වෙබ් ලිපිනය:

Tuesday, February 28, 2023

මිරිස් සහ ගම්මිරිස්


කලින් ලිපිය ලිවීම සඳහා පාදක කරගත් පාඨක ප්‍රතිචාරයේ සඳහන්ව තිබුණු පරිදි ලංකාව විසින් වසරකට මිරිස් මෙට්‍රික් ටොන් 50,000ක් පමණ ආනයනය කරනවා. ඒ වෙනුවෙන්, ඩොලර් මිලියන 110ක් පමණ වැය කරනවා. 

ලිපිය ලියන්නට පෙර මම මේ ගණන් පරීක්ෂා කළේ නැහැ. ඒ බව ලිපියේ සඳහන් කළා. එසේ පරීක්ෂා නොකළේ බැලූ බැල්මටම එම ගණන් වල වරදක් පෙනෙන්නට නොතිබුණු නිසයි. ඒ වගේම, අදාළ ප්‍රතිචාරය වගකීමකින් යුතුව දැමූ ප්‍රතිචාරයක් බව පෙනෙන්නට තිබුණු නිසා. මීටත් අමතරව, ප්‍රශ්නය ඇසීමේදී දැනගන්නට අවශ්‍යව තිබුණු බව පෙනුණේ සංකල්පීය කරුණු නිසා මේ ගණන් වල එතරම් වැදගත් කමක් තිබුණේ නැහැ. 

ඉහත ගණන් නිවැරදි බව පරීක්ෂා කිරීමේදී තහවුරු වුනා. 2021 වසර තුළ ලංකාව විසින් ආනයනය කර තිබෙන වියලි මිරිස්, වියලි මිරිස් කුඩු, වියලි ගම්මිරිස් හා වියලි ගම්මිරිස් කුඩු ප්‍රමාණය කිලෝග්‍රෑම් 50,205,561 හෙවත් මෙට්‍රික් ටොන් 50,206ක්. ඒ වෙනුවෙන් වැය වී ඇති මුදල ඩොලර් 99,621,105ක් හෙවත් ඩොලර් මිලියන 99.6ක්. මෙම කාණ්ඩය තුළ ප්‍රධාන වශයෙන්ම තිබෙන්නේ වියලි මිරිස්. 

කොහොම වුනත්, වැදගත්ම කරුණ මේකයි.  එම (2021) වසර තුළදීම ලංකාව විසින් වියලි මිරිස්, වියලි මිරිස් කුඩු, වියලි ගම්මිරිස් හා වියලි ගම්මිරිස් කුඩු කිලෝග්‍රෑම් 18,571,166ක් හෙවත් මෙට්‍රික් ටොන් 18,571ක් අපනයනය කර ඩොලර් 124,459,116ක හෙවත් ඩොලර් මිලියන 124.5ක මුදලක් උපයා තිබෙනවා. මෙහි මිරිස් හා මිරිස් කුඩු යම් ප්‍රමාණයක් තිබුණත් වැඩි වශයෙන්ම තිබෙන්නේ ගම්මිරිස්.

ඉන්දියාව ලෝකයේ මිරිස් නිපදවන ප්‍රධානම රටයි. කවර හෝ හේතු නිසා ඉන්දියාවට තරඟකාරී ලෙස මිරිස් නිපදවිය හැකියි. ඇතැම් විට ඉන්දීය රජයේ සහනාධාරද එයට උදවු වෙනවා විය හැකියි. ප්‍රතිචාරයේ එම කොටස මම පරීක්ෂා කර බලා නැහැ. එය එසේනම්, එම හේතුව නිසා, ලංකාවේ රජයත් මිරිස් වැවීමට සහනාධාර දිය යුතුද? එසේ නැත්නම් ඉන්දීය මිරිස් සඳහා තීරු බදු දැමිය යුතුද? 

මගේ අදහසනම් මිරිස් වගාව සඳහා යොදාගත හැකි ප්‍රයෝජනයට නොගන්නා ඉඩම් ලංකාවේ විශාල වශයෙන් නැති බවයි. මිරිස් වගාව අත හරින ගොවියෙකු බොහෝ විට වෙනත් වගාවකට යොමු වෙනවා. එය සහනාධාර නොලබා ලාබ ලැබිය හැකි වගාවක් වීමට ඉඩකඩ වැඩියි. මිරිස් වගාවට සහනාධාර දීම මගින් ඔවුන්ව නැවත මිරිස් වගාව වෙත තල්ලු කළ විට සිදුවන්නේ අදාළ ඉඩම් වල එතෙක් වවනු ලැබු වඩා ලාබදායක වෙනත් බෝගයක නිෂ්පාදනය පහත වැටීමයි.

ලංකාවට මිරිස් වලින් ඉන්දියාව සමඟ තරඟ කළ නොහැකි වුවත්, ගම්මිරිස් වලින් ලෝකය සමඟ තරඟ කළ හැකියි. එසේනම්, ලංකාවට වඩා වාසිදායක ගම්මිරිස් අපනයනය කර උපයන මුදලින් මිරිස් ආනයනය කරන එකද? එසේ නැත්නම්, ගම්මිරිස් ගලවා මිරිස් වවන එකද? 

ඉන්දියාව මිරිස් වලට සහනාධාර දෙනවානම්, ඒ නිසා ලංකාවට අඩුවට මිරිස් එනවානම්, ලංකාවට කළ හැකි වාසිදායකම දෙය ඉන්දියාවේ මිරිස් සමඟ අමාරුවෙන් තරඟ කරන්නට මහන්සි නොවී පහසුවෙන් සල්ලි ඉපැයිය හැකි ගම්මිරිස් වෙත අවධානය යොමු කරන එකයි. බොහෝ විට එකම ඉඩම් ප්‍රමාණය හා ශ්‍රමය යොදාගෙන ගම්මිරිස් වැවීමෙන් වැඩි වාසියක් ගන්න පුළුවන්. 

මිරිස් වවන එක නවතා ගම්මිරිස් වැවිය යුතු බව මෙයින් අදහස් වන්නේ නැහැ. බොහෝ විට මිරිස් සඳහා සුදුසු ඉඩම් හා ගම්මිරිස් සඳහා සුදුසු ඉඩම් එකිනෙකට ආදේශක නෙමෙයි. තමන්ගේ ඉඩමේ වැවිය යුතු වාසිදායක බෝගය මිරිස්ද නැත්නම් ගම්මිරිස්ද කියා මිනිස්සු තීරණය කරයි. පැත්තක ඉන්න ගොවීන් විසින් ඔවුන්ට අනවශ්‍ය දේ වවා රට ස්වයංපෝෂණය කරනු දැකීමේ මධ්‍යම පාන්තික සිහිනය වෙනුවෙන් රටද ණය කර, ගොවීන්ගේ ජීවිත බිලි දිය යුතු නැහැ. 

9 comments:

  1. ග්‍රීන් හවුස් තුළ හිටුවා කොච්චි මිරිස්,
    මාළු- නයි මිරිස් වගෙ තව එළවලු ගස්
    පල ලද නිසා, මිතුරෙකු- තව පතුරනු වස්
    ඉඩමක් සොයයි- ඒවයි පළ දෙන බිස්නස්

    ReplyDelete
  2. වග කරන කෙනෙක් ගෙන් ඒ ප්‍රශ්නයම ඇහුවා. ගම්මරිස් වලින් පලවා ලැබෙන්න අවුරුදු එකහමාරක් දෙකක් යන නිසා කරන්නේ නැතිලු . මිනිස්සු මාස තුනෙන් හතරෙන් ලාභ ගන්න පුළුවන් ඒවායි වවන්නේ

    ReplyDelete
    Replies
    1. මගේ අදහස කිසියම් සහනයක් ඒ ගොවියනට දිය යුතුයි කියන එක. පස්සේ ලැබෙන ලාභයෙන් කපා ගන්න

      Delete
  3. ඉකනො... මගෙ තේ වත්තෙ ගම්මිරිස් වැල් 600 ක් හිටෙව්ව. දැන් තියෙන්නෙ 39 යි. ඉතිරි 561 ම ඉත්තෑවො කෑව. එයාල ඒ වැල්වල මුලින් කපනව. මේ වැල්වල පයුරු ශාකය වුණේ ග්ලිරිසීඩියා. ඉත්තෑවන් ඒ ගස්වල මුල කාල ඉතා ව්ශාල ගස්වුණත් බිම දානව. ඒත් එක්කම ගම්මිරිස් වැලත් කනව.
    ඉතා විශාල හානියක් මේ අයගෙන් වෙන්නෙ. මම තුවක්කු බලපත්‍රයක් ඉල්ලල සෑහෙන කාලයක්. තවම ලැබුණෙ නැහැ. ඕන තරම් කතාකරල තියෙන නිසා රිලවුන්ගෙන් වන හානිය ගැන කතාකල යුතු නැහැ. මගෙ අක්කර 1.5 ක කැවෙන්ඩිෂ් කෙසෙල් වගාවෙන් මම ඉපයුවෙ රු 5600.00.. අම්මගෙ ආණ්ඩුව. රජයන් කරන්න ඕන වැඩ මේව.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ඉත්තෑවෝ මරන්න තහනම්. හොඳම වැඩේ දැල් ගහන එක. රිලවුන්ට ර රතිඥ්ඥ දාල පත්තු කරන තුවක්කුවක් වගේ එකක් තියනව, ඒක පාවිච්චි කරන්න.

