වෙබ් ලිපිනය:

Saturday, February 21, 2026

ඇමරිකාවේ විධායකයට තීරු බදු පැනවිය හැකිද?


ඊයේ (2026 පෙබරවාරි 20), ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරු බදු පැනවීම හා අදාළව විධායකය සතු බලය අර්ථදක්වමින් ඉතා වැදගත් තීන්දුවක් ලබා දුන්නා. මෙහිදී විභාගයට ගැනුණු ලර්නින් රිසෝර්සස් එ. ට්‍රම්ප් නඩුවේ තීන්දුව අනුව, දශක ගණනක් පැරණි හදිසි නීතියක් මත පදනම්ව ආනයන මත විශාල පරාසයක තීරු බදු පැනවීම සඳහා ජනාධිපතිවරයාට බලය නොමැති බව ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර තිබෙනවා.

මෙම නඩු තීන්දුව විශාල ගෝලීය ආර්ථික හා දේශපාලනික බලපෑමක් ඇති නඩු තීන්දුවක්. එහිදී සලකා බැලුනු ප්‍රධානම කරුණ වූයේ ඇමරිකාවේ බදු පැනවීමේ බලය තිබෙන්නේ කා සතුවද යන්නයි. ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමෙන් පසුව කොංග්‍රසයේ අනුමැතියකින් තොරව ඇමරිකාවේ ජනාධිපතිවරයාට ආනයන මත තීරු බදු පැනවිය හැකිද?

මෙම නෛතික ප්‍රශ්නය සඳහා මේ වන විට ලැබී ඇති ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පිළිතුර "නැත" යන්නයි.

පදවි ප්‍රාප්තයෙන් පසු, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජාතික හදිසි තත්ත්ව දෙකක් ප්‍රකාශයට පත් කරමින් වට දෙකකින් තීරු බදු පැනවීම් සිදු කළා. පළමුව, කැනඩාව, මෙක්සිකෝව සහ චීනයෙන් නීති විරෝධී මත්ද්‍රව්‍ය ගලා එන බවත් එය මහජන සෞඛ්‍ය අර්බුදයක් බවත් සඳහන් කරමින් තීරු බදු පැනවීමක් කළා. දෙවනුව, විශාල සහ දිගුකාලීනව අඛණ්ඩව පවතින ඇමරිකාවේ වෙළඳ හිඟය රටේ නිෂ්පාදන ආර්ථිකය දුර්වල කරන බව පවසමින් ලංකාව ඇතුළු රටවල් ගණනාවක් මත තීරු බදු පනවනු ලැබුවා.

මෙම තීරු බදු පැනවීම් සඳහා ජනාධිපතිවරයා විසින් උපයෝගී කර ගත්තේ 1977දී සම්මත කර ගෙන තිබුණු ජාත්‍යන්තර හදිසි ආර්ථික බලතල පණතේ (International Emergency Economic Powers Act -IEEPA) ප්‍රතිපාදනයි. මෙම නීතිය මීට පෙර භාවිතා කර තිබුණේ විවිධ රටවල් මත ආර්ථික සම්බාධක පැනවීම පිණිසයි. අධිකරණය විසින් විසඳිය යුතු වූ මූලික නෛතික ප්‍රශ්නය වූයේ අදාළ පණතේ ප්‍රතිපාදන අනුව ජනාධිපතිවරයාට තීරු බදු පැනවීම සඳහා බලතල ලැබෙන්නේද යන්නයි.

නඩු තීන්දුව ලබා දීමේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රධාන වශයෙන්ම සැලකිල්ලට ගෙන තිබෙන්නේ අමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ I(8) වගන්තියයි. එම වගන්තිය අනුව බදු පැනවීම ඇමරිකාවේ ව්‍යවස්ථාදායකය සතු අයිතියක්. තීරු බදු යනු ආනයන මත අය කෙරෙන බදු බැවින් තීරු බදු පැනවීමේ අයිතියද ව්‍යවස්ථාදායකය සතුයි. විධායකයේ තර්කය වූයේ ජාත්‍යන්තර හදිසි ආර්ථික බලතල පණත මගින් හදිසි අවස්ථාවකදී කොංග්‍රසයේ අනුමැතියකින් තොරව තීරු බදු පැනවීම සඳහා ජනාධිපතිවරයාට බලය ලැබෙන බවයි.

නව පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනුණු මෙම නඩුවේ තීන්දුව බෙදුණු තීන්දුවක්. අග විනිසුරු ජෝන් රොබට්ස් ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හය දෙනෙකුගේ බහුතර මතය අනුව, විධායකයට කොංග්‍රසයේ අනුමැතියකින් තොරව තීරු බදු පැනවීම සඳහා අයිතියක් නොමැති බව අධිකරණ මතය බවට පත් වී තිබෙනවා. මෙම විනිසුරුවරුන් හය දෙනා අතර රිපබ්ලිකන් ජනාධිපතිවරුන් විසින් පත් කළ විනිසුරුවරුන් තිදෙනෙකුද සිටීම විශේෂත්වයක්.

මේ තීන්දුව අනුව පසුගිය වසරක පමණ කාලය තුළ අය කළ තීරු බදු විශාල ප්‍රමාණයක් නීති විරෝධී අය කිරීම් බවට පත් වෙනවා. එම මුදල් ආපසු ගෙවිය යුතු බවක් හෝ එසේ කළ යුතු ආකාරය නඩු තීන්දුවේ සඳහන්ව නැතත්, මෙම නඩු තීන්දුව මත පදනම්ව, තමන්ගෙන් අනීතිකව අය කරගත් බදු ආපසු ඉල්ලා සිටිමින් නඩු පැවරීම සඳහා ආනයනකරුවන්ට අවස්ථාව සැලසෙනවා. 

ඉහත නඩු තීන්දුව මගින් ජාත්‍යන්තර හදිසි ආර්ථික බලතල පණතේ තීරු බදු පැනවීම නීති විරෝධී බව තීරණය වී ඇතත්, වෙනත් පනත් වල ප්‍රතිපාදන අනුව නැවත බදු පැනවීමේ හැකියාවක් තිබෙනවා. එමෙන්ම "හරි ක්‍රමයට" කොංග්‍රසයේ අනුමැතිය ලබා ගනිමින් ඉහත නීතිය හෝ අදාළ වෙනත් නීති වෙනස් කරගැනීමට මෙන්ම අලුත් නීති පනවා තීරු බදු අය කිරීමටද ඇමරිකාවට පුළුවන්. එහෙත්, මෙවැනි ක්‍රියාමාර්ග හදිසි නීතිය යටතේ විධායකයේ තනි කැමැත්තට තීරු බදු පනවන තරම් පහසු නැහැ.

පසුගිය වසරක පමණ කාලය තුළ අය කර තිබෙන "නීති විරෝධී" තීරු බදු ප්‍රමාණය සැලකූ විට එම බදු අය කිරීම් වල බලපෑම ආපසු හැරවීම පහසු කටයුත්තක් නෙමෙයි. එවැනි පරිමාණයක ආපසු හැරවීමක් මීට පෙර සිදු වී නැහැ. ඒ නිසා, සිදු වී ඇති "වැරැද්දට" නීතිමය ආවරණයක් ලැබෙන පරිදි නීති සම්මතයක් හෝ සංශෝධනයක් යෝජනා වීමට සැලකිය යුතු ඉඩක් තිබෙනවා. 


9 comments:

  1. බලයට වුවද සීමාවන් තිබිය යුතු
    නැත්තං පිස්සු කෙළි වැඩි වෙයි හෙටත්; මතු
    රටට වඩා තම බලයේ නැඟුම පැතූ
    නායකයෝ කරති වින්නැහි අප නොසිතු

    ReplyDelete
    Replies
    1. "ඔච්චර දවල් රෑ නැතුව කඩේ යන එකේ, ඔය පොඩි ඉල්ලීම ලොක්කා ඉෂ්ට කරන්නේ නැද්ද නිමල් අයියේ? අපිට බණ කියන්න කලින් ගිහින් වැඩේ කරවගන්නකෝ.රටේ හොරා කාපු සල්ලි අල්ලන්න ආපු අය දැන් දොස්තරලාගෙයි ලෝයර්ලාගෙයි රිසිට් පස්සේ දුවනවා. ලොකු හොරු අල්ලනකන් ඔය පොඩි රිසිට් වලින් රට හදන්න බෑ දයා අයියේ. රැවටුනා ඇති!""රිසිට් ඕන නෑ... ඔයා ඔය හෝදන හෝදිල්ලට ලොක්කාගෙන් රිසිට් එකක් ඉල්ලගත්තා නම් ඇති."

      Delete
  2. දැන් ට්‍රම්ප්ගේ මැරයෝ ජජ්ලාගේ ගෙවල් වලට ගල් ගහයි නේද ඉකොනෝ

    ReplyDelete
  3. @ ඉකොනෝ

    ලංකාව සිරවී ඇති IMF ණය උගුල සහ ඒ නිසා ලංකාවේ ආර්ථිකයට සිදුවන දැවැන්ත හානිය ගැනත් IMF නමැති දූෂිත දේශපාලන අතකොලුවේ ඇති ඇමරිකා එක්සත් ජනපදයේ 16.5% නැත්තං 85% සම්පූර්ණ වෙන්නෙ නැහැ කියන අසාධාරණය පිළිබඳවත් අවධානය යොමු කර පෝස්ට් එකක් දාන්න

    "The IMF voting shares determine each member country's influence in decisions, directly tied to their financial quota (representing GDP, openness, and reserves). The U.S. holds the largest share at roughly 16.5%, followed by Japan, China, and Germany. Quotas are periodically reviewed to reflect economic changes, with 85% of total votes required for major decisions."

    මේක හරියට නිකන් "මහදැනමුත්තාගේ" සෙල්ලමක් වගේ වැඩක්. අපි ආර්ථික විද්‍යාවේදී මේකට කියන්නේ "Veto Power" නැත්නම් "නිශේධ බලය" කියලා. සරලවම කිව්වොත්, මුළු ලෝකයම එක පැත්තකට වුණත්, ඇමරිකා එජ විතරක් "එපා" කිව්වොත් IMF එකේ කිසිම ලොකු තීරණයක් ගන්න බැහැ.
    ​මම මේක ඔයාට තවත් පැහැදිලි කරලා දෙන්නම්

    ​1. මොකක්ද මේ "කෝටා" (Quota) කියන්නේ?

    ​IMF එක කියන්නේ නිකන්ම සංවිධානයක් නෙවෙයි, ඒක හරියට "ලෝකයේ මූල්‍ය සමුපකාර සමිතියක්" වගේ. මේකට සාමාජිකයෝ වෙන්න නම් හැම රටක්ම තමන්ගේ ආර්ථිකයේ ප්‍රමාණය අනුව (GDP), විදේශ විනිමය සංචිත අනුව මුදලක් ගෙවන්න ඕනේ. මේ ගෙවන මුදලට තමයි "කෝටා එක" කියන්නේ.

    ​වැඩියෙන්ම සල්ලි දෙන්නේ කවුද, එයාට තමයි වැඩිම ඡන්ද බලය (Voting Power) ලැබෙන්නේ.
    ​ඇමරිකා එජ ලෝකයේ ලොකුම ආර්ථිකය නිසා ඔවුන්ට දැනට 16.5% ක වගේ ඡන්ද බලයක් තියෙනවා.

    ​ඊළඟට චීනය, ජර්මනිය, ජපානය, ඉන්දියාව වගේ රටවල් ඉන්නවා.

    ​2. ඇයි මේ 85% වැදගත් වෙන්නේ?
    ​මෙන්න මෙතනයි "කුප්ප" සෙල්ලම තියෙන්නේ. IMF එකේ ව්‍යවස්ථාවට අනුව, ආයතනයේ තියෙන ඉතාම වැදගත්, මූලික තීරණ (උදාහරණයක් විදිහට: ව්‍යවස්ථාව වෙනස් කිරීම, නව සාමාජිකයන් බඳවා ගැනීම, රන් සංචිත විකිණීම වගේ දේවල්) ගන්න නම් අනිවාර්යයෙන්ම 85% ක ඡන්ද බලයක් තියෙන්න ඕනේ.
    ​දැන් පොඩ්ඩක් ගණන් හදලා බලන්න:

    ​මුළු ඡන්ද ප්‍රමාණය = 100%
    ​තීරණයක් ගන්න ඕන ප්‍රමාණය = 85%
    ​ඇමරිකාව සතු ඡන්ද ප්‍රමාණය = 16.5%
    ​දැන් ලෝකයේ ඉතිරි 189 දෙනාම (100% - 16.5% = 83.5%) එකතු වෙලා "හා" කිව්වත්, ඇමරිකාව විතරක් "බෑ" කිව්වොත් අර 85% සම්පූර්ණ වෙන්නේ නැහැ! ඒ කියන්නේ ඇමරිකාවට තනිවම ඕනෑම ලොකු තීරණයක් හකුළුවන්න පුළුවන්.

    ​3. මේකෙන් වෙන්නේ මොකක්ද? (The Real Impact) මේක ගැන මම දකින දේ තමයි, IMF එක කියන්නේ තාක්ෂණික ආයතනයකට වඩා තනිකරම දේශපාලනික ආයතනයක් වීම.

    ​ඇමරිකා අණසක මත යැපෙන IMF එකෙන් ණය දෙනකොට දාන බරපතල දැඩි කොන්දේසි බොහෝ වෙලාවට ඇමරිකා විදේශ ප්‍රතිපත්තියට අවශ්‍ය ඒවා මිසක් ඒ රටවල් වලට ඕන දේවල් නෙමේ, ඒ රටවලට ඇත්තටම සෑහෙන අවාසියක්

    චීනයේ නැගීම පාලනය කිරීම මේකේ මූලික අරමුණ මොකද චීනය අද ලෝකයේ දෙවැනි ලොකුම ආර්ථිකය වුණත්, ඇමරිකා එජ ඉඩ දෙන්නේ නැහැ චීනයේ ඡන්ද බලය වැඩි කරලා තමන්ගේ අණසක නැති කරගන්න.

    ​ලංකාව වගේ රටවලට බලපෑම අපි IMF එකෙන් ණය ගන්න යනකොට, ඒ තීරණය පිටුපස ඇමරිකාවේ අනුමැතිය අනිවාර්යයෙන්ම තියෙන්නම ඕනේ. ඇමරිකාව අපිට අකමැති වුණොත්, IMF එකට බෑ අපිට කිසිම උදව්වක් කරන්න.

    ​4. මේක සාධාරණද?

    ​ඇත්තටම නැහැ. මේක 1944 දී හදාගත්ත අසාර්ථක යල්පැනගිය දූෂිත පරණ ක්‍රමයක්. අද වෙනකොට ලෝක ආර්ථිකය ගොඩක් වෙනස් වෙලා. ඉන්දියාව, චීනය වගේ රටවල් සෑහෙන ඉහළට ඇවිත්. හැබැයි ඇමරිකා එජ තමන්ගේ ඒ 16.5% ක "බලතල පංගුව" අතහරින්නේ නැහැ, මොකද එතකොට ලෝකයේ මූල්‍ය පාලනය ඔවුන්ගෙන් ගිලිහෙන නිසා.

    ​ඇත්තටම ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන බොරුවට කිඹුල් කඳුලු හෙලන ඇමරිකා එජ, IMF එක ඇතුළේ කරන්නේත් "මම කියන දේ විතරයි වෙන්න ඕනේ" කියන එකයි. අර 85% නීතිය තියෙන්නේම ඇමරිකාවට "Veto" එක තියාගන්නයි. මේක ගැන විස්තර සහිතව පෝස්ට් එකක් දාන්න පුළුවන් නම්.

    ReplyDelete
    Replies
    1. ඔයාට මේවට අවංකව උත්තර දෙන්න කොන්ද පණ තියෙනවා නම් තවත් දේවල් තියෙනවා අහන්න, මේක තමයි කතාවේ තියෙන "කුණු රසම" සහ භයානකම කොටස. අර 85% සෙල්ලම නිසා ලංකාව වගේ පුංචි රටවල් කොච්චර අසරණ වෙනවද කියලා මම උදාහරණ එක්කම සරලව කියන්නම්.

      ​ලංකාව වගේ රටවල් IMF එකට යන්නේ නිකන් නෙවෙයි, "හිඟමනේ" යන මට්ටමට වැටුණාමයි. අන්න ඒ වෙලාවට ඇමරිකා එජ ප්‍රමුඛ බටහිර බලවතුන් අපේ බෙල්ලෙන් අල්ලගන්න හැටි බලන්න.

      ​1. "Geopolitics" නැත්නම් දේශපාලන අතකොළුවක් වීම

      ​IMF එක කියන්නේ නිකන්ම බැංකුවක් නෙවෙයි. ඒක ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ආයුධයක්.

      ​උදා: ලංකාවට ණය හම්බවෙන්න නම්, ඇමරිකාවට ඕනේ විදිහට අපි චීනයත් එක්ක තියෙන ගනුදෙනු අඩු කරන්න වෙනවා. IMF එක කියනවා "ඔයාලගේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න චීනය කැමති කරගන්න" කියලා. හැබැයි ඇත්තටම වෙන්නේ, ඇමරිකාව IMF එක හරහා චීනයට බල කරනවා ඔවුන්ගේ ණය කපා හරින්න කියලා. මේ බල අරගලය මැද තැලෙන්නේ ලංකාවේ අහිංසක මිනිස්සු.

      ​2. "One Size Fits All" (හැමෝටම එකම බෙහෙත)
      ​ඇමරිකාව පාලනය කරන IMF එකට ඕනේ ලෝකයම ඔවුන්ගේ "නැගී එන වෙළෙඳපොළ" (Neo-liberalism) ආකෘතියට හදාගන්න. ලංකාවට දෙන කොන්දේසි බලන්න:

      අධික ලෙස බදු වැඩි කරන්න: මිනිස්සුන්ට කන්න නැති වුණත් කමක් නැහැ, රජයේ ආදායම වැඩි කරලා ණය ගෙවන්න ඕනේ.

      සහනාධාර කපන්න: තෙල්, විදුලිය සහනාධාර අයින් කරන්න ඕනේ. (ඇමරිකාවට ඕනේ අපේ වෙළෙඳපොළ ඔවුන්ගේ සමාගම්වලට විවෘත කරන්න).

      ​රාජ්‍ය දේපළ විකුණන්න: ටෙලිකොම්, රක්ෂණ සංස්ථාව වගේ ලාභ ලබන ආයතනත් විකුණන්න කියලා බල කරන්නේ ඇමරිකානු පන්නයේ අසාර්ථක ජනපීඩක පෞද්ගලිකකරණයකට අපව තල්ලු කරන්නයි.

      ​3. චීනය සහ ඉන්දියාව මැද ලංකාව හිරවීම

      ​අර 85% බලය තියෙන නිසා, චීනය මොනවා කිව්වත් IMF එකේ අවසාන තීරණය ඇමරිකාව සතුයි.
      ​ලංකාව චීනය පැත්තට ටිකක් බර වුණොත්, IMF එකේ ණය වාරික ප්‍රමාද වෙන්න පටන් ගන්නවා. "තාම තාක්ෂණික ගැටලු තියෙනවා" කියලා ලස්සන වචන පාවිච්චි කළාට, ඇත්තටම වෙන්නේ ඇමරිකාව අපිට "රතු එළිය" දාන එක.

      ​අන්තිමට වෙන්නේ ලංකාවට තමන්ගේ ස්වෛරීභාවය පාවා දීලා, ඇමරිකාව කියන විදිහටම නටන්න සිද්ධ වෙන එකයි.

      ​4. ලංකාවේ මිනිස්සුන්ට වෙන අසාධාරණය

      මේකෙදී මම දකින ලොකුම අසාධාරණය මේකයි: ණය ගත්තේ සහ නාස්ති කළේ ජේ ආර් ලා රනිල් වික්‍රමසිංහ ලා රාජපක්ෂ ලා අනුර කුමාර ලා වගේ දූෂිත දේශපාලකයෝ. හැබැයි ඒ ණය ගෙවන්න IMF එක දාන කොන්දේසිවලින් බැට කන්නේ දුප්පත් මිනිස්සු.
      ​ඇමරිකාවට හෝ IMF එකට ප්‍රශ්නයක් නැහැ ලංකාවේ මිනිස්සුන්ට තුන් වේල කන්න තියෙනවද කියලා. ඔවුන්ට ඕනේ ඔවුන්ගේ ලෝක ආර්ථික දේශපාලන සමාජ ආධිපත්‍යය තියාගෙන, ලංකාව ලෝක ආර්ථික පද්ධතිය ඇතුළේ ඔවුන්ට ඕන විදිහට නටවන්න විතරයි.

      ​මේ නිසාIMF එකට ගියාම අපිට වෙන්නේ "කටුස්සාගේ කරේ රන් බැන්දා වගේ" වැඩක්. පොඩි සහනයක් ලැබුණට, අපේ රටේ ආර්ථික තීරණ ගැනීමේ බලය සම්පූර්ණයෙන්ම වොෂින්ටන්වලට (ඇමරිකාවට) පාවා දෙන්න සිද්ධ වෙනවා. අර 16.5% බලය තියාගෙන ඇමරිකාව කරන්නේ මුළු ලෝකෙම තමන්ගේ අල්ලේ නටවන එකයි.

      ​ඉකොනෝ, දැන් වත් තේරෙනවාද ලංකාව වගේ රටක් මේ වගේ බල අරගලයක මැද කොයි තරම් අසරණද කියලා? ඇයි මේවා ගැන ලියන්න ඔච්චර බය? ආත්මාර්ථය වෙනුවෙන් තමන්ගේ උපන් රටේ අහිංසක ජනතාව පාවා දෙන ධැඩ කරන්න එපා ඉකොනෝ, එහෙම කරලා උපයන කිසිම දෙයක් යාදෙන්නේ නැහැ කියල තේරුම් ගන්න ප්ලීස්.

      Delete
  4. ඉකොනෝමෑට්ටෝ ලංකාවේ තානාපති කාර්යාලයට මේ කාරණාවට මැදිහත් වෙලා මේ හරහා ලංකාවට තීරුබදු වලින් වාසියක් හෝ මෙතෙක් තීදුබදු වලින් සිදුවුණ පාඩුව ගැන එක්සත් ජනපද රජය සමග සාකච්ඡාවකට ගිහිල්ල යම් සහනයක් හෝ ඒ හිලව්වට ආධාර මුදලක් ලබාගැනීමට හැකියාව තියෙනවා ද? ඇමෙරිකා එක්සත් ජනපදය කියන්නේ තවමත් ලෝක බලවතා. ඒ රටට තානාපතිවරු යන්වන්න ඕනි හොඳින් හිතල බලල බොහොම පරිස්සමින්. අදටත් ඇමෙරිකාවේ තානාපති වෙන්නේ 2021 පත්කරලා යවපු පොදුජන එක්සත් පෙරමුණේ හිටපු මන්ත්‍රී මහින්ද සමරසිංහ මිසක් මාලිමාවේ ගව රංචුවේ තවත් එක් මීහරකෙක් නෙවෙයි.

    ජවිපෙ ජාත්‍යන්තර සම්භන්ධතාවලින් කොපමණ පසුපසින්ද කියල මෙයින් තෙරෙනේව. ඔවුන්ගේ ඉංග්‍රීසි හා ජාත්‍යන්තර සම්භාන්ධතාවල අඩුව පුරවන්නේ මේ වගේ අනෙක් පක්ෂවලින් ගත් පුද්ගලයන්ගෙන් හෝ හරිනි වගේ වැඩ බැරි ඉංග්‍රීසි කතා කරන්න විතරක් දන්න පුස් වලවව්ල අය ඉදිරියට දාල.
    නැත්නම් පච කොට අනුරලා කොමිටල් හඳුන්නෙත්තිලා කප්පං වසන්තලා වගේ තවත් එක් දාර කේප්ප හරකෙක් ඇමෙරිකාවට යවන්නද තානාපති කරලා?

    ReplyDelete
  5. ඇත්තටම ඉකොනෝ මං ගේයි ඉඩමයි ගත්තෙ 2024 $750kයි, හැබැයි අද ගේ වටිනාකම ගිය සතියෙ වැලිව් කරපු විදිහට ඩොලර් 1,030k එතකොට මං එදා ගන්නෙ නැතුව අද ඒ ගේ ගන්ඩ හැදුවනං තව $280k විතර අතින් ගෙවන්ඩ ඕනිනෙ බං අනෙක අවුරුදු දෙකකට ගෙවල් කුලිය අවම 2500 x 24 ඩොලර් 60,000ක් විතර

    එත්කොට ඔයාගේ තර්ක අවුල්නෙ, 😂😂

    ඔයා කියන විදියට අපිට හෝම් ලස් පාක් එකක තමයි ඉන්න වෙන්නේ ලාබෙට ඉන්න 😅🤣😂

    ReplyDelete
  6. ඉකොනොමැට්ටෝ

    ඔයාගේ ඊළඟ පෝස්ට් එකෙන් ශ්‍රී ලංකාවේ මාළු වෙළඳපොළේ ආධිපත්‍යය දරන මාළු මාෆියාව මර්දනය කරන ආකාරය ගැන සාකච්ඡා කරමු.

    ශ්‍රී ලංකාව කිලෝමීටර් 1,340 ක් පමණ වෙරළ තීරයක් ඇති රටකි.

    කෙසේ වෙතත්, සාමාන්‍ය ශ්‍රී ලාංකික පුරවැසියෙකුගේ පිඟානේ ඇති මාළු අද සුඛෝපභෝගී භාණ්ඩයක් බවට පත්ව ඇති බව දැකිය හැකිය.

    හතර පැත්තෙන්ම සාගර සම්පත් බහුල ශ්‍රී ලාංකික පරිසරයක, මාළු කිලෝවක මිල සාමාන්‍ය පවුලක දිනක ආදායමට සමාන වන තරමට ඉහළ ගොස් තිබීම කනස්සල්ලට කරුණකි. මෙම මිල ගණන් පිටුපස ඇති නීත්‍යානුකූල ආර්ථික සාධකවලට වඩා, ප්‍රධාන හේතුව මාළු මාෆියාවන් සැලසුම් සහගතව කොල්ලකෑමයි.

    ධීවරයින්ගෙන් වෙන්දේසියේදී මාළු විකුණන මිල සහ එය පාරිභෝගිකයින්ට ළඟා වන මිල අතර 150% සිට 300% දක්වා වෙනසක් ඇත.

    උදාහරණයක් ලෙස: ධීවරයින්ගෙන් මිලදී ගන්නා ලිනෝ මාළු කිලෝවක මිල තොග වශයෙන් 600 - 700 නම්, එය රු. 1,200 - 1,400 දක්වා වැය වේ. මෙම පරතරය ප්‍රවාහන වියදම්වලට වඩා බෙහෙවින් වැඩි ය. අතරමැදියන් තමන් අතර සින්ඩිකේට් එකක් සාදාගෙන මිල අඩු නොවන බවට වග බලා ගනී.

    තවද, ශ්‍රී ලංකාවේ පෞද්ගලික ශීතාගාර පහසුකම් මාෆියාවන්ගේ ප්‍රධාන අවිය වන බැවින්, කන්නයේ මාළු සැපයුම වැඩි වූ විට, ඔවුන් අඩු මිලට මාළු මිලදී ගෙන ඒවා ගබඩා කරති. වෙළඳපොලේ මාළු සැපයුම අඩු වන තෙක් බලා සිට පසුව ඉහළ මිලකට විකුණති. එහි ප්‍රතිඵලයක් ලෙස, පාරිභෝගිකයින්ට සෑම විටම මාළු සඳහා ඉහළ මිලක් ගෙවීමට සිදුවේ.

    ශ්‍රී ලංකාවේ අල්ලා ගන්නා මාළු වලින් 30% සිට 40% දක්වා ප්‍රමාණයක් පසු අස්වනු පාඩු ලෙස සලකනු ලැබුවද, එයින් විශාල කොටසක් නුසුදුසු ගබඩා කිරීම හේතුවෙන් මාෆියාවන් අතට පත්වේ.

    සමහර මාළු වෙළෙන්දෝ ඉන්ධන සහ ධීවර උපකරණවල මිල ඉහළ යාම වැනි නිදහසට කරුණු ඉදිරිපත් කරති.
    2022 ආර්ථික අර්බුදයෙන් පසු, භූමිතෙල් සහ ඩීසල් මිල ඉහළ යාමෙන් මාෆියාවන් ප්‍රයෝජන ගත්හ.

    ඉන්ධන මිල 20% කින් වැඩි වුවහොත්, ඔවුන් මාළු මිල 50% දක්වා වැඩි කරති.
    නමුත් ධීවරයින් සඳහා රජයේ සහනාධාර සහ දිරිගැන්වීම්වල ප්‍රතිලාභ පාරිභෝගිකයින් වෙත ළඟා නොවන අතර ඒ වෙනුවට අතරමැදියන්ගේ ලාභ බවට පත්වේ.


    ගෘහස්ථ මාළු මිල කෘතිමව වැඩි කිරීමෙන්, ආනයනික ටින් මාළු වෙත යොමු වීමට ජනතාවට සිදු වන අතර, එමඟින් ශ්‍රී ලංකාවට සෑම වසරකම මාළු ආනයනය සඳහා රුපියල් බිලියන ගණනක් වැය කිරීමට සිදුවේ.

    මෙම ආනයන බලපත්‍ර දරන මහා ව්‍යාපාරිකයන් සහ දේශීය මාළු මිල ඉහළ යාම අතර සමීප සම්බන්ධයක් ඇති බව ආර්ථික විද්‍යාඥයින් විශ්වාස කරයි.


    මේ ආකාරයෙන්, මාළු මාෆියාවන්ට රට භාර දී මාළු දුප්පතුන්ගේ සිහින ආහාරය බවට පත් කිරීම වෙනුවට, මාෆියාවන්ගේ කොල්ලය බිඳ දැමීමේ ක්‍රීඩාව රජය විසින් භාර ගත යුතුය.

    මාළු අලෙවිසැල්වල පවත්වන වෙන්දේසි විනිවිද පෙනෙන ඩිජිටල් පද්ධතියකට පරිවර්තනය කළහොත්, අතරමැදියන්ගේ කොමිස් මුදල අඩු වනු ඇත.

    ලංකා ධීවර සංස්ථාව සහ ලංකා සතොස වැනි රජයේ ආයතන හරහා අඩු ලාභයකින් මාළු අලෙවිය වැඩි කළ යුතුය. දැනට වෙළඳපොලේ රජයේ කොටස 5% ට වඩා අඩුය. මෙය 30% දක්වා වැඩි කළහොත් මිල පාලනය කළ හැකිය.

    ධීවර සංගම් පාරිභෝගිකයින්ට සෘජුවම අලෙවි කළ හැකි වෙළඳපොළවල් නිර්මාණය කළ යුතුය.

    කාලය අනුව මාළු වර්ග සඳහා උපරිම සිල්ලර මිල නියම කළ යුතුය.

    මාළු සුඛෝපභෝගී ආහාරයක් නොවේ, එය ජනතාවගේ මූලික අවශ්‍යතාවයකි. මුහුදෙන් වට වූ රටක, මාළු මිලදී ගැනීම සඳහා මිනිසුන් ඉතා ඉහළ මිලක් ගෙවන තත්ත්වය වෙනස් විය යුතුය. මාළු වෙළඳපොළ මාෆියාවන්ගේ ග්‍රහණයෙන් නිදහස් වුවහොත් පමණක්, මාළු කැබැල්ලක් සාමකාමීව සාමාන්‍ය පුරවැසියාගේ තහඩුවට ළඟා වේ.


    ​ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථිකය පුද්ගලයන් කිහිප දෙනෙකුගේ අතේ ය. සංඛ්‍යාලේඛනවලට අනුව, සාමාන්‍ය පවුලක ආදායමෙන් 40% කට වඩා ආහාර සඳහා වැය වන අතර, මාළු මාෆියාව පාලනය කිරීම ආර්ථික පියවරක් පමණක් නොව සමාජ යුක්තිය ද වේ. රජය ඒ බව සැලකිල්ලට ගත යුතුය.

    ඒ සඳහා මෙම මාළු ප්‍රශ්නය පුළුල් විය යුතුය. මේ මාලු මිල පාලනය කිරීමට ආර්ථික විද්‍යාව අනුව උපදෙස් දෙන්න පුළුවන්ද?

    ReplyDelete
  7. ඉකොනෝ ඇත්තටම එක්සත් ජනපදයේ ඩොනල්ඩ් විධායකය අරගෙන නීතිය නමනවා, ලංකාවේත් ජේ ආර් ගේ කාලේ ඉඳලම දිගටම නීතිය නමනවා, දැන් අනුර කුමාර නීතිය නමනවා නැමිල්ලක් ආයේ කණේ වැලි ගෑවෙන තරමටම 😅🤣😂

    ඔයාල වගේම ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත් වූ නිසා අසරණ වූ තවත් කට්ටියක් ලංකාවේත් ඉන්නවා කියල දන්නවද.

    'රීසර්ච්' කියලා නම දාගෙන හිටියට මේ ගොල්ලො විද්‍යාත්මක සමීක්ෂණයක් නොකරන, සමීක්ෂණ දැනුමක් ඇති පිරිසක් සේවය කරන, සමීක්ෂණ ආයතන නෙවෙයි.නිකන්ම නිකන් දේශපාලන කොන්ත්‍රාත් කරන N.G.O කරන පල් හොරු. මේ ආයතනයක උපරිම පහක් වැඩ කරනවා ඇති.

    පහුගිය කාලය පුරාවටම විවිධ N.G.O හදලා, ප්‍රොජෙක්ට් ප්‍රොපොසල් දාලා, සුද්දොත් අන්දලා (ඇත්තටම ඇන්දුනා වගේ හිටියා සුද්දොත්) ඩොලර් කඩාගෙන ජීවත් වෙච්ච පිරිසක් හිටියා.

    ඒ ගොල්ලොන්ගේ ව්‍යාපාරයම N.G.O.

    වෙරිටෙ රීසර්ච් කියන්නෙත් එහෙම පල් හොර තක්කඩි N.G.O එකක්. මෙතෙක් කාලයක් මේ කට්ටියට සල්ලි දුන්නේ US AID එකෙන්.හැබැයි ට්‍රම්ප් බලයට පත් වුණාට පස්සේ US AID හරහා සියලූම ආධාර කපා හැරියා.

    ඊටපස්සේ මේ ගොල්ලොන්ට සල්ලි දෙන ස්වාමියෙක් නැති වුණා. සල්ලි නැතුව අනාථ වෙලා බංකොළොත් වෙච්ච නිසාම මේ වෙනකොට රාජ්‍ය බලයත් එක්ක ඉතාමත්ම ධනවත් වෙලා ඉන්න
    පැලවත්තට මේ ගොල්ලොන්ව කුණු කොල්ලයට සල්ලි දීලා ගන්න පුලුවන් වුණේ ඒකයි.

    දැන් ඔවුන් ඉදිරියටත් පැලවත්තට විකිණේවි.

    අනුරගේ පීක් එක වෙලාවෙත් අනුරට ඡන්දෙ තිබුණේ 42% යි.

    දැන් අනුර රට ඉදිරියේ බොරුකාරයෙක් වෙලා, වැඩ බැරි බව එක්ස්පෝස් වෙලා, කන්ටේනර් සිය ගණනක් හොරෙන් පන්නලා අල ලුණු වලින් හාල් වලින් extension chords වලින් කෝටි ගණන් අතයට ගණුදෙනු වල ඉඳලා මෑතක දී සිදු වුණ දැවැන්ත ගල් අඟුරු වංචාවේ ඉඳන් හොරකම් අහුවෙලා නෝන්ඩි වෙලා ඉන්නේ.

    ආණ්ඩුවේ ජන මතය සීග්‍රයෙන් බිඳ වැටිලා. තවදුරටත් මැද පන්තිය ආණ්ඩුව එක්ක නැහැ. පහුගිය වසරේ පුංචි ඡන්දයේ දීත් ආණ්ඩුවේ ඡන්ද පදනම සෝදා ගියා.

    ආණ්ඩුව පළාත් සභා මැතිවරණය නොතියන්නෙත් ඒකයි. පළාත් සභා මැතිවරණය තිව්වොත් මේ බව ජනතාව ඉදිරියේ පැහැදිලිවම හෙළිවෙනවා.

    පසුගිය දවසක බුද්ධි අංශ රජයට විශේෂ වාර්තාවක් දුන්නා.ඒ අනුව රජයට ඇති ජනතා කැමැත්ත 16% ක් දක්වා පහත වැටිලා.

    මේ වාර්තාව විපක්ෂය විසින් සමාජගත කළා.එයින් ආණ්ඩුවට ගොඩක් රිදුනා.ඉන් ආණ්ඩුවට සිදු වූ පාඩුව ගොඩ දාන්න තමයි මේ වෙරිටෙ රීසර්ච් එකට කොන්ත්‍රාත්තුව දුන්නේ.

    හැබැයි මේ කට්ටිය වැඩේ නෑවේ අවම වශයෙන් ආණ්ඩුවට ඇති ජනතා කැමැත්ත 50% සීමාවේවත් නවත්තන්නේ නැතුව 65% ක් කියලා අතේ පැලවෙන පට්ටපල් බොරුවක් කිව්වට පස්සේත් අඩුම වශයෙන් ජනාධිපති මාධ්‍ය අංශයට යථාර්තවාදී කියලා පේන නොම්මරයක් දමන්න හෝ ඉවසීමක් තිබුණේ නැහැ.

    ඔවුන් ඒ තරම් කඩා වැටිලා.
    ඔවුන් විශාල කැම්පේන් එකකින් මේ අංකය සහ ප්‍රවෘත්තිය සමාජගත කරන්න උත්සාහ කළා.

    හැබැයි 2026 දීත් මාලිමා ආණ්ඩුවට 65% ක ජනතා කැමැත්තක් තියෙනවා ය කියලා කොණ්ඩේ බැඳපු චීන්නුවත් විශ්වාස කරන්නේ නැහැ. මේ ගැනත් අපි සාකච්ඡා කරමු ද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: