වෙබ් ලිපිනය:

Saturday, February 4, 2023

දැවෙන ප්‍රශ්න තුනක්...


මේ දවස් වල බොහෝ දෙනෙක් අපෙන් දිගින් දිගටම අහන ප්‍රශ්න තුනක් තිබෙනවා. මේ ප්‍රශ්න අහන්නට හේතු වන පැහැදිලි පසුබිමකුත් තිබෙනවා. ප්‍රශ්න නොඅසන බොහෝ දෙනෙකුට වුනත් මේවා හිතට වද දෙන ප්‍රශ්න කියලා මම හිතනවා. ප්‍රශ්න තුන සටහන් කරලාම පටන් ගනිමු.

1. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් විණිමය අනුපාතය පා කරන්න කියා කියන නිසා ඒ වැඩේ කරද්දී නැවත වරක් එක පාරටම ඩොලරයක මිල කඩාගෙන බිඳගෙන ඉහළ යයිද?

2. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කරලා භාණ්ඩාගාර බිල්පත් වල දමා තිබෙන සල්ලි නොලැබී යයිද?

3. බැංකු පද්ධතිය කඩා වැටිලා බැංකු වල තිබෙන සල්ලි නැති වෙයිද?

ලිපිය දිග වැඩි වන නිසා දෙවන හා තෙවන ප්‍රශ්න ගැන අද කතා කරන්නේ නැහැ. පොඩ්ඩක් ඉවසන්න වෙනවා. 

පළමු ප්‍රශ්නය සඳහා කෙටි පිළිතුර දැන් පවතින තත්ත්වය තුළ මෙවැන්නක් සිදුවීමේ අවදානම ඉතාම අඩු බවයි. ඒ ඇයි කියන එක මම පැහැදිලි කරන්නම්. මෙය යූටියුබ් වීඩියෝ එකකත් පැහැදිලි කරලා තිබෙනවා. 

ගොඩක් අයට මේ වගේ බයක් දැනෙන්නේ ඇයි? කාලයක් රුපියල් 200 මට්ටමේ තියාගෙන හිටපු ඩොලරය එක පාරටම පාලනයෙන් ගිලිහුණා. මාස කිහිපයක් ඇතුළත ඩොලරය දැන් තිබෙන රුපියල් 360 මට්ටමට ගියා. කළුකඩ මිල ඊටත් වඩා ඉහළ ගියා. දැන් මේ මිල රුපියල් 360 මට්ටමේ නැවතිලා. බැලූ බැල්මටම ඒකේ අවුලක් පේනවා. රුපියල් 200 මට්ටමේ හිර කරගෙන සිටීම අවුල්නම් රුපියල් 360 මට්ටමේ හිරකරගෙන සිටීම අවුල් නැත්තේ ඇයි?

හේතුව දැන් මහ බැංකුව විසින් ඩොලරය රුපියල් 360 මට්ටමේ තියාගෙන ඉන්නේ කලින් රුපියල් 200 මට්ටේමේ තියාගෙන හිටපු ක්‍රමයට නොවන නිසා. 

ඩොලරයක මිල තීරණය වෙන්නේ ඉල්ලුම හා සැපයුම මත. සැපයුමට වඩා ඉල්ලුම වැඩිනම් මිල ඉහළ යනවා. සැපයුම වැඩිනම් මිල පහළ යනවා. ඩොලරය රුපියල් 200 මට්ටමේ තියාගෙන හිටියේ මහ බැංකුව විසින් ඉල්ලුම හා ගැලපෙන තරමට ඩොලර් සැපයුම වැඩි කිරීම මගින්. ඒක කළේ සංචිත විකිණීම මගින් වෙළඳපොළට ඩොලර් සැපයීම හරහා. සංචිත තිබෙන තුරු මේ වැඩේ කළා. සංචිත ඉවර වෙද්දී මහ බැංකුව විසින් ඩොලර් ණයට අරගෙන ඒ ඩොලර් වෙළඳපොළට සපයමින්ද ඉල්ලුම හා සැපයුම සමතුලිත කළා. මේ වැඩේ කර ගෙන යන්න බැරි වෙද්දී වැඩේ අත අරින්න වුනා.

දැන් මහ බැංකුව ඒ විදිහට ඩොලර් සැපයුම වැඩි කරන්නේ නැහැ. අතේ සංචිත නැති නිසා එහෙම කරන්නත් බැහැ. දැන් ඩොලරය රුපියල් 360 මට්ටමේ ස්ථාවරව තිබෙන්නේ සැපයුමට හරියන පරිදි ඉල්ලුම පාලනය කර ඇති නිසා. ඉල්ලුම පාලනය වෙන්න හේතු කිහිපයක් ඉවහල් වී තිබෙනවා. ප්‍රධානම හේතුව විදේශ ණය වාරික හා පොලී ගෙවීම අත් හිටවීම. මේ වැඩෙන් ඩොලර් ඉල්ලුම සැලකිය යුතු ලෙස අඩු වුනා. සැප්තැම්බර් අවසානය වන විට පමණක් ගෙවා නැති ණය වාරික ප්‍රමාණය (පොලී නොගෙවීම් හැර) ඩොලර් මිලියන 1,643ක්. 

දෙවනුව, ඉන්ධන, ගෑස් ආදී ආනයනික භාණ්ඩ වල මිල ඉහළ යාම. මිල ඉහළ යද්දී මේ වගේ භාණ්ඩ වලට තිබෙන ඉල්ලුම අඩු වෙනවා. එවිට ආනයන සඳහා ඉල්ලුම අඩු වී ඩොලර් ඉල්ලුම අඩු වෙනවා.

තුන් වන හේතුව ආනයන පාලනය. ඇත්තටම මේ වැඩේනම් කලින් ඉඳලාම සිදු වුනා. ඒ කියන්නේ ඩොලරය රුපියල් 200 මට්ටමේ තියාගෙන හිටපු කාලයේදීත් යම් ඉල්ලුම් පාලනයක් සිදු වුනා. වෙනස දැන් සිදු වන්නේ තනිකරම ඉල්ලුම් පාලනයක් පමණක් වීමයි. 

ඩොලරයක මිල කඩාගෙන බිඳගෙන ඉහළ යයිද කියන ප්‍රශ්නය මතු වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශය විණිමය අනුපාතය පා කිරීම නිසා. නමුත්, මේ ගැන කවුරුවත් ලොකුවට බය විය යුතු නැහැ. ඒ, දැනටත් ප්‍රායෝගිකව තියෙන්නේ පාවෙන විණිමය අනුපාත ක්‍රමයක් නිසා.

දැන් තියෙන ක්‍රමයට ඩොලරයක මිල ඕනෑම ගණනක් වෙන්න ඉඩක් නැහැ. දවසක් ඇතුළත මිල අඩු හෝ වැඩි විය හැක්කේ රුපියල් 2.60කින් පමණයි. දවසකට රුපියල් 2.60ක් කියන්නේ මාසයකට රුපියල් 78ක්. ඒ කියන්නේ දැන් තිබෙන සීමාකාරී තත්ත්වය තුළ වුනත් මාසයකට ඩොලරයක මිලට රුපියල් 78කින් ඉහළ යා හැකි අවකාශයක් තිබෙනවා. 

නමුත්, ඩොලරයක මිල ඒ විදිහට ඉහළ නොගොස් ස්ථාවරව තිබෙනවා. ඒ කියන්නේ මහ බැංකුව විසින් ඩොලර් පොම්ප කිරීමක් නැතුවම දැන් තිබෙන මට්ටමේදී ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙනවා. ඒ නිසා, මහ බැංකුව විසින් ඔය රුපියල් 2.60 සීමාව ඉවත් කළත් ඩොලරයක මිල දැන් තිබෙන මට්ටමේම දිගටම තියෙන එක තමයි වෙන්නේ. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරිකය ලැබුණොත් වෙන්නේ කුමක්ද? 