      Delete
    2. ඉත්තෑවෝ මරන්න තහනම් නෑ තමන්ගෙ වත්තට ආවොත් , (රක්ෂිතවලින් පිට ) මරලා ගෙනියන්න බෑ

      Delete
  4. ඔව්. මරන්න තහනම් නැහැ.. හොදම වැඩේ දැල් ගහන එක තමයි. නමුත් විශාල ඉඩම් සදහා එය ප්‍රායෝගික නැහැ. ඒ නිසා හොදම විසදුම මරාදැමීම. නමුත් තුවක්කු බලපත් ගන්න අය සත්තු මරන්නෙ නැහැ. මම දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයෙන් ඇහුවම කිව්වෙ දිස්ත්‍රික්කයට ඕනවටත් වඩා බලපත්‍ර දීල තියෙන්නෙ කියල. ඒ නිසා මට අයදුම්පත්‍රයක්වත් ලැබුණෙ නැහැ. ඉතින් කොහොමද උත්තර හොයන්නෙ.
    අනිත් කාරනාව රතිඤ්ඤා තුවක්කුවලින් නම් රිලව් පාලනය කොහෙත්ම කරන්න බැහැ.ඊනියා සන්ස්කෘතිය විසින් සතුන් දඩයම ඉතාමත් නරක ක්‍රියාවක් බවට පත් කිරීමත් එක්ක තමයි මේ පාලනය මිනිස්සුත්ගෙගෙනග් ඉලිහිලා ගියෙ.

    ReplyDelete
    Replies
    1. 88/89 කාලය දක්වා හේන් ගොවිතැන් ආදිය කළ ගොඩක් අය සතුව තුවක්කු තිබුණා. ගොඩක් වෙලාවට ලයිසන් නැති කොටන තුවක්කු. අදාළ කාලයේ ජවිපෙ විසින් එම තුවක්කු එකතු කර ගත්තා. ලයිසන් නැති තුවක්කු තිබෙන තැන් ග්‍රාමසේවක දැනගෙන නොසිටියත් ගමේ අය දන්න නිසා තුවක්කු සියල්ලම වගේ ඔවුන් අතට ගියා. ඒ තුවක්කු නැවත ඔවුන්ට ලැබුණේ නැහැ. රජයේ හමුදා හෝ පොලීසි වලට අහු වුනාට පස්සේ විනාශ කළා. අවස්ථා ගණනාවක ඩෝසර් කළා. ජවිපෙ තුවක්කු එකතු කිරීම වැළැක්වීම පිණිස රජය විසින්ද තුවක්කු එකතු කළා. ලයිසන් තුවක්කු ගොඩක් ඒ විදිහට ග්‍රාමසේවකලා විසින් එකතු කර පොලීසි වලට දුන්නා. ඇතැම් අයට පසුව මේ තුවක්කු ආපසු ලැබුණත් ගොඩක් අයට ආපසු ලැබුණේ නැහැ. ලයිසන් නැති තුවක්කු ගෙදර තියාගැනීම නිසා ජවිපෙ සාමාජිකයින් ලෙස හඳුනාගනු ලැබ හමුදා වලට අහුවී ටයර් වල යන්න වීමේ ජීවිත අවදානම නිසාත් ගොඩක් අය තමන්ගේ තුවක්කු ජවිපෙට කැමැත්තෙන්ම දුන්නා. දැන් තුවක්කු කියන්නේ සල්ලි හා බලය තිබෙන අයටත්, පාතාලයටත් පමණක් භාවිතා කළ හැකි සුඛෝපභෝගී භාණ්ඩයක්. ගම් වල තුවක්කු තිබුණු කාලයේ පවු පින් නොසලකන යම් පිරිසක් හෝ විසින් ඔය සත්තු ටික මැරුවා. ඉන් පසු කාලයේදී, මේ සත්තු වේගයෙන් බෝ වෙලා විශාල ප්‍රශ්නයක් වුනා. රටේ ආර්ථිකය වර්ධනය වී ආහාර සුලබ වීමත් මීට හේතුවක්. ඒ නිසා වල් මස් වලට ඉල්ලුම අඩු වුනා. දැන් ගම් වල මිනිස්සුන්ට කන්නවත් සල්ලි නැහැ. මස්, බිත්තර ගන්න කොහොමටවත් සල්ලි නැහැ. ඒ නිසා, දැන් නැවතත් ඉත්තෑ මස්, වල් ඌරු මස් ආදිය සුලබ වී තිබෙනවා. ගම් වල මිනිස්සු තුවක්කු නැත්නම් උගුල් අටවලා හෝ සත්තු මරන්න පටන් අරගෙන. මසුත් විකිණෙනවා. සෑහෙන තරම් සුලබයි.

      Delete
    2. අපේ තුවක්කුවත් පොලිසියට දුන්නා. ඔබ කියන කතාව ඇත්ත. ගම්වල මිනිස්සු ඔය තිබුණ තුවක්කු භාවිතා කල නිසා සත්ව ගහනය පලනය වී තිබුණා. ඔබ දන්නවාද.? දැන් කෑගල්ල පුරාම මොණරු ඉන්නව. මම දන්න කාලසීමව තුළ පළමු වතාවට කෑගල්ල දිස්ත්‍රික්කයේ ඊයෙ දිනයේ මද්දකට හසුවී දිවියෙක් මියගියා. මින් කියවෙන්නේ වන සතුන්ගේ පැවති තුලනාත්මක වරනය අහිමි වෙමින් යන බවයි.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: