Tuesday, January 31, 2017

ලාංකිකයෙකුගෙන් පෘථිවියට අළුත් ලෝහයක්!

ජලකර හෙවත් හයිඩ්‍රජන් වායුව ගැන අපි බොහෝ දෙනෙකු අසා ඇත්තෙමු. හයිඩ්‍රජන් වායු අනුවක් සැදී ඇත්තේ හයිඩ්‍රජන් පරමාණු දෙකක් එකතු වීමෙනි. ආවර්තිතා වගුවේ පළමු හා සැහැල්ලුම මූල ද්‍රව්‍යය වන හයිඩ්‍රජන් විශ්වයේ සුලභම මූල ද්‍රව්‍යයද වේ. අඩු උෂ්ණත්වයකදී හා වැඩි පීඩනයකදී හයිඩ්‍රජන් වායුව ද්‍රව තත්ත්වයට පත්වේ. කෙසේ වුවද, මෙසේ ද්‍රව තත්ත්වයට පත්වීමේදී එහි අනුක ස්වභාවය වෙනස් නොවේ.

හයිඩ්‍රජන් වායුවක් හා ද්‍රවයක් ලෙස පෘථිවියේ තිබුණත් ඝන හයිඩ්‍රජන් යනු මෙතෙක් කලක් පෘථිවියේ නොතිබුණු ද්‍රව්‍යයකි. හයිඩ්‍රජන් ඝන ලෝහයක් ලෙස වෙනත් ස්වභාවයකින් පැවතිය හැකි බව 1935 දී සෛද්ධාන්තිකව පෙන්වා දෙනු ලැබ තිබුණත් මේ ලෝහය ස්වභාවිකව පවතිනු සොයා ගැනීමට හෝ විද්‍යාගාර තුළ නිර්මාණය කිරීමට මෙතෙක් හැකි වුනේ නැත.

තරුණ ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු වන රංග ඩයස් ඇතුළු හාවඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමක් විසින් දැන් මේ කටයුත්ත කරමින් මෙතෙක් පෘථිවියේ නොතිබුණු මේ අළුත් ලෝහය නිර්මාණය කර තිබේ. මේ බව එළිදරවු කරමින් ආචාර්ය රංග ඩයස් විසින් මහාචාර්ය අයිසැක් සිල්වේරා සමඟ එක්ව ලියූ පර්යේෂණ පත්‍රිකාව දින කිහිපයකට පෙර විමර්ශකයන්ගේ අනුමැතිය සහිතව ප්‍රමුඛතම විමර්ශිත ජර්නලයක් වන 'සයන්ස්' සඟරාවේ පළ විය.

මේ කටයුත්ත කිරීම සඳහා විශේෂයෙන් සැකසූ දියමන්ති කුටීරයක සිර කෙරුණු අණුක හයිඩ්‍රජන් ගිගා පැස්කල් 495ක පීඩනයකට භාජනය කෙරුණේය. මෙය එක් වර්ග සෙන්ටිමීටරයක් මත කිලෝග්‍රෑම් මිලියන පහක පමණ බරක් තැබූ විට ඇතිවන තරමේ පීඩනයකි. පෘථිවි මධ්‍යයේ ඇති පීඩනයද මීට වඩා අඩුය. මෙවැනි අධික පීඩනයකදී හයිඩ්‍රජන් අනුවේ පරමාණු අතර සම්බන්ධය ලිහිල් වී පරමාණුක හයිඩ්‍රජන් බවට පත් වේ. සෛද්ධාන්තිකව පුරෝකථනය කර ඇති පරිදි මෙහි විශේෂත්වය වන්නේ පීඩනය ඉවත් කිරීමෙන් පසුවද මෙය කාමර උෂ්ණත්වයේදී ස්ථායී ලෝහයක් ලෙස පැවතීමයි. මෙය සුපිරි සන්නායකයක් ලෙසද සැලකේ.

කෙසේ වුවද, රංග ඇතුළු පර්යේෂකයින් තවමත් සිය ලෝහ හයිඩ්‍රජන් සාම්පලය මත ඇති පීඩනය අඩු කර නැති නිසා කාමර උෂ්ණත්වයේදී හා සාමාන්‍ය පීඩනයක් යටතේ එය ස්ථායීව පවතිනු ඇති බව සහ සෛද්ධාන්තිකව එහි පැවතිය යුතු අනෙකුත් ලක්ෂණ තවමත් තහවුරු කර නැත. සිය පර්යේෂණය ජර්නලයක පළ වන තුරු මේ අවදානම නොගෙන සිටි ඔවුන් ඉදිරි සති වලදී සිය පර්යේෂණ ප්‍රතිඵලය තහවුරු කරන අමතර සාධක ගැන සොයා බලනු ඇත.

කොළඹ සරසවියේ ප්‍රථම උපාධිය හැදෑරු රංග 2013 වසරේදී වොෂින්ටන් රාජ්‍ය විශ්ව විද්‍යාලයෙන් භෞතික විද්‍යාව සඳහා ආචාර්ය උපාධිය ලබා ගත්තේය.

රංගට අපේ සුබ පැතුම්!

38 comments:

  1. මා මේ ගැන ඊයේ කියෙව්වා. මාරි කියුරිලා රේඩියම් සොයා ගැනීම වගේ වැඩක් නේද?

    /*..... සිය පර්යේෂණය ජර්නලයක පළ වන තුරු මේ අවදානම නොගෙන සිටි ඔවුන් ....*/

    ඒකට නම් හේතුව ඒ පීඩනය ඉවත් කළ විට සිදුවෙන දෙය ගැන තව පේපර්යක් ලියා පබ්ලිකේෂන් කවුන්ට් එක සහ සයිටේෂන් ඉන්ඩෙක්ස් එක වැඩි කර ගැනීමේ පරම පවිත්‍ර චේතනාව විය හැකියි!

    ReplyDelete
    Replies
    1. //මා මේ ගැන ඊයේ කියෙව්වා.//
      දින කිහිපයක සිට මේ ගැන ලියන්න හිටියත් වෙලාවක් ලැබුණේ නැහැ.

      //ඒකට නම් හේතුව ඒ පීඩනය ඉවත් කළ විට සිදුවෙන දෙය ගැන තව පේපර්යක් ලියා පබ්ලිකේෂන් කවුන්ට් එක සහ සයිටේෂන් ඉන්ඩෙක්ස් එක වැඩි කර ගැනීමේ පරම පවිත්‍ර චේතනාව විය හැකියි!//

      මේ වගේ දෙයක් ගැන පබ්ලිකේෂන් කිහිපයක් දාගන්න එක එතරම් අමාරු වැඩක් නෙමෙයි. ඊට වඩා, මෙය හරියටම සිදු නොවී තිබීමේ අවදානමක් තියෙනවා වගේම ඒ ගැන දැනටම ඇතැම් අය සැක පහළ කරලා තියෙනවා. එසේ නොවන බව තහවුරු කිරීමට යාමේදී හදපු සාම්පලය විනාශ වෙන්න ඉඩක් තියෙන නිසායි පේපර් එක ඇක්සෙප්ට් කරන තුරු එය එසේම තියාගෙන ඉන්නේ.

      Delete
    2. ඒ පේපර් ගැන කියපු කතාව පොඩ්ඩක් සරදමට වගේ කිව්වේ.

      කෙසේ වෙතත් මටත් කාලෙකට ඉස්සර ආපු ප්‍රශ්නයක් තමයි ඇයි වැරදෙන පරීක්‍ෂණ, එතරම් හොඳ ප්‍රතිඵල නොලැබෙන ඒවා ගැන පේපර් නොලියන්නේ කියන එක.

      මේක මං මගේ සුපර්වයිසර් එක්කත් කතා කළා. අඩු වශයෙන් අනාගතයේ ඒ වැරදුණු දේ නොකර ඉන්න අනිත් අයට හැකි වෙයි නේ කියා!

      Delete
    3. අධ්‍යාපනික පැත්තගැන දන්නෑ.
      සාමාන්‍ය ආයතන වලනම් දැන් ලියනවා.
      මම ඉන්නෙ ඉදිකිරීම් ආයතනයක​. අපි ව්‍යාපෘතියක් අවසානයේ එම ව්‍යාපෘතියේ සිටි දෙන්නෙක් සහ වෙනත් අයෙකු එකතුව එවැන්නක් ආයතනයට භාර දෙනවා. අනෙක් නිලධාරීන්ට එය කියවන්න පිට පතක් තියෙනවා. එකම දේ ඒක ආයතනයෙන් බැහැර හෙලිදරව් නොකල යුතුයි.
      පුද්ගලික අංශයේ එය අස්වෙලා ගිය කෙනෙක් වත් ප්‍රසිද්ධ කලා කියල දැනගන්න නෑ.
      දොස්තරලත් එක්ස්පයරි ඩේට් බලන්නෙ ආන්ඩුවෙ ඒවයෙදිනෙ.

      Delete
    4. බොහෝ ජර්නල් වල මෙවැනි පර්යේෂණ ගැන ලිපි පළවෙනවා පමණක් නොව එවැනි ලිපි වෙනුවෙන්ම වෙන් වුනු ජර්නල් පවා තියෙනවා.

      Delete
  2. රංග අයියා මට වඩා වසර දෙකක් පමණ ජේෂ්ඨ ශිෂ්‍ය කණ්ඩායමේ සිටි කෙනෙක්. පුද්ගලිකව දැනට ඔහු සමග සමීප ඇසුරක් නොතිබුනත් එවැනි විශිෂ්ට අය සමග ඉගෙන ගන්නට ලැබීම වාසනාවක් ලෙසයි මම හිතන්නේ. මෙවැනි විශිෂ්ට සොයාගැනීම් තුලින් අපිටත් ලොකු ධෛර්රයක් ලැබෙන්නේ.

    ශ්‍රී ලංකාවේ නාමයත් කොළඹ විශ්විද්‍යාලයේ නාමයත් විද්‍යා ක්ෂේස්ත්‍රයෙන් ප්‍රසිද්ධ කරවන්නට රංග අයියාගේ සොයා ගැනීම වැදගත් වේවි.

    ඔය වගේ අලුත්ම අලුත් මැටීරියල් එකක characterization වලින් සහ application development වලින් තව බොහෝ පත්‍රිකා ගණනක් පල කරන එක නම් කොහොමටත් අමාරු වැඩක් නෙවෙයි කියලයි මට නම් තේරෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ සරසවි ගැන කොයි තරම් සෘණාත්මක දේ කිවුවත් (ඒ හැම එකක්ම බොරු නෙමෙයි) ලංකාවේ සරසවියක මූලික උපාධිය හදාරණ කෙනෙකුට හාර්වඩ් වැනි ලෝකයේ ප්‍රමුඛ සරසවියක ඉදිරිපෙළ පර්යේෂකයින් සමඟ එක්ව වැඩකරන්න බැරිකමක් නැහැ.

      Delete
  3. මේ පර්යේෂණ සාර්ථකව ස්ථායී ලෝහයක් මේ විදියට නිර්මාණය කර ගන්න ලැබුනොත් එය තාක්ෂනික වශයෙන් වැදගත් පෙරළියක් වනු ඇතිද ?

    ReplyDelete
    Replies
    1. කලින් Cornell University කණ්ඩායමක් සෛද්ධාන්තික ගණනය කිරීමකින් පෙන්නලා තියෙනවා metallic hydrogen වල high temperature superconductive ගතිගුණ තිබිය හැකි බව. දැනට භාවිත කරන superconductive ද්‍රව්‍ය වල ගුණ පවතින්නේ liquid helium තුල වැනි ඉතා අවම උෂ්ණත්ව වල පමණයි.

      ඒ අනුව මෙය ස්ථායි ලෝහයක් නම් තවදුරටත් කරදරකාරී liquid helium වැඩ අවශ්‍ය නැති වේවි. එය නම් සැබෑ පෙරලියක් තමයි එහෙම උනොත්.

      Delete
    2. අණුක හයිඩ්‍රජන් ලෝහයක් බවට පත් කිරීමට වැය වන ශක්තිය නැවත එය ආපසු අණුක තත්ත්වයට පත් වීමේදී ක්ෂණිකව මුදා හැරෙන නිසා ශක්ති ප්‍රභවයක් ලෙස අභ්‍යාවකාශ ගමන් ආදිය සඳහා යොදා ගැනීම වැනි වෙනත් ප්‍රයෝජන ගැනත් අදහස් පලවී තිබෙනවා. මෙවැන්නක් මගින් සිදුවන්නේ තව බොහෝ දේ කරන්නට දොර ඇර දීමක්.

      Delete
    3. ඔවු ඒක ඇත්ත.

      පළමු කාණ්ඩයේ ලෝහ ඔක්සිජන් සමග ඉතාම ප්‍රතික්‍රියාශීලී ඒවා. හයිඩ්‍රජන් වල විද්‍යුත් ඍණතාවය අර්තදක්වල තිබෙන්නේ ලෝහමය පැවැත්ම සලකල නවෙයි නිසා ලෝහමය හයිඩ්‍රජන් ඔක්සිජන් සමග ප්‍රතික්රියාවීම කොහොම වේවිද කියන්න අමාරුයි. ඒවගේම හයිඩ්‍රජන් වල ඔක්සයිඩය වන ජලය මගින් හයිඩ්‍රජන් පෘෂ්ටය ආරක්ෂා කිරීමක් නොවෙන නිසාත් නිකුත් කරන අධික ශක්තියත් නිසා එකදිගට ප්‍රතික්‍රියා වෙන්න පුළුවන්.

      ඒවා දැනගන්න දැන් නම් තිබෙන්නේ නොඉවසිලිමත් ආශාවක්.

      Corrosion ගැන අලුත් විද්‍යුත්රසායනයක් එහෙම වුනොත්.

      Delete
    4. //ඒවගේම හයිඩ්‍රජන් වල ඔක්සයිඩය වන ජලය මගින් හයිඩ්‍රජන් පෘෂ්ටය ආරක්ෂා කිරීමක් නොවෙන නිසාත්//
      ඇත්ත තමයි. කලින් නොසිතූ දෙයක්.

      Delete
  4. ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් අගය කළ යුතුයි.. ඔහුට සුභ පැතුම්....

    ReplyDelete
  5. අපේ අය කරන දේවල්වලට අපට අගයක් නෑනේ....
    ඔහුට සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. උගුඩුවා, මේ බුවා දෙමළ ඩයල් එකක් වුනානම් නේද?

      Delete
    2. එහෙනම් ආතර් සී ක්ලාක්ගේ විද්‍යා ප්‍රබන්ධයක් වගේ වෙයි.
      එයාගේ පොත්වල හැටියට ශ්‍රී ලාංකිකයෝ කියන්නේ දෙමෙල්ලුන්ට.

      Delete
  6. ලංකාවෙ එකෙක්ට වැඩ පෙන්නන්න පිට යන්නම ඕනෙ. අපි සුභ පතනවා ඌට පොඩි අයින්ස්ටයින් කෙනෙක් හරි වෙන්න කියලා.

    ReplyDelete
    Replies
    1. ලංකාවට වෙලා හිටියනම් ඔහුට කවදාවත් මෙවැනි අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. වොෂින්ටන් රාජ්‍ය විශ්ව විද්‍යාලයට පැමිණ ආචාර්ය උපාධිය හැදෑරීමට රංගට ලැබෙන Assistantship එක නිසා ඔහුට තමන්ගේ දැනුම වර්ධනය කරගෙන ලෝකයට යමක් දායාද කිරීමට හවුල් වෙන්න හැකි වෙනවා. මෙය කිරීමේදී ඇමරිකාව ඇමරිකානුවන්ගේ මහජන මුදල් නාස්ති කරන්නේ නැහැ. ඉගෙනගන්නා කාලයේදී සතියකට පැය විස්සක් පර්යේෂණ සහකරුවෙකු ලෙස වැඩ කිරීමෙන් ඔහු ඔහුගේ අධ්‍යාපන වියදම්, මාසික දීමනාව හා සෞඛ්‍ය රක්ෂණය ආදිය වෙනුවෙන් ඇමරිකාව දරන වියදමට සරීලන සේවයක් කරනවා. ඒ එක්කම එයින් ඔහුට ලැබෙන ආර්ථික වාසියට අමතරම දැනුමක් හා පුහුණුවකුත් ලැබෙනවා. දෙවන වටයේදී, හාර්වඩ් සරසවිය වැනි ලෝකයේ ප්‍රමුඛ සරසවියක් පුරප්පාඩුවක් පිරවීමේදී එයට ඇති සුදුසුකම මිස පැමිණි රට, ජාතිකත්වය වැනි වෙනත් නොවැදගත් දේ නොසලකන නිසා ඔහුට එහි පර්යේෂණ කිරීමට අවස්ථාවක් ලැබෙනවා. මෙයින් අවසාන වශයෙන් ඇමරිකාවට හා රංගට පමණක් නොවෙයි ලංකාවටත් වෙන්නේ යහපතක්. ලංකාවට වෙලා හිටියනම් වෙන්නේ ඔහු වැන්නෙකු 'නාස්ති වී යාම' පමණයි.

      Delete
    2. Not to mention the huge infrastructure investments in order of US$ billions required for these type of pioneering work. I thunk Sri Lanka's GDP is under US$ 100 Billion and no way SL can afford it.

      Delete
    3. "...දෙවන වටයේදී, හාර්වඩ් සරසවිය වැනි ලෝකයේ ප්‍රමුඛ සරසවියක් පුරප්පාඩුවක් පිරවීමේදී එයට ඇති සුදුසුකම මිස පැමිණි රට, ජාතිකත්වය වැනි වෙනත් නොවැදගත් දේ නොසලකන නිසා ඔහුට එහි පර්යේෂණ කිරීමට අවස්ථාවක් ලැබෙනවා...."
      Is this true in current context? What if he were Iranian?

      Delete
    4. AnonymousFebruary 1, 2017 at 6:31 PM
      ඇමරිකාවේ පර්යේෂණ සරසවි තවමත් ජාතිකත්වය නොසලකා ලෝකයේ කොහෙන් හෝ හොඳම පර්යේෂකයින් ආකර්ශනය කර ගැනීමේ අරමුණ වෙනුවෙන් පෙනී සිටිනවා. විධායකයේ තීන්දුව නිසා මේ දිගුකාලීන අරමුණට බලපෑමක් වෙනවා. ඒ වගේම AnonymousFebruary 1, 2017 at 6:29 PM කමෙන්ටුවට අදාළ කරුණක් ලෙස, ඇතැම් පර්යේෂණ ක්ෂේත්‍ර වලට වෙන් කර තිබුණු අරමුදල් පිළිබඳ අවිනිශ්චිතතාවන් නිසාත් පර්යේෂණ වලට බලපෑමක් වෙනවා.

      Delete
  7. මමත් දැක්කා සුමානෙකට විතර කලින් ඔහුගේ නම බුකියේ ෂෙයාර් කලා. සුභ පැතුම් (ආචාර්ය රංග මේක කියවනවානම්)

    ReplyDelete
  8. ආචාර්ය රංගට සුභපැතුම්..!
    ඒ මාර්ගයේ ගමන් කරන්නන්ට මෙය සැබෑ උත්තේජනයක් වේවි.
    ජයවේවා..!!

    ReplyDelete
  9. ආචාර්ය රංග ඩයස්ට අපහාසකිරීමට කිසිම අදහසක් නැහැ. නමුත්
    Hillard Bell Huntington සහ Eugene Wigner නැමති බටහිර විද්‍යාඥයන් දෙදෙනා ලෝහමය හයිඩ්‍රජන්ගැන සෛද්ධාන්තිකව පෙන්වාදී නොතිබුනි නම් මේ පරීක්ෂණය කෙරෙයිද?
    කෙසේ වෙතත් ඉදිරියේදී,
    රංග ගේ නියමය, රංග ආචරනය, සිරිපාල සමීකරණය, ගුණපාල විකිරණ වැනි දැනුම නිර්මාණයවී නලීන් ද සිල්වා පැවසූ සිංහලයන්ට බටහිර විද්‍යාඥයන් වීමට බැහැ නම් ප්‍රකාශය(එයින් ඹහු අදහස්කල දෙය)අසත්‍ය වේවායි පතමු.

    ReplyDelete
    Replies
    1. මෙවැනි ප්‍රශ්නයක් මතුවෙයි කියන එක මම බලාපොරොත්තු වුණා. ඒ වගේම, ඒ දෙදෙනා මෙය පෙන්වා නුදුන්නානම් වෙනත් කෙනෙකු මෙය පෙන්වා දෙනවා කියන එක ඔබේ ප්‍රශ්නයට උත්තරයක් නොවන බවත් මම දන්නවා. මම හිතන්නේ මෙහි ඔබ කියන්නේ මේ පරීක්ෂණය "පරිධියේ ඇති" දෙයක් බවයි. ඒ අනුව (ඔබේ අරමුණ ආචාර්ය රංග ඩයස්ට අපහාසකිරීමට නොවූවත්) ඔබ අදහස් කරන්නේ Hillard Bell Huntington සහ Eugene Wigner සහ විසින් දැනුමට එකතු කළ දෙයට සාපේක්ෂව රංග ඩයස් සහ අයිසැක් සිල්වේරා විසින් එකතු කළ දෙය "බාල" දෙයක් බවයි. වෙනත් විදිහකින් කිවුවොත් "කේන්ද්‍රයේ ඇති දැනුමක් වන" ප්‍රවාදය නැත්නම්, ඔවුන් විසින් මෙවැනි "පරිධියේ ඇති" දෙයක් කිරීමේ ඉඩක් නැති බව සහ සිංහලයෙකුට පරිධියේ දැනුමක් මිස කේන්ද්‍රයේ දැනුමක් නිර්මාණය කිරීමේ හැකියාවක් නැති බව වැනි අදහසකුත් එයින් ගම්‍ය වනවා කියා මම හිතනවා. පළමුව කියන්න තියෙන්නේ මේ "කේන්ද්‍ර සහ පරිධි" කියන ඒවාත් සාපේක්ෂ බවයි. Hillard Bell Huntington සහ Eugene Wignerට 1935 දී මේ කියන කරුණ සෛද්ධාන්තිකව පෙන්වාදීමට ඊට පෙර තවත් බොහෝ දෙනෙක් කළ දේ උපකාරී වුණා. ඒ අය නොසිටියානම් ඔවුන්ට මේ කරුණ සෛද්ධාන්තිකව පෙන්වාදීමේ හැකියාවක් නැති වෙනවා. ඒ අර්ථයෙන් එදා ඔවුන් එකතු කළේත් පරිධියේ දැනුමක්. ඒ වගේම මේ පර්යේෂණ ප්‍රතිඵලය මත ඉදිරියේදී තවත් බොහෝ පර්යේෂණ කෙරෙයි. ඒ අනාගත පර්යේෂණ වල කේන්ද්‍රය වෙන්නේ මේ පර්යේෂණය. කොහොම වුනත්, ලංකාවෙන් පැමිණ බටහිර පර්යේෂකයින් වන බොහෝ දෙනෙක් සෛද්ධාන්තික පර්යේෂණ වලට වඩා මේ ආකාරයේ තාක්ෂණික ස්වභාවයේ පර්යේෂණ වලට යොමුවන බව ඇත්තක් (මෙහිත්, මතු පිටින් පෙනෙන තාක්ෂනික කටයුත්ත පිටුපස අළුතින් එකතු වූ සෛද්ධාන්තික කොටසකුත් තියෙනවා. එය අපි පැත්තකින් තියමු.). නමුත්, ලංකාවෙන් පැමිණ ආචාර්ය උපාධිය සඳහා සෛද්ධාන්තික භෞතික විද්‍යාව හදාරන අයත් (කොළඹ සරසවියේ නලින් ද සිල්වාගෙන් උගත් අයද ඇතුළුව) සිටිනවා. එතරම් ජනප්‍රිය තේරීමක් වීම හෝ නොවීම තීරණය වන්නේ පෞද්ගලික රුචිකත්වයන් මෙන්ම වෙළදපොළ සාධක මතයි. මූලික පරීක්ෂණ වලට සාපේක්ෂව තාක්ෂණික කටයුතු සඳහා ලංකාවේ ඉගෙන ගන්නා සිසුන් වඩා දක්ෂ බවත්, එයට අධ්‍යාපන ක්‍රමය හේතු වන බවත්, අධ්‍යාපන ක්‍රමය එසේ සකස් වීමට සංස්කෘතිය කිසියම් දුරකට බලපාන බවත් මම පිළිගන්නවා. නමුත්, එය බටහිර රටවල් විසින් ඇතිකර ඇති කෘතීම තත්ත්වයක් කියන එකට මම එකඟ නැහැ. එය රටේ පවතින ඉල්ලුම මත ඇති වන තත්ත්වයක්. බටහිර දැනුම ප්‍රමුඛ දැනුම් පද්ධතිය වන්නේ ඒ සඳහා තිබෙන ඉල්ලුම සමඟයි. එය එසේ වන්නේ එහි ක්‍රමවේදය වෙනත් විකල්ප වලට වඩා සාර්ථක බව බොහෝ දෙනෙක් සිතන නිසායි. සිංහලයින් හා ලාංකිකයින් පමණක් නෙමෙයි ඇමරිකානුවන් ඇතුළු බටහිර සංස්කෘතියේ හැදෙන බොහෝ දෙනෙක් කරන්නෙත් මෙවැනි "පරිධියේ ඇති" පර්යේෂණ. මූලික පර්යේෂණයකින් එකතු වූ අගය ප්‍රයෝජනයට ගත හැකි වටිනාකමක් බවට පත් වන්නේ මෙවැනි පරිධියේ ඇති පර්යේෂණ සිදුවන තරමටයි. ඒ නිසා, එවැනි තාක්ෂණික ස්වභාවයේ පර්යේෂණ හරහා ප්‍රයෝජ්‍ය වටිනාකමක් නොලැබේනම් මූලික පර්යේෂණ කිරීම තේරුමක් නැති දෙයක් බවට පත් වෙනවා. අනෙක් අතට මූලික පර්යේෂණ නැත්නම් මෙවැනි දෙවන අදියරේ පර්යේෂණ සිදුවීමට ඉඩක් නැති වෙනවා. ඒ නිසා මේ දෙවර්ගයෙන් එක් වර්ගයක් අනෙක් වර්ගයට වඩා "බාලයි" කියන්න බැහැ. සිංහලයන්ට කිසිවෙකුට බටහිර විද්‍යාඥයන් වීමට බැහැ කියන එක (නලින් ද සිල්වා අදහස් කරන්නේ එය නොවිය හැකියි- එය මම දන්නේ නැහැ) බොරුවක් වගේම සියළුම සිංහලයින් එක ගොඩේ දමා සරල ලෙස කරන නිගමනයක්. පොදුවේ ගත් විට සංස්කෘතියේ බලපෑමක් තිබුණත් එය ජයගත නොහැකි බාධකයක් නෙමෙයි. මෙවැනි මත හරහා කෙරෙන්නේනම් එවැනි විභවයක් ඇති අයව අධෛර්යය කිරීමයි.

      Delete
    2. ඔය නලින්ද සිල්වා ගැනනම් කථාකරල වැඩක් නෑ. මිනිහාට අනුව ගුරුත්වාකර්ශනය බොරුවක්, පොඩි බොරුවක් නෙවෙයි, පට්ටපල් බොරුවක්. අනික මිනිහගෙ පංචේන්ද්‍රියට දැනෙන්නෙ නැහැල්ලු ගුරුත්වාකර්ශනය. මට හරි ආසයි මිනිහාව කොහේහරි උඩක ඉඳලා තල්ලු කරලා, බිමට වැටෙනකොට මිනිහගෙ මොන අවයවයට ගුරුත්වාකර්ශනය දැනෙන්නෙ කියලා බලන්න පරීක්ෂණයක් කරන්න.

      Delete
    3. ගුරුත්වාකර්ශනය මිනිස් ඉන්ද්‍රියකට දැනෙන්නේ නැහැ. දැනෙන්නේ ගුරුත්වාකර්ශනයේ ප්‍රතිඵල. කිසියම් පුද්ගලයෙක්ව පෙට්ටියක් ඇතුළේ සීල් කරල ගුවන් යානයකින් ඉහළ අහසේ සිට බිමට අත ඇරියොත් බිම වැටුණු මොහොතේ ඔහුගේ හෝ ඇයගේ අවයව කැඩී කුඩුපට්ටම් වෙලා යන කොට එය දැනෙනවා. එහෙත්, බිමට වැටෙන තුරු තමන් වැටෙන (එනම් පොළොව තියෙන) දිශාව හෝ අඩු වශයෙන් තමන් වැටෙන බව ඔහුගේ ඉන්ද්‍රියයන්ට දැනෙන්නේ නැහැ. මෙයට හරියටම සමාන නොවුනත් ඔබේ සිරුරේ කොලෙස්ටරෝල් ඇති බව ඔබට දැනෙන්නේ නැහැ. නමුත් එහි ප්‍රතිඵලයක් ලෙස හෘදයාබාධයක් හැදුනු විට දැනෙනවා. ඒ තියා පිළිකාවක් හෝ වෙනත් අභ්‍යන්තර ආබාධයක් තිබුණත් ඒ දැනෙන්නේ 'බඩේ කැක්කුමක්' වැනි එහි ප්‍රතිඵලයක්. පිළිකාවක් වෛද්‍යවරයෙකුට පෙනුනත් ගුරුත්වාකර්ෂණය කිසිවෙකුට එසේ පෙනෙන්නේ නැහැ. එය තියෙන 'දෙයක්' නොවෙයි. වෙනත් නිරීක්ෂණය කළ හැකි දේ පැහැදිලි කළ හැකි ප්‍රවාදයක්. එය ප්‍රවාදයක් කියන එක රහසක් හෝ අමුතු දෙයක් නෙමෙයි. ඕනෑම ප්‍රමුඛ බටහිර විද්‍යාඥයෙක් එය දන්නවා. ඒ ප්‍රවාදයෙන් පැහැදිලි කළ නොහැකි දේවලුත් තියෙනවා. එය ප්‍රවාදයක ස්වභාවය.

      Delete
    4. ඔය තියෙන්නෙ පැහදිලිවම...අන්න එහෙම කිව්ව නම් නලින් ද සිල්වා ව විකටයාට අන්දන අවස්ථා අඩු වේවි.කොහෙද මේ මනුස්සයා දෙයක් කියන්නෙ හොඳටම සංකීරණ කරල නෙව

      Delete
    5. ඉකොන් ඔබ වැරදියි, මිනිහෙක් උඩ ඉඳලා නිදහසේ බිමට වැටෙනකොට ඒ මිනිහා මත යෙදෙනවා 1G බලයක්. හැබැයි ඔය ප්‍රහාරක ගුවන් යානයක යන පයිලට් කෙනෙක් මැනූවරින් කරනකොට 2G, 3G හෝ ඊටත් වඩා බලයක් ඇඟ මත යෙදෙනවා. මම හිතනවා ඔබ මගී ගුවන් යානයක ගිහින් ඇති කියලා, මේ ගුවන් යානයක් මැනූවරින් කරනකොටත්, ටර්බිටුලන්ස්වලට අහුවෙලා ලිෆ්ට් එක අඩු වෙලා, පහලට වැටෙනකොටත්, ඇඟ මත 1G වලට වඩා අඩු බලයක් යෙදෙනවා. මේක මටනම් හොඳට ඔලුවටම දැනෙනවා. අපි වගේ සාමාන්‍ය මිනිහෙක්ව නිදහසේ ගුරුත්වය යටතෙ පහලට වැටුණොත්, මොළයට දැනෙන 1G බලය දරා ගන්න බැරුව සිහි නැති වෙන්න පුළුවන්, බිමට වැටෙන්න ඉස්සෙල්ලා. ඔය අභ්‍යවකාශෙ යන්න ඉස්සරවෙලා, ශුන්‍ය ගුරුත්ව පුහුණුව දෙන්නෙත් හොඳින් මැනූවරින් කරන්න පුළුවන් ගුවන් යානයක. අභ්‍යවකාශෙ ගිහින් ශුන්‍ය ගුරුත්ව අත්දැකීම ගත්ත කෙනෙක්ගෙන් අහන්න පුළුවන්, මොන අවයවයටද දැනුනෙ කියල.

      Delete
    6. මම හිතන්නෙ ඉකොන් පටලවගෙන ඒකාකාරී ප්‍රවේගයෙන් යන එකයි, බලයක් යටතෙ ඒකාකාරී ත්වරණයකින් ගමන් කිරීමයි.

      Delete
    7. නලින්ද සිල්වා විකටයා වෙලා තියෙන්නෙ බුද්ධාගමයි, විද්‍යාවයි පටල ගැනීමෙන්. මිනිහා බටහිරින් ගත්ත එකටත් ලැජ්ජයි. මිනිහ උදව් ගන්නෙ නාථ දෙවියන්ගෙන්, ආසිරි උදව් ගන්නෙ ගණ දෙවියන්ගෙන්. ඒත් ආසිරි මිථ්‍යා දෘෂ්ඨිකයා වෙනකොට නලින්ට මොකද වෙන්නෙ ?
      මේ ඉන්නෙ ආසිරි
      https://m.youtube.com/watch?v=xHquRVXBtt4

      Delete
    8. ටිකක් දීර්ඝව හිතල බලන්න ඕනේ නිදහස් වෙලාවක.

      එකපාරට හිතෙන විදියට නම්........ අපට දැනෙන්නේ ගුරුත්වාකර්ෂණ මොඩලයේ කියවෙන විදියට ගත්තොත් ; ගුරුත්වාකර්ශනයේ ප්‍රතිඵලයක් ලෙසින් වන ප්‍රතිකිරියා බලය වෙනස්වීම මිසක් ගුරුත්වාකර්ෂණය නෙවෙයි.

      මට තේරෙන විදියට නම් හිටපු මහාචාර්යතුමා කියන්නේ මේ මොඩල නිරපේක්ෂ සත්‍ය නොවෙන බව. මගේ කුඩා අදහස නම් ඒ මොඩල භාවිත කරන සීමාවේදී අවශ්‍යතාවයට අනුව නිවැරදි වුනාම ප්‍රමාණවත් බව.

      Delete
    9. //ඉකොන් ඔබ වැරදියි, මිනිහෙක් උඩ ඉඳලා නිදහසේ බිමට වැටෙනකොට ඒ මිනිහා මත යෙදෙනවා 1G බලයක්. හැබැයි ඔය ප්‍රහාරක ගුවන් යානයක යන පයිලට් කෙනෙක් මැනූවරින් කරනකොට 2G, 3G හෝ ඊටත් වඩා බලයක් ඇඟ මත යෙදෙනවා.//

      පිළිතුර මේ තුළම තියෙනවා. අපට දැනෙන්නේ මේ බලය නිසා ඇතිවන තෙරපුම මිසක් ගුරුත්වාකර්ෂණය නෙමෙයි. පීඩනයට නැත්නම් තෙරපුමට සංවේදී ස්නායු අපේ සම ආශ්‍රිතව තිබුණත් ගුරුත්වාකර්ෂණයට සංවේදී ස්නායු නැහැ. මෙයින් වෙනස්ව උෂ්ණත්වය වගේ දෙයක් ගත්තොත් අපේ ස්නායු එයට සෘජුවම සංවේදී නිසා උෂ්ණත්වය අපට දැනෙනවා. ගුරුත්වාකර්ෂණය එසේ දැනෙන දෙයක් නෙමයි. අපට දැනෙන පීඩනය / තෙරපුම නැත්නම් හම මත යෙදෙන බලය පැහැදිලි කිරීමට මේ අවස්ථාවේදී යොදාගන්නා ප්‍රවාදයක්. ඒ ප්‍රවාදය වෙනත් අවස්ථා වලදී වෙනත් බොහෝ දේ පැහැදිලි කිරීමටත් යොදාගත හැකියි. මම මේ කරන්නේ නලින් ද සිල්වා කියන දෙය මම තේරුම් ගන්න ආකාරය සරලව පැහැදිලි කරන්න උත්සාහ කිරීමක් විතරයි. ඒ හැර මම මේ කරුණු සම්බන්ධ (neurophysics) විශේෂඥයෙක් නෙමෙයි. වඩාත් නිවැරදිව කියනවානම් ඇත්තටම අපට දැනෙන්නේ අපේ ශරීරයේ තැන් දෙකක තියෙන පීඩන වෙනසයි. ඒ නිසා මුළු සිරුර මතම එක සමානව බලයක් යෙදුනු විට එය අපට දැනෙන්නේ නැහැ. ගුවන් යානයක් උඩට ගැනීමෙන් පසු (කාලගුණය අයහපත් නැත්නම්) අපට චලනය වීමක් නොදැනෙන්නේ ඒ නිසා. නමුත් ඒ ගුවන් යානයේම ගමන් කරන ගුවන් නියමුවාට අපට නොපෙනෙන යානයෙන් පිටත දර්ශන පෙනෙන නිසා ඔහුට චලනය වීම දැනෙනවා. එය සිදුවන්නේ ඇස් වලින් ලැබෙන සංවේදන නිසා. පහතින් යන කුඩා ගුවන් යානයක යන විට අපට වුනත් මේ චලනය හොඳින් දැනෙනවා.

      Delete
    10. //මගේ කුඩා අදහස නම් ඒ මොඩල භාවිත කරන සීමාවේදී අවශ්‍යතාවයට අනුව නිවැරදි වුනාම ප්‍රමාණවත් බව//
      පැහැදිලිවම. මේවා ආකෘති බව තේරුම් ගෙන අවශ්‍ය වැඩේ පමණක් කරගන්නනවනම් ප්‍රශ්නයක් නැහැ. ආකෘති කියන්නේ කෝකටත් තෛල නෙමෙයි.

      Delete
  10. ඒ කාලයේ ගුරුවරු ජලකර , අම්ලකර කිය කියා ඉගැනූවා / excellent work

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.