මේ සල්ලි ලැබෙන්නේ මහ බැංකුවට. මහ බැංකුව විසින් ඒ ලැබෙන සල්ලි ඩොලර් කරලා දේශීය වෙළඳපොළේ විකිණුවොත් ඩොලර් එක අඩු වෙනවා. ඊට අමතරව, අරමුදලේ සල්ලි එද්දී රජය විසින් තවත් විදේශ ණය ගන්න අපේක්ෂා කරනවා. ලැබෙනකල්ම සහතිකයක් නැතත්, මේ අමතර ණයත් ලැබුණා කියලා අපි හිතමු. රජය විසින් මේ විදිහට ලැබෙන ඩොලර් දේශීය වෙළඳපොළේ විකිණුවොත් ඩොලර් සැපයුම වැඩි වෙලා ඩොලරයේ මිල පහත වැටෙන්න පුළුවන්. හැබැයි ඔය කියපු දේවල් දෙකෙන් එකක්වත් සිදු වීමේ ඉඩක් නැහැ. ඒ ඇයි?

මේ වෙද්දී මහ බැංකුව විසින්ම ගෙවිය යුතු ඩොලර් බිලියන 5ක පමණ විදේශ ණය තිබෙනවා. ඒ නිසා, අරමුදලේ සල්ලි ලැබුණා කියලා ඒ සල්ලි ඩොලර් කරලා වෙළඳපොළේ විකිණීමේ හැකියාවක් මහ බැංකුවට නැහැ. ඒ වගේම, රජය විසින් කොහෙන් හෝ විදේශ ණය අරගෙන ඒ ඩොලර් වෙළඳපොළේ විකිණුවත්, මහ බැංකුවට ඒ ඩොලර් ටික මිල දී ගෙන සංචිත හදා ගන්න වෙනවා. ඇත්තටම කියනවානම් ප්‍රායෝගිකව වෙන්නේ රජය විසින් ඔය ඩොලර් ටික කෙළින්ම මහ බැංකුවටම විකුණන එක. 

මහ බැංකුව විසින් නැවත විදේශ සංචිත ගොඩ නගා ගත යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශයක්. චීන මුදල් හුවමාරු ගිවිසුමත් එක්කම දැනට තිබෙන සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන දෙකක් පමණයි. මහ බැංකුවේ ණය ඩොලර් බිලියන පහක්. ඒ කියන්නේ ණය ගෙවලා ඩොලර් බිලියන හතක පමණ සංචිතයක් හදා ගන්න, ඒ කිවුවේ අර්බුදයට කලින් තිබුණු මට්ටමට යන්න, මහ බැංකුවට ඩොලර් බිලියන දහයක් පමණ අවශ්‍ය වෙනවා. අරමුදලෙන් ඩොලර් බිලියනයක්වත් ලැබෙන්නේ නැහැ. රජයට වැඩිම වුනොත් බිලියන දෙක තුනක ණය ගන්න පුළුවන් වෙයි. ඩොලර් බිලියන දහයක්නම් කොහොමටවත්ම හොයා ගන්න බැහැ. ඒ කියන්නේ ඩොලරයක මිල අඩු වෙන එකනම් කීයටවත්ම වෙන්නේ නැහැ.

එහෙමනම් ඩොලරයක මිල වැඩි වෙයිද?

ඩොලරයක මිල වැඩි වෙන්නේ ඩොලර් සැපයුමට වඩා ඉල්ලුම වැඩි වුනොත්. අරමුදලේ සල්ලි ලැබුනත්, වෙළඳපොළේ ඩොලර් සැපයුම වැඩි නොවන බව පැහැදිලි කළානේ. ප්‍රශ්නය ඉල්ලුම වැඩි වෙයිද කියන එක. 

ඩොලර් ඉල්ලුම කොහොමටත් තිබෙනවා. ආනයන පාලන ආදී උපක්‍රම හරහා ඒ ඉල්ලුම පාලනය කරලයි තියෙන්නේ. අදාළ සීමාවන් ඉවත් කළොත් ඩොලර් සැපයුමට වඩා ඉල්ලුම වැඩි වෙලා ඩොලරයක මිල ඉහළ යනවා. මේ වෙලාවේ ඒ වගේ දෙයක් සිදු වුනොත් දැනට පවතින සාපේක්ෂ සාර්ව ආර්ථික ස්ථාවරත්වය නැති වෙන එකයි වෙන්නේ. රජයට. මහ බැංකුවට හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එවැනි තත්ත්වයක් ඇති වනු දකින්න අවශ්‍ය නැහැ. කරන ඕනෑම දෙයක් කරන්නේ ආර්ථිකය ස්ථායී කරන්න. 

මේ හේතුව නිසා ක්ෂණිකව ආනයන පාලන ඉවත් කළ යුතුයි කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යෝජනා කරලා නැහැ. එවැන්නක් වීමේ ඉඩකුත් නැහැ. ආනයන පාලන ක්‍රමයෙන් ඉවත් වනු ඇත්තේ සාමාන්‍ය ආදායම් ඉපැයීම් ක්‍රම වලින්ම රටට ඩොලර් එන එකට සමාන්තරවයි. ඒ කියන්නේ ඩොලර් සැපයුම ඉහළ යාමට සමාන්තරවයි. මෙයින් අදහස් වන්නේ ඩොලර් ඉල්ලුම හා සැපයුම අතර තුලනය දිගටම පවතිනවා කියන එකයි. ඒ කියන්නේ ඩොලරයක මිල අඩු වෙන්නේ නැහැ වගේම වැඩි වෙන්නෙත් නැහැ කියන එකයි.

ඩොලර් සැපයුම ඉහළ යා හැක්කේ කොහොමද? ප්‍රායෝගිකව මෙය සිදු විය හැකි ප්‍රධානම ක්‍රමය සංචාරක ඉපැයීම් ඉහළ යාම. මේ වැඩේ දැනටත් සිදු වෙමින් තිබෙනවා. අනෙක් පැත්තෙන් සංචාරක ඉපැයීම් ඉහළ යද්දී එම කර්මාන්තය සඳහාම ආනයන අවශ්‍ය වන නිසා ආනයන පාලන සීමාවන් ටිකෙන් ටික ඉවත් කරන්නත් වෙනවා. අවසාන වශයෙන් වෙන්නේ වෙළඳපොළ නිදහස් වීමයි. ඩොලර් ඉතිරි වීමක් ලොකුවට වෙන්නේ නැහැ.

ශ්‍රමික ප්‍රේෂණ වල කතාවත් මේ වගේම තමයි. ශ්‍රමික ප්‍රේෂණ අඩු වෙලා තියෙන්නේ විවිධ ක්‍රම වලින් රුපියල් ඩොලර් වෙන නිසා. එහෙම වෙන්නේ ඩොලර් නිදහසේ මිල දී ගන්න බැරි නිසා. මේ හේතුව නිසාම, ශ්‍රමික ප්‍රේෂණ ඉහළ යාම සහ විධිමත් ලෙස ඩොලර් මිල දී ගැනීමේ නිදහස තහවුරු වීම එකට මිසක් වෙන වෙනම සිදු වන්නේ නැහැ. ඒ කියන්නේ, ශ්‍රමික ප්‍රේෂණ ඉහළ යද්දී වෙන්නෙත් වෙළඳපොල නිදහස් වී අවිධිමත් ගනුදෙනු විධිමත් ගනුදෙනු ලෙස සටහන් වීමක් මිසක් ඇත්තටම රටට ඩොලර් එන එක නෙමෙයි. 

පසුගිය අවුරුද්දේ මෙන් ආනයන සීමා හෝ විදේශ විනිමය සම්බන්ධ වෙනත් සීමාවන් ලොකුවට නොතිබුණු 2015-2019 කාලයේදීත් රටේ ඩොලර් ඉල්ලුම හා සැපයුම ආසන්න වශයෙන් තුලනය වුනා. ණය අවශ්‍ය වුනේ පරණ ණය සහ පොලී ගෙවන්න. සැලසුම්සහගත පරිදි කටයුතු සිදු වුනොත්, නැවත ඒ හිටපු තැනට යන්න පුළුවන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් විණිමය අනුපාතය පා කිරීමක් අපේක්ෂා කරන්නේ ඒ වගේ තත්ත්වයක් යටතේ. ඒ වගේ තත්ත්වයකදී, ආනයන සීමා ආදිය නැතිව විණිමය අනුපාතය පා කරන්න පුළුවන්. එහිදී, ඩොලරයේ මිල හෙමින් හෙමින් ඉහළ යා හැකි නමුත්, කඩාගෙන බිඳගෙන ඉහළ යන්නේ නැහැ.

හැබැයි ඔය කියපු විදිගේ ස්ථාවර තත්ත්වයක් කියා කියන්නේ තවමත් දුරස්ථ ඉලක්කයක්. අරමුදලේ සල්ලි ලැබුණා කියලා ක්ෂණිකව ඔය ඉලක්කයට යන්න බැහැ. ඒ වැඩේ වෙන්නේ ප්‍රමාණවත් සංචිත එකතු කර ගත්තට පස්සේ. ඒ තරම් හදිසියෙන් සංචිත එකතු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ආනයන සීමා ආදිය හදිස්සියේ එකපාර ඉවත් වෙන්නේ නැහැ. විශේෂයන්ම වාහන ආනයන සීමා වගේ දේවල්. ඒ වගේම, ඩොලරයක මිල නුදුරු දවසක ලොකුවට වෙනස් වෙන්නෙත් නැහැ. නිශ්චිතව කිවුවොත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරිකය ලැබුණා කියලා ඩොලරයක මිල අඩු වෙන්නේ හෝ වැඩි වෙන්නේ නැහැ. 

5 comments:

  1. ඩොරල් එක කීය උනත් අපි ගණුදෙනු කරන්නේ රුපියල් වලින්නේ ඉකොනෝ.
    ඩොරල් එකක් දීලා ටින් එකක් වත් බොන්න පුලුවන්ද

    ReplyDelete
  2. අනුර කුමාර මාර්තු නමය ප්‍රදේසිය සබා චන්දෙ දිනලා ජනාධිපති උනාම ජමුලෙන් සල්ලි දෙයිද ඉකොනෝ

    ReplyDelete
  3. උදේට නැගිට්ටම තියෙන දැවෙන ප්‍රශ්නේ තමයි හැන්දෑවට භාගයක් ගහන්නේ කොහොමද කියලා.

    ReplyDelete
  4. හේෂාන් දමින්දFebruary 5, 2023 at 1:01 AM

    පොඩි සින් එකක් තියෙනවා හැදෙන එවුන්ට හැදෙන්න වගේම පොඩි එවුන් ගැන බලාගන්න එවුන්ටත් හැදෙන්න තමයි මෙහෙම කියන්නේ.

    මචන්ලා මම කලින් මැරී කරලා හිටපු කෙනෙක්. එත් ගෑනිට එකම හෝටලෙන් කන්න බැහැ කියලා වෙන එකෙක් එක්ක ගියපු නිසා මම ඒකිව ඩිවෝස් කලා. මේ සින් එක උනේ මම එකී එක්ක පවුල් කන දවස් වල.

    මම ඒ දවස වල වැඩ කලේ හේලීස් එකේ රවී ඉන්ඩස්ට්‍රීස් ෆැක්ටරි එකේ. ඒකල. මම බුද්ධාගමේ උනාට පවුල කතෝලික. ඒ වෙද්දී මට 28ක විතර පඩියක් ලැබෙනවා. අපි හිටියේ කුලියට. හේතුව උනේ එයාගේ අක්කත් බැඳලා අම්මල එක්කම එකම ගෙදර හිටියේ. (අක්ක නම් මාරු කෑල්ල :P:P) ඉතින් එකම ගෙදර ඉන්නකොට ආතල් එකේ ඉන්න බැරි නිසා වගේම මගේ ඔෆිස් එකටත් කිට්ටු නිසා අපි ඒ කිට්ටුවෙන් ගෙයක් අරගෙන හිටියේ.

    මගේ පුතාට ඒ වෙද්දී අවුරුදු 2 1/2 යි. අපි 3න් දෙනා ඒ ගෙදර ජිවත් උනාට, එයා දරුව ගැන බලනවට වඩා වෙන වෙන විකාර කරලා තිබුනේ. ඒ අතරේ දරුවට හෙම්බිරිසාව හැදුන. මතක ඇතිනේ එක පාරක ඒකල පැත්ත යට උනා. අන්න ඒ දවස්. ඉතින් අපේ ගෙවල් කිට්ටුවටත් වතුර දැම්මා. මම ඔෆිස් ගිය අතරේ එයාගේ අක්කල ඇවිල්ලා. ඉතින් මෙය අක්ක එක්ක කතා කර කර ඉන්න අතරේ බලද්දී පොඩි එකා වතුරේ වැටිලා සෙල්ලම් කර කර ඉන්නවලු. අක්ක මට කොල් කරලා කිවුවා මල්ලි දරුවට හෙම්බිරිසාව නිසා වතුර අල්ලන්න දෙන්න එපා. මම නංගිට කිවුවට එයා අහන්නේ නැහැ කියලා. මගේ පවුල කිවුවලු දරුවොන්ට හැම දේටම පුරුදු වෙන්න දෙන්න ඕන කියලා.

    ඉතින් මම ගෙදර ඉන්නකොට දරුවා බලාගත්තට එයා දරුවා ගැන බලල නැහැ. ඉතින් මම දවසක් ඔෆිස් එකේ ඉන්න අතරේ මෙයා කෝල් කලා දරුවට හොඳටම උන කියලා. මමත් කලබලෙන් ආවා. අපි එයාව ඉක්මනින් ඩිස්පෙන්සරි එකකට ගෙනිච්ච. එතෙන්දි ඇහුව දරුවට කලින් ෆිට් එක හැදිලා තියේද කියලා. එයා නැහැ කිවුවා. ඒ පාර බෙහෙත් දුන්න. අපිට දොරෙන් එලියට එන්න උනේ නැහැ. දරුවට ෆිට් එකා හැදුන. ඒ පාර ඩොක්ටර් එයට ප්‍රතිකාර කරලා ඉක්මනින් ඉස්පිරිතාලෙට ගෙනියන්න කිවුවා. මට බැන්න හොඳටම දරුවා බලාගත්තේ නැහැ කියලා.

    දරුවට 3න් පාරක් ෆිට් එකා හැදිලා තිබුනේ කියලා පවුල ඒ වෙලාවේ තමයි කිවුවේ. ඒ වෙනකන් මමවත් දන්නේ නැහැ. ඉතින් පුතාට ගොඩක් අමාරු නිසා අපි ත්‍රීවිල් එකකුත් කතා කරගෙන ඉස්පිරිතාලෙට ගිය. ඒ යද්දිත් එයට ගොඩක් අමාරු උනා. ඇස් දෙක උඩ ගිහින්. කට ඇද වෙලා. ඒ මදිවට ගැහෙනවා මුළු ඇඟම. මගදී ත්‍රිවිල් එකේ අයිය එයාගේ වතුර බෝතලේ දුන්න දරුවගේ ඇඟට දන්නා කියලා.

    කොහොම හරි අපි ඉස්පිරිතාලෙට ආවා. වාට්ටුවට දාන්න තුණ්ඩුව ලියද්දි මෙයා කියනවා උන තිබුන දරුවට මෙයා යෝගට් කවලා. අයිස් ක්‍රීම් කවලා. එයාගේ මෝඩ කම නිසා අසරණ දරුවා විඳවනවා. මෙයා ගොඩක් මහතයි. ඒ නිසා ඉක්මනින් යන්නත් බැහැ. මම තුණ්ඩුව අරන් යනකොටත් මෙයා දොර ළඟ. මම දරුවා අතට ගත්තා. එයා අමාරුවෙන් මගේ දිහා බලලා "තාත්තේ" කියලා කිවුවා. මගේ පපුව පත්තු උනා. මම එදා වෙන්න ඇති එච්චර වේගෙන් දුවන්න ඇත්තේ. දරුවා අත් දෙකට අරන් මම දිවුවා. රාගම ඉස්පිරිතාලෙට ගියපු කෙනෙක් දන්නවා ඇති බෙහෙත් ලියන තැන ඉඳල ළමා වාට්ටුවට දුර කොහොමද කියලා. ඉතින් මම ලිෆ්ට් එකේ යන්නෙත් නැතිව පඩි පෙලේ දිවුවා.

    ඒ යද්දී මිනිස්සු මට පාර ඉඩ දීල අයින් උනා. මගේ ෆෝන් එක බිම වැටුන. එත් දරුවා ලොකු නිසා මම ඒවා ගැන බැලුවේ නැහැ. කොහොම හරි 2 තට්ටුවට ගිහින් ළමා වාට්ටුවට යද්දී නර්ස් ලා ගොඩක් දරුවා වට කරගෙන ප්‍රතිකාර කලා. එදා ඒ වෙලාවේ එයට ගෙනිච්චේ නැත්නම් දරුවා නැති වෙනවා කියලා ඒ හෙඩ් නර්ස් මට කිවුවා.

    අද මම වෙනම ජිවත් වෙනවා. ගෑනි වෙන මිනිහෙක් එක්ක ඉන්නවා. ඒ මදිවට තව මිනිස්සු ඉන්නවලු. දරුවා එයාගේ අම්ම හදනවා. පුතෙක් නිසා එයා මට අයිති නැහැ. එත් කවද හරි එයා දැනගනීවි තාත්ත එයා වෙනුවෙන් කොහොමද කැප උනේ කියලා. හිත හදන් මම ඉන්නවා. ගොඩක් වෙලාවට එළකිරි එකේ ඇවිල්ලා, ෆේස්බුක් එකේ තමයි හිත හදන් ඉන්නේ.

    අවවාදය: දරුවෝ ගැන ගොඩක් ප්‍රවේසමින් බලන්න. හැම දේටම හුරු කරන්න ගිහින් එයාලගේ අනාගතේ විනාස වෙන්න දෙන්න එපා. ඒ වගේම සල්ලි පස්සේ දුවනවා කියලා ගෙදර ගෑණි තනි කරන්නත් එපා. මම අත්දැකීමෙන් කියන්නේ. කඩේ තියෙන ජරාව කොච්චර දරුවෝ ආසයි කිවුවත් දෙන්න කලින් දෙපාරක් හිතන්න. ලෙඩක් උනාම එයාලට කියන්න තේරෙන්නේ නැති නිසා ඩොක්ටර් කෙනෙක්ට පෙන්වන්න. ගොඩ වෙදකම් කරන්න යන්න එපා.

    ReplyDelete
  5. මටත් හිතුන ප්‍රශනයක් දෙකක් තමයි

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: