමා සහිත ඉල්ලුම: දැනට ඩොලර් සඳහා ඇති ඉල්ලුම කෘත්‍රිමව සීමා කර ඇත (ණය වාරික නොගෙවීම නිසා). රජය ණය ගෙවීම ආරම්භ කළ සැණින් ඩොලර් සඳහා ඇති ඉල්ලුම විශාල ලෙස ඉහළ යයි.
ප්‍රාග්ධන පලායාම: රජය විදේශ ණය ගන්නේ නැතිනම් සහ විදේශ ආයෝජන ආකර්ෂණය කරගත නොහැකි නම්, රුපියලේ අගය දැඩි ලෙස කඩා වැටේ. එවිට ආනයනික භාණ්ඩ මිල ඉහළ ගොස් ජනතාව පීඩාවට පත් වේ.
මේ නිසා මෙම පෝස්ටුවේ සඳහන් දත්ත හුදු අංක ක්‍රීඩාවක් පමණි.
"ශ්‍රී ලංකාව දැන් ණය ගන්නේ නැති නිසා ජංගම ගිණුම හොඳ අතට හැරී ඇත" යන තර්කය සනාථ කිරීමට උත්සාහ කරන්නේ රට තවමත් පවතින්නේ "බංකොලොත්" තත්ත්වයක බව අමතක කරමිනි.
සැබෑ ආර්ථික දියුණුවක් මැනිය යුත්තේ ණය නොගෙවා මගහැරීමෙන් ලබන කෘත්‍රිම අතිරික්තයකින් නොව, රටේ නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවා, අපනයන විවිධාංගීකරණය කර, සියලු ණය වාරික ගෙවන අතරතුර පවත්වා ගන්නා ස්ථාවරත්වයකිනි.
ඉකොනොමැට්ටා වැනි ආර්ථික විද්‍යාව පිළිබඳව මෙලෝ මල හත්තිලව්වක් නොදන්නා අය තම නැට්ට පාගාගෙන මෙවැනි බහුබූත අදහස් ලියන නිසා මේ බ්ලොග් එක බලන පාඨකයන්ට ආර්ථික විද්‍යාවේ Fundamental මූලිකම සංකල්ප අනුව රටක ජංගම ගිණුමේ තත්ත්වය ගැන විග්රහ කරන S - I = X - M යන මූලික සූත්‍රය ගැන කෙටියෙන් විස්තර කරන්නම්.
ReplyDeleteමෙහි සංකේතවල තේරුම බලමු:
S (Savings): රටේ සමස්ත ඉතිරි කිරීම් (රජය + පෞද්ගලික අංශය).
I (Investment): රටේ සමස්ත ආයෝජන (කර්මාන්තශාලා, යටිතල පහසුකම් ආදිය).
X (Exports): අපනයන සහ අනෙකුත් විදේශ ලැබීම්.
M (Imports): ආනයන සහ අනෙකුත් විදේශ ගෙවීම්.
1. ජංගම ගිණුමේ හිඟයක් ඇති වන්නේ ඇයි? (I > S)
යම් රටක ආයෝජන (I), එම රටේ මිනිසුන් කරන ඉතිරි කිරීම් වලට (S) වඩා වැඩි නම්, ඒ වැඩිපුර අවශ්‍ය මුදල රට තුළ නැත. එවිට එම මුදල පිටරටින් ගෙන ඒමට සිදු වේ.
සරල උදා:ඔබේ නිවසේ මාසික ඉතිරි කිරීම රුපියල් 10,000 කි (S). නමුත් ඔබට රුපියල් 50,000 ක වටිනා ව්‍යාපාරයක් හෝ නිවසක් තැනීමේ ආයෝජනයක් (I) කිරීමට අවශ්‍යයි. දැන් ඔබට රුපියල් 40,000 ක අඩුවක් පවතී. මේ අඩුව පියවීමට ඔබ කරන්නේ "ණය" ගැනීමයි. ඔබ ණය ගත් නිසා ඔබේ ගිණුමේ "හිඟයක්" පෙන්වයි.
එනම්, රටක් සංවර්ධනය වීමට අවශ්‍ය ආයෝජන කිරීමට ප්‍රමාණවත් ඉතිරි කිරීමක් රට තුළ නැති විට, ජංගම ගිණුමේ හිඟයක් ඇති වීම අනිවාර්ය වේ. එය ණය ගත් නිසා ඇති වූවක් නොව, ආයෝජනය සඳහා මුදල් මදි නිසා ණය ගැනීමට සිදු වූවකි.
2. ජංගම ගිණුමේ අතිරික්තයක් යනු සැමවිටම යහපත් තත්ත්වයක්ද? (S > I)
අර ඉකොනොමැට්ටාගේ ව්‍යාජ ප්‍රකාශයේ පවසන පරිදි අතිරික්තයක් තිබීම සැමවිටම රටක් දියුණු වන ලක්ෂණයක් නොවේ. එය ආකාර දෙකකට සිදු විය හැක:
පළමු ක්‍රමය (සාර්ථක රටවල්): අපනයන අතිවිශාල ලෙස වැඩි කර ඩොලර් උපයා ගැනීම (උදා: ජර්මනිය, චීනය).
දෙවන ක්‍රමය (වර්තමාන ශ්‍රී ලංකාව): රටේ ආයෝජන (I) සහ පරිභෝජනය අන්තයටම බිඳ වැටීම. රටේ කර්මාන්තශාලා හැදෙන්නේ නැතිනම්, වාහන ගන්නේ නැතිනම්, ණය වාරික ගෙවන්නේ නැතිනම් (M අඩු වීම), කෘත්‍රිමව S > I වේ.
සරල උදා:අර නිවසේම උදාහරණය ගනිමු. දැන් ඔබ නිවස හැදීම නතර කරයි, කෑම බීම සීමා කරයි, ගත්තු ණය වාරික නොගෙවා මගහරියි. එවිට මාසය අවසානයේ ඔබේ අතේ මුදල් ඉතිරි වේ. මෙය ඔබේ "ධනවත්කම" නිසා ඇති වූ අතිරික්තයක්ද? නැත, මෙය ඔබ "වැඩ නතර කර ණය නොගෙවා සිටීම" නිසා ඇති වූ අතිරික්තයකි.
ඉකොනොමැට්ටාගේ ව්‍යාජ ප්‍රකාශයේ ඇති "ලොකුම බොරුව" හඳුනා ගනිමු
ඉකොනොමැට්ටා පවසන්නේ "ණය ගන්නා නිසා හිඟයක් ඇති වන බවයි". නමුත් ඇත්ත තත්ත්වය මෙයයි:
අපනයන ආදායම මදි වීම: අපිට අවශ්‍ය දේ ගෙන්වන්න අපේ අපනයන ආදායම මදි වුණා.
අයවැය හිඟය: රජයේ වියදම් පියවා ගන්න බදු ආදායම මදි වුණා.
ණය ගැනීම: මේ අඩුව පියවන්න අපි විදේශ ණය ගත්තා.
දැන් අපි ණය ගෙවීම පැහැර හැර (Default), ආනයන සීමා කර (Restrictions) සිටින නිසා කෘත්‍රිමව ඩොලර් ඉතිරි වී ඇත. මෙය තාවකාලික "සහනයක්" මිස ආර්ථිකයේ "සැබෑ වර්ධනයක්" නොවේ.
ඕනෑම අයෙකුට සංඛ්‍යාලේඛන තමන්ට අවශ්‍ය පරිදි නැමිය හැකිය. නමුත් ආර්ථික විද්‍යාවේදී දත්ත කියවිය යුත්තේ එහි පසුබිම (Context) සමඟයි. ණය නොගෙවා සිටින රටක ජංගම ගිණුමේ අතිරික්තයක් පෙන්වා "අපි දියුණුයි" කීම, රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටින රෝගියෙකු "දැන් එයාට වියදම් අඩුයි, ඒ නිසා එයා නිරෝගී" යැයි කීම වැනි මුලාවකි.
ඒ කියන්නෙ රටේ ආර්තිකය නිවැරදි පීල්ලේ ගමන් කරනවා?
ReplyDeleteඅනේ මන්දා ඉකොනෝ අයියන්ඩියේ, ඔයා මේකේ ලොකු කතා ලියනවා ආණ්ඩුව සතුව රුපියල් ට්‍රිලියන එක හමාරකට වඩා වැඩි සමුච්චිත අරමුදලක් තියෙනවා ලු.
ReplyDeleteඑහෙන් ආණ්ඩුවේ උන් පොරටෝක් දෙනවා බදු ආදායම අච්චර සුපිරියි ඉතිහාසයේ ලොකුම ආදායම ලොකුම අහවල් එක ලැබුණා කිය කියා කයිය තියෙනවා දොඹෙන් යන්න
ඒ අස්සේ ප්‍රායෝගික භාවිතය දිහා බලන්න, අර දිට්වා සුලිකුණාටුවෙන් අවතැන් වෙච්ච ජනතාවට මහා උත්සව තියලා ජනාධිපති අතින්ම දීපු චෙක් ටිකත් රිටන් වෙලා, යකෝ රට බංකොලොත් කියපු කාලේ සාමාන්‍ය ප්‍රාදේශීය සභාවල පවා වැඩ කරපු කොන්ත්‍රාත්කාරයන්ට සැපයුම්කරුවන්ට 2022 දී දීපු චෙක් වත් මෙහෙම රිටන් වුණේ නෑ, පළවෙනි වතාවට ආණ්ඩුවෙන් දීපු චෙක් රිටන් වෙලා තියෙන්නේ
ඉකොනෝ අයියන්ඩිට තේරෙනවා ඇතිනේ චෙක්පතක් අගරු වෙනවා කියන එකේ තියෙන බරපතල කම ගැන? මේවා මෙහෙම වෙන්නේ ඇයි ඔය තරමට ආර්ථිකය හොඳම නම්?