වෙබ් ලිපිනය:

Thursday, February 16, 2023

ආණ්ඩුවට ඇත්තටම සල්ලි නැද්ද?


රජය සතුව ප්‍රමාණවත් අරමුදල් නැතිවීම මේ වෙද්දී පළාත් පාලන මැතිවරණ පැවැත්වීම කෙරෙහි බලපා තිබෙනවා. මේ ගැන දැනට වැඩිපුර කතා කරන්න යන්නේ නැහැ. කෙටියෙන් කියන්න තියෙන්නේ මැතිවරණ කල් දැමීම රටේ ආර්ථික ස්ථායීත්වය කෙරෙහි ඇතැම් විට කෙටිකාලීනව වාසිදායක බලපෑමක් කළ හැකි වුවත්, එහි දිගුකාලීන බලපෑම කිසිසේත්ම හොඳ එකක් නොවනු ඇති බවයි. ඒ වගේම, මෙය ඉතා නරක පූර්වාදර්ශයක් බවයි. මැතිවරණයෙන් පටන් ගත්තත්, ලිපිය ඒ ගැන නෙමෙයි. 

රජය සතුව අරමුදල් නැත්තේ ඇයි? රජය විසින් එකතු කර ගන්නා බදු මුදල් වලට වෙන්නේ කුමක්ද?

මේ ගැන කතා කරන්න කලින් රජයේ ආදායම ගැන කතා කර පටන් ගනිමු. දැනට විස්තරාත්මක සංඛ්‍යාලේඛණ තියෙන්නේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසය දක්වා පමණයි. පසුගිය වසරේ පළමු මාස නවය තුළ රජයේ ආදායම රුපියල් බිලියන 1,448.5ක්. 

මෙය පෙර වසර වලට සාපේක්ෂව හොඳ තත්ත්වයක්. 2020 වසර තුළ රජය විසින් ඉපැයූ ආදායම රුපියල් බිලියන 1,373.3ක් පමණයි. 2021දී රජයේ ආදායම තරමක් ඉහළ ගියත් එම වසර තුළ රජය ඉපැයූ ආදායමද රුපියල් බිලියන 1,463.8ක් පමණයි. මේ අනුව, 2022 පළමු මාස නවය තුළ පමණක් රජය විසින් 2020 වසරේ සමස්ත ආදායම ඉක්මවන සහ 2021 වසරේ සමස්ත ආදායමට ආසන්න ආදායමක් උපයා තිබෙනවා. 

කෙසේ වුවත් ඉහත ආදායම රජයේ වියදම් සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් වී නැහැ. වසරේ පළමු මාස නවය තුළ රජයේ වියදම රුපියල් බිලියන 2,694.8ක්. මෙම වියදමට පොලී ගෙවීම් ඇතුළත් වුවත් ණය ආපසු ගෙවීම් ඇතුළත් නැහැ. පහළින් තියෙන්නේ රජය ඉහත මුදල වැය කළ ආකාරයයි. වරහන් තුළ තියෙන්නේ අදාළ වියදම ආදායමෙන් කොපමණ ප්‍රතිශතයක්ද යන්නයි.

රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් = රුපියල් බිලියන 942.9 (65.1%)

පොලී ගෙවීම් = රුපියල් බිලියන 927.4 (64.0%)

අනෙකුත් වර්තන වියදම් = රුපියල් බිලියන 429.9 (29.7%)

අනෙකුත් ප්‍රාග්ධන වියදම් = රුපියල් බිලියන 394.6 (27.2%)

එකතුව = රුපියල් බිලියන 2,694.8 (186.0%)

ඔක්තෝබර් හා නොවැම්බර් දෙමස තුළ තවත් රුපියල් බිලියන 361.2ක් ආදායම් ලෙස එකතු වී ඇතත්, රුපියල් බිලියන 644.8ක වර්තන වියදමක් හා රුපියල් බිලියන 71.4ක ප්‍රාග්ධන වියදමක් දරන්නට සිදු වී තිබෙනවා. වර්තන වියදම් ඉහළ යාමට හේතුව පොලී අනුපාතික ඉහළ යාම විය යුතුයි. මේ අනුව, එම දෙමස තුළ වියදම ආදායම මෙන් 198%ක්. 

ඉහත අරමුදල් හිඟය පියවා ගැනීමට අමතරව, ණය ආපසු ගෙවීම සඳහාද සැලකිය යුතු මුදලක් අළුතෙන් ණය ලෙස ලබා ගත යුතු නිසා, පොලී වියදම් නොදරා සිටිය නොහැකියි. පොලී වියදම් වලට අමතරව විශාලම වියදමක් වන්නේ තවමත් කප්පාදු කර නැති රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් කොටසයි. ප්‍රාග්ධන වියදම් වලින් සැලකිය යුතු කොටසක් කලින් ඇති කරගත් එකඟතා මත ලැබෙන ණය නිසා බොහෝ විට එම අරමුදල් වෙනත් කටයුතු සඳහා වැය කිරීමේ හැකියාවක් නැහැ. අනෙකුත් වර්තන වියදම් වලින් වැඩි කොටසක් වෛද්‍ය සැපයුම් (ඖෂධ), සමෘද්ධි දීමනා ඇතුළු සහනාධාරයි. 

පසු ගිය වසරේ මුල් මාස නවය තුළ පැවති තත්ත්වය අනුව, පොලී වියදම් ඉවත් කළද, ආදායම මෙන් 122%ක මුදලක් වැය වී තිබෙනවා. පොලී ගෙවීම සඳහා නැවත ණය ගැනීම තිරසාර ලෙස කළ හැකි වුවත්, ණය හා පොලී ගෙවීම් හැර රජයේ අනෙකුත් වියදම් වෙනුවෙන් දිගින් දිගටම දේශීය වෙළඳපොළෙන් ණය ගැනීම තිරසාර ලෙස කළ හැකි දෙයක් නෙමෙයි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුදල් ඉක්මණින් ලැබුනොත් මෙම තත්ත්වය කළමණාකරණය කර ගත හැකි වුවත්, එසේ නොවුවහොත් මේ කාර්යය ඒ තරම් පහසු වන්නේ නැහැ. බදු ආදායම් වල යම් ඉහළ යාමක් සිදු විය හැකි වුවත්, එය එසේ නොවන්නේනම් ප්‍රතිඵලය විය හැක්කේ සාමාන්‍යයෙන් කැපිය නොහැකි වියදම්ද කපන්නට සිදු වීමයි. අරමුදල් නැතිකමින් මැතිවරණ ක්‍රියාදාමය පවා අඩපණ වී ඇති පසුබිමක, රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වුවද අපේක්ෂිත පරිදි නොලැබුණහොත් එය පුදුමයක් නෙමෙයි. 

9 comments:

  1. ටින් එකක් බොන්නත් සල්ලි නැති වෙයිද

    ReplyDelete
  2. ආණ්ඩුවට සල්ලි නැති හින්දනේ චන්දෙත් කල් දාමු කියන්නේ ඉකොනෝ.

    මිනිස්සු දහදුරාවේ ආණ්ඩුවට බැන්නට ඇත්තටම සල්ලි නැත්තං ආණ්ඩුව මොනවා කරන්නද.

    ආණ්ඩුවත් පව්. අපිත් පව්.

    සල්ලි තිබ්බනං ආණ්ඩුව නොදී ඉන්නේ නැහැනේ.

    අනික ඉකොනෝ සල්ලිද වටින්නේ මනුස්සකම ද වටින්නේ. සල්ලි මේ තිබ්බා, මේ නෑ. මනුස්සකම එහෙම නෙමෙයි. හැමදාම තියෙනවා.

    ReplyDelete
  3. ඉකොනො මම නම් අයි එම් එෆ් එක ඇතුලූ විදේශ මූල්‍ය ආයතන වලින් ඉල්ලා සිටින්නේ ලංකාවේ පාලකයන්ට සහ ඊටත් වඩා වැඩි රාජ්‍ය නිලධාරීන්ට සුර සැප විඳිමින් කොල්ලකන්නත් වැඩ කරන ජනතාවට පටි තද කරගෙන ගෙවන්නත් වෙන ආකාරයට ලංකාවට ණය දෙන්න එපා කියලයි. අමාරුවෙන් හරි මේ යන විදියට තව ටික කලක් යනකොට රට ගොඩ එනවා. විදේශ ණය ආපු ගමන්ම පරණ පුරුදු විදියට විනාශ කිරීමට පටන්ගෙන නැතිකරනවා නියතයි. පින්පඩිකාර භවතුන් ගෙදර යවල පාඩුලබන පබ්ලික් එන්ටර්ප්‍රයිසස් ඇතුළු රජයේ ව්‍යාපාර ආයතන පුද්ගලික අංශයට දුන්න නම් සහ රජය තව ලීන් කරලා නියාමනය විතරක් කරනවා නම් ණය ඕනම නෑ නේද?

    ReplyDelete
    Replies
    1. ඔය හැම දෙයක්ම කළත් දැනට ගෙවිය යුතු ණය ගෙවීම සඳහා අලුතෙන් ණය ගන්න වෙනවා.

      Delete
  4. රජයේ නිලධාරීන් ට වැටුප් ගෙවීම ට මුදල් නැති තත්වයක් ආවොත් මම නම් කැමතියි. අඩුම ගානේ එතකොට වත් ඒ අයගේ ඇස් ඇරෙයි.

    ReplyDelete
  5. මෙච්චර අහේනිය නං රජයට ඇත්තේ
    දෙසිය විසිපහට පඩි නැවතිය යුත්තේ
    වරදානයන් කැපුමත් කෙරුවොත්- මත්තේ
    හොරු දේශපාලනයට එනු නැතැයි හිතේ!

    ReplyDelete
  6. විදෙස් ගමන් තහනම් නෑ.. යනවා නම්, අධිකරණය දැනුවත් කරන්න.. මහේස්ත්‍රාත්වරයා කියයි.

    හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට විරුද්ධව තීනියාවල පාලිත හිමි විසින් ගොනු කරන ලද කොළඹ මහේස්ත්‍රාත් ඉදිරියේ පෞද්ගලික පැමිණිලි නඩු කටයුත්ත වෙනුවෙන් අද දිනයේදී අධිකරණය ඉදිරියේ ඔවුන් දෙදෙනා පෙනී සිටියා.

    අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් ද ලලිත් වීරතුංග මහතා වෙනුවෙන් කාංචන රත්වත්තේ යන නීතීඥවරුන් පෙනී සිටියහ.

    තිනියාවෙල පාලිත හිමියන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පෙනී සිටියේය.

    මූලික විභාගයකින් පසුව මීළඟ අධිකරණ දිනය 2023 මාර්තු 21 දිනට ගරු තිළිණ ගමගේ මහෙස්ත්‍රාත් විසින් නියම කරන ලදී.

    මෙහිදී, පැමිණිලිකරු පාර්ශ්වය විසින් විදේශ ගමන් තහනම් වගඋත්තරකරු දෙදෙනා වෙනුවෙන් පනවන ලෙස ඉල්ලා තිබුණද, අජිත් නිවාඩ් කබ්රාල් සහ ලලිත් වීරතුංග මහත්වරුන්ට විදෙස් සංචාරක තහනම් නොපනවනු ලදී. මහෙස්ත්‍රාත්තුමා විසින් පවසන ලද්දේ ඒ මහත්වරුන්ට විදේශගත වීමට අවශ්‍ය නම්, උසාවියට දන්වා එසේ කරන ලෙස ය.

    තවද, සිතාසි නොලැබුණද අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ ලලිත් වීරතුංග මහතා මෙලෙස අධිකරණයේ පෙනී සිටීම පිළිබඳ මහේස්ත්‍රාත් වරයා විසින් තම සතුට පළකරන ලදී.

    නඩුව අවසන් වී, අධිකරණයෙන් පිටතට පැම්ණීමේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කීපයකට කබ්රාල් මහතා පිළිතුරු දුන්නේ මෙසේය:

    මාධ්‍යවේදියා: ඔබතුමා අදත් උසාවියට ආවා නේද ?

    පිළිතුර: ඔව් ආවා, එහෙත් අද නඩු ගැන නෙවෙයි, රට ගැන කතා කරමු නේද?

    මාධ්‍යවේදියා: දැන් විදුලි බිල හොඳටම වැඩි කරලා. ඔබතුමා හිටියනම් විදුලි වැඩි කරන්නෙ නැද්ද ?

    පිළිතුර: ඔබතුමන්ලා දන්නව ඇති මම ඉද්දි විදුලි බිද වැඩි කළාද නැද්ද කියලා. ඕක මගෙන් අහන්න ඕන ප්‍රශ්නයක් නෙමෙයි. අපි ගියාට පස්සේ එක පාරක් වැඩි කරා, දෙවැනි පාරත් වැඩි කරා.. දැන් ඉතින් සතුටුයිද කියලා අහන්න තමයි තියෙන්නේ.

    මාධ්‍යවේදියා: ඇයි එහෙම වැඩි කරන්නේ? මොකක්ද ඒකට හේතුව?

    පිළිතුර: වැඩි කරන අයගෙන්ම තමා ඒ ප්‍රශ්නය අහන්න තියෙන්නෙ. මම වැඩි කලේ නැති බව ඔයාලා දන්නවනේ.

    මාධ්‍යවේදියා: ඔබතුමා IMF එකට ගියේ නැත්තේ ඔය හේතු නිසා ද ?

    පිළිතුර: ඔව්. IMF එකට ගියාම වෙන දේ අපි දන්නවා. එතකොට ඒව ගැන දැනුවත්ව තමයි, IMF එකට යන්න ඕන. IMF එකට ගියාම මේ දේවල් වෙනවා කියලා මම දැනගෙන හිටියට, දැන් ඉන්න අය ඒ ගැන දැනගෙන ඉන්න නැතුව ඇති.

    මාධ්‍යවේදියා: එහෙනම් දැන් දිගටම ලයිට් කපන්න වෙයිද දන්නේ නෑ නේද? දැන් ලයිට් බිල වැඩි කරාට පස්සේ විදුලිය කපන එක නතර කළානේ…?

    පිළිතුර: ඔවු. දැන් ලයිට් බිල දැක්කහම කොහොමත් ලයිට් කැපෙයි.

    ලෙස කබ්රාල් මහතා මාධ්‍යවේදීන්ට පිළිතුරු දුනි.

    ReplyDelete
  7. ඉකොනෝමැට්ටා, ඔබගේ අනුමානය අනූව ආනයන වියදම පාලනය ගැන සෘජු කොන්දේසියක් IMF ඉදිරිපත් කරයිද? විශේෂයෙන් මේ වසර තුල වාහන ආනයන සීමා ඉවත් කිරීම ඇතුලුව.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: