වෙබ් ලිපිනය:

Saturday, October 5, 2024

කජු කන්න ගිය ඇත්ත වියදම කීයද?


කජු කන්න ගිය වියදමක් ගැන පසුගිය දවස් වල යම් කතාබහක් ඇති වී තිබුණා. කජු කන්න යන වියදම් පියවන එක කජු කන තරම් ලේසි නැහැ.

පසුගිය 2023 වර්ෂයේදී කජු සංස්ථාවේ පාඩුව හරියටම රුපියල් 5,020,580.05ක්. ඒ කියන්නේ මිලියන පහක් නැත්නම් ලක්ෂ පණහක් වගේ. රජයේ සමස්ත වියදම එක්ක බලද්දී කජු ඇටද කොස් ඇටද කියලා අහන්න පුළුවන් තරමේ ලොකු පාඩුවක් නෙමෙයි.

කෙසේ වුවත්, කජු සංස්ථාවේ පරණ අවුරුදු වල පාඩු සියල්ල එකතු කළාම එය රුපියල් මිලියන 156 ඉක්මවනවා. ඒ කියන්නේ රුපියල් කෝටි 15කට වඩා වැඩි සමුච්ඡිත පාඩුවක්.

මේ විදිහට ගිණුම් ප්‍රකාශ වල දැකිය හැකි පාඩුව කියා කියන්නේ මේ වගේ ආයතන වල මුළු පාඩුව නෙමෙයි. එම මුළු පාඩුවෙන් විශාල කොටසක් තියෙන්නේ වෙනත් තැනක හැංගිලා. ඒ නිසාම, මේ ආයතන වල ගිණුම් ප්‍රකාශන අනුව ලාබ ලබන ගොඩක් අවුරුදු වලදී වුනත් ඇත්තටම වෙන්නේ පාඩුව වෙනත් තැනක සැඟවී තිබීමයි.

රුපියල් මිලියන 157කට ආසන්න කජු සංස්ථාවේ සමුච්ඡිත අලාබයෙන් පසුවත්, එහි ප්‍රාග්ධනය ලෙස රුපියල් මිලියන 447ක් පමණ ඉතිරි වී තිබෙනවා. ඒ කියන්නේ පොදු අරමුදල් වලින් රුපියල් මිලියන 604කට වඩා වැඩි මුදලක් කජු සංස්ථාව වෙත පොම්ප කර තිබෙනවා.

දැන් මේ විදිහට කජු සංස්ථාව වෙත පොම්ප කර තිබෙන්නේ බදු මුදල් වලින් වැය නොකර ඉතිරි කරගත් අරමුදල් නෙමෙයිනේ. ලංකාවේ රජය ඒ විදිහට සල්ලි ඉතිරි කර තිබෙන්නේ අවුරුදු පහ හයකදී පමණයි. අනෙක් හැම අවුරුද්දකදීම වුනේ ප්‍රාථමික අයවැය හිඟයක් පවත්වා ගනිමින් එය පියවීම සඳහා ණය වීම. ඒ කියන්නේ කජු සංස්ථාවට යට කරලා තියෙන රුපියල් මිලියන 604 රජය විසින් ණයට ගත්ත සල්ලි කියා කියන්න පුළුවන් (පසු සටහන: මෙයින් මිලියන 17ක් වාහන වල වටිනාකම වැඩි වීම නිසා නිවැරදිම ගණන මිලියන  587ක්.).

ඔය විදිහට ණයට ගත්ත රුපියල් මිලියන 604 සඳහා වාර්ෂිකව 10%ක පොලියක් ගෙවුවා කියා අපි හිතමු. ලංකාවේ රජය විසින් ඒ විදිහට පොලී ගෙවලා තියෙන්නෙත් ණය අරගෙනනේ. ඔය වැඩේ අවුරුදු 30ක් එක දිගට කළොත් කජු සංස්ථාවට යට කරලා තියෙන රුපියල් මිලියන 604 කීයක් වෙලාද? ගණන් හදලා බැලුවොත් රුපියල් මිලියන 10,539ක් වෙලා!

දැන් ඔය පාඩුව කජු සංස්ථාවේ ගිණුම් වල නැහැ. එහි තිබෙන්නේ රුපියල් මිලියන 157ක පාඩුවක් පමණයි. නමුත් කජු සංස්ථාව වෙනුවෙන් යට කළ මුදල සහ ඒ වෙනුවෙන් ගෙවූ පොලිය එකතු කළොත් ඊට සාපේක්ෂව විශාල මුදලක් පාඩු වෙලා තිබෙනවා. ඒ මුදල තිබෙන්නේ ශ්‍රී ලංකා රජයේ ණය ගොඩේ. ඔය විදිහට තමයි ශ්‍රී ලංකා රජයට වත්කම් නැතුව ණය එකතු වෙන්නේ.

මාළු කන්න ගිහින් තියෙන වියදම බැලුවොත් කජු කන්න ගිය වියදමටත් වඩා ගොඩක් වැඩියි. 2023 වර්ෂය අවසානයේදී ධීවර සංස්ථාවේ සමුච්ඡිත අලාබය රුපියල් මිලියන 1,702ක්. මේ ගිණුම් වල තිබෙන අලාබය. ඒ වෙනුවෙන් රජය යට කර තිබෙන මුදල රුපියල් බිලියන 1,520කටත් වඩා වැඩියි. ධීවර සංස්ථාව වෙනුවෙන් වාර්ෂිකව ගෙවන පොලී වියදම ධීවර සංස්ථාවේ ගිණුම් වල නැහැ. 

කජු සංස්ථාව වගේ සාපේක්ෂව කුඩා ආයතනයක් පාඩු ලැබුවත් ඒ පාඩු පියවීම සඳහා රජයේ අයවැයෙන් නැවත නැවත මුදල් වෙන් කරන එක අමාරු වැඩක් නෙමෙයි. ඒ නිසා, කජු සංස්ථාව පවත්වාගෙන යාම සඳහා වෙනත් පාර්ශ්ව වලට ණය වෙන්න අවශ්‍ය නැහැ. 

කජු සංස්ථාවේ කතාව ඔය වගේ වුනත්, ශ්‍රීලන්කන් ගුවන් සේවය හෝ ලංවිම වගේ විශාල ආයතන ලොකු පාඩු ලබද්දී ඒ පාඩු වල තරමට රජයේ අයවැයෙන් මුදල් වෙන් කරන්න අමාරුයි. මේ ආයතන වලට පාඩු ලබමින් දුවන්නත් බැහැ. දුවන්නනම් කොහෙන් හෝ අරමුදල් ලැබිය යුතුයි. ඒ නිසා මේ ආයතන වලට වෙනත් තෙවන පාර්ශ්ව වලට ණය වෙන්න සිදු වෙනවා.

මේ විදිහට තෙවන පාර්ශ්ව වලට ණය වූ විට අදාළ ආයතන වලට එම ණය වෙනුවෙන් පොලිය ගෙවන්නත් වෙනවා. ඒ පොලී වියදම් මූල්‍ය පිරිවැය ලෙස අදාළ ආයතනයේ ගිණුම් වල සටහන් වෙනවා. නමුත් හරියටම බැලුවොත් මේ විදිහට ගිණුම් වල සටහන් වෙන්නේත් මූල්‍ය පිරිවැය වලින් කොටසක් පමණයි. ඒ එම ආයතනය විසින්ම සෘජුව ණයට ගත්ත අරමුදල් කොටසේ මූල්‍ය පිරිවැය. රජය විසින් ණයට ගෙන ප්‍රාග්ධනය සේ යෙදවූ අරමුදල් වල මූල්‍ය පිරිවැය මේ ආයතන වල ගිණුම් වල සටහන් වෙන්නේ නැහැ. ඒවා සටහන් වෙන්නේ මධ්‍යම රජයේ ගිණුම් වලයි. 

සමහර වෙලාවට ලංවිම, තෙල් සංස්ථාව වැනි ආයතනයක් කිසියම් අවුරුද්දකදී ලාබ ලබන්න පුළුවන්. නමුත් ගිණුම් වල ලාබයක් පේන්න තිබුණු පමණින් එය ඇත්ත ලාබයක් වෙන්නේ නැහැ. ඇත්ත ලාබයක් කියා කියන්න පුළුවන් වෙන්නේ මෙවැනි ආයතනයක් වෙනුවෙන් රජය විසින් වැය කර තිබෙන මුදල වෙනුවෙන් වාර්ෂිකව පොලී ලෙස ගෙවිය යුතු මුදල රජයට ලබා දීමෙන් පසුවද ඉතිරියක් වන තරමේ ලාබයක් ගිණුම් වල පෙනේනම් පමණයි. 

8 comments:

  1. ඉකොනෝ,

    ලංකාවේ මේ දවස්වල විශාල වශයෙන් ෂෙයාර් වන මේ වට්ස් ඇප් මැසේජ් එකේ විගණකාධිපති තුමා ඔය රජයේ පාඩු ලබන ආයතන සහ ඒවාට හේතු ගොඩක්ම ලස්සනට විස්තර කරලා තියෙනවා මේක බලන්න;

    A famous whatsapp massage share with all your friends;

    //

    Forwarded many times

    Pl read carefully....🌷👇

    හිටපු විගණකාධිපතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්..

    තම රාජකාරි ජීවිතය තුළ ලබාගත් බොහෝ අත්දැකීම් කතා කරන්න මෙතෙක් වේදිකාවක් තිබුණේ නැති බව හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පවසනවා. මේ රට හොරුන්ගෙන් දූෂිතයන්ගෙන් පිරී තිබුණු ආකාරය සියල්ලන්ම දන්නා බවයි ඔහු කියන්නේ.

    “ලංකාව බංකොලොත්භාවයට හැරවූ ප්‍රධානතම කඩඉම 2015 දී සිදුවූ මහබැංකුවේ කුප්‍රකට බැඳුම්කර වංචාවයි. එයින් ඒ මොහොතේ සිදුවූ දැවැන්ත බලපෑම සහ ඉදිරි අනාගතයේ තවත් බොහෝ කාලයකට ලංකාවේ ආර්ථිකයට බලපෑම් සිදුවෙනවා. නමුත් ඔවුන් අද වේදිකාවට ගොඩවී නැවතත් රට ගොඩනගන්න බලය ඉල්ලා සිටිනවා.එක්සත් ජාතික පක්‍ෂය එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ එම යහපාලන ආණ්ඩුවට සම්බන්ධ වී සිටි හර්ෂ ද සිල්වාලා ඇතුළු සජිත් ප්‍රේමදාස ඇතුලු කණ්ඩායමත් රට බංකොලොත් කිරීමේ ප්‍රධානතම වැරදිකරුවන් ලෙස දෙකට බෙදී හෝ එකාබද්ධ වී කණ්ඩායමක් ලෙස වේදිකාවක ඉඳලා රට ගොඩනඟන්න අවස්ථාව ඉල්ලා සිටිනවා. පසුගිය අවුරුදු 76ක කාලය පුරාම රට බංකොලොත් කරන්න දායක වූ පිරිස වේදිකා තුනකට බෙදිලා රට සංවර්ධනය කරන්න බලය ඉල්ලනවා. තවත් කණ්ඩායමක් රට IMF එකට බාරදීලා රට ගොඩනැගූ බව කියමින් බලය ඉල්ලනවා. මේක මහා පුදුම සහගත විහිළුවක් බවට පත්වී තිබෙනවා.

    විගණකාධිපතිවරයා විසින් 2017 ඉඳලා ඉතාම පැහැදිලිව රට බංකොලොත් වෙනවාය කියන අනතුරු ඇඟවීම සහිත වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. විශේෂයෙන්ම 2015දී එවකට අගමැති රනිල් වික්‍රමසිංහගේ ඍජු මැදිහත්වීම යටතේ සිදු කළ බිලියන 6.5ක දැවැන්ත බැඳුම්කර වංචාවත් එක්ක මේ රට ගමන් කරන මාර්ගය වැරදියි කියන දේ අපි පැහැදිලිව පෙන්වා දුන්නා. එවකට පැවති රජය රටේ මූල්‍ය පාලනය කළ ආකාරය සම්පූර්ණයෙන්ම අසාර්ථක බවට පාර්ලිමේන්තුව දැනුවත් කළා. නමුත් ඒ කිසිදු වාර්තාවක් කෙරෙහි පාර්ලිමේන්තුවේ අවධානය යොමුකර වැඩපිළිවෙළක් සකස් කළේ නැහැ.

    විශේෂයෙන්ම 2016දී මුදල් අමාත්‍යාංශය විසින් ලබාදුන් ගිණුම් සම්පුර්ණයෙන්ම වැරදි නිසා විගණකාධිපතිවරයා විසින් එම ගිණුම් වාර්තා ප්‍රතික්ෂේප කළා. එහි සඳහන් වත්කම් සහ ණය ප්‍රමාණය සම්බන්ධ දත්ත වැරදි බව පෙන්වා දුන්නා. පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. නමුත් පාර්ලිමේන්තුව ඒ කිසිම දෙයක් ගණන් නොගෙන රට බංකොලොත් වෙන්න ඉඩ හැරියා.

    2016 මුදල් අමාත්‍යාංශයේ ගිණුම් විගණකාධිපතිවරයා ප්‍රතික්ෂේප කළ අවස්ථාවේ පාර්ලිමේන්තුවේදී ලැබුණු විනාඩි 20ක කාලය තුළ කතා කළේ ජවිපෙ නායක අනුර කුමාර දිසානාතක මහතා විතරයි. වෙන කිසිකෙනෙක් ඒ ගැන කතා නොකර මුදල් අමාත්‍යාංශයේ ගිණුම් පාර්ලිමේන්තුවේ දී සම්මත කර දුන්නා. 2022 දී රට බංකොලොත් වුණේ ඒවාගේ ප්‍රතිඵල හැටියට.

    2017 දී ණය කළමනාකරණය පිළිබඳව විශේෂ වාර්තාවක් අපි සකස් කළා. පසුගිය අවුරුදු 50ක ණය ගැනීම් පිළිබඳව විශ්ලේෂණය කර, මේ ණය ගැනීම් සහ ඒ ආශ්‍රිත දුෂණ වංචා වහාම නතර කරන ලෙස දැනුම් දුන්නා. නමුත් ඒ කිසි දෙයක් පසුගිය කාලයේ රට පාලනය කළ පුද්ගලයන් ගණන් ගත්තේ නැහැ. ඒ වැරදි දිගින් දිගටම සිදුකර ගෙන ගියා. උදාහරණයක් හැටියට මහබැංකු බැඳුම්කර ණය වංචාව මූල්‍ය අවභාවිතා කළ ආකාරය දක්වන්න පුළුවන්. විගණන වාර්තාවෙන් ඒ බව හෙළි කිරීම නිසා අධිකරණය හරහා එම වංචාකළ මුදලින් කොටසක් නැවත අත්පත් කර ගැනීම පිණිස රැඳවුම් නියෝග ලැබී තිබුණා. විල්පත්තුවේ වන විනාශය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පවා විගණන වාර්තා පදනම් කරගෙන තීන්දුවක් දුන්නා. නමුත් ඒ නියෝග ඒ ආකාරයෙන් ඉටු නොකර, අද වේදිකාවල සිටිමින් රට සංවර්ධනය කරන්න බලය ඉල්ලනවා. ඔවුන් ඉදිරියේදීත් එවැනි විනාශකාරී විෂම ක්‍රියා නොකර සිටීවී යැයි මම නම් විශ්වාස කරන්නේ නැහැ.

    Cont'd

    ReplyDelete
    Replies
    1. Cont'd

      ඒ වගේම සතොසෙන් හාල් ගෙන්වීමෙ අලාභය 2016 - 2017 කාලයේ රුපියල් බිලියන 16ක් බවත් ඒ මුදල වහාම අදාළ අයගෙන් අයකර ගන්න ක්‍රියා කරන ලෙසත් විගණකාධිපති ඉතාම පැහැදිලිව නිර්දේශ කළා. නමුත් එය සම්පූර්ණයෙන්ම යට ගසා දැම්මා. දේශපාලකයන් විසින් රාජ්‍ය සේවයත්, රාජ්‍ය සේවයේ ගෞරවයත් සම්පූර්ණයෙන්ම විනාශ කළා. මේ වගේ තත්වයක් යටතේ මෙතෙක් ආණ්ඩු කළ දේශපාලන පක්ෂවලට බලය දෙන්න ඉඩ හැරිය නොහැකියි. අපි මේ මාධ්‍ය හමුවට පැමිණියේ ඒ නිසයි. විශ්වාසය තැබිය හැකි තැනකට රට බාර දෙන්න ඕනෑ.

      ඒ වගේම IMF එකට රට සම්පූර්ණයෙන්ම බාරදීලා කිසි දවසක ගොඩගන්න ලැබෙන්නේ නැහැ. එවැනි මාර්ගයක ගිය රටවල් සම්පූර්ණයෙන්ම විනාශ වුණා. අපේ රටත් දහහත් වැනි වරටත් IMF එකට ගිහින් ඩොලර් බිලියන 03කට ආසන්න ණයක් අරගෙන ගොඩගන්න ලැබෙන්නේ නැහැ. මුදල් අමාත්‍යාංශයේ පළවැනි කාර්තුවට අදාළ ණය බුලටින් එකෙන් ඒ බව තහවුරු වෙනවා. මේ වන විට රටේ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 100 ඉක්මවා ගිහින් තිබෙනවා. රට අගාධයෙන් ගොඩගත් බව ප්‍රකාශ කළද, ඇත්ත වශයෙන්ම එහෙම දෙයක් සිදුවී නැති බව එයින් පැහැදිලියි. භාණ්ඩාගාරයේ ඍණ ශේෂය රුපියල ට්‍රිලියන 22ක් බව විගණන වාර්තාවේ සඳහන් වෙනවා. එවැනි රටක් ගොඩගෙන ඇති බව කියන්නේ කොහොමද?

      මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කර තිබෙන දත්ත අනුව දවසක රජයේ ආදායම රුපියල් කෝටි 850යි. නමුත් දවසක මුළු වියදම රුපියල් කෝටි 1490යි. ඒ කියන්නේ දවසකට රුපියල් කෝටි 660ක ණය ගන්නා ආර්ථිකයක් අද පවතින්නේ. එහෙම තිබිය දී රාජ්‍ය සේවකයන්ගේ පඩි දෙගුණයකින් වැඩිකරන බව ප්‍රකාශ කිරීම පිළිගත හැකිද?

      රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි නොකළ යුතු බව එයින් කියැවෙන්නේ නැහැ. රුපියල් කෝටි 1490ක් වන දවසක රජයේ වියදම අවම කර ගනිමින් වංචා දූෂණ නැවැත්වීම මෙතෙක් බලයේ සිටි කිසිම පක්ෂයකට කරන්න බැහැ. එය කළ හැක්කේ රටේ වංචාව, දූෂණය සහ නාස්තිය සම්පූර්ණයෙන්ම නතර කළ හැකි බලවේගයකට පමණයි. දේශපාලකයන් සිදුකරන දූෂණය සම්පූර්ණයෙන්ම නතර කර, මේ රට වෙනස්ම යුගයකට පරිවර්තනය කළ යුතුයි.
      දුප්පත්කම නඩත්තු කරමින් යන දේශපාලන පක්ෂ කිසි එකකට මේ රට මෙතනින් ගොඩගන්න බැහැ. විකල්ප වැඩපිළිවෙළක් තිබෙන මාලිමාව යටතේ මේ වෙනස කළ හැකි බවට දැඩි විශ්වාසයක් අපට ගොඩනැගී තිබෙනවා. රාජ්‍ය අංශය ගෞරවාන්විත රාජ්‍ය අංශයක් බවට පරිවර්තනය කර ගන්න, දේශපාලන බලපෑම්වලින් තොර, රාජ්‍ය අංශයක් බවට පරිවර්තනය කර ගන්න තමන්ගේ ආත්මගරුත්වය ඇතිව කෙලින් සිටගත හැකි රටක් ගොඩනැගීම අත්‍යවශ්‍යයි. මේ වෙනුවෙන් තමන්ගේ ඡන්දය භාවිතා කරන්න කියන ඉල්ලීම ඉතා ඕනෑකමින් කරනවා” යි හිටපු විගණකාධිපතිවරයා පවසනවා.
      🌷🌷🌷
      Pl share this as much as possible, rouges should not go to parliament... think about children future...🙏
      ( Most attention for Ranil Wicramasinghe, Sajith Premadasa and Mahinda Rajapakse lovers)//

      මම හිතනව මේක 100%ක්ම ඇත්ත කතාවක් ලෙස. මේ දූෂිත දේශපාලන ක්‍රමය වෙනස් කිරීමට ඇති එකම මාර්ගය ජාතික ජන බලවේගය මාලිමාවට උපරිම පාර්ලිමේන්තු බලය ලබාදීම බවයි මගේ අදහස. වෙන කිසිම විසඳුමක් නෑ නේද?

      Delete
    2. ෆයිල් කලින්ම හදලා තිබුණු නිසා දැන් ඕවා සම්බන්ධව ඉක්මණින්ම ක්‍රියාමාර්ග ගනියිනේ නේද? පාර්ලිමේන්තු බලය කොහොමටත් ලැබෙයිනේ.

      Delete
  2. කජු සංස්ථාවක් සෑදීමේ අරමුණ කුමක්ද ඉකොනෝ? එහි න්‍යාය පත්‍රයක් තිබෙනවද?

    ලාබ ගන්නා විදියක් ගැනවත්?

    ReplyDelete
  3. ඉකෝන්

    ලංකාව IMF වැඩසටහන වෙනස් කර විකල්ප යෝජනා ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව මෙහි සාකච්ඡාවන බව පේනවා නේද?

    මේ කුඩා නිව්ස් ක්ලිප් එක බලන්න

    https://m.youtube.com/watch?v=z4w0zVaH7AE&pp=ygUv4Lac4LeP4La44LeS4Lar4LeTIOC3gOC3kuC2ouC3muC3g-C3kuC2guC3hCBucHA%3D

    ලංකාවේ නව ජාතික ජන බලවේග රජය IMF වැඩසටහන වෙනස් කිරීමට කටයුතු කරන බව පැහැදිලියි නේද? මේ නිව්ස් එකට කමෙන්ට් දාල තියෙන ඒවත් ටිකක් බලන්න, ජනතාව මේ අයි එම් එෆ් කොන්දේසි මගින් දැඩි ලෙස පීඩාවන්ට ලක්කර ඇති බවත් ඔවුන් ඒවා වෙනස් කිරීම අත්‍යවශ්‍ය බව පේනවා කමෙන්ට් වලින්. මේ ගැන පැහැදිලි කිරීම පුළුවන්ද? මේ දැනට යන වැඩසටහන වෙනස් කරන්න හෝ මෙය සම්පූර්ණයෙන්ම නතර කර අලුත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වෙයි ද?

    ReplyDelete
  4. //රුපියල් මිලියන 157කට ආසන්න කජු සංස්ථාවේ සමුච්ඡිත අලාබයෙන් පසුවත්, එහි ප්‍රාග්ධනය ලෙස රුපියල් මිලියන 447ක් පමණ ඉතිරි වී තිබෙනවා. ඒ කියන්නේ පොදු අරමුදල් වලින් රුපියල් මිලියන 604කට වඩා වැඩි මුදලක් කජු සංස්ථාව වෙත පොම්ප කර තිබෙනවා.///

    -ඉකෝන්ගේ ලිපිය නිසා මමත් ලංකා කජු සංස්ථාවේ 2023 වාර්ෂික ගිණුම් වාර්ථාව හොයාගෙන බැළුවා.

    ඒකේ හැටියට රු මිලියට 40 මූලික ප්‍රාග්ධනය යොදවා අරඹා තිබෙන කජුසංස්ථාවට රජය විටින් විට රු මිලියන 300.7 ක් යොදවා තිබෙනවා. එවිට රජය බදුගෙවන්නගේ මුදලින් හෝ අනාගත පරම්පරව ණය කරමින් හෝ කජු සංස්ථාව් වෙත වැය කර ඇති මුදල රු මීලියන 340.7 යි නේද.

    ReplyDelete
    Replies
    1. ඔබ Grant from Other Parties කොටස අත හැර තිබෙනවා. මේ Other Parties කියන්නෙත් රජයේම වෙනත් අමාත්‍යාංශ. ප්‍රධාන වශයෙන් State Ministry of Development of Minor Crops including Sugarcanr, Maize, Cashew, Pepper, Cinnamon, Cloves, Betel Related Industries and Export හා Ministry of Minor Export Crop Promotion. Capital Reserves මිලියන 17 අඩු විය යුතුයි. එවිට මිලියන 587ක් වෙනවා.

      Delete
  5. ප්‍රාග්ධනය කියන එක පිලිගන්නෙ නැතිනම් ඔය ප්‍රශ්න නෑ නේද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: