භෞතික ලෙස පිරිසිදු ශ්‍රී ලංකාවක් පිළිබඳ අදහස අලුත් එකක් නෙමෙයි. මෙම අදහස ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත වන්නේ රටේ මධ්‍යම පංතිය ප්‍රසාරණය වීමට සමාන්තරවයි.
ලංකාවේ මධ්‍යම පංතිය ප්‍රසාරණය වෙද්දී, ඊට පෙර රටේ සුළු පිරිසකට පමණක් කළ හැකි දෙයක් වූ, සංවර්ධිත රටක සංචාරය කිරීමේ අවස්ථාව බොහෝ ශ්‍රී ලාංකිකයින්ට ලැබුණා. ඒ වගේම, ස්ථිර පදිංචිය පිණිස සහ රැකියා පිණිස විදේශගත වීම් ඉහළ ගියා. සමාජ ජාලා ව්‍යාප්ත වීමත් සමඟ එවැනි අවස්ථා නොලද තවත් බොහෝ දෙනෙකුටද රටෙන් පිටත ලෝකය ලංකාවේ සිටම ඇස් දෙකින් දැක ගැනීම සඳහා අවස්ථා උදා වුනා.
අප කාලයක් ජීවත් වූයේ පාරවල් අයිනේ තැන් තැන් වල කුණු ගොඩ ගැසී තිබුණු, පොදු ස්ථාන බොහොමයක් පිරිමින්ගේ විවෘත වැසිකිලි වූ ශ්‍රී ලංකාවකයි. කලකට පෙර මා පළමු වරට සිංගප්පූරුවට ගොඩ බසිද්දී ලංකාව සහ එරට අතර වෙනස පැහැදිලි ලෙස දෘශ්‍යමාන වන්නට පටන් ගත්තේ ගුවන් තොටුපොලේදීමයි. ගුවන් තොටුපොළෙන් එළියට පැමිණ රට ඇතුළට යද්දී දිගින් දිගටම පෙනුනේ මේ වෙනසයි.
නමුත් දැන් ලංකාව සහ වෙනත් සංවර්ධිත රටක් අතර ඒ තරමේම වෙනසක් නැහැ. රට භෞතික වශයෙන් පිරිසිදු තැනක් බවට පත් කිරීම සඳහා ආණ්ඩු විසින් වරින් වර දියත් කළ වැඩ සටහන් මෙන්ම ජනතාවගේ ආකල්ප ක්‍රමයෙන් වැඩි දියුණු වීමද මේ සඳහා හේතු වුනා. මේ වෙනස සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ලැබුණු දායකත්වයද අමතක කළ නොහැකියි.
දශක ගණනකට පෙර පැවති තත්ත්වයට සාපේක්ෂව ලංකාව භෞතිකව බොහෝ පිරිසිදු තැනක් වුවත්, කිසිසේත්ම මේ අතින් අංග සම්පූර්ණ තැනක් නෙමෙයි. දැනට පවතින තත්ත්වය තවදුරටත් වැඩි දියුණු කිරීම සඳහා රජයේ මෙන්ම සමස්ත ජනතාවගේ ආකල්ප වෙනසක් අවශ්‍යයි.
මේ ආණ්ඩුව බලය ඉල්ලද්දී "පාර්ලිමේන්තුව සුද්ද කිරීම" ගැන කතා කළා. එයින් අදහස් කළේ හොරුන් නොවන අය පාර්ලිමේන්තුවට පත් කර යැවීමයි. පාර්ලිමේන්තුවේ සිටි හැම දෙනෙක්ම හොරෙක් ලෙස හැඳින්වීම නිවැරදි නොවෙනත්, පාර්ලිමේන්තුවේ හොරුන් සිටි බව බොරුවක් නෙමෙයි. එහෙත්, බොහෝ විට සිදු වුනේ හොරුන්ව පාර්ලිමේන්තුවට පත් කර යැවීමකට වඩා පාර්ලිමේන්තුවට පත් කර යවනු ලැබූ අය පසුව හොරුන් බවට පත් වීමකුයි. ඇතැම් විට මෙසේ දේශපාලනඥයින් හොරුන් බවට පත් වීම ඊට පෙර ප්‍රාදේශීය දේශපාලන අදියර වලදී සිදු වුනා.
ජනතාවගෙන් ඉල්ලා සිටි පරිදිම "හොරුන් වීමේ ඉඩක් නැති" කණ්ඩායමක් ජනතාව විසින් පාර්ලිම්න්තුවට පත් කළ යැවුවා. ඒ අනුව, දැන් පාර්ලිමේන්තුව "සුද්ද වී" තිබිය යුතුයි.
පාර්ලිමේන්තුව ඇතුළු රජයේ ඉහළ ස්ථරය "සුද්ද වී" තිබීමේ ප්‍රධාන වැදගත්කම වනුයේ මෙම ඉහළ ස්ථරයට බැඳියා පිළිගැටුම් නොමැතිව සමස්ත රාජ්‍ය යාන්ත්‍රනය පිරිසිදු කිරීම සඳහා නායකත්වය දීමට හැකි වීමයි. මම හිතන්නේ "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩ සටහනේ ප්‍රධාන ඉලක්කයක් වන්නේ මේ කාර්යයට අත ගැසීම බවයි.
රාජ්‍ය යාන්ත්‍රණයේ කුණු ඉවත් කිරීම මෙම ආණ්ඩුවෙන් රටේ බොහෝ දෙනෙකු විසින් අපේක්ෂා කළ සහ අපේක්ෂා කරන කාර්යයක්. ඒ වගේම, රටේ පොදු ඉල්ලීමක්. තමන් හැර අනෙක් සියලු ශ්‍රී ලාංකිකයින්ගේ ආකල්ප වෙනස් කිරීම වෙනුවෙන් ස්වේච්ඡාවෙන් කැප වී කටයුතු කරන ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් ඉන්නවා. ඒ ගැන අත්දැකීම් ලබා ගැනීම සඳහා ත්‍රිරෝද රථයකට ගොඩවීම ප්‍රමාණවත්.
මැතිවරණ ජයග්‍රහණ වලට පෙර අනුර කුමාර දිසානායක විසින් කිහිප වරක්ම නැවත නැවත කියා තිබෙන. දැන් එතරම් කතා නොකෙරෙන, කරුණක් මා නැවත මතක් කරන්නට කැමතියි.
"කවදා හරි අපි බලයට පත් වුනොත් එය එසේ වෙන්නේ රටේ ජනතාවගේ විශාල ආකල්ප වෙනසක් සිදු වීමෙන් පසුවයි. ඒ කියන්නේ, ඒ වෙද්දී ඉන්නේ දැන් ඉන්න ජනතාව නෙමෙයි. වෙනම ජනතාවක්. ඒ නිසා, දැන් කළ නොහැකි දේ ඒ ජනතාව සමඟ කළ හැකියි."
මෙසේ මා මතකයෙන් ලියන්නේ අදහස පමණයි. හරියටම වචන මට මතක නැහැ.
අරගලය සමයේ ජනතාවගේ යම් ආකල්ප වෙනසක් ප්‍රදර්ශනය වුනත්, දැන් ඉන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් ජනතාවක් කියා මා හිතන්නේ නැහැ. මේ ඉන්නේත් බොහෝ දුරටම කලින් ලංකාවේ සිටි ජනතාවමයි. එය එසේ නොවන්නේනම් ජනාධිපති අනුර කුමාර දිසානායකට "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩ සටහනක් දියත් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ.
එක්කෝ අනුර කුමාර දිසානායකගේ දේශපාලන කියැවීම වැරදුනා. එසේ නැත්නම් ඔහු තමන්ගේ කණ්ඩායමට මේ තරම් ඉක්මණින් බලය ලැබේයැයි විශ්වාස කළේ නැහැ. බොහෝ විට සිදු වුනේ දෙවැන්න විය හැකියි. කෙසේ වුවත්, දැන් අනුර කුමාර දිසානායක ජනාධිපති වී සිටින අතර ඔහුගේ ආණ්ඩුව විසින් "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන දියත් කර තිබෙනවා.
රාජ්‍ය සේවය "ක්ලීන් කිරීම" සඳහා ආණ්ඩුවේ පැත්තෙන් කළ හැකි දේ බොහොමයක් තිබෙනවා. මෙය කළ යුත්තේ නීති හා චක්‍රලේඛ වලට පිටින් කටයුතු කිරීම සඳහා රාජ්‍ය සේවකයින් හෝ ජනතාව පෙළඹවීම මගින් නෙමෙයි. අවශ්‍ය වෙනස්කම් නිසි පරිදි කිරීමෙන්. එහෙත්, එවැනි වෙනස්කම් සිදු නොකර කළ හැකි දේවල්ද බොහෝ තිබෙනවා.
ලංකාවට බ්‍රිතාන්‍යයෙන් උරුම වූ අතිශයින්ම ධුරාවලිගත රාජ්‍ය ආකෘතිය දැන් බ්‍රිතාන්‍යයයේද නැති අකාර්යක්ෂම ක්‍රමයක්. ලංකාවේ රාජ්‍ය ආයතනයකට සුළු වැඩක් කරගන්නට ගියත් ඒ සඳහා නිලධාරීන් ගණනාවකට සම්බන්ධ වීමට සිදු වෙනවා. ආකෘති පත්‍රය ලබා දීමට එක් කෙනෙක්, එය භාර ගැනීමට තවත් කෙනෙක්, මුදල් ගෙවීමට වෙනම කවුන්ටරයක් ආදී වශයෙන්. මේ ක්‍රමවේදය තුළ කිසිදු තනි නිලධාරියෙකුට අදාළ කටයුත්ත කාර්යක්ෂම ලෙස කිරීම පිළිබඳ වගවීමක් නැහැ.
බොහෝ සංවර්ධිත රටවල දැන් දැකිය හැක්කේ පාරිභෝගිකයා කේන්ද්‍රකරගත් රාජ්‍ය සේවයක්. එහිදී එක් පාරිභෝගිකයෙකු වෙනුවෙන් වගකීම ගන්නා නිශ්චිත නිලධාරියෙක් ඉන්නවා. රාජ්‍ය සේවකයින්ගේ කාර්ය සාධනය වාස්තවික ලෙස සංසන්දනය කිරීමද පහසුයි. දැනටද රාජ්‍ය සේවය තුළ කාර්ය සාධනය පරීක්ෂා කෙරෙන ක්‍රමවේද හඳුන්වා දී ඇතත් ප්‍රායෝගිකව එය සිදු වන්නේ ඉහළ නිලධාරියාගේ රුචි අරුචිකම් මත පදනම්වයි.
රාජ්‍ය ආදායම් ගැන කතා කරද්දී බදු පැහැර හරින්නන් ගැන ලොකුවටම කතා වෙතත්, ඒ සඳහා අදාළ රාජ්‍ය ආයතන සහ නිලධාරීන් දායක වන ආකාරය ගැන කතා කෙරෙන්නේ අඩුවෙන්. ආණ්ඩුවක් මේ වගේ දේවල් වලට අත ගහන එක දැලි පිහියෙන් කිරි කෑමක්.
ආණ්ඩුවක පැවැත්ම රාජ්‍ය ආදායම් මත තීරණය වෙනවා. රාජ්‍ය ආදායම් එම ආදායම් එකතු කරන ආයතන සහ නිලධාරීන් මත තීරණය වෙනවා. ඒ නිසා, මෙවැනි ආයතන "සුද්ද කරන්නට යාම" භයානක අවදානමක් ගැනීමක්. මෙවැන්නක් කළ හැක්කේ මේ ආණ්ඩුව වැනි ආණ්ඩුවකටම පමණයි. ඒ වගේම, හරියට කළ හැකිනම්, ඉතාම ප්‍රතිඵල දායක අවදානම් ගැනීමක් සහ දිගුකාලීන දේශපාලන ආයෝජනයක්.
යුක්තිය පසිඳලීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම කියන්නේත් විශාල "සුද්ද කිරීමක්" අවශ්‍ය අංශයක්. ඒ සඳහා අවශ්‍ය වන්නේ ආණ්ඩුවේ කැප වීමයි. ජනතාව විසින් "පාර්ලිමේන්තුව සුද්ද කර" දී ඇති මේ මොහොත තරම් ඒ සඳහා සුදුසු තවත් මොහොතක් නැහැ.
ආර්ථික සංවර්ධනය ගැනනම් කතා කරන්න වෙන්නේ තරමක් වෙනස් ප්‍රවේශයකිනුයි. මේ ආණ්ඩුවටම සම්බන්ධ අය කියපු දෙයක් ලෙස මතකයේ ඇති දෙයක් වන්නේ "අධ්‍යාපනය තුළින් ආර්ථික සංවර්ධනය" යන්නයි. කිවුවේ කවුද කියලා අහන්න එපා. මම ඔය වගේ දේවල් සංරක්ෂණය කරන්නේ නැහැ.
"ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය අධ්‍යාපනය" ගැන කතා කරනවානම් ඔය කතාව සම්පූර්ණ ඇත්ත. අධ්‍යාපනය ලබා දීමේ කාර්යය වඩා සාර්ථක වන්නේ ගුරුවරයා පිළිබඳව ශිෂ්‍යයෙකුගේ විශ්වාසය වැඩි වන තරමටයි. මේ මොහොතේ විශේෂත්වය වන්නේ "ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය අධ්‍යාපනය" අවශ්‍ය පිරිස් ආණ්ඩුව සමඟම සිටීමයි. මෙතෙක් "ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය අධ්‍යාපනය" ලබා ගන්නට මැලි වූ බොහෝ දෙනෙකු තෙමසකට පෙර සිදු වූ දේශපාලන වෙනසින් පසුව එම අධ්‍යාපනය ලබා ගනිමින් සිටිනවා.
"ක්ලීන් ශ්‍රී ලංකා" ප්‍රතිඥාවේ සඳහන්ව ඇති පරිදිම, ආර්ථික සංවර්ධනය සඳහා "රටක් ලෙස අපට මග හැරුණු සහජීවනය" නැවත ගොඩ නගා ගැනීමට අවශ්‍ය වෙනවා. අනෙකාට වෛර කිරීමේ දේශපාලනය වෙනුවට අනෙකාගේ දියුණුව අගය කරන ආකල්ප වෙනසක් ලංකාවට අවශ්‍ය වෙනවා. අනෙකාගේ ලාබ වලට ඊර්ෂ්‍යා කරන දේශපාලනය වෙනුවට අනෙකාගේ ලාබ ලැබීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින ආකල්ප වෙනසක් ලංකාවට අවශ්‍ය වෙනවා. රටක් ලෙස ශ්‍රී ලංකාවට ඉදිරියට යා හැක්කේ එවිටයි.
ලංකාවේ ආර්ථික සංවර්ධනයට ප්‍රධාන බාධාවක්ව පවතින වෙළඳපොළ විරෝධී ආකල්ප නමැති කුණු ගොඩ ඉවත් කර "ක්ලීන් කිරීම" පහසු කාර්යයක් නෙමෙයි. මේ කුණු ගොඩ ඉවත් කළ හැකි හැකි එක් ක්‍රමයක් වන්නේ වෙළඳපොළ විරෝධී ක්‍රියාමාර්ග අනුගමනය කර ඒවායේ ප්‍රතිවිපාක වෙළඳපොළ විරෝධීන්ට අත්දැකීමෙන්ම දැනගන්නට ඉඩ සැලැස්වීමයි. වෙළඳපොළ විරෝධී ආකල්ප සමඟ කාලයක් ජීවත් වී ඇති, වියුක්ත ලෙස යමක් තේරුම් ගැනීමේ හැකියාවක් නොමැති, අයට තැත් වරද ක්‍රමයට නිවැරදි දේ අවබෝධ කරගන්නට ඉඩ සැලැස්වීම දිගුකාලීන ආර්ථික සංවර්ධනය සඳහා ඒ තරම්ම නරක ප්‍රවේශයක් නෙමෙයි.
ලංකාව දැනට පවතින තත්ත්වය අනුව තැත් වරද ක්‍රමයට සාර්ව ආර්ථික ප්‍රතිපත්ති පරීක්ෂාවට ලක් කළ නොහැකියි. එවැන්නක් කිරීම සඳහා උත්සාහ කළහොත් එය කෙළවර වන්නේ ආණ්ඩුවේද සිය දිවි නසාගැනීමක් වන විශාල විනාශයකිනුයි. ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු ආණ්ඩුවේ ඉහළම ස්ථරය මෙය නිවැරදිව තේරුම් ගෙන ඇති අතර සාර්ථක ලෙස පහළ ස්ථර දැනුවත් කිරීමටටද සමත්ව තිබෙනවා. අධ්‍යාපනය අවශ්‍ය පිරිස තමන්ගේ කඳවුරේම සිටීමේ වාසිය මෙයයි.
කෙසේ වුවත්, ක්ෂුද්‍ර ආර්ථික ප්‍රතිපත්ති හා අදාළව ආණ්ඩුව සිටින්නේ වෙනස් ප්‍රවේශයකයි. මේ හා අදාළව වුවද, ඇතැම් විට ආණ්ඩුවේ ඉහළම ස්ථරය නිවැරදි තැනක සිටිනවා විය හැකියි. එය එසේනම්, වෙළඳපොළ විරෝධී ක්‍රියාමාර්ග වල ප්‍රතිවිපාක සිය පහළ ස්ථර වලට පෙන්වා දීම සඳහා තෝරාගත් අංශ වල රාජ්‍ය මැදිහත්වීම් සිදු කිරීම හොඳ ප්‍රවේශයක්. ටින් මාළු වෙළඳපොළ වැනි ක්ෂුද්‍ර වෙළඳපොලක සිදු වන විකෘතියක හානිය නිසා ලංකාවේ සමස්ත ආර්ථික දේහයම අර්බුදයට යන්නේ නැහැ. එවැනි මැදිහත්වීමක තිබෙන අධ්‍යාපනික වැදගත්කම දිගුකාලීනව සැලකූ විට කෙටිකාලීන වෙළඳපොළ විකෘතියේ හානියට වඩා වාසිය වැඩි විය හැකියි.
වෙළඳපොළ පිළිබඳ දුර්මත වලින් හිස පුරවාගෙන නොමැති සීමිත පිරිසට මේ මොහොතේ කළ හැකි දෙයක් වන්නේ මග හැරුණු සහජීවනය නැවත ගොඩ නගා ගැනීමට ආණ්ඩුවට සහ වෙළඳපොළ විරෝධී කණ්ඩායම් වලට උදවු වෙමින්, ඇතැම් අයගේ ඔලු වල කාලයක් තිස්සේ පිරී තිබෙන වෙළඳපොළ විරෝධී කුණු ඉවත් කරගැනීම සදහා ඔවුන්ට හැකි තරම් උදවු කිරීමට සහ ඒ මගින් ආණ්ඩුවට රට හරි පාරට දමා ගැනීමට උදවු කිරීමට අධිෂ්ඨාන කර ගැනීම සඳහා "ක්ලීන් ශ්‍රී ලංකා" පුරවැසි ප්‍රතිඥාව සමඟ එක් වීමයි.
පොහොසත් රටක්! ලස්සන ජීවිතයක්!!
මහත්තයා නගර සභාවේ ද වැඩ කරන්නේ
ReplyDeleteනුගත් මුසල පච ලපකොටාට කියන්න ඕනී ක්ලීන් ශ්‍රී ලංකා නෙමෙයි, ක්ලීන් NPP කියලා එකක් ගෙනත් උගේ පක්ෂේ පිරිසිදු කරගන්න කියලා.
Deleteහොර මගුල්, කප්පං කාරයෝ, හොර උපාධිකාරයෝ ටික එලවන්න කියන්න
ආණ්ඩුවට විශාල සහයෝගයක් නැතත් මෙන්න මේ වැඩසටහනට මං එක පයින්ම කැමතියි. ඒක නිසා සුදුසු පරිදි ඊට උදව් කරනවා. වැඩේ තියෙන්නෙ මේ අයගෙත් මනස තියෙන්නේ එක රාමුවක විතරයි. එතනින් එහා ඒ අය හිතන්නෙත් නෑ. ඒකයි අවුල. අඩුම ගානේ ලෝකේ දැං ප්‍රවණතා වත් බලනව නං හෙමාඳයි. ආරජන්ටිනාව, එල් සැල්වදෙචා්රය, වගේම භුතානය උනත් අධ්‍යයනය කරනවා නං වටිනවා. මේ දවස් වල ඇමරිකාවේ ලොකු කතා බහක් යනවා නේද රෙගුලේෂන් අඩු කරන්න.
ReplyDeleteමාතෘකාවෙන් පිට දෙයක් අහන්නේ:
ReplyDeleteඅවසනෙ චන්ද්‍ර වර්ශය ලැබූ දිනයට චන්ද්‍ර වර්ශයක සහ මාසයක තත්පර ගනන එකතුකර ඉදිරිපොහොය දින ගණනය කල හැකිද. සූර්ය වර්ශයකටත් එයම කල හැකිද?
පුලුවන් නම් සූර්ය/ චන්ද්‍ර වසරක/ මාසයක තත්පර ගණන කීයද?
මෘදු දිනදසුනක් හැදීමට මේ දැනුම අවශ්‍යයයි.
ඒ විදිහට සරලව ගණනය කරන්න බැහැ. මේ දෙක මුළුමනින්ම වෙනස් ක්‍රම දෙකක්. ග්‍රෙගෝරියන් ක්‍රමයට අනුව සිංහල චන්ද්‍ර-සූර්ය ක්‍රමයේ කාලය ගලා යන්නේ නියත වේගයකින් නෙමෙයි. සිංහල චන්ද්‍ර-සූර්ය ක්‍රමයට අනුව ග්‍රෙගෝරියන් ක්‍රමයේ කාලය ගලා යන්නේ නියත වේගයකින් නෙමෙයි. කාලය යනු ප්‍රඥප්තියක් පමණයි. ග්‍රෙගෝරියන් කාල මිනුමට සාපේක්ෂව එක් එක් සූර්ය මාසයේ සහ එක් එක් චන්ද්‍ර මාසයේ දිග වෙනස්. ඒ නිසා ඔය වැඩේ කරන්නනම් ග්‍රෙගෝරියන් කාලය පැත්තකට විසි කරලා ඉරේ හා හඳේ පොළොවට සාපේක්ෂ චලනයන් අනුව ගණනය කිරීම් කරන්න වෙනවා.
Deleteනාකි සොම්බියාව ඉවර කරල දැම්මොත් ඒ ඇති. වෙන මොකුත් එපා.
ReplyDelete